Sunday, December 31, 2017

සහෝදරයා පළමු පාඩම - හැන්ඩි පෙරින්පනායගම්





සහෝදරයා යනු වත්මන් ටෙලි නාට්‍ය අවකාශයේ වේගයෙන්ම තරුණ පරපුරෙහි හදවත් ආකර්ෂණය කරගනිමින් ඇති නිර්මාණයක් බවට විවාදයක් නැත. නමුත් මේ තරුණ පරපුර යනු දේශපාලන සවිඥානිකත්වයෙන් ඉතා වේගයෙන්  ඉවත්වේගෙන යන හෝ මේ වන විටත් ඉවත්ව ගොස් ඇති පිරිසක් බව ඒ පරපුරේම එකෙකු ලස මම ඉතා හොඳින්  දනිමි. අපගේ පරම්පරාවත් ඊට පසු පරම්පරාවනුත් යනු දේශපාලනය වනාහී අපට අයිති රාජකාරියක් නොවන බවටත් එය ඔක්කාරය දනවන විෂයක් ලෙසත් අදහන්නන් බහුතරයකගේ අවකාශයකි. ඒ නිසාම මේ අවකාෂය පිරී ඇත්තේ වාක්‍ය දෙක තුනක් ලෙස ලියවුනු මඩ ,අවලාද සහ අපහාස පුරවාගත් ෆොටෝ කෑලිත්, ලඳ බොලඳ,සිල්ලර, ජාතිවාදී, ආගම්වාදී  අදහසුත් හිතුමතේ share කරමින් ආතල් එකක් ගන්නා තරුණ පරම්පරාවකින් මිස වෙන කවුරුන්ගෙන්ද?.................නයියා මහා දේශපාලන දැනුම ඇත්තෙක් නොවේ. නමුත් හැකි තරම් එහි ගැඹුරට යමින් ඒ පිලිබඳ නිසි හැදෑරීමක් කිරීමට උත්සහ ගන්නෙක්මි මම. සහෝදරයා තුලින් අපටත් හොරා අප කන් කුහර තුලින් ඇතුලට වත්කරන්නාවූ අපේ ප්‍රශ්නකාරී දේශපාලන ඉතිහාසයන් පිලිබඳ හෝඩුවාවන් හා තීව්‍රකාරී ප්‍රකාශ ෆොටෝකෑලි ලෙස පමණක් සංසරනය නොවී දැනුම වඩවනා දේශපාලන කියවීමක් දක්වා වර්ධනය කල යුතු බව මම උදක්ම විශ්වාස කරමි. ඒ වෙනුවෙන් කෙරෙන පළමු උත්සහයයි මේ. මෙහි සදොස් තැන් වෙතොත් ඒවා නිවැරදි කරන මෙන් දැනුමැති සියලුදෙනාගෙන් ඉල්ලා සිටින අතර, දේශපාලන දැනුම ලබාගැනීම නම් කර්තව්‍යයෙන් වේගයෙන් ඈත් වෙනවා වෙනුවට එය තුල සැරිසරන්නට මගේ පරම්පරාවට ආරාධනා කරමි. අප වෙනුවෙන් දැනුම සපයන්නට අපගේ වැඩිහිටි දැනමුත්තන් මීට වඩා වැඩි කාර්යභාරයක් blog අවකාශය තුල එලඹෙන නව වසරේදී කරනු ඇතැයි විශ්වාස කරමි.


*******************************



1924 බිහිවූ යාපනය ශිෂ්‍ය කොංග්‍රසය හැන්ඩි පෙරින්පනායගම්ගේ අපූරු නිර්මාණයක් විය. ගුරුවරයෙකු, විදුහල්පතිවරයෙකු ලෙස සේවය කල ඔහු පසුව අධ්‍යාපනඥයෙකුද විය. ළමුන්ට තම ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටි ඔහු සියලු මනුෂ්ය වර්ගයාගේ අභිමතාර්ථය හා සමානාත්මතාවය කෙරෙහි නිරන්තරයෙන් හා ස්ථිරසාරව විශ්වාස කළ අතර එබැවින් ඕනෑම ආකාරයක සමාජ බහිෂ්කරණයක් ප්රතික්ෂේප කලේය. මහත්මා ගන්න්ධිගේ චින්තනයෙන් පෝෂණය වූ ඔහු, එක්සත් සහ ස්වාධීන ලංකාවක් වෙනුවෙන් වූ තම මතය වෙනුවෙන් සැමදා පෙනී සිටියේය. ඒ ඔස්සේ යමින් , ජාති බැම්මෙන් සහ කුල බැම්මෙන් නිදහස්වූ දේශපාලනයක ධෛර්යය හා පරිකල්පනය, නිදහස් රටක් වෙනුවෙන් වූ සංකල්පය සඳහා අවශ්‍ය බවත් අපි ඒ වෙනුවෙන් මිස ඊට අඩු යමක් උදෙසා සටන් නොකළ යුතු බවත් එයින් මිස මෙරට ආරක්ෂා කළ හැකි වෙනත් ක්‍රමයක් නොමැති බවත් ඔහු ප්‍රකාෂ කළේය. 

"මාතෘභූමියට සේවය කිරීමට ඇති අවංක අභිලාෂයක් තුළින් මෙම ප්රශංසනීය අරමුණු ඉටු කර ගත හැකිය. එබැවින් ජාතික සමගිය, සමාජ සාධාරණත්වය  මත වැඩි අවධානයක් යොමු විය යුතුය".

මේ යුගයේ බිහිවූ දේශපාලන සංවිධාන අතරින් ඉතාමත් දියුණු දේශපාලන දැක්මක් තිබූ සංවිධානය, යාපනය ශිෂ්‍ය කොංග්‍රසයයි. එය කුල භේදයට එරෙහිව ක්‍රියාකාරී ලෙස සටන් කළ සංවිධානයක් විය. එය වාර්ගික එකමුතු බව සහ ආගමික එකමුතු බව වෙනුවෙන් පෙනී සිටියේය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලාංකික ජාතිකත්වයක් වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාරයක් වූ එහි වැඩි පිරිසක් සමන්විත වූයේ ගුරුවරුන්ගෙනි.සාම්ප්‍රදායික දෙමළ නායකයන් වාර්ගික නියෝජනයක් වෙනුවෙන් පෙනී සිටින විට යාපනය ශිෂ්‍ය සංගමය වාර්ගික නියෝජනයට තරයේ විරුද්ධවිය. එය වාර්ගික සමගියක් වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාරයක් විය. දෙමළ ලමුන් සිංහල භාෂාවත් , සිංහල ළමුන් දෙමළ භාෂාවත් ඉගෙනගතයුතු බව කියා සිටීමෙන් නොනැවතී සිංහල භාෂාව ඉගෙනගැනීමට යාපනයේ දෙමළ ළමුන් උනන්දු කරවීය. පැවති සෑම සම්මේලනයකටම දකුණේ සිංහල නායකයන් කිහිපදෙනෙකු හෝ සහභාගී කරවාගත්තේය. 
කෙටි කාලයක් ගතවෙද්දී බොහෝ සිංහල හා මුස්ලිම් වියතුන් තම සංවිධානයට හවුල් කරගනිමින් පුළුල් වූ ශිෂ්‍ය කොංග්‍රසය, යාපනය තරුණ කොංග්‍රසය බවට පත්විය. එහි පළමු සම්මේලනයේ සභාපතීත්වය පවරන ලද්දේ පී.ද.ඇස්. කුලරත්නට ය. ඔවුන්, ප්‍රමුඛ ඉන්දීය නායකයන් ගණනාවක් යාපනේට ගෙන්වාගැනීමට සමත්විය. මහත්මා ගාන්ධි 1927දී ලංකාවේ චාරිකාවට පැමිණීම එහි සුවිශේෂිතම අවථාවක් විය. 1928දී පැවති වාර්ෂික සමුලුවේදී ගන්නා ලද වැධගත් තීන්දුවක් වූයේ මව් සංගමයට සමාන ශාඛා කොළඹ, ගාල්ල හා නුවර ස්ථාපිත කිරීම හරහා සමස්ථ-ලංකා තරුණ කොංග්‍රසයක් බිහි කිරීමයි.

ඩොනමෝර් කොමිෂන් වාර්තාව ප්‍රකාශයට පත්වීමෙන් පසු පැවති සැසිවාරයේදී , කොමිෂන් සභාව ඉදිරියට දේශමාමකයන් ලෙස ඉදිරිපත්වූ නියෝජිතයන් සියලු දෙනා දැඩි දෝෂදර්ශනයකට ලක් කිරීමට යාපනය තරුණ සංගමය ක්‍රියා කරන ලදී. කොමිසම ඉදිරියට ගිය සියලු ප්‍රසිද්ධ පුද්ගලයන් ජාති, ආගම්, කුල ලෙස බෙදුනු නියෝජනයක් වෙනුවෙන්  පෙනී සිට ඇති බවත් තමන්ගේ ආගම, කුලය වෙනුවෙන් පමණක් පෙනී සිටින මෙවැනි ආත්මාර්ථකාමීන් ගෙන එන වාර්ගික නියෝජනය පිළිගැනීමට ලක් නොකළ යුතු නපුරක් ලෙසත් හැඳින්වීය.

ශ්‍රීමතී කමලාදේවි චට්ටෝපාධ්‍යය ද සහභාගීවූ පස්වෙනි සැසිවාරය ඉතා උත්කර්ෂවත් හා විශාල මහජන සහභාගීතවයක් ඇතිව පවත්වන ලද එකක් වූ අතර ඩොනමෝර් යෝජනා ස්ව-රාජ්‍ය තත්වයක් ලබා නොදෙන හෙයින් ඒ සඳහා පැවැත්වෙන මැතිවරණය වර්ජනය කළයුතු බවටවූ යෝජනාවක් එහිදී ඒකමතිකව සම්මත විය. පැමිණ විශාල පිරිසකගේ උද්යෝගය මත එම කරුණ යාපනය පුරා දැඩි ඝෝෂාකාරී උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය කරන ලදී.එහි උණුසුම නාමයෝජනා භාරදීමට සිටි අපේක්ෂකයන්ටද බලපෑ අතර යාපනය, කයිට්ස්, කන්කසන්තුර හ පොයින්ට්පේදුරු යන ආසන හතරකට කිසිවෙකුත් නාමයෝජනා භාරනොදෙන ලදී. යාපනය තරුණ සංගමය මැතිවරණ වර්ජනය සඳහා දකුණෙන්ද සහාය ලබාගැනීමට අපේක්ෂා කළත් ඒ සඳහා විදිමත් වැඩපිළිවෙලක් ඔවුන්ට තිබුණේ නැත. උතුරේ ආසන හතරකට කිසිවෙකුත් තරඟ නොකිරීම ඔවුන් ලද ජයග්‍රහණයක් වුවද  මතිවරණයෙන් පසුව එය යාපනය අර්ධද්වීපයට පමණක් සීමාවූ දෙයක් බව යාපනය ජනයාට පෙනීගිය නිසා එය ආස්වාදයක් වෙනුවට එම ජනයා තුල ජනිත කලේ කලකිරීමක් හා අතෘප්තියකි. සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක වූ පළමු මැතිවරණය වූ එහිදී අන් සියලු ප්‍රදේශ වලින් මන්ත්‍රීවරු තේරී පත්වී තම ප්‍රදේශ වලින් පමණක් එසේ නොවූ විට ඒ අවස්ථාව තමන්ට අහිමි කළේ යාපනය තරුණ සංගමය බවට මතයක් ජනතාව අතර ගොඩනැගුණි.

තරුණ කොංග්‍රසයේ නායකයින්ගෙන් පළිගැනීමට කුලවාදී බලවේග සමග සාම්ප්‍රදායික දෙමළ දේශපාලන්ඥයන්ද , එම ව්‍යාකුල අවස්ථාව ප්‍රයෝජනයට ගත්හ. ඒනිසා ඇතිවූ ගැටුම් වල ප්‍රත්පලයවූයේ තරුන සංගමයට තිබූ පිළිගැනීම මුලුමනින්ම අවසන් වන තත්වයක් ඇතිවීමය.

තරුණ කොංග්‍රසය අතිධාවනකාරී නොවී ඊට සමාන ශක්තිමත් ව්‍යාපාරයක් දකුණේ ද ඇතිකරගන්නා තෙක් ඉවසීමෙන් ක්‍රියාකරන ලද්දේනම් එය ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට විශාල බලපෑමක් ධනාත්මක ලෙස කරනට ඉඩ තිබුණි. එම ව්‍යාපරය බිඳවැටීමෙන් පසු එම ව්‍යාපාරයේ චින්තනයට සමාන හෝ එය ඉක්මවා ගිය දේශපාලන චින්තනයක් ඉන්පසු බිහිවූ කිසිඳු ව්යාපාරයකින් බිහිවූයේ නැත.


Sources;
දෙමළ අභියෝගය - වික්ටර් අයිවන් , 1st edition

 http://www.sundaytimes.lk/120603/News/nws_50.html
http://www.ft.lk/ft-lite/handy-perinbanayagam-a-memorial-volume/6-75989

Monday, December 18, 2017

වීරයා මැරිලා






සහජ ජාති, කුල, ගොත් ආගම්
ගනිමි කරටම, රකිමි මිරිකා
අනෙකාගේ බොටුව
වෙන් කරන් කඳෙන් හිස
තබන්නෙමි සීරුවෙන්
උඩු යටිකුරු කර තනාගත්
අනේකවාදී වහන්තරා මත

ආශිර්වාද ශ්ලෝකයන්, ස්තෝත්‍රයන්
ඇසෙනු ඇත ගිගුම් දී
සැම සවන් විනිවිදනු ඇත
සීනු ඝණ්ටා නොනැවතී

කෙසින් අල්වා ගෙන උගේ හිස
කරන්නෙමි මස්තකප්‍රාප්ත
සදොස් පූජාසනය මත.....
රුධිර දහරා නොනැවතී
ගලා යයි ඌ හිසින්
අත් මගේ රතුම රතු බව 
දකින මම ගැස්සෙමී

කාරි නැත විස්සෝප වීමට
මේ ගලා යන රුධිර ගංගා,
තිරිසනුන්ගේය
නොවේ ඒවා මිනිස් රුධිරය
වහන්සේලා ශපත කරත්
බැතිමතුන් භක්තියෙන් තියත් හූමිටි
බලයි මාදෙස වීරයකු විලසින්...

බලමි නැවතත් දෑත් දෙස මාගේ
පහව ගොස් ඇත රත් පාට දෑතේ
ස්වාර්ථයෙන් මුස්පත්ව
බලන්නෙමි  සතර අත
ඇසෙන්නේ නැත විලාපයක් 
පෙනෙන්නේ නැත කවන්ධයන්
රත් පැහැති රතු වයින් දහරා
මත නටමු අපි වීරයන් විලසින්.....



