Saturday, December 29, 2018

සත්ත කරුණාව





ඔටාරා මී වද කෑල්ලක් දෙසාබාන photo එකක් අල්ලන්, මී මැස්සොන්ට දුම් ගහලා එලවන එක හිංසාවක් නෙවීද, පන්සලේ අලියා විතරද පේන්නේ කියලා අහමින් ඔටාරට නක්කලේ දාන පෝස්ට් වගයක් දැක්කා. ගොඩක් වෙලාවට බෞද්ධ පිරිස් අතරයි සත්ව ප්‍රේමීන් අතරයි අලි සම්බන්ධ කරගෙන මේ අවුල ඇති වෙනවා. පෙරහැර කාලෙට මේ වගේ වාද විවාද හෝ ගාලා දෝරෙ ගලනවා. කොච්චර වාද කලත් මේ කිසිවෙක්ට සත්ව අවිහිංසාව සම්බන්ධයෙන් පොදු එකඟතාවකට එන්න ලැබෙන්නේ නෑ. ඒ ඇයි ?......මේ සම්බන්ධයෙන් අවම එකඟතාවකට එන්න පුලුවන් line එකක් හොයාගන්න අපිට බැරිද ?....

මුලින්ම කියන්න ඕන මිනිස්සු කියන්නේ සර්වභක්ෂක සත්ව කොට්ටාසයක්. ඉතින් අපි දඩයම් වානරයගේ කාලේ ඉඳන්ම මස් කනවා.ඊට අමතරව මිනිස්සු කියන්නේ සංස්කෘතික ජීවීන් කොට්ටාසයක්. මේ සංස්කෘතික කාරණා, එනම් මිනිසා විසින් නිමවූ ද්‍රව්‍ය සහ සංකල්ප පවත්වාගෙන යද්දි හැමදාම ඊට වන්දි ගෙවන්න උනු ප්‍රධාන පාර්ශවයක් වුනේ සොබාදහම. ඉතින් ඒකේ ඉන්න අනෙකුත් සත්තු කියන්නේ මිනිස් සංස්කෘතිය පවත්වාගෙන යන්න දහදිය සහ ප්‍රාණය පුදන එක් අංගයක් විතරයි. ඒ සංස්කෘතික කාරණා වලදී සමහර සත්තු කෑමක් ලෙස අපේ මේසෙට එනවා, සමහර උන් අපේ වැඩට උදව් වෙනවා, සමහර උන් පූජනීය-වන්දනීය වෙනවා, තවත් සමහර උන් විද්‍යාගාර පරීක්ෂණ වෙනවා, සමහර උන් අප්පිරිය වෙනවා, කොටසක් රැකගත යුතුම වටිනා වස්තූන් වෙද්දි අනික් උන් අනිවාර්‍ය ඝාතන ඉලක්ක බවට පත්වෙනවා. ප්‍රශ්නෙ වෙන්නේ මේ වර්ග කිරීම සමස්ථ මිනිස් වර්ගයාගේ එකඟත්වයෙන් වෙන්නක් නොවීම. ඒ වර්ග කිරීමත් සංස්කෘතික විවිධත්වය මත ජන සමාජයෙන් සමාජයට වෙනස් වෙනවා. ඉතින් සුපුරුදු පරිදි ඒ ඒ සංස්කෘතීන් තම තමන්ගේ සත්ව ආතල් අරබයා එකිනෙකා එක්ක ඇරගන්නවා. එක ජංජාලයයි,...රෙද්ද.....

සරළවම අපි තේරුම් ගන්න ඕන මෙච්චරයි. සත්තු කියන්නේ අපේ සංස්කෘතික ආතල් පවත්වා ගැනීම සඳහා තියන තවත් එක් අංගයක් විතරයි. ඒ නිසා සියලු සත්වයොන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නවත් හැම එකාටම එක විදියට ආදරේ කරන්නවත් පුලුවන් වෙන්නෙවත් නෑ. මිනිස්සු මිනිස්සුන්ටවත් ආදරේ කරන්නේ නැති කොට සියලු සත්තුන්ට ආදරේ කරන ලෝකයක් බිහිවීම හීනෙන් වත් වෙන්න බැරි දෙයක්. කොටින්ම සතෙක්ට ආදරේ කරන එකත් ඌට කරන හිංසනයක්. මොකද උන් හැදිලා තියෙන්නේ මිනිස්සුත් එක්ක love කරන්න නොවෙන නිසා. සත්තුන්ට හොඳින් ජීවත් වෙන්න පුලුවන් දවසක් එනවනම් ඒ අපි මේ පොළෝ තලයෙන් අතුගෑවිලා ගිය කාලයක තමයි. එතකල් තවත් මිනිහෙක්ට පීඩාවක් නොවෙන විදිහට සත්තු එක්ක කැමති ආතල් එකක් ගනිල්ලා. තවත් මිනිහෙක්ට කරදරයක් වෙන්නේ නැතිතාක්, සත්තු එක්ක සෙල්ලම් කරන්න, උන්ව නාවලා පියරු දාලා  ලස්සන ලස්සන ඇඳුම් අන්දන්න, උන්ව ඉඹගෙන සෙල්ෆී ගහන්න, මරාගෙන පුච්ච්ලා කන්න, වැඩ කරවගන්න, කිරි දොවන්න, උන්ට කියලා පන්සල් වලට වන්දවන්න, පෙරහැරවල් කරන්න, තොපේ දෙවියො උන්ගේ කර උඩ නග්ගවන්න, පව් දුරලන්න බිලි පූජා තියන්න වගේ මෙකී නොකී හැම එකමත් කරපන් ඒත් මදිනම් කැමති සතෙක් තෝරගෙන හැමිනියන්. හැබැයි සත්තුන්ගේ ලබ්බවල් වලට මිනිස්සුත් එක්ක මරාගන්න එපා. ප්ලීස්....


Monday, December 3, 2018

කතා ගෙතෙන පින්තූර - ඩා බිඳක වික්‍රමය


අහස මුදුනටම නැගගත් මාන්නය නිසාදෝ, දිනිසුරු අනුකම්පාවකින් තොරව තම අනසක නගරයේ වීදි පුරා පතිත කරන්නේය. ඊට උඩ ගෙඩි දෙන තාර කට්ටෙන් නැගෙන දුහුවිලි මිශ්‍ර තාපය මගේ පා සඟලත් විනිවිද ඇඟපුරා උඩු දුවයි. හිස මතට වැටෙන මහ අව් රැස් වලින් මිදීමට කුඩය අස්වැසිල්ලක් විය හැකි වුවත්, පිරිමි කුඩ කිසිදා අව්වකට එරෙහිව නොඑසවනු බව සිහිපත් වී මම කුඩය තද කර අල්ලා ගනිමින් ගමන වේගවත් කරමි. මද සුළං ලලනී ආගිය අතක් නැත. ඈ ගතවට දැවටුනා නම් මේ දාහයට මෙතරම් චන්ඩිකම් දමන්නට ඉඩක් කොහිද....මම කාර්යාල දොරකඩට පිවිසුනෙමි.ඇස් ඉදිරිපිට ඈ සිටියාය,

ෂූ ෂූ ගා දෙතොල් අගින් හුලං පිඹිමින්, පලවා හරින්නට වෙහෙසෙමින් ගත පෙලන දාහය. ඒ ගත් වෙහෙස නිසාම ඇය තව තවත් දාහදියෙන් පෙඟෙන්නීය. අලුත උපදින ඩා බිඳු වල තිඹිරිගෙය ඇගේ නලලතය. අලුත උපදින ඩා බිඳු උපන් ගෙයිම මරා දමනු වස් ඇය තම වමත ඇඟිලි තුඩු නලල් තලය මත යවන්නීය, පිරිමදින්නීය.ලැබෙන ඒ ඇසිල්ලෙන් මේරූ ඩා බිඳුවක් ඈ ගෙල චුම්බනය කරමින් පල්ලම් බහින්නට ගත්තේය.දිගුගෙලක්, නම නොදන්නා හැඩකාර අස්ථියක්, ගන්නා-යවනා හුස්මෙන් උස් පහත් වන පපු පෙදෙසක්, පසු කරමින් මගපුරා වූ ඉතා කුඩා ඩා බිඳිති වලින් තව තවත් පෝෂණය වෙමින් නොනැවතුනු ගමනක යෙදුණු තරුණ ඩා බිඳුව මේ දැන් ඇගේ හැට්ට කරින් ඇතුලු වීය.සුදු පැහැති හැට්ටය දහ දිය මුසුවී ඇඟට ටිකෙන් ටිකෙන් ඇලවෙමින් ඇත. ඒ මින් පෙර හැට්ට කරින් ඇතුලුවී චාරිකා ගිය හිතුවක්කාර ඩා බිඳුවල සෞන්දර්යාත්මක මෙහෙයුමක ප්‍රතිපලයක් ලෙසය. මම අලුත ඇතුලුවූ ඩා බිඳ යන්නට නියමිත ගමන් මග ගැන සිතන්නට ගත්තෙමි. මද සුලං ලලනී කොහේ හෝ සිට පැමිණ හිටි හැටියේ හමා ගියේ මම ඒ චාරිකාවේ අසීරු ඉසව්වක් තරණය කරන මොහොතකය. මම මොකක්දෝ වරදකාරී හැඟීමකින් සැලී ගියෙමි. මට සේකර මතක් විය.

පතුල සිඹින වසින වරල
ගන මේ කුළු හිසිනී
දෙතන දෙකඳු මැද ඇලි ඇලි
ගලන දුහුල රමණි
නිලන නිමල සිහිලඹ පිරි
නයන පොකුණ සොබනී
සසර කතර ගිම් සනහන
කෙම්බිම ඔබ මරණී....



Thursday, November 22, 2018

චූටි කෑලි මල් කතාව - පූර්විකාව






පහුගිය සති අන්තයේ උණවටුන පැත්තේ ගැසූ සවාරියෙන් ඉතුරු වී ගෙදර ගෙනා වොඩ්කා කොටය හිස් කරන්නට ඊයේ රාත්‍රිය වෙන් කර ගතිමි. පොඩියට කපා ගත් ඇපල් කෑලි කිහිපයත් සමග බයිට් එක පිරවීමට එක්කාසු උනේ වැඩ ඇරී එන ගමන් ගෙනා මුරුක්කු පැකට් එකය. වොඩ්කා කොටය පතුල කරා පල්ලම් බහින යාමයේ, කරස් ගා හැපෙන මුරුක්කු සද්දයත් , සිරිස් ගා විසිරෙන ඇඹුල් ඇපල් පෙත්තේ සද්දයත් මට පසුබිම් සංගීතය සැපයීය. ඒ පසුබිම් සංගීතය මැද්දෑවේ හීනියට නෙත් අඩවන්ව යද්දී , ලතාවකට හිස , බෙල්ලට අවනත නොවී පැද්දෙන්නට ගන්නා යාමය යනු වොඩ්කා පදමේ නිසි  මොහොතයි. ඒ මොහොතේ මට හෙට දවස ගැන , එනම් අද දවස ගැන මතක් විය. අහා !!!....එය පෝය දවසකි. නිවාඩු පාඩුවේ ගෙදරට වී සිටිය හැකි දවසකි. ඒ සන්තෝසය නිසා තවත් වඩියක් සුරුස් ගා උගුරු දඬු මාවත සෝදා ලමින්  වේගයෙන් උදර කුහරය කරා ඇදී යද්දී,  බමමින් තිබූ මගේ මොළය මාගේ ළමා කාලයට මා මෙහයවීය. ඒ ළමා කල ගැන තැබිය යුතු මුහුණු පොත් සටහන වෙරි මත මැද්දේම මගේ හිතේ ලියවුණි. ඒ සටහන අද දවසේ හොඳ සිහියෙන් ලියවෙන්නේ චූටි කෑලි මල් කතාවේ පූර්විකාව ලෙසය. සමහරවිට මෙය ඊයේ රෑම ලියවුණා නම් මීට වඩා රසවත් වීමට ඉඩ තිබේ. 


* * * * * * * * *


බඩ පැලෙන තරමට ගත් රාත්‍රී අහරේ හේතුවක් ලෙස නිදි දෙව්දුව මා කරා වේගයෙන් එලඹෙමින් සිටියාය. ඒ එළඹීමේ වේගය වැඩි කමට මම ඉඳගෙන සිටි සැටි පුටුව මතටම වී නිදි මතේ බර කිරමින් සිටියෙමි. ඒ බර උහුලාගත නොහැකි තරම් වූ කල, සැටිය මතම වැතිරී නිදි දෙව් දුව තුරුලේ සැඟවෙනවා මිස වෙන කුමක් කරන්නද?. බලමින් සිටි නාට්‍යයේ ජවනිකා ඇත්තක්ද , සිහිනයක්දැයි සිතා නොහැකි තරමින් ඇස් අඩවන් වී පුංචි මම නිදි දුවත් සමග සැටි ගත වීමි. 

"ඒයි , ඒයි ...මල්ලි නැගිටිනවා. ඇඳට ගිහින් නිදා ගන්නවා නිදිමත නම්. පුටුවෙන් වැටිලා බෙල්ල කඩා ගනී නැත්නම්".....අයියා කියවූ හෑල්ලකින් නිදි දුව සැටියෙන් පලා ගියාය. 

මම සිහින ලොවත් සැබෑ ලොවත් අතර හිරවී ගොඩ එන්නට ඳඟලමින් ඒ මේ අත බැලුවෙමි.

"දුවනවා....ගිහිල්ලා චූ කරලා බුදියගන්නාවා. හෙට ඉස්කෝලේ යන්නත් තියනවනෙ"

මොනවා....!!!!.....හෙට ඉස්කෝලේ....!!!! .....මගේ ජීවිතය තුල එතෙක් මට මුණ ගැසී තිබූ අප්‍රිය ජනකම වචනය....."ඉස්කෝලේ". මම එක වසරේ දරුවෙකු පලිගසන්නට දන්නා සෑම වචනයකින්ම හිතින් සාප කරමින් මිදුලට ගොස් චූ දමන්නට වීමි. අම්මා හැමදාම කියන්නේ ගෙයින් පුලුවන් තරම් ඈතට වෙන්නට චූ කරන්නට පුරුදු වෙන්නට කියලාය. නමුත් මම ගෙයි පඩිය මත්තෙන් එහාට යන්නට පරාණ බයය. චූ පැටියා දිහා බලන් චූ කලොත් මිස වැරදිලාවත් හිස කෙලින් කලොත් එපිටින් ඇති රාත්‍රී ඝන අන්ධකාරය ඇසට අරමුණු වේ. ඒ අරමුණු වීම යනු දහසක් බය දනවන සිතුවිලි හිත ඇතුලේ අඩව් ඇල්ලීමය. ඒ අඩව්වේ ඇරඹුම යනු චූ කිරිල්ල පැත්තක දා ගේ ඇතුලට දුවන්නට හිතෙන මොහොතය. ඉතින් චූ දිය ඇල්ලේ භාගයක් කලිසමේය. ඒ කියන්නේ අම්මාගෙන් සැර අඩු ටොක්කක් ලැබීමට සුදුස්සෙක් වීමය.නමුත් ඉස්කෝලේ යාම නමැති මහා හෙණ ගෙඩිය හිස මතට පහත් වේගෙන එන බැවින් මට රාත්‍රී කලුවර මේ මොහොතේ මහා ගැටලුවක් නොවේ. ඈත පෙනන ඝන කලුවර තුලින් මතු වෙන ඕනම යක්ෂයෙක්, භූතයෙක් හෝ මල පෙරේතයෙක් සමග වුව සටන් වැදිය හැකි ලෙස මගේ හිත කෝපයෙන් පුපුරු ගසන්නේය. මම කාමරයේ වූ ඇඳට ගියෙමි. ඇඳට මදක් ඔබ්බෙන් වූ මගේ පුංචි මේසය මත පොත් බෑගය හරි බරි ගැහිලාය. එය පිම්බී ගාම්භීරව වැජඹෙන්නේ අම්මා මගේ පොත් පත් ටික පිලිවෙලට අසුරා තැන්පත් කර ඇති නිසාය. මම කොට්ටයට තුරුලුවී පොත් බෑගයට රවමි. මගේ සිතේ අසහනය නිසාමදෝ සැටිගතවීමට හැල්මේ දිව ආ නිදි දුව , මා හා යහන්ගත වීමට අදි මදි කරයි. අම්මා කාමරයට පැමින මට රෙද්දක් පෙරවූවාය. මදුරුවන්ගෙන් මා මුදවාගනුවස් දැල්වෙන කොයිල් එක නොනිවී දැවෙන බව තහවුරු කරගත් ඈ මගේ හිස අතගා මගේ නලලත සිම්බාය.

"good night චූටි පුතේ. සැපට දොයියන්න"....ඇය යන්නට සැරසෙන්නේය.

"අම්මේ...මට හෙට නිවාඩුවක් ගන්න පුලුවන්ද ?"......මම හැමදාම අසන ප්‍රශ්නය අසමි. 

"එහෙම බෑනෙ ළමයො. ඉස්කෝලේ ගිහින් හොඳට ඉගෙන ගන්න ඕනනෙ චූටි ළමයි උනාම."

ඇගේ පොතේ ඉතින් හැමදාම ඇත්තේ බෑ කියන එකය. අපි වැනි පොඩි ළමයින්ට දින පහක ඉස්කෝල ගමනක් අවශ්‍ය වන්නේ මොකටදැයි මම හිතින් අසමි. මේ සියල්ලට වැරදි අම්මාය. මට නිවාඩුවක් අනුමත කිරීමට ඈට බැරි ඇයි. තාත්තා උදෙන්ම නැගිට වැඩට යන බැවින් මම ඉස්කෝලේ යන නොයන එක ගැන දැනගන්නට එයාට බැරිය. ඒ නිසා අම්මාට ඒ ගැන බයක් හැකක් නැතුව මට නිවාඩුවක් ලබාදෙන්නට බැරි ඇයි. මම අමමා විත්ති කූඩුවට නංවමින් හිතින් නඩු අසමි. නඩු හබ මැද්දේ මට නින්ද යනු ඇත.......



