Sunday, September 30, 2018

නවක වදය ගැන






මේ සටහන ලියන්න පාදක වෙන්නේ සැප්තැම්බර් 12වෙනිදා විකාශය වුනු දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසහනයි. සරසවි නවක වදය කියන්නේ පහුගිය මාසය තුල මෙරට ජනතාව සහ සමාජ මාධ්‍ය සත්වයන් සියලු දෙනා පාහේ උඩ දාගෙන තලපු මාතෘකාවක්. මේ වෙද්දි ඒ මාතෘකාවේ උණුසුම පහවෙලා ගිහින්. උණුසුම පහ වුනු මේ වගේ වෙලාවක් තමයි එවැනි ආන්දෝලනාත්මක මාතෘකා ගැන කතා කරන්න තියන හොඳම කාලේ වෙන්නේ.  මොකද මේ වගේ වෙලාවක තමයි තම තමන්ගේ පක්ෂපාතීත්වයන්, න්‍යාය පත්‍රයන් පොඩ්ඩකට බිමින් තියල නිස්කාන්සුවේ මෙවැනි ප්‍රශ්න දිහා බලන්න පුලුවන් වෙන්නේ.

එදින සාකච්ඡාව ආරම්භ කලේ මේ මතෘකාව බෝම්බයක් ගැහුවා වගේ එලියට ගන්න ක්‍රියා කරපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයා. එතුමා අතිශය සාම්ප්‍රදායික දේශපාලකයෙක් වගේ මේ මාතෘකාව පැටලෙව්වා. ඒ කියන්නේ ඔහුගේ කතාවෙදි ඔහු රටේ උසස් අධ්‍යාපනයේ තියන ගැටලු කන්දරාවම නවක වද ක්‍රියාවලිය නිසා ඇතිවෙන්නක් ලෙස අර්ත ගන්වන්න හැදුවා. එතුමා කියන විදිහට පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඇති ඉල්ලුම වැඩි වීම, රජයේ වි.වි වල දරුවන්ගේ ඉංග්‍රීසි හැසිරවීමේ දුර්වලතාව, රැකියා වෙලඳපොලේ රැකියා සඳහා වැඩි අවස්තාවක් පෞද්ගලික වි.වි සිසුන්ට ලැබීම ආදී සියල්ල සිදුවන්නේ නවක වදය නිසා. රටේ උසස් අධ්‍යාපන ප්‍රමිතියේ සහ ක්‍රියාවලියේ ඇති ව්‍යුහාත්මක ගැටලු නිසා ඇතිවන මෙවැනි ප්‍රශ්න නවක වදය මත පැටවීම කියන්නේ , නවක වදය කියන කරුණ සම්බන්ධයෙන් පෙනී සිටින අයට කරන උදව්වක්. මන්ද, එවිට නවක වදය නම් නිශ්චිත ගැටලුව උසස් අධ්‍යාපන ක්‍රියාවලියේ ගැටලුත් සමග මුසු වෙලා අතිශය තනුක වෙනවා. අමාත්‍යවරයාගේ මේ ප්‍රවේශය මේ ප්‍රශ්නය අවුල් කරලා මාතෘකාව වෙනත් දිශාවකට ගෙනයන විහිලුවක් බවට පත් වෙනවා.

