Sunday, May 27, 2018

දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය




අප සෑම විටම ජීවත් වන්නේ බාහිර පරිසරයක් සමගය. මම කියා පුද්ගලයෙක් අර්ථ දැක්විය හැකි වන්නේම මගෙන් පරිබාහිර ලෝකයක් ඇත්නම් පමණි. ඒ නිසා අප සෑම විටම  පවතින්නේ යම් ලෝකයක, පරිසරයක, කුලකයක හෝ රාමුවක අවයවයක් ලෙසය. ඒ ජීවත් වන ලෝකය තුල අපේ චින්තාවන් , බලාපොරොතු , අපේ වටහා ගැනීම් අපේ අර්ථ දැක්වීම් යනු අපේ කැමැත්ත මතම සිදුවන දේ නොවේ. එය තුල අපිට ඉහළින් ක්‍රියාත්මක වෙන අධිපති මතවාද හෝ ජනප්‍රිය මත්වාද, බොහෝ විට අපේ සිතුම් පැතුම් වලට බලපෑම් කරන්නේය, ඒවා හැඩගස්වන්නේය. එම මතවාද සමූහය විසින් අපව යම් රාමුවක් තුලට ලෙස කොටුකරගෙන සිටී.  ලෝකය සෑම විටම ක්‍රියාත්මක වෙන්නේ අපව යම් රාමුවක් තුලට ඇතුලත් කරගනිමින්ය. අධිපති හෝ ජනප්‍රිය ග්‍රහණයෙන් මිදී තම තමන්ගේ රාමුව හැකි තරම් පුලුල් කරගැනීමය අපිට කළ හැක්කේ.නමුත් මේ පුලුල් කරගැනීමේ හැකියාව සෑම කල්හිම පහසු වන්නක් නොවේ. නැතිනම් ඇතැම් කරුණු සම්බන්ධයෙන් පහසු වන්නක් නොවේ.තරුරසී ගේ "දේශ ද්‍රෝහියාගේ නිර්මල හෘදය" යනු එම අපහසු කාලයන් සහ කරුණුමය තත්වයන් තුල රාමු පළල් කිරීමට උත්සහ ගත් ජීවිත රැසක දුෂ්කර  මතකයන් අප හමුවේ දිග හරින ලියවිල්ලකි. මනරම් ලියවිල්ලකි. 

මිනිස් ලේ වැගිරෙන, මිනී කඳු ගොඩගැසෙන , මිනිසුන් සොයා ගත නොහැකි ලෙස අතුරුදන් වෙන කාලයන් පසු ගිය දශක 5 පුරා අපිට විටින් විට උදාවී ඇත. ඇත්තටම ඒවා වැගිරුණා, ගොඩගැසුනා, අතුරුදන් වුනා නොව වැගිරුවා, ගොඩගැසුවා සහ අතුරුදන් කළා ලෙස වෙනස් විය යුතු බව අපි හොඳ හැටි දනිමු. නමුත් ඒ ඒ කාලයන් වල ඒ ඒ කරුණු වල කතෲන්  කවුරුන්දැයි නිශ්චිතව කීමට අපේ දිව නැවෙන්නේ නැත. මේ දිව නොනැවීම සිදුවන්නේ අප වටා පවතින අධිපති සහ ජනප්‍රිය ධාරාවේ මතවාදයන් , නැතිනම් දෘෂ්ටිවාදයන් වල ප්‍රබලතාව අනුවය. ඒ ප්‍රබලතාවයන් පෙර සඳහන් කළාවූ ලේ පිපාසිත කාලයන් වල මර්ධනයන් දක්වා උත්සන්න වේ. ඒ නිසා දෙන ලද තත්වයන් තුල අප සිත් අරක්ගෙන සිටිනා මතවාදයන්, අර්ථදැක්වීම් , සිතීමේ පටිපාටීන්ම  යනු අපේ කැමැත්තෙන්ම හෝ අපේ අනුදැනුම ඇතිවම වූ නිෂ්පාදිතයන් නොවේ.

එවැනි ලේ පිපාසිත සමයන් තුල මෙන්ම ආර්ථික සංවර්ධනය නමින් සිදුවන්නාවූ මුදල් ගොඩගැසීමේ ජාවාරම් ජයට කෙරෙන සමයන් තුලද සෑම විටම රටේ යම් ජන කොටසක් ආන්තීකරණයට ලක්වන්නේය.  බොහෝ විට ඔවුන් අධ්‍යාපනයෙන්, බලයෙන් සහ මුදලින් පහළ තලයේ වූවන්ය. මේ ආන්තීකරණයට ලක් වන්නවුන් වෙනුවෙන් පෙනී සිටිනා ආන්තීකරණය නොවූ ජනතාව යනු තමන් වටා පවතින අධිපති බලයට යට නොවී, ජනප්‍රිය රැල්ලට ගසා නොයනා පුරවැසියන්ය. ඔවුන්ට එරෙහිව ඇති අධිපති සහ ජනප්‍රිය රාමුවල තීව්‍රතාව මත ඔවුන් පිස්සන්, කඩාකප්පල්කාරීන්, දේශද්‍රෝහීන් ලෙස ලේබල් කරනු ඇත. ලේ පිපාසිත සමයන්ගේ නම් ආන්තීකරණයට ලක්වූ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීමේ පාපයට ඔවුන් ත්‍රස්ථවාදීන් ලෙස හංවඩු ගැසෙනු ඇත. බොහෝ විට එවැනි  කාලයන් යනු මිනිසුන් සිතා මතා, තර්කානුකූලව වැඩ කරනා කාලයන් නොවේ. ඒ නිසා මහා අධිපති ප්‍රතිරෝධයක් හමුවේ, ආන්තීකරණයට ලක්වන සුලු කොටසක් වෙනුවෙන්  නැගී සිටින්නන් සීමිතය. ඒ සීමිත භාවය උපයෝගී කරගනිමින් අධිපති න්‍යායපත්‍ර ක්‍රියාවට නැංවෙන අතර, පොදු ජනයා කුලී හේවායන්ගේ සිට රණවිරුවන් දක්වාත්, දේශප්‍රේමියාගේ සිට දේශද්‍රෝශියා දක්වාත් වර්ග කරණු ලබයි. මේ වර්ග කිරීම කලින් කලට ඉදිරියටත් පසුපසටත් සිදුවෙයි. දිගින් දිගට සිදුවන එවැනි ක්‍රියාවලියක් තුල සිදුවන්නේ අධිපති ධාරාවට එරෙහිව නොනැගිටින්නවුන්, අධිපතියන් හා එක්වී නිදහස් අදහස් දරන්නන් පාගා දැමීමය.

