Saturday, August 11, 2018

රස්තියාදුවක් ????





අපේ රටේ කාලෙන් කාලෙට මුහුණු පොත උණුසුම් කරන සංවාද හෝ ප්‍රවෘත්ති පැතිරෙනවා. ගොඩක් වෙලාවට මේවා එතරම් වැඩකට නැති අපහාස උපහාස වලින් හෝ බොරු ප්‍රචාර  වලින් සමන්විත ඕපදූප. ඒ අතර ප්‍රමුඛ වෙන්නේ දේශපාලකයන්ගේ වාචාල ප්‍රකාශ, කාන්තාවන්ට කරන අපහාස හෝ ජාතිවාදී , ආගම්වාදී සිදුවීම්. මේ ඕපයන් අතර පොතක් පතක් ගැන කතාවීමක් නම් කවදාවත් සිදුවෙන දෙයක් නෙවී. ඒත් මේ දවස් වල කවදාවත් නැති විදිහට මුහුණු පොතේ යම් උණුසුමක් ඇති කරලා තියෙන්නේ පොතක්. පොතක්ම කිව්වට මේ ආන්දෝලනේ ඇති කරන්නේ පොතේ නම. කවුරුත් මේ වෙද්දි දන්න පරිදි K.K.ශ්‍රීනාත් චතුරංග ගේ "බුදුන්ගේ රස්තියාදුව" තමයි ඒ පොත.. පොත ගැන කතා කරන්න විදිහක් නෑ තවම පොත හම්බුනේ නැති නිසා. ඇත්තටම මේ වෙද්දී වාදයට පැටලිලා ඉන්න බොහෝ දෙනා පොත කියවපු අය නෙවී. ඒ නිසා මේ සටහන පොත ගැන නෙවී පොතේ නම ගැන.

ආරංචි විදිහට මුල් සතිය ගෙවිලා යද්දිම  පොතේ පළමු මුද්‍රණය විකිණී අවසන්. ඇත්තටම ඒ අළෙවි වුනේ පොත නෙවී නම කියලා තමයි නයියාට හිතෙන්නේ. පොතේ ප්‍රචාරණ කටයුතු සඳහා ලොකුම මෙහෙයක් කලේ බුදුන්ගේ රස්තියාදුව කියන නමට එරෙහි වුනු විරුද්ධවාදීන්. පොත එළිදකවන දවසෙ ශ්‍රීනාත්ගේ ගේ පොත් තොගේම පොලීසියට පටවන් ගිහින්  ඇතිවුනු සිද්ධි දාමයේ ඉඳලා මේ පොත බුද්ධාගමට අපහාසයක් , ඒක තහනම් කරන්න , ගිණි තියන්න කියලා විරුද්ධව කියවුණු හැම වචනය්ක්ම, ලියවුණු හැම post එකක්ම පොතේ අළෙවිය සඳහා තදින්ම උපකාර වුනා. 

"බුදුන්"...ඒ කියනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් අවස්ථාවට එනම් "බුද්ධ" කියන අවස්ථාවට පැමිණි තැනැත්තා. "රස්තියාදුව"....නිසි අරමුණක් නොදැන එහේ මෙහේ යන ගමන. මේ දෙක එකට ගැටෙද්දි අපේ හිතේ ජනිත වෙන හැඟීම නැතිනම් රූපය පිළිබඳ අර්බුධය නිසා තමයි මේ නම ගැන මෙතරම් හාහෝවක් ඇතිවෙන්නේ. වචන වල ශබ්ධකෝෂ අර්ථයන් කොහොම උනත් මේ වචන එදිනෙදා භාවිතවේදී මවන්නේ වෙනම අර්ථයන් හ රූපයන්. බුදුන් කිව්වම අපේ හිතේ මැවෙන රූපේ ඉන්නේ බොහෝම නිවුනු පෙනුමක් තියෙන, රත් දෙතොල් ඇති, කරුණාවෙන් බර ඇස් ඇති , සිවුරක් දරාගත් ලස්සන රූපකායක්. ඒ වගේම දෙතිස් මහා පුරිස් ලකුණු ඇති, නව අරහාදී ගුණ ඇති චරිතයක්. නිකම් චරිතයක් නෙවී වැඳුම් පිඳුම් වල උපරිම තලය උසුලන චරිතයක්. රස්තියාදුකාරයා කියලා හිතේ මැවෙන්නේ ගංජා ගහන , කුඩු බොන , පාරේ යන කෙල්ලන්ට ඉන්න දෙන්නේ නැති අපිරිසිඳු චරිතයක්. ඉතින් මේ රූප දෙක හේත්තු කරන්න ගියාම ඇති වන විකාරරූපී ගතිය නිසා සමහර දෙනෙක්ට කේන්ති යනවා, ඇස් රතු වෙනවා. 