Sunday, November 26, 2017

තෙල් ගොඩක් මැද ටයිටැනික්





පොතේ ගුරා ; ඈත එපිට දුර ඇමරිකා
                      නම් රටේ කාර් පැදි ධීමතා
                      සතුරන්ගේ උවදුරු බෝ නිසා
                      සිරි ලකට වඩින්නේ හනිකටා

                     පෙම්වතිය අනෙක් පස හිඳුවලා
                     පදවන්නේ කාරය හනිකටා
                     මාගම්පුර වෙරළට ලංවෙනා
                     වින් ඩීසල් සභයට පිවිසෙනා //

අප වින් ඩීසලයාණෝ හීයක බඳු වේගයෙන් තම රථය බලු බල්ලෙක් නැති මාගම්පුර තාර පාරේ දක්කවයි. මාගම්පුර දුහුවිල්ලෙන් වින් ඩීසලයානන්ගේ කලු පැහැති මස්ටෑන්ග් රථය නැහැවී යයි. එහෙත් ඔහු නොවේ එය සැලකිල්ලකට ගත්තේ. ඇමරිකා රටේ රතු ඉන්දියානුවන්ගෙන් පණ ගලවාගනුවස් ඔහු මේ දීර්ඝවූත් වෙහෙසකරවූත් චාරිකාව නොනැවතී සත් දිනක් තිස්සේ පැමිණෙයි.

වින් ඩීසල් ; සොඳුරිය අප රථයේ පෙට්‍රල් තයිලය හිස්වීගෙන යන හැඩයි. පෙට්‍රල් තයිලය අහවරවී රථය නැවතුනහොත් අප දෙදෙන මහා කරදරයක වැටෙනු නියතයි.

ඩීසල්ගේ කෑල්ල ; මාප්‍රිය ඩීසලයාණනි....අර ඈතින් පෙනෙන්නේ තයිල හලක පුවරුවක් නොවේද?
අපි හනික එතැනට රථය දක්කමු. එතැනින් අපිට පෙට්‍රල් තයිල පුරවාගන්නට හැකි වනු ඇත.

අපමහා ඩීසලයාණෝ හනි හනිකට තම රථය තයිල හල වෙත දක්කවයි. තයිල හලට ක්‍රමයෙන් සමීප වද්දී එහි මහා දිගු පෝළිමක් ඇතිබව ඔහුගේ ඇස ගැටේ.

වින් ඩීසල් ; මේ කිනම් අරුමයක්ද සොඳුරිය. මහා දිග පෝළිමකි. මේ වෙසක් සමයත් නොවේ. පොසොන් සමයත්  නොවේ , එබැවින් දන්සැල් තිබිය නොහේ.....
කම් නැත අපිත් පෝළිමට ප්‍රවේශ වෙමු.

ඩීසල්ගේ කෑල්ල ; ස්වාමීණී මෙය නම් මහා දිගු පෝළිමක්මැයි.....ඔබට ඉදිරියෙන් සිටන ගැටයාගෙන් තතු විත්ති විපරම් කර බැලුවානම් යෙහෙකි.

වින් ඩීසල්  ; ගැටයාණනි, ඔබ මේ පළාතේ කෙනෙක්ද?......

ගැටයා ; එසේය....මේ උත්තමයානම් මේ පෙදෙසට අමුත්තෙක් හැඩයි.

වින් ඩීසල්  ; එහෙමයි ගැටයාණනි. කුමක්ද මේ දිගු පෝළිම?....... තයිල හලේ දන්සැලක්වත් පැවැත්වේද?

ගැටයා ; නැත නැත. උත්තමායණනි. මාගම්පුරට පෙට්‍රල් තයිලය ගෙන ආ රුවල් නැවක් බාල පෙට්‍රල් යැයි කියා හරවා යැවීමට අපේ අර්ජු මහඇමතිතුමා කටයුත් කලෙන්, දැන් මාගම්පුරයේ මහා පෙට්‍රල් තයිල හිඟයකි. ඒනිසාය මේ දිගු පෝළිම.

වින් ඩීසල්  ; අඳෝමැයි ....අපිට මහත් වෙලාවක් ගමන නවතා මෙහි සිටින්නට සිදුවන හැඩයි.

ඩීසලයාණෝ දිගු සුසුමක් හෙලා තම අසුන පසු පසට සකස් කරගෙන මදක් දිග ඇදේ.ඔහුගේ දෙනෙත් තම සොඳුරිය දෙසට ඇදේ. ඇගේ ගෙලෙන් ගලනා දහදිය ධාරාවක් ඇගේ පිරිපුන් පියයුරු ද්විත්වය මැදින් ගලා යාමට ඔන්න මෙන්නය.ඩීසලයාණෝ කෑදර දෑසින් එදෙස බලා සිටී......ඒ සමගම පෝළිම ඉදිරියේ යම් කලබැගෑනියක හඬ නැගේ.මාගම්පුර සෙනවියන් දෙදෙනෙක් පෝළිම පැන පෙට්‍රල් තයිලය ලබාගැනීමට තැත් කරන අතර පෝළිමේ දිගු වෙලවක් සිටි ගොවියන් දෙදෙනෙක් ඊට විරෝධය පායි. කාකි පැහැ ගත් නිල වස්ත්‍රයෙන් සැරසුනු සෙනෙවියන් දෙදෙනා එක් ගොවියෙක්ගේ බොටුව මිරිකයි.

කවදත් කොතැනත් අසාධාරණයට එදිරිව නැගී සිටිනා අප මහා ඩීසලයාණෝ තම රථයෙන් බැස සෙනවියන් දෙදෙනා අසලට පැමිණේ.

වින් ඩීසල්  ; අසරණ මිනිසුන්ට හිංසා පීඩා කිරීමට තෙපිට ලැජ්ජාවක් නැතිද, සෙනවිවරුණි.

ඩීසලයාණන්ගේ හැඩි දැඩි සිරුරත් ශක්තිමත් බාහු යුග්මයත් දකිනා සෙනවියන් මදක් පසුබායි.

සෙනවියා 1 ; තා මේ පෙදෙසෙහි කෙනෙක් විය නොහැකියි....අනික මෙය තමාට අදාල දෙයක් නොවේ වහා යව තොපේ රථයට

සෙනවියා 2 ; කුමක්ද තොපගේ නම

වින් ඩීසල්  ; මම, වින් ඩීසල් වෙමි

සෙනවියා 1 ; ඩීසල් නම් පෙට්‍රල් පෝළිමේ සිටගෙන තොපේ අත් අම්මාට සහල් ගරනේද?.....යව ඩීසල් තයිල පෝළිමට. එය හිස්ව තිබෙනු නොපෙනේද?

වින් ඩීසල්  ; මගේ නමයි ඩීසල්. මගේ රථය පෙට්‍රල්. තොපි දෙදෙනාට අමු කැවිලාද?

සෙනවියා 2 ; තොපගේ කට පරිස්සම් කරගනු හොඳයි. නැතිනම් තොපගේ ඔය තට්ට හිස එක කඩු පහරින් සිඳ දමමි.

දෙවනි සෙනවියා තම කඩුවට අත තබමින් පෙරට අඩියක් තබයි. ඩීසලයාණන්ද සටනට සැරසේ. එවිටම ඈතින් නලා නාදයක් නංවමින් අසරුවෙක් පැමිණේ. සෙනවිවරුන් දෙදෙනා ඔහුට ආචාර සමාචාර දක්වයි.

සෙනවියා 1 ; සුමතිපාල ඇමතිතුමා රාජකාරි කටයුත්තකට යන ගමන් විය යුතුයි, මයෙ හිතේ?

සුමතිපාල ඇමතිතුමා ; හ හහ් හා.....තොපිට සතුටුයිද දැන්....අරුජුවා ඒකාලේ මට අස්සයන් දක්කන්නා යැයි අපහාස උපහාස කරන විට තොපි මට හිනා වූවා නොවේද?.දැන් බලාපියව් තයිල උඩ දුවන තොපේ කසිකබල් රථ වලට වඩා අස්සයන් සිටියා නම් අගේ නොවේද කියා. ඔය අර්ජුවා මට තුරඟ තරඟ හොර දෙටුවා යැයි අපහාස කලේය. ....උගේ බස් අසා මට සිනා උනු තොපිට යස වැඩේ........හහ් හහ් හාආආආ......

මහ හඬින් සිනාසීගෙන සුමතිපාල ඇමතිතුමා තම අසු වේගයෙන් පන්නාගෙන වෙනතක යයි.

ගැමියා 1 ; අපිටත් තිබ්බේ අර්ජුගේ බස් නොඅසා අස්සයෙක් ගන්න. බලාපන්, අපිත් අස්සයො පිට ගියා නම් මේ පෙට්‍රල් තයිලහල් ගානේ රස්තියාදු වියයුතු නොවේ.

ගැමියා 2 ; අනේ ඔය සුමතිපාලයාගේ කටමැත වලට නොරැවටෙන් අයියන්ඩි. තයිල රැගත් ටයිටැනික් නෞකාව දැන් මාගම්පුර වරාය පේන මානයට ඇවිදින්ලු. තව දින දෙක තුනකින් එය ලඟාවූ පසු අපේ මේ කරදර සියල්ල අහවර වනු ඇති.

පොතේ ගුරා ; පෙට්‍රල් තයිලය පුරවලා
                      තව කාජ්ජ බෝජ්ජ ගොඩගසා
                      සමුදුරු දිය මත පැද්දිලා
                      ටයිටැනික් නෞකාව පැමිණෙනා ...//

ටයිටැනික් නෞකාවේ කප්පිත්තා ජැක් නමැති තරුණයෙකි.හේ චිත්‍ර කර්මයට මහත්සේ ලැදි වූවෙකි. පෙට්‍රල් තයිලය රැගෙන සිරිලකට එන අතරමග හෙතෙම බොහෝ සිතුවම් ඇන්දේ වේ.

මේ අතර බෝට්ටුවෙන් හොරෙන් ඕස්ට්‍රේලියාවට යාම පතා ගෙදරින් පැන ආ තරුණ ලලනාවක් ඔහුට තම නෞකාව තුල මුණගැසුනේ වී. මේ තරුණ කත රෝස් නම් වීය. තම නිවසෙන් කිසිදාක බැහැර නොගිය ඈ නෞකාවකත් බෝට්ටුවකත් වෙනස හඳුනා ගත නොහී අත්වැරදීමෙන් අප කප්පිත්තාගේ නැවට නැගුනේ වී. සති කිහිපයක් එකම නෞකාවේ ගමන් ගත්තෙන්ද , රෝස් සරාගී සිරුරැති රූබර ස්ත්‍රී පරානයක් වූයෙන්ද අප කප්පිත්තා ජැක්ගේ සිත ඇය කෙරෙහි ඇදුනේය. රොස් තොමෝ ජැක්ගේ සිතුවම් කලා මහිමය දැක මහත්සේ පැහැදුනේ තම සිතුවමක් රූ නගන මෙන් ඔහුට බල කලේය.ඇයට උවමනාවූයේ තම මිත්තණියගෙන් සොරාගෙන පැමිණි දියමන්ති මාලය පමණක් ඇඟ දවටාගෙන සිතුවමක් නිමවා ගැනීමටයි. මාගම්පුරට ලඟාවීමට තව දින දෙකක් වූ අතර ඒ අතර සමුදුරු දිය ඉතා තැන්පත් හෙයින් ජැක් නිදහසේ ඇගේ රුව සිතුවමට නැගීමට කැමති වුනේ වී.


පොතේ ගුරා ; මන බඳන රාත්‍රිය එලඹුනා
                      සිතුවම් ඇඳුමට ජැක් සැරසුනා
                     මාලය පමණක් ගෙල පලඳලා
                     රෝස් සලු පිළි සියල්ල ගැලවූවා //

ඇඟේ නූල් පොටකුදු නොමැතිව මාලය පමණක් ගෙල දවටාගත් රෝස් තොමෝ සුව පහසු ආසනයක වැතිරී සිටී. ජැක් කප්පිත්තා ඇගේ මනරම් සරාගී සිරුරේ අසිරිය තම පින්සලෙන් සිතුවමට නගයි. රෝස්ගේ පුන් පියයුරු රන හසුන් බවට රූපාන්තරණය වී උන්ගේ හන්ස තුඩු උල් කරමින් තමන්ට ඇරයුම් කරන්නේ යැයි, ඇයගේ පියයුරු සිතුවමට නගන ජැක්ට සිතේ. ඔහුගේ සිත සලිත වෙමින් ඇත්තේ තවදුරටත් සිතුවම ඇඳ ගත නොහේ. හේ වහා රෝස් වෙත පැන ඇයගේ නාදලු දෙතොල තම දෙතොලේ ග්‍රහණයට සිර කර ගනී. එතනින් ඇරඹුණු හාදු වරුසාව රෝස්ගේ සියොලඟ තෙත් කරන්නේ වී දරා ගත නොහෙන රාග අග්නියෙන් ඇවිලුනා වූ රෝස් තම මාලය ගලවා වීසි කරයි......

දඩාස් බඩෝස් ගාමින් එක්වනම නෞකාව දෙදරා යමින් මහත් ශබ්ධයක් නංවමින් එක් පසකට ඇලවේ. නෞකාව යම් දෙයක මහ හඬින් ගැටුනා විය යුතුය. 

රෝස්; කුමක්ද ජැක් ඒ ශබ්ධය?

ජැක් ;  අපි අයිස් පරයක ගැටුණා විය යුතුයි රෝස්.

රෝස්;  මාගම්පුරයේ කොහේද වෘෂභයෝ අයිස් පර.........මා නම් සිතන්නේ අපි වැදී අත්තේ මාගම්පුර වරාය මැද ඇති මහා කලුගල් පරයේ විය යුතුයි.  මීට කලකට ඉහතදී දයාසිරි නම් ඇමතියෙක් ඒ මහා කලු ගල ගැන කියන්වා අසා ඇත්තෙමි......

ජැක් ; මහා විනාශයකි වන්නට යන්නේ රෝස්. අප නෞකාව මුහුදුබත් වෙමින් ඇත. අපිට මරණය නියතයි.

රෝස්;   අහෝ මට නම් නොහැක මැරෙන්න ජැක්....අර ඈතින් පෙනෙන්නේ මාගම්පුර වෙරල නොවේද . එන්න අපි එදෙසට පීනමු.

එය නම් කල නොහැක්කක් රෝස්. පෙනේද වෙරලේ රැස්වී ඇති ජනකාය කෑ කොස්සන් ගසනා විලාපය. ඔවුන් අපිට සාප කරන හඬයි ඒ ඇසෙන්නේ. උන් දින ගනනාවක් තිස්සේ පෝලිං ගැහී බලා සිටි පෙට්‍රල් තයිල ගැලුම් ගොන්නයි මේ මුහුදුබත් වෙන්නේ....
ගොඩට පීන ගියොත් උන් සියල්ල මා මරා කනු නියතයි..... ඊට සැපකි මුහුදුබත් වී මිය යාම.


පොතේ ගුරා ; නෞකාව ටිකෙන් ටික යට යනා
                     තෙල් බිංදු මුහුද උඩ පාවෙනා
                     වෙරළට රැස්වූ ජන සභා
                     පෙට්‍රල් නැති සෝකෙන් වැලපෙනා // 

වින් ඩීසලුත්, සෙනවියන් දෙදෙනාත් , ගොවියන් දෙදෙනාත් එකිනෙකා බදාගෙන වැළපේ. දෙවනි තෙල් නෞකාව මහත් හරසරින් පිළිගැනීමට මාගම්පුර වෙරළට ලඟා වූ අර්ජු මහඇමති තෙමේ වාවාගනු නොහැකි ශෝකයෙන්ද, ලැජ්ජාවෙන්ද මාගම්පුර වැල්ල තම කටේ ඔබා ගන්නේ මහ හඬින් වැලපෙන්නේ ගමන් තම ආවතේවකාරියන්ටද ඒ වැල්ල කවමිනි. තම අසු පිට නැගුණු සුමතිපාල ඇමතියා අර්ජු ඇමතියා දෙස බලමින් ඔලොක්කුවට සිනාසෙයි. නෞකාවේ ලී පතුරක් අල්ලාගත් රෝස් ලක්දිවට පළමු වරට ගොඩ බසින්නේ ඕස්ට්‍රේලියාවට යන ඊලඟ බෝට්ටුවක් ගැන සිතමිනි.