දේශ ද්‍රෝහියාගේ නිර්මල හෘදය තුලින් තරුරසී එවැනි නිදහස් මතධාරීන් සමූහයකගේ ජීවිත අප හමුවේ විදාරණය කරයි. එම චරිත අති බහුතරයක් මේ මහා පොළව මත සැබවින්ම අරගල කළ මිනිසුන් විනා පබැඳූ චරිත නොවේ. ලෝකයේ සෑම කල්හිම අධිපති මතවාදයට එරෙහිව මිනිසත්කම වෙනුවෙන් නැගී සිටිනා පරාර්ථකාමීන් වූහ. එය මෙබිමටත් එක සේ අදාළය. ජනප්‍රිය කතිකාවන් තුල ඔවුන්ගේ නම් ඉස්මතු වෙන්නේ නැත. මන්ද ඔවුන් වැඩ කර ඇත්තේ රාජ්‍ය බලය ඇති පාර්ශවය වෙනුවෙන්වත් , කැරළිකාර පාර්ශය වෙනුවෙන්වත් නොවන බැවිනි. ඔවුන් සැම විටම වැඩ කලේ මේ දෙපාර්ෂවයේ ක්‍රියාකලාපයන්ට මැදිව සදා දුක් විඳිනා, හඬක් නැති මිනිසුන් වෙනුවෙනි. ඒ නිසා එවැනි පරාර්ථකාමීන්ගේ නම් ඉහත කී දෙපාර්ශවයේම සැමරුම් උළෙල වලදී අමතක කර දමනු ලැබේ.

තරුරසී සිය කතාව අප හමුවේ දිග හරින්නේ ක්‍රිස්තියානි විමුක්ති ධර්මය ප්‍රධාන මාවත කරගනිමිනි. සෙව්වන්දි නමැති කන්‍යා සොයුරියට මුන ගැසෙන ආදිත්‍ය නම් රැඩිකල් තරුණයෙකු නිසා ඇයට තමන් ජීවත් වන රාමුව පුලුල් කල හැක්කක් බවට ප්‍රක්ත්‍යක්ෂ වේ. නමුත් අප ඉහත කතා කල රාජ්‍ය අධිපති කතිකාව හා ජනප්‍රිය කතිකාවට අමතර තවත් මහා ප්‍රතිරෝධයකට ඇයට මුහුණ දීමට සිදුවේ. ඒ තම පැවිදි ලෝගුව විසින් එල්ල කරන ප්‍රතිරෝධයයි. මේ සියලු බාධක මැද තමන් සිටිනා රාමුව යම් තරමකින් පුලුල් කර ගැනීමට යද්දී ඇය මුහුණ දෙන මානසික ආතතීන් තරූ  අපිට මැන්වින් මුණගස්වයි. හඬක් නැති මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීම කරා වෙහෙසින් දිව යන ගමනේදී, පැවිදි ලෝගුවෙන් වැසුණු ඇගේ තරුණ හදවතේ ආදරණීය හඬ ආදිත්‍යට හොරෙන්, නමුත් ඔහු වෙනුවෙන්ම , හඬ නගයි සැමවිට. ඒ  හඬ නැගෙන භාෂාව ඉතා ඉවසිලිවන්ත සහ කාව්‍යාවත්මක එකකි.


"හතර වටින් යුධ ගිනිදැල් නැගෙද්දී මා සිටියේ අරුමැසි ප්‍රේමයේ ගිනිකන්දක් මාතුලම දරා ගනිමිනි. එය කොයි මොහොතේ හෝ පුපුරා යනු ඇතැයි නිරන්තරයෙන් බියගනිමිනි. ඒ ඇතුළාන්ත අරගලයෙන් යම් සහනයක් ලැබිය හැකි වෙතැයි යන සිතුවිල්ල සැනසිල්ලක් වී, ශෝකී සුසුම් අතරම වි‍යැකී යන බවක්ද දැනිණ. විදාරණය වන්නට නොව සිසිලනය වෙමින් හද ගැඹරෙහිම නිවී යන්නට ඉඩදිය යුතු ප්‍රේමයකි ඒ."
-14 පිටුව

