Sunday, September 30, 2018

නවක වදය ගැන






මේ සටහන ලියන්න පාදක වෙන්නේ සැප්තැම්බර් 12වෙනිදා විකාශය වුනු දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසහනයි. සරසවි නවක වදය කියන්නේ පහුගිය මාසය තුල මෙරට ජනතාව සහ සමාජ මාධ්‍ය සත්වයන් සියලු දෙනා පාහේ උඩ දාගෙන තලපු මාතෘකාවක්. මේ වෙද්දි ඒ මාතෘකාවේ උණුසුම පහවෙලා ගිහින්. උණුසුම පහ වුනු මේ වගේ වෙලාවක් තමයි එවැනි ආන්දෝලනාත්මක මාතෘකා ගැන කතා කරන්න තියන හොඳම කාලේ වෙන්නේ.  මොකද මේ වගේ වෙලාවක තමයි තම තමන්ගේ පක්ෂපාතීත්වයන්, න්‍යාය පත්‍රයන් පොඩ්ඩකට බිමින් තියල නිස්කාන්සුවේ මෙවැනි ප්‍රශ්න දිහා බලන්න පුලුවන් වෙන්නේ.

එදින සාකච්ඡාව ආරම්භ කලේ මේ මතෘකාව බෝම්බයක් ගැහුවා වගේ එලියට ගන්න ක්‍රියා කරපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයා. එතුමා අතිශය සාම්ප්‍රදායික දේශපාලකයෙක් වගේ මේ මාතෘකාව පැටලෙව්වා. ඒ කියන්නේ ඔහුගේ කතාවෙදි ඔහු රටේ උසස් අධ්‍යාපනයේ තියන ගැටලු කන්දරාවම නවක වද ක්‍රියාවලිය නිසා ඇතිවෙන්නක් ලෙස අර්ත ගන්වන්න හැදුවා. එතුමා කියන විදිහට පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඇති ඉල්ලුම වැඩි වීම, රජයේ වි.වි වල දරුවන්ගේ ඉංග්‍රීසි හැසිරවීමේ දුර්වලතාව, රැකියා වෙලඳපොලේ රැකියා සඳහා වැඩි අවස්තාවක් පෞද්ගලික වි.වි සිසුන්ට ලැබීම ආදී සියල්ල සිදුවන්නේ නවක වදය නිසා. රටේ උසස් අධ්‍යාපන ප්‍රමිතියේ සහ ක්‍රියාවලියේ ඇති ව්‍යුහාත්මක ගැටලු නිසා ඇතිවන මෙවැනි ප්‍රශ්න නවක වදය මත පැටවීම කියන්නේ , නවක වදය කියන කරුණ සම්බන්ධයෙන් පෙනී සිටින අයට කරන උදව්වක්. මන්ද, එවිට නවක වදය නම් නිශ්චිත ගැටලුව උසස් අධ්‍යාපන ක්‍රියාවලියේ ගැටලුත් සමග මුසු වෙලා අතිශය තනුක වෙනවා. අමාත්‍යවරයාගේ මේ ප්‍රවේශය මේ ප්‍රශ්නය අවුල් කරලා මාතෘකාව වෙනත් දිශාවකට ගෙනයන විහිලුවක් බවට පත් වෙනවා.

