Saturday, April 28, 2018

ඕවත් වෙසක් කූඩුද බං ?





ලඟ ලඟම අවුරුද්ද එනවා කියලා මතක් වෙන්නේ කොහා හඬ තලන්න ගත්තම වගේ, ලඟ ලඟම වෙසක් එන බව ඒ කාලේ අපිට මතක් කලේ අපේ ගෙදර තිබ්බ උන බට පඳුර. වෙසක් එකට සති තුනක් විතර තියලා ගමේ කොලු කුරුට්ටො , අයියලා , මාමලා, අපේ ගෙදර පැත්තට එන්න ගන්නවා කූඩු හදන්න බට කපන් යන්න. වෙසක් ලඟ ලඟම එන බවට එන සංඥා තමයි ඒ පැමිණීම්. ඒ දවස් වල මුලු පැත්තටම තිබ්බ විසාලම උන බට පඳුර තිබ්බේ අපේ වත්තේ. ගමේ හිටපු සමහර වයසක ගෑනු උන්දලා නම් කිව්වේ උන බට පඳුරක් දොරින් එලියට බහිද්දිම මුලිච්චි වෙන්න තියන එක ගෙදරට මූසල කමක් කියලා. ඒ උනාට ඉතින් ගහෙන් පාත් වුනු කිසිම මූසල කමක් තිබ්බේ නම්නැති. ගෙදරට එන ගොඩක් අය ඒ උන පඳුරේ සරුසාර බව දැකල පුදුම උනා. ඒ පුදුම උනු ගොඩක් දෙනා ගහෙන් අතු කෑල්ලක් නොවරදවාම අරන් ගියා තම්න්ගේ වතු වලත් පැල කරන්න. ඒත් ඒ කිසිම වත්තකින් බලාපොරොත්තු උනු සරුසාර උන පඳුර හැදුනේ නෑ. ආච්චි නම් කිව්වේ හිටවපු කෙනාගේ අත්ගුනේ සහ වාසනාව මත තමයි ඕව්වා යහමින් වැඩෙන්නේ කියලා. 

අපේ තාත්තා තමයි එයා ඉස්කෝලේ යන කාලේ මේ උන පැලේ හිටෝලා තියෙන්නේ. ඉන්දපු කෙනාගේ අත්ගුනේ කිව්වට ඉතින් එතනින් එහාට අපේ තාත්තා ලොකුවට හදපු වෙන පැලයක් නම් ගෙදර තිබ්බේ නෑ. ඔක්කොම තිබ්බේ ආච්චි ඉන්දපුවා. තාත්තා කලේ හොඳට වැවිලා තියන මොකක් හරි ගහක අතු අපි හැමෝගෙම විරෝධය මැද පුලුවන් තරම් කපලා දාන එක තමයි. 

ඉතින් වෙසක් ලං වෙද්දි එකා දෙන්නා එනවා "මාමේ උන බටයක් කපා ගන්නෙයි ?  "
"නැන්දේ උන බටයක් කපා ගන්නෙයි?"කියලා අහගෙන. අපේ ගෙදරින්ම පිහියකුත් ඉල්ලගෙන උන් උන පදුර අස්සේ රින්ගගෙන බට කපා ගන්නවා. උන බට කපාගන්න එකත් ඒ තරම් ලේසි කාරියක් නෙවී. සීරු මාරුවට බටේ මුලට පිහි පාර දුන්නේ නැත්නම් බටේ පුපුරන්න ඉඩ තියනවා. ඒ වගේම  බට කොල වල තියන බූව ගෑවුනාම කසන්න ගන්නවා. වැහැලා තිබ්බ දවසක් උනොත් පිහි පාරක් දෙනකොටම සර සර ගාලා පඳුරේ  රැඳිලා තියන ඔක්කොම පිනි බිංදු වලින් බට කපන එකා නෑවිලා යනවා. ඒ වගේම පඳුරේ ගන සැරේට බට වැවිලා තියන නිසා හොඳ බටයක් අල්ලගන්න පඳුර අස්සට ලේසියෙන් අත දාගන්න බෑ. ඒ නිසා බට කපන වැඩෙත් යම් ආකාරයක කට්ටක්.