කෘතියේ සෑම පරිච්ඡේදයක්ම ඇරඹෙන්නේ බයිබලයේ එන ප්‍රේම ගී වල උද්දෘතයකිනි. එය ආකෘතිමය වශයෙන් නැවුම් අත්දැකීමකි. එමෙන්ම ස්තාපිත ක්‍රිස්තියානි දහම හා සංස්කෘතිය පිලිබඳ යම් විකල්ප කියවීමක් කෘතිය පුරා දිග හැරෙන්නේයැයි සිතේ. ඒ සියල්ල අප හමුවේ තබනා ඉවසිලිවන්ත භාෂා හැසිරවීම සැබවින්ම අගනේය. ඒ ඉවසිලිවන්ත භාෂා හැසිරවීම තුලින් අපිට තර්කයෙන් විසඳිය නොහැකි, හැඟීම් පිළිබඳ මහා ප්‍රශ්න ගොන්නක් නිස්කාන්සුවේ විමසීමකට ලක් කිරීමකට අවස්තාව උදා කර ඇත. ලංකාවේ ජන වාර්ගික අර්බුධය නිරූපණය කරනා බරැති සලු පිලි, ආගම් වල එල්ලී ලෙලදෙන සාවද්‍ය සලු පට, එකින් එක ඉවසීමෙන් ලිහා වෙන් කිරීමට මෙය අවස්තාවකි.

ගිය සතියේ ලිපියෙන් කීවාක් මෙන් මෙරට ජාතික ගැටලුව හා සම්බන්ධ අතිශය වැදගත්  කරුණක් පවා තර්කාණුකූලව කතිකා කිරීමේ හැකියාවක් මෙරට ජන සමාජයට නැත. මන්ද එම අර්බුධය පිළිබඳ මතක, අත්දැකීම් සැබවින්ම වේදනාත්මක, කටුක සහ අප්‍රසන්න හැඟීම් වලින් පිරී ඇති නිසාය. එමෙන්ම ඊට ඉහළින් අධිපති උවමනා වෙනුවෙන් ඉතා තදින් ඔලුවට සවි කරන  ලද, ඝන සාවද්‍ය  මතවාදී කබොල්ලක් ජාතිවාදී හැඟීම් කුප්පමින් ඇති නිසාය. ඒ නිසා මේ කරුණු දේශපාලනිකව හෝ ඇකඩමියානු ලෙස ජනයාට වටහා දීම අතිශයින් දුෂ්කරව ඇත. තත්වය එසේ වෙද්දී ආන්තීකරණය වෙන ජනයාගේ හඬ , රුව අපේ ඇස් , කන් ඉස්මත්තට ගෙන ආ යුත්තේ කලාව විසිනි. කලාවේ හැඟීම් දැනවීමේ කෞශල්‍ය තුලින් අතිශය හැඟීම්බර අපේ අතීත අත්දැකීම් තුල අපිට අමතකව ගිය අනෙකාව අපට මුණගැසෙනු ඇත. කලාව වින්දනයෙන් එහාට ගිය වැඩබිමක් ලෙස භාවිතා කල හැකි බවට මෙවැනි කෘති දෙස් දෙන්නේය.


Saturday, May 19, 2018

රාජිතගෙන් ටෝච් එළියක් ?




Terrorist ;
A person who uses unlawful violence and intimidation, especially against civilians, in the pursuit of political aims


ටික දිනකට පෙර පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු විසින් අසන ලද පැනයක් හමුවේ  ඇමති රාජිත  ටෝච් එළියක් යම් දිශාවකට එල්ල කළේය. ඒ ටෝච් එළියෙන් නිරාවරණය වූයේ ලංකාවෙ ත්‍රස්ථවාදය සම්බන්ධයෙන්  ඇසිය යුතු කේන්ද්‍රීය ප්‍රශ්නයකි. නයියාද මේ පැනයම මීට පෙර අවස්ථා දෙකකදී ජාතික ප්‍රශ්නය පිළිබඳ මිතුරන් අතර වූ සන්වාද වලදී අසා ඇත.  ප්‍රශ්නය වූයේ, LTTE සැමරුම් තනමට ලක් කළ යුතු නම් ජවිපෙ විසින් පවත්වන අප්‍රේල් සහ ඉල් මහ විරු සමරු වලට අප ඉඩ දිය යුත්තේ ඇයි? , එදවස  ජවිපෙ ක්‍රියාකලාපයන් ත්‍රස්ථවාදී ක්‍රියාවන් නොවන්නේ කෙසේද?

ඉහත දී ඇති නිර්වචනය අනුව දේශපාලන අරමුණු තකා සිවිල් වැසියන් තලා පෙලා ඔවුන් මත භීෂණය පතුරුවන ඕනෑම අයෙක් ත්‍රස්ථවාදියෙකු වේ.  මට අනුව නම් තමන්ගේ ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා ඊට කිසිසේත් අදාළ නැති පාර්ශවයක් සිතා මතා පෙලීමට ලක් කරන්නේ නම් ඒ ක්‍රියාව ත්‍රස්ථ ක්‍රියාවකි.  අපේ කේන්ද්‍රීය ප්‍රශ්නය වෙතට හැරුණොත්, LTTE යනු අපට කිසිඳු ලෙසකින් සිතට ඉස්පාසුවක් නොදෙනා ත්‍රස්ථ සංවිධානයක් වෙද්දී ජවිපෙ එදවස ක්‍රියාකලාපයන් ත්‍රස්ථවාදී නොවන්නේ කෙසේද?.

LTTEය තම අවශ්‍යතා ඉටුකරගැනීමේ මාධ්‍ය ලෙස සාමාන්‍ය වැසියන් මරා දමද්දී , ජවිපෙද තම දේශපාලන අරමුණ සාක්ෂාත් කරගනුවස් සාමාන්‍ය  මිනිසුන්  මරා දමන ලදී. ජවිපෙ සමග සසඳන විට LTTEය විසින් ගොඩ ගැසූ මිනී කන්ද අති විශාල එකකි. LTTEය හා සසඳන කළ ජවිපෙ ඉතා ඉක්මනින් රජයේ මර්ධනය හමුවේ පරාජයට පත්වීම ඊට ප්‍රධානතම හේතුව විය හැක. නමුත් ක්‍රියාවලියක් වශයෙන් ගත් කළ මේ සංවිධාන දෙකම තම දේශපාලන අරමුණු ඉටු කරගනුවස් සිවිල් වැසියන් වෙත මරණය හා භීෂණය කැඳවූ ත්‍රස්ථ ව්‍යාපෘතීන්ය.