උදාහරණයක් විදිහට මෙරට සරසවි බොහෝ ප්‍රමාණයක පාඨමාලා පැවැත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. දේශන, විභාග, presentation , viva මේ සියල්ල සිදු කෙරෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එවැනි ක්‍රියාවලියක් තුල සිසුන්ට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අවම හෝ නිපුණතාවක් ලබා ගැනීම අනිවාර්‍‍ය වෙනවා. ඒ සඳහා ඔවුන්ගේ ස්ව්‍යං පෙලඹුමක් ඇති කිරීමට අදාල තත්වයන් විසින් පොළඹවනවා. ඒ අවමයවත් ඔවුන් ලබා නොගන්නේ නම් එය එම වි.වි වල ඇගයුම් ක්‍රියාවලියේ ඇති දුර්වලතාවයක්. ඒ කෙසේ වෙතත් අප මතක තබා ගත යුත්තේ වි.වි යනු ඉංග්‍රීසි උගන්වන තැන් නොවන බවයි. අවුරුදු 13කටත් වඩා කාලයක් ඉංග්‍රීසි භාෂාව පාසල් මට්ටමෙන් සහ ටියුෂන් පන්ති වලිනුත් ඉගෙන ගෙන පැමිනෙන සිසුන් ඉංග්‍රීසි කෙරෙහි දුර්වලතාවෙන් පෙලීම ලංකාවේ සුලබ කරුණක්. ඉන් බොහෝ දෙනෙක්ට අත්තේ කථනයේ දුර්වලබව. එයට ප්‍රධාන හේතුව වන්නේ ඉංග්‍රීසි කථන මාධ්‍යයක් ලෙස පාවිච්චි නොවීම.  එම අඩුව වි.වි වලින් පිරවිය හැකිනම් එය කල හැකිවන්නේ අදාල ඇගයුම් ක්‍රියාවලි තදින් සිදුවී ඒ හරහා ඉංග්‍රීසි කතනයේ ව්‍යක්ත බවක් ලබාගැනීමට සිසුන් පෙලඹවීම හරහා පමණයි. ඇතැම් වි,වි වල නවකවද සමය තුල පුස්තකාලයට ඇතුලු වීම නවකයන්ට තහනම් කරන අවස්ථා මෙරට වි.වි පද්ධතියේ දක්නට තිබෙනවා. නමුත් එය අමාත්‍යවරයා පවසන ලෙස මුලු විශ්ව විද්‍යාල කාල සීමාවටම අදාල වන්නක් නෙවෙයි. මාස කිහිපයකට ක්‍රියාත්මක වෙන මේ අත්තනෝමතික තහනම සහ ඉංග්‍රීසි ප්‍රවීනතාව අතර කිසිඳු සම්බන්ධයක් නෑ. එනිසා අමාත්‍යවරයා සඳහන් කරන පරිදි පුස්තකාල වලට සිසුන් ඇතුල්වීම වලකන ක්‍රියාවලියක් පැවතීම සහ ඒ නිසා ඉංග්‍රීසි බැරිවීම යන කල්පිතය විසුලු සහගතයි. මොකද සිසුන්ට තවත් අවුරුදු 3ක්ම තිබෙනවා ඉංග්‍රීසි ප්‍රවීනතාව ලබා ගැනීමට. නමුත් එය සිදු නොවන්නේ ඉහත සඳහන් කල ඇගයුම් ක්‍රියාවලීන්හී පවතින දුර්වලතාව සහ කථන මාධ්‍යක් ලෙස ඉංග්‍රීසි භාවිතවීමේ අඩුව. මෙලෙසම අමාත්‍යවරයා පෞද්ගලික විශ්ව විද්‍යාල ඉදිරියට දමමින් පෙන්වන රැකියා වෙලඳපොලේ ගැටලුවත් නවකවදයට සම්බන්ධයක් නැති වර්තමාන ආර්ථිකය හා සම්බන්ධ කරුණු. අදාල නොවන මෙවැනි කරුණු කාරනා නවකවදයත් එක්ක ගැටගසන්න යාමෙන් සිදුවන්නේ සරසවි නවක වදය නමැති ඊනියා සංස්කෘතික ව්‍යායාමයට අදාල තීරණාත්මක සංවාදය වැලලී යාමයි. සැබවින්ම මෙවැනි අදහස් පල කිරීමෙන් සිදුවන්නේ ඇමතිවරයාත් නවක වදයට ආවැඩීමක් පමණයි. මන්ද මේ කරුණු හරහා නවක වද සම්භාෂකයන්ට ඉතා හොඳ ඉඩක් විවර කර දෙනවා වෙනත් පාරවල් වල යමින් නවක වද කාරනා යටපත් කරන්නට.

