Monday, July 23, 2018

රෙදි වැල




මීට කලින් ලියමනේදී සුප්පා කිව්ව ස්විච් එකකින් ක්‍රියාත්මක වෙන රෙදි වැල ගැන ලියද්දි පොඩි අතීත සිදුවීම් ටිකක් මතකෙට ආවා වැල ගැන. වැල කිව්වේ රෙදි වැල. රෙදි වැල වටා බිහිවෙන සන්නිවේදන යන්ත්‍රණය , එදා සංජා කියපු මානව සම්බන්ධතා කෑල්ලටත් හේත්තු කරන්න පුලුවන් වගේ දැනුනු නිසා මේ ටික කුරුටු ගාන්න හිතුනා.

ඉස්සර අපි පොඩි කාලේ අපේ වත්ත හතර මායිම තාප්පයකින් සලකුනු කරලා තිනුනේ නෑ. තිබ්බේ කුරුඳු පොලු වලින් හා කටු කම්බි වලින් මායිම වෙන් කරගත් භූමි ප්‍රමානයක්. වටේ පිටේ තිබ්බ හැම ඉඩමක්ම තව එකකින් වෙන්වුනේ ඒ වගේ කම්බි වැටවල් වලින්. ඉතින් කාට කාටත් අල්ලපු ඉඩමේ උදවියත් එක්ක බොහොම පහසුවෙන් සම්බන්ධකම් පවත්වන්නත් එකිනෙකාගේ භූමි ප්‍රමානයන් තුල සිදුවන දෑ බොහොම පහසුවෙන් දැක අසා ගන්නත් පුලුවන් වුනා. ගෙයින් එලියට බැහැලා වත්තේ පිටියේ ඇවිදිනකොට, මිදුල අතුගානකොට, සෙල්ලම් කරනකොට එහෙමත් නැතිනම් රෙද්දක් වැලට දාන්න යනකොටත් අහල පහල උදවිය තම තමන්ගේ වතු වල ඉඳලා ටිකක් උස් හඬින් එහා වත්තේ ඉඳන් මෙහා වත්ත දක්වා ඕප දූප, දුක සැප, ආ ගිය දේවල් ගැන කතා උනා . වෙන කාටවත් ඇහෙන්න ඕන නැති එකක්නම් වැට මායිමටම ඇවිත් කසු කුසුවේ යෙදුනා. ඒ අවිධිමත් අදහස්  හුවමාරුවීම් අතර මට මතක තියන සිත්ගන්නාසු සන්නිවේදන කලාපයක් තමයි රෙදි වැල එහෙම නැත්නම් රෙදි වැනීමේ ක්‍රියාවලිය එක්ක බැඳුනු ඉක්මන් සන්නිවේදන කලාපය.

අපි පොඩි කාලේ ඉඳලම ඉතින් අපේ ගෙදර සියලු ඇඳුම් කැඩුම් හේදුවේ අපේ අම්මා. අපි ටිකක් ලොකු වයසට ආවම  අනේ අපොයි  කියලා ජොක්කු ටික හෝදගත්තා මිසක් වෙන රෙද්දක් නම් හේදුවේ නෑ . අම්මා ඉතින් නැහීගෙන උදෙන්ම රෙදි ටික හෝදලා වැලට දානවා. ඊට පස්සේ දවල්ට රෙදි ටික අනික් පැත්ත ගහලා , අව්ව වැටෙන්නේ නැති තැන් වල තියන ඒවා අව්වට ගෙනත් දානවා, ඒ වෙද්දි වේලිලා තියන රෙදි තියනවා නම් ගෙට ගේනවා. හවස් වෙලා අන්තිම අව් රැල්ල නිවිලා යද්දි ඔක්කොම රෙදි ටික ගෙට ගන්නවා.  වටේ තියන හැම ගෙදරකම  ගෑනු උදවිය ඔය වැඩ ටික එකම වෙලාවක වගේ තමයි කරන්නේ. ඉතින් එහා ගෙදර වැලේ ඉඳන් මෙහා ගෙදර වැලට ක්ෂණික සන්නිවේදනයන් ගලා යනවා. "අද නම් අව්ව සැරයි නේද නැන්දේ?", "අද නම් රෙදි කන්දක් හේදුවා නංගී", "අද නම් රෙදි ටික වේලගන්නවත් අව් රැල්ලක් නැති හැටි" , "හවසට මහ වැස්සක් එන පාටයි, බලලා රෙදි ටික ගෙට ගන්න වෙයි අක්කේ",..... ඔය වගේ රෙදි වේලීමේ කරුමාන්තේ එක්ක සම්බන්ධ කෙටි කතා බස් හැමදාම වගේ වෙනවා.

උයන එකට අමතරව දවසේ තියන බරපතලම රාජකාරිය වෙන අපේ රෙදි කන්ද හේදුවට පස්සේ අම්මා අපට කියන දේ තමයි එයා උයන වෙලාවට හරි හවසට පොඩ්ඩක් නිදියන වෙලාවට හරි වැස්සොත් හෙම රෙදි ගෙට ගන්න කියන එක. අපරාදේ කියන්න බෑ ඉතින් අපිට පැවරුනු ඒ සුලු රාජකාරිය පවා අපි අපූරුවට ඉෂ්ඨ කලා. ගොඩක් වෙලාවට සිද්ද වෙන්නේ පොතක, film එකක, නැත්නම් මල් කැඩිල්ලක එල්ලිලා ඉන්න අපට වහින එක ගැන හාං කවිසියක් නැතුව යන එක. ඉතින් අම්මා කුස්සියේ ඉඳන් කෑ ගහනවා "වහිනවා රෙදි ගන්න කියලා...". අපේ කුසීත කමේ තරමට , දිග ඇදිලා ඇඟ මැලි කඩලා හෙම කාමරෙන් එලියට යන්තම් අඩිය තියනකොට  අම්මා ගෙයි එහා කෙලවරේ වත්තේ කෙලවර දක්වාම දුවලා රෙදි වලින් භාගයක් අරගෙනත් ඉවරයි. අපි ඉතින් බැනුම් අහගෙන ඉතුරු වෙලා තියන රෙදි කෑල්ලක් දෙකක් අරගෙන එනවා ලොකු වැඩක් කලා වගේ. ඉතින් ඒ වගේ වෙලාවට කවුරු කවුරුත් තමන්ගේ වැලවල් වල තියන රෙදි හනි හනික උස්සගෙන ගෙට දුවන් එනවා. හරියට අවුරුදු උත්සවේක ක්‍රීඩාවක් වගේ. ඔන්න ඔය වෙලාවල්වලට අල්ලපු ගෙදර වැලේ රෙදි උස්සන් දිවීම වෙනුවෙන් තරඟකරුවෙක් සහබාගී වෙලා නැත්නම්  මේ ගෙදර කෙනා කෑ ගහලා කියනවා "නැන්දේ  වහිනවෝ....රෙදි ගන්නනනනනනනනන....." කියලා. ඒ ගෙදරින් කෙනෙක් ආවේ නැත්නම් තමන්ගේ තමන්ගේ රෙදි ටික ගෙට ගත්තට පස්සේ ඉස්පාසුවක් තිබ්බොත් අල්ලපු ගෙදර රෙදි වැලට දුවලා ඒ ගෙදර රෙදි ටිකත් වැස්සෙන් බේරගන්න තරම් ඒ ඒ ගෑනු උදවිය උදව්වට ලැදි උනා. කොහොමත් ඒ දවස් වල ගේට්ටු හෙම තිබ්බෙත් නැති නිසා ඉක්මනට හැම වත්තකටම ඇතුල් වෙන්න පුලුවන් සුටුස් ගාලා. එහා ගෙදර රෙදි ටික වැස්සට තෙමිලා යද්දි මෙහා ගෙදර ගෑනු එහ ගෙදර රෙදි වෙනුවෙන් හීල්ලුවෙ, රෙදි හෝදන යුද්දේ තරම ඔවුනොවුන් හොඳටම දන්න නිසා.