තතු එසේ වෙද්දී අපිට ජවිපෙ ඉකමනින් හා පහසුවෙන් දිරවාගත හැකි එකක් වූයේ කෙසේද?.....ඊට ප්‍රධාන හේතුවක් වන්නේ ජවිපෙ යනු දකුණ වීමය. 71 සහ 88 කැරලි දෙක තුල ජවිපෙ ක්‍රියාකාරීත්වය යනු දකුණේ ජීවත් වූ සිංහල බෞද්ධ ජනයාය. එහිදී ජවිපෙ ත්‍රස්ථයා ලෙස අපට මුණගැසුනේ අපේම යහලුවන්, අසල්වැසියන්, සහෝදරයන්ය. ඔවුන් රාජ්‍ය අවිබලය හමුවේ මර්ධනයට ලක්වද්දී ඒ ඒ පවුල් වල අම්මලා, තාත්තලා හෙලූ කඳුලු අපිට නොපෙනුනු, නොදැනුනු එකක් නොවේ. එම කැරලි සමයන් තුල අතුරුදන් වූ මරා දැමූ සියලු තරුණයන් වෙනුවෙන් දකුණේ බොහෝ දෙනා වැලපුනහ. මන්ද ඔවුන් අපේම උන් වූ බැවිණි. එදවස ගුරුවරුන් වූ මගේ දෙමාපියන්ගේ බොහෝ ගෝලයන්ට සිදුවූයේ එම භීෂණ සමය තුල ත්‍රස්ථයන් ලෙස හෝ සැකකරුවන් ලෙස අකාලේ මරු වැලඳ ගැනීමටයි. තමන්ගෙන් සිප් සතර හැදෑරූ කොල්ලන් කෙල්ලන් අවුරුදු 20 වෙන්ටත් මත්තෙන් මරු වැලඳ ගද්දී අපේ අම්මලාගේ නෙතින් ගැලූ කඳුලු වලට උන් ත්‍රස්ථවාදීන්ද නැද්ද යන්න අදාළ නොවුණි.

අනෙක් කරුණ ජවිපෙ කිසි විටෙක සිංහල හෝ බෞද්ධ අනන්‍යතාව පෙරටු කරගත් ආයතන එල්ල කොට ප්‍රහාර එල්ල නොකිරීමය. ජවිපෙ සිංහල ජාතිවාදී මානසිකත්වය පෝෂණය කළ ව්‍යාපාරයක් වූ බැවින් එය එවැනි පහරදීම් වලට පෙළඹුණේ නැත. නූතන රාජ්‍ය සංස්ථාපිතයේ අති ප්‍රබලම සංඛේතීය දෙයක් වන "ජාතිය"ට, එරෙහිව මතුවන අභියෝගයක් ජවිපෙ ත්‍රස්ථවාදය කරණකොටගෙන දකුණට මුණගැසුනේ නැත. ඒ නිසා කුමන වැරදි තිබුණත් ජවිපෙ යනු දකුණට අපි අපිමය.

නමුත් LTTE ත්‍රස්ථයා යනු ජවිපෙ ත්‍රස්ථයා මෙන් අපේ අසල්වැසියෙක්, යහලුවෙක් ,නෑදෑයෙක් ආදී කිසිම ලෙසකින් වත් දකුණේ අපිට සම්බන්ධයක් ඇති කරන චරිතයක් නොවේ.  සම්බන්ධතා අතින් මෙන්ම භූගෝලියවද, සංස්කෘතිකවද LTTE ත්‍රස්ථයා අපිට ඉතා දුරය. ඒ තබා උන් කතා කරන භාෂාව පවා අපිට නොතේරෙන එකකි. එමෙන්ම LTTE සටන් ව්‍යාපෘතිය තුල තුල පැහැදිලිවිම සිංහල ජාතියට  හා බෞද්ධ ආගමට විරුද්ධ ප්‍රහාරයන් රැසක් තිබිණි (ස්ථානීය ප්‍රහාර වශයෙන්). ඒ නිසා දකුණට LTTEය ජාතිය අනුවද සතුරෙකි. ඉතින් කිසි ලෙසකින්වත් දකුණට , උතුරු අරගලයේ දුක් වේදනාවන් හෝ අභිමානයන් සැමරීම් දරාගැනීමට හෝ අවබෝධ කරගැනීමට ලේසියෙන් හැකි වන්නේ නැත. ඒ අවබෝධයට  බාධා කරන බිහිසුණු අත්දැකීම් ගොන්නට අමතරව මානසිකව ඉදිවුනු බිඳ හෙලිය නොහැකි පවුරකින්ද දකුණු මනස සමන්විතය.