ඔහොම ඔහොම පස් හය දෙනෙක් ඇවිල්ලා ගියාට පස්සේ බටයක් අල්ලගන්න අත දාන්න තියන අමාරුව අඩු වෙනවා. මොකද මුලින් ආපු සෙට් එක අමාරුවෙන් අමාරුවෙන් අත දාලා බට කපාගෙන ගියාට පස්සේ මොකක් හරි තැනක යම් ඉඩක් හැදෙනවා. ඊට පස්සේ එන හැම එකාම බට කපන්න ගන්නේ ඔය ඉඩ අස්සෙන්. ඊට පස්සේ බට පඳුරේ ඒ කලාපය   බට වලින් හිස් වෙනවා ගුහාවක් හැදුනා වගේ. ඔන්න ඕක තමයි මගේ බලාපොරොත්තුව උනේ . මොකද ඒ දවස් වල අපි cricket ගහද්දි නිතරම වගේ ඔය බට පඳුර අස්සට බෝල යනවා. පඳුර අස්සටම යන බෝල හෙවිල්ල අතඇරලා දාන්න වෙනවා මොකද පඳුර ඇතුල කට්ට කලුවරයි , ඒ නිසා බෝලේ පේන්නේ නෑ. අස්සට අත දාන්න තියෙන්නේත් පොඩි ඉඩක් වගේම පඳුර ඇතුලේ තඩි ගැරඬි එහෙමත් කාලෙකට ඉන්නවා. ඒ නිසා ඉතින් ගොඩක් ටෙනිස් බෝල රබර් බෝල අපේ උන පඳුරට ගොදුරු වෙනවා බේර ගන්න බැරි විදිහට.

බට කපන් යන උන් හදන මේ කුහරය නිසාත් සහ බට ගහනය අඩුවීමෙන් එළියක් එන නිසාත් පඳුර අභ්‍යන්තරය හොඳින් බලාගන්න පුලුවන් වෙනවා. ඒ කියන්නේ නැති උන බෝල සෙවිල්ල පහසු වෙනවා. ඔය විදියට වෙසක් කාලෙ කියන්නේ අවුරුද්දක් පුරා නැති උනු බෝල හත අටක් හොයාගන්න පුලුවන් චෑන්ස් එකක්. හබැයි ඉතින් එහෙම හම්බෙන ටෙනිස් බෝල වලින් නම් වැඩක් උනේ නෑ. ඒවා මාස ගානක් වැස්සට තෙමිලා අව්වට කර වෙලා,බට ගස් වලට තෙරපිලා, අමුතුම material එකක් බවට පත් වෙලයි හම්බෙන්නේ. ඒත් රබර් බෝල නම් භාවිතයට ගන්න පුලුවන් මට්ටමක තිබුණා. ඒ  නිසා වෙසක් උදා වීම යනු මුහුදු පතුලෙන් නිධාන මතු වෙනවා වගේ බට පඳුර ආස්සෙන් බෝල මතු වීමේ ආශ්චර්යමත් කාලයක් උනා.

ඔය විදිහට වටේ පිටේ උන් බට කපන් වෙසක් කූඩු හදන කාලේ එළඹුනාට අපිට නම් කවදාවත් ඒ වගේ කාලයක් තිබුනේ නෑ අපේ හාමුදුරුවනේ. මොකද අපේ අයියටයි මටයි දෙන්නටම උන බට වලින් හදන අටපට්ටම් කූඩුව හැදීමේ හැකියාවක් නොතිබුණු නිසා. අට පට්ටමක් නියම හැඩේට බඳින එක වෙනම කලාවක්. හරි හැඩේට එන්න ඕක බඳින්න පුලුවන් හැකියාව අපි දෙන්නටම තිබ්බේ නෑ. එහෙම කියල අපි වෙසක් කූඩු නොහද හිටියේ නෑ. අයියා හොඳ චිත්‍ර ශිලිපියා , මිනිහා වෙසක් කූඩු වලට නව අර්ත කතනයක් දෙමින් රිජුෆෝම් වලින් වෙසක් කූඩු හැදුවා අමුතුම හැඩයන් වලට. ඒ  කූඩු ලියවැල් කැටයමින්, හංස කැටයමින් ආදී විවිධාකාර කැටයමින් අලංකාර වුනු ඒවා. නමුත් ඒකේ තිබ්බ ප්‍රශ්නෙ උනේ ඒවා දවල් කාලයේ එල්ලා තියන්න අමාරු වීම. දවල්ට තියෙන තද අව්වේ රස්නෙට රිජුෆෝම් ඇද වෙන්න ගන්නවා. ඒ නිසා දවල් කාලයේ කූඩුව ප්‍රදර්ශනේ කරන එක පොඩ්ඩක් හිතලා කරන්න ඕනි දෙයක් උනා. නයියාගේ කාලේ ආවම නයියා වැඩේ ඇල්ලුවේ කාඩ් බෝඩ් වලින් අට පට්ටම හදලා. දැන් ඔය කඩවල් වල විකුනන්න තියෙන්නේ කාඩ් බෝඩ් වලින් හදපු අටපට්ටම් හැඩේ කූඩු, අන්න ඒ වගේ ඒවා. ඒ කාලේ කූඩු විකුනන සංස්කෘතියක් නැති නිසා කාඩ් බෝඩ් වලින් ගහන අටපට්ටම ගොඩක් තැන් වල දකින්න තිබ්බේ නෑ. නයියටත් කැටයම් කැපීමේ යම් දක්ෂතාවක් තිබ්බ නිසා ඒ කූඩු විවිධාකාර කැටයමින් අලංකාර උනා.