"Good morning චූටි පුතේ......කෝ කෝ නැගිටලා මේ කිරි එක බොන්න"......

මල කෙලියකි මනරම් රාත්‍රිය ගෙවිලා මුස්පේන්තු උදෑසන උදාවී ඇත. ඉතින් මොන ගුඩ් එකක්ද.

"Good morning උඹ".......මම අම්මාට සුබ පතමි.

මම දන්නා නරකම අකාරයට උදෑසනට සුබ පැතිය හැක්කේ "good morning උඹ" කීමෙනි. අම්මා සිනාසෙමින් මගේ හිස අතගා ලහි ලහියේ පිටව යන්නේ තවත් දහ්සක් වැඩ කටයුතු මේ උදෑසන ඇයට උරුමවී ඇති නිසාවෙනි. මම උකටලීව කිරි තේක තොලගාමි. ඉන්පසු අම්මාගේ අනුදැනුම යටතේ මුහුණ කට සෝදාගෙන ඇඳුම් අන්දවා සපත්තු දමන ලද මම ඇයත් සමග පාසල් හිරගෙදර වන 1-D පන්තිය කරා පිය නගමි. මාව පන්තියේ අසුනේ ඉන්දවා මගේ කොපුලට ආදරණීය හාදුවක් දී ඇය පිටව යන්නේ මගේ දෑස් අග ලොකු කඳුලු බිංදු දෙකක් එල්ලෙද්දීය. අම්මලා පිටව යද්දී බොහෝ ළමුන් යටිගිරියෙන් කෑගසමින් , යකා නැටුවෝය. උන් අම්මලා පසු පස එලවන් යාම වැලැක්වීම සඳහා ගුරුතුමියට පන්තිය දොර වසා දමන්නට වූයේ උන් සමග පොර බදින ගමන්ය. නමුත් මම කිසිදා එසේ යකා නොනටමි.  ගේට්ටුවෙන් පිටත්ව යන අම්මාගේ අවසාන ඡායා මාත්‍රය දක්වා මම බලා සිටීන්නේ ඇස් ඇග එල්ලෙන ලොකු කඳුලු බිඳු දෙකේ බරත් උහුලමිනි. නමුත් ඒ කඳුලු බිඳු කිසිදාක කොපුල දිගේ ගලන්නට මම ඉඩ නොදුන්නෙමි. කෙතරම් අකමැති පාසල් හිර කූඩුව තුල වුවත් මම මගේ දුක හෝ විරෝධය හෙලි නොකරන්නට වග බලා ගතිමි.


ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන මුලු කාලය පුරාම මම අඩු ගානේ විසි තිස් වතාවක්වත්  ගොස් ජනේලයෙන් එපිට පෙනෙන අහස දිහා බලමි. ඒ වැහි කලුවකින් අහස වැසී යන්නේද කියා බැලීමටය. එහෙත් මගේ කාලකන්නි කමට උදේට ඉස්කෝලේ ගමන කඩාකප්පල් කල හැකි ලෙස වැසි වැටුනේ නැති තරම්ය. ජනේලයෙන් එබී වැසි දෙවියන්ට කන්නලව් කරන මේ පුරුද්ද මට සාමාන්‍ය පෙළ පන්ති වලට යනකල්ම තිබුණි.  මම උදේට ලක ලෑස්ති උනේ පුලුවන් තරම් හෙමින්ය. ඒ වැසි දෙවියන්ට තම ෂවර් එක ඇරීම සඳහා වන කාලය ලබා දීමටය. ඒ කාලය තුල මම හොඳින් දන්නා සියලු සිංහල ගෞරවාර්ථ පද  පාවිච්චි කරමින් උන්නාන්සේට නොවඳිනා වැඳුම් වැන්ඳෙමි. මාගේ වැඳුම් පිඳුම් ලැබූ අවුරුදු එකොළහටම උන් වහන්සේ මගේ ඉල්ලීමට කන් දුන්නේ දවස් තුනක් හෝ හතරක් විය යුතුය. ඉතින් දෙවි දේවතාවුන් යනු තඹේකට මායිම් නොකළ යුතු කාලකන්නි අපතයන් පිරිසක් බව මට ප්‍රත්‍යක්ෂ විය. ඉන් එහාට ජීවිත කාලය පුරාම මට උන් සමග කිසිඳු පයිරු පාසානමක් ඇති නොවුණි.

අපේ ඉස්කෝලෙට ගෙදර ඉඳන් කිලෝ මීටරයක පමණ දුරක් පයින් යා යුතුය. ගොඩේ පාරවල් දිගේත් , රේල් පාර ඔස්සේත්වැටී ඇති ඒ ගමන සන්තෝෂ දායක වන්නේ යාලුවන් සමග කෙලි දෙලෙන් යා හැකි නිසාය. වැසි දිනවලදී නම් දණිහ තෙක් යටවන ගොඩ පාර දිගේ අපි ගමන් ගත්තේ සපත්තු දෙක අතින් කරින් ගෙනය. එවැනි දිනවල මා පාසල් ගියේ ඉතා සතුටිනි. මන්ද එවැනි දින වලට ළමයින් අඩු බැවින් ඉගැන්වීම් නොකෙරුනු ඇතැයි සිතාය. සිතූ ලෙසම එදාට පාසල ඇරඹෙද්දී පැමිණ ඉන්නේ ළමුන් 10ක් 12ක් පමණය. මගේ සිත සතුටින් ඉපිලේ. ඒත් සමහ කාලකන්නි මූසලයන් පැය භාගයක් පමණ පරක්කු වෙලා ඉස්කෝලේ පටන් ගත් පසුත් එවැනි දිනවලට පාසලට එන්නේය. යකෝ මෙච්චර වහිද්දිත් ඉස්කෝලේ එන්නේ උඹලාට පිස්සුදැයි අසමින් මම උන්ට බැන වදිමි. මෙවැනි මෝඩ මූසලයන් නිසා එදාටත් ඉගැන්වීමට අසරණ ගුරුවරුන්ට සිදු වන්නේය. 

සමහර දිනවල අයියා මාව ෆුට් සයිකලේ දාගෙන ගාලු පාර ඔස්සේ පදිමින් මාව ඉස්කෝලයට බස්සන්නේය. ඒ අතරමගදී මුස්ලිම් විද්‍යාලය මුනගැසෙන්නේය. තම්බි තොප්පි දමාගත් තම්බි කොල්ලෝත් , හිස ආවරනය කරගත් තම්බි කෙල්ලෝත් පාසලට ඇදෙමින් සිටිති. වේලාසන පැමිණි උන් පිට්ටනියේ සෙල්ලම් කරනු පෙනේ. මම උන් සියල්ලට සිතින් සාප කරමි. ඒ උන් මුස්ලිම් නිසා නොව උන් ඉස්කෝලේ යාම නිසාය. ඉස්කෝලේ යන හැම එකාටටමත් ඉස්කෝල හොයා ගත් එකාටත් මම හිතින් පොල් ගසමි. මේ කිනම් කරුමයක්ද?...තව අවුරුදු කීයක් මෙසේ පාසල් බඩගෑ යුතුද?

ඒ සාප කිරිල්ල හා පොල් ගැහිල්ල නැවතුනේ අපි උසස් පෙළ පන්තියට ගිය පසුය. මොකද එදවස විද්‍යා විෂය ධාරාවෙන් හරිහැටි ඉගැන්වුනේ රසායන විද්‍යාව පමණක් නිසාය. physics මිස්ට මොකක්දෝ දරුණු අසනීපයක් සෑදී අපි උසස් පෙළ පන්තියට අඩිය තියා සතියක් යද්දී පාසල් ගමන නැවත්තුවාය. combined maths ඉගැන්වූයේ අපිටත් වඩා හපන් කම්මැලි ගුරු මාතාවකි. එවැනි ටීචර්ලා තව තවත් පහළ වේවා...!!!. ඒ නිසා පීරියඩ් අටෙන් උපරිම වැඩක් කෙරුනොත් ඒ පීරියඩ් තුනකි. අනික් පීරියඩ් පහම නිකංය. අපි පොඩි කෙල්ලන්ට ලයින් දමමින්, අපේ පන්තියේ කෙල්ලන් හා උසුලු විසිලු කරගනිමින්, ඩෙස් බංකු වලට ඩ්‍රම්ස් ගසමින්, අතේ ඇති සියලු මුදල් එකතු කර කැන්ටිමටත්, ඉස්කෝල මායිමේ ඇති කඩයටත් ඒවා වියදම් කරමින්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ෆුල් ආතල් එකක් ගතිමු. එදවස මගේ ඉස්කෝල ගමනේ ඇතිව ඇති උනන්දුව ගැන අපේ අම්මා සෑහෙන සතුටු වූවාය. 

එක දවසක් අපේ ගෙදර පිරිස සාලයට වී සතුටු සාමිචියේ යෙදී උනිමු. මගේ පාසල් යාමේ උනන්දුව ගැන තාත්තාත් අම්මාත් ප්‍රශංසා මුඛයෙන් කතා කළහ. කතා බහ නිදහසේ ගලා ගිය බැවින් මමත් අපි ඉස්කෝලේ ගිහින් නිකං කාලය කන හැටි ගැන ඉතා සතුටින් විස්තර කළෙමි. මල කෙලියකි.....මා කට මැත දෙඩෙව්වා වැඩි විය යුතුය. විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වූ අපේ තාත්තාට අසූ හාරදහට මල පැන්නේය. උසස් පෙළ ඇරඹී  මාස තුනක් ගෙවෙද්දීත් අපිට physics ටීචර් කෙනෙක් නැති බව දැනගත් ඔහු කල බල විය. ඒ අව් අස්සේ මම අපේ maths ටීචර්ගේ කම්මැලි කමේ තරම ගැනත් පාරම්බා අවසානය. මෙසේ කාලය ගතවුනොත් මා උසස් පෙළ අසමත් වනු ඇති බවට ඔහු බියවිය. මේ ගැන මෙතෙක් කලක් ඔහුගෙන් වසන් කිරීම ගැන ඔහු මටත් අම්මාටත් දෙහි කැපුවේය.තාත්තාගේ ක්ෂණික තීරණය වූයේ මා පාසලෙන් ඉවත් කර ගාල්ලේ ප්‍රධාන පාස්ලකට ඇතුලත් කළ යුතු බවය. මගේ ඇස් දෙක උඩ ගොස් බිමට එන්නට සෑහෙන වේලවක් ගත විය. කට මැත දොඩවා මම ලොකුම එකෙන් ඇරගෙන ඇති බව වැටහෙන විට මා පමා වැඩිය. භයානක සිහිනයක්, නිදාගන්නේත් නැතුවම ඇස් ඉස්සරහ දිග හැරෙමින් ඇත.  

ඉන්පසු එළඹි දින කිහිපය තුල මගේ පාසල වෙනස් කිරීමේ කටයුතු වේගයෙන් දිග හැරිනි. මම නාහෙන් අඬමින් අම්මා පසු පස ගියෙමි. පාසල වෙනස් කරන්නට අවශ්‍ය නැති බවත් ටියුෂන් ගොස් උසස් පෙළ ගොඩ දාගන්නට හැකි බවත් මම අම්මාට කීවෙමි. ගාල්ලට යාම දුර ගමනක් බැවින් , එයින් මහන්සි වී මගේ ඉගෙනීම කඩාකප්පල් විය හැකි බවටද මම ඇයට අනතුරු හැඟවීමි. ඇය මගේ දුක් ගැනවිල්ල තාත්තාට ඉදිරිපත් කළාය. තාත්තාත් එය යම් පමණක බරකින් භාරගත් බව පෙනිනි. 

"හරි....මම හෙට ඉස්කෝලෙට ඇවිත් ප්‍රින්සිපල් එක්කයි, chemistry මිස් එක්කයි කතා කරන්නම්. එයාලා කිව්වොත් මෙහේ ඉඳන් වැඩේ කරගන්න පුලුවන් කියලා, අපි ඉස්කෝලේ මාරු නොකර ඉමු"........තාත්තා අවසන් තීරණය දුන්නේය.

මගේ හිතට යම් සහනයක් දැනුනි. මා පාසලේ හොඳම සාමාන්‍යපෙල ප්‍රතිඵල ලැබූ සිව් දෙනාගෙන් කෙනෙක් වීම නිසා අපේ විදුහල්පති තුමා මා ඉවත් කරගන්නවාට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. තාත්තාගේ කතාව ඇසූ ඔහු පැවසුවේ අපේ chemistry මිස් එක්කත් කතා කරලා හොඳ තීරණයක් ගන්නා ලෙසය. දැන්නම් ඉතින් වැඩේ එකෙන්ම ගොඩය. නෙළුම් මිස් මගේ ඉගෙනීම ගැන ඒවන විටත් පැහැදී සිටි නිසා මාව ඉවත් කරගන්නවාට කොහෙත්ම කැමති නොවන බව මට ඉරහඳ මෙන් විශ්වාසය. විනාඩි කිහිපයකින් පසු මමත් තාත්තාත් සිටියේ chemistry lab එකේ නෙලුම් මිස් ඉදිරියේය. තාත්තා කතන්දරය ඇයට පහදා , මා ඉවත්කර ගැනීම පිලිබඳ ඇගේ අදහස විමසීය. හහ් හහ් හා...!!!!...... දැන් උදා වෙන්නේ අපේ තාත්තාගේ කුමන්ත්‍රණය පරාජයට පත්වෙන ඒ සුබ මොහොතයි. ඔව් දැන් අපි ඇයට යොමු වෙමු,........


"හපොයි ....ලොකුම ලොකු දෙයක් සර්, දැන්ම අයින් කරගෙන මේ දරුවා හොඳ ඉස්කෝලෙකට දාන්න. මේකේ හිටියොත් නම් මෙයා විනාස වෙලාම යනවා.අපරාදේ දක්ෂ දරුවෙක්ගේ අනාගතේ....."

හෆොයි.....මට කලන්ත ගතියක් දැනුණි.නෙලුම් මිස් තවත් මොනවාදෝ කීවාක් මෙන් ඇසින. ඊලඟ සතියේ සඳුදා උදේ මම ගාල්ල බසයක් එනතෙක් බස් නැවතුමේ සිටියෙමි.






Friday, November 9, 2018

වැඩිහිටියන්ගේ දේශපාලන වන්දනාවෙන් පසු ?