එක අතකින් ඒකට වරදක් කියන්න බෑ. ඔවුන් බුදුන් කියලා දකින්නේ දකින්නේ ඔවුන්ගේ අසීමිත වැඳුම් පිදුම් වලට ලක් වෙන, ඉහළින්ම ගරු කරන පුද්ගල චරිතය. මේ ජීවිත කාලයේදී නැති වුනත් සසර කවදා හෝ තමන්ට මුණ ගැසී තමන් සසර කතරින් එතෙර කරනු ඇතැයි, කියලා පොඩිකාලේ පටන් තමන්ගේ ඔලුවට පත්තියම් වුනු උත්තුංග චරිතය. එතුමන්ගේ පෙනුම යනු පන්සල් වල, පාඩම් පොත් වල දකින්න ලැබෙන අඹපු, ඇඳපු රූපය. ඒ චරිතය ගම් නියම් ගම් සිසාරා යෙදුනු ගමන උතුම්වූ නිරවාණය අවබෝධ කරගැනීමේ චාරිකාව. රස්තියාදුව කියන්නේ පොඩි කාලේ ඉඳන්ම අපේ දෙමව්පියන් අපිව වලක්වන ක්‍රියාව. රස්තියාදුවේ යාම යනු කුඩ්ඩෙක්, මැරයෙක්, රස්සාවක් නැතිව කාණු පල්ලේ වැටෙන , කාලකන්නියෙක් වී ජීවිතය අවසන් කරගැනීමේ ගමන. ඔය තමයි අප වටා ඇති මහා කතිකාවන් විසින් ගමන් දෙකක් චිත්‍රණය කර ඇති විදිහ. 

නමුත් මේ දෙවල් දිහා ස්ථාපිත මතයන්ගෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා බලද්දි වෙන වෙන දේවල් පේන්න ගන්නවා. සමාජයේ බහුතරයකට බුදුන් කියන්නේ වැඳුම් පිඳුම් කරමින් සුවඳ දුම් අල්ලමින් පූජාසනය මත තැබිය යුතු අස්පර්ශ වස්තුවක් වෙද්දි, යම් පිරිසක් බුදුන් වදාල දර්ශනයත් එක්ක ගනුදෙනු කරන්න ගන්නවා. අපරදිග බිහි වුනු බොහොමයක් දර්ශනවාද ජීවිතයේ අරමුණ, පැවැත්ම වගේ දේවල් කතා කරන්න බොහෝ කලකට කලින් අපේ පැවැත්ම ගැන මනස මූලික කරගත් දර්ශනයක් ගොඩ නගන්නේ ගෞතම බුදුන්. ඉතින් දර්ශනය ගැන උනන්දු වෙන අයට බුදුන් වදාල දර්ශනය කියන්නේ හොඳ මෙවලමක්. පර්යේෂණාත්මක මෙවලක්. ඔවුන් කරන්නේ බුදුන්ගේ රූපයට ඇලිලා වැඳුම් පිදුම් කරනු වෙනුවට බුදුන්ගේ දර්ශනය මහ පොළවේ හම්බෙන අනික් දේවල් එක්ක ඝට්ටනය කරන එක. මේ ආකරයෙන් ඝට්ටනය කරන එක විදිහක් තමයි සාහිත්‍යය. 

