Thursday, May 18, 2017

නිදිගත් ආණ්ඩුව නැගිට්ටන්න SAITM බෙහෙත් ?






SAITM අවුල ගැන ආයේ නොලියන්නට හිතන් හිටියත් ඒ වැඩේ එන්න එන්නම අවුල් ජාලාවක් වෙමින් ඇති නිසා ලියන්නට දේවල් ඔලුවට පැමිණේ.........මේ රජය බලයට පැමිණීමත් සමග SAITM ප්‍රශ්නය තදටම කරළියට ආවේය. එසේ ආවේ මහින්දට බයේ නැට්ට පුකේ ගසාගෙන සිටි එවුන් මේ ආණ්ඩුවේ ලිහිල් බවින් සිංහයන් වූ නිසායැයි ඇතෙමෙක් පවසයි. ඒ කතාවේ යම් සත්‍යයක් ඇතත් නයියාට හිතෙන ලෙස මේ සටන දරුණුවටම නැග එන්නේ SAITM එකෙන් පිටවන පළමු උපාධිධාරීන් පිරිස පිටවුනේ මේ ආණ්ඩුව සමයේ නිසාය. එසේ පිටවන පිරිසට ලංකාව තුල වයිද්යවරුන් ලෙස කටයුතු කිරීම වලක්වන්නේ ශ්‍රී ලංකා වයිද්‍ය සභාව විසින්ය. ඒ SAITM ආයතනය වයිද්‍ය උපාධි පිරිනැමීමට සුදුසුකම් ලත් ආයතනයක් ලෙස තමන් පිළිනොගන්නා බව පවසමිනි. ඒ පිළිබඳ ඔවුන් අවස්තා කිහිපයකදීම වාර්තා එලි දක්වා ඇත.SLMC එක මේ තීරණ වලට එලඹුනු ආකාරය පිළිබඳ පසු ගිය කාලය පුරා ජනමාධ්‍ය මගින් වාර්තා විය. SLMC එක දුන් ඒ තීරණ වල හරි වැරැද්ද කීමට අපිට දැනුමක් නැත. ශ්‍රී ලන්කා වයිද්‍ය සභාව යනු වැටුප් ලබන ආයතනයක් නොවේ. එය රෝගී අයිතිවාසිකම් සහ ලංකාවේ වයිද්‍ය සේවයේ ගුණාත්මක භාවය රැක ගැනීම සඳහා  පිහිටවූ ගරු කටයුතු ආයතනයකි. අදාල ක්ශේත්‍රයේ ප්‍රවීනයන් වන ඔවුන්ගේ අදහස් සැලකිල්ලට ගැනීම රජයක වගකීම වන අතර එම අදහස් හා නිර්දේශ අනුව වයිද්ය සේවාවේ ගුණාත්මක බව ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම රජය සතුය.

පහුගිය අවුරුදු කිහිපය පුරා SAITM විරෝධී අරගලයේ ප්‍රධාන පාර්ශව දෙකක් සිටියහ. එකක් රජයේ වයිද්ය නිලධාරීන්ගේ සංගමයයි(GMOA) අනෙක අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයයි. මේ දෙගොල්ලන්ගේ උවමනාවන් හා ක්‍රියාකාරකම් මීට පෙරත් කතා කල ඇති නිසා තවදුරටත් ඒ ගැන කතා කිරීම අව්ශ්‍ය නොවේ. නමුත් සැකෙවින් දක්වන්නේ නම් GMOA එක කියන පරිදි ඔවුන්ට ඕනෑ වයිද්‍ය උපාධියේ ගුණාත්මක බව රකින්නටය . අන්තරයේ මූලික පදනම අධ්‍යාපනය මුදලට විකිණීම නතර කල යුතු බවය. පාරවල් දෙකක යන මේ ගොල්ලන් පසුගිය තීරණාත්මක සමයේ එකට එකතු වී විශාල හඬක් නැගීමට සමත් වූ අතර ආණ්ඩුව ඒවා නෑසුනු ගානට සිටින්නට විය. වැඩේ ටිකක් රත් වෙන විට ආණ්ඩුව තම සුපුරුදු බයිලාව වන මහින්දට වරද පැටවීමේ න්‍යාය අනුගමනය කළෝය. SAITM එක ඇරියේ මහින්දගේ කාලයේ බවත් ඒ නිසා වැරැද්ද එයාගේ බවත් මේ පශ්නය තමන්ගේ වරදක් නොවන බවත් එයාලා කීවෝය.