අයියගෙයි, නයියගෙයි කූඩු දැකපු වටේ පිටේ ජනතාව , යාලු මිත්‍රයෝ එහෙම සෑහෙන වර්නනා කලා කූඩු වල ලස්සන ගැන.පිට උන්  කොච්චර හොඳ කිව්වත් ගෙදර උන්ට නෑනෙ අපේ අගයක්. පිට people know අපේ අගේ , but our people don't know අපේ අගේ. තාත්තයි, ආච්චියි නිතරම කියවන්නේ බට වලින් ගහන කූඩුව තමයි කූඩුව, මේව නියම වෙසක් කූඩු නෙවී කියලා. එයාලා මොනවා කිව්වත් අපි නෙවී බට වලින් කූඩු බැන්දේ. අටලෝ දහමෙන් කම්පාවෙන්න එපා කියලනේ  බුදු බනෙත් තියෙන්නේ. ඉතින් බ්ලේඩ් තලේට අත කපාගෙන කැටයම් කපලා ගහන කූඩුවේ කූටප්‍රාප්තිය එළඹෙන්නේ රාත්‍රියට කූඩුව දල්වනකොට. කැටයමෙන් අලංකාර වුනු කූඩුව ඇතුලේ ඉටි පන්දමක් දැල් වෙනකොට මැවෙන සෞන්දර්ය කියලා නිම කරන්න බෑ. ඒ සෞන්දර්ය විඳමින් ඉන්න්කොට මෙන්න එනවා කුෂානයගේ call එක. මචන් අද පන්සලට සිරාම කෑලි ටිකක් බැහැල ඉන්නවා බන්. කොහෙන් බැහැපු උන්ද මන්දා වරෙන් වරෙන් විගහට  පන්සල පැත්තට. කූඩුවේ සෞන්දර්ය කවදා බලන්න බැරිද?, මම පට ගාලා ඇඳුමක් දාගන්නවා....
එතනින් එළියට බහින බැහිල්ල ඉතින් ඉවර වෙන්නේ,කෙල්ලොත් බලලා, දන්සැලුත් වැඳලා, තොරණුත් බලලා රෑ එක දෙක වෙද්දි. ඒ එනකොට සමහර විට කූඩුව පිච්චිලා ගිහිල්ලා ඉටිපන්දමේ අන්තිම හරිය උදාවෙද්දි. තාත්තා ඉතින් පටන් ගන්නවා..... "ඒකනේ මිනිහෝ මං කිව්වේ බට වලින් හැදුවා නම් ඕකේ ඉටිපන්දම ගහන්න පුලුවන්. පිච්චිලා ගියත් වට්ටුව ඉතුරු වෙනවා. ඔය කාඩ් බෝඩ් කූඩුත් වෙසක් කූඩුද බං"....

Monday, April 16, 2018

සොඳුරිය අවුරුදු කොතරම් නපුරුද ?