එනිසා අලුත් පාර්ලිමේතුව සංවාදයේදී ඉතා වැදගත් ප්‍රවේශයන් ගනිමින් නවක වද සම්භාෂකයන්ට අභියෝගයක් එල්ල කලේ නිර්මාල් සහ චරිත හේරත් යන ආචාර්‍‍යවරුන්.  විශේශයෙන් පසු ගිය දශක දෙකක පමණ කාලය තුල සරසවි නවක වදය යනු ඉතා සංවිධානත්මක ලෙස සිදුවන ක්‍රියාවලියක් ලෙස ස්ථාපිතව තිබෙන්නක්. එය මුල් අවධියේ මෙන් තැනින් තැන සිදුවූ හුදකලා සිදුවීම් වල එකතුවක් නොවෙයි. මේ වෙද්දි එම ක්‍රියාවලිය නියමිත කාල සටහනකට සිදුවන විදිමත් වැඩපිලිවෙලක්. එය අනිවාර්‍යයෙන් සිදුවිය යුතු වතාවතක් ලෙස සරසවි සිසුන් අදහනවා. නවකවදයට ගොදුරු වන සමයේදී මේ සියලු දෙනා සිටින්නේ එය කවදා නිම වෙයිදෝයි සිතමින්, ජේෂ්ඨයන්ට සාප කරමින් වුවත් නවක වද ක්‍රියාවලිය අවසන් වන්නේ ඉතා උත්කර්ෂවත් මුවගට සිනහ ගෙන දෙන සහෝදරාත්මක අවසානයක් සමගින්. මෙන්නේ මේ අවසානය සහ එතනින් එහාට ගෙවෙන සුන්දර අවුරුදු කිහිපය නවක වද කාල සීමාව තුල ඔවුන් ගොදුරු වූ ප්‍රචණ්ඩත්වයන් සහ මානසික ආතතීන් අමතක කරවන්න සමත් කරවනවා. වඩාත්ම උත්ප්‍රාසාත්මක කාරණය වන්නේ නවක වද සමය තුල තමන් විඳි ගැහැට නිසා  සමහර ජේෂ්ඨයන්ට හිත යටින වයිර කරන සිසුන් පවා තමන්ගේ පසු පරම්පරාවට නවක වදය දිය යුතු බව තරයේ ඇදහීමයි. ඉන් සමහරෙක්ගේ මතය වන්නේ තමන් රැග් උනා නම් ඉන් පසු පැමිණෙන අයත් අනිවාර්‍යයෙන් රැග් විය යුතු බවයි. නිර්මාල් මතු කල කාර්ණයක් මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් වෙනවා. එනම් මේ සිසුන් දන්නේ නෑ තමන්ගෙන් පසු පරම්පරාව සමග ගනු දෙනු කල යුත්තේ කෙසේදැයි යන වග. ඔවුන්ට හිංසනය හැර වෙන විදිහක් ඊට හිතා ගන්න බෑ. දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වෙන මේ ප්‍රතිගාමී පුරුද්ද සංස්කෘතික ලක්ෂණයක් ලෙස කිඳා බැසීමේ ප්‍රතිඵලයක් තමයි මේ හැසිරීම. 