උදාහරණයක් විදිහට මෙරට සරසවි බොහෝ ප්‍රමාණයක පාඨමාලා පැවැත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. දේශන, විභාග, presentation , viva මේ සියල්ල සිදු කෙරෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එවැනි ක්‍රියාවලියක් තුල සිසුන්ට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අවම හෝ නිපුණතාවක් ලබා ගැනීම අනිවාර්‍‍ය වෙනවා. ඒ සඳහා ඔවුන්ගේ ස්ව්‍යං පෙලඹුමක් ඇති කිරීමට අදාල තත්වයන් විසින් පොළඹවනවා. ඒ අවමයවත් ඔවුන් ලබා නොගන්නේ නම් එය එම වි.වි වල ඇගයුම් ක්‍රියාවලියේ ඇති දුර්වලතාවයක්. ඒ කෙසේ වෙතත් අප මතක තබා ගත යුත්තේ වි.වි යනු ඉංග්‍රීසි උගන්වන තැන් නොවන බවයි. අවුරුදු 13කටත් වඩා කාලයක් ඉංග්‍රීසි භාෂාව පාසල් මට්ටමෙන් සහ ටියුෂන් පන්ති වලිනුත් ඉගෙන ගෙන පැමිනෙන සිසුන් ඉංග්‍රීසි කෙරෙහි දුර්වලතාවෙන් පෙලීම ලංකාවේ සුලබ කරුණක්. ඉන් බොහෝ දෙනෙක්ට අත්තේ කථනයේ දුර්වලබව. එයට ප්‍රධාන හේතුව වන්නේ ඉංග්‍රීසි කථන මාධ්‍යයක් ලෙස පාවිච්චි නොවීම.  එම අඩුව වි.වි වලින් පිරවිය හැකිනම් එය කල හැකිවන්නේ අදාල ඇගයුම් ක්‍රියාවලි තදින් සිදුවී ඒ හරහා ඉංග්‍රීසි කතනයේ ව්‍යක්ත බවක් ලබාගැනීමට සිසුන් පෙලඹවීම හරහා පමණයි. ඇතැම් වි,වි වල නවකවද සමය තුල පුස්තකාලයට ඇතුලු වීම නවකයන්ට තහනම් කරන අවස්ථා මෙරට වි.වි පද්ධතියේ දක්නට තිබෙනවා. නමුත් එය අමාත්‍යවරයා පවසන ලෙස මුලු විශ්ව විද්‍යාල කාල සීමාවටම අදාල වන්නක් නෙවෙයි. මාස කිහිපයකට ක්‍රියාත්මක වෙන මේ අත්තනෝමතික තහනම සහ ඉංග්‍රීසි ප්‍රවීනතාව අතර කිසිඳු සම්බන්ධයක් නෑ. එනිසා අමාත්‍යවරයා සඳහන් කරන පරිදි පුස්තකාල වලට සිසුන් ඇතුල්වීම වලකන ක්‍රියාවලියක් පැවතීම සහ ඒ නිසා ඉංග්‍රීසි බැරිවීම යන කල්පිතය විසුලු සහගතයි. මොකද සිසුන්ට තවත් අවුරුදු 3ක්ම තිබෙනවා ඉංග්‍රීසි ප්‍රවීනතාව ලබා ගැනීමට. නමුත් එය සිදු නොවන්නේ ඉහත සඳහන් කල ඇගයුම් ක්‍රියාවලීන්හී පවතින දුර්වලතාව සහ කථන මාධ්‍යක් ලෙස ඉංග්‍රීසි භාවිතවීමේ අඩුව. මෙලෙසම අමාත්‍යවරයා පෞද්ගලික විශ්ව විද්‍යාල ඉදිරියට දමමින් පෙන්වන රැකියා වෙලඳපොලේ ගැටලුවත් නවකවදයට සම්බන්ධයක් නැති වර්තමාන ආර්ථිකය හා සම්බන්ධ කරුණු. අදාල නොවන මෙවැනි කරුණු කාරනා නවකවදයත් එක්ක ගැටගසන්න යාමෙන් සිදුවන්නේ සරසවි නවක වදය නමැති ඊනියා සංස්කෘතික ව්‍යායාමයට අදාල තීරණාත්මක සංවාදය වැලලී යාමයි. සැබවින්ම මෙවැනි අදහස් පල කිරීමෙන් සිදුවන්නේ ඇමතිවරයාත් නවක වදයට ආවැඩීමක් පමණයි. මන්ද මේ කරුණු හරහා නවක වද සම්භාෂකයන්ට ඉතා හොඳ ඉඩක් විවර කර දෙනවා වෙනත් පාරවල් වල යමින් නවක වද කාරනා යටපත් කරන්නට.

එනිසා අලුත් පාර්ලිමේතුව සංවාදයේදී ඉතා වැදගත් ප්‍රවේශයන් ගනිමින් නවක වද සම්භාෂකයන්ට අභියෝගයක් එල්ල කලේ නිර්මාල් සහ චරිත හේරත් යන ආචාර්‍‍යවරුන්.  විශේශයෙන් පසු ගිය දශක දෙකක පමණ කාලය තුල සරසවි නවක වදය යනු ඉතා සංවිධානත්මක ලෙස සිදුවන ක්‍රියාවලියක් ලෙස ස්ථාපිතව තිබෙන්නක්. එය මුල් අවධියේ මෙන් තැනින් තැන සිදුවූ හුදකලා සිදුවීම් වල එකතුවක් නොවෙයි. මේ වෙද්දි එම ක්‍රියාවලිය නියමිත කාල සටහනකට සිදුවන විදිමත් වැඩපිලිවෙලක්. එය අනිවාර්‍යයෙන් සිදුවිය යුතු වතාවතක් ලෙස සරසවි සිසුන් අදහනවා. නවකවදයට ගොදුරු වන සමයේදී මේ සියලු දෙනා සිටින්නේ එය කවදා නිම වෙයිදෝයි සිතමින්, ජේෂ්ඨයන්ට සාප කරමින් වුවත් නවක වද ක්‍රියාවලිය අවසන් වන්නේ ඉතා උත්කර්ෂවත් මුවගට සිනහ ගෙන දෙන සහෝදරාත්මක අවසානයක් සමගින්. මෙන්නේ මේ අවසානය සහ එතනින් එහාට ගෙවෙන සුන්දර අවුරුදු කිහිපය නවක වද කාල සීමාව තුල ඔවුන් ගොදුරු වූ ප්‍රචණ්ඩත්වයන් සහ මානසික ආතතීන් අමතක කරවන්න සමත් කරවනවා. වඩාත්ම උත්ප්‍රාසාත්මක කාරණය වන්නේ නවක වද සමය තුල තමන් විඳි ගැහැට නිසා  සමහර ජේෂ්ඨයන්ට හිත යටින වයිර කරන සිසුන් පවා තමන්ගේ පසු පරම්පරාවට නවක වදය දිය යුතු බව තරයේ ඇදහීමයි. ඉන් සමහරෙක්ගේ මතය වන්නේ තමන් රැග් උනා නම් ඉන් පසු පැමිණෙන අයත් අනිවාර්‍යයෙන් රැග් විය යුතු බවයි. නිර්මාල් මතු කල කාර්ණයක් මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් වෙනවා. එනම් මේ සිසුන් දන්නේ නෑ තමන්ගෙන් පසු පරම්පරාව සමග ගනු දෙනු කල යුත්තේ කෙසේදැයි යන වග. ඔවුන්ට හිංසනය හැර වෙන විදිහක් ඊට හිතා ගන්න බෑ. දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වෙන මේ ප්‍රතිගාමී පුරුද්ද සංස්කෘතික ලක්ෂණයක් ලෙස කිඳා බැසීමේ ප්‍රතිඵලයක් තමයි මේ හැසිරීම. 