"සොඳුරිය කාලය කොතරම් නපුරුද"......මං හිතන්නෙ සිංහල ආදර ගීත ඉතිහාසයේ තියන අති විශේෂතම ගීය මේක. අපි හැමදාම කරන , විඳින, විඳවන සහ අත්දකින ආදරයේ, වෙනම මානයක් ස්පර්ෂ කරපු ගීතය මේක. මට හිතෙන විදියට වෙන කිසිම ගීයකින් ආදරයේ මේ කලාපය කතා වෙලා නෑ. ඒ තමයි ආදරයේ පරණ වීම හෝ පරිණත වීම තුල අහිමි වී යන බොලඳ රසය. මේක මං හිතන්නේ අපි බොහෝ දෙනෙක්ට අපේ ජීවිතයේ එක්තරා කාල පරිච්ඡේදයකදී මුහුණ දෙන්නට වෙන යථාර්තයක්. මම දැකපු බොහෝ ආදර කතා වල ඒ ගිලිහී යෑම පුරවන්නේ ඒ දෙපලට ලැබෙන දරුවන් විසින්. දරුවන් හේතු කරගෙන අදාළ දෙපලගේ ජීවිතේ සිදුවන විචලනයන් තමයි ඒ සම්බන්ධය සතුටුදායක ලෙස ඉදිරියට ගෙන යන හුය බවට පත් වෙන්නේ.  එතනින් එහාට තවදුරටත් එකිනෙකාගේ පරණ ප්‍රේමය update කරගන්න හෝ තවදුරටත් ජීව ගුණය  පවත්වගන්න අමාරුයි අතීතයේ පැවති සුමිහිරියාවේ මට්ටමට. 

මම ආදරයේ ඇතිවන ඒ ආතතිය හෝ හිඩැස මේ වෙද්දී පැහැදිලි කරගන්නේ වෙනත් උදාහරණයකින්. ඒ තමයි මේ ගෙවී යන සිංහල හින්දු  අලුත් අවුරුද්ද. මගේ පුංචි කාලේ ඉඳන්  විශ්ව විද්‍යාල ජීවිතේ වෙනකල්ම සිංහල අවුරුද්ද කියන්නේ අතිශය චමත්කාරජනක හැඟීමක්. විචිත්‍රවත් කාල පරිච්ඡේදයක්. ඒ දවස් වල මාර්තු මාසේ අග වෙනකොට ඇහෙන කොහාගේ නාදය මට ගේන්නේ අමුතුම සතුටක්. ඒක ගොඩ කාලෙකට පස්සෙ  ආපු නෑදෑයෙක්ගේ, සහෝදරයෙක්ගේ කටහඬක් අහනව වගේ හැඟීමක්. ඒ හැඟීමත් එක්කම මගේ අවුරුදු උත්කර්ෂය ඇරඹෙනවා. පාසල් කාලයේ ඉඳන් campus එකෙන් out වෙනකල්ම වල සිත ගත පුරා දිව යන ඒ අප්‍රේල් ආතල් එක තිබුණා. ඒ කාලේ නැකතට සිරිත් විරිත් කිරීම, නෑගම් යන එක, TV එකේ අවුරුදු සින්දු අහන එක හෝ අවුරුදු උත්සවයක් බලන්න යන එක , හිතේ ඇති කරපු උත්කර්ෂය කියල නිම කරන්න පුලුවන් එකක් නෙවී. මාව වඩාත් සතුටු කෙරෙව්වේ හෝ උනන්දු කෙරෙව්වේ අප්‍රේල් මුල ඉඳන් අවුරුදු දවස වෙනකල් තිබ්බ අතර්මැදි කාලය. ඒ දවස් ටිකේ මගේ හිතේ වෙනම උත්සවයක් මැවෙනවා. සරළවම කියනවා නම් ඒ දවස් ටික මන් හිටියෙ ෆුල් චූන් එකේ. ඒක තනිකරම හිතේ ඇති වුනු චූන් එකක්. ඒ චූන් එකට ගැළපෙන කිසිවක් එළියෙ සිද්ධ නොවුනත්, යකෝ අවුරුදු එන්න ලඟයි කියල හිතේ ඇතිවුනු සතුටුදායක කැලඹීම සැබවින්ම සොඳුරුයි.