පෙරදී පැවසුවාක් මෙන් "ජාතිය" යනු නූතන රාජ්‍ය ක්‍රියාවලියේ අතිශය වැධගත් ලක්ෂ්‍යක් වන්නේය. අපේ ජාතිය යනු අපේ තේරීමක් නොවේ. එය අපට උපතින් ලැබෙන දෙයකි. ඒනයින් බලන කල එය ඉතා අතාර්කික එකකි. නමුත් පසුගිය සියවස් කිහිපය පුරා එය රඟ දක්වන භූමිකාව අතිශය ප්‍රභලය. මිනිසුන් ඒ මත ගන්නා තීන්දු තීරණ, තම ජාතියට දක්වන බැඳීම සම්පූර්ණයෙන්ම වාගේ හැඟීම් මත පදනම් වූ ඒවාය. එනිසා ඒ තුලින් මතුවන ගැටළු වලට තර්කානුකූල පිළිතුරු වලින් පලක් නොවේ. ගණිත ගැටලුවක් සාධනය කර පෙන්වනවාක් මෙන් ජාතික ගැටලුව අරභයා නැගෙන ප්‍රශ්න වලට තර්කානුකූල උත්තර සාධනය කළ නොහේ. ඒ නිසා එදා ප්‍රශ්නයට රාජිත දුන්නේ හැඟීම් තුලින්ම විසඳා නිම කළ එවැනි ප්‍රශ්නයක් උදාහරණයට ගැනීමයි. ඉහතින් දැකූවූයේ එම පිළිතුරේ විශ්ලේෂණයයි.

ලංකාවේ ජාතික ප්‍රශ්නය අතිශය සංකීර්ණ මෙන්ම දීර්ඝ ඉතිහාසයක් මත පදනම් වූවකි. අරුණාචලම් 1920දී ජාතික සංගමයෙන් වෙන්වීම තෙක් දශක ගණනක අතීතයක් දක්වා මේ ප්‍රශ්නය විශ්ලේෂණය කළ හැක්කේය. එතැන් පටන් සිංහල දෙමළ වාර්ගික පිරිස් එකිනෙකාට එදිරිව කල කී දෑ, මෝඩකම්, ජඩ කම්, පළි ගැනීම්, හදාරන්නේ නම් අද මේ පවතින දේශපාලන ආතතිය පුදුම වීමට හේතුවක් නොවනු ඇත. නමුත් ජාතික ප්‍රශ්නය ගැන එවැනි විශ්ලේෂණත්මක කියවීමක් රටේ අති බහුතරයකට අවශ්‍ය නැති බව පැහැදිළිය. මේ වෙද්දී මෙරට ජනගහනයෙන් 45%ක් පමණ අයත් වන්නේ 1983න් පසු ඉපදුණු පරම්පරාවන්ටය.ජාතික ගැටලුව ලෙස මේ පරම්පරාවන් දකින්නේ ලංකා සිතියම පාට දෙකකින් පාට කර තිබීමය. එහි රතු පාටින් පාටවූ උතුරු කොටස අල්ලා ගැනීමට කොටි නම් ත්‍රස්ථ සංවිධානය කළ වෑයම 2009 දී මෙරට රජය විසින් මිලිටරීමය ලෙස පරාජයට පත් කළේය. එවිට සිතියම සම්පූර්ණයෙන් කහපාටට හැරී එක රටක් බවට පත්වූයේය. ඉතින් ගැටලුව විසඳලාය. තිස් අවුරුදු යුද්ධයට යටින් දශක ගණනාවක් පුරා පවතින දේශපාලන ආතතිය පිළිබඳ දැනුමක් මේ පරම්පරාවලට වලට නැත්තේය. සිතියම් ප්‍රශ්නයක් ලෙස මේ පැටලුණු නූල් බෝලය දුටු ඔවුන්ට ඒ ගැඹුරු හැදෑරීම අහිමිය.  ඊට ඉහළ පරම්පරාවන්ද එය විශ්ලේෂණය කිරීම හිතා මතාම අමතක කරන්නේ තම තමන්ගේ ජාතියට ඇති අන්තගාමී බැඳීම නිසාය. ඒ නිසා මේ ප්‍රශ්නය කිසිදා කතා කර විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ. මේ ජාතීන් දෙකම ජාතික ගැටලුව අරඹයා මේ වෙද්දී ක්‍රියාත්මක වෙන්නේ තර්කානුකූල පදනම් මත නොව හැඟීම් වලින් මෙහෙයවනු ලබන අසරණ ආත්මයන් ලෙසය.

1994 පටන් ලංකාවේ මැතිවරණ ජයග්‍රහණ තීරණය වුනේ කාරණා දෙකක් මතය. එකක් හොරු ඇල්ලීමය, අනෙක ජාතික ගැටලුවය. හොරු ඇල්ලීම සිදු නොවන්නාක් මෙන්ම ජාතික ගැටලුව විසඳීමද මේ කල්පය තුල සිදු නොවන්නක් බව පැහැදිලිය. ජාතික ගැටලුව තුල පැවති සන්නද්ධමය භීෂණය 2009 දී අවසන් කිරීමට සමත්වීම යනු අතිශය වැධගත් සන්ධිස්ථානයකි. නමුත් ඒ තුලින් විවර වුනු දේශපාලන කතිකාමය දොරටුව නිරපරාදේ නාස්ති වී යමින් තිබේ. එය හරි පාරට දමා ගෙන එකඟතා වලට එමින් මේ ප්‍රශ්නය විසඳීමට හැකියාවක් පෙනෙන තෙක් මානයක නැත්තේ සිංහල දෙමළ සමාජ දෙකම  අතිශය ජාතිවාදී ධ්‍රැව දෙකකට තල්ලු වී තිබීම නිසාය. ඒ නිසා මේ මොහොතේ අපිට අතිශය  අලුත් දේශපාලන නායකත්වයක් අවශ්‍ය කර තිබේ. එය හොරු ඇල්ලීමෙන් සහ ජාතික ගැටලුවේ මඩ ගොහොරුවෙන් එහාගිය උත්කෘෂ්ඨ ඉලක්කයක් අපිට පෙන්විය යුත්තකි.

