Saturday, February 8, 2020

හැම තැනම දුම(11th Epi) ජොයින්ට් ගහපු පරණවිතාන



'වි' යන්නෙන් පටන් ගත්ත වචනෙ මම අවසන් අකුර ලියමින් නැවැත්තුවේ ඇගේ පිට මත නැවතීමේ තිතකුත් තියන ගමන්.


'කෝ , ලතා නැද්ද ?' මැන්ඩි ඇහුවා.එයා වචනේ තේරුම් අරං බව පැහැදිලියි.

' නෑ විජ්ජු විතරයි'. මම නැවත වරක් ඈතින් ඇඳෙන විදුලි කෙටීමක් දිහා බලන් කිව්වා. සමහරවිට එයා වචනේ තේරුම් ගත්තේ සීගිරි අහස මත්තේ ඇඳෙන විදුලි එලි දැකලා වෙන්න පුලුවන්. ඒත් නිරුවත් පිටක් මත යාන්තමට ඇතිල්ලෙන දබරැඟිල්ලක් කියන්නේ දෑස් අඩවන් කරවන සත්කාරකයෙක්. ඇස්පියවීගෙන යන මොහොතක විදුලිය දකින්න විදිහක් නෑ.

'ඇත්තටම ඔය චිත්‍ර වලින් කියවෙන්නේ විදුලියයි මේඝයයි ගැනද. ඒක හරිම exaggerated explanation එකක් මට හිතෙන්නේ'

'Sure එකටම පරණවිතාන ජොයින්ට් එකක් ගහලා ගල වටේ කැරකෙන මොහොතක වෙන්න ඇති ඕක හිතුනේ'

'විකාර අනේ ඔයාට නම්.....පිදුරංගල විහාරයට මල් අරං යන ලඳුන්. ඒක තමයි හරිම explanation එක මං හිතන්නේ. ලේසියි ' මාව පිට උඩින් පෙරලන්න උත්සහා ගනිමිනුයි එයා සරලමතික විග්‍රහයට ගියේ.

'ඔයා ලෙනියාගේ සින්දුව අහලා තියනව ද. ලද නිලුපුලන් රැහැනින් වෙලී'

'Who is ලෙනියා' මැන්ඩි මූණ පොඩි වුනු පත්තර කොලයක් තරමට රැලි ගස්සමින් කල්පනා කරන්න ගත්තා.

'සමන් ලෙනින්'

'Ah..yes. that කොන්ඩෙ බොකුටු බොකුටු guy නේද . He has amazing voice'.