ඒත් කාලය යන්න යන්න දැන් ඒ අත්දැකීම , ඒ කියන්නේ අවුරුදු එනවා කියන කාරණය තවදුරටත් මාව හැඟීම් බර කරන්නේ නෑ. මොක්ද, කාලය විසිනි ඒ අත්දැකීම පරණ කරළා. අවුරුදු කියන සංකල්පෙ තවදුරටත් මාව excite කරවන්නේ නෑ.මොකද ඒක අත්දැකීමක් විදියට ඇඟට පත්තියම් වෙලා. මම කොච්චර උත්සහ කරළ  මේ අවුරුදු කාලේ හිනාවෙයන් රාළේ කියලා මගේ හිතට නැවත නැවත තහවුරු කරන්න හැදුවත් මට තෙල් ඉහිරුණු කැවුම් ගෙඩියක් වගේ හිනා යන්නේ නෑ.. කොච්චර රතිඤ්ඤා පත්තු කළත්, අලුත් ඇඳුම් ඇන්දත් , අවුරුදු උත්සව බැලුවත් , රස කැවිලි කටේ ඔබා ගත්තත්, අර පරණ චූන් එක මගේ හිතට එන්නේ නෑ. ඒක සැබවින්ම මගඇරීමක්, අහිමිවීමක්. ඒක ඇත්තටම කණගාටුදායක වැටහීමක්. මම කොයිතරම් ආස වුනත් මට ඉස්සර ඇති වුණු ප්‍රහර්ෂය තවදුරටත්  හිතට නගා ගන්න බෑ. මොකද කාලය විසින් අවුරුද්ද මට පරණ කරළා ඉවර නිසා. ඒකේ අනික් පැත්ත අඩු ගානේ ඒ කාලේ ඇති වුනු දුකවත් දැන් මට ඇති වෙන්නේ නෑ. ඒ කාලේ ගෙදර වැලි තලප හැදුවේ නැත්නම්, මම ආස කරන පාටක ඇඳුමක් ලැබුණේ නැත්නම් හිතට ඇති වෙන මහා කේන්තිය සහ දුක අද ඇතිවෙන්නේ නෑ. එදවස ඇති වුනු සතුට මෙන්ම දුකත් අද වෙද්දී දැනෙන්නේ නැති මට්ටමට ඇවිත්. අවුරුද්ද අත්දැකීමක් ලෙස පරණ වීමේ ආනිසංස තමයි ඒ. එම පරණ වීම ප්‍රේමයට අදාළව වූ කළ දැනෙන හැඟීම තමයි මේ ගීතයේ තියෙන්නේ.

"බෙදා හදාගත් දුකවත් අද නැත , ඒ දුක කෙතරම් මිහිරිද සොඳුරිය" ......කියන්නේ එහි උච්ඡතම අවස්ථාව. අපේ  ප්‍රේමයේ මුල් අවධි වලදී ඉතාම  සුලු වැරද්දකින් පවා අපි සලිත වෙනවා. තරහ වෙමින්, රණ්ඩු කරගනිමින් සම්බන්ධතාවයක් විදියට ගැටුම් නිරාකරණය කරන, රැක ගන්න , අවබෝධ කරගන්න වෙර දරන ප්‍රේමය, කල් යත්ම වැරදි වලින් පුදුමයක් හෝ දුකක් ඇති නොවෙන තරමට අපිව පරිණත කරන මොහොතක් එනවා. ඒක බෙදා හදාගත් දුකවත් අපිට නැති කරන මොහොතක්. ඒ පරණ වීම හෝ පරිණත වීම මත ලබන අවබෝධය ඇත්තටම දුකක්. මොකද ඒ අවබෝධය විසින් අපිව ගොලු කරනවා එහෙමත් නැති නම් අපිට share  කරගන්න පුලුවන් මොහොතවල් අපෙන් උදුරා ගන්නවා. ඒ බෙදා හදා ගැනීම නැතිවූ විට හද රැඳි රුවවල්, ආසාවන්, හීනෙන්වත් නොපෙනී යාමේ කාලකන්ණි අවබෝධයට අපි මුහුන දෙනවා.




Friday, April 13, 2018

චූටි කෑලි මල් කතාව 4 - ආයෙත් ගෙදර






"සුබ උදෑසනක් ජේෂ්ඨ උත්තමයා...."
මම ඇඳෙන් උඩට විසි වෙන ගමන් කිව්වා.