Saturday, November 25, 2017

රෙදි ගැලවූ විට දුටුමි කොන්දක් නොමැති බව උඹට





ලංකාවේ music video කර්මාන්තය පහුගිය වසර කිහිපයක කාලය තුල ඉතා වේගයෙන් ප්‍රසාරණය වූ අංශයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මීට වසර දෙකකට පමණ කලින් පැවති  music video trend එක  අද දවස වන විට වෙනමම ස්ථරයක් දක්වා විතැන් වී ඇති බව පැහැදිලිය. අවුරුදු දෙකකට පමණ කලින් හොටු පෙරන් අඬන කොල්ලන්ගෙන් හා චපල කෙල්ලන්ගෙන් පිරි අරාබි නිසොල්ලාසයක් බඳුවූ music video කලාව/කර්මාන්තය අද වන විට හෙලුවැලි කාන්තා ශරීර වල සැනකෙලියක් වී ඇත. අඩ නිරුවත් ජවනිකා වලින් පිරි මේ videos වල අරමුණ ජනප්‍රියතාව හඹා යෑම සහ මුදල් සෙවීමේ උවමනාව හැර වෙන කිසිවක් නොවන බව මොනවට පැහැදිලිය. You tube hits ප්‍රමාණය වැඩි කරගැනීමේ ප්‍රමුඛ උවමනාවෙන් කෙරෙන මේ අලුත් ප්‍රවනතාවයේ music videos ගැන නැවත ලියන්න හිතුනේ පසුගිය සතියේ Sunday Apple පත්තරයේ පලව තිබූ සාකච්ඡාවක් දැකීමෙන් අනතුරුවය. සාකච්ඡාව සිදු වන්නේ පසුගිය දිනෙක නිෂ්පාදනය වූ "සිරවී" නම් වූ ගීතයක් ගැනය. කතාවේ හැටියට මේ video එකෙන් කතා වෙන්නේ මීට ටික කලකට පෙර ගෙල වැලලාගෙන මියගිය තරුණ නලුවෙක් ගැනය. සාකච්ඡාවේ අරමුණ මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතය මෙලෙස නිර්මාණ වලට නැගීමේ සදාචාරවත් බව පිලිබදවයි. මේ පිලිබඳව ප්‍රධාන වශයෙන් අදහස් දක්වා තිබුණේ එම රූප රචනයේ අධ්‍යක්ෂකවරයාය. ඊට අමතරව එම ගීතයේ ගායකයා සහ රූප රාමුවට පෙනී සිටි නිරූපණ ශිල්පියාත් , ශිල්පිණියත් අදහස් දක්වා තිබුණු අතර ලංකාවේ තරුණ නලු නිලියන් පිරිසකගේ අදහස්ද  චූටියට පල කර තිබුණි.

මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතය  කලා නිර්මාණ වලින් ආක්‍රමණය කරන බවට නැගෙන කතිකාව අද ඊයේ ඇති වුනක් නොවිය යුතුය. අතීතයේ සිටම කලා  ප්‍රකාශන වලට මිනිසුන්ගේ පුද්ගලික ජීවිත වල වග තුග ප්‍රස්තුතයන් බවට පත්වී තිබේ. දේශපාලකයන්, පූජකයන්, විවිධ වෘතිකයන් පමණක් නොව ආගමික ශාස්තෲන් ගැන පවා කලා නිර්මාණ බිහිවී ඇත. ඒ බොහොමයක් තැන් වලදී අදාල පාර්ශව වලට සම්බන්ධ පුද්ගලයන්ගේ විරෝධය ඊට එල්ල වන්නේ තම තමන් නියැලෙන ක්ෂේත්‍ර වලටත් තමන්ගේ චරිත වලටත් ඉන් හානි වන බවටය. බොහෝ පුද්ගල චරිත අලලා නිර්මාණය වූ කලාකෘති දහස් ගනනක් ලෝකයේ ඇත. ඒ ඒ කෘති වල ඒ ඒ චරිත කරන සමහර කටයුතු එම චරිත කලු චරිත බවට පත් කරන බව විවාදයක් නැත. එසේත් නැතිනම් අපි දැන සිටි දීප්තිමත් චරිත වල අඳුරු අහු මුලු හෙලි පෙහෙලි වන බවටත් අත්දැක ඇත. ඒ සියලු දේ ඇත්තක්ද යන්න අපිට මැනගැනීමට නොහැක. ඉන් සැලකියයුතු ප්‍රමාණයක් නිර්මාණකරුවාගේ පරිකල්පනීය දේ විය හැකිය. ඒ නිසා එවැනි නිර්මාණ වලට වාරණීය, මර්දනීය හඬ නැගෙන සෑම විටකම  නිර්මාණකරුවෝත් අනෙක් කලාකරුවෝත් ප්‍රකාශනය සඳහා වන තම අයිතිය වෙනුවෙන් කොන්දේසි විරහිතා පෙනී සිටිති.

අපි දැන් ලංකාවේ music video කෙරුවාව දෙසට හැරෙමු. පෞද්ගලික ජීවිතය තුලට ප්‍රකාශන මාධ්‍යයන් එබී බැලීමේ සදාචාරය ගැන දරුණුවට ප්‍රශ්න වන්නට ගන්නේ මුලදී කතා කල "සිරවී" ගීතයත් මීට ටික කලකට කලින් ඉරාජ් නිර්මාණය කල "දැනුනා" නම් ගීතයත් නිසාය. කෙලින්ම කිව්වොත් ඉරාජ්ගේ නිර්මාණයේ ඉලක්කය වී තිබුණේ වික්ටර් රත්නායක මහතා වන අතර "සිරවී" එකේ ඉලක්ක වී ඇත්තේ දසුන් නම් සියදිවි හානි කරගත් තරුණ නලුවාය. දැන් මේ සිද්ධි දෙක music video තුල රූපයට නැගීම වැරැද්දක්ද?.  මුලදී කිව්වාක් මෙන් ලෝකය පුරාත් ලංකාවේත් පුද්ගල චරිත පාදක කොටගත් නිර්මාණ ගැනිය නොහැකි තරමට බිහිව තිබේ. ඒ සෑම නිර්මාණයකදීම වාගේ අදාල චරිත සම්බන්ධ යම් යම් අඳුරු චිත්‍රයන් මවයි. කලාකරුවන් කියන අන්දමටම ඒවා ප්‍රකාශනයේ නිදහසය. පුද්ගලික ජීවිත හා නිර්මාණය පටලවාගතයුතු නොවේ. නිර්මාණයක් තුල නිර්මාපකයාගේ ආධිපත්‍ය අසීමිතය.
කලාව යනු ආත්මීය විෂයකි. එය සහෘදයාගෙන් සහෘදයාට දැනෙන හැඟෙන විදිහ විවිධවේ. නිර්මාණකරුවාගෙන්  කරුවාට රූපයට නැගෙන ප්‍රබලතාව වෙනස් වේ. එවැනි තත්වයක් තුල පුද්ගලික ජීවිත නිර්මාණයට නැගීමේ ප්‍රවනතාවන් කෙතරම් තීව්‍රතාවයකින් යුතු වේදැයි ඉරක් ගසා  අර්ථ දැක්විය නොහැක. එය තම තම නැණ පමණනින් විසඳාගතයුතු දේවල් වන්නේය. මන්ද ඒවා වාස්තවික දේ නොවෙන බැවිණි. උත්ප්‍රාසය වන්නේ මේ නිර්මාණ දෙකට විරුද්ධ වන්නෝ බොහොමයක් කලා කරුවන්ම වීමය. ප්‍රකාශනයේ නිදහස , කලාවේ භාවිතාව වෙනුවෙන් හඬ නගන පිරිසම එවැනි නිර්මාණයක් තම රැහේ එවුන්ගේ ජීවිත තුලට එබුණු විට පෙනේ පිප්පීමය. මා පැවසූ පුවත් පත් සාකච්ඡාවේ අදහස් දැක්වූ තරුණ නලු නිලියන් සියල්ල අදාල වීඩියෝවේ නිර්මාණකරුට බැන වැදී තිබුණු අතර සම්හරෙක් පවසා තිබුනේ ඌව මගදි හම්බුණොත් කණට ගහන බවය. ඔන්න මේ තරුණ කලාකරුවන්ගේ අදහස් වල තරම. දේශපාලකයන් හෝ සමාජයේ ආධිපත්‍යදාරීන්ගේ චරිත උපහාසයට, විවේචනයට ලක් කිරීමට හෝ අනාවරණය කිරීම වෙනුවෙන් අත් දෙකම ඔසවා පෙනී සිටින කලා ප්‍රජාව තමන් දන්නා අඳුනන තම සහෝදර ශිල්පියෙක්ගේ ජීවිත ආශ්‍රිත නිර්මාණයක් තිරය මත දිග හැරෙන විට අන්දොස් වීම එතරම් තේරුම් ගත නොහේ.

පුද්ගලික ජීවිත ආක්‍රමණය කිරීමේ චෝදනා මේ රූප රචනා දෙකට දැඩිව එල්ලව වන්නට  තවත් ප්‍රධාන කරුණක් වන්නේ මේ දෙකේම ඇති යම් යම් අනවශ්‍ය කොටස් කිහිපයක් නිසා විය යුතුය. එම දර්ශන වල පූර්ණ අරමුන වී ඇත්තේ ප්‍රචාරණය බව පැහැදිලිය. කිසිසේත්ම අදාල නොවූ හා ජුගුප්සාජනක මෙවැනි දර්ශන ඇතුලත් කිරීමේ එකම අරමුණ, කුතුහලය නිසා ඒවා බැලීමට එන පිරිස උපයෝගී කරගෙන තම You tube hits ප්‍රමාණය වැඩි කරගැනීම මිස වෙනකක් නොවේ. කලා ප්‍රකාශන මත මුදල් සාධකයේ බලපෑම එන්න එන්නම තීව්‍ර වන්නක් මිස අඩුවන්නක් නොවේ. ප්‍රකාශන අවශ්‍යතාව හා මූල්‍ය අව්ශ්‍යතාවන් දශක ගනනාවක් පුරා මිශ්‍ර වෙමින් එකිනෙක ප්‍රතික්‍රියා කර ඇති බැවින් නැවතත් කියන්නට ඇත්තේ ප්‍රකාශනය හා මුදල අතර බෙදුම් රේඛාවක් සලකුණු කිරීම මේ සමාජ ක්‍රමය තුල සිහිනයක් පමණක් බවයි. මුදලට වහල් නොවී තම ප්‍රකාශනය වෙනුවෙන් පෙනී සිටිය හැකි උන් සිටිනුයේ අතිශය අල්පයක් පමණි. එය අල්පයක්ම බව රූප රචනා කලාවේ ප්‍රවනතා රැලි දෙස බැලූ විට මොනවට වැටහේ. මුදල හා ජනප්‍රියත්වය මුසු වූ එම මහා රැළි ප්‍රවාහයට හසුව අපේ ඇස් ඉදිරියට ගසාගෙන එන දේවල් කලා නිර්මාණ ද? නැතිනම් මානසික ව්‍යාධියක නෂ්ඨාවශේෂද යන්න වටහා ගතහැකි ලෝකයක් තැනීමේ වගකීම බාර වන්නේ කලාවේ නියලෙන්නන්ටමය. එය කල හැක්කේ එක එකාගේ කණට ගසා නොව තමන්ගේ හෘද සාක්ෂියට කතා කර බලාය.

දැන් අපි පුවත්පතේ ප්‍රශ්න වලට පිළිතුරු දුන් රූප රචකයාගේ අදහස් දෙසට යොමු වෙමු. ඔහුට අනුව ඔහු සිරස කුමරිය දිනූ ශලනිව මෙහි පෙන්වා නැත. රූප රචනයට අනුව එහි සිසිර කුමරියක් බිහි වන්නේත්, ශලනිගේ මෙන් නිකටේ උපන් ලපයක් ඇයටත් තබනුයේ නිකම්මය. කතාවේ තරුණයා fan එකක එල්ලී දිවි නහගන්නේත් ඔවුන් දෙදෙනාම නලු නිලියන් වන්නේත් නිකම්මය. දසුන්ගේ ජීවිත කතාව මේ video එකට ගැලපීම අහම්බයක් මිස, අධ්‍යක්ෂකයාගේ තුන්හිතකවත් දසුන්ගේ ජීවිත කතාව තිබී නැත. ඊට අමතරව මේ video නිළියගේ කට වටේ සුදු පැහැති යම් ද්‍රවයක් ගෑවී තිබෙන අයුරුත් ඇය එය දිවෙන් ලෙවකන අයුරුත් සමීප රූප රාමුවකින් පෙන්වයි. එය අන්තිමට ice cream එකක් බව අපිට පෙන්වයි. අධ්‍යක්ෂවරයාට එක විටම දියවුනු ice cream එකක් කන සීන් එකක් මතක් වෙලාය ඒ සීන් එක දමා ඇත්තේ. මේ වගේම ආනමාලු කන සීන්, සොසේජස් වලින් චීස් පනින සීන් ඉරාජ්ගේ වීඩියෝවේත් තිබුනි. මෙවැනි දර්ශන වලින් සංඛේත කරන්නේ මොනවාද යන්නත් ඒවායේ අරමුණ ප්‍රචාරණය (negative marketing) බවත් ඕන වෘෂභයකුට වැටහෙන්නේය.

අනික් කාරනය අඩ නිරුවත් දර්ශන තොරක් නැතිව අන්තර්ගත කරමින් තනන මේ රූප රචනා අධ්‍යක්ෂවරුන් කියා සිටින්නේ ඔවුන් මේවා කරන්නේ සමාජයට පනිවිඩයයක් දීමට බවය. වැඩිහිටියන්ට සැලකීමේ වැධගත්කම, සියදිවි නසා ගැනීම හොඳ නැති බව, සිගරට් අරක්කු බීම හොඳ නැති බව සමාජයට කියන්නටයි ඔවුන්ට උවමනාවී ඇත්තේ. ඒ අතින් ගත් කල පන්සලේ හාමුදුරුවන්ටත් නැති සමාජයට පණිවිඩ දීමේ ඇම්මක් අපේ තරුණ music video director මහත්වරුන්ට තිබේ. හැම වීඩියෝවේම අන්තිමතත්පර පහේ තිබෙන මේ පණිවිඩය දැනගැනීමට තවත් විනාඩි 3ක් රෙදි නැතුව ආතල් දෙන සීන් බලා සිටිය යුතුය. ඒ අතරට කෙසෙල් ගෙඩි කන ඒවා, කට වටේ ගෑවුනු අයිස්ක්‍රීම් ලොවින ඒවාද නොමිලේ අන්තර්ගත වේ. රෙදි ගලවන video හැදුවාට නයියාගේ නම් කිසිදු විරෝධයක් නැත. අපේ පැරණි වැඩිහිටියන්ට පමණයි ෆිලුම් වල මහත දෙහෙත ඇන්ටිලාත් අන්කල්ලාත් වෙව්ල වෙව්ලා කඳ බඩ අතගාන , lip kiss එකක් දීගන්න බැරි, ඔක්කාරයට එන සීන් වලට වඩා මේ music videos පට්ට ඉදිරියෙන් තිබේ. ඉන්නා කෙල්ලනුත් බොහෝ විට ගින්දරය. ඒත් අවුල ඇත්තේ මේවා හදන උන් මේවා හදන්නේ සමාජයට පනිවිඩ දෙන්නය , දියවුණු අයිස් ක්‍රීම් කට වටේ ගාගන්නේ පොඩි කාලේ මතක් වෙන්නය වගේ කියලා ගොන් ආතල් දෙන එකය,බබාලා වෙන්න හදන එකය.