නවක වදය සම්බන්ධ විවාද පැන නගින විට එහි මූලිකම වග උත්තර කරුවෙක් ලෙස චෝදනාවට ලක් වෙන්නේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය. කලින් සතියකදී කිව්වත් වගේ අන්තරය සෑම කාලයකම පාහේ කියා සිතින්නේ තමන් නවක වදයට ඉඳුරාම විරුද්ධ බව. ඒ වගේම ඔවුන් කියා සිටිනවා නවක වදය සරසවි වලින් තුරන් කිරීමට තමන්ට තනිවම නොහැකි බව. ඔවුන් ඒ සඳහා ආචාර්‍ය වරුන්ගේ , බුද්ධිමතුන්ගේ දාර්ශනික ප්‍රවේශයක් බලාපොරොත්තු වෙනවා. රටේ අධ්‍යාපනය සම්බන්ධ ගැටලු බොහොමයකට රජයේ මර්ධනකාරී යාන්ත්‍රණයන් සමග පවා නොබියව හැප්පෙන, ඉතා ශක්තිමත් ජන සමූහයක් වෙන අන්තරය, තමන්ගේ අඩවියේ ඇති නවක වදය තුරන් කිරීමට රටේ සහය ඉල්ලමින් ඉල්ලමින් පණ නැති හැසිරීමක් පෙන්වන්නේ ඇයි. ?... ඒ වෙනෙකක් නොව තම ශිෂ්‍ය ව්‍යාපාරය වටා සිසුන් ගොනු කර ගැනීමේ යටි පෙල ව්‍යාපෘතියක් ලෙස නවක වදය ඔවුන්ට උපකාර වීමයි. අන්තරය වටා සිටින සෑම විශ්ව විද්‍යාලයකම මහා ශිෂ්‍ය සංගම් තම විශ්ව විද්‍යාලයේ ඇති නවක වද ක්‍රියාවලිය ගැන හොඳින්ම දැනුවත්. ඔවුන් මේ ශිශ්‍ය සංගම් වලට පත්වන්නේ පිටින් ඇවිත් නොවෙයි. ඔවුනුත් එම වි.වි වලම ඉගෙන ගන්න ශිෂ්‍යන්. නමුත් ඔවුන් නවක වද ක්‍රියාවලියට එරෙහි බරපතල මැදිහත් වීමක් සිදු නොකරන්නේ ඒ හරහා ගොඩ නගන එකමුතුව ඊලඟ අදියරේදී තම බලය පවත්වාගෙන යාමට රුකුලක් වන නිසයි. අතිශය හිංසාකාරී අංග නවක වද ක්‍රියාවලිය තුලින් ඉවත් කරන්න අදාළ සිසු සංගම් මැදිහත් වුනත් නවක වදය මුලිනුපුටා දැමීමේ අදහ්සක් ඔවුන්ට නැත්තේ ඒ නිසා.