2014 අග භාගය වෙද්දී මමත් අපේ ගෙදර වැඩිහිටි ඇත්තනුත් යහපාලන සරණං ගච්චාමීන් වූයෙමු. අපේ පවුලේ අනික් නෑදෑයෝ මහින්ද සරණං ගච්චාමීන් විය. ඒ කාලේ මහින්ද මාත්තියාට වචනයක් කිව්වොත් එවුන්දලා හෙවත් මහින්දගේ වැඩිහිටියෝ අපිව මරාගෙන කන්නට පැන්නාහ. මහින්ද තරම් විශ්වාස කටයුතු සහ ඇදහිය යුතු කෙනෙක් උන්ට නොසිටියේය.ඒකාලේ අපේ ගෙදර ටීවී එකේ itn news කියලා එකක් තිබුනේ නැතිය. ජනවාරි 8න් පසු යහපාලනය උදාවිය. වැඩේ කියන්නේ එදා සිට අපේ ගෙදර පෙනුනේ itn news විතරක් වීමය. එමෙන්ම එදායින් පසු මට වැරදිලාවත් අපේ ගෙදරදී මෙත්පල් උන්නැහේව විවේචනය කළ නොහැකිවිය. එසේ විවේචනය කල මොහොතවල මගේ හිස ගසා දැමීමට ඔන්න මෙන්න විය. මා ඡන්දය දුන් එකා ගැන අහිතකින් කතා කිරීම හෙන පාප කර්මයක් මෙන් සීන් එකක් විය. ඒ තරමට අපේ ගෙදර වැඩිහිටි ගහනයට මෙත්පල් උන්නැහේගේ කෙරුවාවන් විශ්වාස විය. අවංක විය. ඒවා විවේචනය කල මා නරුමයෙකු විය. මීට සති කිහිපයකට කලින් මෙත්පාල කල විකාරරූපී අගමැති සෙල්ලමෙන් පසු අපේ ගෙදර වැඩිහිටියන්ට සත්‍ය පසක් විය. එදා ඉඳන් ආයෙත් අපේ ටීවී එකේ itn news අහුවෙනේ නැතිය.
විහිලුවෙන් තහලුවෙන් මට කියන්න්ට ඇත්තේ මේ පරම්පරාවන් දෙක අතර වෙනසය. අපේ තාත්තලාගේ හෙවත් මෙරට වැඩිහිටි පරම්පරාවන් යනු කැපුවත් කොල කැපුවත් නිල් දේශපාලන උරුමය කරපින්නාගත් පරම්පරාවයි. ඒ ජන කොටසට අයිති වන්නවුන්ට තම දේශපාලන පක්ෂය සහ නායකත්වයේ කියුම් කෙරුම් දේවභාෂිතයක් හා සමානය. ඒ පරම්පරාවන් ඒ වෙනුවෙන් නැහුනේය, ගහගත්තේය, මරාගත්තේය. එනම් ඒ දේශපාලන විශ්වාසය පොළවට දැනෙන තරමින් ක්‍රියාත්මක විය. ඒ අදික විශ්වාසය ඔවුන්ව මෝහය කරා එදත් අදත් දක්කවන්නේය.
එතකොට අපි කවුද ?. අපි යනු අපේ තාත්තලාගේ පරම්පරාවෙන් පසු හිස් තැනක් වූ පරපුරෙන් පසු බිහිවූ පරම්පරාවයි. අපි දෙගොල්ලන් මැද ඇත්තේ බොහෝ දුරට විනාශවගිය පරම්පරාවක ඉතුරු බිතුරුය. උතුරේදීත් දකුණේදීත් දෙකේදීම ඒ මැද පරම්පරාවේ සවිබල කණු අති බහුතරයක් වැනසී ගියේය.ඒ වැනසුමට පසු දලු ලා වැඩුනු පරපුර මෙරට තරුණ පරපුරය. අපි අපේ වැඩිහිටියන්ගේ පූර්ණ ප්‍රතිපක්ශයය. අපිට ඔවුන්මෙන් කරපින්නාගෙන යාමට දේශපාලන දේවභාශිතයක් නැත. අපේ දේශපාලන විශ්වාසය යනු කලකිරීම, අවිශ්වාසය සහ හාස්‍යයෙන් පිරුණු කතන්දර ගොඩකි. ඒ නිසා අපිව කපා බලා කොල නිල් රතු සෙවීම උගහටය. මේ ගතවන කාලයේ හැටියට එසේ වීම දාහෙන් සම්පතකි. මෙත්පාල ලොක්කාගේ අගමැති විගඩම මීට දශක දෙකකට පෙර වූවානම් එය කරට ගන්නා තරුණ පරම්පරාව මේ වෙද්දී 20ක් 30ක් වලපල්ලට යවලාය. දේපොල වතුපිටි ගිනි තියලාය. නමුත් අපේ පරම්පරාව එසේ නොවේ. අපිට මුන් සියල්ල අවිශ්වාසය. කොටින්ම අපේ මනාපය ලබාදුන් එකාව පවා අපිට අවිශ්වාස. එනිසා උන්ගේ වියවුල් වෙනුවෙන් අත දමන්න්ට අපි පෙලඹෙන්නේ නැත. ගතවෙමින් ඇති විකාර සහගත මොහොත ගැන සිතද්දී නම් එය  වාසනාවකි.
නමුත් එහි ගැටලුවක් ඇත්තේය. දේශපාලනය යනු සාමූහික උත්සාහයන් සමූහයක් භූමියේ ක්‍රියාතමක වීමකි. මේ පවතිනා අවිශ්වාසයේ යුගය තුල තරුණයන්ගේ දේශපාලනය, භූමියෙන් විතැන්වී සයිබරය තුල කරණම් ගසන්නේය. භූමිය මත සිදුවිය යුතු යථාර්ථවාදී ක්‍රියාවලිය සයිබරයේ වූ virtual අවකාශයක හිරවීම යනු අබග්ගයකි. තවදුරටත් අපි විශ්වාස කරන හෝ නියෝජනය නොකරන දේශපාලනයක් අප අවට පැවතීම සුබ ලකුණක් නොවේ. මේ මොහොතේ පුරවැසියන් ලෙස අපි පල කරනා අදහස් යනු අපි සැබවින්ම අදහන හෝ නියෝජනය නොකරන හැඟුම් හෙවත් සයිබරයේ එහා මෙහා share වන තත්‍යසමාන වචන ගොන්නකි. අපි ඒවාට වග කියන්නේ නැත. ඒවා හුදෙක් likes , comments තකාවන අන්තර්ජාල ක්‍රියාකාරකම් කිහිපයකි.හෙට දවසේ මගේ දේශපාලන නියෝජනය හෝ අදහස්, අද දින මා නියෝජනය නොකල ඒවා වීම යනු ඒවා පිළිබඳ වගකීමක් මට නැති වීමයි. නැතිවීයන වගකීම සහ අනන්‍යතාවක් නොමැති දේශපාලන හැසිරීම් යනු දේශපාලන භූමිය නිසරු බවට පත් කරන එක්තරා පිලිලයක් වන්නේය. එම නිසරු බව නිසා නිරුදක කතරක් වන දේශපාලන භූමිය තුල අපි ඔටුවන් සේ එහා මෙහා ඇවිදින්නෙමු. වැඩිහිටියන්ගේ පරම්පරාවේ අධි විශ්වාසීය මෝහයෙන් පසු උදාවෙමින් ඇත්තේ තරුණයන්ගේ දේශපාලන හිස් බවේ මොහොතයි.

Thursday, November 1, 2018

සාපලත් කතාවක්


මේක ටික කලකට උඩදි ලංකාවේ සිදුවුණු අවාසනාවන්ත සාපලත් කතන්දරයක්. ඔබ අතිශය සංවේදී කෙනෙක් නම් මේක කියවන්න එපා.


පරිගණක ආශ්‍රිත රැකියාවක් කරපු තරුණයෙක් සිටියා. අපි ඔහුට කියමු ශාමල් කියලා. එක දවසක් පරිගණකය ඉස්සරහා වැඩ කර කර ඉද්දි ඔහුගේ ඇස් දෙක තදින් රිදෙන්න ගත්තා. ශාමල් බය වුනා තමන් අන්ධ වෙන්න යනවවත්ද කියලා. ඒ එක්කම ඔහුට මතක් වුනා තමන් ඉතා ආසාවෙන් කරන දෙයක් , අන්ධ උනොත් ඔහුට කරගන්න බැරිවෙනවා නේද කියලා. මහත් ආතතියකට පත්වෙලා හිටපු ශාමල් බර කලපනාවකට වැටුනම ඔහුට හිතුනා ජීවිත කාලයම අන්ධ වෙලා ඉන්න මිනිස්සු ඒ වැඩේ කොහොම කරනවා ඇතිද කියලා. ඒක උභතෝකෝටික ගැටලුවක් උනා ඔහුට.ඔහු වහාම තමන්ගේ හොඳම යාලුවෙක් උනු උදාරට මේ ගැටලුව chat එකේ ගහලා යැව්වා සිංග්ලිශ් වලින්,

Machan, upathinma andayek wela adinne kohomada?
මේක සංකීර්ණ ප්‍රශ්නයක් නිසා උදාරගෙන් පිලිතුරක් එන්න ටික වෙලාවක් ගතවෙයි කියලා ශාමල් හිතුවා. ඒත් හැරෙන තැපෑලෙන් reply එකක් ආවා,
Monawada ban adinne?
Chithryakda?

මේ ආපු reply එකෙන් ශාමල් අන්දුන් කුන්දුන් උනා. ආයේ මුකුත් යවන්න ගියේ නෑ ඔහු. මොකද එදා හවසට උදාරව කොහොමත් ඔහුට මුන ගැහෙන නිසා. ඉතින් එදා හවස උදාරව හම්බුනාම ශාමල් කේන්තියෙන් ඇහුවා, "මොකක්ද ගොනෝ අර අහල එවපු චිත්‍ර කතාව....තොට මං අහපු ප්‍රශ්නෙ විහිලුවක්ද , නැත්නම් තේරුනේ නැද්ද ?"

"මොකද මට නොතේරුනේ, උඹ ඇහුවේ, උපතින්ම අන්ධයෙන් වෙලා අඳින්නේ කොහොමද කියලනේ"....
"ඒකයි මම ඇහුවේ චිත්‍රද කියලා. නැත්නම් උඹ ඇහුවේ ඇඳුම් අඳින හැටි ගැනද?"


ශාමල්ට මේ කතාවට කියල නිම කරන්න බැරි කේන්තියක් ආවා. මොකද ශාමල් හිටියේ තමන් අන්ධයෙක් වෙලා තමන් කැමති දේ අහිමි වෙයි කියලා ලොකු ආතතියකින්. ඒ ආපු කෝපය පාලනය කරගන්න බැරුවුනු ශාමල්ට පිස්සු හැදුනා. තමන්ගේ හිසකෙස් පිස්සුවෙන් වගේ ඇදපු ඔහු තමන් ලඟ තිබ්බ ගිනි රස්නෙට දුම් දාන තේ කෝප්පය උදාරගේ ඇස් දෙකට විසි කලා. උදාර මර හඬ දීගෙන බිම පෙරලෙන්න ගත්තේ ලේ ගලන ඇස් දෙක අත් දෙකින් වහගෙන. පිස්සු හැදුණු ශාමල්ට ඒකේ වගේ වගක් නෑ. ඔහු පිස්සුවෙන් කැ ගැහුවා "බූරුවො මං ඇහුවෙ, උපතින්ම අන්ධයෙක්....... .....කොහොමද කියලා"
එදා හවස් වෙද්දි පිස්සන් කොටුවෙන් ඇවිත් ශාමල්ව මානසික රෝහලට අරගෙන ගියා. කොලඹ ජාතික රෝහලට ඇතුලු කරපු උදාරගේ වේදනාව ටික ටික අඩුවෙම්න් තිබුනා. ඒත ඊලඟ දවසෙ උදාර ලඟට ආපු දොස්තර කිව්වේ උදාරගේ සර්වාංගයම පන නැතිවෙන කතාවක්. ඒ උදාර සදාකාලයටම අන්ධ වෙලා කියලා. උදාරට කෑ ගැහුනා. තමන්ගෙම කෑ ගැහිල්ල මැදින් උදාරට ඇහුනා ශාමල් කෑ ගහලා තමන්ගෙන් අහපු ප්‍රශ්නෙ. "යකෝ අන්ධයෙක්...... .......කොහොමද?".....තමන්ටත් දැන් ඒ සන්තැසියම නේදෝ කියලා උදාර වැලපුනා. ඒ වැලපිල්ලට දුක හිතිලා කොලඹ තිබ්බ් වැව් අමුනු සේරම හිඳිලා ගියා....

ඔයත් මේ සාපලත් කතාව ඉවරවෙනකල් කියෙව්වද. කියවලා තවමත් තේරුනේ නැද්ද ශාමල් අහපු ප්‍රශ්නේ මොකක්ද කියලා. එහෙනම් වහාම ඔයාගේ phone එකෙන් දහ දෙනෙක්ට ශාමල් අපහු ප්‍රශ්නෙ යවන්න. එහෙම නොයැව්වොත් පැය විසි හතරක් යද්දි ඔයා පිස්සෙක් වෙයි. ඒ යවපු දහ දෙනාගෙන් එක්කෙනෙක්ටවත් ඒ ප්‍රශ්නෙ නොතේරී ඔයාගෙන් උදාර ඇහුවා වගේ වල්භූත ඇහුවොත් ඔයා අන්දයෙක් වෙයි. ඉතින් ගන්න දැන්ම phone එක අතට. Type කරන්න මෙහෙම,
Upathinma andayek wela adinne kohomada ?...

Saturday, October 27, 2018

අගමැති දොට්ට දැමීම, පොතේ ඇත්තේ කොහොමද ?

පහුගිය පෙබරවාරි සටහනක් ඔන්න ආයෙත් දානවා. ගිය පාර වැඩේ වෙන්න ගිහින් වගේ නැවතුනානෙ. මේ පාර වෙලා තියෙන්නේ කොහොමද?.
43(3) ද එයට පාදක වෙන්නේ?....
නැතිනම් ජාතික ආණ්ඩුව බිඳී යාමද?


**********************


අගමැති දොට්ට දැමීම, පොතේ ඇත්තේ කොහොමද ?





පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසුව දේශපාලන පක්ෂ අතර ඇතිව ඇති බල තුලන ආතතිය හේතුවෙන්, අගමැතිවරයා ඉවත්විය යුතුය , ඉවත් කළ යුතුය, ඉවත් කළ හැකිද , යන ප්‍රශ්න සෑම පැයක් පාසාම ඇසෙමින් පවතී. දහනවවන සංශෝධනයත් සමග යම් පටලැවිල්ලක් බවට පත්ව ඇති අගමැති දොට්ට දැමීමේ කර්තව්‍යයට බලපානා වගන්ති කිහිපය හුදී ජන දැනුම් සංවේගය තකා මෙසේ ඉදිරිපත් කරමි. 

1978 ව්‍යවස්ථාව අනුව අග්‍රාමත්‍යවරයා පත්කිරීම හා සබැඳෙන 43(3) වගන්තිය පහත පරිදිය,

43(3) පාර්ලිමේන්තුවේ යම්කිසි මන්ත්‍රීවරයෙකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කෙරේද ජනාධිපතිවරයා විසින් ඒ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ධූරයට පත්කළ යුත්තේ ය.

1978 ව්‍යවස්ථාව අනුව අග්‍රාමත්‍යවරයා ඉවත්කිරීම හා සබැඳෙන  47වැනි වගන්තිය පහත පරිදිය,

47. අග්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක් හෝ වෙනත් යම් අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්,-

         (අ) ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවොත්
                ; හෝ 

     (ආ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් අස්වූහොත් ; හෝ

  (ඇ) තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු නොවුවහොත් ; හෝ 
මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය අණ්ඩලය පවතින්නේද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේය.

2015 වසරේ සිදුවූ 19වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මේ පත්කිරීම්, ඉවත්කිරීම් හා සබැඳෙන වගන්ති යම් ප්‍රමාණ වලින් වෙනසක්ම් වලට භාජනය වී ඇත.
ඒ අනුව අගමැතිවරයා පත්කිරීම හා සබැඳෙන 42(4) වගන්තිය මෙලෙසය,


42(4 ) ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය.

19වන සංශෝධනයට අනුව අගමැතිවරයා ඉවත් කිරීම හා සබැඳි 46(2 ) වගන්තිය පහත පරිදි වේ,

46(2)  අග්‍රාමාත්‍යවරයා -

           (අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය                          ධූරයෙන් ඉල්ලා අස්වූහොත් ; හෝ

      (ආ) තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු නොවුවහොත් ; හෝ 
මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය අණ්ඩලය පවතින්නේද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේය.

අගමැති පත්කිරීම හා ඉවත්කිරීම සම්බන්ධයෙන් ඇති ඉහත වගන්ති දෙක අතර ගැටුමක් ඇති බව පෙනේ. පත්කිරීමේදී ජනාධිපතිවරයාගේ කැමැත්ත අනුව පත්කෙරෙන අගමැතිවරයා, ඉවත්කිරීම සම්බන්ධයෙන් ජනපතිට පැහැදිළි බලතල තිබේදැයි ප්‍රශ්නයක් පැන නගී. ඔහුට කැමති කෙනෙක් පත්කිරීමට බලය තිබුණද, මුල් අවස්ථාවකදී පත් කළ තැනැත්තෙක් සිය කැමැත්තෙන් ඉලා අස්නොවුනහොත් දෙවැන්නෙක් පත් කිරීමට ජනපතිට බලයක් තිබේද?....1978 මුල් ව්‍යවස්ථාවේ අගමැති ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනපතිට තිබූ පැහැදිළි බලය 19 සංශෝධනය තුල යම් හිරවීමකට ලක් කර ඇතැයි වචනාර්ථයෙන් බලන කළ පැහැදිලිව පෙනේ. මේ අවුල විසඳා ගැනීමට නීති විශාරදයන් තව වගන්තියක සහය පතන බව දැකිය හැක. එයින් බලාපොරොත්තු වෙන්නේ 46(2)හි අන්තිමට කියවෙන "යම් තාක් කල් අමාත්‍ය අණ්ඩලය පවතින්නේද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේය" කියන කොටස පාවිච්චියට ගන්නේ කෙසේදැයි විග්‍රහ කිරීම. මොකද අමාත්ය මණ්ඩලය නොපවතින අවස්ථාවක අගමැති තනතුර නොපවතී කියන තර්කය.  ඒ සඳහා ඔවුන් උපයෝගී කරගන්නේ 19වන සංශෝධනයේ ඇති 43(3 ) වගන්තිය.

43(3) ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බලනොපාන්නේය.


මේ වගන්තිය තුල මේ වන විට සංවාදයට ලක්වෙන කාරණය තමයි, මෙහි සංයුතිය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියන එක. සමහරුන් නගන තර්කයක් වෙන්නේ මේ සංයුතියට අගමැතිවරයාත් ඇතුලත් කියන එක. ඔවුන්ට අනුව අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් මේ සංයුතිය වෙනස් කිරීම තුලින් ඉවත් මාරු කළ හැකියි. තවත් තර්කයක් වන්නේ මෙහි සංයුතිය යනු රසායන විද්‍යාවේ අපි ඉගෙන ගන්න සංයුතියේ අදහස් වෙන යම් යම් සංඝටක වල අනුපාතය වගේ, අමාත්‍යධූර අනුපාතවල එහා මෙහා වීමක් මිස ඇමතිවරු ඉවත් කිරීමක් නොවෙයි. ඒ නිසා 43(3 )ට එද්දි නැවත හිර වෙනවා සංයුතිය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න. සැබවින්ම ඇමතිවරු ඉවත් කිරීම සම්බන්ධයෙන් වෙනම වගන්තියක් 19වන සංශෝධනයේ ඇතුලත් වෙනවා. ඒ නිසා 43(3)හි කියන සංයුතියයනු කුමක්ද යන්නත්, අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට ඉන් හානි නොවේකියන කොටසත් අගමැති ඉවත් නොකළ හැකියි කියන අය ගේන තර්කයක්. ඇමතිවරුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වෙන 46(3 ) වගන්තිය මෙන්න මෙහෙමයි,


46(3) අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක්, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් නොවන අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්-

    (අ) අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවනු                          ලබන ලිපියක් මගින්, ඉවත් කරනු ලැබුවොත් ; හෝ

                (ආ ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වූහොත් ; හෝ

          (ආ ) තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු නොවුවහොත් ; හෝ 
මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය අණ්ඩලය පවතින්නේද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේය.


මේ වගන්තිය අනුව ජනාධිපතිවරයාට හිතුමතේ ඇමතිවරුන් ඉවත් කරන්න නොහැකියි. එම නිසා එය 43(3 )හි වාසිය සොයන අයට යම් බලපෑමක් එල්ල කරනවා. 