තාප්ප ගේට්ටු නැති සරල දිවිය නිසාම අපි O\L කරන කාලේ ගෙව්වේ හරිම කලබලකාරී දිවියක්. අපේ ගෙදර උන්ට ගේ අතුගාන්න, මිදුල අතුගාන්න, රෙද්දක් හෝදන්න උදව්වක් තියා ඒවා කෙරෙන්නේ කොයි වෙලාවටද කියලවත් නොදැන හිටි අපි. සියඹලා ගහ ගෙදර අක්කා රෙදි වනන වෙලාව, පොඩි එකා සෙල්ලම් කරවන වෙලාව, රෙදි ගෙට ගන්න වෙලාව එහෙම හොඳට දැනන්  හිටියා. ඒ ගෙදර අක්කා ඒ දවස් වල අපේ ජනප්‍රියම සහ ආදරණීයම චරිතයක්. ඒ කාලේ දැන් කාලේ වාගේ නෙවෙයි කෙල්ලෝ කොටට අඳිනවා කියන එක සෑහෙන්න දුලබ දෙයක්. ඒකටත් එක්ක සියඹලා ගහ ගෙදර අක්ක ඇන්දේම කොටම කොට සාය කෑලි. අක්කා ඒකත් ඇඳන් පොඩි එකා එක්ක, රෙදි වැල එක්ක, සුලඟත් එක්ක අල්ලන ඔට්ටු ඉතින් පුන්චි අපිට බලන් ඉන්න හරිම ආසයි. නොදන්න කමටනේ ඉතින්...

ඒත් පස්සෙ පස්සෙ කාලයේ සහ ක්‍රමයේ දියුණුවත් එක්ක හැම ගෙදරකම වගේ උස් උස් තාප්ප ලොකු ලොකු ගේට්ටු ගැහෙන්න ගත්තා. දැන් ඉතින් එහා ගෙදර රෙදි වැල මෙහා ගෙදරට පෙන්නේ නෑ. කොට සාය කෑල්ල ගහගෙන රෙදි වැලත් එක්ක ඔට්ටු වෙන අක්කියා පේන්නෙත් නෑ. රෙදි වනනකොට වෙන කතා බස් වගේම වැස්සකදි එකිනෙකාගේ රෙදි බේරගන්න කරපු උදව් කිරීමත් වෙන්නේ නෑ. තාප්ප සහ ගේට්ටු ගැහිල්ලේ සංවර්ධන ප්‍රයාමයත් එක්කම රෙදි වැල හා බැඳුනු සන්නිවේදන කලාපයම හේදිලා ගියා.තාප්ප ගැහිල්ල නිසා කෙල්ලොන්ට හෙම දැන් දැන් තමන්ගේ තන පට , යට ඇඳුම් එහෙම හංගලා  වනන්න ඕනත් නෑ මයේ හිතේ. අපි නම් සුපුරුදු පරිදි ජොක්කු ටික විතරක් හෝදලා උන්ව ඔය කොහේට හරිදාලා පාඩුවේ දිවි ගෙවනවා. ජොක්කු ටික මද්දහනේ ගිනි ගහන අව්වට කරකූටං වෙලා, හවස් වෙද්දි හමන සිසිල් සුලඟට ලෙලෙදෙනවා හරියට කරන්ට් එක වැදිලා වයර් එකෙන් පහතට මැරිලා එල්ලෙන වවුල්ලු වගේ. ඒක හරිම සුන්දර දර්ශනයක්. ජොකා මට ආදරෙයි, මාත් ජොකාට ආදරෙයි. මගේ ජොකාට බුදු සරණයි.

5 comments:

  1. දැන් නම් වැලේ වනන්නේ නෑ මගේ හිතේ...
    ඒ වැඩේත් යන්තරයෙන්ම කරනවා නේ...

    ReplyDelete
    Replies
    1. යන්තරේ ආපු නිසා අතින් රෙදි හෝදන යුද්ධෙ නිම වුනු එක ලොකු සහනයක්.ඒත් අපේ පැති වල නම් ගොඩක් දුරට තවම අතින් තමයි.

      Delete
  2. ‍යකූ පටන් ගත්තේ වැලෙන් ඉවර කරේ ජොකාගෙන්............ජොකාට ජය වෙවා... (තඩියා)

    ReplyDelete
    Replies
    1. අපේ ඉතිහාසයට අනුව වැල බිහි වුනේ අමුඩ ලේන්සුව වනන්න ඕන වුන නිසානේ බං. ඒ නිසා ජොකාට ඒ ගෞරවේ දෙන්න ඕන.

      Delete