Tuesday, August 29, 2017

මගේ මූණත් TV එකේ පෙනුනද සෑර් ?








සුනිල් පෙරේරාගේ "නෝනෙ මගෙ සුදු නෝනේ" තාලයට ගායන කර මහත් පල ලබාගන්න

නෝනෙ මගෙ සුදු නෝනේ- අලි වැඩේ මෙමට උනේ....//
මීටිම දිගට ඇදුනා ඒකයි මම පමා උනේ

අන්න, ඔබෙ පරණ පොත - මම එය කියවා ඇත.....//
තමාගේ බිරිඳට ඔය බොරු කියනා එකයි කැත

ඔයාට මතක  නැද්ද - මගේ නෑ කිසි වැරැද්ද //
අද මම යනවා කියපු - මීටිම ගැන මතක නැද්ද

මීටිං කතා කියා අප රවටන්න එපා...//
සුමනාගේ ගෙට රිංගලා ආපහු මෙහි එන්න එපා 


සුමනා මොකට කර මතක්
සභාවේ මංත්‍රී කෙනෙක් මං
පක්ෂය ගොඩදාන්න
මාධ්‍ය හමු තියන්න
ලොක්කා සමග ගියා මං

අමතක කොහේ වෙන්නද 
ගමටම කිව්වනෙ මම 
ඇසිලින්, තඩි කමලා
ජොසපින්, කොට සිරියා
හැමෝම TV එක ලඟ

මීඩියා කාරයෝ ගොඩයි
මේසේ මයික් මහ ගොඩයි
ලොක්කා මැද හිටියා
වටේට අපි හිටියා
හැමෝවම පෙනුනා නේද

ඔවු ඔවු හොඳටම පෙනුනා
ලොක්ක මැද ඉඳගෙන උන්නා
වටේට උන්නු එවුන්
පස්සේ හිටපු එවුන්
පෙනුනේ නෑනෙ හරියට

තට්ට සෝමයයි
ඇල ලඟ කිඹුල් ධර්මයයි
නාකි රත්නයයි
බඩ ලොකු මහතුන් අයියයි
මැද හිටි ලොක්කයි
වටේට ලේකම් රොත්තයි
කොට විමලෙටයි මටයි
හම්බුනෙ අන්තිම පුටුවයි

ඔයා කියන්නේ
අන්තිම පුටුවද දුන්නේ
ඔයාල එක්කන් යන්නේ
මුල් පුටු දෙනවා කියලනේ
ඔයා කියන්නේ
අන්තිම පුටුවද දුන්නේ
ඔයාල එක්කන් යන්නේ
මුල් පුටු දෙනවා කියලනේ


අපගේ ලොක්කා
ඔය ටික මුලදිම කිව්වා
පොඩි කැමරාවෙන් 
හැමෝම නොපෙනේ කියලා
අවුරුදු විසිදෙකෙ කොල්ලා
ඌ මහ වල් පන්ඩිතයා
හැමෝම ගන්න බෑ කියා
ඌ ගත් කටටම කිව්වා

ගෑනි බලනවා
ගෙදර ලමයි බලනවා
ඇසිලිනුත් බලනවා
ඇගේ ලේලි බලනවා
තමුසේ නෑ TV එකේ
අපි පච වෙනවා
ආපු එවුන් පුකෙන්
හිනා තල තල යනවා....



Saturday, August 26, 2017

මුහුණු සයකි, අත් දහයකි (කතාවක්)




දහවල ගිනි ගහන මද්දහන කරනකොටගෙන යවට රත්වූ කලෙක මෙන් ගිනියම් වූ තාර පාර කෙමෙන් කෙමෙන් සිසිල් වන්නට පටන් ගෙන ඇත. කාර්යාලීය වැඩකිස නිමාවී නිවෙස් බලා ඇදෙන මහා ජනගඟ රැගත් වාහන ගොන්න නිසාදෝ තවමත් සිසිල් බවේ නියම සුවය තාර පාරට අහිමිව ඇත. එනිසා සිසිල් වන ගමන්ම එයින් රත්වූ දුම් පිටවෙන්නේ විටින් විටේ හමනා සැඳෑ සුලඟටත් මද තාප ශක්තියක් එක් කරමිනි. ඒ තාප ශක්තියත් වාහන දුමත් මුසුවූ සැන්දෑ මද නල මග දෙපස වූ ජනයාගේ මුහුන සිඹිමින් නොනැවතී ගමන් කරයි. විටෙක කිරිකැටි සිනාකැන් විහිදෙන බිළිඳෙක්ද, විටෙක මාතෲත්වය උතුරා යන මවක්ද, විටෙක වත්සුනු තැවරූ සුදෝ සුදු සරාගී මුහුණක්ද, විටෙක සෙම් සොටු බේරෙන ලෙඩෙකුගේ මුහුනක්ද තවත් වරෙක රැලි වැටී මහලුව ගිය කට්ට කලු මුහුණක්ද චුම්බනය කරමින් ගමන් ගන්නා ඒ මද නල ඊලඟට කාගේ මුහුණ සිඹිනු ඇතිද?...

පාරේ වාහන තදබදය එන්න එන්නම වැඩිවේ. ඒ වැඩිවන තරමටම වාහන වලින් නැගෙන නලා ශබ්ධයද තීව්‍ර වන්නේ මග දෙපස යනෙන උන්ගේ කන් පසාරු කරමිනි. සැමදෙනාගේ මුහුණුවල ඇත්තේ තෙහෙට්ටු බවකි, කේන්තියකි, කාන්සියකි, ඉක්මනින් ගෙදරට ගොඩවීමේ නොතිත් ආශාවකි.හිටි හැටියේ බලාපොරොත්තු නොවූ තියුණු හා මිහිරි හඬක් සවනත වැකේ. එකිනෙක පරයා හඬවන්නට තැත්කන දහසක් වාහන නලා මැද ,දෙසවන් අතරින් රිංගා යන ඒ මනරම් සීනු ශබ්ධය එනුයේ පාර අද්දර වූ කෝවිලෙනි. කෝවිලේ හවස් භාගයේ පූජාව ඇරඹිලා වියයුතුය. කෝවිලේ පූජකයා නොනවත්වා හඬවන ඔහුගේ සීනුව දහසක් වාහන නලා හැඬවුම් අතර දෙවියන්ට හඳුනා ගැනීමට බැරිවන්නට විදිහක් නැත්තේ ඒ සීනු නාදය අපිටත් නොවැරදී ග්‍රහනය වූ බැවිනි.කෝවිලේ දොරකොඩ, ඉහළට ඉදිවූ තොරණේ නෙක පාටින් වර්ණවත්වූ කැටයම්ය. නිල්පාටින් , කොළ පාටින්, කහ පාටින්, රතු පාටින් හා තවත් පාටවලින් හැඩ ගැන්වුනු දෙවියෝද, යක්ෂයෝද තවත් මොනවාද මන්දා එවුන් වගයක්ද තොරණ කල එළි කරයි. උඩින්ම සිටියේ හොඬවැල දික් කරගත් ඝන දෙවියෝය. හොඬය නොතිබ්බානම්  රූපයක් හරි හැටි හඳුනාගත නොහැකි මේ මිනිස් ලෝකය තුල ඝන දෙවියන්ද නිකන්ම නිකම් රූපයක් වනු ඇත. ඝන දෙවියන්ට මොලේ තිබූ බැවින් තමන්ටම කියා අමුතුම පන්නයේ මිනිස් නොවන වර්ගයේ මුහුණක් මවාගන්නට ඇත.