ඔය විදිහට තමයි මේ දවස් වල ක්‍රියාත්මක වන, සංවාද ගත වන, අගමැති දොට්ට දැමීමේ සෙල්ලමේ හරඹදාන වගන්ති සමූහය ලියවිලා තියෙන්නේ. මීලඟ  දින කිහිපය ගත වන විට නීති විශාරදයන්ගේ උපදෙස් මත මේ ප්‍රශ්නය විසඳගන්න පුලුවන් වෙයිද නැතිනම්  ව්‍යවස්ථාව අර්ථ නිරූපන බලය ඇති ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා මේ අවුල ඔඩු දුවයිද කියලා අපිට බලන් ඉන්න වෙයි.  ඒ තරම් දුර නොයා මේක සාමදානෙන් විසඳගන්න පුලුවන් වගේම පාර්ලිමේන්තුව තුලදී සිදු කල හැකි නූල් සූත්තර කිහිපයකිනුත් මේක විසඳගන්න පුලුවන් බවත් අමතක කරන්න නරකයි.

Sunday, September 30, 2018

නවක වදය ගැන






මේ සටහන ලියන්න පාදක වෙන්නේ සැප්තැම්බර් 12වෙනිදා විකාශය වුනු දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසහනයි. සරසවි නවක වදය කියන්නේ පහුගිය මාසය තුල මෙරට ජනතාව සහ සමාජ මාධ්‍ය සත්වයන් සියලු දෙනා පාහේ උඩ දාගෙන තලපු මාතෘකාවක්. මේ වෙද්දි ඒ මාතෘකාවේ උණුසුම පහවෙලා ගිහින්. උණුසුම පහ වුනු මේ වගේ වෙලාවක් තමයි එවැනි ආන්දෝලනාත්මක මාතෘකා ගැන කතා කරන්න තියන හොඳම කාලේ වෙන්නේ.  මොකද මේ වගේ වෙලාවක තමයි තම තමන්ගේ පක්ෂපාතීත්වයන්, න්‍යාය පත්‍රයන් පොඩ්ඩකට බිමින් තියල නිස්කාන්සුවේ මෙවැනි ප්‍රශ්න දිහා බලන්න පුලුවන් වෙන්නේ.

එදින සාකච්ඡාව ආරම්භ කලේ මේ මතෘකාව බෝම්බයක් ගැහුවා වගේ එලියට ගන්න ක්‍රියා කරපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයා. එතුමා අතිශය සාම්ප්‍රදායික දේශපාලකයෙක් වගේ මේ මාතෘකාව පැටලෙව්වා. ඒ කියන්නේ ඔහුගේ කතාවෙදි ඔහු රටේ උසස් අධ්‍යාපනයේ තියන ගැටලු කන්දරාවම නවක වද ක්‍රියාවලිය නිසා ඇතිවෙන්නක් ලෙස අර්ත ගන්වන්න හැදුවා. එතුමා කියන විදිහට පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඇති ඉල්ලුම වැඩි වීම, රජයේ වි.වි වල දරුවන්ගේ ඉංග්‍රීසි හැසිරවීමේ දුර්වලතාව, රැකියා වෙලඳපොලේ රැකියා සඳහා වැඩි අවස්තාවක් පෞද්ගලික වි.වි සිසුන්ට ලැබීම ආදී සියල්ල සිදුවන්නේ නවක වදය නිසා. රටේ උසස් අධ්‍යාපන ප්‍රමිතියේ සහ ක්‍රියාවලියේ ඇති ව්‍යුහාත්මක ගැටලු නිසා ඇතිවන මෙවැනි ප්‍රශ්න නවක වදය මත පැටවීම කියන්නේ , නවක වදය කියන කරුණ සම්බන්ධයෙන් පෙනී සිටින අයට කරන උදව්වක්. මන්ද, එවිට නවක වදය නම් නිශ්චිත ගැටලුව උසස් අධ්‍යාපන ක්‍රියාවලියේ ගැටලුත් සමග මුසු වෙලා අතිශය තනුක වෙනවා. අමාත්‍යවරයාගේ මේ ප්‍රවේශය මේ ප්‍රශ්නය අවුල් කරලා මාතෘකාව වෙනත් දිශාවකට ගෙනයන විහිලුවක් බවට පත් වෙනවා.

උදාහරණයක් විදිහට මෙරට සරසවි බොහෝ ප්‍රමාණයක පාඨමාලා පැවැත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. දේශන, විභාග, presentation , viva මේ සියල්ල සිදු කෙරෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එවැනි ක්‍රියාවලියක් තුල සිසුන්ට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අවම හෝ නිපුණතාවක් ලබා ගැනීම අනිවාර්‍‍ය වෙනවා. ඒ සඳහා ඔවුන්ගේ ස්ව්‍යං පෙලඹුමක් ඇති කිරීමට අදාල තත්වයන් විසින් පොළඹවනවා. ඒ අවමයවත් ඔවුන් ලබා නොගන්නේ නම් එය එම වි.වි වල ඇගයුම් ක්‍රියාවලියේ ඇති දුර්වලතාවයක්. ඒ කෙසේ වෙතත් අප මතක තබා ගත යුත්තේ වි.වි යනු ඉංග්‍රීසි උගන්වන තැන් නොවන බවයි. අවුරුදු 13කටත් වඩා කාලයක් ඉංග්‍රීසි භාෂාව පාසල් මට්ටමෙන් සහ ටියුෂන් පන්ති වලිනුත් ඉගෙන ගෙන පැමිනෙන සිසුන් ඉංග්‍රීසි කෙරෙහි දුර්වලතාවෙන් පෙලීම ලංකාවේ සුලබ කරුණක්. ඉන් බොහෝ දෙනෙක්ට අත්තේ කථනයේ දුර්වලබව. එයට ප්‍රධාන හේතුව වන්නේ ඉංග්‍රීසි කථන මාධ්‍යයක් ලෙස පාවිච්චි නොවීම.  එම අඩුව වි.වි වලින් පිරවිය හැකිනම් එය කල හැකිවන්නේ අදාල ඇගයුම් ක්‍රියාවලි තදින් සිදුවී ඒ හරහා ඉංග්‍රීසි කතනයේ ව්‍යක්ත බවක් ලබාගැනීමට සිසුන් පෙලඹවීම හරහා පමණයි. ඇතැම් වි,වි වල නවකවද සමය තුල පුස්තකාලයට ඇතුලු වීම නවකයන්ට තහනම් කරන අවස්ථා මෙරට වි.වි පද්ධතියේ දක්නට තිබෙනවා. නමුත් එය අමාත්‍යවරයා පවසන ලෙස මුලු විශ්ව විද්‍යාල කාල සීමාවටම අදාල වන්නක් නෙවෙයි. මාස කිහිපයකට ක්‍රියාත්මක වෙන මේ අත්තනෝමතික තහනම සහ ඉංග්‍රීසි ප්‍රවීනතාව අතර කිසිඳු සම්බන්ධයක් නෑ. එනිසා අමාත්‍යවරයා සඳහන් කරන පරිදි පුස්තකාල වලට සිසුන් ඇතුල්වීම වලකන ක්‍රියාවලියක් පැවතීම සහ ඒ නිසා ඉංග්‍රීසි බැරිවීම යන කල්පිතය විසුලු සහගතයි. මොකද සිසුන්ට තවත් අවුරුදු 3ක්ම තිබෙනවා ඉංග්‍රීසි ප්‍රවීනතාව ලබා ගැනීමට. නමුත් එය සිදු නොවන්නේ ඉහත සඳහන් කල ඇගයුම් ක්‍රියාවලීන්හී පවතින දුර්වලතාව සහ කථන මාධ්‍යක් ලෙස ඉංග්‍රීසි භාවිතවීමේ අඩුව. මෙලෙසම අමාත්‍යවරයා පෞද්ගලික විශ්ව විද්‍යාල ඉදිරියට දමමින් පෙන්වන රැකියා වෙලඳපොලේ ගැටලුවත් නවකවදයට සම්බන්ධයක් නැති වර්තමාන ආර්ථිකය හා සම්බන්ධ කරුණු. අදාල නොවන මෙවැනි කරුණු කාරනා නවකවදයත් එක්ක ගැටගසන්න යාමෙන් සිදුවන්නේ සරසවි නවක වදය නමැති ඊනියා සංස්කෘතික ව්‍යායාමයට අදාල තීරණාත්මක සංවාදය වැලලී යාමයි. සැබවින්ම මෙවැනි අදහස් පල කිරීමෙන් සිදුවන්නේ ඇමතිවරයාත් නවක වදයට ආවැඩීමක් පමණයි. මන්ද මේ කරුණු හරහා නවක වද සම්භාෂකයන්ට ඉතා හොඳ ඉඩක් විවර කර දෙනවා වෙනත් පාරවල් වල යමින් නවක වද කාරනා යටපත් කරන්නට.

එනිසා අලුත් පාර්ලිමේතුව සංවාදයේදී ඉතා වැදගත් ප්‍රවේශයන් ගනිමින් නවක වද සම්භාෂකයන්ට අභියෝගයක් එල්ල කලේ නිර්මාල් සහ චරිත හේරත් යන ආචාර්‍‍යවරුන්.  විශේශයෙන් පසු ගිය දශක දෙකක පමණ කාලය තුල සරසවි නවක වදය යනු ඉතා සංවිධානත්මක ලෙස සිදුවන ක්‍රියාවලියක් ලෙස ස්ථාපිතව තිබෙන්නක්. එය මුල් අවධියේ මෙන් තැනින් තැන සිදුවූ හුදකලා සිදුවීම් වල එකතුවක් නොවෙයි. මේ වෙද්දි එම ක්‍රියාවලිය නියමිත කාල සටහනකට සිදුවන විදිමත් වැඩපිලිවෙලක්. එය අනිවාර්‍යයෙන් සිදුවිය යුතු වතාවතක් ලෙස සරසවි සිසුන් අදහනවා. නවකවදයට ගොදුරු වන සමයේදී මේ සියලු දෙනා සිටින්නේ එය කවදා නිම වෙයිදෝයි සිතමින්, ජේෂ්ඨයන්ට සාප කරමින් වුවත් නවක වද ක්‍රියාවලිය අවසන් වන්නේ ඉතා උත්කර්ෂවත් මුවගට සිනහ ගෙන දෙන සහෝදරාත්මක අවසානයක් සමගින්. මෙන්නේ මේ අවසානය සහ එතනින් එහාට ගෙවෙන සුන්දර අවුරුදු කිහිපය නවක වද කාල සීමාව තුල ඔවුන් ගොදුරු වූ ප්‍රචණ්ඩත්වයන් සහ මානසික ආතතීන් අමතක කරවන්න සමත් කරවනවා. වඩාත්ම උත්ප්‍රාසාත්මක කාරණය වන්නේ නවක වද සමය තුල තමන් විඳි ගැහැට නිසා  සමහර ජේෂ්ඨයන්ට හිත යටින වයිර කරන සිසුන් පවා තමන්ගේ පසු පරම්පරාවට නවක වදය දිය යුතු බව තරයේ ඇදහීමයි. ඉන් සමහරෙක්ගේ මතය වන්නේ තමන් රැග් උනා නම් ඉන් පසු පැමිණෙන අයත් අනිවාර්‍යයෙන් රැග් විය යුතු බවයි. නිර්මාල් මතු කල කාර්ණයක් මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් වෙනවා. එනම් මේ සිසුන් දන්නේ නෑ තමන්ගෙන් පසු පරම්පරාව සමග ගනු දෙනු කල යුත්තේ කෙසේදැයි යන වග. ඔවුන්ට හිංසනය හැර වෙන විදිහක් ඊට හිතා ගන්න බෑ. දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වෙන මේ ප්‍රතිගාමී පුරුද්ද සංස්කෘතික ලක්ෂණයක් ලෙස කිඳා බැසීමේ ප්‍රතිඵලයක් තමයි මේ හැසිරීම. 

නවක වදය සම්බන්ධ විවාද පැන නගින විට එහි මූලිකම වග උත්තර කරුවෙක් ලෙස චෝදනාවට ලක් වෙන්නේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය. කලින් සතියකදී කිව්වත් වගේ අන්තරය සෑම කාලයකම පාහේ කියා සිතින්නේ තමන් නවක වදයට ඉඳුරාම විරුද්ධ බව. ඒ වගේම ඔවුන් කියා සිටිනවා නවක වදය සරසවි වලින් තුරන් කිරීමට තමන්ට තනිවම නොහැකි බව. ඔවුන් ඒ සඳහා ආචාර්‍ය වරුන්ගේ , බුද්ධිමතුන්ගේ දාර්ශනික ප්‍රවේශයක් බලාපොරොත්තු වෙනවා. රටේ අධ්‍යාපනය සම්බන්ධ ගැටලු බොහොමයකට රජයේ මර්ධනකාරී යාන්ත්‍රණයන් සමග පවා නොබියව හැප්පෙන, ඉතා ශක්තිමත් ජන සමූහයක් වෙන අන්තරය, තමන්ගේ අඩවියේ ඇති නවක වදය තුරන් කිරීමට රටේ සහය ඉල්ලමින් ඉල්ලමින් පණ නැති හැසිරීමක් පෙන්වන්නේ ඇයි. ?... ඒ වෙනෙකක් නොව තම ශිෂ්‍ය ව්‍යාපාරය වටා සිසුන් ගොනු කර ගැනීමේ යටි පෙල ව්‍යාපෘතියක් ලෙස නවක වදය ඔවුන්ට උපකාර වීමයි. අන්තරය වටා සිටින සෑම විශ්ව විද්‍යාලයකම මහා ශිෂ්‍ය සංගම් තම විශ්ව විද්‍යාලයේ ඇති නවක වද ක්‍රියාවලිය ගැන හොඳින්ම දැනුවත්. ඔවුන් මේ ශිශ්‍ය සංගම් වලට පත්වන්නේ පිටින් ඇවිත් නොවෙයි. ඔවුනුත් එම වි.වි වලම ඉගෙන ගන්න ශිෂ්‍යන්. නමුත් ඔවුන් නවක වද ක්‍රියාවලියට එරෙහි බරපතල මැදිහත් වීමක් සිදු නොකරන්නේ ඒ හරහා ගොඩ නගන එකමුතුව ඊලඟ අදියරේදී තම බලය පවත්වාගෙන යාමට රුකුලක් වන නිසයි. අතිශය හිංසාකාරී අංග නවක වද ක්‍රියාවලිය තුලින් ඉවත් කරන්න අදාළ සිසු සංගම් මැදිහත් වුනත් නවක වදය මුලිනුපුටා දැමීමේ අදහ්සක් ඔවුන්ට නැත්තේ ඒ නිසා.

කරුණු මෙසේ වෙද්දී බොහෝ දෙනාගේ මතය වෙන්නේ නවක වදයට සම්බන්ධ අයවලුන්ට දැඩි ඳඬුවම් පැමිණවීමෙන් මේ තත්වය තුරන් කල හැකි බව. නමුත් මගේ අදහස වෙන්නේ දැඩි ඳඬුවම් හඳුන්වා දෙමින් එසේ කළ නොහැකි බව. S.B . දිසානයක්ගේ කාලේ ඔහු සරසවි ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමේ ව්‍යාපෘතියක් පටන් ගත්තේ නවක වදය ඊට ඉත්තෙක් කර ගනිමින්. එවකට ශිෂ්‍යන් බුරුතු පිටින් පන්ති තනමට සහ ශිෂ්‍ය බාවය අහෝසි කිරීම් වලට ලක් වුනා. නමුත් ඔහුගේ මර්දන න්‍යාය පත්‍රය ඉදිරී ගිය ගමන් එමෙන්ම එම මර්දන ක්‍රියාවලිය අතරතුරත් සරසවි වල නවක වදය ක්‍රියාත්මක වුනා. සමාජයේ බොහෝ දෙනෙක් සිතන්නේ දැඩි ඳඬුවම් පැමිණවූ පසු , හොරකම්, ස්ත්‍රී දූෂණ සහ මිනී මැරුම් මෙන් නවක වදයත් අඩු කර දැමිය හැකි බව. නමුත් නවක වදය මේ අනෙකුත් වැරදි වලින් වෙනස් වන කරුණක් තියනවා.  හොරකම, මිනී මැරීම, දූෂණය ආදී දේ වැරදි දේවල් විදිහට සමාජය පිලි ගන්නවා. රජයෙන් ඊට දැඩි ඳඬුවම් දුන්නත් නැතත්, සංස්කෘතික ගොඩ නැංවීම විසින් ජනයා අවබෝධ කරන් තියනවා ඒවා වැරදි ක්‍රියාවන් ලෙස. එනිසා කවුරුත් ඒවා කල යුතුයි හෝ පැවතිය යුතුයි කියලා රහසෙන්වත් පෙනී සිටින්නේ නැහැ. නමුත් නවක වදය එසේ නෙවෙයි. සරසවි සිසු ප්‍රජාව මෙන්ම ආදි විද්‍යාර්තයින් පවා නවක වදය වරදක් ලෙස දකින්නේ නෑ. මුලදී කිව්ව විදිහටම නවක වද අවසානය ඔවුන්ගේ සිතේ ධාරණය වී ඇත්තේ අතිශය සුන්දර අත්දැකීමක් විදිහට. ඒ හැඟීම නවක වද ක්‍රියාවලිය තුල තිබ්බ පීඩාකාරී තැන් අමතකකර,නවක වදය සාදාරණීකරනය කිරීමට ඔවුන්ව පොළඹවනවා. ඒ නිසා තමයි එයට නවක නම්නීකරණය, නවකයන් පිලිගැනීම වගේ යෙදුම් පවා යෝජනා වන්නේ. එය ඳඬුවම් පැමිණවිය යුතු වරදක් ලෙස ඔවුන් දකින්නේ නැහැ. එලිපිට වරදක් ලෙස පිළි ගත්තත්  හිත යටින් එය ඔවුන්ගේ සිතේ ස්ථාපනය වී ඇත්තේ සුන්දර අත්දැකීමක් විදිහට. මේ ස්ථාපනය විසින් බැහැර කරන්නේ නවක වද ක්‍රියාවලිය තුල එය දරගත නොහැකිව කඩා වැටී ජීවිතය අඳුරු කරගන්නා සිසුන්ගේ ශෝකාලාපය. අති බහුතර සරසවි සාමූහික විඥානය විසින් මේ පීඩිතයන් ගැරහීමට සහ අවඥාවෙන් බැහැර කිරීමට ලක් කරනවා. එය හරියට ආගම් සහ ජාතීන් විසින් තමන්ගේ කල්ලිය සහ එහි ඇවතුම් පැවතුම් රැක ගැනීමට ගන්නා ප්‍රතිගාමී ප්‍රවේශයන් හා සමානයි. යම් ක්‍රියාවක්, අදාල සමාජය විසින් වරදක් ලෙස නොදකින්නේ නම් කෙතරම් නීති රීති ක්‍රියාත්මක කලත් එය වලක්වාලිය හැකි වන්නේ නෑ. තමන් නියෝජනය කරන හෝ කල සමාජ කුලකයන් වල අගතීන් විචාරාත්මකව දැකීම ඉවතලන තාක් වඩා යහපත් හෙටක් දවසක් යනු සිහිනයක්. මේ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි විශ්ව විද්‍යාල වල ඊනියා උප සංස්කෘතිය අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හකුලා ගනිමින්  මුග්ධ භාවය කරා පිය නගන්නේ. ඒ අතින් බලන කල අන්තරය යෝජනා කරන දාර්ශනික සාකච්ඡාව සරසවි වල සිදු වීම අත්‍යාවශ්‍යයි. නමුත් එහි සාර්ථක භාවය රඳා පවතින්නේ අන්තරය ප්‍රමුඛ ශිෂ්‍ය සංගම් කෙතරම් සද්භාවයෙන් ඊට මැදිහත් වෙනවාද කියන කාරණය මත.