මෙරට මෙන්ම ලෝකයේ බොහොමයක් නිර්මාණ කරුවෝ තම ප්‍රකාශනයේ නිදහස උදෙසා රජයන් සමග පවා ගැටී ඇත්තේය. ඒවා බොහොමයක් විකුණන්න හදපුවා නොව තමාගේ පරිකල්පනීය දෑ කලා මාධ්‍යක් තුල විදාරණය කිරීමේ උවමනාව නිසා බිහිවූ දෑය. අධ්‍යතනයේ බිහි වෙන දෑ බොහොමයක් විකිණීමේ පරමාර්තයෙන් බිහි වන දෑ වන්නට පුලුවන්ය. නමුත් එය පවතින ක්‍රමය තුල වැරැද්දක් නොවේ. හැම තැනම එහෙමය. ඒත් අවුල ඇත්තේ ඒවා හදන උන් කොන්ද පණ නැති ලපයි සිපයි මෙන් හැසිරෙන එකය. තමන් කල නිර්මාණය වෙනුවෙන් කොන්දක් ඇතුව පෙනී සිටීමේ හැකියාවක් නිර්මාපකයෙක් තුල තිබිය යුතුය. තමන්ගේ නිර්මාණයක් වෙනුවෙන්වත් පෙනී සිටිය නොහැකි ලපයි සිපයියෝ කලා සාගරය තුල සල්ලි මලු පොදි බැඳන් ජබු ගහන විට උන්ට පිටවන මළ පහ  සමුදුරු වෙරළට  ගසාගෙන එන්නේය. අපිට රැල්ල පාගන්න වෙන්නේ අසූචිත් පාගා ගෙනය.
තවත් සරළව කියන්වානම්, මචං උඹට ඕනෑ නම් හෙලුවෙන්, නැටුවාට, නැටෙව්වාට කමක් නැත, ඒත් බබා වෙන්න නම් හදන්න එපා.....

Sunday, November 12, 2017

චූටි කෑලි මල් කතාව 3 - phone නම්බරේ




<< දෙවනි කොටසට

හවස් වේගෙන එන හින්ද දියතලාවේ සීතල වැඩිවෙන්මින් තිබුණා. මම සීතලෙන් ගැහි ගැහි එයත් එක්ක කතාව ඇරඹුවා. විනාඩි ගණනාවක් ගෙවී ගියත් මහ දෙයක් අපි අතර කතා වුනේ නෑ. වැඩි හරියක් තිබේ කතා නොකර ගෙවුණු හිස් තැන්. කතාව බෝරිං වේගෙන එන නිසා එයා දැන් යාලුවො ගාවට යන්න හදන බව මට තේරුණා. phone number එක ඉල්ලගන්නව නම් දැන්ම ඉල්ලපං බූරුවො නැත්නම් කෙල වෙනවා. මගේ හිත කෑගහන්න ගත්තා. ඔන්න කකුල් දෙකත් වෙව්ලගෙන එනවා වගේ ඒ පාර.

"ඔයාගේ phone number එක ගන්න පුලුවන්ද ?"....හම්මා..... ඒ මම ජීවිතේට කාගෙන් හරි අහපු අමාරුම ප්‍රශ්නෙ වෙන්න ඕනෙ.

නිමේෂිගේ මූණෙ ඇඳුනා ප්‍රශ්නාර්ථයක්....!!!! ඇස් දෙක ගිනි බෝල දෙකක් උනාද මන්දා......හුටා.....වැඩේ කෙල වුනා වගේ. මං කිව්වා තොට මේක හරියන්නේ නෑ කියලා. මං මගේ හිතට ශාප කලා හිතෙන්ම.

"නෑ ....මේ....මේ ......අපි හෙට ගෙදර යනවනෙ.....ඉතින් සීනියර්ස්ලා කිව්වා ඇතුලෙ ඉන්න අයගෙ නම්බර්ස් ටිකක් ඉල්ලගන්න කියලා......ඇතුලෙ වෙන දේවල් දැනගන්න පුලුවන්නෙ".........මම නිදහසට කරුණු ඉදිරිපත් කරන්න ගත්තා. කකුල් දෙක තවමත් වෙව්ලනවද කොහෙද.

"ඔයා ලඟ පෑනක් තියනවද ලියාගන්න. ?"......එයා අහපි.

මල කෙලියයි. මං කොල, පෑන් අරන් ආවේ නෑනෙ මේ නම්බර් නෙලීමේ කෙරුවාවට......වට පිට බලද්දී ඔන්න එනවා නලිනයා. මං දැක්කා ඌ වටේම් ඇවිද ඇවිද උදේ ඉඳන් නම්බර්ස් ලියා ගන්නවා. ඌ ගාව අනිවා පෑනක් ඇති. අම්මෝ මගේ දෙයියා වඩිනවා.

"මචන්, නලින්......පෑනක් දියන් පොඩ්ඩකට"

"පෑනක් නෑනෙ බන්. කොලයක් නම් දෙන්න පුලුවන්"

මොන බූරුවෙක්ද මේ.යකෝ උදේ ඉඳන් කෙල්ලොන්ගේ ෆෝන් නම්බර්ස් ලියා ගත්ත මූ ලඟ නෑ පෑනක්. නෙදකින් මූසලයා......
"හරි කමක් නෑ මචන්"........හිතට ආපු වචන කටින් පිට නොකර මම ඌට එහෙම කිව්වා.

"පෑනක් තමයි නැත්තේ නැත්තේ හොයගන්න"....මම මෝඩ හිනාවක් දාගෙන ඈට කිව්වා.එයාගේ යාලුවෙක් ආවා එතකොටම එයාව එක්කන් යන්න.

"කමක් නෑ. ඔයා මට ඔයාගේ නම්බර් එක කියන්නකෝ.මං මතක තියාගෙන ඔයාට ring එකක් දෙන්නම් රෑ වෙලා."......නිමේෂි කිව්වා.

මම කිව්වා මගේ නම්බරේ.

"හරි මට මතකයි. මගේ නම්බර් එකේ අන්තිමට 64.රෑට ring එකක් දෙන්නම්කෝ කියාගෙන එයා ගියා."

යකෝ එක පාරයි අහගත්තේ. එක පාරින් පුලුවන්ද ඉලක්කම් 10ක් මතක තියාගන්න.සමහරවිට එයාගේ මතකේ හොඳ ඇති. අන්තිමට 64.කෝකටත් මටත් තිබ්බේ එයාගේ නම්බර් එක අහගන්න. ඒත් දැන් පරක්කු වැඩි. කොහේද එහෙම දෙයක් කල්පනා වෙන්නේ. මං බයේ හිටියේ හින්දි film වල තියනවා වගේ සෙරප්පු පාරක් වදී කියලා. 

දවස ගෙවෙමින් හැන්දෑ වෙමින් තිබුණා. ඇකඩමියෙ ground එක මුලුමනින්ම වැහෙන තරමට මීදුමේ ආධිපත්‍ය දැඩි වෙමින් තිබුණා. එකාට එකා නොපෙනෙන තරමට මීදුම ඝනයි. පස්සෙ නලියා මට පෑනක් හොයලා ගෙනත් දුන්නත්, තවත් කෙල්ලෙගෙන් නම්බරයක් ඉල්ලගන්න තරම් මට හයියක් තිබුනේ නෑ. නිමේෂිගෙන් නම්බරේ ඉල්ලගන්න මගේ හිතේ තිබ්බ සියලු ශක්තිය පාවිච්චි කරලයි තිබුනේ. කෙල්ලෙක්ගෙන් නම්බරේ ඉල්ලනවා වගේ භයානක වැඩක් අද දවසේ ආයේ කරන්න මට නම් බැරියෝ.

රෑ වෙද්දි අපි නැවත හොස්ටල් එකට ආවා. සින්නො ඇවිත් ලොකර් එකක දාලා තිබුණු අපේ phones අපිට බාර දුන්නා රෑ 8ට විතර. මම දඩි බිඩි ගාල phone එක on කරල බලන් හිටියා missed call alert එකක් එනකල් 64 අන්තිමට තියන ඉලක්කමකින්. ඒත් එහෙම එකක් ඇවිත් තිබ්බේ නෑ. ගෙදරින් විතරයි අරන් තිබ්බේ. අපිට ඉතින් වෙන කවුරු call කරන්නද......64 කිව්වට මේකිගේ මායම් 64ද කොහෙද, බොරුකාරි.....ඒත් තවම රෑ 8යිනෙ. එයාටත් phone එක හම්බුනේ දැන් වෙන්න ඇති. තව රෑ වෙද්දි call එකක් එයි.  මම දිග සුසුමක් හෙලලා ඇඳේ දිග ඇදෙද්දිම දොර දඩෝරියං ගාල ඇරගෙන සින්නො සෙට් එකක් කාමරේට ඇතුල් උනා.

මුලින්ම සුපුරුදු නම් ගම් , ඉස්කෝලේ අහන ප්‍රශ්න පත්‍රය ඉදිරිපත් උනා අපි අට දෙනාටම. ඊට පස්සෙ තව තව ප්‍රශ්න ඉදිරිපත් උනා. හැබැයි කලින් දවස් වල තරම් සැර පරුෂ බවක් තිබුණේ නෑ. මම හිතන්නේ ඒ අපි ඊලඟ දවසෙ ගෙදර යන නිසා වෙන්න ඕනි.

"ඒයි උඹ දන්නවද රාජසිංහ අමුඩෙ ගහන විදිහ?"....උදාරයා දිහාට හැරුණ එක සින්නෙක් ඇහුවා. උදාරයා අන්ද මන්ද වෙලා වටපිට බැලුවා.

"උඹලා දන්නවද ?"...ඊලඟට ප්‍රශ්නය අපි හැමෝටම යොමු උනා......අපි කවුරුත් දැනන් හිටියේ නෑ. ඊට පස්සේ සින්නාගේ උපදෙස් පරිදි උදාරය ගැහුවා රාජසිංහ අමුඩෙ (දන්නේ නැති උන් රාජසිංහ අමුඩෙ කොහොම එකක්ද කියලා පුරාණ පොත පත කියවලා ඉගෙනගනිල්ලා ). රාජසිංහ අමුඩෙ ගස්සවපු උදාරයව දණ ගැස්සුවා උඩ ඇඳේ. අපිට හිනාව වාව ගන්න බෑ. ඒත් ඉතින් පනාව කපාගන්න ඕනි නිසා හිනාව තද කරන් ඉන්නවා. උදාරයටත් හිනා යන්න එනවා, ඒත් එක්කම ලැජ්ජාව නිසා උගේ කන් දෙකත් එක්ක රතු වෙලා.

"දැන් උඹ අමුඩෙ ගහපු ගොවියෙක්. හැබැයි ඉතින් රජ කෙනෙක්ගේ අමුඩෙ ගහපු ගොවියෙක්. ඉතින් ගොවියෝ කතාවක් කරපන් උඹේ උදැල්ල ගැන...."
තව සින්නෙක් උදාරයට කිව්වා.

"හැබැයි උදැල්ල කියන වචනේ පාවිච්චි කරන්න බෑ. ඒ වෙනුවට "ප#ය" කියලා කියපන්" (අපි ඒක මල්ලියා කියලා replace කරමුකෝ).

උදාරයා තව තවත් රතු වුනා වගේ. අපිට දැන් නම් හිනාව ඉවසගන්න බැරුව එනවා. උදාරයටත් වඩා අපේ මූණු රතු වෙලා හිනාව තද කරන් ඉඳලා. හිනාව හිර කරන් ඉන්න නිසා මූණයි බඩයි එන්න එන්නම පිම්බිලා එනවා.

"යකෝ තොපි හිනා නොවී ඉන්න එපා. පැලිලා යයි උබලව.....හෙට යන එකේ ඇති තරම් හිනා වෙයන්"......සින්නෙක් පනාව දාන්න අවසර දුන්නා.ඒ අවසරයෙන් අපි බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා.

"හා,.... උඹ කතාව පටන් ගනින්"

උදාරයා තටම තටම ඉඳලා කතාව පටන් ගත්තා. 

1. ගොවියාට තියන වැධගත්ම උපකරණෙ තමයි මල්ලියා.
2. ගොවියා උදේට කුඹුරට යද්දි මල්ලියාව කරේ තියාගෙන තමයි යන්නෙ
3. ඊට පස්සෙ මල්ලියව අත් දෙකට අරන් කොටාගෙන කොටාගෙන යනවා
4. සමහර මල්ලිලා කොටාගෙන යද්දි මොට වෙනවා.
5. කිඹුලා මල්ලියා තමයි හොඳම මල්ලියා. කිඹුලා මල්ලියා කපන්න කපන්න මුවහත් වෙනවා. අනික් මල්ලිලා වගේ නෙවී.
6. ගොවියා හවසට ගෙදර ඇවිල්ල ගම හාමිනේට දෙනවා මල්ලියව හෝදන්න කියලා.
7. ගම හාමිනේ තමයි ගොවියගේ මල්ලියව පිරිසිඳු කරලා ගන්නේ

හම්මේ ඒ කතාව .........අපි බඩ අල්ලන් පෙරලි පෙරලි හිනා උනා. දවස් 6ක් තිස්සේ නිදහසේ හිනා වෙන්න උනේ නැති එකේ පාඩුව හොඳට ඇල්ලුවා අපි. සින්නොන්ටත් හොඳටම හිනා.

"හා හා....දැන් ඇති දැන් අමුඩෙ ලිහලා සරම ඇඳගෙන බැහැපන් බිමට"........රාජසිංහ උදාරයා බැස්සා බිමට. අමුඩෙ ගහන් ඉන්නකොට උදාරයා රජකමටත් සුදුසුයි.

"දැන් උඹලා හෙට ගෙදර ගියාම......" කියල පටන් අරන් සින්නෙක් පටන් ගත්තා දේශනාවක්. ඒකේන් කිව්වේ ගෙදර ඉන්න කාලේ කැම්පස් එකත් එකත් තියන සම්බ්න්ධතාව තියා ගන්න හැටි ගැන. බණ දේශනාවක් අහන් ඉන්නව වගේ සැදැහැ සිතින් ඒක අහන් ඉද්දි මෙන්න එනවා call එකක් මට. දෙයියනේ නිමේෂි.....මට සින්නො ඉන්නව කියලත් අමතක උනා. දඩි බිඩි ගාල මං කොට්ටෙ යට තිබ්බ phone එක ගත්තා, දන්නෙ නැති අංකයක්, බැලුවා අන්තිම ඉලක්කම් දෙක ...64........නෙවී.....84. මොන මගුලක්ද?