නවක වදය සම්බන්ධ විවාද පැන නගින විට එහි මූලිකම වග උත්තර කරුවෙක් ලෙස චෝදනාවට ලක් වෙන්නේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය. කලින් සතියකදී කිව්වත් වගේ අන්තරය සෑම කාලයකම පාහේ කියා සිතින්නේ තමන් නවක වදයට ඉඳුරාම විරුද්ධ බව. ඒ වගේම ඔවුන් කියා සිටිනවා නවක වදය සරසවි වලින් තුරන් කිරීමට තමන්ට තනිවම නොහැකි බව. ඔවුන් ඒ සඳහා ආචාර්‍ය වරුන්ගේ , බුද්ධිමතුන්ගේ දාර්ශනික ප්‍රවේශයක් බලාපොරොත්තු වෙනවා. රටේ අධ්‍යාපනය සම්බන්ධ ගැටලු බොහොමයකට රජයේ මර්ධනකාරී යාන්ත්‍රණයන් සමග පවා නොබියව හැප්පෙන, ඉතා ශක්තිමත් ජන සමූහයක් වෙන අන්තරය, තමන්ගේ අඩවියේ ඇති නවක වදය තුරන් කිරීමට රටේ සහය ඉල්ලමින් ඉල්ලමින් පණ නැති හැසිරීමක් පෙන්වන්නේ ඇයි. ?... ඒ වෙනෙකක් නොව තම ශිෂ්‍ය ව්‍යාපාරය වටා සිසුන් ගොනු කර ගැනීමේ යටි පෙල ව්‍යාපෘතියක් ලෙස නවක වදය ඔවුන්ට උපකාර වීමයි. අන්තරය වටා සිටින සෑම විශ්ව විද්‍යාලයකම මහා ශිෂ්‍ය සංගම් තම විශ්ව විද්‍යාලයේ ඇති නවක වද ක්‍රියාවලිය ගැන හොඳින්ම දැනුවත්. ඔවුන් මේ ශිශ්‍ය සංගම් වලට පත්වන්නේ පිටින් ඇවිත් නොවෙයි. ඔවුනුත් එම වි.වි වලම ඉගෙන ගන්න ශිෂ්‍යන්. නමුත් ඔවුන් නවක වද ක්‍රියාවලියට එරෙහි බරපතල මැදිහත් වීමක් සිදු නොකරන්නේ ඒ හරහා ගොඩ නගන එකමුතුව ඊලඟ අදියරේදී තම බලය පවත්වාගෙන යාමට රුකුලක් වන නිසයි. අතිශය හිංසාකාරී අංග නවක වද ක්‍රියාවලිය තුලින් ඉවත් කරන්න අදාළ සිසු සංගම් මැදිහත් වුනත් නවක වදය මුලිනුපුටා දැමීමේ අදහ්සක් ඔවුන්ට නැත්තේ ඒ නිසා.

කරුණු මෙසේ වෙද්දී බොහෝ දෙනාගේ මතය වෙන්නේ නවක වදයට සම්බන්ධ අයවලුන්ට දැඩි ඳඬුවම් පැමිණවීමෙන් මේ තත්වය තුරන් කල හැකි බව. නමුත් මගේ අදහස වෙන්නේ දැඩි ඳඬුවම් හඳුන්වා දෙමින් එසේ කළ නොහැකි බව. S.B . දිසානයක්ගේ කාලේ ඔහු සරසවි ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමේ ව්‍යාපෘතියක් පටන් ගත්තේ නවක වදය ඊට ඉත්තෙක් කර ගනිමින්. එවකට ශිෂ්‍යන් බුරුතු පිටින් පන්ති තනමට සහ ශිෂ්‍ය බාවය අහෝසි කිරීම් වලට ලක් වුනා. නමුත් ඔහුගේ මර්දන න්‍යාය පත්‍රය ඉදිරී ගිය ගමන් එමෙන්ම එම මර්දන ක්‍රියාවලිය අතරතුරත් සරසවි වල නවක වදය ක්‍රියාත්මක වුනා. සමාජයේ බොහෝ දෙනෙක් සිතන්නේ දැඩි ඳඬුවම් පැමිණවූ පසු , හොරකම්, ස්ත්‍රී දූෂණ සහ මිනී මැරුම් මෙන් නවක වදයත් අඩු කර දැමිය හැකි බව. නමුත් නවක වදය මේ අනෙකුත් වැරදි වලින් වෙනස් වන කරුණක් තියනවා.  