Sunday, September 9, 2018

ජනබලය මොකටද ?




ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජන බලය කොළඹට නම් ව්‍යයාමය පසුගිය පස් වෙනිදා රාත්‍රියේදී නිමාව දුටුවේය. එය ව්‍යායාමයක් ලෙස හැඳින්වූයේ එම ක්‍රියාව හඳුනාගත හැකි වෙනත් විශේෂ නමකින් නම් තබන්නට නොහැකි නිසාය. එය රැලියක්ද, පාගමනක්ද, විරෝධතවක්ද නැතිනම් වටලෑමක් ද කියා හරිහැටි හඳුනාගැනීම අසීරුය. පවැත්වුනේ ඉන් කුමක් වුවත් ඊට අති විශාල ජනතා සහභාගීත්වයක් ලැබී තිබුණි.  දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනයාගේ සහභාගීත්වයෙන් බල නැංවුනු ජන බලය ව්‍යායාමය ගැන මේ වෙද්දී බොහෝ පශ්චාත් විවේචන සහ කිරා මැනීම් සිදුවන්නේය. ආණ්ඩුවට හිතවත් පාර්ශව බොහොමයක් මේ ව්‍යායාමය විහිලුවට ලක්කරන්නේ "කෝ ආන්ඩුව පෙරලුනාද ?', "මහින්ද අගමැති උනාද ?" කියා අසමිනි. තවත් කොටසක් පාරම් බාන්නේ ජන බලය ව්‍යායාමය ආණ්ඩුවට දශමයක බලපෑමක්වත් කිරීමට අසමත්වූ බවයි. එහෙන් මෙහෙන් ඇහෙන සමහර කතාවලට අනුව ජන බලය බලගැන්වූ ඇතැම් ජනතාවද සිතා ඇත්තේ ආණ්ඩුව පෙරලන ගමනක් සඳහා තමන් දායක වන බවයි. . සැබවින්ම ජන බලයේ අරමුණ වූයේ ආණ්ඩු පෙරලීම හෝ ආණ්ඩුව බිය ගැන්වීමද?. මට නම් හිතෙන්නේ නැත කියාය. ජන බලය කොළඹට යනු ඒකාබද්ධ විපක්ෂය මේ මොහොතේ තමන් පත්වී ආතතියෙන් මිදෙනු වස් සිදුකල මානසික ස්ව්‍යං වින්දනයක් මිස අන් කිසිවක් නොවේ.

පසුගිය පෙබරවාරි මාසය යනු ඒකාබද්ධය යලි පණ ගසා ආ මාසයයි. 2015 වසරේදී මුහුණ දුන් විශාල පරාජයන් දෙකකින් අනතුරුව , ඒ පසු බෑම ආපස්සට හැරවූ සටන වූයේ පසුගිය පළාත් පාලන මැතිවරණයයි. ශීලනිපයෙන් ඉවත් වී හදිසියේ අටවාගත් පක්ෂයක් සහ එහෙන් මෙහෙන් හොයාගත් අපේක්ෂකයන් සමග ඒකාබද්ධය ලැබූ ජය එසේ මෙසේ එකක් නොවේ. එය ඔවුන් පවා බලාපොරොත්තු නොවූ යළි නැගී සිටීමකි. ආණ්ඩුවේ පාර්ශවයන් විවිදාකාරයේ ඉලක්කම් හරඹයන් දමා රටේ ජනයාගෙන් වැඩි කොටසක් එම මැතිවරණයෙන් ඒකාබද්දය ප්‍රතික්ෂේප කර ඇති බව පවසන්නට වලි කෑවත්, ඒකාබද්ධ පොහොට්ටුව කිසිවෙකු නොසිතූ අයුරින් පිපෙන්නට පටන් ගත් බව ඒ කවුරුත් හොඳින් දනී. එනිසා 2020 දෙස අතිශය බලාපොරොත්තු සහගතව බැලීමට ඒකාබද්ධයට අවස්ථාවක් ලැබුණි. සැබවින්ම මෙහි ඒකාබද්ධය යනු මහින්ද රාජපක්ෂ මිස අන් කිසිවක් නොවන බව කුඩා ළමයෙකු පවා දන්නේය. පළාත් පාලන මැතිවරණය සඳහා පොහොට්ටුවෙන් ඉදිරිපත්වූ බොහෝ අපේක්ෂකයන් ඇහින්දාස් ක්‍රමයට දැමූ හෝ ඒ ඒ පළාත් වල සායම හෝදාගත් මිනිසුන්ය. ඒත් 'මහින්ද' සාධකය ඒ සියලු අබල දුබලතා අමතක කර පොහොහොට්ටුව ඉදිරියෙන් කතිරය ගැසීමට මිනිසුන්ව පෙලඹවීය. ඒ නිසා 2020 පැවැත්වෙන මහා කඩුලු දෙක පනින්නට ඒකාබද්ධයට, මහින්ද රාජපක්ෂ අත්‍යවශ්‍ය සාධකයකි. 

මහින්ද ඊට උපරිමයෙන් සහාය දෙන බව පෙනෙන්නට තිබේ. තමාගේ බල තන්හාව නිසා ඒකාබද්ධයත් සමග තැලෙමින් පොඩිවෙමින් මේ මඩ ගොහොරුවේ ඔහු තවමත් පිනුම් ගහයි. පලාත් පාලන මතිවරණයෙන් කෙතරම් සිත පිනායන ප්‍රතිඵලයක් ලැබුණත්, මහින්ද සාධකය ගැන ඇති විශ්වාසය සිය ගුණයකින් තවවුරු උනත්, 2020දී තමන්ට හමුවෙන ප්‍රථම කඩුල්ල ඔවුන් බියටත් අසහනයත් පත් කරන එකකි. එනම් 2020 ජනාධිපතිවරණයයි. ජනාධිපතිවරණය යනු මුලු රටම එක් ඡන්ද කොට්ඨාසයක් බවට පත්වී එක් පුද්ගලයෙකු වෙනුවෙන් තම තමන්ගේ කැමැත්ත පල කරන අවස්ථාවකි. ඒකාබද්ධය සතු මහා බලවත් ජන ආකර්ෂණීය සුපිරි තරුව වන මහින්දට ඊට ඉදිරිපත්විය නොහැක. මහින්දට බැරි නම් එයට යම් තරමකින් හෝ උත්සහ කල හැක්කේ රාජපක්ෂ නම ඇති වෙනත් කෙනෙකුට බව පැහදිලිය. ඔවුන් සතු ජනප්‍රියම විකල්පය වන්නේ ගෝඨාබයයි. නමුත් ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය ජනපති තරඟ බිමට පිවිසීමේ හැකියාව පිළිබඳ ගැටලු මතුකරයි. ඒ අතරම පක්ෂයේ යම් කොටසක් ඔහුගේ ජනපති ආගමනයක් සඳහා විරුද්ධ බව පැහැදිලිවම පෙනෙන්ට තිබේ. 

එම විරුද්ධ පාර්ශවයේ තේරීම වන බැසිල් රාජපක්ෂද ද්විත්ව පුරවැසිභාවය නිසා ජනපති සටනට වරම් ලැබීමේ ගැටළුවට මුහුණ දීමට නියමිත චරිතයකි. එමෙන්ම ඔහුටත් පක්ෂයේ පූර්ණ සහයක් නොලැබෙන බව පැහැදිලිය. ඒ දෙදෙනාටම බැරි නම් නාමල් රාජ්පක්ෂ විකල්පයක් විය හැකිමුත් 2020 වන විටත් ඔහු වයස අවුරුදු 35 සම්පූර්ණ නොකරයි. එසේ සම්පූර්ණ වුවත් ඔහුට වඩා අත්දැකීම් බහුල නායකයන් රැසක් ඇති ඒකාබද්ධය ඔහු යටතේ බල ගැන්වේදැයි සැක සහිතය. එසේ නම් ඔවුන් සතු තරඟකරුවා චමල්ද ?, නැතිනම් පක්ෂයේ වෙනත් ජේෂ්ඨ සාමාජිකයෙක්ද?....2020 මහ කඩුල්ල තරණය කිරීමේදී ඒකාබද්ධය පැටලී සිටින මහා ජංජාලය එයයි. මේ වන විටත් පක්ෂ මධ්‍යය තුල මේ අරඹයා උණුසුම් මත ගැටුම් ඇති බවට සැක නැත. පක්ෂ ජේෂ්ඨයන් තැනින් තැන සිදු කළ ප්‍රකාශ වලින් එය ටිකෙන් ටික පිටතට කාන්දු වෙමිනි පසු ගිය කාලය ගෙවුනේ. පෙබරවාරියේදී නැවත  තමන් අතට ආ බලය , කටට දමාගන්න හොඳටම අවස්ථාව තියෙද්දී එය ගිලිහී යාමේ බයානක සිහිනය හැබහින් දකින්නට වේදෝයි යන කම්පනයෙන් පක්ෂ මධ්‍යය පීඩා විඳින බවට සැක නැත.

පක්ෂ මධ්‍යය මෙවැනි තාක්ෂණික සහ පක්ෂපාතීත්වයන් පිළිබඳ අර්බුධයකට මුහුණ දුන්නද පක්ෂය වටා එකතුවී ඇති ජනයා ඉතා උනන්දුවෙන්, ජවයෙන් 2020දී ආණ්ඩුවට බැටේ දීමට සැදී පැහැදී සිටින බව පැහැදිළිය.මෙවැනි ත්ත්වයක් යටතේ පෙබරවාරියේදී ලද ජයග්‍රහණයත් සමග ආ ගැම්ම තවදුරටත් පවත්වා ගැනීම අනිවාර්ය කරුණක් බව ඒකාබද්ධය දනී. සරළ සිංහලෙන් කියනවා තම පාක්ෂිකයන් warm down වෙන්න නොදී තියා ගත යුතුය. අභ්‍යන්තරයේ ඇති බල අරගලය වඩාත් හොඳින් විසඳා ගන්නකම් පාක්ෂිකයන් අතර උණුසුම නිවෙන්න්ට නොදී තබා ගැනීමේ අරමුණකි ජන බලය කොළඹට ව්‍යාපෘතිය.  ඇතුලත ගිනි පිටතට නොදෙමින්, පිටත ඇති ජන බලය පරීක්ෂා කරමින් මානසික සහනයක් ලබාගැනීමේ අරමුණද ඒ අතර වේ.එහි පැමිණි 90%ක් ජනයා මහින්ද රාජපක්ෂ ගැන ඇති භක්තියෙන් හා විශ්වාසයෙන් පැමිණි අය බව පෙනෙන්න්ට තිබුණි. උන් බීලා වෙරි වෙලා පිස්සු නටද්දීත් කිව්වේ මහින්ද ගැනය. ඒ උමතුව 2020 වෙනතෙක් ගෙනයාම ඒකාබද්ධයේ අරමුණය. පසුගියදා පැවති එම මෙහෙයුම මට අනුව අසාර්ථක විසිර යාමකින් අවසන් වූවක් උවත් එයට පැමිනි මහින්ද ලෝලීන්ට එය කෙසේ දැනෙනවාදැයි උපකල්පනය කිරීම අසීරුය. මහින්ද සාධකය එම ජනයාගේ විඥානය හසුරුවන ආකාරය ඉතා සංකීර්ණ බැවිනි. ජනපතිවරණය ගොඩදා ගතහැකි අපේක්ෂකයා තහවුරු වන තෙක් මහින්ද පෙන්වමින් මේ ජන සමූහය ඒකාබද්ධය වටා තදින් ඇද බැඳ තබා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් ඇත. ඒ අතර කාලයේ  හාස්කමකින් වී ජනාධිපතිවරණයට පෙර  මහ මැතිවරණයකට අවස්ථාවක් ලැබුනොත් ඒකාබද්ධයට මල් පිපෙනු ඇත. නමුත් ඒ හාස්කම සිදුවේනම් සිදුවන්නේ පාර්ලිමේන්තුව තුල මිස මෙවන් මහපාරේ සෙනග පිරවීම් වල නොවේ.


Sunday, August 26, 2018

අන්තරය තරාදියට දැමීම




"අන්තරය" සහ "ශිෂ්‍ය අරගල" යනු මේ දවස් වල ඇති ජනප්‍රියම මාතෘකා වලින් එකකි.. ඉතින් වැස්සකට වගේ අපිත් කැම්පස් ගොඩවී ඇති නිසා මේ ගැන යමක් නොකියා ඉන්නට අමාරුය. හතරවටේ ඒ ගැන ලියවෙන, කියවෙන දෑ ඇසූ විය කට කසන්නට ගනී. ඉතින් ඒ කැසිල්ලට පිළියමක් ලෙස මේ කතන්දරය ලියවෙන්නේය.

සබරගමු සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨය බිහි වන්නේ 1993 දීය. එය ආරම්භයේදී බුත්තල අනුබද්ධ විශ්ව විද්යාලය විය. අධ්‍යාපන , නවාතැන් සහ ජල අර්බුධ වලින් පිරි එම කටුක ජීවිතයට තිත තැබිය යුතු බවට ශිෂ්‍යන් මෙන්ම ආචාර්‍ය වරුන්ද විශ්වාස කළහ. පීඨය සබරගමු සරසවි මවු පරිශ්‍රය තුල ස්ථාපනය කරන ලෙසට වූ ඉල්ලීම ඒ අනුව බිහි වන්නකි. කිසිදා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු ඒ ඉල්ලීමට ජීවය දෙන මහ සටන ඇරඹුනේ 2007 ඔක්තෝම්බර්  20 වැනිදාය.  සියලුම සිසුන් තම බඩු බාහිරාදිය රැගෙන බස් රථ වල නැගී බුත්තල පරිශ්‍රය හැරදා බෙලිහුල් ඔය බලා පිටත් වූහ. ඒ සාක්ච්ඡා හෝ ඉල්ලීම් වලින් තමන්ට කිසිදා යහපතක් නොවූ තැනය. හල්දුම්මුලේදී ඔවුන්ට පොලිස් මාර්ග බාධක වැටිනි. පොලීසිය සිසුන් පැමිණි සියලු බස් රථ ආපසු හරවා යැවූහ. ඔවුන්ට හරවා යැවිය හැකිවූයේ බස් රථ පමණි. සිසුන් තම බඩු භාණ්ඩ අතින් කරින් ගෙන නැවත ගමන ඇරඹුවෝය. එසේ පැමිණි ගමන අවසන් වූයේ සබරගමු සරසවි පරිශ්‍රයෙනි. අනෙක් පීඨ වල සිසුන්ගේ සහය ඇතුව සබරගමු මවු පරිශ්‍රයේ සිට කෙරුණු උද්ඝෝෂණ, පා ගමන්, විරෝධය පෑම් අවසන් කරන්නට සිදුවූයේ එදවස පාලානාධීකාරිය විශ්ව විද්‍යාලයට සපයන ජලය අවහිර කරමින්, දින කිහිපයක් යද්දී විශ්ව විද්‍යාලය වසා දැමීම නිසාය. බෙලිහුල් ඔය, බලංගොඩ ආශ්‍රිතව කෙරුණු සටන් එලෙස නිහඬ කරනු ලැබීය. 

නමුත් නොවැම්බර් 10 වෙනිදා සටන නැවත ඇරඹුනේ කොළඹ UGC ය ඉදිරිපිටදීය. UGCයට පාගමනින් පැමිනි සිසුන් එය ඉදිරිපිට වාඩිලා ගනිමින් සත්‍යග්‍රහයක් ඇරඹූහ. එය දින 28ක් පුරා පාරේ නිදාගනිමින්, පාරේම උයාගෙන කමින් ගත කල දින 28කි. 29වන දිනයේදී පොලීසිය විසින් පහරදී සත්‍යග්‍රහය විසුරුවාහරිනු ලැබීය. ශිෂ්‍ය නායකයින් තිදෙනෙක් අතඩංගුවට ගනු ලැබීය. දෙසැම්බර් දහවැනිදා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සහයත් සමග අති විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවති අතර එය මර්ධනය කර්ණු ලැබුවේ දරුණු පොලිස් ප්‍රහාරයක් එල්ල කරමිනි. එහිදී සිසුන් 10 දෙනෙකු අත් අඩංගුවට ගැනිනි. දෙපාර්ශවයෙන්ම එල්ල වූ පහරදීම් නිසා රජයේ වාහන වලට අලාබ හානි සිදු වූ අතර සිසුන් වැඩි ප්‍රමාණයක් තුවාල ලැබූහ. ඇතිවන අසහනකාරී තත්වයට විසඳුමක් ලෙස  දෙසැම්බර් 12වෙනිදා රජයේ පාර්ශවයෙන් සාකච්ඡා ලබා දුන් අතර එහි අවසන් තීන්දුව වුනේ  2008 මාර්තු 15 වෙනිදා වන විට විද්‍යා පීඨය සබරගමු පරිශ්‍රය තුල ස්ථාපිත කිරීමට අවසර ලබාදීමය. ඒ නිකම්ම නොව අලුතෙන් පීඨ සංකීර්ණයක් ලබාදීමේ පොරොන්දුවත් සමගය. එමෙන්ම අලුත් උපාධි අධ්‍යයනාංශ දෙකක්ද ඊට එක්විය. අද දක්වාත් Applied එකේ සැමරෙන "යදම් මතින් නැවුම් බිමට" ඉතිහාස කතාව කෙටියෙන් එසේය.