"අඩෝ කවුද කතා කරන්නේ.".....සින්නෙක් ඇහුවා. අම්මටසිරි මුන් ටික තවම මෙතන නේද. මුන් ඉන්නවා කියල අමතක උනා ආපු තදියමට.

"දන්නෙ නෑ ජේෂ්ඨ උත්තමයා." ...

"බොරු කියන්න එපා. උබේ ගමේ කෑල්ල නේද?

"අපෝ නෑ. එහෙම එකක් නෑ."

"බොරු කියන්න එපා. හා හා උඹත් නැගපන්  ඇඳ උඩට. කරපන් කතාවක් කෙල්ල උඹට සෙට් උනු විදිහ ගැන."

මේ මොන මරාලයක්ද මේ පහත් වෙන්න යන්නේ. ජීවිතේට කෙල්ලෙක් නොහිටපු මං කොහොම කියන්නද කෙල්ලෙක් සෙට් උනු හැටි. කිහිප පාරක්ම කෙල්ල නෙවී කිව්ව්ට උන් අහුවේ නෑ. ඉස්කෝලේ කාලේ කියවපු මල් කතාවක තිබ්බ කෑල්ලක්වත් මතක් කරගන්න ඕනි. මම උඩ ඇඳට නගිද්දිම වේගයෙන් දොර ඇරගෙන තව එකෙක් කාමරේට ඇතුල් උනා. 

"සහෝ...ලොකුවටම එක" පොර කිව්වා. 

"බැහැපිය ..ඇඳෙන්" කියාගෙන සෙට් එක පිට උනා.හම්මේ යාන්තම් බේරුනා. දඩි බිඩි ගාල ඇඳෙන් බැහැපු මම ගත්තා call එකක් අර නම්බරේට.සමහරවිට ඒ නිමේෂි වෙන්න ඇති. 64 මොකද 84 මොකද.

rings යනවා.

"හෙලෝ".....එහා පැත්තෙන් ඇමතුවා......
 රෙද්ද... කොල්ලෙක්ගේ කටහඬක්. 

"මේ නම්බරෙන් මට call එකක් ආව. කවුද මේ".....මම ඇහුවා

"ආහ් දසුනා ........මම කුෂාන්. මාත් ගත්ත බන් phone එකක්. ඒක කියන්න උඹට call කලේ"

"තොගෙ ආච්චිට  #&*#!!!**#.........යකෝ වෙන වෙලාවක් තිබ්බෙම නැද්ද  call කරන්න. බූරුවා. බලපන් හු** තෝ හින්දා තව ටිකෙන්......." මම ඌට දන්න ඔක්කෝම කුණුහර්ප ටික කියලා අමතන්න ගත්තා.

4 වෙනි කොටසට>>

Sunday, November 5, 2017

චූටි කෑලි මල් කතාව 2- නිව්ටගෙ බත් එක






නම්බරයක් ඉල්ලගන්න ?.....
අප්පටසිරි ඔව් නේන්නම්. විද්‍යා  පීඨයේ ශිෂ්‍යයෝ වෙච්ච අපේ සරසවි ඇරඹුම අදින් අවසන් වෙනවා. මොකද අපේ පීඨය හරියටම ආරම්භ කරන දිනයක් නෑ තවම. ඒ නිසා සතියක් පුරා පැවැත්වුනු නවක නම්ණීකරණය අදින් ඉවර උනාම විද්‍යා පීඨයේ අපි, හෙට ගෙදර යනවා. අනික් පීඨ හතරේ උදවිය තමන්ගේ විශ්ව විද්‍යාලයීය ජීවිතය නිල වශයෙන් අරඹනවා. ඒ නිසා අපේ faculty එකේ සින්නො කිව්වා ගෙදර යද්දි අනික් faculties වල උන්ගේ නම්බරයක් දෙකක් ඉල්ලන් පලයල්ලා ඇතුලෙ වෙන විස්තරයක්වත් දැනගන්න කියලා. මේ ලෝකේ ඉන්න ජරාම සත්ව කොට්ටාශය සින්නො කියල හිතන් හිටියත් , හිතෙන් කොයිතරම් උන්ට සාප කර කර හිටියත් අපේ කස්ටිය සින්නො දීපු ඒ උපදෙස නම් ඉස් මුදුනෙන්ම පිළිඅරං තියන බව කල්පනා සාගරයෙන් මිදිල පොඩ්ඩක් වට පිට බැලුව ගමන් මට තේරුණා.

අපේ faculty එකේ උන් ශාලාව වටේ ඇවිද ඇවිද ජන සංගණනෙට විස්තර එකතු කරනවා වගේ කොලයි පෑනුයි අරගෙන එක එකාගෙ ෆෝන් නම්බර් ලියාගන්නවා.ඔච්චර නම්බර්ස් ඉල්ලගෙන මුන් ඔය හැමෝටම කතා කරන්නද යන්නේ. යකෝ ඒකත් අමුතුම ආතල් එකක් වගේ. 

"අම්මෝ හරි මහන්සියි බන්"....කියාගෙන පළවෙනි සමීරය ඇවිත් මට එහා පැත්තෙන් ඉඳගත්තා. උගේ අතේ දෙකට නවපු A4 කොලයක් තිබ්බා. දෙකට නවපු කොලේ දෙපැත්තෙම පිරෙන්න තීරු හතරක phone numbers මහ ගොඩක් ඌ ලියන් තිබ්බා.

"මේ මොකද බන් මේ...." A4 කොලේ උගෙන් උදුරගන්න ගමන් මං ඇහුවා.
"ඇයි බන් faculty 5ක කෙල්ලො කීයක්නම් ඉන්නවද ?....මේ උන්ගේ numbersටික."
"උඹට කොහෙන්ද මේ sports meet එකක් අස්සෙ කොලයි පෑනුයි ?"
"මම උදේ හොස්ටල් එකෙන් එද්දි අරන් ආවා. ඇයි සින්නො කිව්වෙ ගෙදර යන්න කලින් ඇතුලෙ ඉන්න උන්ගේ නම්බර්ස් ඉල්ලං යන්න කියල".....සමීරය කියපි.

යකෝ මූ මාර පොරක්නෙ. ඔය විත්තියක් මට කිව්වනම් මාත් කොලේකුයි පෑනකුයි අරන් එනවනෙ. අනික සින්නෝ කිව්වේ නම්බර්ස් 2,3ක් ඉල්ලගන්න කියලා. මුන් phone directory එකක්ම හදාගෙනනෙ.

"ඔය ඔක්කොම කෙල්ලන්ගෙ නම්බර්ස්ද බන්?.....මම ඉරිසියාවෙන් පිපිරෙමින් ඇහුවා

"ගොඩක් ඒවා කෙල්ලන්ගේ තමයි"

"උඹත් නම්බර්ස් දෙක තුනක් ගොඩ දාගනින්, මෙතනට වෙලා ගල් පිළිමෙ වගේ ඉන්නෙ නැතුව"......කියාගෙන සමීරයා නැගිටලා ගියා.

මම ආයේ වටපිට බැලුවා. faculty හැම එකකම කොල්ලෝ කිසි ගින්නක් නැතුව කෙල්ලන්ට කතා කරමින් phone numbers ලියා ගන්නවා.යකෝ මෙහෙම ඉඳලා හරි යන්නෙ නෑ.මටත් යන කල දසාවක් තියන්න එපැයි කියලා මටම කියාගනිමින් සියලු පුරුෂ දහිරිය එකතු කරන් මම අඩිය ඉස්සුවා තනියම හිටපු කෙල්ලෙක් දිහාවට. සුදු කෙල්ලෙක්, කොන්ඩෙ කුරුයි, රතුපාට T එක ඇඳලා තද නිල් බොටමක් ගහන් ඉන්නේ. මම අඩියෙන් අඩිය එයාට ලං වුනා. ලං වෙන්න ලං වෙන්න එයාගේ ලස්සන රූපය වැඩි වැඩියෙන් පේනවා. ලං වෙන්න ලං වෙන්න මගේ පුරුෂ දහිරියත් හීන වෙනවා. යකෝ මොනවද මම ලඟට ගිහින් අහන්නේ.......ම්ම්ම්ම්ම්...... මාර වැස්සක් නේද ? කියලවත් අහනවා...........
නෙදකින් කරුමෙක මහත.ඒ එක්කම කොහෙන්දෝ ඉඳල ආපු හෙනහුරෙක් එයා ලඟින් ඉඳ ගත්තා. තත්පර 3ක් ගියේ නෑ. උන් දෙන්නා බර කතාවකට සෙට් වුනා........
"ආපසූ හැරෙන්".මම මටම විධාන අරගනිමින් ආපහු හැරුණා.

අම්මටසිරි ග්‍රහයා එච්චරම නරක නෑ. ආපසු හැරෙද්දිම මේ ඉන්නේ තවත් තනි වුනු කුසුමක් බැබලි බැබලී. නැවතත් ආත්ම දහිරිය වඩවා ගෙන මම ගිහින් ඉඳගත්තා එයාගේ ලඟින්. අනේ......එයා මාත් එක්ක ලස්සනට හිනා වුනා.

"මාරම වැස්සක් නේද?...." කට පාඩම් කරගෙන ආපු පළවෙනි වාක්‍යය මම බස ගාලා දැම්ම එළියට.
කෙල්ල නිකන් අන්ද මන්ද වෙලා වගේ මං දිහා බැලුවා. මම වැරදි දෙයක්වත්ද ඇහුවේ. 

Sorry I'm Tamil ....කෙල්ල කිව්වා

මේ මොන නස්පැත්තියක්ද? යකෝ ඇඟේ තියන අන්තිම ලේ බින්දුව වෙනකල්ම පුච්චලා නොසැලෙන වීර්යෙන් වචන දෙකක් කතා කරාම , ඒ කතා කරලා තියෙන්නෙත් සිංහල බැරි මල ඉලව්වකට. ජීවිතේට කෙල්ලෙකුගෙන් සිංහලෙන්වත් නම්බරයක්වත් නොඉල්ලපු මම කොහොමද නොදන්නා කඩ්ඩකින් ඒ කෙල්ලගේ නම්බරේ ඉල්ලන්නේ. මට හීන් දාඩිය දැම්මා. වසන්තයේ සිත සැලෙමින් අනන්තයට දුක දැනෙන්නට උනා. ඔය අතරේ වැස්ස පායලා කියලා කස්ටිය කතා වෙනවා ඇහුණා. ආචාර්‍යවරයෙක් ඇවිත් කිව්වා දවල් කෑම ලෑස්ති කියලා. පැය දෙකක් විතර ශාලාවට කොටු වෙලා හිටපු හැමෝම ලොකු සතුටකින් එලියට බැහැල දවල් කෑම අරගත්තා. වැස්සෙන් පස්සෙ උදේ තිබුණු සුන්දරත්වය මදකින් අඩු වෙලා වගේ.උදෑසන හිරු එළිය කඳුවලල්ල උඩින් පැනලා ඇකඩමියෙ තිබ්බ විශාල ගස් අස්සෙන් රිංගලා කොල පාට තණ බිස්ස මත වැටෙද්දි කැටි කරගත්ත සුන්දරත්වය දැන් නෑ. මොකද ඉර දෙයියො වලා කුලෙන් වැහිලා තිබ්බ නිසා.පරිසරයෙ තිබ්බෙ යම් දුක් මුසු පාටක්.ඒ වගේම සීතලත් වැඩි වෙලා තිබ්බා. දවල් 1ටත් ඇඟට දැනෙන සීතලක්.

ඈත පේන කඳු වලල්ලෙ මුදුනත වසාගෙන කැලඹෙන මීදුම් දුමාරයේ ගුප්ත සිරියාව විඳිමින් මම පිය මැන්නා ඇකඩමියේ swimming pool එක දිහාට. 

ආහ්හ්හ්....මෙන්න වදින්නයි යන්නේ තවත් චෑන්ස් එකක්. "නිමේෂි" ඉන්නවා තනියම. pool එකේ දිය රැළි නොනැගෙන ජල තලේ දිහා බලන් භාවනාවේ යෙදිලා එයා බලන් ඉන්නේ pool එක පතුලෙන් නිධානයක් මතුවෙයි කියල වගේ.නම්බරයක් ඉල්ලගන්නවනම් එයා තමයි කෙනා කියලා මට හිතුනා.

පහු ගිය දවස් හයේම අපි උදෙන්ම ලෑස්ති වෙලා 7 වෙද්දි ගියේ කැම්පස් එකේ ඔඩිටෝරියම් එකට. කලිසමයි ෂර්ට් එකයි යට කරල ඇඳල, බිම බලාගෙන , සද්ද නොකර හොස්ටල් එකේ ඉඳන් හරි කෙලින් පෝලිමක් හැදිල තමයි අපි ගියේ.ඉස්කෝලෙ කාලෙවත් එච්චර සංවරකමකින් පෝලිමක ගිහිල්ලා නෑ. කොල්ලන්ගේ පෝලිම එක පැත්තකින් කැම්පස් එකට ඇතුල් වෙද්දි කෙල්ලන්ගෙ පෝලිම තවත් පැත්තකින් ඇතුල් උනා. කෙල්ලො එන්නෙ පන්සල් යන්න වගේ සැරසිලා. කළු පාට දිග සායයි, සුදු පාට blouse එකයි ඇඳලා.  ඔඩියට ගියාට පස්සෙ කොල්ලයි කෙල්ලයි, කොල්ලයි කෙල්ලයි විදිහට තමයි ඉඳ ගන්න තියෙන්නෙ. එහෙම ඉඳගත්ත ගමන් අපි මුලින්ම කල යුතු වුනේ තමන්ගේ දෙපැත්තේ ඉන්න දෙන්නගෙ විස්තර , ඒ කියන්නේ නම , ගම , පවුලේ විස්තර එහෙම අහල දැන ගන්න එක. ඉතින් හැමදාම කෙල්ලො දෙන්නෙක් දෙපැත්තෙන් සෙට් වෙනවා. උන්ගේ විස්තර අහගෙන පාඩම් කරගන්නවා. ඊට පස්සෙ සින්නො එක එකා ලඟට අවිල්ල අහනවා දෙපැත්තෙ උන් දෙන්නගෙ විස්තර කියපන් කියල. වැරැද්දුවොත් උන් කඩන් පනිනවා මාර සේනාව වගේ ගුඟුරමින්. ඒකට බය උනු කෙල්ලොන්ගෙ ඇස් වලින් කඳුලු කඩන් වැටෙනවා සට සට ගාල. සින්නො ඒකටත් බනිනවා හොඳටම. ඊට පස්සෙ උන් ගියාට පස්සෙ ඔන්න මැද ඉන්න කොල්ලට ලැබෙනවා චාන්ස් එකක් කෙල්ලොන්ව සනසවන්න. ඒත් මට නම් ඔය රාජකාරිය දිරවන එකක් නෙවී. ඉස්කෝලෙ යන කාලේ කෙල්ලොත් එක්ක මගේ ආස්‍රය ඉතා කුඩා අගයක් වුනු නිසා උන් අඬනකොට කියන්න දෙයක් මගේ කට ආවේ නෑ වැඩිය. 
මට කෙල්ලන් වෙනුවෙන් කරන්න පුලුවන් උනු එකම දේ උන් කන්න බැරුව ඉතුරු කරන දවල් බත් එක ගිල දාන එක විතරයි. දවල් කෑම වෙලාවටත් අපි ඔඩියට සෙට් වෙනවා. ඊටපස්සෙ හැමෝටම ලැබෙනවා බත් පැකට් එකක් ගානෙ කැන්ටිමෙන්. අපි හැමෝම ප්‍රතිඥා දීල තියෙන්නේ එක බත් ඇටයක්වත් ඉතුරු නොකර කනවා කියලා. ඒකට කිව්වේ ආහාර ප්‍රතිඥාව කියලා. උදේට පන්සිල් ගද්දි නමස්කාරය කියනව වගේ බත් මුල ඔලුව උඩ තියාගෙන ආහාර ප්‍රතිඥාව දීල තමයි අපි කන්න පටන් ගන්නේ.  ජීවිත කාලයක් පුරා අම්ම හදල දුන්නු බත් කාල පුරුදු අපිට කැන්ටිමේ නිව්ටන් අයියගෙ ඇට නැති පරිප්පු හොද්දයි පොල් කුඩු සම්බලෙයි එක්ක බත් එකක් කනවා කියන එක කිසිසේත් ලේසි වැඩක් උනේ නෑ. ඇත්තටම ඒක කරන්න අමාරු වැඩක් නෙවී කරන්න බැරි වැඩක්. ඒත් මගේ බත් එකේ  ඇටයක්වත් නොකර කන එකෙන් වැඩේ ඉවර වෙන්නේ නෑ.....