විවිධ පිරිස් මේ ප්‍රශ්නය මුල් කොටගෙන උසාවි යන බව දුටු ඔවුන් කීවේ උසාවියෙන් ප්‍රශ්නය විසඳලා දෙනු ඇති බවය. ඒ නිසා ඔවුන් GMOA එකේත් අන්තරයේත් සද්ද ගණනකට නොගෙන පැත්තකට වෙලා සිටියේ අධිකරණය මගින් ප්‍රශ්නේ ගොඩදාලා දෙනකල්ය. රටක වයිද්‍ය අධ්‍යාපනයත් වයිද්‍ය වරුන්ගේ ප්‍රමිතියත් නියාමනය කළ හැකි නිසි යාන්ත්‍රණයක් වන SLMC එකේ අදහස් කුණු කූඩයට දමමින් රජය, අධිකරණය දෙස බලා සිටියේය. රජය සිතූ ලෙසම අධිකරණ තීන්දුව SAITM එකේ පැත්තට ලැබුනු බැවින් රජය හිතුවේ ඒ උරචක්කර මාලෙන් තමන් ගැලවුනා කියලාය. නමුත් ඒ නිදහස් සිතුවිල්ලෙන් වැඩි කල් ප්‍රීති වන්නට ලැබුනේ නැත්තේ රජය සිහිනෙන්වත් නොසිතූ ලෙස SAITM විරෝධී බලවේගය තව තවත් බලවත් වෙමින් නැගී ආ නිසාය. අධිකරණ්ය පෙන්වා බය කරන්නට හැදුවත් වැඩේ නවතින පාටක් නැති නිසා රත්වූ රජය SAITM නියාමනය වෙනුවෙන් යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය ගත්තේය. ඇත්තෙන්ම එම යෝජනා ඉතා හොඳ සහ පෙරටුගාමි යෝජනා ලෙසයි මට නම් පෙනෙන්නේ. නමුත් ඒ යෝජනා ඉදිරිපත් කිරීමට රජය ලොවෙත් නැති ලෙස පරක්කු වුනේය. එම ප්‍රගතිශීලී යෝජනාවලිය එළි දකින විට SAITM විරෝධී පෙරමුණ ඉතා ප්‍රචණ්ඩ සහ බලවත් එකක් වී හමාරය. එහි තිබෙන ශක්තිය නිසාම දැන් එය රජය ගෙනෙනා යෝජනා වෙනුවෙන් හිස නමන්නට සූදානම් නැත්තේය. එහි අරමුණ වන්නේ හොඳින් හෝ නරකින් SAITM රජයට පවරා ගන්නටමය. ඒ යෝජනාවලිය දෙස බැලූ විටම තේරුම් ගත හැක්කේ SAITM හී ප්‍රමිතියේ අවුලක් ඇති බව රජයද පිළිගන්නා බවයි. එනම් මෙතෙක් කල් රජය ඇස් කන් පියාගෙන සිටියේ සැබවින්ම බාල දොස්තරලා එළියට විත් මේ රටේ රෝගීන්ට බෙහෙත් කරනකල්ද?.....රටේ අධ්‍යාපනය ගැන කිසිදා අගයීමක් නැති අපේ රටේ දේශපාලකයන්ගේ තරම මොනවට මේ යෝජනා හරහා එලි වී තිබේ. SAITM විරෝධී අරගලය මේ තරම් පෙරට නොආවා නම් රජය මේ බාල ප්‍රමිතිය එසේම පවත්වාගන්නට ඉඩ දෙනු ඇත. මේවන් නිද්‍රාශීලි වගකීම් විරහිත ගෝතයන්ගෙන් අපි කවදා නිදහස් වනු ඇත්දැයි සිහිනෙන්වත් හිතා ගන්නට අපහසුය.

මේ රජය බලයට පත්ව පැවැත්වූ පළමු අයවැය කතාවේදීම පෞද්ගලික වි.වි රට අවශ්‍ය බව තමන් පිළිගන්නා බවත් ඒ සඳහා  දිරිගැන්වීම ලබාදෙන බවත් පැවසීය. නමුත් SAITM ප්‍රශ්නයේදී රජය හැසිරුනේ ඇටි කෙහෙල් කෑ උගුඩුවන් ලෙසය. මුල සිටම රජය ඒ වෙනුවෙන් දැම්මේ shape න්‍යායකි. අනේ අපි නම් ඕවට නෑ පන්නයේ පිළිවෙතකි. නමුත් වගකිවයුතු රජයක් ලෙස ඔවුන්ට කල යුතුව තිබුනේ SLMC නිර්දේශ පිළිගෙන ඒ අනුව SAITM හී ප්‍රමිතිය නිසි තැනට ගෙන ඒමට කටයුතු කිරීමයි. නිසි ප්‍රමිතියක පවතින පෞද්ගලික වි.වි සඳහා රජයේ වගවීම මොනවට පෙන්වන්නට තිබූ අවථාවකි එය. ඒ හරහා තවත් ආයෝජකයන් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා උනන්දු කරවීමේ හැකියාවක් තිබිණි. SLMC එකත් සමග එක්වී නිසි නියාමන ප්‍රතිපත්තියක් සකසා සියලු වයිද්ය පීඨ සඳහා අවම ප්‍රමිතියක් ගෙන ආවා නම් එය මේ රටේ සෞක්‍යයයේත් අධ්‍යාපනයේත් අති මහත් ජයග්‍රහණයක් වනු ඇත. එසේ වූවානම් ගොබ්බ බේගල් තර්ක ඉදිරිපත් කරමින් රට රවටන GMOA මහත්වරුන්ගේ තර්ක ඉබේම පරඬැල්ව යනු ඇත. එතුමන්ලා ගෙන එන රැවටිලිකාර logic වල තරම පසුගියදා විකාශය වූ සලකුණ වැඩසටහ්නේදී මොනවට පැහැදිලිවිය. එනිසා මාසෙකට පමණ කලින් රජය ඉදිරිපත් කලේ මීට වසරකට පමණ කලින් ඉදිරිපත් කල යුතුව තිබූ යෝජනාවලියකි.

තතු එසේ වෙද්දී කියන්නට ඇත්තේ දැන් ඉතින් too late කියලාය. SAITM විරෝධී වි.වි ශිෂ්ය ප්‍රජාව එන්න එන්නම බලවත් ලෙස නැගී සිටින්නට පටන් ගෙන ඇත. එම බලවේගය ක්‍රම්ක්‍රමයෙන් ප්‍රචණ්ඩ බාවයටද පත්වෙමින් තිබෙන අතර දිගින් දිගටම ආරක්ෂක අංශ සමග ගැටීමේ ප්‍රවණතාව වැඩි වෙමින් ඇත. ඊයේ දිනයේදී පොලීසිය විහාරමහා දේවී උද්‍යානය තුලටද කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කලේය. කුඩා දරුවන් සමග තම විවේකය ගත කරන්නට ආ සාමාන්‍ය ජනයාද ඒ දරුණු ප්‍රහාරයට ලක්විය. දිගින් දිගටම ආරක්ෂක අංශ නිසා සහ රජය නිසා පීඩාවට පත්වන ජනයා එක් පෙරමුණකට ගොනු වීම වැලක්විය නොහැක. ඒ බව දිනෙන් දින පුළුල් වන SAITM විරෝධී වෘතීය සමිති එකමුතුවෙන් පෙනේ. පසු ගියදා කුරුණෑගලදීද පොලීසියට එරෙහිව ජනයා හඬ නැගුවේ SAITM අරගලයට සහය දෙමිනි.