මේ කතන්දරය කියන්නේ නිකම්ම නොවේ. වසර 2010 දී සබරගමුවට යන මට ඉගෙන ගන්නට සිදුවූයේ කුකුල් කූඩු වැනි දේශන ශාලා තුලය. වසර 4ක සිසුන් 400දෙනෙකුට පමණ එහි තිබුණේ දේශන ශාලා 4ක් පමණය. එයිනුත් එකක් වෙනත් පීටයකට අයත් එකකි. ඊට වඩා විශාල හොඳ පන්ති කාමර අපේ ඉස්කොලේ තිබුණේය. අපි මාරුවෙන් මාරුවට දේශන ශාලා සොයා යමින් විශ්ව විද්‍යාලයේ එහා කොනටත් මෙහා කොනටත් ඇවිද්දෙමු. 2008 මුලදී පොරොන්දු වූ පීඨ සංකීර්ණයේ මුල් ගල ඉහළට එසවුණේ ඉතා සෙමිනි. ඒ සඳහාත් නොනවතින අරගල රැල්ලක් විශ්ව විද්‍යාලය තුල ඇතිවිය. දිනෙන් දින ඉදි කිරීම පමාවුනු එය යථාවක් කරගැනීම සඳහා තවත් වසර දෙකකට වඩා ගත විය.  අවුරුදු ගණනාවක් පැවති මේ අරගල රැල්ලේ සිටි බොහෝ දෙනාට අලුත් පීඨයේ පොළවට පය තැබීමේ වාසනාවක් උදා වුනේ නැත. ඔවුන්ගේ ඉගෙනුම් කාලය පුරාම එය සිහිනයක් උදෙසා සටන් කිරීමෙන් පමණක් ගතවිය. සබරගමුවේ අද පවතින පීඨ සංකීර්ණ සියල්ල පාහේ දීර්ඝ කාලීන ඉල්ලීම් සහ සටන් වලින්, කොළඹ පොලව රත් කල පාගමන් වලින් උපත ලද ඒවාය. සමහරෙක්ට මෙය විහිලු කතාවක් ලෙස සලකා "ඕවා උඹලා කෑගැහුවත් නැතත් ලැබෙනවා " යැයි බැහැර කල හැක. ඒත් ඒවා විහිලු නොවූ බව, වසරේ එක් කාලයකට වතුර නැති කමින් වහන්නට සිදුවුනු සරසවියක ඉගෙනුම ලැබූ සහ සටනේ යෙදුණු බොහෝ දෙනා දනිති. ලංකාවේ වි.වි බොහෝ ප්‍රමාණයකට මේ කතාව වලංගුය.

දින කිහිපයකදීම මට 2008ට පෙර කාලයේ සිටි ආදි සිසුන් සරසවියට පැමිණි විට මුන ගැසී ඇත. ඔවුන් සියලු දෙනාගේම පාහේ මුවින් පිටවූ මුල්ම වචන ටික වූයේ යමුද "අපේ" facultyය බලන්න, කියන එකය. ඒ කිසිවක් ඔවුන් සරසවිය තුල පය ගසා සිටි සමයේ බිහිවූ පීඨ සංකීර්ණයන් නොවේ. නමුත් ඔවුන් පය ගසා සිටි හැම දවසක් පාසාම සිහින දුටුවේ ඒවා ගැනය. ඒ සිහිනය හැබහින් තම පයට දැනෙන විට, හැබහින් තම දෑස ඉදිරියේ තිබෙනු දුටු උන්ගේ නෙත් වලට ඉනූ සතුටු කඳුලු මට තවමත් මතකය. ඒ කඳුලු මේ දැන් මගේ ඇස්වලින් ගලන්නේය. ඒවා නොදුටු පරපුරක යහපත උදෙසා කළ සටන්වලින් උපත ලද කඳුලු වන්නේ  එසේය.

ඒවා එසේ වෙද්දී "අන්තරය", අපි බොහෝ දෙනෙකුට මේ කාලයේ හතුරා වෙමින් ඇත්තේය. මේ යන්තරය මේ අරගල වල භූමිකාවක් වන්නේ කෙසේද?. ඉහත කී කතාව අනුවම කියනවානම් මේ ප්‍රාදේශීය අරගල ජාතික මට්ටමට ගෙන යාමේ මහා කර්තව්‍ය කරමින්ය. එය යම් යම් විශ්ව විද්‍යාල වලට විශේෂිත වූ ගැටලු වල සිට රටේ සමස්ථ අධ්‍යාපන/උසස් අධ්‍යාපන ගැටලු දක්වා විහිදෙන්නකි. පිරිස් බලයෙන් අඩු හෝ කොළඹින් ඉතා දුර බැහැර ඇති විශ්ව විද්‍යාලයන්හී අරගලයන්හී ප්‍රබලතාව වැඩි කිරීම සහ ජනතාව අතරට ගැටලුව ගෙනයාම සඳහා අන්තරය මැදිහත්වේ. එමෙන්ම විශ්ව විද්‍යාල අතර සම්බන්ධය එකිනෙක යා කරමින් සිදුවන තවත් ක්‍රියාකාරකම් බොහොමයකින් එය සමන්විතය. ඔය අරගලයන්ට අමතරව අන්තරය කල යුතු බොහෝ දෑ ගැන මීට කලින් ලියා ඇති නිසා (1, 2) දැන් ඒවා ආයේ ලිවිය යුත් නැත.

පහු ගිය කාලයේ සිදුවූ 6% අරගලය, සයිටම් අරගලය යනු සමස්ථ අධ්‍යාපන ගැටලු මුල් කරගත් ජාතික මට්ටමේ අරගලයන්ය. ප්‍රශ්නය වන්නේ මෙවැනි අරගල හේතු කොටගෙන සාමාන්‍ය ජන ජීවිතයට සිදු වන බලපෑමයි. ඒ නිසා මේ පන්නයේ විරෝධතා වලට යම් ස්වයං විනයක් හා පාලනයක් අවශ්‍ය වන්නේය. නමුත් වැදගත් කරුණක් වන්නේ සාමාන්‍ය  ජනයාට හිරිහැරයක් නොවන ලෙස මෙවැනි අරගලයන් සිදු නොවීමයි. මේ පන්නයේ ඒවා සිදු කිරීමේ අරමුණ වන්නේ රජය අපහසුතාවට පත් කරමින් රජයේත් , රටේ ජනතාවගේත් අවධානය අදාළ ගැටලුව සඳහා යොමු කර ගැනීමයි. රටේ සාමාන්‍ය ජන ජීවිතය අඩාළ වීම යනු රජයක් අපකීර්තියට හා අපහසුතාවට ලක් වෙන සිදුවීමකි. එමෙන්ම එය රටේ ආර්ථිකයට අහිතකරය. ඒ නිසා රජයකට ඒ ඒ අරගලයන්ට හේතු වන ගැටලු විසඳීම සඳහා බල කෙරෙන්නේය. මෙය එක් අතකින් බැලුවහොත් යම් ත්‍රස්ථවාදී එළඹුමක් ලෙස වුවද නම් කළ හැක. එනිසා ජන දිවිය අඩාළ කරන අරගල එළඹුම් වලට සෑහෙන තරමේ විනයක් අවශ්‍ය වේ. එනම් ඒවා සිදුවිය යුත්තේ ගත හැකි අවසන් ක්‍රියා මාර්ගයක් ලෙස මිස සතියෙන් සතිය කළ යුතු දේව මෙහෙයක් පන්නයෙන් නොවේ.

පහුගිය කාලය පුරා සිදුවූ සයිටම් අරගලය තුළ එවැනි හික්මීමක් තිබුණාදෝයි සැක සහිතය. කෙටි කාලයක් තුල වැඩි උද්ඝෝෂණ ව්‍යාපාර ප්‍රමාණයක් සංවිධානය විය. එය ජයග්‍රහණයෙන් කෙලවර වූ පසු වෙනත් ඉල්ලීම් මුල් කොටගත් උද්ඝෝෂණ ව්‍යාපාරයන් පෙර තීව්‍රතාවෙන්ම සිදුවන්නේය. අවසානයේ රටේ පොදු ජනයා හැමතිස්සේම පාහේ බැටකන තත්වයට පත්වෙන්නේය. ඒ නිසා අන්තර්ය ප්‍රමුඛ සරසවි සිසුන් කියනා යම් සත්‍ය කරුණක් වේද, එය යට ගොස් තරහව, අපාහසය පමණක් පොදු ජන සිත් වල පැලපදියම් වෙන්නේය. මෙය අන්තරයත් , සමස්ථ සරසවි ශිෂ්‍ය ප්‍රජාවත් හොඳින් තේරුම් ගත යුතු වන්නේය. අනෙක් කරුණ අන්තරය යනු සහමුලින්ම අහිංසක ඉල්ලීම් උදෙසා සටන් කරන ව්‍යාපරයක් නොවේ. එයට අදාළ දේශපාලන පක්ෂ මූලයන් තිබෙන්නේය. ඉතින් සමහර අර්බුධ කාල වලදී මේ දේශපාලන මූලයන්හී යටි අරමුණු අන්තරය හරහා වි.වි වලට රිංගා ඒවායේ තත්වය අවුල් කිරීම යනු විය හැකි දේවල්ය. වි.වි සිසු ප්‍රජාව ඒවා ගැන සවිඥානික විය යුතුය. අන්තරය යනු හොඳ මිතුරෙකු මෙන්ම තත්වයන් අවුල් කල හැකි ලෝකයෙකු බවද සිත්හී තබාගැනීම වැදගත්ය.

මේ සියලු කරුණු මෙසේ තියෙද්දී පසු ගිය දවසක විජේදාස රාජප්ක්ෂ උන්නැහේ නවක වදය සම්බන්ධයෙන් අන්තරයට හොඳටම දෙහි කැපුවේ, තවත් වල්භූත චෝදනා කුට්ටියක්ද ගමගිනි. ඒ වල්භූත ඒ තරම් ගණන් ගතයුතු ඒවා නොවුනත් නවකවදය යනු අමතක කර අත පිහදා ගත හැකි මතෘකාවක් නොවේ. වාර්තාවලට අනුව පසුගිය වසර දෙක තුල 2000කට ආසන්න පිරිසක් නවක වදය නිසා වි.විද්‍යාල හැරගොස් ඇත. දෙදහක් නොව එක් අයෙකු වුවද නවකවදය නිසා වි.වි හැර යනවානම් එය සරළ කරුණක් නොවේ. ලහිරු වීරසේකර මේ සම්බන්ධයෙන් කියන්නේ අන්තරය නවක වදයට විරුද්ධ බවත්, රටම කුණු වී ඇති තත්වයක් තුල වි.විද්‍යාල තුල මෙවැනි පසුගාමී තත්වයන් ඇති වීම ගැන මහා කතිකාවක් අවශ්‍ය බවත්ය. ඔහුට අනුව අන්තරයට පමණක් එය නවැත්විය නොහැක. ඒ සඳහා සරසවි ඇඳුරන්ගේත් , විද්වතුන්ගේත් , සමාජයේත් සහය සපිරි කතිකාවක් අවශ්‍යය. ඒ කතාවේ ඇත්තක් ඇත. නමුත් පසුගිය වසර ගණනාවක් පුරා අන්තරේ කැඳවුම් කරුවන් ඔය නවක වද ප්‍රශ්නය ඝැන කියන්නේ ඔය ටිකය. විද්වත් සමාජයේ මැදිහත්වීමක් ඊට අවශ්‍ය විය යුතු උනත් ඔය නවක වද කෙරුවාව පාලනය කරනවා නම් එහි අති විශාලම බලපෑම කළ හැක්කේ අන්තරයට මිස වෙන කාටවත් නොවේ. ඒත් නවකවද මාතෘකාව ගැන කතා වෙද්දී අන්තරය හරි අබල දුබලය. නමුත් තමන්ගේ අනික් ප්‍රශ්න වලදී ආණ්ඩුවේ හැම බලයක් සමගම හැප්පෙන්නට තරම් අන්තරය ශක්තිමත්ය. නවකවදය සම්බන්ධයෙන් අන්තරය මේ දිව දෙකේ කතා වලින් වැලකී රිජුව මැදිහත් වීම අත්‍යවශ්‍ය වන කාලයක් උදා වෙමින් ඇත. රට පුරා ඇති සරසවි හා උසස් තාක්ෂ්ණ ආයතන තුළ විවිද තීව්‍රතාවයන්ගෙන් යුත් නවක වද ක්‍රියාවලීන් සිදු වන්නේය. ඉන් සමහරක් ඉතා සුන්දර සිනහමුසු ඒවා වෙද්දී අනික්වා සමාජයට ලීක් වුනොත් රෙද්දක් ඇඳන් පාරේ බහැලා යන්නට බැරි තරම් ජුගුප්සාජනකය, හිංසාකාරීය.  තමන්ගේ පාර්ශවයේ ඇති මේ ලොකුම කැත කමට එරෙහිව සැබෑ සංගායනාවක් අරඹන්නට හැකි නම්, ලහිරු..... වීරයා උඹය.


Wednesday, August 22, 2018

හිංසනය ?..එහෙම එකක් තියනවද ?





ඊයේ සවස පැරාගේ (අජිත් පැරකුම් ජයසිංහ ) අලුත් නවකතාව වුනු "K පොයින්ට්" අලලා කතාබහක් පැවැත්වුනා. එහිදී කෙරුණු දේශන වලින් අනතුරුව එළඹුණු මිනිත්තු කිහිපය තරමක් උණුසුම් ප්‍රශ්න කිහිපයකට අවකාශයක් විවර කලා. ඒ සියලු ප්‍රශ්න ගොනුවී තිබුනේ එක් කරුණක් වටා. ඒ තමයි හිංසනය. පැරාගේ නවකතාව වුනත් ලියවෙන්නේ එලියකන්ද වද කඳවුර ආශ්‍රිත සිදුවීම් වලින්. පොත කියවූ අයගෙන් පලවුනු අදහස් අනුව කේ පොයින්ට් පිටු අතරත් දුවන්නෙත් 89,90 කාලයේ දියත්වුනු නොමද හිංසනය.

අවසන් මිනිත්තු කිහිපයේ පළමු ප්‍රශ්නය යොමු වුනේ උපුල් කුමාරප්පෙරුම සහෝදරයාට. එහිදී මූලිකව ප්‍රශ්න කෙරුනේ ජවිපෙ දෙවනි කැරැල්ල සමයේ කැරලිකරුවන් අතින් ඝාතනයට හෝ හිංසනයන්ට ලක්වුනු අහිංසකයන් පිලිබඳව උපුල්ට කියන්න තියෙන්නේ කුමක්ද කියලා. මං හිතන්නේ මේ ප්‍රශ්නය එලෙස යොමු වුනේ උපුල් තමන්ගේ දේශනය තුල ප්‍රධාන වශයෙන් රාජ්‍යය විසින් පසුගිය දශක 3,4 තුල මුදා හරින ලද හිංසනයට එරෙහිව වදන් මෙහෙයවපු නිසා. මේ ප්‍රශ්නයේ තවත් කොටස් කිහිපයක් තිබ්බ නිසා උපුල්ට ඒකට හරි උත්තරයක් දෙන්න උනේ නෑ මං හිතන්නේ. ඒත් අන්තිමට උපුල්ගෙන් කියවුනු දෙයක් වුනේ , මේ "අහිංසක" කියන වචනයට නිත්‍ය අර්ත දැක්වීමක් නැති බව. එනම් අපි මේ මොහොතේ අහිංසකයින් ලෙස දකින අය එදවස කැරලිකරුවන් විසින් අහිංසකයන් ලෙස නොදකින්නට ඇති හැකියාව. ඒ අනුව කැරැලිකරුවන් විසින්   ඔවුන්ගේම මිණුම් දණ්ඩකට අනුව අහිංසකත්වය වර්ග කරන්නටත් ඒ අනුව ජීවත් වන්නන්, එලොව යන්නන් හා වද විඳින්නවුන් කවුද කියා තීරණය කිරීමේ අයිතිය ඔවුන් සතු කරගන්නවා. මේක හරිද වැරදිද කියන එකට වඩා උපුල් මතු කලේ එවැනි සමයක එය එසේ සිදුවන්නේය කියන එක. එය එවැනි වකවානු වල යම් ලාක්ෂණිකයක්. ඒ අනුව අහිංසකත්වයට නිරපේක්ෂ වටිනාකමක් නෑ.