කරුණු මෙසේ වෙද්දී බොහෝ දෙනාගේ මතය වෙන්නේ නවක වදයට සම්බන්ධ අයවලුන්ට දැඩි ඳඬුවම් පැමිණවීමෙන් මේ තත්වය තුරන් කල හැකි බව. නමුත් මගේ අදහස වෙන්නේ දැඩි ඳඬුවම් හඳුන්වා දෙමින් එසේ කළ නොහැකි බව. S.B . දිසානයක්ගේ කාලේ ඔහු සරසවි ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමේ ව්‍යාපෘතියක් පටන් ගත්තේ නවක වදය ඊට ඉත්තෙක් කර ගනිමින්. එවකට ශිෂ්‍යන් බුරුතු පිටින් පන්ති තනමට සහ ශිෂ්‍ය බාවය අහෝසි කිරීම් වලට ලක් වුනා. නමුත් ඔහුගේ මර්දන න්‍යාය පත්‍රය ඉදිරී ගිය ගමන් එමෙන්ම එම මර්දන ක්‍රියාවලිය අතරතුරත් සරසවි වල නවක වදය ක්‍රියාත්මක වුනා. සමාජයේ බොහෝ දෙනෙක් සිතන්නේ දැඩි ඳඬුවම් පැමිණවූ පසු , හොරකම්, ස්ත්‍රී දූෂණ සහ මිනී මැරුම් මෙන් නවක වදයත් අඩු කර දැමිය හැකි බව. නමුත් නවක වදය මේ අනෙකුත් වැරදි වලින් වෙනස් වන කරුණක් තියනවා.  හොරකම, මිනී මැරීම, දූෂණය ආදී දේ වැරදි දේවල් විදිහට සමාජය පිලි ගන්නවා. රජයෙන් ඊට දැඩි ඳඬුවම් දුන්නත් නැතත්, සංස්කෘතික ගොඩ නැංවීම විසින් ජනයා අවබෝධ කරන් තියනවා ඒවා වැරදි ක්‍රියාවන් ලෙස. එනිසා කවුරුත් ඒවා කල යුතුයි හෝ පැවතිය යුතුයි කියලා රහසෙන්වත් පෙනී සිටින්නේ නැහැ. නමුත් නවක වදය එසේ නෙවෙයි. සරසවි සිසු ප්‍රජාව මෙන්ම ආදි විද්‍යාර්තයින් පවා නවක වදය වරදක් ලෙස දකින්නේ නෑ. මුලදී කිව්ව විදිහටම නවක වද අවසානය ඔවුන්ගේ සිතේ ධාරණය වී ඇත්තේ අතිශය සුන්දර අත්දැකීමක් විදිහට. ඒ හැඟීම නවක වද ක්‍රියාවලිය තුල තිබ්බ පීඩාකාරී තැන් අමතකකර,නවක වදය සාදාරණීකරනය කිරීමට ඔවුන්ව පොළඹවනවා. ඒ නිසා තමයි එයට නවක නම්නීකරණය, නවකයන් පිලිගැනීම වගේ යෙදුම් පවා යෝජනා වන්නේ. එය ඳඬුවම් පැමිණවිය යුතු වරදක් ලෙස ඔවුන් දකින්නේ නැහැ. එලිපිට වරදක් ලෙස පිළි ගත්තත්  හිත යටින් එය ඔවුන්ගේ සිතේ ස්ථාපනය වී ඇත්තේ සුන්දර අත්දැකීමක් විදිහට. මේ ස්ථාපනය විසින් බැහැර කරන්නේ නවක වද ක්‍රියාවලිය තුල එය දරගත නොහැකිව කඩා වැටී ජීවිතය අඳුරු කරගන්නා සිසුන්ගේ ශෝකාලාපය. අති බහුතර සරසවි සාමූහික විඥානය විසින් මේ පීඩිතයන් ගැරහීමට සහ අවඥාවෙන් බැහැර කිරීමට ලක් කරනවා. එය හරියට ආගම් සහ ජාතීන් විසින් තමන්ගේ කල්ලිය සහ එහි ඇවතුම් පැවතුම් රැක ගැනීමට ගන්නා ප්‍රතිගාමී ප්‍රවේශයන් හා සමානයි. යම් ක්‍රියාවක්, අදාල සමාජය විසින් වරදක් ලෙස නොදකින්නේ නම් කෙතරම් නීති රීති ක්‍රියාත්මක කලත් එය වලක්වාලිය හැකි වන්නේ නෑ. තමන් නියෝජනය කරන හෝ කල සමාජ කුලකයන් වල අගතීන් විචාරාත්මකව දැකීම ඉවතලන තාක් වඩා යහපත් හෙටක් දවසක් යනු සිහිනයක්. මේ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි විශ්ව විද්‍යාල වල ඊනියා උප සංස්කෘතිය අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හකුලා ගනිමින්  මුග්ධ භාවය කරා පිය නගන්නේ. ඒ අතින් බලන කල අන්තරය යෝජනා කරන දාර්ශනික සාකච්ඡාව සරසවි වල සිදු වීම අත්‍යාවශ්‍යයි. නමුත් එහි සාර්ථක භාවය රඳා පවතින්නේ අන්තරය ප්‍රමුඛ ශිෂ්‍ය සංගම් කෙතරම් සද්භාවයෙන් ඊට මැදිහත් වෙනවාද කියන කාරණය මත.






10 comments:

  1. "නවක වදය" වදයක් නිසා තමයි ඒකට නවක වදය කියලා කියන්නෙ. නැත්නම් "නවක සොමිය" කියලා කියන්න තිබුනනෙ.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++
      මොන හේතුවකට හෝ වද දීම දඬුවම් ලැබිය යුතු අපරාධයක්

      Delete
  2. විශ්ව විද්‍යාල වල උගන්වන ඒවා ගෙන් ප්‍රයෝජනයක් ගන්නේ කීයෙන් කී දෙනාද හැබෑට???