ස්ථාපිත මතයෙන් එලියට බහින්න උත්සහ කරන සාහිත්‍යයක් ඇතුලේ රස්තියාදුව කියන්නේ හරි අපූරු චාරිකාවක් වෙන්න පුලුවන්. ලෝකයේ ස්ථාපිත ලෞකික අරමුණු වලින් මිදිලා වෙනත් රහක්, අත්දැකීමක් හොයාගෙන යන හැම ගමනක්ම අර්ත දැක්වෙන්නේ රස්තියාදුවක් විදිහට තමයි. කොටින්ම දැන් කාලේ උනත් ළමයෙක්, තරුණයෙක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් දීල තියන සිලබස් එක ඉගෙන ගන්න එක,  සමාජය විසින් ඉහළයි කියලා සම්මත කරගත් රස්සාවක් හොයාගන්න එක පැත්තකින් දාලා  කලාව, ස්ව්භාදහම , ජීවිතය විඳින්න කියලා ගමනක් ඇරඹුවොත් ඒක හැඳින්වෙන්නෙත් රස්තියාදුවක් විදිහට. ස්ථාපිත ක්‍රමය ප්‍රතික්ෂේප කරන ඕනෑම ගමනක් රස්තියාදුවක් වීමට නියමිතයි. මොකද ඒ ගමන් වල අවසානය කුමක් වේදැයි කියන එක පවතින රාමු ඇතුලේ අවිනිශ්චිත හෝ අර්ථ නොදක්වන ලද ඒවා නිසා. ඒ ඔස්සේ බැලුවොත් රජ මාළිගෙන් එළියට බැහැලා , රජ කමට පයින් ගහලා ඒ වෙද්දි සොයාගෙන නොතිබුණු විමුක්තියක් හොයාගෙන තැන තැන ඇවිදපු සිද්ධාර්ථ ගැහුවේ රස්තියාදුවක්ම තමයි. ආලාරකාලාම ලා, උද්ධකරාමපුත්ත ලා ලඟ ගෙවුනු ජීවිතය තේරුමක් නැති බව දැනගෙන අන්තිමට තමන්ම සොයාගතයුතුයි කියන අධිටනින් එක එක තැන ගෙවපු ජීවිතය කියන්නේ පිටස්තර ලෝකයාගේ මිම්මට අනුව අනුව අනිවාර්ය රස්තියාදුවක් වෙන්න ඇති. පස්සේ නිවන අවබෝධකරන්, ඒක පොලවේ ස්ථාපිත කරාට පස්සේ, නැතිනම් ලෝකයාට තහවුරු කරාට පස්සේ තමයි ඒ ගමන රස්තියාදු අර්ථකතනයෙන් මිදෙන්නේ.  ඊට පස්සෙන් පහු ඒ ගමන හැඳින්වෙන්නේ අමා මහ නිවන සොයා යන උතුම්වූ ගමනක් හැටියට.

ඒක, මේ වචන දෙක දිහා බලන්න පුලුවන් තවත් විදිහක්. ඉතින් ඔය විදිහට වචන දෙකකට විවිධ අර්ථ කතන හැදෙන්න පුලුවන්. ශ්‍රීනාත් ඔය වචන දෙක ගලපන්න ඇත්තේ දෙවනි අර්තෙන් කියලා තමයි මට හිතෙන්නේ. ශ්‍රීනාත් මීට කලින් පැවැත්ම ගැන ලියලා තිබෙන බොහෝ ලියවිලි කියවපු අය දන්නවා ඔහු ජීවිතයේ යම් ගැඹුරක් අල්ලන්න උත්සහ ගන්නෙක් බව. ඒ නිසා මේක අපහාස කිරීමේ අර්ථයෙන් යෙදුනක් වෙන්නේ නැහැ. නමුත් ශ්‍රීනත් මේ නම දාද්දී පැහැදිලිවම දැන ඉන්නට ඇති මේක යම් පටලැවිල්ලකට මුල පුරන බව. ඒ පටලැවිල්ලම පොත හිට් කරන්න මග පාදන බව. ඒ නිසා යම් marketing ට්‍රික් එකක පාට මේකේ තැවරිලා තියනවා. කොහොම උනත් සාහිත්‍යය කියන්නේ ඇසුරු කල යුතු , පුරුදු කල යුතු අපූරු අවකාශයක්. ඒ අවකාශයේ සැරිසරද්දි අපිට ජීවිතේටම හිතන්න , අහන්න නොලැබුණු මානයන් මුණ ගැහෙනවා. සමහර ඒවා අපිව සනසනවා, සමහර ඒවා අපිව පුදුම කරවන්වා, තවත් සමහර ඒවා අපිව කේන්ති ගස්සනවා. වැදගත්ම දේ වෙන්නේ කලාව කියන්නේ අධිපති මතවාද හා ක්‍රමයන් ඇතුලටම වෙලා සෙල්ලම් කරන්න බැඳිලා ඉන්න ක්‍රියාවලියක් නෙවී. ඒ ක්‍රියාවලිය අපි බැඳිලා ඉන්න සීමාවන්, කොටුපවුරු අතික්‍රමණය කරමින් ගලායන  ක්‍රියාවලියක්.   සැබෑලෝකයට වඩා කලාවෙන් අපිට මවන ලෝකය සුන්දර  එකක් වෙන්නේ ඒ නිසා. ඉතින්  ඒ සුන්දරත්වය පිටකවර වල එල්ලිලා වාද කරලා ලබාගන්න බෑ. ඒ නිසා පිටු ඇතුලේ කරක් ගහලා මේ වාදය ඉදිරියට කරගෙන යමු. 



1 comment: