Sunday, August 26, 2018

අන්තරය තරාදියට දැමීම




"අන්තරය" සහ "ශිෂ්‍ය අරගල" යනු මේ දවස් වල ඇති ජනප්‍රියම මාතෘකා වලින් එකකි.. ඉතින් වැස්සකට වගේ අපිත් කැම්පස් ගොඩවී ඇති නිසා මේ ගැන යමක් නොකියා ඉන්නට අමාරුය. හතරවටේ ඒ ගැන ලියවෙන, කියවෙන දෑ ඇසූ විය කට කසන්නට ගනී. ඉතින් ඒ කැසිල්ලට පිළියමක් ලෙස මේ කතන්දරය ලියවෙන්නේය.

සබරගමු සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨය බිහි වන්නේ 1993 දීය. එය ආරම්භයේදී බුත්තල අනුබද්ධ විශ්ව විද්යාලය විය. අධ්‍යාපන , නවාතැන් සහ ජල අර්බුධ වලින් පිරි එම කටුක ජීවිතයට තිත තැබිය යුතු බවට ශිෂ්‍යන් මෙන්ම ආචාර්‍ය වරුන්ද විශ්වාස කළහ. පීඨය සබරගමු සරසවි මවු පරිශ්‍රය තුල ස්ථාපනය කරන ලෙසට වූ ඉල්ලීම ඒ අනුව බිහි වන්නකි. කිසිදා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු ඒ ඉල්ලීමට ජීවය දෙන මහ සටන ඇරඹුනේ 2007 ඔක්තෝම්බර්  20 වැනිදාය.  සියලුම සිසුන් තම බඩු බාහිරාදිය රැගෙන බස් රථ වල නැගී බුත්තල පරිශ්‍රය හැරදා බෙලිහුල් ඔය බලා පිටත් වූහ. ඒ සාක්ච්ඡා හෝ ඉල්ලීම් වලින් තමන්ට කිසිදා යහපතක් නොවූ තැනය. හල්දුම්මුලේදී ඔවුන්ට පොලිස් මාර්ග බාධක වැටිනි. පොලීසිය සිසුන් පැමිණි සියලු බස් රථ ආපසු හරවා යැවූහ. ඔවුන්ට හරවා යැවිය හැකිවූයේ බස් රථ පමණි. සිසුන් තම බඩු භාණ්ඩ අතින් කරින් ගෙන නැවත ගමන ඇරඹුවෝය. එසේ පැමිණි ගමන අවසන් වූයේ සබරගමු සරසවි පරිශ්‍රයෙනි. අනෙක් පීඨ වල සිසුන්ගේ සහය ඇතුව සබරගමු මවු පරිශ්‍රයේ සිට කෙරුණු උද්ඝෝෂණ, පා ගමන්, විරෝධය පෑම් අවසන් කරන්නට සිදුවූයේ එදවස පාලානාධීකාරිය විශ්ව විද්‍යාලයට සපයන ජලය අවහිර කරමින්, දින කිහිපයක් යද්දී විශ්ව විද්‍යාලය වසා දැමීම නිසාය. බෙලිහුල් ඔය, බලංගොඩ ආශ්‍රිතව කෙරුණු සටන් එලෙස නිහඬ කරනු ලැබීය. 

නමුත් නොවැම්බර් 10 වෙනිදා සටන නැවත ඇරඹුනේ කොළඹ UGC ය ඉදිරිපිටදීය. UGCයට පාගමනින් පැමිනි සිසුන් එය ඉදිරිපිට වාඩිලා ගනිමින් සත්‍යග්‍රහයක් ඇරඹූහ. එය දින 28ක් පුරා පාරේ නිදාගනිමින්, පාරේම උයාගෙන කමින් ගත කල දින 28කි. 29වන දිනයේදී පොලීසිය විසින් පහරදී සත්‍යග්‍රහය විසුරුවාහරිනු ලැබීය. ශිෂ්‍ය නායකයින් තිදෙනෙක් අතඩංගුවට ගනු ලැබීය. දෙසැම්බර් දහවැනිදා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සහයත් සමග අති විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවති අතර එය මර්ධනය කර්ණු ලැබුවේ දරුණු පොලිස් ප්‍රහාරයක් එල්ල කරමිනි. එහිදී සිසුන් 10 දෙනෙකු අත් අඩංගුවට ගැනිනි. දෙපාර්ශවයෙන්ම එල්ල වූ පහරදීම් නිසා රජයේ වාහන වලට අලාබ හානි සිදු වූ අතර සිසුන් වැඩි ප්‍රමාණයක් තුවාල ලැබූහ. ඇතිවන අසහනකාරී තත්වයට විසඳුමක් ලෙස  දෙසැම්බර් 12වෙනිදා රජයේ පාර්ශවයෙන් සාකච්ඡා ලබා දුන් අතර එහි අවසන් තීන්දුව වුනේ  2008 මාර්තු 15 වෙනිදා වන විට විද්‍යා පීඨය සබරගමු පරිශ්‍රය තුල ස්ථාපිත කිරීමට අවසර ලබාදීමය. ඒ නිකම්ම නොව අලුතෙන් පීඨ සංකීර්ණයක් ලබාදීමේ පොරොන්දුවත් සමගය. එමෙන්ම අලුත් උපාධි අධ්‍යයනාංශ දෙකක්ද ඊට එක්විය. අද දක්වාත් Applied එකේ සැමරෙන "යදම් මතින් නැවුම් බිමට" ඉතිහාස කතාව කෙටියෙන් එසේය.

මේ කතන්දරය කියන්නේ නිකම්ම නොවේ. වසර 2010 දී සබරගමුවට යන මට ඉගෙන ගන්නට සිදුවූයේ කුකුල් කූඩු වැනි දේශන ශාලා තුලය. වසර 4ක සිසුන් 400දෙනෙකුට පමණ එහි තිබුණේ දේශන ශාලා 4ක් පමණය. එයිනුත් එකක් වෙනත් පීටයකට අයත් එකකි. ඊට වඩා විශාල හොඳ පන්ති කාමර අපේ ඉස්කොලේ තිබුණේය. අපි මාරුවෙන් මාරුවට දේශන ශාලා සොයා යමින් විශ්ව විද්‍යාලයේ එහා කොනටත් මෙහා කොනටත් ඇවිද්දෙමු. 2008 මුලදී පොරොන්දු වූ පීඨ සංකීර්ණයේ මුල් ගල ඉහළට එසවුණේ ඉතා සෙමිනි. ඒ සඳහාත් නොනවතින අරගල රැල්ලක් විශ්ව විද්‍යාලය තුල ඇතිවිය. දිනෙන් දින ඉදි කිරීම පමාවුනු එය යථාවක් කරගැනීම සඳහා තවත් වසර දෙකකට වඩා ගත විය.  අවුරුදු ගණනාවක් පැවති මේ අරගල රැල්ලේ සිටි බොහෝ දෙනාට අලුත් පීඨයේ පොළවට පය තැබීමේ වාසනාවක් උදා වුනේ නැත. ඔවුන්ගේ ඉගෙනුම් කාලය පුරාම එය සිහිනයක් උදෙසා සටන් කිරීමෙන් පමණක් ගතවිය. සබරගමුවේ අද පවතින පීඨ සංකීර්ණ සියල්ල පාහේ දීර්ඝ කාලීන ඉල්ලීම් සහ සටන් වලින්, කොළඹ පොලව රත් කල පාගමන් වලින් උපත ලද ඒවාය. සමහරෙක්ට මෙය විහිලු කතාවක් ලෙස සලකා "ඕවා උඹලා කෑගැහුවත් නැතත් ලැබෙනවා " යැයි බැහැර කල හැක. ඒත් ඒවා විහිලු නොවූ බව, වසරේ එක් කාලයකට වතුර නැති කමින් වහන්නට සිදුවුනු සරසවියක ඉගෙනුම ලැබූ සහ සටනේ යෙදුණු බොහෝ දෙනා දනිති. ලංකාවේ වි.වි බොහෝ ප්‍රමාණයකට මේ කතාව වලංගුය.

දින කිහිපයකදීම මට 2008ට පෙර කාලයේ සිටි ආදි සිසුන් සරසවියට පැමිණි විට මුන ගැසී ඇත. ඔවුන් සියලු දෙනාගේම පාහේ මුවින් පිටවූ මුල්ම වචන ටික වූයේ යමුද "අපේ" facultyය බලන්න, කියන එකය. ඒ කිසිවක් ඔවුන් සරසවිය තුල පය ගසා සිටි සමයේ බිහිවූ පීඨ සංකීර්ණයන් නොවේ. නමුත් ඔවුන් පය ගසා සිටි හැම දවසක් පාසාම සිහින දුටුවේ ඒවා ගැනය. ඒ සිහිනය හැබහින් තම පයට දැනෙන විට, හැබහින් තම දෑස ඉදිරියේ තිබෙනු දුටු උන්ගේ නෙත් වලට ඉනූ සතුටු කඳුලු මට තවමත් මතකය. ඒ කඳුලු මේ දැන් මගේ ඇස්වලින් ගලන්නේය. ඒවා නොදුටු පරපුරක යහපත උදෙසා කළ සටන්වලින් උපත ලද කඳුලු වන්නේ  එසේය.

ඒවා එසේ වෙද්දී "අන්තරය", අපි බොහෝ දෙනෙකුට මේ කාලයේ හතුරා වෙමින් ඇත්තේය. මේ යන්තරය මේ අරගල වල භූමිකාවක් වන්නේ කෙසේද?. ඉහත කී කතාව අනුවම කියනවානම් මේ ප්‍රාදේශීය අරගල ජාතික මට්ටමට ගෙන යාමේ මහා කර්තව්‍ය කරමින්ය. එය යම් යම් විශ්ව විද්‍යාල වලට විශේෂිත වූ ගැටලු වල සිට රටේ සමස්ථ අධ්‍යාපන/උසස් අධ්‍යාපන ගැටලු දක්වා විහිදෙන්නකි. පිරිස් බලයෙන් අඩු හෝ කොළඹින් ඉතා දුර බැහැර ඇති විශ්ව විද්‍යාලයන්හී අරගලයන්හී ප්‍රබලතාව වැඩි කිරීම සහ ජනතාව අතරට ගැටලුව ගෙනයාම සඳහා අන්තරය මැදිහත්වේ. එමෙන්ම විශ්ව විද්‍යාල අතර සම්බන්ධය එකිනෙක යා කරමින් සිදුවන තවත් ක්‍රියාකාරකම් බොහොමයකින් එය සමන්විතය. ඔය අරගලයන්ට අමතරව අන්තරය කල යුතු බොහෝ දෑ ගැන මීට කලින් ලියා ඇති නිසා (1, 2) දැන් ඒවා ආයේ ලිවිය යුත් නැත.

පහු ගිය කාලයේ සිදුවූ 6% අරගලය, සයිටම් අරගලය යනු සමස්ථ අධ්‍යාපන ගැටලු මුල් කරගත් ජාතික මට්ටමේ අරගලයන්ය. ප්‍රශ්නය වන්නේ මෙවැනි අරගල හේතු කොටගෙන සාමාන්‍ය ජන ජීවිතයට සිදු වන බලපෑමයි. ඒ නිසා මේ පන්නයේ විරෝධතා වලට යම් ස්වයං විනයක් හා පාලනයක් අවශ්‍ය වන්නේය. නමුත් වැදගත් කරුණක් වන්නේ සාමාන්‍ය  ජනයාට හිරිහැරයක් නොවන ලෙස මෙවැනි අරගලයන් සිදු නොවීමයි. මේ පන්නයේ ඒවා සිදු කිරීමේ අරමුණ වන්නේ රජය අපහසුතාවට පත් කරමින් රජයේත් , රටේ ජනතාවගේත් අවධානය අදාළ ගැටලුව සඳහා යොමු කර ගැනීමයි. රටේ සාමාන්‍ය ජන ජීවිතය අඩාළ වීම යනු රජයක් අපකීර්තියට හා අපහසුතාවට ලක් වෙන සිදුවීමකි. එමෙන්ම එය රටේ ආර්ථිකයට අහිතකරය. ඒ නිසා රජයකට ඒ ඒ අරගලයන්ට හේතු වන ගැටලු විසඳීම සඳහා බල කෙරෙන්නේය. මෙය එක් අතකින් බැලුවහොත් යම් ත්‍රස්ථවාදී එළඹුමක් ලෙස වුවද නම් කළ හැක. එනිසා ජන දිවිය අඩාළ කරන අරගල එළඹුම් වලට සෑහෙන තරමේ විනයක් අවශ්‍ය වේ. එනම් ඒවා සිදුවිය යුත්තේ ගත හැකි අවසන් ක්‍රියා මාර්ගයක් ලෙස මිස සතියෙන් සතිය කළ යුතු දේව මෙහෙයක් පන්නයෙන් නොවේ.

පහුගිය කාලය පුරා සිදුවූ සයිටම් අරගලය තුළ එවැනි හික්මීමක් තිබුණාදෝයි සැක සහිතය. කෙටි කාලයක් තුල වැඩි උද්ඝෝෂණ ව්‍යාපාර ප්‍රමාණයක් සංවිධානය විය. එය ජයග්‍රහණයෙන් කෙලවර වූ පසු වෙනත් ඉල්ලීම් මුල් කොටගත් උද්ඝෝෂණ ව්‍යාපාරයන් පෙර තීව්‍රතාවෙන්ම සිදුවන්නේය. අවසානයේ රටේ පොදු ජනයා හැමතිස්සේම පාහේ බැටකන තත්වයට පත්වෙන්නේය. ඒ නිසා අන්තර්ය ප්‍රමුඛ සරසවි සිසුන් කියනා යම් සත්‍ය කරුණක් වේද, එය යට ගොස් තරහව, අපාහසය පමණක් පොදු ජන සිත් වල පැලපදියම් වෙන්නේය. මෙය අන්තරයත් , සමස්ථ සරසවි ශිෂ්‍ය ප්‍රජාවත් හොඳින් තේරුම් ගත යුතු වන්නේය. අනෙක් කරුණ අන්තරය යනු සහමුලින්ම අහිංසක ඉල්ලීම් උදෙසා සටන් කරන ව්‍යාපරයක් නොවේ. එයට අදාළ දේශපාලන පක්ෂ මූලයන් තිබෙන්නේය. ඉතින් සමහර අර්බුධ කාල වලදී මේ දේශපාලන මූලයන්හී යටි අරමුණු අන්තරය හරහා වි.වි වලට රිංගා ඒවායේ තත්වය අවුල් කිරීම යනු විය හැකි දේවල්ය. වි.වි සිසු ප්‍රජාව ඒවා ගැන සවිඥානික විය යුතුය. අන්තරය යනු හොඳ මිතුරෙකු මෙන්ම තත්වයන් අවුල් කල හැකි ලෝකයෙකු බවද සිත්හී තබාගැනීම වැදගත්ය.

මේ සියලු කරුණු මෙසේ තියෙද්දී පසු ගිය දවසක විජේදාස රාජප්ක්ෂ උන්නැහේ නවක වදය සම්බන්ධයෙන් අන්තරයට හොඳටම දෙහි කැපුවේ, තවත් වල්භූත චෝදනා කුට්ටියක්ද ගමගිනි. ඒ වල්භූත ඒ තරම් ගණන් ගතයුතු ඒවා නොවුනත් නවකවදය යනු අමතක කර අත පිහදා ගත හැකි මතෘකාවක් නොවේ. වාර්තාවලට අනුව පසුගිය වසර දෙක තුල 2000කට ආසන්න පිරිසක් නවක වදය නිසා වි.විද්‍යාල හැරගොස් ඇත. දෙදහක් නොව එක් අයෙකු වුවද නවකවදය නිසා වි.වි හැර යනවානම් එය සරළ කරුණක් නොවේ. ලහිරු වීරසේකර මේ සම්බන්ධයෙන් කියන්නේ අන්තරය නවක වදයට විරුද්ධ බවත්, රටම කුණු වී ඇති තත්වයක් තුල වි.විද්‍යාල තුල මෙවැනි පසුගාමී තත්වයන් ඇති වීම ගැන මහා කතිකාවක් අවශ්‍ය බවත්ය. ඔහුට අනුව අන්තරයට පමණක් එය නවැත්විය නොහැක. ඒ සඳහා සරසවි ඇඳුරන්ගේත් , විද්වතුන්ගේත් , සමාජයේත් සහය සපිරි කතිකාවක් අවශ්‍යය. ඒ කතාවේ ඇත්තක් ඇත. නමුත් පසුගිය වසර ගණනාවක් පුරා අන්තරේ කැඳවුම් කරුවන් ඔය නවක වද ප්‍රශ්නය ඝැන කියන්නේ ඔය ටිකය. විද්වත් සමාජයේ මැදිහත්වීමක් ඊට අවශ්‍ය විය යුතු උනත් ඔය නවක වද කෙරුවාව පාලනය කරනවා නම් එහි අති විශාලම බලපෑම කළ හැක්කේ අන්තරයට මිස වෙන කාටවත් නොවේ. ඒත් නවකවද මාතෘකාව ගැන කතා වෙද්දී අන්තරය හරි අබල දුබලය. නමුත් තමන්ගේ අනික් ප්‍රශ්න වලදී ආණ්ඩුවේ හැම බලයක් සමගම හැප්පෙන්නට තරම් අන්තරය ශක්තිමත්ය. නවකවදය සම්බන්ධයෙන් අන්තරය මේ දිව දෙකේ කතා වලින් වැලකී රිජුව මැදිහත් වීම අත්‍යවශ්‍ය වන කාලයක් උදා වෙමින් ඇත. රට පුරා ඇති සරසවි හා උසස් තාක්ෂ්ණ ආයතන තුළ විවිද තීව්‍රතාවයන්ගෙන් යුත් නවක වද ක්‍රියාවලීන් සිදු වන්නේය. ඉන් සමහරක් ඉතා සුන්දර සිනහමුසු ඒවා වෙද්දී අනික්වා සමාජයට ලීක් වුනොත් රෙද්දක් ඇඳන් පාරේ බහැලා යන්නට බැරි තරම් ජුගුප්සාජනකය, හිංසාකාරීය.  තමන්ගේ පාර්ශවයේ ඇති මේ ලොකුම කැත කමට එරෙහිව සැබෑ සංගායනාවක් අරඹන්නට හැකි නම්, ලහිරු..... වීරයා උඹය.


2 comments:

  1. හරි, ඔය සබරගමු විශ්වවිද්‍යාල කතාවට එමුකෝ. දැන් ඔහොම බෙලිහුල් ඔයට ගෙනාවා කියමුකෝ. ඒත් ඔය පීඨයන් කිහිපයක් ඔතනින් රත්නපුර පැත්තට ගේන්න හිටපු යෝජනාව ගැන ඔබේ සිසු සටන මොකක්ද කියන්නේ? ඇත්තටම බෙලිහුල් ඔය පැත්තේ ඔය පීඨ ගෙන ඒ එමේ සටන පිටිපස්සේ හිටියේ ඔය පැත්තේ තමන්ගේ ගෙවල් හදාගත්ත ආචාර්යවරු කීපදෙනක් නෙවෙයිද? ඒ වගේම බුත්තලින් පීඨය ගෙන එකට ලෙඩ දැම්මේ විශ්ව විද්‍යාලයද නැත්නම් ඒ පැත්තේ දේශපාලුවෙක්ද? බුත්තලින් පීඨය ලෙස ගෙන ආපු භාණ්ඩ වලට මොකද වුනේ? අද දවසෙත් ඔය කැම්පස් එකේ ඔයලා සටන් කරලා ගෙනාපු පීඨයට ළමයි ඇතුලත් වීම එන්න එන්නම අඩු වෙන්නේ අතිශය දුෂ්කර ඔය වගේ පැත්තක පීඨය පිහි‍ටුවීමේ අවුල හින්දද?

    ReplyDelete
  2. ලංකාවෙ අනිත් දේශපාලකයො ගැන වැරදි හැමදාම හැමෝම කිව්වට ඒ අය වගේම විශ්වවිද්‍යාලයේ ලොකුවට දේශපාලනේ කරන අයත් කපටියි, වංකයි කියල තේරෙනව නවක වදය ගැන කතා කරාම ලිස්සල යන හැටි දකිනකොට

    ReplyDelete