මං සින්දුව විස්තර කරන්න ගත්තා. බුදල් ගේ කුරුටු ගීය ගැන එහෙමට විස්තරයක් නොදැන හිටියත් සින්දුවේ හැටියට කියවෙන බුදල්ගේ සමාජ දේශපාලන විග්‍රහය ගැන කිව්වා. කිසිදු සද්දයක් බද්දයක් නැතුව මගේ ගීත විචාරය අහං හිටි මැන්ඩි මනෝ පාරකට වැටෙද්දි මාත් ඒ හා සමාන්තරව මගේම කල්පනා ලෝකෙකට ගියා. ඇත්තටම පිදුරංගල ගල තරමටම තමන් විදින දුක් කන්ද මොහොතකට බිමින් තියන්න මල් අරං මුණිඳු පුදන්න ආපු ගෑණු කීයකට අන්තිමට කාශ්‍යපගේ ඇඟ ගිනි නිවන්න සිද්ද වෙන්න ඇද්ද. පීතෲ ඝාතක පාපය මදිවට අනාගතේ මතුවෙන්න නියමිත තවත් ලෝකාපවාදයක් හංගන්න ඕන කමට, කැලෑ පත්තර වදින්න නියමිත බිත්තියක සිතුවම් අන්දලා තාප්ප ලස්සන කරන සෙල්ලමේ නිර්මාතෲ බිහි වුනා නෙවෙයිද. මේඝලතා කියන්නේ අඬාගන්න බැරුව හිනාවුනු, කියාගන්න බැරිව ගොලු වුනු , ඒ ගොලු බව නිසාම බරවුනු වැහිවලාකුල් ගොන්නක සංකේතය නෙවෙයිද. විජ්ජුලතා කියන්නේ කල්පයක් තිස්සේ ගොලුවෙලා ගොලුවෙලා හිත ඇතුලෙන් කැකෑරි කැකෑරි තිබ්බ දුක් අඳෝනාවක හදිසි පිපිරුමක දීප්තිමත් එලිය නෙවෙයිද. කැටපත් පවුර කියන්නේ ඒ අඳෝනාවේ , පැමිණිල්ලේ දීප්තිමත් විදුලි එලිය සඟවන්න හදපු, ඒ හදිසි එලිය විදුලියක් නෙවී කැටපතට වැටුණු හිරු එලියක පරාවර්තනයක් පමණයි කියල ලෝකෙට කියන්න හදපු ආවරණයක් නෙවෙයිද. ඒක පුරා ලියවුනු කුරුටු ගී කියන්නේ සැබෑ අසාධාරණය යට ගහන්න මාධ්‍ය පුරා විසිරෙන හඬ පට වගේ ඇස් වලට වැලි ගහපු වන්දිබට්ට කියුම් ලියුම් නෙවෙයිද. ඇත්තටම කලාවැව පිරුණේ සීගිරි ආලකමන්දාවේ අලංකාරය මැද හිරවුණු සදාකාලික සිරකාරියන්ගේ කඳුලු වලින් නෙවෙයිද.

'කොහේද පාවෙන්නේ. රෑ වේගෙන එන්නේ. එකක් ඔතා ගත්තොත් සීගිරිය දිහා බලන්ම සඳ ගමන යන්න පුලුවන්' මැන්ඩි මගේ දැහැන බින්දා. මම දෙවනි පාරටත් ගලෙන් පහලට පෙරලුනා.

'මට වැරදුනා. පරණවිතාන ඒ වෙලාවේ ජොයින්ට් ගහලා ඉඳලා නෑ' මම පේපර් පැකට් එක හොයන්න ඇඳෙන් බිමට පනින ගමන් කිව්වා.


Tuesday, February 4, 2020

හැම තැනම දුම(10th epi) - නිරුවත් පිටක් උඩ අකුරු සෙල්ලම

"පිදුරංගල...ඒක නේද ලියන්න යන්නේ ?".

"ලියලා ඉවර වෙනකල් උත්තරේ කියන්න බෑ මෝඩයෝ. සිංහල තේරෙන්නේ නැද්ද.." මැන්ඩි පිටට හයියෙන් පාරක් දුන්නා. අඩුම ගානේ ඇඟිලි තුනක්වත් පිට මැද්දෙ කැටයම් වෙන්න ඇති ඒ පාරෙ සැරට. එදා දවසෙ සිද්ද උනු දෙවනි වටේට පස්සේ එයා හිටියේ මගේ පිට උඩ අකුරු ලියමින්. ඇඳුම් ඇඳගන්නවත් ඉඩ නොදී මැන්ඩි පටන් ගත්ත අකුරු සෙල්ලම ජයටම කෙරීගෙන යනවා.ඒසී එකේ සීතලට ගොදුරු උනු නිරුවත් පිට මත ලාවට තැවරෙමින් යන එයාගේ දබරැඟිල්ල නිසා හිරුගඩු පිපෙනවා අවාරෙටත්. ඇඟිල්ලෙන් පිට උඩ ලියවෙන අකුරු තෝරන්න තමයි මට තිබ්බේ. වැලි පීල්ලේ අකුරු ලියනවා වගේ හරියට. Virtual අකුරු ලියවෙන පිටට කියන්නේ පිට පීල්ල ද එතකොට.