ඊට පස්සෙ යොමු වුනු ප්‍රශ්න හරියටම මතක නැතත් ඒවාට ලැබුණු උත්තර එකිනෙකාට අභියෝග කරගත්තා. එහිදී වික්ටර් අයිවන් මහත්මයාගේ ආස්ථානය උනේ අපි හිංසනය මුලුමනින්ම තුරන් කල යුතු බව. ඔහු විටෙක ගාන්ධිව ආදර්ශයට ගනිමින් ,තවත් විටෙක ස්කැන්ඩිනේවියානු රටවල් ආදර්ශයට ගනිමින් හිංසාවෙන් ඈත්වීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නා. එමෙන්ම ඔහු කිව්ව කරුණක් උනේ තත්වය කෙතරම් නරක අතට හැරුනත් මනුෂ්‍යයෙකුගේ ජීවිතය නැති කිරීමට කිසිඳු විටෙක ක්‍රියා නොකල යුතු බව. කම්මුලට පාරක් ගැහුවොත් අතගාල හරි බෙහෙත් කරලා හරි ගොඩ දාගන්න පුලුවන් ඒත් මරලා දැම්මොත් නැවත ඒමක් නෑ. ඒ ආකාරයට ඔහු හිංසාවේ උපරිම අගය සලකුනු කරලා දුන්නා.

අයිවන්ගේ මේ කතාවට ප්‍රවේශයන් දෙකකින් ගීතිකාත්, විදර්ශනත් එදිරි උනා. විදර්ශන අවධාරණය කල කරුණ උනේ හිංසනය කියලා දෙයක් වෙනම ගලවලා අරන් බෑග් එකක දාල  පෙන්නන්න බැරි බව. එනම් හිංසනය සැම විටම ඒ ඒ මොහොතට අදාළ සන්දර්භයක් එක්ක බැඳිලා පවතින බව. ඒ නිසා සන්දර්බයෙන්, හිංසනයක් වෙනම උගුල්ලලා අරන් පරීක්ෂණ නලයකට දැමිය නොහැකියි. ඒ ඒ අවස්ථාව විසින් ක්‍රියාවට නැගිය යුතු යම් හැඟීම් සමූහයක් සැම විටම මතුවෙනවා. එය පසුකාලීනව හිංසනයක් ලෙස අර්ථදැක්වෙන්න පුලුවන්. ප්‍රංශ විප්ලවය, ඔක්තෝම්බර් විප්ලවය තුල විප්ලවවාදීන්ට ගන්නට බලකෙරුනු ක්‍රියා කලාපයන් හිංසනයක් ලෙස වෙනම අතට අරන් විග්‍රහ කරන්න බැරි බවක් තමයි විදර්ශනගෙන් කියවුනේ. ඒ අනුව අයිවන් මතු කරන උපරිම සීමාව හෙවත් මරණය පවා විදර්ශන ඒ ඒ සන්දර්බයන්ට අනුව ප්‍රතික්ෂේප කරන ගතියක් පෙනෙන්න තිබුණා.

ගීතිකා පිළිතුරු දුන්නේ අයිවන් සඳහන් කල ස්කැන්ඩිනේවියානු, යුරෝපියානු  හෝ ඇමරිකානු මහා ප්‍රජාතන්ත්‍රයන්හී මායාව ගැන. අතීතයේ ඔවුන්ගේ යටත්විජිත ක්‍රියාමාර්ග විසින් ඒ ඒ භූමි භාගයන් තුල සිටි ස්වදේශික ජනතාව සහමුලින් අතුගා දැමීම සිදු කළා. ඒ වගේම ලෝකය පුරා කරක් ගසමින් තමන්ට හැකි සෑම රටක්ම කොල්ලකමින් , ඒවායේ විසූ ජනයා මරණයට හෝ නොමද පීඩාවට ලක් කරමින් තම ආර්ථික සූරාකෑම දියත් කළා. අද ඔවුන් ලඟාවී ඇති මහා ධනවාදී සංවර්ධනයේ මූලයන් වුනේ අතිශය හිංසාකාරී අධිරාජ්‍යවාදය. තමන්ට අවශ්‍ය කරන සංවර්ධනය සහ බලය ලොව පුරා ගොඩනගා ගත්තාට පසු ඔවුන් පතුරවනවා අදහසක් හිංසනයෙන් තොර වීම සහ ප්‍රජාතන්ත්‍රවාදය. මේ අදහස් නැතිනම් දෘෂ්ටිවාදයන් පතුරවන්නේම තම ලේවැකි බල පොදියට එරෙහි විය හැකි පාර්ශවයන් යටපත් කරන්න. නැතිනම් එවැනි ව්‍යාපාර බිහිවීමේ විභවයන් නැති කරන්න.

හිංසනය පිළිකුල් කරමින් එවැනි අදහස් ව්‍යාප්ත කරන රාජ්‍යයන් ආයුධ සන්නද්ධ හමුදා, පොලීසි සහ වෙනත් පෞද්ගලික ආරක්ෂක මාදිලි වලින් අනූනයි. ඒ නිසා විදර්ශන නැවත මතු කල කරුණක් වූයේ රාජ්‍යයට අවි දරන්න අනුමැතිය දුන්නේ කවුරුන්දැයි කියන එක. ජනතාව ඉල්ලා සිටියාද අවිබලයෙන් යුත් මිලිටරී බලයක් නඩත්තු කරන ලෙස? සැබවින්ම හිංසනයට විරුද්ධ රාජ්‍යයකට මෙතරම් මිලිටරි බලයක් අවශ්‍ය වෙන්නේ ඇයි.  එය ජනතාවගේ ආරක්ෂාව සඳහාද ?.....මේ ප්‍රකාශයට සභාවෙන් යම් විරෝධයක් එල්ල උනේ විදර්ශන මේ යෝජනා කරන්න යන්න්නේ අරාජකවාදයක්ද කියලා. සැබවින්ම  පෙර රජ දවස දක්වාම ගියත් එම අධිපතියා  අවි දැරූ සමූහයක් නඩත්තු කල බව පේන්න තියනවා. එය කාගෙන් කවුරු ආරක්ෂාකරන්නද කියලා අහන එක ආකර්ෂණීය ප්‍රශ්නයක්. නමුත් අවුරුදු දහස් ගනනක් තිස්සේ අධිපතීන් විසින් අවි දැරීම යනු පවතින තත්වයක්. ඒ නිසා එයතවදුරටත් ඇසිය යුතු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එය රාජ්‍යයේ නාමයෙන් සුජාත වී , ස්ථාපිත වී අවසන්.

ඒ වගේම විදර්ශන කියා සිටි දෙයක් උනේ එදා මෙදා තුරා වාමාංශික , දක්ශිණාංශික දෙපාර්ශවයෙන්ම සිදු වුනු අයුතු හිංසනයන් එකට ගෙන හෙලා දැකිය යුතු බව. ඔහුගේ ප්‍රධාන අදහස වුනේ ධනවාදී සුසමාදර්ශ තුල හිඳිමින් වාමාංශික විමුක්ති අරගල මනින්නට යාමෙන් වාම කතිකාව හිංසාකාරී ම්ලේච්ඡ කුලකයකට දමමින් බිත්තියට හේත්තු නොකල යුතු බව. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද මේ අපි හෙලා දැකිය යුතු හිංසනය කියන එක ?

වාමාංශික, දක්ෂිණාංශික අන්ත දෙකේම සිටි නායකයින් තම තමන් අත එක් රැස් වෙන බලය වැඩි වන තරමට ඒවා උමතුවෙන් භාවිත කරමින් තම විරුද්ධවාදීන් මෙලොවින් තුරන් කෙරූ ආකාරය ඉතිහාසය පුරාම ලියවී අවසන්. ඒ ඒ අයට අනුව ඒ ඒ ඝාතන විවිදාකාරයෙන් සාධාරණීකරනය උනා. ඒ කියන්නේ ආයෙත් උපුල් කිව්ව තැනටම, එනම් අහිංසකත්වයට නිරපෙක්ෂ වටිනාකමක් නැති වුනා. සැබවින්ම මේ ලෝකය තුල සාර්වත්‍රිකව හරි හෝ වැරදි කියා දෙයක් නොමැති බව ඒ ඒ යුගයන් අපිට සනාත කරනවා. ආගම් වලින් අපිට දේශනා කරන උතුම් කරුණු පවා ඒ ඒ යුගයන් වල ව්‍යාපෘතීන්ට අනුව එහා මෙහා කරන්න පුලුවන් වෙනවා. හිංසා, අහිංසා, වීරයා, දුෂ්ටයා ආදී වූ මේ සියලු වචන පවතින්නාවූ සන්දර්භයට අදාල දිය හැකි වටිනාකම් මිස ඒ වචන වලට අනන්‍ය වූ වටිනාකමක් නැති බව පැහැදිලි වෙන තැනට මේ අසහනකාරී  යුගයන් අපිව ගෙනියනවා.

මේ සටහන අවසන් කරන්න මට යොදා ගන්න හිතුනේ මේ දිනවල තිරගතවන ඝරසරප චිත්‍රපටයේ කියවෙන වචන ටිකක්,

කුමාරයෙක් උනත් මං යකෙක්, 
අනෙක් අතට යකෙක් උනත් මං කුමාරයෙක්. 

මේ දක්වා බිහිවූ පැසිස්ට්වාදී, ධනවාදී, සමාජවාදී, රාජාන්ඩුවාදී මෙකී නොකී සියලුම නායකයින්, එනම් කුමාරවරුන් තුල යකෙක් සිටි බව රහසක් නොවෙයි. ඒ යකා තමයි හිංසනය. මේ සියලුම කුමාරවරු තමන්ගේ පාලනය බලය ස්ථාවර කරගැනීම සඳහා නැතිනම් එය ලබා ගැනීම සඳහා එක් එක් පරිමාන වලින් හිංසනයන් මුදා හැර තිබෙනවා. ඒ කුමාරවරුන්ට එරෙහිව ආ කැරලිකාර ව්‍යාපෘති තුලත් නොමදව හිංසනය ගැබ්වී තිබුනා. ඒ ඒ හිංසනයන් සුජාතකරණයට ලක් කිරීමට නොයෙක් කතිකාවන් ඉතිහාසය පුරා නිර්මාණය වෙනවා. ඒ කතිකාවන් වල සාර්ථකත්වය රඳාපවතින්නේ එම ආයතන වලට ජනතාවගෙන් ලැබෙන සහනුමැතිය මත. ඒ සහනුමැතිය අති සාර්ථකව ලබාගත් කල, දවස ගානේ මහ පාරේ දැවෙන මිනිස් සිරුරු යනු කුණු ගොඩක දැවෙන කොල කෑලි තරමට සාමාන්‍ය වෙනවා.ඝාතනය කරන ලද මිනිසුන් යනු භාගයක් තිරිසනුන් ලෙස අර්ථ දැක්වෙනවා. කොහොම උනත් කැලේ ඉඳන් එලියට ආපු දඩයම් වානරයාගෙන් පරිණාමය වූ අප තුල හිංසනය කියන ලාක්ෂණිකය නිසඟව අන්තර්ගතයි. ඒ ලාක්ෂණිකයත් එක්ක හැප්පෙන එක මිනිස් ශිෂ්ඨාචාරය තියෙන තුරාවටම පවතීවි. අපේ ජීවන අංගයක් වුනු හිංසනය අපි හදාගන්න සංස්කෘතික රාමු ඇතුලට කොටු කරගන්න අපි දරන වෙහෙස සහ එහි සාර්ථකත්වය මිනිසුන්ගේ අනාගත පැවැත්ම තීරණය කරාවි.


Saturday, August 11, 2018

රස්තියාදුවක් ????





අපේ රටේ කාලෙන් කාලෙට මුහුණු පොත උණුසුම් කරන සංවාද හෝ ප්‍රවෘත්ති පැතිරෙනවා. ගොඩක් වෙලාවට මේවා එතරම් වැඩකට නැති අපහාස උපහාස වලින් හෝ බොරු ප්‍රචාර  වලින් සමන්විත ඕපදූප. ඒ අතර ප්‍රමුඛ වෙන්නේ දේශපාලකයන්ගේ වාචාල ප්‍රකාශ, කාන්තාවන්ට කරන අපහාස හෝ ජාතිවාදී , ආගම්වාදී සිදුවීම්. මේ ඕපයන් අතර පොතක් පතක් ගැන කතාවීමක් නම් කවදාවත් සිදුවෙන දෙයක් නෙවී. ඒත් මේ දවස් වල කවදාවත් නැති විදිහට මුහුණු පොතේ යම් උණුසුමක් ඇති කරලා තියෙන්නේ පොතක්. පොතක්ම කිව්වට මේ ආන්දෝලනේ ඇති කරන්නේ පොතේ නම. කවුරුත් මේ වෙද්දි දන්න පරිදි K.K.ශ්‍රීනාත් චතුරංග ගේ "බුදුන්ගේ රස්තියාදුව" තමයි ඒ පොත.. පොත ගැන කතා කරන්න විදිහක් නෑ තවම පොත හම්බුනේ නැති නිසා. ඇත්තටම මේ වෙද්දී වාදයට පැටලිලා ඉන්න බොහෝ දෙනා පොත කියවපු අය නෙවී. ඒ නිසා මේ සටහන පොත ගැන නෙවී පොතේ නම ගැන.

ආරංචි විදිහට මුල් සතිය ගෙවිලා යද්දිම  පොතේ පළමු මුද්‍රණය විකිණී අවසන්. ඇත්තටම ඒ අළෙවි වුනේ පොත නෙවී නම කියලා තමයි නයියාට හිතෙන්නේ. පොතේ ප්‍රචාරණ කටයුතු සඳහා ලොකුම මෙහෙයක් කලේ බුදුන්ගේ රස්තියාදුව කියන නමට එරෙහි වුනු විරුද්ධවාදීන්. පොත එළිදකවන දවසෙ ශ්‍රීනාත්ගේ ගේ පොත් තොගේම පොලීසියට පටවන් ගිහින්  ඇතිවුනු සිද්ධි දාමයේ ඉඳලා මේ පොත බුද්ධාගමට අපහාසයක් , ඒක තහනම් කරන්න , ගිණි තියන්න කියලා විරුද්ධව කියවුණු හැම වචනය්ක්ම, ලියවුණු හැම post එකක්ම පොතේ අළෙවිය සඳහා තදින්ම උපකාර වුනා. 

"බුදුන්"...ඒ කියනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් අවස්ථාවට එනම් "බුද්ධ" කියන අවස්ථාවට පැමිණි තැනැත්තා. "රස්තියාදුව"....නිසි අරමුණක් නොදැන එහේ මෙහේ යන ගමන. මේ දෙක එකට ගැටෙද්දි අපේ හිතේ ජනිත වෙන හැඟීම නැතිනම් රූපය පිළිබඳ අර්බුධය නිසා තමයි මේ නම ගැන මෙතරම් හාහෝවක් ඇතිවෙන්නේ. වචන වල ශබ්ධකෝෂ අර්ථයන් කොහොම උනත් මේ වචන එදිනෙදා භාවිතවේදී මවන්නේ වෙනම අර්ථයන් හ රූපයන්. බුදුන් කිව්වම අපේ හිතේ මැවෙන රූපේ ඉන්නේ බොහෝම නිවුනු පෙනුමක් තියෙන, රත් දෙතොල් ඇති, කරුණාවෙන් බර ඇස් ඇති , සිවුරක් දරාගත් ලස්සන රූපකායක්. ඒ වගේම දෙතිස් මහා පුරිස් ලකුණු ඇති, නව අරහාදී ගුණ ඇති චරිතයක්. නිකම් චරිතයක් නෙවී වැඳුම් පිඳුම් වල උපරිම තලය උසුලන චරිතයක්. රස්තියාදුකාරයා කියලා හිතේ මැවෙන්නේ ගංජා ගහන , කුඩු බොන , පාරේ යන කෙල්ලන්ට ඉන්න දෙන්නේ නැති අපිරිසිඳු චරිතයක්. ඉතින් මේ රූප දෙක හේත්තු කරන්න ගියාම ඇති වන විකාරරූපී ගතිය නිසා සමහර දෙනෙක්ට කේන්ති යනවා, ඇස් රතු වෙනවා. 

එක අතකින් ඒකට වරදක් කියන්න බෑ. ඔවුන් බුදුන් කියලා දකින්නේ දකින්නේ ඔවුන්ගේ අසීමිත වැඳුම් පිදුම් වලට ලක් වෙන, ඉහළින්ම ගරු කරන පුද්ගල චරිතය. මේ ජීවිත කාලයේදී නැති වුනත් සසර කවදා හෝ තමන්ට මුණ ගැසී තමන් සසර කතරින් එතෙර කරනු ඇතැයි, කියලා පොඩිකාලේ පටන් තමන්ගේ ඔලුවට පත්තියම් වුනු උත්තුංග චරිතය. එතුමන්ගේ පෙනුම යනු පන්සල් වල, පාඩම් පොත් වල දකින්න ලැබෙන අඹපු, ඇඳපු රූපය. ඒ චරිතය ගම් නියම් ගම් සිසාරා යෙදුනු ගමන උතුම්වූ නිරවාණය අවබෝධ කරගැනීමේ චාරිකාව. රස්තියාදුව කියන්නේ පොඩි කාලේ ඉඳන්ම අපේ දෙමව්පියන් අපිව වලක්වන ක්‍රියාව. රස්තියාදුවේ යාම යනු කුඩ්ඩෙක්, මැරයෙක්, රස්සාවක් නැතිව කාණු පල්ලේ වැටෙන , කාලකන්නියෙක් වී ජීවිතය අවසන් කරගැනීමේ ගමන. ඔය තමයි අප වටා ඇති මහා කතිකාවන් විසින් ගමන් දෙකක් චිත්‍රණය කර ඇති විදිහ. 