හොරකම, මිනී මැරීම, දූෂණය ආදී දේ වැරදි දේවල් විදිහට සමාජය පිලි ගන්නවා. රජයෙන් ඊට දැඩි ඳඬුවම් දුන්නත් නැතත්, සංස්කෘතික ගොඩ නැංවීම විසින් ජනයා අවබෝධ කරන් තියනවා ඒවා වැරදි ක්‍රියාවන් ලෙස. එනිසා කවුරුත් ඒවා කල යුතුයි හෝ පැවතිය යුතුයි කියලා රහසෙන්වත් පෙනී සිටින්නේ නැහැ. නමුත් නවක වදය එසේ නෙවෙයි. සරසවි සිසු ප්‍රජාව මෙන්ම ආදි විද්‍යාර්තයින් පවා නවක වදය වරදක් ලෙස දකින්නේ නෑ. මුලදී කිව්ව විදිහටම නවක වද අවසානය ඔවුන්ගේ සිතේ ධාරණය වී ඇත්තේ අතිශය සුන්දර අත්දැකීමක් විදිහට. ඒ හැඟීම නවක වද ක්‍රියාවලිය තුල තිබ්බ පීඩාකාරී තැන් අමතකකර,නවක වදය සාදාරණීකරනය කිරීමට ඔවුන්ව පොළඹවනවා. ඒ නිසා තමයි එයට නවක නම්නීකරණය, නවකයන් පිලිගැනීම වගේ යෙදුම් පවා යෝජනා වන්නේ. එය ඳඬුවම් පැමිණවිය යුතු වරදක් ලෙස ඔවුන් දකින්නේ නැහැ. එලිපිට වරදක් ලෙස පිළි ගත්තත්  හිත යටින් එය ඔවුන්ගේ සිතේ ස්ථාපනය වී ඇත්තේ සුන්දර අත්දැකීමක් විදිහට. මේ ස්ථාපනය විසින් බැහැර කරන්නේ නවක වද ක්‍රියාවලිය තුල එය දරගත නොහැකිව කඩා වැටී ජීවිතය අඳුරු කරගන්නා සිසුන්ගේ ශෝකාලාපය. අති බහුතර සරසවි සාමූහික විඥානය විසින් මේ පීඩිතයන් ගැරහීමට සහ අවඥාවෙන් බැහැර කිරීමට ලක් කරනවා. එය හරියට ආගම් සහ ජාතීන් විසින් තමන්ගේ කල්ලිය සහ එහි ඇවතුම් පැවතුම් රැක ගැනීමට ගන්නා ප්‍රතිගාමී ප්‍රවේශයන් හා සමානයි. යම් ක්‍රියාවක්, අදාල සමාජය විසින් වරදක් ලෙස නොදකින්නේ නම් කෙතරම් නීති රීති ක්‍රියාත්මක කලත් එය වලක්වාලිය හැකි වන්නේ නෑ. තමන් නියෝජනය කරන හෝ කල සමාජ කුලකයන් වල අගතීන් විචාරාත්මකව දැකීම ඉවතලන තාක් වඩා යහපත් හෙටක් දවසක් යනු සිහිනයක්. මේ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි විශ්ව විද්‍යාල වල ඊනියා උප සංස්කෘතිය අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හකුලා ගනිමින්  මුග්ධ භාවය කරා පිය නගන්නේ. ඒ අතින් බලන කල අන්තරය යෝජනා කරන දාර්ශනික සාකච්ඡාව සරසවි වල සිදු වීම අත්‍යාවශ්‍යයි. නමුත් එහි සාර්ථක භාවය රඳා පවතින්නේ අන්තරය ප්‍රමුඛ ශිෂ්‍ය සංගම් කෙතරම් සද්භාවයෙන් ඊට මැදිහත් වෙනවාද කියන කාරණය මත.






Sunday, September 9, 2018

ජනබලය මොකටද ?




ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජන බලය කොළඹට නම් ව්‍යයාමය පසුගිය පස් වෙනිදා රාත්‍රියේදී නිමාව දුටුවේය. එය ව්‍යායාමයක් ලෙස හැඳින්වූයේ එම ක්‍රියාව හඳුනාගත හැකි වෙනත් විශේෂ නමකින් නම් තබන්නට නොහැකි නිසාය. එය රැලියක්ද, පාගමනක්ද, විරෝධතවක්ද නැතිනම් වටලෑමක් ද කියා හරිහැටි හඳුනාගැනීම අසීරුය. පවැත්වුනේ ඉන් කුමක් වුවත් ඊට අති විශාල ජනතා සහභාගීත්වයක් ලැබී තිබුණි.  දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනයාගේ සහභාගීත්වයෙන් බල නැංවුනු ජන බලය ව්‍යායාමය ගැන මේ වෙද්දී බොහෝ පශ්චාත් විවේචන සහ කිරා මැනීම් සිදුවන්නේය. ආණ්ඩුවට හිතවත් පාර්ශව බොහොමයක් මේ ව්‍යායාමය විහිලුවට ලක්කරන්නේ "කෝ ආන්ඩුව පෙරලුනාද ?', "මහින්ද අගමැති උනාද ?" කියා අසමිනි. තවත් කොටසක් පාරම් බාන්නේ ජන බලය ව්‍යායාමය ආණ්ඩුවට දශමයක බලපෑමක්වත් කිරීමට අසමත්වූ බවයි. එහෙන් මෙහෙන් ඇහෙන සමහර කතාවලට අනුව ජන බලය බලගැන්වූ ඇතැම් ජනතාවද සිතා ඇත්තේ ආණ්ඩුව පෙරලන ගමනක් සඳහා තමන් දායක වන බවයි. . සැබවින්ම ජන බලයේ අරමුණ වූයේ ආණ්ඩු පෙරලීම හෝ ආණ්ඩුව බිය ගැන්වීමද?. මට නම් හිතෙන්නේ නැත කියාය. ජන බලය කොළඹට යනු ඒකාබද්ධ විපක්ෂය මේ මොහොතේ තමන් පත්වී ආතතියෙන් මිදෙනු වස් සිදුකල මානසික ස්ව්‍යං වින්දනයක් මිස අන් කිසිවක් නොවේ.

පසුගිය පෙබරවාරි මාසය යනු ඒකාබද්ධය යලි පණ ගසා ආ මාසයයි. 2015 වසරේදී මුහුණ දුන් විශාල පරාජයන් දෙකකින් අනතුරුව , ඒ පසු බෑම ආපස්සට හැරවූ සටන වූයේ පසුගිය පළාත් පාලන මැතිවරණයයි. ශීලනිපයෙන් ඉවත් වී හදිසියේ අටවාගත් පක්ෂයක් සහ එහෙන් මෙහෙන් හොයාගත් අපේක්ෂකයන් සමග ඒකාබද්ධය ලැබූ ජය එසේ මෙසේ එකක් නොවේ. එය ඔවුන් පවා බලාපොරොත්තු නොවූ යළි නැගී සිටීමකි. ආණ්ඩුවේ පාර්ශවයන් විවිදාකාරයේ ඉලක්කම් හරඹයන් දමා රටේ ජනයාගෙන් වැඩි කොටසක් එම මැතිවරණයෙන් ඒකාබද්දය ප්‍රතික්ෂේප කර ඇති බව පවසන්නට වලි කෑවත්, ඒකාබද්ධ පොහොට්ටුව කිසිවෙකු නොසිතූ අයුරින් පිපෙන්නට පටන් ගත් බව ඒ කවුරුත් හොඳින් දනී. එනිසා 2020 දෙස අතිශය බලාපොරොත්තු සහගතව බැලීමට ඒකාබද්ධයට අවස්ථාවක් ලැබුණි. සැබවින්ම මෙහි ඒකාබද්ධය යනු මහින්ද රාජපක්ෂ මිස අන් කිසිවක් නොවන බව කුඩා ළමයෙකු පවා දන්නේය. පළාත් පාලන මැතිවරණය සඳහා පොහොට්ටුවෙන් ඉදිරිපත්වූ බොහෝ අපේක්ෂකයන් ඇහින්දාස් ක්‍රමයට දැමූ හෝ ඒ ඒ පළාත් වල සායම හෝදාගත් මිනිසුන්ය. ඒත් 'මහින්ද' සාධකය ඒ සියලු අබල දුබලතා අමතක කර පොහොහොට්ටුව ඉදිරියෙන් කතිරය ගැසීමට මිනිසුන්ව පෙලඹවීය. ඒ නිසා 2020 පැවැත්වෙන මහා කඩුලු දෙක පනින්නට ඒකාබද්ධයට, මහින්ද රාජපක්ෂ අත්‍යවශ්‍ය සාධකයකි. 