නිද්‍රාශීලී වූත් වගකීම් විරහිතවූත් එකමුතුවක් නැති වූත් හවුල්  රජයක පිළිවෙත නිසා රට අරාජිකත්වයේ මාවතට පීලි පනින සෙයක් පෙනේ. සිසුන්වත් දොස්තරලාවත් අධිකරන නියෝග ගනනකට ගන්නේ නැත. ඒවා කකුලෙන් පාගා දමන එක දැන් දැන් fashion එකක් වීගෙන එයි. දොස්තරලා තමන්ගේ ඒකාධිකාරීත්වය රැකගන්ම සඳහාවූ බොරු ගොන්නෙන් රට රත් කරන්නේය. SAITM පාලක සභාව ද රජය කියනා දෙයක් කනකට ගන්නේ නැත. මේ උණුසුම පහවෙන තුරු බඳවාගැනීම් නතර කරන්නයැයි රජය විසින් කල ඉල්ලීම ඔවුන් කනකට ගත්තේ නැත. තමන් විසින්ම වෙඩි තියාගැනීමේ  රංගනයක් කල SAITM එකේ දොස්තර මහතාට එරෙහිව පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා අපිට පෙනෙන්න්ට නැත. නමුත් වි.වි ශිෂ්‍යයන් හරක් පටවන්නා සේ පොලිස් ජීප් තුලට ගාල් කර දමා රැගෙන යන්නේය. නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක වන බවට ආදර්ශයක් අපේ පියවි ඇසට දර්ශනය වන්නේ නැත. නීතියේත් යුක්තියේත් සමබර බව ඇස් ඉදිරිපිට දර්ශනය නොවන කල්හී සමාජය අරාජිකත්වය දෙසටම පල්ලම් බහින්නේය.

Tuesday, May 16, 2017

කලු පාට පස් ගොඩේ රතු පාට ලේත් ඇත





මැයි 18 යනු ලොව පැවති දරුණුතම ත්‍රස්ථවාදයක් ලංකා භූමියෙන් තුරන් කල දිනයකි. ඒ වෙනුවෙන් තම රාජකාරිය නොපිරිහෙලා ඉටුකල සැමදෙනාට අපේ ප්‍රණාමය හිමිය. එනමුදු ත්‍රස්ථ මානසිකත්වය  මේ ලෝ තලය පුරා සැමදා පවතින්නේය.එය අපි හැමකෙක් තුලම අඩු වැඩි වශයෙන් පවතින්නාවූ මනෝබාවයකි. ඒ මනෝබාවය ක්‍රියාවෙහි යෙදෙවෙන්නක් බවට පත්කරන්නේ එය පොහොර පස් දමමින් වැඩෙන්නට ඉඩදෙන සමාජීය බලවේගයන්ය. අතීතය පුරා කල අදූරදර්ශීවූත් කුහකවූත් ක්‍රියා කලාපයන් වලට ජාති ආගම් බේදයකින් තොරව සියලු දෙනා නොමසුරුව දායක වී ඇත්තේය. දේශපාලකයන්ගේ බලතණ්හාවත් ආගමේ නාමයෙන් රට වනසන පූජක පක්ෂයේ හීන මානයත් නිසා බිහි වූ පිස්සු පෙති කෑ අපේ උන්දලා නැටූ නාඩගම් නිසා, ඉතිහාසය පුරා ගලාගිය ලේ ගංගාව මැනිය හැකි එකක්ද?...රතුපාටින් ගලාගිය රුධිර දහරාවෝ වෙඩි බෙහෙත් සමග මුසුවී කළු පාටට පොළවට මුසු වුනේය. 18 වෙනිදා යනු පසට  මුසුවූ ඒ කළු පැහැති ඇලෙන සුලු ස්ථරය නැවත අතට ගෙන නිස්සාරණය කල යුතු දිනයයි. නිස්සාරණයෙන් පසු ලැබෙන රුධිර සාම්පලය කොටියෙකුගේද, රණවිරුවෙකුගේද, කඩල කාරයෙකුගේද, දේශපාලකයෙකුගේද කියා වෙන් කර හඳුනාගැනීමට අපිට නොහැකි වනු ඇත.ඒ නිසා 18 යනු ගාලු මුවදොර සන්දර්ශන පවත්වා,කිරිබත් කා පෙලපාලි ගොස් ආඩම්බරයෙන් උඩ පැනිය යුතු දවසක් නොවේය(2009 දී ඒ සමරපු සෑමරීම වෙනම කරුනකි).