"මොන උත්තමයා....
මේ campus එක නෙවී කොල්ලො".........
අම්ම හොඳටම හිනා වෙන ගමන් කිව්වා. ඔව් නේන්නම් මේ campus එක නෙවී, මේ ගෙදර. සති දෙකක කෙටි නම්නීකරණ කාලයෙන් පස්සෙ ආයෙත් මම ගෙදර ඇඳ උඩ. පහුගිය සති දෙකේම උදේ පාන්දර ඇහැරුනේ ජේෂ්ඨ උත්තමයන් අපේ යකඩ ඇඳට තඩි බාන පොලු පාරක මිහිරි නාදයෙන්. යකඩ ඇඳ ඒ පොලු පාරට තැව් දෙනකොට අපිත් ඒ අනුව තැව් දෙමින් උඩ විසිවෙන්නේ පොඩි කාලෙ බලපු කාටුන් වල හිටපු චරිත වගේ. එහෙම ගුවන් ගත වෙන ගමන් අපි ඇස් කොනින් පහළ බලනවා. ඔන්න එතකොට අපිට පේන්වා එළියට පනින්න තරම් ලොකු ඇස් දෙක ලොවි ගෙඩි වගේ රතුම රතුඋනු, උල්වූ දත් අතරෙන් රතු දිවක් එළියට දාගෙන , අපිව උන්ගේ කට ඇතුලට  වැටෙනකල් බලන් ඉන්න යක්ෂ සේනාව. අපි අභය දානය තකා පළවෙනි වචන කිහිපය අමාරුවෙන් ගලපගන්නවා ....."සුබ උදෑසනක් ජේෂ්ඨ උත්තමයා".
ඒ බයංකාර උදෑසනවල් 12කට පස්සේ මම ආයේ සුපුරුදු සුවපහසු ඇඳේ ඉඳන් අම්ම හදලා දීපු කිරි එකක් බොන දවසක් උදාවෙලා. මගේ හොස්ටල් ජීවිතේ පළමු දින කිහිපයේ මට අහිමිවුනු ලොකුම දේ තමයි උදේට ලැබෙන කිරි එක. කිරි එක නැතුව උදේට කනකල් බඩගින්න ඉවසන එක නම් ලේසි උනේ නෑ. ඒ විතරක් යෑ කිරි එක නැතුව උදේට ශරීර කෘත්‍ය කරන්නත් ලේසි උනේ නැතුවා.

නිදි  මතේ ඇස් දෙකත් භාගෙට වහන් කිරි එකේ අන්තිම උගුරු දෙක කටට ගන්න අතරෙ, මට 64 හීනෙන් වගේ පෙනී නොපෙනී ගියා. හත්වලාමයි , ඒක අමතකම වෙලා ගිය හැටි. මම ඇඳේ කොට්ට, පෙරවන රෙද්ද  විතරක් නෙවී මෙට්ටෙත් උස්සල බල බල phone එක හෙව්වා. බැලින්නම් නිදිමරගාතේ පෙරලෙද්දි phone එක ඇඳයි බිත්තියයි අතර හිඩසින් බිමට වැටිලා. ඒක ගන්න නම් බිමට බැහැලා ඇඳ පොඩ්ඩක් එහාට අදින්න ඕනි. ඒත් මට ඒකට කම්මැලි නිසා පුලුවන් තරම් ඇදිලා ඇඳයි බිත්තියයි අතරෙන් අත දාල phone එක අතට අහු වෙනකල් අත එහේ මෙහේ කලා. උරහිසින් අත වෙන් වෙලා යන තරමටම ඇදුණට පස්සේ යාන්තම් phone එක අතට අහු උනා. උදේ පාන්දර ඇඳ යට හැංගි මුත්තන් කරපු phone එක මගේ අතට ආවේ ඇඳ යට බැඳිල තිබුනු දූවිලි , මකුලු දැල් පොදියකුත් එක්ක. "නෙදකින් විතරක් දවසම මූසලයි". අතේ ගෑවුනු දූවිලි පිහින ගමන් මට කියවුනේ දූවිලි ගෑවුනු තරහටම නෙවී, phone එකට එක message එකක්වත් missed call එකක්වත් නොතිබුණු දුකට.