මොකද දෙපත්තෙ ඉන්න ගොන් කෙල්ලො දෙන්නට කොහොමත් ඔය බත් එක ඉවර කරන්න බෑ. උන් බත් කටවල් 5ක් විතර කෑව ගමන් mission එක නවත්තනවා. තවත් කෑවොත් උන් ඔක්කොම වමාරනවා  ෂුවර්. ඉතින් සින්නො අවිල්ලා අපිට ෆුල් භීෂණේ දානවා දෙපැත්තෙ කෙල්ලො දෙන්නව ගොඩ දාපන් උන්ගේ බත් එක කාල කියල. මගේ බත් එක කෑව මදිවට කාපන්කො තවත් බත් දෙකක්. ඉස්සර ගෙදර ඉන්න සමහර දවස් වල අම්මගේ කෑම චාටර් කියලා ලෙඩේ දාපු දවස් මට මතක් වෙනවා. යකෝ දෙයියනේ මට නිව්ටන්  අයියගේ බත් 3ක් එක පාර කන්න උනේ අම්මගෙන් ගේම ඉල්ලපු දිට්ඨදම්මවේදනීය කරුමෙ පල දීලද?........මොනවා උනත් අපි ඉතා අමාරුවෙන් කෙල්ලගෙ බත් එක ඉවර කරලා දීල කෙල්ලව සින්නන්ගෙන් ගලව ගත්තම උන්ගේ මූනේ ඇඳුනෙ හරිම කෘතඥපූර්වක සිනහවක්. අනේ පුදුම සෙනෙහසක් තිබ්බේ උන්ගෙ මූණු වල ඒ වෙලාවට.

ඔන්න ඔහොම අහම්බෙන් කෙල්ලො දෙන්නෙක් මැද වාඩි වෙවී ගෙවුනු ඒ ජීවිතේ මට දවස් 2ක් ම මුනගැහුනු කෙනා තමයි නිමේෂි. අපේ කණ්ඩායම 900කට කිට්ටුයි. එහෙම පිරිසක් අහඹුලෙස එක එකා මාරු වෙවී වාඩි වෙද්දී එකම කෙනෙක් දවස් 2ක් සෙට් වෙනවා කියන්නේ හරිම දුර්ලබ සිදුවීමක්. දවස් දෙකක්ම මුන ගැහිලා තියන නිසා මගේ හිතට ආවා පොඩි confidence එකක් එයාට කතා කරන්න. කතා කිරීම අවසන් අරමුණ එයාගේ phone number එක ඉල්ලා ගන්න එක. මේකටවත් බාල්දිය පෙරලන්නේ නැතුව හිටපන් දෙයියෝ. මන් හිතෙන් කන්නලව් කලා ඇහෙන දෙයියෙක්ට ඇහියන් කියලා.....


තුන්වෙනි කොටසට >>

Friday, November 3, 2017

චූටි කෑලි මල් කතාව -1






එක වරම ඇද හැලිච්ච කොහෙන්දෝ ආපු මහ වරුසාව නිසා නවකයන්ගේ ක්‍රීඩා උළෙල සේදිලා ගියා ලොවෙත් නැති වෙන්න. සබරගමුව විශ්ව විද්‍යාලයේ 14 වෙනි සිසුන් කණ්ඩායම වෙච්ච අපේ freshers meet එක අද උදේ පටන් ගත්තේ දියතලාව Military Academy එකේදී. අති මනරම් පරිසරයක පිහිටා තිබ්බ ඇකඩමිය අපි කාගෙත් සිත් සතන් සුවපත් කලේ පරිසරයේ සුන්දරත්වය නිසාද?, කරදර කරන්න සින්නො ටික ලඟ නැති නිසාද කියල හිතා ගන්න බැරුවයි හැමෝම හිටියේ. දවස් 7ක් පුරාම යක්කු වගේ සින්නොන්ගෙ ග්‍රහනෙට අහුවෙලා අපි හිටියෙ තක්කු මුක්කු වෙලා. කෙල්ලොන්ට නම් හිනා වෙනහැටිත් අමතක වෙලයි තිබ්බෙ. මොකද කැම්පස් එකේ දෙවනි පාඩම "පනාව කපා ගන්න එකනෙ". හිනා වුනොත් හරි , කඩ්ඩ වචනයක් පාවිච්චි කලොත් හරි, පාවා දුන්නොත් හරි , රැවුල් කොණ්ඩ වවන් හිටපු මාර සින්නො කඩන් පැන්නා මූණට. ........උන්ගෙ ඇස් රතුම රතුයි, ඇස් බෝල එලියට පනින්න වගේ , දෙපැත්තෙන් දත් දෙකක් එලියට දික් වෙලා, කට දිගේ ලේ බේරෙනවා......වගේ කියල තමයි ගොඩක් උන්ට ඒ වෙලාවට පෙනුනෙ. ගෙදරදිවත් ඉස්කෝලෙදිවත්  කවදාවත් බැනුමක් රැවුමක් නොලබපු කෙල්ලොන්ට කඳුලු පැන්නා ඒ වගේ වෙලාවට. දින හතකට පස්සෙ ඒ මාර සේනාවෙන් බේරිලා නිදහසේ දවසක් ගත කරන්න අපි හැමෝටම දවසක් උදා වුනා. ඒ උදා වුනු දවසෙන් භාගයක් යන්නත් කලින් කොහෙන්දෝ ආපු මේ මූසල මහ වැස්ස අපිව ගාල් කලා ඇකඩමියේ විශාල ශාලාවකට. ශුවර් එකට මේ වැස්ස එව්වෙත් සින්නො වෙන්න ඕනි. උන් නම් අපිට නිදහසේ හුස්මක් ගන්න දෙන්නම නෑ වගේ.

අවුරුදු 3ක් තිස්සේ ඉස්ම යනකල් පාඩම් කරලා , පන්ති ගිහිල්ලා, දෙපාරක්ම ලියලා ගොඩදාගත්තු  A/L ප්‍රතිඵලේ පිහිටෙන් මට ඇරුනා සබරගමුව සරසවියේ දොර. දොර කිව්වට ඒක ගේට්ටුවක්. ඉස්කෝලේ යනකාලේ වන්දනා ගමන් යනකොට මුනගැහුනු , එහෙමත් නැත්නම් TV එකෙන් හරි පින්තූර වලින් හරි දැකල තිබුණු මොනම කඳු පන්තියකටත් වඩා ලස්සන කඳු පන්තියකින් වට වෙලා  තිබ්බ කැම්පස් එක මගේ හිත එක මොහොතින් පැහැර ගත්තා. මේක නම් දිව්‍යලෝකෙට සමානයි කියලා මට හිතුනා. අවුරුදු හතරක් නෙවී ජීවිත කාලෙම උනත් ඉන්න බැරියෑ මේකේ. ඒ කඳු පන්තිය උදේ පාන්දරටත්, සැන්දෑ භාගය වෙද්දිත් තමන්ගේ ගිරි ශිඛරය මීදුම් සලුවකින් සඟව ගත්තේ ලොකුම ලොකු ලැජ්ජාවකින්ද නැතිනම් ආඩම්බර කමකින්ද කියලා හිතා ගන්න බෑ.. අලුතෙන් කැම්පස් ආපු උබලට මගේ ලස්සන පෙන්නන්නේ නෑ කියලා ඒ මීදුම් සලුවට මුවා වෙච්ච ගිරි ශිඛරය අපිට කිව්වා. හැබයි දවල් වෙද්දි නම් මීදුම් සලු ඈත් මෑත් වෙලා කඳු පන්තියේ නියම ලස්සන හැමෝටම පෙන්නන්න තරම් එයා නිහතමානී උනා. ඒත් ඉතින් ඒ ලස්සන බලන්න උනේ නෑ අපිට නම්. මොකද දවල් වෙද්දි මහා මේරු පර්වත වගේ සින්නො රැල අපිව වට කරන් හිටියේ. මහා මේරු පර්වත වගේ කිව්වේ උන්ගේ ඇඟවල් නෙවී, උන්ගේ කටවල්. 

පලවෙනි දවස ගෙවෙද්දී මට ලැබුනා හොස්ටල් කාමරයක්. මං ඒකට යද්දිත් මගේ අනික් සගයො ටික ඇවිල්ලයි හිටියේ. රට වටෙන්ම ආපු උන් හත් දෙනෙක් එතන හිටියා. 

පලවෙනි එකා රෝහන. පොරට වයසට වඩා පැසුණු පෙනුමක් තිබ්බේ. ඔලුවේ වැඩිය කොන්ඩෙ තිබ්බෙත් නෑ. කොන්ඩෙ නොතිබ්බට මිනිහා සෑහෙන දේවල් දැනන් හිටියා. ඌ අපේ තාත්තටත් වඩා දේවල් දන්නවා වගේ. මෙච්චර කල් මං හිතන් හිටියේ අපේ තාත්තා තමයි සේරම දන්නේ කියලා. බැලින්නම් රෝහනයා ඊටත් වඩා දන්නවා වගේ. ඇත්තටම ඌ දන්නවටත් වඩා දහ ගුණයක් කතා කලා. ඒකයි අපිට ඌ සියල්ල දත් කියලා හිතුනේ.දන්න එකටයි නොදන්න එකටයි කියලා වෙන්සක් නෑ ඕනෑම චූටි දෙයක් ගැන පොරට තිබුණා ලොකු අදහසක්. ඌ කියවන වෙලාවට අපි කලේ අහන් ඉන්නවා වගේ පෙන්නපු එක.මැදින් පැනලා කට වහපන් බන් කියන්න තරම් ඇඳුනුම් කමකුත් නෑනෙ , දවස් කිහිපයයිනෙ ගෙවිලා තිබ්බෙ. හැබැයි ඌට දේශනේ පවත්වන්න නම් අපේ ඇඳුනුම් කම අවුලක් උනේ නෑ. මොනවා උනත් හරිම හිත හොඳ කොල්ලා.

දෙවැන්නා පලවෙනි සමීර. පලවෙනි සමීර කිව්වේ කාමරේ  තවත් සමීර කෙනෙක් හිටිය නිසා. පලවෙනි සමීරයත් යමක් කමක් දන්න පොරක් තමයි කියලා මට හිතුනා. විශේෂයෙන්ම ඌට තිබුනා දැනීමක් කැම්පස් එකේ රැග් එක දිශානත වෙන්නේ කොහොමද කියලා. රෝහනයගෙ රේඩියෝ එක වැහුනු වෙලාවට තමයි සමීරයා කතා කලේ. උගෙන් වැඩිපුරම අපිට දැනගන්න ඕනි උනේ අපි කැම්පස් එකේ ඉන්න දවස් හත ඇතුලේදී සින්නො අපිව මරණ එකක් නෑ නේද කියලා. නැතිනම් අපිට වෙන්න පුලුවන් උපරිම හානිය මොකක්ද කියලා. සමීරයට ඒ වෙද්දිත් ගමේ කෙල්ලෙක් හිටියා. ඇත්තටම කෙල්ලෙක් කිව්වට ඒක 2ක් හෝ 3ක් වෙන්නත් පුලුවන් කියලා මට හිතුණා. කාමරේ ලයිට් නිවලා අපි නිදාගන්න ලෑස්ති උනාම මගේ උඩ ඇඳේ හිටපු සමීරයා මල් කඩන්න පටන් ගන්නවා. ඌ කතා කලේ පුදුම හිමින්.හරියට මදුරුවෙක් කන ලඟ රූන් රූන් ගානවා වගේ. එහා පැත්තෙ  කතා කරන කෙල්ලට මූ මේ තරම් හිමිං කතා කරද්දි ඇහෙන්නේ කොහොමද කියලා මට ලොකු ප්‍රශ්නයක් තිබ්බා. මට ජීවිතේට  කෙල්ලෙක් ඉඳලා නෑනෙ. අනික මට phone එකක් අරන් දුන්නෙත් කැම්පස් එන්න දවස් දෙකකට කලින්. ඒ නිසා ඔච්චර හෙමින් phone එක හරහා love කරන්න පුලුවන්ද කියන එක  මගේ දැනුමට හසු කරගන්න පුලුවන් දෙයක් උනේ නෑ. කොහොම හරි මට නින්ද ගිහිල්ලා පැය දෙකකින් විතර එක පාර ඇහැරුනත් ඒ වෙද්දිත් පලවෙනි සමීරයගෙ රූන් රූන් ලව් මැතිරිල්ල ක්‍රියාත්මක වෙමින් තිබුණා. love කරන එක හරිම අමාරු දෙයක් කියලා මට ඒකෙන් තේරුනා. පට්ට  හෙමින් කතා කරනවා මදිවට නිදා ගන්නත් වෙන්නෙත් නෑ වගේ. ඇත්තටම මට කරන්න පුලුවන්ද ඔය විදියට මහන්සි වෙන්න ඕනි love, කියල හිතමින් මම ආයේ නින්දට වැටෙනවා.

තුන්වෙනියා දෙවනි සමීර. ඌ ගැන මේ මොහොතේදී මට වැඩිය දෙයක් කියන්න නෑ. මොකද පොර හරිම නිහඬ සහ අඩු කතා ඇති චරිතයක්. හරියට මං වගේ.දෙවනි සමීරය හිටියෙ අලුතෙන් ගොඩ බැහැපු කැම්පස් ජීවිතේට හා තමන් වටා හිටපු අලුත් චරිත වලට අනුගත වෙන්න උත්සහ ගනිමින්. ඔය ලක්ෂණම තමයි උදාරයටත් තිබ්බේ ඌ හතරවෙනියා. මාවත් ඒ ගොඩටම තමයි දාන්න වෙන්නේ. මෙලෝ රහක් නැති ජීවිත තුනක් .