සියලු ජාතීන්ට මේ පවතින ප්‍රශ්න අමතක කර දමා එක් පෙරමුණකට ගොනුවිය හැකි ඉලක්කයක් කරා එම වැඩපිළිවෙල සකස් විය යුතුය. උදාහරණයක් ලෙස 60,70 ගණන් වල නම් අපිට එවැනි ඉලක්කයක් ලෙස කොමියුනිස්ට් සමාජයක් නම් කළ හැකි විය. නමුත් වම දකුණු බෙදුම් රේඛා ලෝක පරිමානයෙන්ම  කවලම්වී, විකාර වී ගිය අද වැනි කාලයක එම ඉලක්කය විහිලුවක් පමණක් වනු ඇත. නමුත් අපිට අලුත් ආර්ථික හා සමාජ ඉලක්කයක් පෙන්විය යුතු නායකත්වයක් ඉතා ඉක්මනින් අවැසි වෙමින් තිබේ. එය මේ පවතින අඳුරු , කෙළවරක් නැති ජාතික ගැටලුවෙන් ඔබ්බ්ට ලෝකයක් පෙන්විය යුතු බුද්ධිමය ව්‍යාපාරයක් විය යුතුය. සියලු ජාතීන්ට තම අතාර්කික ජාති බැමි වලින් මිදී එක්ව ගමන් කල හැකි දිශාවක් කරා යොමු වන  එය බිහි නොවන්නේ නම් තව තවත් බිලි පූජාවන් මේ බිම මත ඇති කරන  බීජ ඵල දැරීම ඇරඹෙනු ඇත. මන්ද එම බීජ මේ වන විටත් වපුරා අවසන් බැවිණි.

Friday, May 4, 2018

සමාජ මාධ්‍යය, ජංජාලයක් ලෙස...




සමාජ මාධ්‍යය කියන්නේ පසු ගිය මාස කිහිපය පුරාම උණුසුම් පුවත් මවපු මාතෘකාවක්.අපි දශක ගණනාවක් තිස්සේ පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්න සාම්ප්‍රදායික ජන මාධ්‍යය අවකාශය හා සසඳද්දි සමාජ මාධ්‍ය කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් අවකාශයක්. ඒ වගේම සමාජ මාධ්‍ය අවකාශය යනු ලෝකයට තවමත්  අලුත් අත්දැකීමක්. එහි පවතින තාක්ෂණික පහසුකම් හා ක්‍රියාවලීන් ඉක්මනින් ඉක්මනින් යාවත්කාලීන වන නිසා සමාජ මාධ්‍ය වල වපසරිය කෙනෙක්ට සහසුද්දෙන්ම තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්.අන්තර්ජාලය පාදක කරගනිමින් බිහි වෙන මේ අලුත් අවකාශය, ලොව පුරා වෙසෙන මිනිසුන්ගේ සන්නිවේදන අවශ්‍යතා වේගයෙන් සපුරාගත හැකි වේදිකාවන් සමූහයකින් යුක්තයි. එහි විශේෂත්වය වන්නේ සමාජ මාධ්‍යන්හී අන්තර්ගතය ජනනය කරනුයේ එහි පරිශීලකයන් විසින්ම වීම. එමෙන්ම සාම්ප්‍රදායික ජනමාධ්‍ය වලට පවතින සීමා මායිම් බොහොමයක් සමාජ මාධ්‍ය වලට නෑ. ජනමාධ්‍යකරුවො කියලා වෘතීයවේදීන් කොට්ඨාෂයක් සිටියට සමාජ මාධ්‍යකරුවො කියල හඳුන්වන්න පුලුවන් වෙනම කොටසක් නෑ. එහි මාධ්‍යකරුවන් වෙන්නේ ලෝකය පුරා වෙසෙන අපි අපිමයි. ඒ නිසාම එය සෑහෙන තරම් නිදහස් මෙන්ම අවිධිමත්ව තොරතුරු ගලායන අවකාශයක්.

භාවිතා කරන්නන්ට වඩා ඉක්මනින් හා උපරිම ගතික භාවයෙන් තම හිතවතුන් හා පණිවිඩ හුවමාරුකරගන්න, ඡායා රූප බෙදාගන්න, දුරකතන ඇමතුම් ලබාගන්න, video දර්ශන පල කරන්න වගේ පහසුකම් රැසක් ලබාදෙමින් මේ මාධ්‍යන් ජනයා අතරට යනවා..ඒ අතරම බොහෝ දෙනා  විවිධ මාතෘකා ඔස්සේ තමන්ගේ අදහස්, විචාර, කලා නිර්මාණ, ප්‍රවෘති මෙන්ම වෙළඳ කටයුතුත් මේ හරහා කරගන්න පෙලඹී අවසන්. තමන්ගේ ග්‍රාහකයන් සමග ඉතා වේගයෙන් සම්බන්ධ වෙන්න වගේම  ග්‍රාහකයන්ගේ  අදහස් ,විවේචන සමග ඉක්මනින් සන්නිවේදනයේ යෙදෙන්න සමාජ මාධ්‍ය වලට ඇති හැකියාව බොහෝ සම්ප්‍රදායික මාද්‍ය තුල දකින්න ලැබෙන්නේ නෑ.