බොරුකාර ගෑණු. එක පාරින් කොහොමද නම්බරයක් මතක තියාගන්නෙ. ඊටත් හපන් මං වගේ බූරුවෙක්. කොහොම හරි කරල පෑනක් හොයගෙන නම්බර් එක ලියාගන්න හෝ කටින් හරි අහගන්න මට මොලයක් පහළ නොවුනු හැටි. මම 125 වෙනි වතාවටත් මටම සාප කරගත්තා. 

කාලෙකට පස්සෙ උදේට හොඳ කෑම වේලක් කන්න වාසනාව ලැබුණා. පහු ගිය සති දෙකේම අපේ උදේ ආහාරය උනේ පොල්කුඩු වලින් හදපු පොල්සම්බලෙයි, ඇට නැති පරිප්පු හොද්දයි එක්ක ලැබුණු බත් පත. මම කොහොමත් උදේට බත් කන්න කැමති එකෙක් නෙවී. බත් කන්න කැමති එකෙක්ට උනත් ඒ පරිප්පු හොද්දයි පොල් සම්බලෙයි එක්ක බත් කන්න නම් සෑහෙන්න හිත සමාධි ගත කරගන්න වෙනවා. ඒ නිසා අම්මගෙ අතින් හැදුණු උදේ කෑම වේල මිල කරන බැරි තරම් වටින එකක් කියලා මට නැවතත් පසක් වුනා.

කාපු ගමන් ඉක්මනින් මූණ කට හෝදගෙන මම ගියා කලින් දවසෙ රෑ මෝඩ call එකක් අරන් මාව මරණ මංචකේ පේන තෙක් මානය වෙනකල් අරන් ගියපු කුෂානයගෙ ගෙදරට. ඌ ඉන්නෙ අපේ ගෙවල් ලඟමයි. මං යනකොට ඌ හොඳටම නිදි. තුන්වෙනි පාරටත් A/L කරලා හෙම්බත් වෙලා හිටපු කොල්ලා මහන්සිය තවම පිට කරනවා වගේ. මං ගිහිලා ඌව ඇහැරෙව්වේ පිට මැද්දට දඩෝරියං ගාලා පාරක් අත අරිමින්. ඌ විලාප තියාගෙන නැගිට්ටා. 

"මොනවද හු** කරන්නේ. මරන්නද හදන්නේ උදේ පාන්දරම මූසලයා"

"මරන්න නෙවී තෝව පණ පිටින් හම ගහන්න ඕන ඊයේ රෑ මට කරපු වැඩේට"

"ඇයි මං මොකක්ද කලේ"

මං ඌට සති දෙකක් පුරා සිදු වුනු ත්‍රාසය, භීතිය , සිනහව සපිරි කතන්දරය කිව්වා අතිනුත් ලුණු ඇඹුල් දාලා.

කතාවෙ අන්තිම විනාඩි කිහිපය තිබුණේ දුක්බර, හදවත සසල කරවන මගේ phone නම්බර් දඩයම ගැන. ඒ දුක්ඛ දායක කතන්දරේ අහලා කුෂානයා මටත් වඩා දුක් වුනා.මොකද ඌටත් තවම ඌ කැමති කෙල්ලෙක් එක්ක කොන්ද පණ ඇතුව, කකුල් දෙක වෙව්ලන්නේ නැතුව කතා කරන්න පුලුවන් වෙලා තිබ්බේ නෑ. ඒ නිසා මගේ අතට ආපු chance එකක් miss කර ගත්ත එකේ වේදනාව ඌට හොඳින් අවබෝධ උනා. 

"අපරාදේ බන් උබටත් තිබ්බේ එකිගේ නොම්මරේ අහගන්න"......ඇහේ කබ අයින් කරන ගමන කුෂානය කිව්වා.

"කොහේ ඉල්ලන්නද බන්, මගේ පපුව විනාඩියට 144 ගානේ ගැහෙන ගමන් තිබ්බේ. මං බයේ හිටියේ ඒකි මට සෙරප්පු පාරක්වත් දෙයිද කියලා"

"සෙරප්පු පාරක්  කන්න හරි ඉල්ලන්න තිබ්බේ. බලහන් දැන් ඉතින් උඹට ආයේ කවදා campus පටන් ගනීද දන් නෑ. ආයේ උඹ යනකොට ඒකිට එකෙක් set වෙලා ඉඳී".