හයවෙනියා ජමාල්. ඌ අක්කරෙයිපත්තුවෙන් ආපු මුස්ලිම් කොල්ලෙක්. ඌ කිව්වේ ඌට සිංහල බෑ කියලා. ඌවත් දාන්න වෙන්නේ  මම වගේම මෙලෝ රහක් නැති ජීවිත ගොන්නට. මටත් වඩා අමතර අභියෝගයක් ඌට තිබ්බා. ඒ තමයි සිංහල කතා කරන බහුතරයක් මැද්දේ ජීවත් වීමට හුරු වීම. සමහරවිට සිංහල බෑ කියල මූ දාන්නේ බොරුවක් වෙන්න ඇති කියලත් අපි කතා උනා. එතකොට පුලුවන්නේ රැගෙන් බේරෙන්න. කියන දේ තේරුම්ගන්න බැරි එකෙක්ව කොහොමද රැග් කරන්නේ.හැබැයි ඉතින් සුපුරුදු පරිදි උගේ සිංහල බැරිකම රෝහනයට අවුලක් උනේ නෑ. ඌ දන්න විදියට කඩ්ඩ ගැටගහලා ජමාලයටත් උගේ දේශනේ පැවැත්තුවා. ඒ උනාට ජමාලයට පුලුවන් කඩ්ඩකුත් නෑ. ඒ නිසා වැඩක් උනේ නෑ මං හිතන්නේ. 

හත් වෙනියා නලින්. ඌ නම් ලෝක අන්ඩපාලයෙක් හා ඇඹලයෙක්. උගේ ඇඹලකම දෙවෙනි උනේ පලවෙනි සමීරට විතරයි. රැග කන්න සෙට් වෙන හැමදාම ඌට මොනවා හරි ලෙඩක් හැදුනා. ඒ ලෙඩේ පිහිටෙන් ඌට රැගෙන් සෑහෙන දුරට බේරෙන්න පුලුවන් උනා. හැබැයි කෙල්ලෙක් ලඟ වාඩි කෙරෙව්ව ගමන් උගේ ලෙඩ කොහෙන් ගියාද නෑ. කියවිල්ල ඉවරයක් නෑ. සින්නො බැන්නම අඬන කෙල්ලන්ව නලවන්න පොරට පුදුම උනන්දුවක් සහ හැකියාවක් තිබුනෙ. ඌ සීනි දාලා බටර් දාලා, ඊට උඩින් පැණිත් වක්කරලා දෙන නැලවිලි ටෝකට කෙල්ලො උගේ උරහිසේ හිස තියා සැනසෙන්නේ නැති එක විතරයි. අනේ අම්මපා මට ඌත් එක්ක එන්නේ පුදුම ඉරිසායවක්, කේන්තියක්. යකෝ මට නෑනෙ ඔහොම හැකියාවක්. නෙදකින් විතරක්  කාලකන්නි මම....

අට වෙනියා , අපේ කාමරේ හිටිය විශේෂම චරිතෙ. දක්ෂිත. ඌ තමයි කිසිම කෙනෙක් නැතුව තනියම කැම්පස් ඇවිල්ලා හිටියේ. ඒ වගේම අපේ කාමරේ ඉන්න සීයා. ඌ අපිට වඩා අවුරුදු 6ක් වැඩිමල්. පුදුම fun චරිතයක්. සින්නන්ගෙ රැගෙන් හෙම්බත් වෙලා, මල පැනලා කාමරේට එන අපි හිනා වෙන්නේ දෂිතයා නිසා. ඌ හිතලා joke කලේ නෑ. ඌ කියන හැම කතාවකටම හා උගේ කතා විලාසය අපිට සිනහ ගෙනාව. දක්ෂිතයට තිබ්බ ලොකුම අවුල තමයි සිගරට් එකක් නොබී බොක බාන්න බැරි වීම. අපේ කාමරේ හිටපු සිගරට් බොන එකම එකා ඌ. අනික් හත් දෙනාම පාසල් කාලේ සිගරට් අරක්කු කටේ නොතියපු හොඳ බොදු දරුවො. ජමාලයට ඉතින් ඕවා කොහොමත් තහනම්නෙ ආගමෙන්. අපි ඉන්නේ සින්නන්ගේ පාලනයක් යටතේ නිසා දක්ශිතයට සිගරට් එකක් බොන්න නිදහසක් නෑ. තනියම එලියට බහින්න බෑ සින්නොන්ට අහු වෙනවා. කාමරේ සිගරට් බොන්නත් බෑ දොර අරපු ගමන් ගඳ එනවා.ඔය ගඳ අර මාර සේනාවට දැනුනොත් උන් එල්ලයි දක්ෂිතයව අපිත් එක්කම. සිගරට් පෝෂණය ශරීරයට අහිමි උන දක්ශිතයා දවසේ බොග සලාකය බාගන්න බැරුව පුදුම දුකක් වින්දේ. 

හැමදාම උදේ පාන්දර හතරට විතර නැගිටින දක්ශිතයා උගේ තැඹිලි පාට පොඩි ටවල් කෑල්ලෙන් විලි වහගෙන කාමරේ පුරා ඇවිදිනවා.බරක් ආව වගේ දැනුනු ගමන් toilet එකට දුවනවා. තටමලා තටමලා හරිගියේ නැති තැන ආයේ කාමරේට ඇවිල්ලා ඇවිදිනවා.......ආයේ දුවනවා තටමනවා. උගේ මේ කෙලිය නිසා හැමදාම උදේ 4 වෙද්දි අපිටත් ඇහැරෙන්න වෙනවා. අපි ඇහැරුනු බව දැනගෙන ඌ උගේ දුක කියනවා. අපි ඉතින් හිනා වෙවී එලි වෙනකල් ඉන්නවා. රෝහනයා උගේ ප්‍රශ්නෙට තමන්ගේ මහා බුද්ධිය යොදවලා විසඳුම් ඉදිරිපත් කරනවා. ජමාලයා මේ කියන කිසිදෙයක් නොතේරෙන නිසා ඔලුවේ ඉඳන් පොරවගෙන නිදා ගන්න try කරනවා. නලින් සින්නොන්ගෙන් බේරෙන්න අද දවසෙ හදාගන්න පුලුවන් ලෙඩක් ගැන හිතනවා. පලවෙනි සමීරයා උදේ පාන්දරම රූන් රූන් love එක පටන් ගන්න කෙල්ලට call එකක් ගන්නවා. දෙවනි සමීරයි, උදාරයයි , මමයි දක්ෂිතයගේ විහිලු කතා වලට හිනා වෙවී ඉරුණු ටවල් එකේ හිලකින් පේන උගේ නාකි පුකට විහිලු කරමින් ඉන්නවා. උදේ හය කිට්ටු වෙනකොට දක්ෂිතයා ආයේ toilet එකට දුවනවා......අයේ එද්දී ඌ එන්නේ හරි සතුටෙන්.

"මොකද බන් ඔතනට වෙලා භාවනා කරනවද?......වරෙන් යන්න කෙල්ලෙක්ගෙන් නම්බරයක්වත් ඉල්ලගන්න"
කවුද එකෙක් මගේ ඔලුවට ගහන ගමන් කිව්ව. අප්පටසිරි මිලිටරි ඇකඩමියෙ ලොකු හෝල් එකේ මුල්ලකට වෙලා මම පහු ගිය දවස් කීපය ගැන කල්පනා සාගරයක  ඉඳලා තියෙන්නේ. වැස්ස තවමත් මහ හඬින් ඇද හැලෙනවා ඇහෙනවා. 


දෙවනි_කොටසට >>

Thursday, October 5, 2017

විජයාවතරණය 2k17 - කෙටි කතාව





රුවල් නැව ලතාවකට සමුද්‍ර දිය මත උස්පහත් වේ. නැවේ සිදුවන ලාලිත්‍යමය චලිතය නැව් වැසියන්ට ආශ්වාදයක් ගෙන නොම එන බව උන්ගේ විඩාපත් මුහුණු වලින් පෙනේ. මහා ගිනි මද්දහනක අහස්කුස අරක් ගත් සූර්ය දෙවියන් තම චණ්ඩ දින කිරණ නැව් වැසියන් මත පතිත කරනුයේ කිසිඳු අනුකම්පාවකින් තොරවය. ඒ චණ්ඩ කිරණෙන් ඔවුන් මුදා ගැනීමට සමත් කුඩා වළා රොදක්වත් අහස්කුස තුල නොතිබූ බැවින් මුලු ගුවන් තලයම තද නිල් පාටින් බබලන්නේ වෙයි. මේ ගෙවීයනුයේ තමන් මහා සමුද්‍රය මැද ගත කරන සත්වන දිනය බව විජය කුමරුගේ ගණනයට හසු වෙයි. පුරා සත් දිනක් මහා සාගරය මැද කිසිඳු අහරකින් තොරව ජල පානයෙහි පමණක් යෙදෙමින් යන මේ ගමන නිම වන්නේ තම මරණයෙන් විය නොහැක්කේද?
විජය කුමරු තෙමේ තම පිරිස දෙස නෙත් හෙළීය. ඔවුන් සියලුදෙනා රුවල් නැවේ තැනින් තැන වැතිර හැකි පමණින් තම මුහුණු දින කිරණින් ආරක්ෂා කරගැන්මට අලස උත්සහයක යෙදෙන්නේ නිල් අහස් තලය දෙස හෙලා සිටින හිස් බැල්මක් සමගිනි. සත් දිනක් තිස්සේ ජල පානයෙන් පමණක් දිවි ගෙවන උන්ගේ මුහුණු චන්ඩ හිරු එළිය කරන කොට ගෙන කලුම කලුවෙලාය. නිසි නින්දක් නොලැබූ හෙයින් ඇස් පතුලට ගිලී ගොස්ය. දිවා රෑ මුලුල්ලේ ලුණු මිශ්‍ර මුහුදු සුලඟට නිරාවරණය වූ තොල් පැලී ගොස් පැලුම් පාරවල් වල ලුණු බැඳිලාක් මෙන් සුදු පාට වෙලාය. 
තම පුත්‍ර රත්නයත් ඔහුගේ මිතුරන් නඩයත් බමන මතින් කරන්නාවූ නොපනත්කම්, තම රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගනිමින් රට වැසියාට කරන්නාවූ අසාධාරණකම් නිමක් නොවූයෙන් සිංහබාහු රජ තෙමේ මහත් ලෙස කිපී සිටියේය.එම කෝපාග්නියෙහි කෙලවර වූයේ විජය ඇතුලු සත්සියයක් පිරිස ලාට රටින් පිටුවහල් කිරීමය. ඔවුන් සියල්ලගේ හිස් මුඩු කෙරුණු අතර, යටි කය ඇඳුම හැරෙන්නට අන් සියලු ඇඳුම් ඉවත් කෙරින. ඉන් ඉක්බිති විශාල රුවල් නැවකට නැග්ගවූ එම පිරිස මහ සමුද්‍රය මැද අතරමං කෙරුනේ බීමට යන්තමින් සෑහෙන ජල බූලි ගොන්නක් පමනක් ඔවුන් සන්තක කරමිනි.....
තම පිරිස අතර යම් උද්දාමයක හඬක් යාන්තමට නැගී එන හඬ ඇසුනෙන්, විජය තම දැහෙනෙන් මිදී නැව් තට්ටුව දෙසට අපහසුවෙන් පිය මනින්නට වූයේ පුපුරන්නට ආසන්න වූ තම කෙස් රහිත හිස අත ගාන ගමන්ය. මහා සමුද්‍රයේ එක් අන්තයකින් දූපතක සලකුණක් මෝදු වෙමින් ඇත්තේය. එය දුටු විජයගේ සිතත් ගතත් කිසිදාක නොවුණු තරම් ප්‍රීතියකිනුත් සහනයකිනුත් වෙලුනේය. 

ඔව් .... ඔව් එය දූපතක්ම තමයි.
තමන් පාවී යන්නේ එදෙසටය.

පුරා දින හතක් මහා සමුද්‍රය මැද මංමුලාව ගෙවූ සමය අවසන් කරමින් ඔවුන් නමක් නොදන්නා දිවයිනට පය ගැසූහ. සැබවින්ම පය ගැසුවා නොව දිවයින තම මුලු සර්වාංගයෙන්ම වැලදගත්තෝය. බොහෙ දෙනෙක්ට ඇවිදීමට තරම් ශක්තියක් නොතිබුණෙන් ඔවුන් වැල්ල දිගේ බඩ ගෑවයැයි කිව හැක. සියලු දෙනාගේ මුහුණු වල පැතිර තිබුනේ වචනයෙන් විස්තර කල නොහැකි ප්‍රීති සාගරයකි. ඒ ප්‍රීති සහගත හැඟීම මැද ඔවුන් මවිත කල අපූර්වතම දෙයක් වූයේ අලුත සොයගත් දිවයිනෙහි මුහුදු වැලි වල අරුම පුදුම වර්ණ්යයි. එ වැලි තඹ පාටින් බැබලුනේ වී, පිරිස අතර යම් නොසන්සුන් කුතුහලයක් පැතිර ගියේය. 

"තම්බපන්ණි.......තම්බපන්ණි......
 තඹ වර්ණ ගත් මුහුදු වැලි තම අත්ලවල් අතර සිර කරගනිමින් ඔවුන් මිමිනූහ

"ඔව්.....තම්බපන්ණි" තමාටම මුමුණාගත් විජය තම දෑසට හසුවූ සත්වයා දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේය. ඒ බැල්ලකි. සුදුත් කලුත් බැල්ලකි. බැල්ලක් යනු මිනිස් වාසයක ස්ථිර සඥාවක් බව විජයට වහා කල්පනා වූයෙන්, ඔහු වහා බැල්ල පසු පස යන්නට වූයේ තම පිරිසෙන් මිදෙමිනි.