එයා ස්පර්ශයෙන් ලිව්ව පලවෙනි අකුර "මැ" යන්න. දෙවනි අකුර "ට්" යන්න. "මැට්ටා නේද ලියන්න යන්නේ." මම ඇහුවා.
" අයියෝ ලියලා ඉවර වෙනකල් කියන්න ඔට්ටු නෑ." එයා පිට පිහිදුවා.
"මොකක්ද ඒ කලේ"
" ලියපු ටික මැකුවා".
"මකන්න දෙයක් නෑනේ. ඇත්තට මුකුත් ලියවිලා නෑ නේ."
"මැට්ටෙක්ම තමයි කිසි රොමෑන්ටික් ගතියක් නැති".

"පි" වලින් පටන් ගත්ත දෙවනි වචනේ තමයි ඇඟිලි තුනක කැටයමක් එක්කරපු පාරකින් අවසන් උනේ. බොරු කේන්තියක් මවාගත්තු මම එයාව පෙරලගෙන පිට පැත්ත හරවගත්තා. පිට පැත්ත හරවන්න ලෝබයි නිරුවත් ඉස්සරහක ඇති ලස්සන දේ බොහොම නිසා. ඒත් දැං හංස සෙල්ලම් බලන වෙලාව නෙවී අකුරු කරන වෙලාව. ඒ නිසා අකුරුලියන්න හරවගත්ත පිට පොත. පිට පොත පෙරලුවාම නැවත නැවතත් තහවුරු වෙන්නේ ගැහැණු දිගු පිටක ඇති ලස්සන. සමහරවිටෙක කලබලය නිසාම මග හැරෙන ඒ ගලාහැලෙන චමත්කාරය.....මං ඒ දිහා බලං දැහැනකට සම වැදුනා. උරහිස් කඳු මතින් පල්ලං බැහැලා රිද්මීයව ගලා හැලෙන කොඳු නාරටි සානුව දිගේ පහලට ගෑටුවා. ඊට පස්සේ ආයෙමත් කොන්දෙන් පටං අරං නාරටි සානුව දිගේ උඩහට ගිහින් උරහිස් කඳු නැගං දිගු ගෙල දිගේ හෙමින් ගමනක් ගිහින් එයාගෙ කොන්ඩෙට උඩින් ඈතින් පේන සීගිරි ගල මුදුනට ගොඩ වුනා. ගල මුදුනේ මාලිගේ ඉඳන් අපි ඉන්න තරු පන්තියේ හෝටල් කාමරය දිහා බැලුවා. ආලකමන්දාවේ ඉඳන් බලද්දී ඈතින් පේන ඇඳ මත වැතිරිලා මැන්ඩිගේ මුහුණ දැක්කම , සරාගය ඉතිරෙන ඒ ඇස් දෙක දැක්කම ඒ නාරි දේහයේ අලංකාරය ගලක ඇඳෙන චිත්‍රයකින් විතරක් අහවර කරන් හිත හදාගන්න පුලුවන් ද?.

"මොකෝ කරන්නේ ලියන්නේ නැද්ද?" මැන්ඩි මගේ දැහැන බින්දා. ආලකමන්දාව උඩ ඉඳන් මම මැන්ඩිගේ පිට උඩට පෙරලුනා. සීගිරියට පර්‍යාය දෙන හැන්දෑ අහස් තලය ලා කහපාටින් දිස්නය දෙමින් තිබ්බේ සොබාදම් සිත්තරා තම පින්සලේ තැඹිලි පාට තවරගෙන ඊලඟ පින්සල් පාර එල්ල කරනකල් වෙන්න ඕන. මැන්ඩිගේ දිගු පිටත් ඒ කහපාටින්ම දිස්නය දෙනවා. මේ තියෙන්නේ අහසේ දිස්නයද නැත්නම් කැටපත් පවුරේ දිස්නය ද ?. මොන දිස්නය උනත් ඒක අකුරු ලියන්න ආරාධනා කරන දිස්නයක් නම් නෙවී. ඈත අහසේ විදුලියක් කෙටුවා. රත්වීගෙන එන හිත තත්පර ගානකට පාලනය කරගෙන මම පලවෙනි අකුර ලිව්වා....."වි" .