කෝවිල් තොරණේ උසටම සරිලන බෝගසක්ද ඝන දෙවියන්ට සෙවන සලසමින් වැඩ සිටියහ. ඒ අසල පන්සලක් පෙනෙන්නට නොතිබුනෙන් බෝගස සිටුවන්නට ඇත්තේ සංහිඳියාව තකා විය යුතුය. අනික බොහෝ බෞද්ධයන්ද හින්දු දේව ආශිර්වාදය පතා පැමිනෙන නිසා බෝගසක් අහල පහලින් තිබීම බෞද්ධයන්ට අමුතු සුවයක් ගෙනෙනවා  වෙන්නට ඇතිය. නැතිනම් මේ කාක බෝධියක් විය හැකිය. කාක බෝධියක් උනත් කැපීමට යාම මේ කාලයේ හැටියට සුබ නැත. ඒවා රැකගැනීම සඳහාම වූ  විශේෂ කඩන් පනිනා හමුදාවක් සිටින බැවිනි. බෝධින්නාන්සේට මදක් එහාට වන්නට  සියගනනක් මැටි පහන් වලින් සමන්විතවූ පහන් වැටකි. බැතිමතුන්ගේ දස දහසක් ප්‍රාර්ථනා විද්‍යාමාන කරමින්  මැටි පහන් රොත්ත එක පෙලට දැල්වෙන්නේ මද සුලඟ හමුවේ ඒවායේ දැල්ල ලතාවකට ලෙලවමිනි. නමුත් කෝවිල වටා ක්‍රමයෙන් දැඩිවන අඳුර බිඳින්නට පහන් වැටට හැකියාවක් නැති.

කෙමෙන් කෙමෙන් ශීග්‍රතාව වැඩිවෙන සීනු හඬ දෙසින් දුම් දහරාවක් ඉහළට නැගෙන්නේ පූසාරිගේ පහනෙන් විය යුතුය ඒ වටා සැදැහැ සිතින් දොහොත් මුදුන් දීගත් බැතිමතුන් සමූහයකි. සැදැහැ සිත් නොමැත්තෝ කෝවිලේ ඒ අතටත් මේ අතටත් ඇවිදින්නේ තමන්ගේ සැදැහැවත් සගයින් පූජාව නිමකර පැමිණෙන තුරුය. කෝවිලේ ඒ මේ අත ඇවිදින ඔවුන් දෙස තරයේ බලාසිටිනුයේ විශාල රෙදිකඩක පින්තාරුවී සිටි කතරගම දෙවියන් වහන්සේය. ,මුහුණු හයෙහි වූ ඇස් දොලසකින් දෙවියන්වහන්සේ, පූජාවට සහභාගී නොවී ඒ මේ අත ඇවිදිනා පාපිෂ්ඨයන් දෙස බලා සිටී. හක්ගෙඩි, ධජ, කඩු , දුනු , ඊතල සියල්ල නිසිලෙස ග්‍රහණයට ගත් අත් දොළොස තවමත් තාරුණ්‍යයේ ශක්තිය කියාපායි. තම අත් දොලසේ වූ කවර හෝ දෙයකින් උන්වහන්සේ මේ පාපිශ්ඨයන්ට කොයි මොහොතේ හෝ පහරදෙනු ඇත. උන්වහන්සේ දැනටමත්  ගෑණු දෙන්නෙකුටම ආදරය කරන නිසා නිසැකවම වම් අතක ඇති පුෂ්පයෙන් පහර වදිනු ඇත්තේ කන්‍යාවකටය. උන්වහන්සේට ආදරය ඒ තරම් කැපය. කෝවිල වටේ ඇවිදිනා රූබර කාන්තා ශරීර දෙස ඇස් දොළහෙන් එක් සඟලක් හෝ විපිලිසර වෙනවා නියතය. මෙතරම් ශක්තිවන්ත බලපුලුවන්කාරයෙකු පිට හිඳුවාගත් මයුර රාජයා සියල්ලන්ට වඩා ආඩම්බරයෙන් පසුවේ. දෙවියන්ට වඳින වැඳුම්, පුද දෙන පූජාවන්,  ඌට ඇති ගෞරවය නිසා කරනවා කියාය ඌ සිතන් ඉන්නේ.. 

දේවාලයේ දොරටුව ආසන්නයේ තැනින් තැන ලැග ගත් හිඟන්නන් සයදෙනෙකි. ඉන්   දෙදෙනෙකුගේම අතක් බැගින් අහිමිව තිබේ. තවෙකෙක් අන්ධයෙක් විය යුතුය. උන් සමහරෙකුගේ අතේ ටින් කබල් තිබේ. අන්ධයාගේ අතේ නම් සැරටියක් තිබුනි. අනෙකුන් තම දෙපා මුල  කිළිටි ලේන්සු එලාගෙන සිටී.උන් හැම එකාගේම පාහේ අත් වෙව්ලයි. ඒ සීතලට නොව පුරුද්දටය. අසලින් කිසිවෙක් ගියහොත් හිඟන්නන්ගේ අතේ වෙව්ලීම වැඩිවී, වේලී ගිය තොල් පෙතිද වෙව්ලෙන්නේ කිසිවක් සිහින් හඬින් මුමුනනා නිසා විය යුතුය. වාහන ශබ්ධය මැද අසලින් යන මිනිසාට හිඟන්නන් කියන දේ ඇසෙනවාදැයි සැක සහිතය. සල්ලියක් හිඟමන් දෙන මිනිහා හිඟන්නාගේ දුක් ගීතය ඇසුනද නෑසුනද සල්ලියක් විසි කර යයි.
තම දුක දෙවියන්ට දැන්වීම සඳහා කෝවිල තුලට ගිය සැදැහවතුන් ඒ සඳහා දෙවියන්ට පඬුරු පූජාකර පිටතට එති. කෝවිල පිටත සිටිනා සිඟන්නන් සයදෙනා තම දුක සැදැහවතුන්ට කියා සිඟමනක් ඉල්ලා ගනිති. කෝවිල් දොරටුව මත්තේ ක්‍රියාත්මක වන ජීවන චක්‍රය එසේය. කෝවිලෙන් නික්මුණු කට්ටකුමන්ජල් සහ හඳුන්කූරු සුගන්ධය මැද තම බලාපොරොත්තු පොදි දෙවියන්ට බාරකෙරූ සමහරක් රූබර තරුණියන් ගඳ ගසනා කිලිටි හිඟන්නන් දැක මුහුණු පුලුටු කරගනිමින් වහ වහා ඔවුන් පසු කරයයි.

නිල් පැහැති වෘතයක් රතු පැහැති කතිරයකින් කැපී තිබෙන සංඥා පුවරුව පාමුල අතක් අහිමි එක් හිඟන්නෙක් නැවතී ලැගගෙන සිටී. සංඥාවට අනුව වාහන නැවැත්වීම හා පැටවීම තහනම්ය. අත අහිමි හිඟන්නා ඒ පාමුල නැවතී තම ටින් බෙලෙක්කයට මුදල් පටවමින් සිටින අතර ඔහු අසල ත්ත්පර දෙකකට තාවර වන මිනිසුන් ඔහුට සල්ලියක් දී ඔහු දෙන පිං අනුමෝදනාව පටවාගෙන නැවත තම ගමන් වල යෙදේ. 

හනි හනික නිවෙස් බලා ඇදෙන බොහෝ වැසියන් කෝවිල අසල නැවතී දොහොත් මුදුන්දී එයට වඳී. සමහරෙක් බෝධින් වහන්සේටද දෙවනුව නමස්කාරයක් පුදදෙති. ඒ සියල්ලට වඩා තම පසුම්බි වලට අත යවා යම් මුදලක් පිං කැටයට බැර කරති. බැර කිරීමෙන් අනතුරුව තුන් හතර ගමනක් පිං කැටය අතගාමින් නැවත නැවත එයට වඳී. පිං කැටය මුදලින් තර වෙලාය. අතගාන විට එහි ඇති නොසෙල්වෙන බරෙන් එය තේරුම් ගත හැක. එදෙස බලා සිටින හිඟන්නන්ගේ බලාපොරොත්තු එවන් වේලාවට ඉහළ යයි. උන්ගේ අතේ ඇති යාන්තම පිරුණු ටින් බෙලෙක්ක වේගයෙන් සැලෙන්නට වේ. නමුත් බොහෝ දෙනෙක් ඔවුන් දෙස නොබලාම ඉවතට යන්නේ කෝවිලේත් බෝධියේත් ආනුභාවය හමුවේ දෑස් පියවී යන නිසා වියහැක.

ටිකෙන් ටික රෑ බෝවීමට ආසන්න වෙමින් ඇති බැවින් පාරේ තද බදය එන්න එන්නම වැඩිවේ. මිනිසුන් ඉවක් බවක් නැතුව පාර හරහා මාරු වෙන බැවින් රියදුරන්ට තව තවත් අපහසුය. කහ ඉර ඇඳ තිබුනත්, දැන් එය සුදු ඉරක් බවට පත්ව තිබුනත් බොහෝ දෙනෙකුට එය මතින් පාර හරහා යාමට තරම් ඉස්පාසුවක් නැත. සමහරුන්ගේ අතේ chicken, pork, beef දැමූ බත් පාර්සල්ය. තවත් සමහරෙක්ගේ අතේ එලවලු පුරවගත් මලුය. කෙල්ලන්ගේ කොල්ලන්ගේ අතේ නැතිනම් කනේ ජංගම දුරකතන ය........
කොහෙන්දෝ මන්දා ටවුම මැදට පැමිණි ගවයෙක් සුදු පාට ගැන්වූ කහ ඉර දෙස බලා සිටී. ඌ පසු කරමින් හිමිහිට ඇදෙන රථ වාහන පෙරහර ගැන ඌට හාංකවිසියක් නැත. ඌ සුදු ඉර දෙසම බලා අනිමිස ලෝචනයේ යෙදේ. සුදු ඉර පැනගතහොත් ඌට කෝවිල වන්දනා කරගත හැකි වනු ඇත....

Saturday, August 19, 2017

දැති රෝදෙන් උපන් බුදුන්




මයිත්‍රී බුදුහාමුදුරුවෝ බුදුවන පුස්තකාලයේ සියඹලාගහ යටදී, 1967දී පාඨක සමාජයට දායාදවූ දැති රෝදෙන් උපන් බුදුන් කියන්නේ කෙටිකතා කිහිපයක් එකතු කරමින් අප සම්බන්ධ වී සිටින සමාජය සහ එහි සත්තාවන් අපේ මනස තුල පරිකල්පනය කරවීමට ගත්ත උත්සහායක්. අපිට නිතර දෙවේලේ හමුවන කෙටි කතා, නව කතා අතර වෙනස්ම ආකෘතියකින් ලියවුනු එකක්. මීට වසර 50කට ඉස්සෙල්ලා ලියවුනු ඒ අදහස් විටින් විට අතුගාදැමීමට උත්සහ කලත්, තවමත්  රසික සමාජයට කිට්ටු වෙමින් , පවතිමින්  තිබෙනවා. මේ පොත ගැන කතා කරද්දි මට හිතෙන විදියට වැධගත්ම දේ වෙන්නේ , අන්තර්ගතයට  වඩා එහි ආකෘතිය. එක දිගට ගලා යන, අපහසුවෙන් තොරව ග්‍රහණය කල හැකි කතා ටිකක් වෙනුවට මේකේදී අපිට හමුවෙන්නේ වෙනස්ම විදියකට ආකෘතිගත ගරපු සිද්ධි ටිකක්. ඒ සිද්ධි ටික, කියවන අපිට පහසු වෙන විදියට හදලා දීපුවා නෙවී. කියවන්නන් හැටියට  අපිට සිද්ධ වෙනවා නැවත මේ කතා ටික කියවන්න , අපේ බුද්ධිය කලඹවන්න , නැවත අපෙන්ම අහන්න අපි මේක හරියට කියෙව්වද කියලා. නැතිනම් අපිට මේක වැටහුණාද කියලා. කොටින්ම මේකෙ තියෙන්නේ කියවෙන කතා ටිකක් නෙවී කියවිය යුතු කතා ටිකක්. ඒ නිසා වෙන්න පුලුවන් දේවල් දෙකයි තියෙන්නේ. එක්කො අපිට සුටුස් ගාල හිතෙනවා මේක නම් මෙලෝ වැඩකට නැති පිස්සු, තේරුමක් නැති කතා ටිකක්. එහෙමත් නැතිනම් අපිට හිතෙනවා මේක එදවස පැවති ආගමික සහ ධනපති ක්‍රමය විවේචනය කරමින් ලියපු ප්‍රහේලිකාවක් වන් රචනාවක්. මට හිතෙන විදිහට මේක ටිකක් සැලකිල්ලෙන් කියෙව්වානම් අපිට එන සිතුවිල්ලක් තමයි මේ කතන්දර කිහිපය එකකට එකක් සම්බන්ධයි කියන එක. එක එක කතාවේ එන චරිත මොන යම් අයුරකින් හරි සම්බන්ධ කරන්න පුලුවන් බිඳුනු දම්වැල් මේ හැම කතාවකම අඬංගු වෙලා තියනවා.  

තවත් වැදගත්ම දෙයක් වෙන්නේ මේක ලියවුණු කාලය. අහල තියන්ව විදිහට පනහ සහ හැටේ දශකය කියන්නේ ලංකාවේ පූජ්‍ය පක්ෂය ඉතා තදබල සහ තීරණාත්මක අයුරින් දේශපාලන කටයුතු වලට මැදිහත් වෙන කාලයක්. එවැනි කාලයක පූජ්‍ය පක්ෂය සහ ආගමික ඩීල් කාරයන් විසින් අසරණ මිනිසුන්ගේ ජීවිත සූරාකන ආකාරය ඉදිරිපත් කිරීම සැබවින්ම අභියෝගයක් වෙන්නඇති. ඊට අමතරව පවතින සමාජ ක්‍රමය හමුවේ පරාරෝපණයට ලක්වෙන අපේ ජීවිත සහ අපිටම වටහා ගැනීමට නොහැකිව අතරමංවන අපේ පැවැත්මේ අරමුණ මේ කතා කිහිපය හරහා අපි ඉදිරියට ගේනවා. අනික් කරුණ, අපි සියල්ලන්ටම අමතක වී යන අපේ සමාජයේ වෙසෙන අන්තම දිළිඳු කොටසට විඳින්නට වී ඇති දුක්ඛිත භාවය  විටින් විට මුණගැස්සවීම. සමාජ සැකැස්මේ  අන්තිම කෙලවරට ගාල්වූ ඒ පිරිසට, පවතින දේශපාලන, ආර්ථික ක්‍රමයෙන් විතරක් නෙවී ආගමික සංස්ථාවෙන් පවා පිළිගැනීමක් ගරුත්වයක් ලැබෙන්නේ නැති බව කතුවරයා අපිට ඉඟි කරනවා. සමහරවිට ඒවා මායා යතාර්තවාදී අයුරින් ඉදිරිපත් වෙන ඒවා. 

ඒ සමගම ආපු අදසක් තමයි ඊලඟ බුදු හාමුදුරුවෝ මොනවා දේශනා කරයිද?....උන්වහන්සේ කොහොම කෙනෙක් වෙයිද ?....අපිට ඔලුවට කාවද්දලා තියන දේවල් සහ අපි ලබාගෙන තියන දැනුම අනුව බුදුවරයා කියන කියන චරිතය පරිකල්පනය කරගන්න අපේ තියන ශක්‍යතාව කුමක්ද?....ධනවාදී ක්‍රමයක කෙල පැමිනි මොහොතේ උන්වහන්සේ දේශනා කරන දහම අපිට තේරෙයිද?....ගෞතම බුදුන් වහන්සේත් සාමාන්ය මිනිහෙක් කතා කරනවාට වඩා 100 ගුණයකට වැඩි වේගයකින්ද කොහෙද කතා කරපු බව TV එකේ ලඟදී කිව්වා (හරියටම ගාන මතක නෑ. කොහොම හරි ලොකු ගානක්). ඉතින් ඒ විදිය වේගයකින් කතා කරද්දී සාමාන්‍ය මිනිහෙක්ට පුලුවන් උනාද ඒක ග්‍රහනය කරගන්න. එසේත් නැතිනම් අපි මේ අහන කරුණු වෙන කාගේ හරි interpretation එකක්ද?......මේ ප්‍රශ්න ටික මට ආවේ "ඉතිහාසයේ වීරයා" කතාව කියවද්දි.

".....යකඩ කැබලි එක්තැන් කොට ත්‍රිකෝණාකාර හැඩයට බැඳ සකස්කල ඔහුගේ හිස් වැසුම ...,....,
ඔහුගේ ලපැත්තත් පිටපැත්තත් විෂ්කම්භය අඩි එකහාමාරක පමණ වූ දැති රෝද දෙකකින් ආවරනණයවී තිබිණ.තඹ තහඩු කැබැල්ලකින් යටිකය වසා තිබූ අතර දණහිසේ සිට පතුල දක්වා වයර් ඔතා මේස් වැසුමක සෙය ගන්වා තිබිණ...."

".....ප්‍රධාන බස් නැවතුම් පල තෙක් පැමිණි ඔහු අඩ පැයක් පමණ දේශනාවක්ද පැවැත්වූයේය. එය අප වාර්තාකරුවන්ට තෝරා පැහැදිලි කරගත නොහැකි තරමට වේගවත් විය. ඇරත් එම බස කිසිම බසකට අයත් එකකැයි සිතිය නොහැකි වග ඇතැමුන්ගේ අදහසයි... "


මේ සියලු ඉඟි කිරීම් , සඳහන් කිරීම් සිද්ධ වෙන්නේ අපි පුරුදු වෙලා තියන ආකෘතියෙන් වෙනස් විදිහට. සමාජ අසධාරණය , ආගමික හා ලිංගික සූරාකෑම් පිලිබඳ ඉතා මනරම් සහා සංවේදී භාෂාවෙන් ලියවුනු කෘතීන් ඕනෑ තරම් අපිට හමුවෙනවා. ඒවා ලියවී ඇත්තේ අපිට බොහොම හුරු පුරුදු සංවේදී කතන්දර ආකෘතියෙන්. නමුත් ටෙනිසන් අපිට ඒ සුන්දර , කියවනකොට එක හුස්මට ගින්නක් නැතුව කිය්වන් යන්න පුලුවන් ආකෘතිය හදලා දෙන්නේ නෑ. ඒ වෙනුවට ඔහු සත්‍යයේ මොහොතවල් , පීඩාවේ මොහොතවල්, මායාවේ මොහොතවල් , සිහින ලෝකවල මොහොතවල් තැනින් තැන ලියමින් අපිට බලකරනවා සැබෑව වටහාගන්නට. නැතිනම් අපේ පැවැත්මේ ස්වාභාවය ඒ තුලින් දකින්නට. මේ ආකෘතිය මට මතක් කරන්නේ යම් තැනකදී කියවූ තිය්ඩෝර් ඇඩෝනෝගේ කලාව සම්බන්ධ විචාරයකට.

මට මතක විදියට ඔහු පවසා තිබුනේ ධනවාදය විසින් කලාව සංස්කෘතික කර්මාන්තයක් බවට පත් කර ඇති බවයි. එමගින් බිහිවන පොප් සංගීතය හා චිත්‍රපට මගින් එකම වට්ටෝරුවේ නිර්මාණ බිහි කරමින් ජනතාව තත්වාරෝපණ්ය කරන බවත් එමගින් පවතින මර්ධනකාරී ක්‍රමය ස්වභාවික දෙයක් ලෙස පිලිගැනීමට අප පොලඹවන බවත්. මිනිසුන්ගේ විප්ලවවාදී අදහස් මොට කරන ඒකාකාරී ජනප්‍රිය රැල්ල වෙනුවට ඔහුගේ යෝජනාව උනේ දුෂ්කර සහ විනෝදයට අභියෝග කරන විරෝධය පෑමේ කලාවක් වෙනුවෙන්. ඇඩෝනෝ මේ මතය අනුව යමින් අපව පිනවන , දැහැන්ගත කරන ජනප්‍රිය සංගීතය වෙනුවට තෝරාගන්නවා විඳීමට අපහසු සංගීත ක්‍රමයක ආගමනය. ඒ තුලින් ඔහුගේ අරමුණ වෙන්නේ "අප සවන් දෙමින් සිටී" කියන තැනට ශ්‍රාවකයා පත් කිරීම. මොකද ජනප්‍රිය සංගීතය යනු අපි සවන් දෙනවා වෙනුවට  "අපට ඇහෙමින් තිබේ "  වර්ගයේ දෙයක් වීම.

මේ මතය ඉදිරියට ගෙනිය ෆ්‍රෙඩ්‍රික් ජෙම්සන් මතයක් පලකරනවා භාෂාවත් මේ ආකාරයෙන්ම විරෝධය පල කිරීමේ මාධ්යක් ලෙස යොදාගත හැකි බව. සමාජයේ පවතින අසාධාරණය සහ දුෂ්ඨ බව, සංවේදී/විසිතුරු භාෂාවකින් නොකැඩී ගලා යන කතාවක් ලෙස ඉදිරිපත් කරනවා වෙනුවට සත්‍යය සොයාගත හැකි තැන් වෙත අපිව යොමු කිරීමට , ඛණ්ඩනය වූ භාෂා විලාසයකට හැකි බව. මේ අනුව එන අදහසක් තමයි අන්තර්ගතය ද්වීතික වෙමින් ආකෘතිය ප්‍රමුඛවීම. දැති රෝදෙන් උපන් බුදුන් කියවන විට මට නිතැතින්ම මතක් උනේ මේ අදහස. ටෙනිසන් අපිට කියවන්නට, මනස වෙහෙසමින් කියවන්නට, අවශ්‍යය ඛණ්ඩිත සිදු වීම් පොකුරක් ලබාදෙනවා. එය හැටගනන් වල විතරක් නෙවී සමකාලීන සමාජ, දේශපාලන සහ ආගමික ස්ථර හමුවේ හමුවේ අපේ කුඩා බව හිතාගන්නට අපිව පොළඹවනවා. ඒ කුඩා බවට සවිඥානික වෙමින් හෝ නොවෙමින් ගෙවෙන අපේ පැවැත්මේ එක්තරා අවසානයකට අවසන් කතාවේදී මේ විදිහට එනවා,

"ගැහැනියකගේ සුවඳ උපන්දාමෙන් දැනුදු මාවෙත පැතිරේ. ඒ පිලිබඳ එදා අරමුණක් ගැනීමට මට නොහැකිවූවා සේම අදද මට එය කළ නොහැක. කෙසේ වුවත් එය පැහැපත් සිරුරක් ඇති, නිර්මල දෑසක් ඇති ස්ත්‍රී ආත්මයක් විය හැක. ඇය මා උපන් ද හෙලූ කෙඳිරිය මීට මොහොතකට පෙර යලිඳු හෙලුවාය. එය එදාට වඩා අද කෙනෙකුට මිහිරි ගීතයක් විය හැකිය. මට එය මිහිරක් නැත. අමිහිරිත් නැත. මිහිරි බවත් අමිහිරි බවත් අතර වූ තත්වයක් ය උසුලයි....."

Sunday, August 13, 2017

පන්තියේ desk එක






chemicals ඉහිරිච්ච 
ලැබ් එකේ ඩෙස් වලට
තඩි බබා අපි කියපු ගී සින්දු
තවමත් ඇසේ දෙසවන් පුරා

interval බෙල් එක 
වදින්නට ලංවෙද්දි
ඩෙස් එකේ යට තියන්
හංගගෙන අපි කාපු
බනිස් ගෙඩි , කෙහෙල් ගෙඩි
රස මතක් වේ තවම මට

interval එක ඇරඹිවිට
ඩෙස් ලෑල්ලක් කඩාගෙන
අපි ගැහුව cricket match
ගැහුවේ නම් නෑ ඊටපසු

ඉඩෝරෙට දියපොදක් විලසින්
ඒ කාලෙ එන වැල කතා
හනි හනික කියවලා
ගැහුවේ ඩෙස් එකේ අස්සෙම

පන්තිය අතුගාන කල්හී
කොල්ලන්ගේ පැත්තෙ කුණු
එබුවා ලොවෙත් පන දමාගෙන
කෙල්ලන්ගෙ ඩෙස් එකේ අස්සට

විභාගය එලඹුනා
පේපරේ කෙල උනා
ලියන්නත් නෑ එහෙමට දෙයක්
වෙලා ඇත ඕනෑ තරම්
සින්දුවක්  කරගෙන මතක්
දැම්මා ඩෙස් එකට තට්ටුවක්

ගුරුතුමා මගේ ලඟට ආවා
අලුත් කොලයක් දිගුකලා
මට මොකට අලුත් කොල
ලියන්නට කිසි දෙයක් නැතිකොට

ලියන්නට බොට දෙයක් නැත්නම්
තට්ටු කෙරුවේ මොකද මේසෙට
විභාගය ඉවර වෙනකල්
තියන් හිටපන් ඔලුව මේසෙට


**මුල් පද තුන Richmond විද්‍යාලයේ chemistry lab එකේ මේස කෙලවරක රටහුණු වලින් ලියා තිබියදී සොයා ගන්නා ලදී. එය ලියූ සහෝදරයාට මාගේ ස්තූතිය.....

Saturday, August 12, 2017

සතර 4 (කෙටිකතාව)






වේගයෙන් ඇදී ආ දුම්රිය දෙවන වේදිකාව දකිත්ම හති ලමින් තම ගමන් වේගය බාල කරන්නට විය. වේදිකාව හා සමාන්තර වෙත්ම එහි වේගය ඉතා බාල වූ මුත් තවමත් නතර නොවී ඉදිරියට ඇදේ. දුම්රිය නතර වෙන තෙක් ඉවසාසිටීමට නොහැකි පිරිමින් තම බෑග් මලු සමග සටන් කරමින් දිව ගොස් පාපුවරුවට පනී. ඔවුන්ගේ අරමුණ කෙසේ හෝ අසුනක් අල්ලා ගැනීමය. ඉක්මන් ක්‍රියාමාර්ග නොගතහොත්  කොළඹ දක්වාම සිටගෙන යාමට සිදුවන බව ඔවුන් දනී. දනි පනි ගා නැග ගත් පිරිසෙන් වාසනාවන්තයන් කිහිපදෙනෙක්ට පමණක් දුම්-රියේ දොරවල් අසල හිස්ව තිබූ ආසන හිමිවිය. ඉඳගැනීමේ වාසනාව අහිමිවූවෝ සුසුම් ලමින් හිටගෙන යාමට හිත හදා ගති. පිපුණු රෝසමල් මෙන් මුහුණ පාට කරගත් තරුණ ගැහැණු බුම්මාගෙන සිටින්නේ ආසනයක් හිමි කරගැනීමට නොහැකි වූ නිසාවෙනි. උන් දුම්රිය මැදිරියේ එහා කොනේ සිට මෙහා කොනටම වේගයෙන් ඇවිදින්නේ කොහේ හෝ මුල්ලක ඉතුරුවූ ආසනයකට ඉව අල්ලමිනි. නමුත් ඒ බුම්මාගැනීම වැඩි කාලයකට නොවේ තව ටික වේලවකින් මේ සියලුදෙනා තම තමන්ගේ ජංගම දුරකතන වලට මුහුණ ඔබාගනිමින් සිත් සැහැල්ලු කරගනු ඇත. දුම්-රියට අවසානයට ගොඩවුනේ මැදිවියැති භික්ෂුවකි. ඊට පිටුපසින් චන්දන ය. 

භික්ෂුවගේ ගොඩවීම නිසා සීට් ඇල්ලීමේ තරඟයෙන් ජයගත් වාසනාවන්ත තරඟකරුවෙක්ට තම අසුන පූජා කිරීමට සිදුවිය. තම සීට් අත්පත්කරගැනීමේ වාසනාව මිනිත්තු කිහිපයකට වඩා නොරැඳුනු බැවින් ඔහුගේ මුහුනේ ඇඳීතිබුනේ පරාජිත පෙනුමකි. චන්දන, භික්ෂුවගේ අසුන සමීපයේම සිටගති. දුම්රිය හෙමිහිට තම ගමන ආරම්භ කරයි. මග දෙපස ඇති ගස් කොලන් ටිකෙන් ටික වේගය වැඩිකරමින් තමන් පසුකර දුවන්නට ගන්නා අයුරු චන්දනට පෙනේ. 
භික්ෂුව සිය ගමන් මලුව තුල ඇති පසුම්බිය ආදරයෙන් පිරිමදිනු චන්දන දුටුවේය. ඒ තුල ඇත්තේ පෙරදින රාත්‍රියේ ධර්ම දේශනාවකට වැඩම කර දේශනා පඬුරු ලෙස උන්වහන්සේ ලැබූ මොණර කොල සමූහයක් බව දැනගන්නට චන්දනට හැකියාවක් නැත. දේශනා පඬුරු වලට අමතරව උන්වහන්සේ රචනාකල මයිත්‍රී භාවනා පොත් පිංචවල් රැසක්ද දායක සභාව ලවා අලෙවි කරවූ බැවින් ඒ පසුම්බිය තරමට වඩා පිම්බී තිබුණු බව චන්දන්ගේ දෑසට හසුවුනා වියයුතුය.

හචෑස්......

හාමුදුරුවන්ට එහා අසුනේ වූ තරුණයා මහ හඬින් කිමුහුමක් පිට කලේය. පලවෙනි හචෑස් එකෙන් නතර නොවුනු ඒ කිමුහුන් පූජාව හචෑස් , පචෑස් , හුචෑස් ශබ්ධ නංවමින් දිගට හරහට පිටවන්නට විය. ලේන්සුවක්වත් නහයට නොතබමින් තරුණයා  තම කිමුහුම් පූජාවේ වූ ඛේට අංශු දස දහස් ගණනක් නිදහස් වාතලයට මුදා හරී. හාමුදුරුවන් වහන්සේ ඔහු දෙස ඔරවා බලනු තරුණයා නුදුටුවේ ඒ මොහොතේම ඔහුට පැමිණි දුරකතන ඇමතුමක් නිසාවෙනි. තවත් කිමුහුමක් පිටකමින්ම තරුණයා "හෙලෝ...." කීවේය. ඊට පසු නාසයෙන් පහලට විත් එලියට එන්නට වලිකන තම සෙම්සොටු දහරාව විටින් විට ඉහලට අදිමින් ඔහු ඇමතුමට උත්තර බඳින්නට විය.

දුරකතන සංවාදයේ සියලු කතා චන්දන්ගේ කන වැකේ. ඊට අනුව කොල්ලාට ලෙඩ කෝටියකි. 

මේ තරුණ වයසේදීම ඒකාට කොලෙස්ටරෝල්ය,
 ජිම් යාමට ගොස් උලුක්කු වූ උරහිසකමාසයක් තිස්සේ බෙහෙත් බැඳේ, 
blood-pressure එකද වැඩිව ඇති බව දොස්තර කියලාය.
බඩේ පැත්තක් රිදෙන එකට සැත්කමක් කරන්නට වෙලාය.
නිමක් නැති පීනස නිසා කොණ්ඩය සුදු වේගෙන එන්නේ තරුණ බව මකාලමිනි.

තවත් මොකක්දෝ ලෙඩක් ඇති බව කොල්ලා දුරකතනයට පැවසුවත් චන්දනට එය හරිහැටි ඇසුනේ නැත.

"ලොක්කගෙන් නිවාඩු ඉල්ලුවා බන් ඊලඟ දවස් දෙක. ......කොහෙද ඌ දෙන්න බෑ කිව්වනේ.  යකෝ ලෙඩකටවත් නිවාඩුවක් දෙන්න බැරි හැටි මුන්ට......."
තරුණයා දුරකතනයෙන් ආඩපාලි කියයි.

කතාවට කන්දීගෙනම චන්දන වටපිට බැලීය. භික්ෂුවට පිටුපා ඇති අසුනේ සිටියේ මහලු මනුෂ්‍යයෙකි. ඔහුගේ වම් අත වෙව්ලයි. කොණ්ඩය සුදුම සුදු වෙලාය. ඇට ගැහුණු ගෙලෙහි නහර පවා ඉල්පී ඇත. මහල්ලා පෙනුමේ තරමට නාකි නොවිය යුතුයැයි චන්දනට සිතුනේ ඔහුගේ දකුණතින් ඉහල පහල යන ජංගම දුරකතන්යේ තිරය දුටු විටය. මහල්ලා සිටියේ මුහුණු පොතේ සැරිසරමිනි. මුහුණු පොතේ ඇති සරාගී නිළියන්ගේ පිටුවක ඔහු උඩ පහළ ගමන් කරයි. යට ඇඳුම් වලින් පමණක් සැරසී සිටින ඉන්ගිරිසි නිලියන් හා නිරූපිකාවන් ගේ රූ එකින් එක ඔහුගේ පිරික්සීමට ලක්වේ. ටික වේලවකින් ඔහු තවත් පිටුවකට මාරු විය. එය හින්දි ගැහැනුනුගේ රූ රැගත් පිටුවක් විය. එහි වූ කෙල්ලන්ගේ නම් වැඩියෙන්ම පෙනුනේ සුදු පැහැති බඩවල්ය. මහල්ලාගේ දුරකතන තිරය දෙස හොරෙන් බලා සිටි චන්දනටත් තමන්ගේ සිත ගත රත් වීගෙන එනවා දැනුනි.

චන්දනගේ රාගී දැහැන බිඳුනේ තරුණයාගේ හචෑස් එකකින් කෝච්චි පෙට්ටිය දෙදරුම් කෑ බැවිනි. මෙවර නම් ඔහු කොහෙන්දෝ ලේන්සුවක් සොයාගෙන තම නාසයත් පපුවත් දෙකම ලේන්සුවට ඉදිරී එන තරම් වේගයෙන් තම සෙම් සොටු දහරාව ලේන්සුවට ඇදදැම්මේය. තරලමය සෙම් සොටු දහරාවේ ඇතිල්ලීමේ ශබ්ධයෙන් අප්පිරියාවක් ඇති වූ චන්දන නැවත හික්ෂුව දෙසට එබුණි. උන්වහන්සේ තම මුහුණු පොත් ගිනුමට වැඩ හුන්සේක. 

"පර හම්බයන්ගෙන් මේ සිංහල දීපේ ගලවාගන්න සුජාත හෙළයිනි එකතු වෙව්....."
හාමුදුරුවෝ මුහුණු පොතේ දෙශනාවක් කොටා ඇත.

චන්දන, හාමුදුරුවන්ගේ නම කියවාගන්නට උත්සහ කලද "ඥ", "ඤා " වලින් සැදි නමක් ඉන්ගිරිසියෙන් දමා තිබූ නිසා හරියට කියවාගත හැකිවූයේ අන්තිමට තිබූ "Thero" කෑල්ල පමණි.

දුම්රිය නැවත හතිලමින් තම වේගය අඩුකරන්නට ගෙන ඇත්තේ ඊලඟ නැවතුම ආසන්න  නිසා විය යුතුය.ටික වේලාවකින් යකඩ බරාස්ස්ස්ස්ස් සද්දය නංවමින් දුම්රිය නතරවිය. චන්දන දුම්රිය දොරටුවෙන් පිටත පෙනෙන කොන්ක්‍රීට් පාර දෙස බලා සිටින්නට විය. පාර පටන් ගන්නා තැනට දෙපස වූ කණු දෙකක් අතරට ගැට ගැසුනු ලණුවක සුදු කොඩි දෙකක් එල්ලී මද සුලඟට ලෙලදේ. කලකින් නොවැටුනු වැසි නිසා වේලී කරකුට්ටන්ව ගිය කොන්ක්‍රීට් පාරටත් වලාකුලින් තොර වූ නිල්ම නිල් අහසටත් මැදි වූ හිස් අවකාශය තුල සුදු කොඩි දෙක තනි වී ඇත. කොන්ක්‍රීට් පාරේ මීටර් 15ක් පමණ යද්දී තරමක් ලොකු වංගුවක් ඇති බැවින් පාරේ මදක් දුරට යනකල් පමණි චන්දනට දැකිය හැක්කේ. ඒ පෙනෙන කොටස සම්පූර්ණයෙන් පාලුවට ගිහිල්ලාය. වැසි දිය නොලැබ කේඩෑරිවී ගිය තණකොල ගොල්ල දුඹුරු පැහැයට හැරෙමින් පවතී. මෙහෙම ගියොත් කොන්ක්‍රීට් පොළවේ පැහැයත් ගස් වල පැහැයත් සමානව පෙනෙනු ඇත. එවිටම වංගුවෙන් මතුවූයේ සුදු හැඳගත් තරුණයෙකි. ඔහු වේගයෙන් පාර දිගේ පැමිනෙමින් සිටී. ඔහුගේ අතේ සුදු කොල කැබැල්ලකි. සමහරවිට එහිඇත්තේ මුද්‍රණය පිනිස ගෙනයන මරණ දැන්වීමයැයි චන්දනට සිතේ. එහි දෙපස උපත හා විපත සඳහන් දින වකවානු ලියවී ඇති. මැදට වන්නට මැරුණු කෙනාගේ රූපයක් ඇති. 

"කවුද දන්නෑ මැරිලා තියෙන්නේ"....චන්දන තාමාගෙන්ම ඇසීය. 
මැරී ඇත්තේ මහල්ලෙක්ද? නැතිනම් ලෙඩෙක්ද?.....කොහොම උනත් ඒ භික්ෂුවක් විය නොහැක. භික්ෂුවක් උනානම් කොන්ක්‍රීට් පාර මීට වඩා ලකයක් ඇතුව දුක්වනු ඇත.සුදු පාට වෙනුවට තැඹිලිපාට වෑස්සෙනු ඇත.
මියගිය කෙනා එතරම් ධනවතෙකුද විය නොහැක.එසේ වුනා නම් පාර දිගට ලොකු ලොකු වාහන නවතා තිබෙණු ඇත, මීට වඩා ගාම්භීරෙට මග දෙපස හැඩ වනු ඇත......ඒත් මැරුණු කෙනාට ඉන් ඇති ඵලය කිම ?....ගුණු වැයුම් ගොඩක්, බෙර වාදන පෙලක්, පාවඩ උඩින්, නිල් අහස යටින් ඔහු හෝ ඇය අවසන් ගමන යනු ඇත. සැබවින්ම එය ගමනක් වන්නේ පණ තියන උන්ට මිස  මිස මැරුණු කෙනාට නොවේ. මිනියක් අවසන් ගමනක් ඇවිද්දවන පණ තියන උන්ගේ කඳුලු ගොඩක් බිම වැටී පොළව තෙමණු ඇත. නමුත් පොලවට අවසානයේ වැදගත් වන්නේ කඳුලු නොව පොළවට පස්වී පොහොර වන මැරුණු එකාගේ සම්, ඇට  සහ ඕජස්ය. 

තම අසුනට යාබද අසුනට ගැබිණි කතක් පැමිණි බැවින් මහල්ලාගේ අඩ නිරුවත් නිළි රාගය බිඳී ගියේය. හෙතෙම වහාම දුරකතය තම කලිසම් සාක්කුවට ඔබා ගත්තේ කිසිවෙක් දැක්කාදැයි සැක හැර දැනගැනීමට මෙන් වටපිට බලමිනි. වටපිටාව සිසාරන ඔහුගේ දෑසට පිටුපස අසුනේ සිටි භික්ෂුව යාන්තමට දර්ශනය විය.

"අපේ මේ ජාතිය බේර ගන්න වෙලා තියෙන්නේ අවජාතක සිංහල පොන්නයන්ගෙන්මයි..."
හාමුදුරුවෝ  තම මුහුණුපොත් පෝස්ටුවකට කමෙන්ටුවක් දමයි. 
"මේ වගේ පොන්න වේ..."

"අහ් මේ අපේ හාමුදුරුවෝ නෙව"....මහල්ලා භික්ෂුව දෙසට හැරී ඇමතීය. 
"මේ අපේ උපාසක මහත්තයනෙ....මම මේ ඊයේ රාත්‍රියේ බණකට වැඩලා එන ගමන්"

"මගේ මයිත්‍රී භාවනාව පිලිබඳ පොත ගැන දේශනාවකුත් කලා"........හාමුදුරුවෝ බාගෙට කෙටූ කොමෙන්ටුව මකා දැමමින් පැවසීය.
"අපිට ඉතින් නිවාඩුවක් පාඩුවක් නෑ උපාසක මහත්තයෝ. මිනිස්සුන්ට මයිත්‍රිය වඩන්න කියාදිදී රට වටේ වඩිනවා..."

"අනේ සාධු...!! මාත් මේ හාමුදුරුවන්ගේ දේශනාවක් පෝන් එකෙන් අහන ගමන් හිටියේ ........"එය කියන විට මහල්ලාගේ ඇස් නැටවිනිදැයි චන්දනට සිතිනි.
"මටත් නිවාඩුවක් කලාවක්  නෑ අපේ හාමුදුරුවනේ. ගෑනි මලත් හරි දැන් දරු මුණුපුරන්ගේ රාජකාරි මට පැවරිලා.ඒවා අපෙන් කෙරෙන්න ඕනි යුතුකම්නෙ. මම මේ පුතාලාගේ ගෙදර යන ගමන්. ඉස්කොලේ නිවාඩු කාලෙ නිසා ළමයා බලාගන්න විදිහක් නෑ කියල මට එන්න කිව්වා."

"බොහොම හොඳයි....බොහොම හොඳයි" හාමුදුරුවෝ නැවත තම පසුම්බිය අත ගානගමන් පවසමින් කවුලුවෙන් ඉවත බලාගති.

එහා පැත්තේ ඉඳගත් ගැබිණි කත ඒ ටිකට නින්දට වැටී ඇති බැවින් මහල්ලා නැවත තම ජංගමය ගෙන තවත් මුහුණු පිටුවකට පිලිපන්නේය. එහි වූයේ අලුත විවාහ වූ ජෝඩුවකගේ පින්තූර සමූහයකි. මනාලිය තම යෙහෙලියන් සමග කෙටි කිමෝනාවලින් සැරසී ගත් පින්තූර දෙස මහල්ලාත් මහල්ලාගේ ගෙලට ඉහලින් චන්දනත් බලා සිටී. කෙල්ලන්ගේ නිරුවත් දෙපා අමුතුම දීප්තියකින් දිලිසේ.මහල්ලා එකින් එක පින්තූර තිඅරය මත දිග හරී.

මගුල් ඇල්බමයේ අවසානය ලඟාවෙමින් පවතී. එහි අවසාන පින්තූරයේ මනාල ජෝඩුව පිට්ව යන වාහනයේ වීදුරුව මත "අද ඉඳන් අතට නිවාඩු" කියා මොනවායින්දෝ ලියා තිබුණි. කාරය වටා රැස් වූ තරුණ තරුණියන්ගේ මුහුණු සිනාවෙන් පිරී ඇත. තරුණියන්ගේ මුහුණු දෙව්ලොවින් බට සුරඟනන්ගේ මෙනි. මනාල ජෝඩුව ජයට පහට සරසා ඇති මාර්ගය දෙස ප්‍රීතියෙන් බලා සිටිති. හැඩැති වැඩති මාර්ගයක් ඔස්සේ සහකරුවෙක් සමග දිගු ගමනකට   මුල පිරීමට ඇත්තේ මොහොතක් පමණක් නිසා වෙන්න ඇති
දුම්රිය පිටත්වීම ඇරඹීය. චන්දන නැවතත් කොන්ක්‍රීට් මාර්ගය දෙස බැලීය. දුම්රිය ඉදිරියට යත්ම පාරේ වංගුවෙන් එහා කොටස ඔහුගේ නෙත ගැටුණි. වංගුවෙන් එපිට කලු පැහැති දිගු කාරයක් නවත්වා තිබේ ඒ වටා රැස් වූවන් ලේන්සු වලින් තමන්ගේ දෙනෙත් පිසිණු පෙනේ.  ඒ කිසිඳු මුහුනක් දිදුලන්නේ නැති බවනම් සහතිකය. කාරය වටා මිසක් ඉන් එහාට මිනිස් පුලුටක් නැති දුරුවර්ණ් වී ගිය පාලු වීදිය පමණි. කාරයට ඉහලින් වූ තොරණේ කිසියම් පාඨයක් සඳහන් කර ඇතත් චන්දනට එය පැහැදිලිව පෙනෙනේ නැත. එහි කුමක් සඳහන් කලානම් හොඳද? ....."අද ඉඳන් හැමදාම නිවාඩු" එහෙම ගැසුවානම් එහිද වැරැද්දක් නැතැයි චන්දනට සිතුණි.

හචෑඊස්ස්ස්ස්........
කිමුහුමත් සමග තවත් call එකකි...

"සර් ...අනේ සර් අද මට නිවාඩුවක් ගන්න බැරිද ?"

Monday, August 7, 2017

නයි පැවැත්ම නොහොත් මෙතෙක් කථාව






88 අගෝස්තුවේ හත්වෙනිදාක ,
මහ රෑක හෝ ගිනි මද්දහනක තියන,
උණුසුම හෝ ආලෝකය අඳුනගන්න නොදැන,
මම ඇස් අරින්න උත්සහකලා.
ඒත් මොන ඇස් ඇරිල්ලක්ද?
ඇඟම දනවා ගජරාමෙට.
ජලජ සත්වයෙක් නෙව මේ ගොඩබිමට ඇදලා දැම්මේ,
ඇස් ඇරිල්ල පැත්තක තියලා ඇඬුවා මම,
පුලුවන් උපරිමේටම....
එතන ඉඳන් බඩගින්නට, රස්නෙට, 
සීතලට, විතරක් නෙවී,
දෙයක් ගන්න උවමනා උනු හැමවිටම,
මම කලේ කෑ ගහල අඬන එක.
ඒ හැම අඬුමකටම ලැබුණු මුල්ම සැලකිල්ල,
කිරි සුවඳින්ද නැත්නම් දාඩිය සුවඳින්ද කියලා,
හරියටම අඳුනගන්න බැරි උනත්,
සෙනහසේ සුවඳ  උතුරන්න ගැබ්වෙච්ච
අම්මාගේ තන පුඩුව......
ආදරේ උණුසුමට, සෙනහසේ සුවඳටම, 
හුරු වෙච්ච චූටි ශරීරෙට
ටයර් සෑ වල දැවුණු,
මිනී වල පුලුටු ගඳ, 
තරුණ ජීවිත බිලිගත්ත,
ගිනි  පුලිඟු වල රස්නෙ,
දැනුනේ නම් නෑ මතක විදිහට.

කාලය ගියා වේගයෙන් ඉගිලී
ඉස්කෝලෙ ගියා මම කියාගෙන මැසිවිලී,
පාඩම් ගොඩක්, පොත් ගොඩක්, විභාග ගොඩක්,
වට පිටේ උන්ගෙන් ප්‍රශ්න ගොඩක්,

සිස්සත්වෙ පාස්ද? ......... ඔව්
ලොකු ඉස්කොලෙකට යන්න බෑලුනෙ ඒ වුනාට ? .....හ්ම්ම්ම්
O\L  පාස් ද?....  ඔව් Aම දහයක්
අහ් ඇත්තද.ඒ උනාට  ඔය වගේ ලේසි වෙන්නෑ උසස් පෙල නම්.
මොකද පුතේ A\L ?.....   සබරගමුවට තමයි යන්න පුලුවන්
අහ් ඒකට ගිහිල්ල නම් ගෙදර තමයි ඉන්න වෙන්නේ. රස්සා හෙම නෑලු ඕවට.......හ්ම්ම්ම්


රැවුල් කොණ්ඩ වවාගෙන ,
හිටියා උන් මාරයො වාගේ
රැවුල් ගස් උදුරලා, කොණ්ඩෙ පැත්තට පීරලා,
අපි හිටිය මල් ගස් වාගෙ.

කුණු ප්‍රෙශා වරෙන් උඹ පෝලිමේ,
හිනාව කපාගනින්, කඩ්ඩ බෑ , පාවා දෙන්න බෑ
එහෙමයි ජේෂ්ඨ උත්තමයා.........


"දයාබර අම්මේ තාත්තේ, අයියේ , අක්කේ....අපේ මේ වෑයම නිදහස් අධ්‍යාපනයේ ..3$**&%##@ .......ඒ නිසා ඔබට හැකි පමණින් උපකාරයක් කරන්න............"
"නෙදකින් රුපියල් 5යිනෙ දුන්නේ හෝතඹුවා.....
අනේ ඒ අක්ක නම් 50ක්ම දුන්නා"

කැට යාම් ගොඩක් මැද
තොරක් නැති පිකට්, පෝස්ටර්, පන්ති වර්ජන
කඳුලු ගෑස් බැටන් පොලු පාර මැද
ඉඳහිටලා ගිය දේශනේක මැද
ඇගේ දෑස් හමුවුනා හැමවිට..........

ආදර කන්ද මීදුමෙන් වැහිලා යද්දි
සීත සුලඟ සමනල වැව පිසගෙන එද්දි
පළමු වරට ඒ දෙතොල් සිපගද්දි
පපුව ගැහුණා දෙදරන්න
ආදරේ බර උහුලද්දි

කාලය තාලයට ගැලුවා
සරසවිය මතකයක් වූවා
ඇගේ පෙම මතකයක් නූවා
මන්ද ඈ මා ලඟම වූවා


දැන් බඳින වයසත් හරි නේද පුතේ ?........හ්ම්ම් හ්ම්ම්ම් 
බඳින්නේ නැදද මචන්.......... මගෙන් අහන්නේ තෝ බැඳපන්කො
ඔයා මාව බඳින්නේ නැද්ද අනේ....බොරුවක්ද කරන්නේ ?........ පිස්සුද ඕයි
උඹට අපි එකක් හොයන්නද ? නැතිනම් හිතේ 
කෙනෙක් ඉන්නව නම් කියපන්.. .......

  ම්ම්ම්ම්ම් මේ මේ...

තෙපරබානේ නැතුව කියපන් .........


"පොත් මිටියක් මල් කලඹක් වූවා අද ඔබේ දෑතේ
රන් මුදුවක් දිදුලයි ඔබෙ සුරතේ සතුටු සිනහා මැද්දේ
ටිකෙන් ටික බිඳෙන් බිඳ ,
අපි ආවද මේ තරම් දුර......"

කොහෙද යකෝ දුර ආවේ?..........
ඇහ්  , ඒ කිව්වේ ?
කෝ උඹ වාහනයක්වත් ගත්තද? බලපන්  හැම එකාම වගේ වාහන අරන්....උඹ පොත් කියවා කියවා හිටපන්.........
ඔව් ඔව් ගන්න ඕනි තමයි

මොකක්ද බන් ඔය use කරන phone එක. s8 එකක්වත් බස්සපන්කෝ.... 

මාස්ටර්ස් කරන්නේ නැද්ද උබ?........ම්ම්ම්ම්ම්
දැන් හැම එකාම මාස්ටර්ස් කරනවා යකෝ..කරපන් උඹත් බලන් ඉන්නේ නැතුව

ළමයෙක් හෙම තවම නැද්ද දරුවෝ ?....... try කරනවා නැන්දෙ ...
අපිට නම් ඔය වයසේදී දරුවො දෙක තුනක්ම හිටියා...... හ්ම්ම්ම්ම්ම්



ඉතින් ඔන්න ඔහොමයි මෙතෙක් කතාව උනේ. කොහොම උනත් මේ ලෝකෙ අපේ පැවැත්ම කියන්නේ කවුරුන්දෝ එකෙක් හදපු template එකකට අනුව ජීවත් වීමක්. ඒ නිසා අපේ පැවැත්ම කියන දේ සම්පූර්ණයෙන්ම  අපේ පාලනයෙන් තොරයි, ඒත් අපි හිතන් ඉන්නව ඒක අපේ control එකේ තියෙන්නේ කියලා.ඉතින් එහෙම හිතාගෙන ආතල් එකේ ඉන්න ගමන් හිටපු ගමන් පීලි පැනපුවාම තේරෙනවා නැත්නම් පේන්න ගන්නවා අපි ඉන්න සැබෑ ලෝකයේ ස්වබාවය . ඒ කියනේ අපි මේ කරමින් ඉන්නේ අපිට ඕනි දේ නෙමෙයි pre-defined template එකක් maintain කිරීමක් කියලා.ඒ වගේ වෙලාවට මේ වගේ ගොන් පාට් ලියවෙනවා. බාගයක් ලියන් යද්දි ආයේ හිතුනා නෑ නෑ මගේ ජීවිතේ තියෙන්නේ මගේ control එකේ තමයි යකෝ කියලා. එහෙම full confidence පිට පුරුෂ දහිරිය අරන් වෙලාව බලනකොට අගෝස්තු හත්වෙනිදා උදා වෙන්න ඔන්න මෙන්න. ඒ නිසා මේ ලියන් ආපු යාං හෑල්ල නවත්තලා නයියා වන මට සුබ උපන්දිනක් වේවා කියල මම ම පතා ගමි.........ගෙහුන් එනනම් එහෙනම්...