***************************


බෝට්ටුවෙහි හුන් පොඩි එකෙක් මහ හඬින් මොර දෙන්නට වූයෙන් විජයන්ගේ නින්ද කැඩිනි. බෝට්ටුවේ උන් මිනිසුන්ගේ හිස් මතට කෙලින්ම කඩන් පහත් වන හිරු එළිය පොඩි එකාට දරා ගැනීමට හැකි වන්නේ කෙසේද තමන්ටවත් එය දරාගන්න බැරි කොට, විජයන් සිතුවේය. මෝටර් බෝට්ටුවේ වූ ඉන්ධන අවසන් වූයේ මීට පැය කිහිපයකට පෙරය. හරිනම් තමන් මේ වෙද්දී දකුණු ඉන්දියාව කිට්ටුවට පැමිණි තිබිය යුතුය. නමුත් දුරකින්වත් ගොඩ බිමක සලකුණක් නොපෙනේ. තමන්ට මග වැරදුනාවත්ද ?....තමන් මිරිදිය මසුන් බානා ධීවරයෙක් පමණි. මහ මුහුද මැද යාත්‍රා කරන නැව් කප්පිතෙකු තියා කරදිය ධීවරයෙකු තරම්වත් මුහුද ගැන දැනුමක් නැති තමන් ,  මරණයෙන් යාන්තම් දිවි ගලවාගත් , තුවාල ලැබූ මිනිසුන් හා ගැහැණුන් පිරිසක් රැගත් සරණාගත අබලන් වූ බෝට්ටුවක ප්‍රධානියා වීම අපූරු සිද්ධියකි. බලන බලන අත ඇත්තේ විසල් මහ සාගරයම පමණි. දකුණු කකුලේ වූ කැපුම් තුවාලයත් නලලේ වූ තඩිස්සියත් විටින් විට රිදුම් දේ, ....ඔව් බලන බලන අත මහ මුහුදම පමණි.....තමන්ට මග වැරදී ඇත. ඒ පසු තැවිල්ලත් තුවාලයෙහි වේදනාවත් නිසා ඔහුගේ දෑස් මදින් මද පියවේ.
එක් වරම මහ හඬක් නැගුනෙන් විජයන් නැවත අවදි විය. මෙවර හඬ පොඩි එකාගෙන් නොව නොදන්නා භාෂාවකින් කතා කරනා පිරිමින් සමූහයකගේය. කොයි මොහොතේ බෝට්ටුවට ගොඩවූයේදැයි සිතා ගත නොහැකි ඔවුන් සියලු දෙනා තද නිල් පැහැති නිල ඇඳුමකින් සැරසී සිටී. ඉන් බොහෝ දෙනෙක් අත ගිනි අවි විය.ඔවුන්ගේ ප්‍රධානියායැයි සැක කල හැකි තැනැත්තා විසින් වේගවත් ප්‍රශ්න වැලක්  තමන්  මත පටවයි. නිසැක වශයෙන්ම තමන් ඉන්දියාව ආසන්නයට පැමිණ ඇති විය යුතුය. ඉන්දීය නාවික හමුදාවට තමන් මුණ ගැසී ඇත. කිනම් සහනයක්ද ?.....නමුත් ඔවුන් කතා කරන භාෂාව තමන්ට හුරු නැත්තේ ඇයි ?
නාවික පිරිස විසින් බෝට්ටුව ඔවුන්ගේ භාරයට ගන්නා ලද අතර විජයන් ඇතුලු තිහකට ආසන්න පිරිස නාවික හමුදා යාත්‍රාවට නංගවා ගන්නා ලදී. ඉමහත් කුසගින්නෙන් සිටි ඔවුන්ට ක්ෂණික අහාර වර්ගයක් කෑමට ලැබුනේ නාවික සෙබලුන්ගේ කරුණාව නිසාය. එය දිව්‍යමය රසකින් යුක්තයැයි විජයන්ට සිතුනේ දින කිහිපයක්ම කුසට නිසි අහරක් නොලැබුනු නිසාවෙනි. ස්වල්ප වේලාවක් යද්දී ඔවුන් ගොඩබිමකට ලඟා වූහ. සෙබලුන්ගේ උපදෙස් පරිදි ඔවුන් දැඩි සෝදිසියකට ලක්වූ අතර ඉන්පසු ගැහැණු පිරිමි වෙන් වෙන් වශයෙන් කඳවුරක් තුලට යවන්නට විය. කඳවුරේ මහා තාප්පය මත නොදන්නා භාෂාවකිනුත්, ඉංග්‍රීසි භාෂාවෙනුත් ලියා තිබුනේ කඳවුරේ නම විය යුතුය.

Sri Lanka Navy .......යාන්තමින් ඉංග්‍රීසි කියවීමට දැන සිටි විජයන් අකුරෙන් අකුර ගැට ගසා එය කියවූයේය. තමන් පැමිණ ඇත්තේ ඉන්දියාවට නොවන බව ඔහු අසල සිටි මොහොමඩ්ට කොඳුලේය


****************************

විජය කුමරු හති ලමින් කුවණ්නාගේ සිරුර මතින් මිදී වැලි පොළව මතට පතිත විය. මීට මද වේලාවකට පෙර හැඳ සිටි සලු පිලි අහසට විසි කරමින්, නිමක් නැති චුම්බනයන්ගෙන් සියොලඟ තෙත් කරගනිමින් , උනුන් විකා ගනිමින් වැලි පොළව හැඩි කල ඔවුන්ගේ කාම සම්භෝගය නිම වුනේ දැන්ය. කුවණ්නාගේ මන බඳින දෑස ඔහුට සෑම විටම ඉඟි කරමින් ආරාධනා කලාය. උඩු කය නිර්වස්ත්‍රව ගත කල මේ යක්ෂ ගෝත්‍රික රැජින මුන ගැසුනු පළමුදා පටන් විජයෙගේ  දෑස් රැඳී තිබුනේ ඇගේ පුන් පියවුරු මතමය. ඒ පියවුරු අතරේ තම මුහුණ සඟවන්නට ලැබෙන අවථාවක් කෙරෙහි ඔහු සිහින දුටුයේය. ඇයද ඔහුගේ තුරුලේ මුලු ගැන්වීමට නොතිත් ආශාවෙන් සිටි බවට සාක්ෂියකි ඔවුන්ගේ මේ අති උණුසුම් පෙම් කෙළිය. එකිනෙකාගෙන් ගලූ දහදිය උනුන්ගේ ශරීර එකිනෙක් අලවා තබන තරම් බලවත්විය. ගතම සුවපත් කල සුරාන්තයකට පසු , ආශාවෙන් මත්ව දරදඬුව ගිය රහසඟයන් කෙමෙන් කෙමෙන් මලානිකව යන පශ්චාත් රති කෙලි සමයේ ,අසල තිබූ ගලක් මතට හිස බර දුන් විජය කුමරුගේ දෑස් පියව යන්නේ සැන්දෑ මද පවන ගෙනෙනා සනීපදායක සිසිලසත් සමගය.ඒ සිසිල් මද පවන මැදින් පොළව දෙදරා යන තරම් ගෙරවුම් හඬක් නගමින් ඔහු වෙත පිනූයේ මහා සිංහ රාජයෙකි. උගේ තියුණු උල් නිය පහරින් බේරීමට විජයට ලේසි පහසු නොවේ. ඌ එල්ල කල වේගවත් පා පහරක් කුමරුවන්ගේ ඇස අසලින්ම ගමන් කලේ උල් වූ නියෙහි වූ දීප්තියෙන් කුමරුන්ගේ ඇස් මොහොතකට අන්ධ කරමිනි. ඒ අඳ බාවයෙන් අන්ද-මන්ද වූ කුමරුන් පය පැකිල බිම වැටුනෙන් සිංහයා තම විසල් මුඛය හයා ගෙන කුමරුවා වෙත වේගවත් පිම්මක් පිනුයේ, කුමරුවාගේ අත් පා සතර උගේ පා සතරට යටත් කරගනිමිනි. උගේ තියුණු විශාල දත් වලින් කුමරුන්ගේ ගෙල විකා හිස කඳින් වෙන් කිරීමට ගත වනු ඇත්තේ තවත් තත්පර කිහිපයක් පමණි. එවිටම කොහෙන්දෝ ආ විදුලි වේගවත් අසිපත් ප්‍රහාරයකින් සිංහයාගේ විසල් හිස දෙබෑ වී ගියේය.

"මොහොතකුදු නොනැවතී දැන්ම වහා පලා යව......"

අසිපතෙහි තැවරුණු සිංහ ලේ පිසදමමින් සිංහ සීවලී බිසව පැවසීය. සිංහයා මරා දමා තම ප්‍රාණය ගලවාදී ඇත්තේ තම දයාබර මෑණියන් බව කුමරුට වැටහිණි. ඇය කවදත් තමන්ට මහත් වූ දාරක ප්‍රේමයෙන් සැලකුවාය.

"යක්ෂ ගෝත්‍රිකයන් තොපව ඝාතනය කිරීමට පිඹුරුපත් අඳින්නේය. ඉක්මන් නොවුනහොත් තොපේ හිස කඳින් වෙන් කරනු ඇත්තේ මේ සිංහයා නොව මෙබිම ස්වදේශිකයන් වූ යක්ෂයන් ය."

සීවලී බිසව විජය කුමරුට අසිපත බාර දුන්නාය. මොහොතකට පෙර සිංහ ලෙයින් නැහැවී තිබූ අසිපත දැන් නැවත දිස්නය දෙන්නට පටන් ගෙන ඇත්තේ එහි මුවහතේ තරම කියා පාමිනි. විජය ආඩම්බරයෙන් අසිපත අහසට එසවීය. එවිටම ඈතින් නැගෙන මහා රණ හඬක් ඔහුගේ සවනත වැකේ. ඒ යක්ෂයන්ගේ රුදුරු රණ හඬයි. පමා වුවහොත් තමනුත් තම පිරිසත් මේ ආගන්තුක බිමෙහි තඹවන් වැලිතලාවේ වැලලී යනු ඇත. ඔහු අසිපත ගෙන වේගයෙන් තම පිරිස සිටි දෙසට යාමට හැරුනේය. හැරෙනවාත් සමගම තියුණු කිනිසි පහරක් ඔහුගේ උදරය පලා කිඳා බැස්සේ ඔහුගේ රුධිරය පීප්ප්යක් මෙන් වගුරවමිනි. .......
විජය මොර දෙමින් තම සිහිනයෙන් අවදිවිය.


****************************


කාලයකට පසු සිත නිදහසේ ඇඳක් මත නිදා ගන්නට ලැබීම නිසාදෝ විජයන්ට සුව නින්දක පහස ලැබිණි. තම රැඳවුම් නිවස්නය පිටතින් නැගෙන යම් ඝෝෂාවක හඬක් සවනත වැකුනෙන් ඔහු ඇඟ මැලි කඩමින් අවදි විය. ඝෝෂාව නැගෙන්නේ තාප්පයට එපිටින්ය. ඔහු තමන් රැඳී සිටි තෙවන මහලේ ජනේලයෙන් පාර දෙස බැලීය. රැඳවුම් නිවස්නය වටා මහා ජනකායකි. ඔවුන් යම් පුවරු වගයක් සහ පාට පාට කොඩි වගයක් උස්සාගෙන මහ හඬින් විරෝධය පායි. ඒ අතර ස්වාමීන්වහන්සේලා විශාල ප්‍රමාණයක් සිටින බවද ඔහුට පෙනින. 

"මුන් ත්‍රස්ථවාදියෝ මහත්තයෝ.....මුන් මියන්මාරෙන් පැන්නුවට පස්සේ හොරෙන් මෙහේ ලැගලා මේ රට අල්ලගන්න හදන්නේ...."

හාමුදුරුවන් වහන්සේ නමක් වේගවත් ස්වරයෙන් පොලිස් නිලධාරියෙක්ට පවසන දෑ විජයන්ට වැටහුනේ නැත්තේ ඔහු දන්නා සිංහල භාෂාවක් නැති නිසාය. පොලිස් නිලධාරියා හාමුදුරුවන් අස්වස්සන්නට මහත් වෙහෙසක් ගන්නා මුත් වටේ සිටිනා අනෙකුත් හාමුදුරුවන් වහන්සේලාත් අව් කන්නාඩි දමා රැවුල් වැවූ තරුණයන් රොත්තකුත් ඔහුට පරුෂ වචනයෙන් බැන වදී. විටෙක හූ තියයි. ඔවුන්ගේ තර්ජනාත්මක හා අපහාසාත්මක වදන් ප්‍රහාර ඉදිරියේ පොලීසිය අසරණව ඇති අයුරකි. වේගයෙන් පියාඹා ආ ගලක් විජයන් රැඳී සිටි වීදුරු ජනේලය කුඩු කරමින් ගේ තුලට වැටිනි. විසිර ගිය වීදුරු කටුවකින් ඔහුගේ නලල් තලය සීරීනි. ඉන් පසු ගල් වරුසාවක් වීදුරු කුඩු කරමින් ඉගිල එන්නට වූයෙන් විජයන් ජනේලය ලඟින් මෑත් වූයේය. පිටත සිටි එකා දෙන්නා තාප්පය මතින් ඇතුලට පැන නිවසට පිවිසෙන්නට තැත් කරයි.

විජයන්ට තම මවු බිමේදී මුහුණ පෑ අබග්ගයන් සිහියට නැගිනි. පරාණ බය නැවත ඔහුගේ සිතට පිවිසිනි. ඔහු වහා දිවගොස් ගෙය පිළිකන්නේ වැසිකිලිය පිටුපස සැඟ විය. නිවස ඉදිරිපස ඝෝෂාව එන්නම එන්නම වැඩිවේ.

"හැංගිලා ඉඳලා වැඩක් නෑ. මේ කඩුව අරන් මරාගෙන පලයන් හැමෝවම.....ඊට පස්සේ මේ රට අපේ...."  
 තියුණු මුවහතින් දිස්නය දෙන කඩුවක් ඔහුට දිගු කරගත් මිනිසෙක් ඔහුට පවසයි. ඔහු කොහෙන් පහත් වුනාදැයි විජයන්ට සිතා ගත නොහැකිය. ඔහුගේ හිස බූගාලාය. ඇඳුම් පුරාණ රජ සමයේ ඇඳුමකට සමානය. ඔහු අත ඇති මුවහත් කඩුව පුරාණ රජ සමයකට අයත් එකක් විය යුතුය.

"බය නැතුව කඩුව ගනින් මිනිහෝ... කුවේණි ඉන්නෙත් අපේ පැත්තේ....."    හිස බූ ගෑ මිනිසා නැවතත් පැවසුවේය.

"මම ආවේ රටවල් අල්ලන්න නෙවී. මගේ පණබේරගන්න. මගේ රටත් මට ඕන නැති කොට මට මොකටද වෙන රටවල්"
විජයන් පැවසීය.

"උඹ නම් මහ මෝඩයෙක් ".....................කියූ තට්ට මිනිසා වත්ත පිටු පස තාප්පයෙන් පැන පලාගියේය. විජයන් තක්බීරි වී එදෙස බලා සිටියේය.

"තමුසේ මෙතන හැංගිලා ඉඳලා මැරුම් කන්නද හදන්නේ"........විජයන්ව කරෙන් අල්ලා සිටුවමින් පොලිස් නිලධාරියෙක් ඔහුට බැන්නේය.

කිසිවක් නොතේරුනෙන් විජයන් තට්ට මිනිසා පැන ගිය තාප්පය දෙසට අත දිගු කලේය.

"ඔව් ඔව් .....මේ යක්කු ඔය පැත්තෙන් එන්නත් පුලුවන්. ඉක්මනට නගිනව පොලිස් ජීප් එකට.".......................පොලිස් නිලධාරියා ඔහුව ඇදගෙන යන ගමන් පැවසීය.

පොලිස් වාහන වලට නැගුණු විජයන් හා ඔහුගේ පිරිස මහා හූ හඬ සහ විරෝධතා මධ්‍යයේ තවත් කොහේටදෝ ගෙන යන්නට විය. සිංහ කොඩි වල සිටි සිංහයා තමන්ට පහරදීමට කොයිවේලේ පනිනු ඇත්දැයි විජයන් බිරාන්ත වී බලා සිටියේය. අනික ඌ නිකම්ම නිකම් සිංහයෙක් නොවේ කඩුව අතින් ගත් සිංහයෙකි. දීර්ඝවූ ඒ ගමන අතරතුර තම පිරිස අතරවූ ගැබිණි මවක් , නිවුන් දරු දෙපලක් මෙලොවට බිහි කළාය.එකෙක් කොලු පටියෙකි අනිකා කෙළි පැටික්කියෙකි. රතට රතේ බැබලෙන මොලකැටි ශරීර කූඩු අලුත් ලෝකයට හුරු කර ගත නොහී උන් බෑඟිරි ගසා හඬයි. විජයන් ආදරයෙන් උන් දෙදෙනා දෙස බලා සිටියේය.  

"මුන්ට ජීවහත්ත යි , දිසාලා යි කියාලා නම් තියමු"   .............විජයන් කොඳුලේය.