18 යනු අපේ වැඩිහිටි පරම්පරාව එදවස ගලා ගිය රුධිර ගන්ගාව පෙන්වමින් තම දරුවන්ට, තමන්ගේ වැරදීම් හා දුෂ්ඨ චේතනාවන් පාපොච්චාරණය කලයුතු දවසක් වන්නේය.18 යනු අපට වැරදුනු තැන් මෙනෙහි කර පාඩම් ඉගෙනගත හැකි පුනරීක්ශන පන්ති පැවැත්වෙන දිනයකි.ඒ පන්තියේ උගන්වන ප්‍රධානතම පාඩම වන්නේ එදවස අපෙන් වසන් කෙරුනු උතුරු කඳුලේ උණුසුමයි. දකුණේ ගලාගිය උණුසුම් කඳුලු දියේ දිගින් දිගටම පිහිනූ අපිට, කිසිදා උතුරේ කඳුලු නොපෙනුනේය. සැබවින්ම එය එපිට නොපෙනුනා නොව වසන් කලාය. එදවස ක්‍රියාත්මක වූ  දෘෂ්ටිවාදී ව්‍යාපෘතිය නිසා අදටත් අපේ ඇස් කන් වැසී ඇති බව රහසක් නොවේ. අදටත් උතුරේ කඳුල සුසුම අපිට මුනගැසෙන්නේ නැත. එය මුන ගස්වන්නට පවතින අධිපති කතිකාව ඉඩතබන්නේ නැත. ඒ නිසා උතුරේ මිනිසුන් තවමත් අපිට අනෙකුන්ය. ඒ නිසා මැයි 18 පුනරීක්ෂණය කල යුතුමය. එවිට යුද්ධය යනු කිසිදාක මානුෂීය විය හැක්කක් නොවන බව අපිට පසක් වනු ඇත. යුද්ධය වෙනුවෙන් පළමු උණ්ඩය නික්මුනු මොහොතේදීම "මානුෂීය" වචනය ඝාතනය වී එතැන් පටන් එළඹි සෑම දිනයකදීම රතු පාට ලේ විලකුත්, පාටක් නැති කඳුලු විලකුත් පිරෙන්නට ගත් බවත්  ඉන්පසු ඒවා වෙඩි බෙහෙත් සමග මිශ්‍ර වී කළු පැහැති ඝන ස්ථරයක්ව, පස් සමග මිශ්‍ර වුනු බවත් අද අපි හුස්ම ගන්නේ ඒ පසෙන් උපන් දුහුවිල්ල බවත් ඔබට දැනෙනු ඇත.ඒ දුහුවිල්ලේ ඇත්තේ වැලි වල හෝ පස් වල ගන්ධය නොව දේශපාලන මුග්ධ බාවය යොදවමින් අකාලයේ අපෙන් වියෝ කෙරවූ මේ රටේ  මිනිසුන්ගේ ලේ වල ගන්ධයයි.


Sunday, May 7, 2017

නිවන දුටු එකාට ගල් ගැසීම 2 - සමන්ත භද්‍ර සාධකය




පළමු කොටසෙන් අපි කතා කලේ වසර 2000කට ආසන්න කාලයක් තිස්සේ විය නොහැකි භාවයක් කරා ගමන් කරමින් ඇති රහත් බවට alternative එකක් විදිහට ප්‍රචලිත වෙමින් එන පුද පූජා සංස්කෘතිය සහ සාහිත්‍ය මගින් අපේ සිත් තුල පැළ කරපු රහත් template එක ගැන. නිර්වාණ අවබෝධය ඊලඟ භවයක් කරා කල් දමමින් එන මේ ක්‍රියාවලිය හරියට අපිට ඉස්කෝලේ කාලේදී හම්බවුණු අමාරු ගණිත ගැටලු මග හැරීම වගේ එකක්. ( අර ඒ දවස් වල අළු පාට කොටුවක "වැඩිදුරටත්"  කියල සඳහන් කරල   හැම පාඩමකම අන්තිමට තියන තියන ගණන් දෙක තුන.). ඒ කාලේ සමහර අසීරු ගණිත ගැටලු ගුරුවරුන් විසින්ම අපෙන් ඉවත් කර දමනවා. "ඕවා විභාගෙට එන්නෙත් නෑ...මේ වයසට ගැලපෙන්නේත් නෑ ඔය තරම් අමාරු ඒවා" කියල. ඉතින් ඒ වෙනුවට, අපි විසඳන්න පුලුවන් , ටීචරුත් අමාරුවේ වැටෙන්නේ නැති විදිහේ ගැටලු විසඳමින් ඉගෙනීම කරනවා. ඇත්තටම ඉතින් ඒ කිව්ව අමාරු ඒවා විභාගෙට එන්නෙත් නැති නිසා කාටවත් ඕකේ අවුලක් නෑ. ඒ අතිශය අමාරු ගැටලු ටික විසඳන්න කාටවත් උවමනාවක් වෙන්නේ නෑ. අපෙන්  උඩ පන්ති වල ඉන්න එවුනුත් ඔය ගනන් ටික හදල නෑ කවදාවත්. නිවන් දැකීමත් ඒ වගේ. අපි කට්ටියත් එක්ක පුද පූජා ටිකක් තියලා නිර්වාන අවබෝධය ඊලඟ ආත්මෙකට කල් දානවා. නිවන් දැකපු කෙනෙකුත් සහස්‍ර දෙකකටම මුන ගැහිල නැති  නිසා කාටවත් එකේ අවුලක් නෑ.