පහුගිය කාලය පුරා ඇති වූ ස්වාභාවික ව්‍යසන බොහොමයකදී රටේ හතර කෙලවර සිටි එකිනෙකා නොහඳුනන බොහෝ පිරිස් මේ වේදිකාවන් හරහා සන්නිවේදන්යේ යෙදී ඉතා කාර්යක්ෂම සහන සේවා පවත්වාගෙන ගියා. ඒ වගේම විභාග කටයුතු වලදී, පුණ්‍ය කටයුතු වලදී වගේම බොහොමයක් ක්ෂේත්‍ර වල දැනුම නොමිලේ බෙදා හදා ගන්න ලබෙන සාමූහික අවකාශයක් තමයි මේ සමාජ ජාල. ඒ වගේම එහි පවතින ගතික භාවය, වේගය සහ ප්‍රවේශ වීමට ඇති පහසුව එය වඩාත් ජනප්‍රිය ප්‍රවෘති බෙදාහැරීමේ මාධ්‍යයක් බවට පත් කරනවා. මේ හැකියාවත් සමගම අද වන විට බොහෝ දෙනෙක් තමන්ගේ ප්‍රවෘති මාධ්‍ය බවට පත්කරගෙන තියෙන්නෙත් මේ සමාජ මාධ්‍ය වලින් එකක් හෝ කිහිපයක්. අවිධිමත් සහ නිදහසින් උපරිම මෙවැනි මාධ්‍යයන් ප්‍රවෘති දැන ගැනීමේ හෝ බෙදා හැරීමේ යන්ත්‍රණයක් ලෙස භාවිත කිරීම ඉතා සැලකිල්ලෙන් කල යුතු කරුණක්.

එම සැලකිලිමත් භාවය නිසි පරිදි ක්‍රියාත්මක නොවෙන්නට පටන්ගත් තැන ඉඳන් තමයි සමාජ මාධ්‍ය අවභාවිතාව ඇරඹෙන්නේ.පටන් ගනිද්දිම කිව්වා වගේ සමාජ මාධ්‍ය යනු දොරටු පාලකයෙක්ගේ තරවටුවෙන් තොරව ක්‍රියාත්මක වන නිදහස් අවකාශයක්. ඒ නිසාම පුවතක නිරවද්‍යතාව පිලිබඳ  ජන මාධ්‍ය වල පවතින නීති රීති, රෙගුලාසි මෙහි පල වෙන දේවල් සඳහා අදාල වෙන්නේ නෑ. ඒ නිසාම සමාජ මාද්‍ය තුල සංසරණය වන බොහෝ ප්‍රවෘති සාවද්‍ය ඒවා හෝ අර්ධ සත්‍යයන්. මේවා පල කරන පුද්ගලයන්ගේ අරමුන සමාජය කලබලයට පත්කර විනෝදයක් ලබාගැනීම, තමන්ගේ ජනප්‍රියතාව වැඩි කර ගැනීම හෝ ඊට එහා ගිය දරුණු දේශපාලන කුමන්ත්‍රණ විය හැකියි.

සමාජ මාධ්‍ය වල මෙන්න මේ විපරීත කලාපයට පැමිණෙන විට බොහෝ රජයන් සමාජ මාධ්‍යත් එක්ක ගැටෙන්න ගන්නවා. බොහෝවිට මේ විවේචන එල්ල වෙන්නේ කියන තරම් සද්භාවයෙන් නොවේ. බොහෝ විට එහි අරමුණ වෙන්නේ දේශපාලනිකව තමන්ට එල්ලවෙන විවේචන යටපත් කිරීම. ලංකාව තුල පහුගිය අවුරුදු කිහිපයේදීම සමාජ ජාල වලට වැට බැඳිය යුතුයි කියන කතාව විටින් විටේ ඇහෙමින් තිබුණා.එහි උච්ඡ්තම අවස්තාව පහුගිය මාර්තු 7ත් වෙනිදා උදා උනේ මහනුවර ඇතිවුණු ජාතිවාදී ගැටුම් මුල් කරගෙන රජය මෙරට සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක් තාවකාලිකව අවහිර කිරීමත් සමග.

එහිදී රජයේ මූලික තර්කය උනේ ඇතිවූ ජාතිවාදී ගැටුම් වේගයෙන් පැතිර යාමට හේතුව සමාජ මාධ්‍ය බව. සමහරුන් ඊටත් එහා යමින් පැවසුවේ ලංකාවේ ජාතිවාදය ඇතිවෙලා තියෙන්නෙත් facebook නිසා කියලා. රජය ගෙන ආ මූලික තර්කයේ යම් සත්‍යක් තිබිය හැකි වුනත් එය දඩමීම කරගනිමින් සමාජ මාධ්‍ය වලට වැට බැඳීමට සැරසෙන්නේ නම් එය හෙළා දැකියයුතු තත්වයක්. ලංකාවේ මිලියන හයකට ආසන්න facebook ගිණුම් හිමියන් ඇති අතර රට ගිණි තියන අයහපත් ක්‍රියා සඳහා දායක වෙන පිරිස් ඇත්තේ එයින් ඉතා ස්වල්පයක් පමණයි.කඩාකප්පල්කාරී සුලු පිරිසකගේ ඔලමොට්ටල ක්‍රියාවන්, භූමිය මත පාලනය කරගත නොහැකිවීමේ අසමත්කම වසාගැනීම සඳහා සිදු කරන සමාජ මාධ්‍ය තහනම නිසා එය නිසි ලෙසත් ධනාත්මක ලෙසත් භාවිතා කරන අති බහුතරයක් උදවියත් ඉන් පිටමං කිරීමට ලක්වෙනවා.