    ReplyDelete
  3. ඉංග්‍රීසි දැනීම ගැන. ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසි භාවිතා නොකරන එහෙත් ඉංග්‍රීසි 'පුහුණු' ගුරුවරුන් හරහා විෂයයක් විදිහට උගන්නන විට කවදාවත් කථනයේ සිසුන් හුරුවන්නේ නැහැ. එය කල යුත්තේ වෙනත් විෂයයන් ඉංග්‍රීසි බසින් ඉගැන්වීමෙන්. සරසවි වල වෙන එක හොඳ දෙයක් තමයි ඉංග්‍රීසි බසින් වෙන විෂයයන් ඉගැන්වීම.

    ReplyDelete
    Replies
    1. ඔව්..ඒක වඩා සාධනීය ප්‍රවේශයක් බව මටත් පෙනිලා තියනවා.

      Delete
  4. any idea on why in most of local universities there are no elections to elect student representatives for student unions ? who suppresses different opinions and how ?

    ReplyDelete
    Replies
    1. important question to investigate. I guess, in last 2 decades IUSF established their power in most universities. The corrupted and illogical political behavior in main stream created a path to a alternative movement like IUSF to win the faith of university students. So main stream political unions decayed in universities and IUSF biased unions able to dominate their ideology.

      Delete
  5. //මේ වෙද්දි එම ක්‍රියාවලිය නියමිත කාල සටහනකට සිදුවන විදිමත් වැඩපිලිවෙලක්. එය අනිවාර්‍යයෙන් සිදුවිය යුතු වතාවතක් ලෙස සරසවි සිසුන් අදහනවා. //

    //නවක වද සමය තුල තමන් විඳි ගැහැට නිසා සමහර ජේෂ්ඨයන්ට හිත යටින වයිර කරන සිසුන් පවා තමන්ගේ පසු පරම්පරාවට නවක වදය දිය යුතු බව තරයේ ඇදහීමයි.//


    මෙයින් පැහැදිලි වෙන මුලික දේ තමයි මානසික විකුර්ති වලින් යුත් උපාධිධාරීන් බිහිවීම.



    //ඉතා ශක්තිමත් ජන සමූහයක් වෙන අන්තරය, තමන්ගේ අඩවියේ ඇති නවක වදය තුරන් කිරීමට රටේ සහය ඉල්ලමින් ඉල්ලමින් පණ නැති හැසිරීමක් පෙන්වන්නේ ඇයි. ?... ඒ වෙනෙකක් නොව තම ශිෂ්‍ය ව්‍යාපාරය වටා සිසුන් ගොනු කර ගැනීමේ යටි පෙල ව්‍යාපෘතියක් ලෙස නවක වදය ඔවුන්ට උපකාර වීමයි.//

    සිදුවෙන්නේ මෙය තමයි නමුත් ඔබ

    //එහි සාර්ථක භාවය රඳා පවතින්නේ අන්තරය ප්‍රමුඛ ශිෂ්‍ය සංගම් කෙතරම් සද්භාවයෙන් ඊට මැදිහත් වෙනවාද කියන කාරණය මත.//

    කීමෙන් පෙන්නේ උත්තරය දැනගන නැවත ප්‍රශ්න ඇසීම වගෙයි, ඒ කියන්නේ අන්තරය ප්‍රමුඛ ශිෂ්‍ය සංගම් කිසිවිටක සද්භාවයෙන් ඊට මැදිහත් නොවන බව යත්ර්තය නිසා

    //දැඩි ඳඬුවම් හඳුන්වා දෙමින් එසේ කළ නොහැකි බව.//

    කල හැකියි සමාජයේ දැඩි දඩුවම් නොතිබුනානම් දැන් සිදුවෙන අපරාධ වගේ කිපගුනයක් සිදුවෙනු ඇති, දියුණු තාක්ෂණයක් ඇති වර්තමානයේ නවකවද සිදුවීම් අවම කිසිමට surveillance spy camera වැනි අංග පාවිච්චි කල හැකියි, සෑම සිසුන් කන්ඩායමකම කොතලාවල ආරක්ෂක පිඨයේ තරුණ නිලදාරීන් සිසුන් ලෙස අනුයුක්ත කර අදාළ සිදුවීම් පටිගත කර, නිසි සාක්කි ලබාගෙන වැරදි කරුවන්ට අධික දඩුවම් දුන්නනම් පහසුවෙන් මේවා නතර කල හැකියි.


    //සරසවි සිසු ප්‍රජාව මෙන්ම ආදි විද්‍යාර්තයින් පවා නවක වදය වරදක් ලෙස දකින්නේ නෑ. //

    අපි බලන්න ඕනේ දියුණු ලෝකයේ විශ්ව විද්‍යාල වල මෙවැනි නවක වද සිදුවීම් සිදු නොවෙන්නේ ඇයි කියල ?
    සියලුම සිසුන් වාගේ තවත් රස්සා වකින් මුදල් උපයන්න වෙනවා යම් විදේශ භාෂාවක් ඉගනීමට තියනවනම් තවත් මහන්සි වෙන්න වෙනවා.

    ලංකාවේ වෙන්නේ මොකද්ද පලවෙනි අවුරුද්දේ තමන්ට නවක වදය ලැබෙන නිසා කාලය නෑ ඉංග්‍රීසි ඉගනීමට දෙවැනි සහ තුන්වෙනි අවුරුදු වල අනුන්ට නවකවදය දෙන නිසා කාලය නෑ ඉංග්‍රීසි ඉගනීමට.

    අවසානයේ විශ්ව විද්‍යාලයෙන් එලියට ආවහම පුද්ගලික අංශයේ රැකියාවක් කරන්න බෑ ඉංග්‍රීසි දුරුවල වීමත් කණ්ඩායමක් ලෙස වැඩකළ නොහැකි වීමත් වුර්තිය දක්ෂ තා නොමැති වීමත් නිසා.

    බලන්න බොහෝ සොයාගැනීම නව නිෂ්පාදන වලට දායක වෙලා තියන්නේ දියුණු විශ්වවිද්යාලයි, අපරටේ විශ්ව විද්‍යාලයක් මේතාක් ලෝකයට හදුන්වා දුන් නව නිපැයුමක් තියනවද ?

    රජය කරන්න හදන්නේ නවකවදය පාවිච්චි කරලා අද්‍යාපනය පුද්ගලික කරණය කිරීමයි, අන්තරය සහ නවකවදයට පක්ෂ උදවිය කරන්නේ රජයට උවමනා අයුධ ලබාදීමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දීර්ඝ අදහසට. කරුණු පිලිවෙලට උත්තර දුන්නොත්,

      1. ඔව්, නවක වදය අනුමත නැතහොත් කරමින් තමන්ගේ අතීතය ගැන විචාරාත්මක බැල්මක් හෙලන්නට නොහැකිවීම යනු යම් ආකාරයක මානසික විකෘතියක් තමයි.

      2. ශිෂ්‍ය සංගම් මැදිහත්වීමෙන් යම් යම් පීඩාකාරී අංග සරසවි නවක වද ක්‍රියාවලියෙන් ඉවත් කරපු අවස්තා තිබෙනවා. ඒ වගේම පසුගිය මාසයේ අන්තරේ ප්‍රමුඛත්වයෙන් දිවයිනේ විශ්ව විද්‍යාල පුරා සංවාදශීලී කතිකාවක් නවක වදය මාතෘකා කරගනිමින් පවැත්වෙනවා. ඊට ආචාර්‍යවරුන් පවා සහභාගී කරගන්න ඔවුන් පියවර අරන් තියන්වා. මම අදහස් කලේ ඒ වගේ මැදිහත්වීම් සද්භාවයෙන්ම සිදුවන්නේ නම් වටින බව.

      ඉතුරුටිකට හෙට උත්තර ලියන්නම් . :)

      Delete
    2. 3. ඳඬුවම් ඉවත් කරන්න කියලා මම අදහස් කරන්නෙත් නෑ. නමුත් ඳඬුවමෙන් විතරක් ගොඩ යන්න බෑ අදාල සමාජය එය වරදක් ලෙස දකින්නේ නැත්නම්. ඔබ කියන surveillance systems දැම්මත් ඔවුන් වි.විද්‍යාලයෙන් එලියේ තැන් පාවිච්චි කරමින් මේ ක්‍රියාවලිය කරන් යනවා. ඊට හේතුව නවක වදයක් අනිවාර්‍ය අංගයක් ලෙස ඔවුන් විශ්වාස කිරීම. ඒකා අන්ධ ආගමික විශ්වාසයක් හා සමානයි.අනික් අතට කැමරා දාලා ඔත්තුකාරොයොන්ට මැදි වෙලා සරසවි දිවියක් නෙවී මොනම ජීවිතයක්වත් ගෙවිය යුතු නැහැයි කියල මම හිතන්නේ. වටේටම කැමරා ගහගෙන තවත් කෙනෙකුට අපේ ජීවිත බලන්න ඉඩ දීලා අපේ නිදහස අවුරා ගනිමින් යාන්ත්‍රික ජීවිත ගත කල යුතු නෑ නේද?..අපි ජීවත් වෙන්නේ කමරාවකට බයේ නම් අපේ හොඳ අපි ලඟ තියෙන්නේ කමරාව වැඩ කරනතාක් පමණක් නම් ඉන් පලක් නෑ....නිසි සංවාදයක් තුලින් මේ තත්වය නැති කරන්න පුලුවන්. අප අමතක නොකල යුතුයි නවක වදය නැති පීඨත් සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙන බව. ඔවුන් එයින් මිදී ඇත්තේ කැමරා වලට බියෙන් නොවේ. මේ අන්ධ නවක වද මිත්‍යාවට එරෙහි මතවාදී ඉඩක් සරසවි තුල විවර කිරීම ඊට හොඳටම සෑහෙයි කියල මාට හිතෙනවා.

      4. //ලංකාවේ වෙන්නේ මොකද්ද පලවෙනි අවුරුද්දේ තමන්ට නවක වදය ලැබෙන නිසා කාලය නෑ ඉංග්‍රීසි ඉගනීමට දෙවැනි සහ තුන්වෙනි අවුරුදු වල අනුන්ට නවකවදය දෙන නිසා කාලය නෑ ඉංග්‍රීසි ඉගනීමට.//.....මේක නම් ඉතාම අන්තගාමී ප්‍රකාශයක්. නවක වදය තදින්ම ක්‍රියාත්මක වෙන සරසවියක උනත් නවක වදයෙන් පස්සෙ, ඇතිතරම් කාලය තියනවා නිදහසේ තමන්ගේ අධ්‍යාපනය කටයුතු කර ගන්න. ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්නට system එක තුලින් මෙහෙයවීමක් දීමට අවශ්‍ය නම් කල යුතු ‍යැයි මට හැඟේන දේ මම මේ සටහනේ කිව්වා.

      අවසානයට ඔබ කියන කාරණයට එකඟයි. සරසවි සිසුන්ග්ගේ මේ අමනෝඥ ක්‍රියාවන් රජයට ආයුධ සපයනවා පෞද්ගලික ක්‍රමයක් වෙනුවෙන් ආවැඩීමට. දිනෙන් දින වේගයෙන් දියුණුවෙන පෞද්ගලික අධ්‍යාපන ආයතන සමග තරඟ කල හැකි ලෙස තමන්ගේ ශක්‍යතාවන් වර්ධනය කරගත හැකි ක්‍රියා කලාපයන් කෙරෙහි යොමු වීමේ අභියෝගය ව්ත්මන් සරසවි සිසුවාට තියනවා. නවක වදය කරපින්නාගෙන යාම යනු ඒ අභියෝගයන් ජය ගැනීම අපහසු කරවන ගල් යුගයේ මිත්‍යා විශ්වාසයක් හිස තබා ගැනීමයි.

      Delete