කස්ටියත් එක්ක ඔහොම සන්තෝසෙන් ඔය වැඩ ටික කරගෙන ඉන්දෙද්දි මෙන්න එනවා සමන්ත භද්‍ර කියල කෙනෙක්. එයා කියනවා එයා බුදු දහමේ තියන නිර්වානය අවබෝධ කරගත්ත බවත් ඒ නිසා එයා රහතෙක් බවත්. මේ කියමන අපි ජීවත් වන fantasy එක සම්පූර්ණයෙන් කඩා බිඳ දමනවා. යකෝ අපි කරන්න බෑ කියල ( අවිඥානිකව ) හිතන් හිටපු දේ මෙයා කලේ කොහොමද කියල ලොකු ප්‍රශ්නයක් මතු වෙනවා. ඇත්තටම අවිඥානිකව කිව්වට එහෙමමත් නෑ මට හිතෙන්නේ. ඇත්තටම අපිට නිවන් දකින්න සැබෑ උවමනාවක් තියනවද?....මේ අධි පරිභෝජනවාධී සංස්කෘතියේ පීන පීන නාමින් ඉන්න අපිට මේ කම් සැප අතහැරීමේ උවමනාවක් ඇත්තටම තියනවද?....ඒ සැප අත්හරිනවාට වඩා හොඳ නැත්ද ඔය පිනක් දහමක් කරල, දිනෙන් දින අලුත් වන , අත්කරගැනීම පහසු වන  තාක්ෂණික ධනවාදයේ මිහිරෙන් නැහැවෙන එක ?....ආර්ය අෂ්ඨාන්ගික මගෙහි දිගටම යන්නේ නැතුව සම්මා වායාමයේ නූතන edition එකෙන් අපේ ගමන නතර කරලා දකින නිවනක් ඊලඟ ආත්මයක දකින එක? .......පෙනෙන හැටියට නම් අපි කැමති විදිහ ඒක තමයි. අපිට නිර්වාන අවබෝධය සැබවින්ම උවමනානම්  නම් සමන්ත භද්‍ර හිමියන් නිවන් අවබෝධ කරා කියල කිව්වම උන්වහන්සේගේ පන්සල ඉස්සරහ ලංකාවේ බෞද්ධයන්ගෙන් 80%ක්වත් පෙල ගැසිලා ඉන්න ඕනි නිවන් දකින විදිහ අහගන්න. මොකද අපිට අවුරුදු 2000කට පස්සේ ලැබෙන රහත් බවේ පළමු  උදාහරණය තමයි සමන්ත භද්‍ර කියන්නේ. නමුත් එහෙම උනේ නෑ. 80%ක්ම කලේ උන්වන්සේව සැක කරපු එක. තමන් විය නොහැකියි කියල හිතන් හිටපු මේ දෙය කරපු ඔහුව ප්‍රතික්ෂේප කරන විදිහක් බොහෝ දෙනෙක්ට උවමනා උනා. ඒකට උදව් කරගත්තු ප්‍රධාන අයුධය තමයි අපි රහත් බව ලෙස විශ්වාස කල template එක.....ඒක භාවිතා කරමින් හැමෝම ඇහුවා කෝ super powers කියලා. උඩින් යන්න පුලුවන්ද?, නාහෙන් ගිනි පිට කරන්න පුලුවන්ද, හිත් කියවන්න පුලුවන්ද එහෙමත් නැතිනම් දැක්ක පමණින් cool වෙලා යන රන්වන් විනීත පෙනුම තියනවද? .... .මේ කිසිවක් ඔහු ලඟ නෑ. ඉතින් එහෙනම් කොහොමද රහත් කියන්නේ ?.....


සමන්ත හිමියන් රහත්ද නැතිද කියන්න නයියාට දැනුමක් නෑනෙ. ඇත්තටම ඒක කියන්න කාටවත් හැකියවාක් නෑ මං හිතන්නේ. නිර්වාණ අවබෝධය ගැන කියවලා තියන තරමින් මට හිතෙන විදිහට ඒක පුද්ගලයාට තමන් විසින් විඳිය හැකි දෙයක්. එය තමන් විසින් අවබෝධ කරගෙන තෘෂ්ණාව කියන සාධකය නැති කරගත් විට තමන් ඇතුලාන්තයෙන් අත් දකින දෙයක්.නමුත් ඒ දේ පිළිගන්න අපි ලෑස්ති නෑ. එකක්, අපිට කැමැත්තක් නෑ අපි ගත කරමින් ඉන්න සහ තව දුරටත් වර්ධනය කරගන්න ආසාවෙන් ඉන්න මේ පරිභෝජනවාදී ක්‍රමයට මද විරාමයක් හෝ දෙන්න. දෙක, අපි කැමති නෑ විශ්වාස කරන්න කවද හෝ අනාගත භවයක අපි රහත් උන දවසක අපිට ලැබෙන්නේ super powers නැති inner peace විතරක් තියන තත්වයක් කියන එක. ප්ලේන්ටියක් බොන්න ගියත් සෙල්ෆියක් ගහල fb දාලා මම ප්ලේන්ටී බොනවෝ "feeling පට්ට" කියලා දාන, පන්සලකට ගියත් තමන් කරපු දේවල් ලෝකෙට පේන්න photos ගහලා, තැන් තැන්වල කියවලා  වපුරවන, සංස්කෘතික ප්‍රදර්ශනකාමයක් දක්වා පරිණාමය උන අපිට පිළිගන්න බෑ රහත් බව කියන්නේ ලෝකෙට පේන්න පොඩි වැඩ කෑල්ලක්වත් දාන්න බැරි තත්වයක් කියලා.

සමන්ත භද්‍ර සාධකය කියන්නේ මෙන්න මේ fantasy නිර්වාණයෙන් අපිව මුදව ගන්නා ක්‍රියාවලියට. සැබවින්ම ඔහු රහත්ද නැතිද යන්න අපිට අදාල නෑ. වැධගත් වෙන්නේ ඔහු විසින් නිරුවත් කරන fantasyගත ආගමික අධිපතිවාදය. ඔහුගේ ක්‍රියාවලිය හරහා අපිට පේන්න ගන්නවා අපි මෙතෙක් කලක් බුදු හාමුදුරුවන් ගැන පවා එලඹිලා ඉඳලා තියෙන්නේ සාහිත්‍ය කරුවන් මැවූ සුරංගනා කතා ලෝකයක කියලා. ඔයාට ඇයි මෙච්චර ලොකු පන්සලක් ? ඇයි මෙච්චර සල්ලි වියදම් කරන්නේ කියල අහනකොට , ඔහු අපිට උදාහරණ ගේනවා ජේතවනාරාමයේ විශාලත්වය හා ඒ කාලේ දුන්නයි කියන කහවණු කෝටි ගනනක දාන මාන ගැන. බුදුන් වහන්සේ උදෙසා දීපු ඒ ලොකු ලොකු පන්සල් , කහවණු ගණනක දාන මාන අපි මෙතෙක් කල් පාවිච්චි කලේ බුදුන්ගේ සහ රහතුන්ගේ වටිනාකම සහ අද්විතීය භාවය ගැන කියන්න පුලුවන් පම්පෝරියක් හැටියට.නමුත් ඔහු කියන දේ හරහා අපිට පේන්න ගන්නවා සාහිත්‍ය විසින් අපිව කොයි තරම් අන්දලාද කියලා. ඒ ඇන්දීමේ ඵලයක් හැටියට තමයි අපේ මිනිස්සු දහම් පාසලෙන් පටන්ගත් ජාතක කතා පොතේ ලස්සන කතා සාධු සාධු කිය කිය මැරිල යනකල්ම කියවන්නේ.ඊට එහා විනිවිද යන කියවීකට සූදානමක් කවදාවත් නෑ.දේවවාදී ආගම් සමග තිබුණු නිල නොලත් අරගලයන් වල සහ බුද්ධාලම්බන ප්‍රීතිය වැඩිදියුණු කිරීමේ අරමුණු  වල ප්‍රතිඵල ලෙස බිහිවූ මේ සාහිත්‍ය නිර්මාණ අපිව කෙතරම් සැබෑ බුද්ධ දේශනාවෙන් ඈත් කරලද කියන එක වටහාගන්න සමන්ත භද්‍ර සාධකය ඉතා වැධගත්. නමුත් කණගාටුවට කරුණ වෙනේ ඔහුගේ අනුගාමිකයන් ඔහුගේ මග පෙන්වීම යටතේ fantasyගත බෞද්ධ අධිපති රාමුවෙන් මිදෙනකොටම ඔවුන් ගිහිල්ලා සම්න්තභද්‍රගේ රාමුවට ඇලෙනවා. තඩි තඩි බුදු පිළිම , දේව පිළිම , පළතුරු පූජාවෙන් මිදෙන ඔවුන් නතර වෙන්නේ සමන්ත භද්‍රගේ තඩි පිළිමයක් හදලා ඒකට පාට පාට මල් පූජා පවත්වන තැනකින්. සමන්ත හිමියන්ගේ ඇතැම් අනුගාමිකයන් facebook හරහා ඔහුට කඩේ යන්නේ දේශපාලකයන්ට කඩේ යන ටොයියොන්ට බයියොන්ට හා ජෙප්පොන්ටත් අන්ත විදිහට. බහුතරයක් එහෙම නොවේවායි අපි ප්‍රාර්තනා කරමු....... කරුණු එසේ වුවත් මේ වෙසක් කාලය විචක්ෂ්ණශීලීව දහම නැවත කියවීමකට හොඳ කාලයක්. ඉතින් වැඳිල්ල පැත්තකින් තියල කස්ටියත් එක්ක පොත පත පොඩ්ඩක් කියවන්න ගමු.

Friday, May 5, 2017

නිවන දුටු එකාට ගල් ගැසීම -1






"නිර්වාණය".....මේක තමයි බෞද්ධ විමුක්ති මාර්ගයේ අවසානය හඳුන්වන නම.නිර්වාණය අවබෝධ කර ගැනීම එහෙමත් නැතිනම් නිවන් දැකීම කියන්නේ තෘෂ්ණාව නැති කිරීම කියලා සරලව කියනවා. තවත් විධිමත් ආකාරයට කියනවානම් අවිද්‍යාවෙන් තොරව තතු පරිද්දෙන් දැනගැනීම  හෙවත් සත්‍ය අවබෝධ කිරීම. "නිර්වානයත් සංසාරයත් අතර වෙනසක් නැත" කියල මහායාන කියමනක් ඇති බවට වල්පොළ රාහුල හිමියන්ගේ "බුදුන් වදාළ ධර්මය" පොතේ සඳහන්. ඒකෙන් අදහස් වෙන්නේ එකම දෙයක් දෙස  අවිද්‍යාවෙන් බලන්නාට සංසාරයත් ප්‍රඥාවෙන් බලන්නාට නිර්වාණයත් වේ කියන අදහස. නිවන කරා ලඟාවීමට ආර්ය අෂ්ඨාංගික මගෙහි ගමන් කල යුතු බවත් එමග අවසනදී සියලු කෙලෙසුන් නසා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් නිවන සාක්ෂාත් කරගත හැකි බවටත් සඳහන් වෙනවා.

බුද්ධ කාලයේ මේ කියන මාර්ගය ඔස්සේ ගිහින් නිවන් අවබෝධ කරගත් රහතන් වහන්සේලා විෂාල ප්‍රමාණයක් ගැන අපිට අහන්න ලැබෙනවා. බුදුන්ගේ පිරිනිවනින් පසු ක්‍රම ක්‍රමයෙන් ලංකාව දෙසට බර වන බෞද්ධ සංස්කෘතික ඉතිහාසය තුල අපිට අවසන් වරට රහතන් වහන්සේලා ගැන අහන්න ලැබෙන්නේ අනුරාධපුර යුගයේදී. දුටු ගැමුණු රජතුමා රුවන්වැලිසෑය ගොඩනගන විට ඒ හා බැඳුනු රහතන් වහන්සේලා විෂාල ප්‍රමාණයක් ගැන ඉතිහාසයේ ලියවී තිබෙනවා.ඊට අමතරව මලියදේව කියන ලක්දිව අවසන් රහතන්වහන්සේ නමක් අපිට මුන ගැහෙන්නෙත් දුටු ගැමුණු යුගයේදීමයි. ඊට අවුරුදු 500ක් විතර යනකලුත් රහතුන් හිටි බවට අත්තනගලු වංශයේ සඳහන් වෙලා තියන බවත් කියවෙනවා. කොහොම නමුත් ලාංකීය සින්හල බෞද්ධ බොහෝ දෙනා, අන්තිමට රහතුන් හිටි බවට දන්නේ බුදුන්ගේ කාලය  හෝ දුටු ගැමුණුගේ කාලය. නයියාට උනත් අත්තනුගල වංශයේ කතාව අහු උනේ වැඩි පුර හොයන් යද්දී. ඒ නිසා රහතන් වහන්සේලා පිලිබඳ අපි දන්නා විස්තරය අඩුම ගානේ අවුරුදු 2000කට වඩා පැරණි එකක්.

වසර  2000ක් විතර පැරණි මේ දැනුම විසින් අපි ඉස්සරහ මවන රහතා Super Man වර්ගයේ Template එකකින් නිර්මිත කෙනෙක්.ඒ බොහෝ දෙනා විවිධ වර්ගයේ මානසික හා ශාරීරික super powers වලින් යුතු අය.ඉතින් මේ රහතන් වහන්සේ කියන කෙනා අපේ හිත් වල ඉන්න වීර චරිතයක් වගේ. ඔවුන්ට හිත් කියවන්න පුලුවන්, අහසෙන් ගමන් කරන්න පුලුවන්, නාසයෙන් ගිනි විදින්න පුලුවන් ආදී මෙකී නොකී ගොඩක් වැඩ දාන්න පුලුවන් අය. නිවන ලෙස මුලදී සඳහන් කරපු දේ කෙසේ වෙතත්, මේ අයගේ කැපී පෙනෙන දේ උනේ මේ ඉර්දි ප්‍රාතිහර්යයන් පෑමේ හැකියාව. ඊට අමතරව සමහරක් අය දුටු පමනින් සිත නිවී යන තරම් ශාන්ත වූ අය බව සඳහන්. හින්දු ආගමේ ඉන්න විවිධ බල පරාක්‍රමයන්ගෙන් අනූන දේව සභාවේ කතන්දර ඒ කාලෙ ජනයාගෙ ( බුදුන් පිරිනිවන් පා කලක් ගියාට පසු කාලයේ ) සිත් වසඟ කරගත්තාට සැකයක් නෑ. එහෙම බලද්දී තමන් හිසට තම අතමය සෙවනැල්ල වගේ කතාවක් කියන බුදු දහම ජනප්‍රිය බවින් අඩුව යන්නට ඇති ඉඩ කඩ බොහෝ වැඩී. එය වලක්වා ගැනීමේ අරමුණින් මේ super powers තියන රහතන් වහන්සේලාගේ කතා බිහි වෙන්නට ඇති. ඊට අමතරව දෙවියන් පවා පොළවට වැඩලා ඔවුන්ට නමස්කාර කරන කතන්දර මේකට ඇතුලු වෙන්නේ, දෙවියන් පවා රහතුන්ට, බුදුන්ට යටයි කියල මතුකරමින් දේවවාදී ආගම් දෙවනි තැනට ඇද දැමීමේ අරමුණ ඇතිව විය යුතුයි. ඒ නිසාම බුදුන්ගේ පිරිනිවනින් පසුව බිහි වන සාහිත්‍ය හා චිත්‍ර කලා නිර්මාණ වලදී රහතුන් මවන්නේ රැස් වලල්ලක් තියෙන , උඩින් යන්න පුලුවන් , රන්වන් පාටින් බබලන අනික් අයගෙන් පැහැදිලිව වෙන් කරල හඳුන ගන්න පුලුවන් භෞතික ලක්ෂණ විෂාල ප්‍රමාණයක් එක්ක. විය හැකි පරිදිම මෙහිදී සිත පිලිබඳ විග්‍රහය යට යමින් පිට ඔපයට පෙන්වන්න පුලුවන් භෞතික ලක්ෂණ සමූහයක් උඩට එනවා.

ඉතින් ඔය කියන template එක අනුව තමයි අපි දන්න කියනා රහතා නිර්මාණය වෙලා තියෙන්නේ.බහුදේව ආගමක් වන හින්දු ආගම සමග ඇතිවන තරඟය ජයගැන්ම සඳහා බෞද්ධ සාහිත්‍ය විසින් මවන මේ template එක ඉතා දක්ෂ ලෙස කල වියමනක්.  ඔය template එකට අනුව රහත් බව ලබන්න ඕනි කෙනෙකුට ආසාවක් ඇති වෙන්න ඕනි. නමුත් ඒ සඳහා ගමන් කල යුතු මාර්ගය බෞද්ධ සාහිත්‍ය තුලින් මවපු විච්චූර්න powers තරම් happenning නෑ. නිවන් මාර්ගය කියන එක සම්පූර්ණ්යෙන්ම ඉලක්ක ගත වෙලා තියෙන්නේ පුද්ගලයාගේ සිත අරමුණු කරගෙන. සියලු බැඳීම් වලින් සිත නිදහස් කරගෙන මැදහත් සිතින් ලෝකය බලන සමීකරණයක් ඒක. මුලදී පැහැදිලි කලා වගේ තෘශ්ණාවෙන් සිත ගලවාගන්නා මග ලේසි පහසු මගක් නෙවී. ක්‍රම ක්‍රමයෙන් පරිභෝජනවාදය කරා දිශානත වී, පරිණාමය වෙමින් පැවති ලෝකයක එය එන්න එන්නම කල නොහැකි දෙයක් බවට පත් වුනා. විසඳන්න උවමනාවක් නැති සමීකරණයක් බවට පත් වුනා. ඒ නිසා සමාජයක් ලෙස මේකට උත්තරයක් හොයාගන්න අවශ්‍ය උනා. ඒ නිසා තමයි ඉතා සූක්ෂ්ම ලෙස ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා වායාම කොටස ප්‍රමුඛ කර ගැනීමේ ව්‍යාපෘතිය ඇරඹෙන්නේ. ශීල ගනයට අයත් වන සම්මා - වාචා, ආජීව, කම්මන්ත කියන කොටස් ඒ වන විටත් සමාජ ආචාර ධර්මයන් ලෙසත් රටේ නීති පද්ධතියටත් ඇතුලු වෙමින් තිබ්බ. සම්මා වායාම එහෙමත් නැතිනම් යහපත් වෑයම කියන මේ කොටසට තමයි කුසල් සමග ගනු දෙනු කරන කොටස ඇතුලත් වෙන්නේ. විස්තර සහිතව ගන්නවා නම් නූපන් අකුසල් ඉපදීම වැලැක්වීම, තමාතුල පවතන අකුසල් නැති කිරීම, නූපන් කුසල් ඉපදවීම හා උපන් කුසල් දියුණු කිරීම. ඉතින් මේ සම්මා වායාමය highlight කරලා අරගෙන විවිධ වර්ගයේ පුද පූජා ගොන්නක් එය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ඉතිහාසය පුරා හඳුන්වා දෙනවා. ඊට පස්සේ කාලෙක හින්දු බලපෑම නිසා ගැටගැසෙන ආත්මවාදයත් එක්ක තව තවත් මේ පුද පූජා ස්ථරයේ අවශ්‍යතාව වැඩිවෙන්න ගන්නවා

මේක කාගේවත් කූට ව්‍යපෘතියකට වඩා බෞද්ධයන්ගේ සාමූහික විඥානය තුලින්ම ඉල්ලා සිටි හා ක්‍රියාත්මක කෙරුණු වඩ පිලිවෙලක් ලෙසයි නයියාට හිතෙන්නේ. ඊට අමතරව රාජ්‍ය බලයත්, ආගම වෙනස් කිරීමේ ප්‍රධාන සාධකයක්. රජා ධාර්මික කරන්න කියලා දේශපාලනේට ගෑවෙන හමුදුරු ගොල්ල නතරවෙන්නේ රජ මාලිගාවේ තියන සැප සම්පත් පන්සලට අරන් ඇවිල්ලා. ඒකට අවශ්‍ය පදනම වැටෙන්නේ දුටු ගැමුණුගේ යුද්ධයේ ආරම්භයත් එක්ක. හාමුදුරුවරු විසින් මහා විශාල  මනුශ්‍ය ඝාතනයන් පවා නොපැකිලව සාධරණීකරනය කරන්න ආරම්භය ගන්නේ එළාර දුටු ගැමුණු යුද්ධයෙන්. නැවත මාතෘකාවට ආවොත් ක්‍රමයෙන් ඈත් වෙමින් යන නිවන සාක්ෂාත් කරගැනීමේ අඩුව පිරිමහන්න තමයි මේ පුද පූජා, ශාන්ති කර්ම හා දේව වන්දනා ආදේශ වන්නේ. මේ දේවල් ඉතා ශක්තිමත් වෙමින් ඉදිර්යඉදිරියටම ගමන් කරනවා. මොකද මේවා එක්ක මුදල කියන සාධකය ගැටගැසිලා තිබ්බ නිසා. ධනවාදී සමාජ ක්‍රමය බිහි වීමත් සමග මූලික වන මුදල නිසා  ක්‍රමයෙන් ද්‍රව්‍යකරණය වෙන සමාජයට පුද පූජා template එක අපූරුවට පෑහෙන්න ගන්නවා. විසඳීමට අපහසු සමීකරණයක් මත්තේ නැහෙනවා වෙනුවට මේ අලුත් template එක අපිට විසඳන්න පහසු එකක් වෙනවා. ඒකෙන් යෝජනා කරනවා මේ ජීවිත කාල්යේ පුලුවන් තරම් දන් දීලා, පුද පූජා පවත්වලා පිං ගොඩක් රැස් කරගෙන , ඊලඟ ආත්මයකදී නිවන් දකින්න try කරමු කියලා. පේනවනේ හරිම simple plan එකක්. මේ මාර්ගයේ ගමන් කරන්න සිත පිලිබඳ සිහියක් හෝ විදසුන් වැඩීමක් අවශ්‍ය නෑ. කරන්න තියෙන්නේ පුලුවන් තරම් හම්බ කරලා ඒකෙන් යම් කොටසක් පිං තකා වියදම් කිරීම පමණයි.  ඒක ධනවාදී සමාජ ක්‍රමයත් එක්ක හරියටම ගැලපෙනවා. නිර්වාණ අවබෝධය නැතිනම් රහතෙක් දැකීම කියන එක අනුභූතිකව විය නොහැකි තත්වයට පත් වෙන්නේ මේ ක්‍රියාවලිය අනුව. ඒ නිසා අපි සමාජයක් ලෙස අවුරුදු 2000ක් තිස්සේ නිවන් අවබෝධ කරන එක කල් දමමින් ඉන්නවා.හැබැයි අපි අර රහත් template එක අමතක වෙන්න දෙන්නේ නෑ. කරන්නාවූ සියලු පුද පූජා ,දාන මාන හා දේව වන්දනා අතරෙහි හාමුදුරුවරු අපිට පොඩි මතක් කිරීමක් කරනවා ලබන ආත්මයක නිවන් ලබන්න ඔනියි කියලත්. ඒ වගේම රහත් බවක් පිලිබඳ අවුරුදු 2000ක් තිස්සේම අනුභූතික සාක්ෂියක් නැති අපි අවිඥානිකව රහත් බවේ විය හැකි බාවය ප්‍රශ්න කරනවා.