සමාජ මාධ්‍ය හරහා සිදුවන සාවද්‍ය හා ගැටුම් ඇතිකරවන තොරතුරු බෙදා හැරීම නවත්වන්නේ කෙසේද?. නැතිනම් ඒවායින් ඇතිවන අහිතකර ප්‍රථිඵල අවම කරන්නේ කෙසේද?.....සමාජයේ හිතසුව පිණිස බහුතරයක් පරිශීලකයින් විසින් ආදර්ශමත් ලෙස භාවිතයට ගන්නා මෙම වේදිකාවන් තහනම් කර දැමීමද ඊට විසඳුම. එසේ නම් ලංකාවේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ රථ වාහන අනතුරුවලින් නිසා වාහන භාවිතයත් නවතා දැමිය යුතුයි. මෙය සමාජය තුල මෙන්ම බලධාරීන් අතරත් උනන්දුවෙන් විමසීමට ලක්වියයුතු කාරණාවක්.

සමාජ මාධ්‍ය තුල පැතිරයන කඩාකප්පල්කාරී තොරතුරු හැංගි හොරා ගලායන්නක් නොවේ. ඒවා ප්‍රචාරය කරන පුද්ගලයන් හඳුනාගැනීම ඉතාම පහසුයි. එම තොරතුරු ප්‍රචාරය කරන්නේ තමන්ගේ නමින්ම වීම මේ සෙවීම පහසු කරන්නක්..ඒ නිසා එවැනි පුද්ගලයන් සොයාගෙන ඔවුන්ට නිසි ඳඬුවම් පැමිණවීම හෝ ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් අවහිර කිරීම කළ හැකියි. එමෙන්ම සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන කඩාකප්පල්කාරී තොරතුරු දීර්ඝ කාලයක් අධ්‍යයනය කරමින් ඉදිරියේදී ඇතිවිය හැකි නොසන්සුන්තා පිළිබඳ යම් පූර්ව අවබෝධයක් ලබා ගත හැකියි.

රජයේ පාර්ශවයෙන් නිතර නැගෙන මැසිවිල්ලක් වෙන්නේ සමාජ මාධ්‍ය තුලින් බොරු වපුරවන බවත්, පුද්ගල අපහාස සිදුකරන බවත්. නමුත් ඒ සේවාවන් භාවිත කරමින් නිවැරදි තොරතුරු ජනගත කරන්න, රජයේ ආයතන සහ නිලධාරීන් ගන්නේ  ඉතා ඇල්මැරුණු ක්‍රියා කලාපයන්. මේ වනවිට ලෝකයේ බොහෝ නායකයන් තමන්ගේ තොරතුරු, ප්‍රතිපත්ති, ස්ථාවරයන් ජනගත කරන්න twitter මාධ්‍ය ඉතා බහුලව යොදා ගන්නවා. එවැනි රටවල රාජ්‍ය ආයතන තම රට වැසියෙන් නිවැරදි තොරතු වලින් සන්නද්ධ කරන්න සමාජ මාධ්‍ය ඵලදායී ලෙස භාවිත කරන්වා. නමුත් අපේ රටේ රාජ්‍ය තන්ත්‍රය මේ නවීන සන්නිවේදන තාක්ෂණයන් යොදා ගනිමින් පුරවැසියන් අතරට යාමට දක්වන්නේ ගතානුගතික පසුගාමීත්වයක්.
මේ පසුගාමීත්වය හේතු කරගෙන ඇති වන රික්තය පුරවන්නේ වගකීමක් නැති සමාජ කඩාකප්පල්කාරීන් විසින්. ඔවුන් පතුරවන සාවද්‍ය තොරතුරුවලට එදිරිව යා හැකි නිල පුවත් බෙදා හැරීමේ යාන්ත්‍රණයක් රජය විසින් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී තිබෙනවා. නමුත් මේ අකටයුතුකම් වලට එරෙහිව නැගී සිටින සිවිල් පුරවැසියන් බොහෝ ප්‍රමාණයක් සමාජ මාධ්‍ය තුල සක්‍රීයයි. නිමක් නැතිව ගලායන තොරතුරු ප්‍රවාහයේ සදොස් තැන් නිදොස් කිරීමට ඔවුන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙනවා.

සන්නිවේදන තාක්ෂණය දිනෙන් දින දියුණු වන වත්මන් ලෝකයේ තොරතුරු මාධ්‍යන් තහනම් කිරීම, තොරතුරු සැඟවීම තවදුරටත් කළ හැක්කක් නොවේ. ඒ තුලින් වෙන්නේ සමාජයේ ඇති ආතතීන් තවදුරටත් උත්සන්න වීම පමණයි. මොකද කොච්චර වහන්න හැදුවත් මොන යම් හෝ මාධ්‍යකින් ඒ තොරතුරු උඩට එන නිසා.. රජයන් විසින් කොතරම් උත්සහගත්තත් එම තොරතුරු මොනයම් ක්‍රමයකින් හෝ සමාජය කරා ගමන් කරනවා. ඒ සඳහා අවශ්‍ය හිඩැස් ඒ තාක්ෂණයන් සතුයි. ඒ නිසා රටේ වගකිවයුතු ආයතන තවදුරටත් සාම්ප්‍රදායික මාධ්‍ය මත යැපීම හෝ තොරතුරු සැඟවීමෙන් වැලකී, සමාජ මාධ්‍ය හෝ හෙට දවසේ මාධ්‍ය සමග බද්ධ වෙමින් ජනතාවට වඩා නිවැරදි තොරතුරු ඉක්මනින් ලබාදීම වෙනුවෙන් කැප වියයුතුයි. නැතිනම් සිදුවන්නේ සාවද්‍ය තොරතුරු තටු ලබා රට පුරා ඉගිලෙද්දී සම්ප්‍රදායික මාධ්‍ය කෙම් ක්‍රම වල  එල්ලී නිදා වැටෙන රජයේ ආයතන පද්ධතිය අවදි වනදාට අශ්වයා පැන්ගොස් ස්ථාලය හිස්වී තිබීමයි.