මහින්ද ඊට උපරිමයෙන් සහාය දෙන බව පෙනෙන්නට තිබේ. තමාගේ බල තන්හාව නිසා ඒකාබද්ධයත් සමග තැලෙමින් පොඩිවෙමින් මේ මඩ ගොහොරුවේ ඔහු තවමත් පිනුම් ගහයි. පලාත් පාලන මතිවරණයෙන් කෙතරම් සිත පිනායන ප්‍රතිඵලයක් ලැබුණත්, මහින්ද සාධකය ගැන ඇති විශ්වාසය සිය ගුණයකින් තවවුරු උනත්, 2020දී තමන්ට හමුවෙන ප්‍රථම කඩුල්ල ඔවුන් බියටත් අසහනයත් පත් කරන එකකි. එනම් 2020 ජනාධිපතිවරණයයි. ජනාධිපතිවරණය යනු මුලු රටම එක් ඡන්ද කොට්ඨාසයක් බවට පත්වී එක් පුද්ගලයෙකු වෙනුවෙන් තම තමන්ගේ කැමැත්ත පල කරන අවස්ථාවකි. ඒකාබද්ධය සතු මහා බලවත් ජන ආකර්ෂණීය සුපිරි තරුව වන මහින්දට ඊට ඉදිරිපත්විය නොහැක. මහින්දට බැරි නම් එයට යම් තරමකින් හෝ උත්සහ කල හැක්කේ රාජපක්ෂ නම ඇති වෙනත් කෙනෙකුට බව පැහදිලිය. ඔවුන් සතු ජනප්‍රියම විකල්පය වන්නේ ගෝඨාබයයි. නමුත් ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය ජනපති තරඟ බිමට පිවිසීමේ හැකියාව පිළිබඳ ගැටලු මතුකරයි. ඒ අතරම පක්ෂයේ යම් කොටසක් ඔහුගේ ජනපති ආගමනයක් සඳහා විරුද්ධ බව පැහැදිලිවම පෙනෙන්ට තිබේ. 

එම විරුද්ධ පාර්ශවයේ තේරීම වන බැසිල් රාජපක්ෂද ද්විත්ව පුරවැසිභාවය නිසා ජනපති සටනට වරම් ලැබීමේ ගැටළුවට මුහුණ දීමට නියමිත චරිතයකි. එමෙන්ම ඔහුටත් පක්ෂයේ පූර්ණ සහයක් නොලැබෙන බව පැහැදිලිය. ඒ දෙදෙනාටම බැරි නම් නාමල් රාජ්පක්ෂ විකල්පයක් විය හැකිමුත් 2020 වන විටත් ඔහු වයස අවුරුදු 35 සම්පූර්ණ නොකරයි. එසේ සම්පූර්ණ වුවත් ඔහුට වඩා අත්දැකීම් බහුල නායකයන් රැසක් ඇති ඒකාබද්ධය ඔහු යටතේ බල ගැන්වේදැයි සැක සහිතය. එසේ නම් ඔවුන් සතු තරඟකරුවා චමල්ද ?, නැතිනම් පක්ෂයේ වෙනත් ජේෂ්ඨ සාමාජිකයෙක්ද?....2020 මහ කඩුල්ල තරණය කිරීමේදී ඒකාබද්ධය පැටලී සිටින මහා ජංජාලය එයයි. මේ වන විටත් පක්ෂ මධ්‍යය තුල මේ අරඹයා උණුසුම් මත ගැටුම් ඇති බවට සැක නැත. පක්ෂ ජේෂ්ඨයන් තැනින් තැන සිදු කළ ප්‍රකාශ වලින් එය ටිකෙන් ටික පිටතට කාන්දු වෙමිනි පසු ගිය කාලය ගෙවුනේ. පෙබරවාරියේදී නැවත  තමන් අතට ආ බලය , කටට දමාගන්න හොඳටම අවස්ථාව තියෙද්දී එය ගිලිහී යාමේ බයානක සිහිනය හැබහින් දකින්නට වේදෝයි යන කම්පනයෙන් පක්ෂ මධ්‍යය පීඩා විඳින බවට සැක නැත.

පක්ෂ මධ්‍යය මෙවැනි තාක්ෂණික සහ පක්ෂපාතීත්වයන් පිළිබඳ අර්බුධයකට මුහුණ දුන්නද පක්ෂය වටා එකතුවී ඇති ජනයා ඉතා උනන්දුවෙන්, ජවයෙන් 2020දී ආණ්ඩුවට බැටේ දීමට සැදී පැහැදී සිටින බව පැහැදිළිය.මෙවැනි ත්ත්වයක් යටතේ පෙබරවාරියේදී ලද ජයග්‍රහණයත් සමග ආ ගැම්ම තවදුරටත් පවත්වා ගැනීම අනිවාර්ය කරුණක් බව ඒකාබද්ධය දනී. සරළ සිංහලෙන් කියනවා තම පාක්ෂිකයන් warm down වෙන්න නොදී තියා ගත යුතුය. අභ්‍යන්තරයේ ඇති බල අරගලය වඩාත් හොඳින් විසඳා ගන්නකම් පාක්ෂිකයන් අතර උණුසුම නිවෙන්න්ට නොදී තබා ගැනීමේ අරමුණකි ජන බලය කොළඹට ව්‍යාපෘතිය.  ඇතුලත ගිනි පිටතට නොදෙමින්, පිටත ඇති ජන බලය පරීක්ෂා කරමින් මානසික සහනයක් ලබාගැනීමේ අරමුණද ඒ අතර වේ.එහි පැමිණි 90%ක් ජනයා මහින්ද රාජපක්ෂ ගැන ඇති භක්තියෙන් හා විශ්වාසයෙන් පැමිණි අය බව පෙනෙන්න්ට තිබුණි. උන් බීලා වෙරි වෙලා පිස්සු නටද්දීත් කිව්වේ මහින්ද ගැනය. ඒ උමතුව 2020 වෙනතෙක් ගෙනයාම ඒකාබද්ධයේ අරමුණය. පසුගියදා පැවති එම මෙහෙයුම මට අනුව අසාර්ථක විසිර යාමකින් අවසන් වූවක් උවත් එයට පැමිනි මහින්ද ලෝලීන්ට එය කෙසේ දැනෙනවාදැයි උපකල්පනය කිරීම අසීරුය. මහින්ද සාධකය එම ජනයාගේ විඥානය හසුරුවන ආකාරය ඉතා සංකීර්ණ බැවිනි. ජනපතිවරණය ගොඩදා ගතහැකි අපේක්ෂකයා තහවුරු වන තෙක් මහින්ද පෙන්වමින් මේ ජන සමූහය ඒකාබද්ධය වටා තදින් ඇද බැඳ තබා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් ඇත. ඒ අතර කාලයේ  හාස්කමකින් වී ජනාධිපතිවරණයට පෙර  මහ මැතිවරණයකට අවස්ථාවක් ලැබුනොත් ඒකාබද්ධයට මල් පිපෙනු ඇත. නමුත් ඒ හාස්කම සිදුවේනම් සිදුවන්නේ පාර්ලිමේන්තුව තුල මිස මෙවන් මහපාරේ සෙනග පිරවීම් වල නොවේ.