නමුත් මේ දෙවල් දිහා ස්ථාපිත මතයන්ගෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා බලද්දි වෙන වෙන දේවල් පේන්න ගන්නවා. සමාජයේ බහුතරයකට බුදුන් කියන්නේ වැඳුම් පිඳුම් කරමින් සුවඳ දුම් අල්ලමින් පූජාසනය මත තැබිය යුතු අස්පර්ශ වස්තුවක් වෙද්දි, යම් පිරිසක් බුදුන් වදාල දර්ශනයත් එක්ක ගනුදෙනු කරන්න ගන්නවා. අපරදිග බිහි වුනු බොහොමයක් දර්ශනවාද ජීවිතයේ අරමුණ, පැවැත්ම වගේ දේවල් කතා කරන්න බොහෝ කලකට කලින් අපේ පැවැත්ම ගැන මනස මූලික කරගත් දර්ශනයක් ගොඩ නගන්නේ ගෞතම බුදුන්. ඉතින් දර්ශනය ගැන උනන්දු වෙන අයට බුදුන් වදාල දර්ශනය කියන්නේ හොඳ මෙවලමක්. පර්යේෂණාත්මක මෙවලක්. ඔවුන් කරන්නේ බුදුන්ගේ රූපයට ඇලිලා වැඳුම් පිදුම් කරනු වෙනුවට බුදුන්ගේ දර්ශනය මහ පොළවේ හම්බෙන අනික් දේවල් එක්ක ඝට්ටනය කරන එක. මේ ආකරයෙන් ඝට්ටනය කරන එක විදිහක් තමයි සාහිත්‍යය. 

ස්ථාපිත මතයෙන් එලියට බහින්න උත්සහ කරන සාහිත්‍යයක් ඇතුලේ රස්තියාදුව කියන්නේ හරි අපූරු චාරිකාවක් වෙන්න පුලුවන්. ලෝකයේ ස්ථාපිත ලෞකික අරමුණු වලින් මිදිලා වෙනත් රහක්, අත්දැකීමක් හොයාගෙන යන හැම ගමනක්ම අර්ත දැක්වෙන්නේ රස්තියාදුවක් විදිහට තමයි. කොටින්ම දැන් කාලේ උනත් ළමයෙක්, තරුණයෙක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් දීල තියන සිලබස් එක ඉගෙන ගන්න එක,  සමාජය විසින් ඉහළයි කියලා සම්මත කරගත් රස්සාවක් හොයාගන්න එක පැත්තකින් දාලා  කලාව, ස්ව්භාදහම , ජීවිතය විඳින්න කියලා ගමනක් ඇරඹුවොත් ඒක හැඳින්වෙන්නෙත් රස්තියාදුවක් විදිහට. ස්ථාපිත ක්‍රමය ප්‍රතික්ෂේප කරන ඕනෑම ගමනක් රස්තියාදුවක් වීමට නියමිතයි. මොකද ඒ ගමන් වල අවසානය කුමක් වේදැයි කියන එක පවතින රාමු ඇතුලේ අවිනිශ්චිත හෝ අර්ථ නොදක්වන ලද ඒවා නිසා. ඒ ඔස්සේ බැලුවොත් රජ මාළිගෙන් එළියට බැහැලා , රජ කමට පයින් ගහලා ඒ වෙද්දි සොයාගෙන නොතිබුණු විමුක්තියක් හොයාගෙන තැන තැන ඇවිදපු සිද්ධාර්ථ ගැහුවේ රස්තියාදුවක්ම තමයි. ආලාරකාලාම ලා, උද්ධකරාමපුත්ත ලා ලඟ ගෙවුනු ජීවිතය තේරුමක් නැති බව දැනගෙන අන්තිමට තමන්ම සොයාගතයුතුයි කියන අධිටනින් එක එක තැන ගෙවපු ජීවිතය කියන්නේ පිටස්තර ලෝකයාගේ මිම්මට අනුව අනුව අනිවාර්ය රස්තියාදුවක් වෙන්න ඇති. පස්සේ නිවන අවබෝධකරන්, ඒක පොලවේ ස්ථාපිත කරාට පස්සේ, නැතිනම් ලෝකයාට තහවුරු කරාට පස්සේ තමයි ඒ ගමන රස්තියාදු අර්ථකතනයෙන් මිදෙන්නේ.  ඊට පස්සෙන් පහු ඒ ගමන හැඳින්වෙන්නේ අමා මහ නිවන සොයා යන උතුම්වූ ගමනක් හැටියට.

ඒක, මේ වචන දෙක දිහා බලන්න පුලුවන් තවත් විදිහක්. ඉතින් ඔය විදිහට වචන දෙකකට විවිධ අර්ථ කතන හැදෙන්න පුලුවන්. ශ්‍රීනාත් ඔය වචන දෙක ගලපන්න ඇත්තේ දෙවනි අර්තෙන් කියලා තමයි මට හිතෙන්නේ. ශ්‍රීනාත් මීට කලින් පැවැත්ම ගැන ලියලා තිබෙන බොහෝ ලියවිලි කියවපු අය දන්නවා ඔහු ජීවිතයේ යම් ගැඹුරක් අල්ලන්න උත්සහ ගන්නෙක් බව. ඒ නිසා මේක අපහාස කිරීමේ අර්ථයෙන් යෙදුනක් වෙන්නේ නැහැ. නමුත් ශ්‍රීනත් මේ නම දාද්දී පැහැදිලිවම දැන ඉන්නට ඇති මේක යම් පටලැවිල්ලකට මුල පුරන බව. ඒ පටලැවිල්ලම පොත හිට් කරන්න මග පාදන බව. ඒ නිසා යම් marketing ට්‍රික් එකක පාට මේකේ තැවරිලා තියනවා. කොහොම උනත් සාහිත්‍යය කියන්නේ ඇසුරු කල යුතු , පුරුදු කල යුතු අපූරු අවකාශයක්. ඒ අවකාශයේ සැරිසරද්දි අපිට ජීවිතේටම හිතන්න , අහන්න නොලැබුණු මානයන් මුණ ගැහෙනවා. සමහර ඒවා අපිව සනසනවා, සමහර ඒවා අපිව පුදුම කරවන්වා, තවත් සමහර ඒවා අපිව කේන්ති ගස්සනවා. වැදගත්ම දේ වෙන්නේ කලාව කියන්නේ අධිපති මතවාද හා ක්‍රමයන් ඇතුලටම වෙලා සෙල්ලම් කරන්න බැඳිලා ඉන්න ක්‍රියාවලියක් නෙවී. ඒ ක්‍රියාවලිය අපි බැඳිලා ඉන්න සීමාවන්, කොටුපවුරු අතික්‍රමණය කරමින් ගලායන  ක්‍රියාවලියක්.   සැබෑලෝකයට වඩා කලාවෙන් අපිට මවන ලෝකය සුන්දර  එකක් වෙන්නේ ඒ නිසා. ඉතින්  ඒ සුන්දරත්වය පිටකවර වල එල්ලිලා වාද කරලා ලබාගන්න බෑ. ඒ නිසා පිටු ඇතුලේ කරක් ගහලා මේ වාදය ඉදිරියට කරගෙන යමු. 



Monday, July 23, 2018

රෙදි වැල




මීට කලින් ලියමනේදී සුප්පා කිව්ව ස්විච් එකකින් ක්‍රියාත්මක වෙන රෙදි වැල ගැන ලියද්දි පොඩි අතීත සිදුවීම් ටිකක් මතකෙට ආවා වැල ගැන. වැල කිව්වේ රෙදි වැල. රෙදි වැල වටා බිහිවෙන සන්නිවේදන යන්ත්‍රණය , එදා සංජා කියපු මානව සම්බන්ධතා කෑල්ලටත් හේත්තු කරන්න පුලුවන් වගේ දැනුනු නිසා මේ ටික කුරුටු ගාන්න හිතුනා.

ඉස්සර අපි පොඩි කාලේ අපේ වත්ත හතර මායිම තාප්පයකින් සලකුනු කරලා තිනුනේ නෑ. තිබ්බේ කුරුඳු පොලු වලින් හා කටු කම්බි වලින් මායිම වෙන් කරගත් භූමි ප්‍රමානයක්. වටේ පිටේ තිබ්බ හැම ඉඩමක්ම තව එකකින් වෙන්වුනේ ඒ වගේ කම්බි වැටවල් වලින්. ඉතින් කාට කාටත් අල්ලපු ඉඩමේ උදවියත් එක්ක බොහොම පහසුවෙන් සම්බන්ධකම් පවත්වන්නත් එකිනෙකාගේ භූමි ප්‍රමානයන් තුල සිදුවන දෑ බොහොම පහසුවෙන් දැක අසා ගන්නත් පුලුවන් වුනා. ගෙයින් එලියට බැහැලා වත්තේ පිටියේ ඇවිදිනකොට, මිදුල අතුගානකොට, සෙල්ලම් කරනකොට එහෙමත් නැතිනම් රෙද්දක් වැලට දාන්න යනකොටත් අහල පහල උදවිය තම තමන්ගේ වතු වල ඉඳලා ටිකක් උස් හඬින් එහා වත්තේ ඉඳන් මෙහා වත්ත දක්වා ඕප දූප, දුක සැප, ආ ගිය දේවල් ගැන කතා උනා . වෙන කාටවත් ඇහෙන්න ඕන නැති එකක්නම් වැට මායිමටම ඇවිත් කසු කුසුවේ යෙදුනා. ඒ අවිධිමත් අදහස්  හුවමාරුවීම් අතර මට මතක තියන සිත්ගන්නාසු සන්නිවේදන කලාපයක් තමයි රෙදි වැල එහෙම නැත්නම් රෙදි වැනීමේ ක්‍රියාවලිය එක්ක බැඳුනු ඉක්මන් සන්නිවේදන කලාපය.

අපි පොඩි කාලේ ඉඳලම ඉතින් අපේ ගෙදර සියලු ඇඳුම් කැඩුම් හේදුවේ අපේ අම්මා. අපි ටිකක් ලොකු වයසට ආවම  අනේ අපොයි  කියලා ජොක්කු ටික හෝදගත්තා මිසක් වෙන රෙද්දක් නම් හේදුවේ නෑ . අම්මා ඉතින් නැහීගෙන උදෙන්ම රෙදි ටික හෝදලා වැලට දානවා. ඊට පස්සේ දවල්ට රෙදි ටික අනික් පැත්ත ගහලා , අව්ව වැටෙන්නේ නැති තැන් වල තියන ඒවා අව්වට ගෙනත් දානවා, ඒ වෙද්දි වේලිලා තියන රෙදි තියනවා නම් ගෙට ගේනවා. හවස් වෙලා අන්තිම අව් රැල්ල නිවිලා යද්දි ඔක්කොම රෙදි ටික ගෙට ගන්නවා.  වටේ තියන හැම ගෙදරකම  ගෑනු උදවිය ඔය වැඩ ටික එකම වෙලාවක වගේ තමයි කරන්නේ. ඉතින් එහා ගෙදර වැලේ ඉඳන් මෙහා ගෙදර වැලට ක්ෂණික සන්නිවේදනයන් ගලා යනවා. "අද නම් අව්ව සැරයි නේද නැන්දේ?", "අද නම් රෙදි කන්දක් හේදුවා නංගී", "අද නම් රෙදි ටික වේලගන්නවත් අව් රැල්ලක් නැති හැටි" , "හවසට මහ වැස්සක් එන පාටයි, බලලා රෙදි ටික ගෙට ගන්න වෙයි අක්කේ",..... ඔය වගේ රෙදි වේලීමේ කරුමාන්තේ එක්ක සම්බන්ධ කෙටි කතා බස් හැමදාම වගේ වෙනවා.

උයන එකට අමතරව දවසේ තියන බරපතලම රාජකාරිය වෙන අපේ රෙදි කන්ද හේදුවට පස්සේ අම්මා අපට කියන දේ තමයි එයා උයන වෙලාවට හරි හවසට පොඩ්ඩක් නිදියන වෙලාවට හරි වැස්සොත් හෙම රෙදි ගෙට ගන්න කියන එක. අපරාදේ කියන්න බෑ ඉතින් අපිට පැවරුනු ඒ සුලු රාජකාරිය පවා අපි අපූරුවට ඉෂ්ඨ කලා. ගොඩක් වෙලාවට සිද්ද වෙන්නේ පොතක, film එකක, නැත්නම් මල් කැඩිල්ලක එල්ලිලා ඉන්න අපට වහින එක ගැන හාං කවිසියක් නැතුව යන එක. ඉතින් අම්මා කුස්සියේ ඉඳන් කෑ ගහනවා "වහිනවා රෙදි ගන්න කියලා...". අපේ කුසීත කමේ තරමට , දිග ඇදිලා ඇඟ මැලි කඩලා හෙම කාමරෙන් එලියට යන්තම් අඩිය තියනකොට  අම්මා ගෙයි එහා කෙලවරේ වත්තේ කෙලවර දක්වාම දුවලා රෙදි වලින් භාගයක් අරගෙනත් ඉවරයි. අපි ඉතින් බැනුම් අහගෙන ඉතුරු වෙලා තියන රෙදි කෑල්ලක් දෙකක් අරගෙන එනවා ලොකු වැඩක් කලා වගේ. ඉතින් ඒ වගේ වෙලාවට කවුරු කවුරුත් තමන්ගේ වැලවල් වල තියන රෙදි හනි හනික උස්සගෙන ගෙට දුවන් එනවා. හරියට අවුරුදු උත්සවේක ක්‍රීඩාවක් වගේ. ඔන්න ඔය වෙලාවල්වලට අල්ලපු ගෙදර වැලේ රෙදි උස්සන් දිවීම වෙනුවෙන් තරඟකරුවෙක් සහබාගී වෙලා නැත්නම්  මේ ගෙදර කෙනා කෑ ගහලා කියනවා "නැන්දේ  වහිනවෝ....රෙදි ගන්නනනනනනනනන....." කියලා. ඒ ගෙදරින් කෙනෙක් ආවේ නැත්නම් තමන්ගේ තමන්ගේ රෙදි ටික ගෙට ගත්තට පස්සේ ඉස්පාසුවක් තිබ්බොත් අල්ලපු ගෙදර රෙදි වැලට දුවලා ඒ ගෙදර රෙදි ටිකත් වැස්සෙන් බේරගන්න තරම් ඒ ඒ ගෑනු උදවිය උදව්වට ලැදි උනා. කොහොමත් ඒ දවස් වල ගේට්ටු හෙම තිබ්බෙත් නැති නිසා ඉක්මනට හැම වත්තකටම ඇතුල් වෙන්න පුලුවන් සුටුස් ගාලා. එහා ගෙදර රෙදි ටික වැස්සට තෙමිලා යද්දි මෙහා ගෙදර ගෑනු එහ ගෙදර රෙදි වෙනුවෙන් හීල්ලුවෙ, රෙදි හෝදන යුද්දේ තරම ඔවුනොවුන් හොඳටම දන්න නිසා.

තාප්ප ගේට්ටු නැති සරල දිවිය නිසාම අපි O\L කරන කාලේ ගෙව්වේ හරිම කලබලකාරී දිවියක්. අපේ ගෙදර උන්ට ගේ අතුගාන්න, මිදුල අතුගාන්න, රෙද්දක් හෝදන්න උදව්වක් තියා ඒවා කෙරෙන්නේ කොයි වෙලාවටද කියලවත් නොදැන හිටි අපි. සියඹලා ගහ ගෙදර අක්කා රෙදි වනන වෙලාව, පොඩි එකා සෙල්ලම් කරවන වෙලාව, රෙදි ගෙට ගන්න වෙලාව එහෙම හොඳට දැනන්  හිටියා. ඒ ගෙදර අක්කා ඒ දවස් වල අපේ ජනප්‍රියම සහ ආදරණීයම චරිතයක්. ඒ කාලේ දැන් කාලේ වාගේ නෙවෙයි කෙල්ලෝ කොටට අඳිනවා කියන එක සෑහෙන්න දුලබ දෙයක්. ඒකටත් එක්ක සියඹලා ගහ ගෙදර අක්ක ඇන්දේම කොටම කොට සාය කෑලි. අක්කා ඒකත් ඇඳන් පොඩි එකා එක්ක, රෙදි වැල එක්ක, සුලඟත් එක්ක අල්ලන ඔට්ටු ඉතින් පුන්චි අපිට බලන් ඉන්න හරිම ආසයි. නොදන්න කමටනේ ඉතින්...

ඒත් පස්සෙ පස්සෙ කාලයේ සහ ක්‍රමයේ දියුණුවත් එක්ක හැම ගෙදරකම වගේ උස් උස් තාප්ප ලොකු ලොකු ගේට්ටු ගැහෙන්න ගත්තා. දැන් ඉතින් එහා ගෙදර රෙදි වැල මෙහා ගෙදරට පෙන්නේ නෑ. කොට සාය කෑල්ල ගහගෙන රෙදි වැලත් එක්ක ඔට්ටු වෙන අක්කියා පේන්නෙත් නෑ. රෙදි වනනකොට වෙන කතා බස් වගේම වැස්සකදි එකිනෙකාගේ රෙදි බේරගන්න කරපු උදව් කිරීමත් වෙන්නේ නෑ. තාප්ප සහ ගේට්ටු ගැහිල්ලේ සංවර්ධන ප්‍රයාමයත් එක්කම රෙදි වැල හා බැඳුනු සන්නිවේදන කලාපයම හේදිලා ගියා.තාප්ප ගැහිල්ල නිසා කෙල්ලොන්ට හෙම දැන් දැන් තමන්ගේ තන පට , යට ඇඳුම් එහෙම හංගලා  වනන්න ඕනත් නෑ මයේ හිතේ. අපි නම් සුපුරුදු පරිදි ජොක්කු ටික විතරක් හෝදලා උන්ව ඔය කොහේට හරිදාලා පාඩුවේ දිවි ගෙවනවා. ජොක්කු ටික මද්දහනේ ගිනි ගහන අව්වට කරකූටං වෙලා, හවස් වෙද්දි හමන සිසිල් සුලඟට ලෙලෙදෙනවා හරියට කරන්ට් එක වැදිලා වයර් එකෙන් පහතට මැරිලා එල්ලෙන වවුල්ලු වගේ. ඒක හරිම සුන්දර දර්ශනයක්. ජොකා මට ආදරෙයි, මාත් ජොකාට ආදරෙයි. මගේ ජොකාට බුදු සරණයි.