"අපරාදෙ බන් මට තිබ්බේ තව කෑලි 4,5ක්ගෙවත් නම්බර්ස් ඉල්ල ගන්න. කොහෙද මට ඒකට අවශ්‍ය පුරුෂ දහිරිය එනකොට meet එක ඉවර උනානේ"

"ඒකනේ බන්. අපිට ඕවා A\L කාලෙම පුරුදු වෙන්න තිබ්බේ. කොහේද ඉතින් අපි ඉගෙනීමටමනෙ සිත ගත දෙකම යොමු කලේ"

"අනේ තොගේ හිත ගත යෙදවිල්ල.......ඒක තමයි උඹලා ඔක්කොටම තුන්වෙනි පාරටත් මේ මගුල ලියන්න උනේ....ඔය කුණු කෙල ටික පිහදා ගනින් මළ පෙරේතයා" මම කුෂානයට ආයේ පයින් පාරක් දීගෙන උගේ හඩු ගඳ ගහන කාමරෙන් එලියට ආවා.

"අද හවස යමන් beach එක පැත්තේ ගයාන්වත් ඇදගෙන" කුෂානයා ආයේ ඔලුවෙ ඉඳන් පොරව ගන්න ගමන් කිව්වා.

සති දෙකකට පස්සේ අපි බන්ඩරවත්ත මුහුදු වෙරළට පය ගැහුවා. A\L ඉවර උනාට පස්සේ අපේ හවස් වරු වැඩි කාලයක් ගෙවුනේ මේ මුහුදු වෙරළේ. ටිකක් උස් ගල් කුලු සමූහයකින් සමන්විත මේ වෙරළ තීරය ගාලු පාර කිට්ටුව තියන නමුත් සැඟවුනු සුන්දර ප්‍රදේශයක්. ස්වභාවිකව ගලින් වටවෙලා හැදුණු පුංචි මුහුදු පොකුනේ තරුණියන් පිරිසක් නාමින් හිටියා. පීනන්න බැරි කොයි කාටත් මේ මුහුදු පොකුණ අපූරු අස්වැසිල්ලක් හා අවස්තාවක් ගෙනදුන්නා. මොකද බයක් හැකක් නැතුව ඒකට බැහැලා හිතේ හැටියට නාගන්න , දඟලන්න පුලුවන්. වටේටම ගල් වැටි සමූහයක් තිබුණු නිසා ගහගෙන යාමේ බයක් තිබ්බේ නෑ. අසල තිබ්බ උසම ගල් පර්වතයට නැග්ග අපි , ඒ කියන්නේ මායි, කුෂානුයි, ගයානුයි ඈත ක්ෂිතිජය දිහා බලන් හිටියා. 

හිරු රජිඳු සමුදුරු කිඳුරිය තුරුලේ මුහුන සඟවගන්න කිට්ටු කරමින් හිටියා. කොච්චර සැඩ පරුෂ උනත් සමුදුරු කිඳුරිය ලඟදි ඉර ලැජ්ජාවෙන් රතු වෙනවා. ඒ කෝල බවේ රත් පැහය අහස් කොපුල පුරා පැතිරෙමින් තිබුනා. තේජාන්විත බවේ නිල් පැහයත්, කෝල බවේ රත් පැහයත් එක් වෙලා හරි අපූරු සිතුවමක් අපේ ඇස් ඉදිරිපිට මැවෙමින් තිබුණා.පහු ගිය සති දෙක පුරා මීදුමෙන් වැසුණු කඳු පන්තියක් මැද ගෙවුණු මගේ අලුත් ජීවිතයට මද විරාමයක් දෙමින් ආයේ සුපුරුදු මුහුදු සුළං රැල්ල මගේ මුහුණ පිසිමින් හමන්න අරගෙන. කොහොමත් මම මීදුමෙන් මූණ වහගන්න යෝධ කඳු වලට වඩා මූණ රතු කරන් කරදියෙහි එබෙන ඉරට ආසයි.

"අඩෝ උබේ phone number love එක මූටත් කියපන් "...කුෂාන් මගේ දැහැන බින්දා.

මම ආයෙත් මගේ සති දෙකේ අත් දැකීම ලුණු ඇඹුල් එක්ක කරදියත් මුසු කරලා කියන්න පටන් ගත්තා.