Sunday, August 21, 2016

කලාව සදහා රාජ්‍යයේ මැදිහත්වීමක් ?






කලාව සදහා දියුණු කිරීමට හා ප්‍රමිතිගත කිරීමට රාජ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාව පසුගිය කාලය පුරාම අහන්න ලැබුණා.දෙරණ film awards හීදී වේදිකාවට පැමිණි බොහෝ දෙනා කටපාඩමෙන් වගේ කිව්වේ රජය මැදිහත් වෙලා චිත්‍රපටි කර්මාන්තය ගොඩ දාල දෙන්න වගේ කථාවක්.ඔය කථා වල, වඩා උත්සන්නතම අවස්ථාව මෑතක පැවැත්වුනු රාජ් නාට් උළෙලේදී දැකගන්න පුලුවන් උනා. රජ විසින් කලාව කෙරෙහි දක්වන අඩු සැලකිල්ල පිලිබද විවේචනය කරමින් එහි කලා ශිල්පීන් වේදිකාව මත දැක්වූ නිහඩ විරෝදතාව සහ කථා කරමින් දැක්වූ අදහස්. වගේම පසුගිය දවස් වල පුවත් පත් කිහිපයකම මේ මැදිහත්වීමේ අවශ්‍යතාව ගැන , කලාකරුවන් කිහිප දෙනෙක්ම තම අදහස් දක්වා තිබුණ.

සැබවින්ම රාජ්‍යයකට හෝ ආණ්ඩුවකට මොකටද කලාව ? .මේ පවතින ධනවාදී , පරිභෝජනවාදී ක්‍රමයන් යටතේ කිසිම ආණ්ඩුවකට මිනිසුන්ගේ කලා  රසඥතාව දියුණු කිරීමේ උවමනාවක් නෑ. කොටින්ම අධ්‍යාපනයේ ගුණාත්මක භාවය කෙරෙහිත් ලාචෝරු ඇල්මැරුණු ප්‍රතිපත්ති ඇති මෙරට ආණ්ඩු වලට කලාව කන්නද?...කලාව වැගත් වෙන එකම තැන වෙන්නේ ආණ්ඩුවට ගොඩයාහැකි සල්ලි ගරන මට්ටමේ වැඩක් උනොත් පමණයි.නැත්නම් ඡන්දයක් ලන් වෙද්දී සමාජයේ තරු ලෙසින් බැබලෙන කලාකරුවන් ලන් කරගෙන තමන්ගේ අදුරු ප්‍රතිරූප එලිය කරගැනීම සදහා තමයි දේශපාලකයන්ට කලාව අවශ්‍ය වෙන්නේ.නමුත් ඉතින් ලන්කාවේ නම් සල්ලි වලට, දේශපාලකයන්ගේ අදුරු චරිත වලට එළිය දෙන්න ගිය බොහෝ කලාකාරයො කරගත්තෙ තමන්ගේ චරිතෙ අදුරුකරගත්ත එක විතරමයි.හරිවිදියටනම්  ඒ කලාකරුවො කරන්න ඕනි දේශපාලකයන්ගේ එළිය වැඩි කරල දුන්නට පස්සෙ තමන්ගේ ක්ෂේත්‍රයට දේශපාලකයන් හරහා එළියක් ගේන එක.ඒ උනාට දේශපාලකයන්ට ලන්වෙලා තමන් සතුව තිබ්බ එළියවත් බේරගන්න බැරිඋන මිනිස්සු තමගේ ක්ෂේත්‍රයට කොහොම එළියක් අරන් එන්නද?

ඇත්තටම ආණ්ඩුවක් කලාවේ ගුණාත්මක භාවය රැකගන්න හෝ ඒ කලාව රැකගන්න මැදිහත් විය යුතුද? ආණ්ඩුවක් ඉන්නේ රටේ නීති රීති සකස් කරලා,ප්‍රජාතන්ත්‍රවාදය,ආරක්ෂාව ස්ථාපිත කරල මිනිස්සුන්ට අවශ්‍ය යටිතල පහසුකම් හොදින් සපයා දෙන්න.ඔය අතරෙම කලාවට අවශ්‍ය යටිතල පහසුකම් ටිකත් දෙන්න පුලුවන් වෙනවනම් හොද තමයි.මේ දක්වාත් පැවති ආණ්ඩු යම් මට්ටමකට ඒක කරගෙන ඇවිත් තියනවා.රටේ පොදු ජනයාට මහත්සේ බලපාන ප්‍රවාහනය,සෞඛ්‍ය,අධ්‍යාපනය යන අන්ශ වල යටිතල පහසුකම් වල අවුරුදු ගනාවක් තියන ප්‍රශ්න විසදාදෙන්න බැරිවුනු මෙරට ආණ්ඩු වලින් කලාවට අවශ්‍ය කරන පහසුකම් තව වැඩිපුර දෙන්න කියල ඉල්ලන එක විහිලුවක්.ඊටත් වඩා විහිලුවක් රජය මැදිහත් වෙලා කලාවේ ප්‍රමිතිය ආරක්ශා කරදෙන්න ඕනි කියන එක.මේ ප්‍රමිති ආරක්ෂණ කථාව වැඩිපුරම ඇහෙන්නේ ටෙලිනාට්ය ක්ෂේත්‍රයෙන්.ඊට අමතරව චිත්‍රපටි ක්ෂේත්‍රයෙත් ඉදල හිටල මේ කථා ඇහුනා විවිධ කාලයන් වලදී.

කලාවේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම කියන්නේ නරියට කුකුල්ලු භාර දෙනවා වගේ වැඩක්.කලාවේ ප්‍රමිතිය තීරණය කරන්න පුලුවන්ද මැටි මෝලුන්,දූශිතයන් හා ධනවාධීන් පිරුණු ආණ්ඩු වලට.මහින්දගෙ කාලෙ වගේ නම් අපි දැක්ක අපූරුවට කලාව ප්‍රමිතිගත වු හැටි.කලාව පවා මහින්ද චින්තනයට අනුකූලව ගමන් කලයුතු බවට මතයක් ඒ කාලේ අදාල අන්ශ වල නිලධාරීන්ගෙන් කියවුනා.ඔන්න ඕක තමයි ඉතින් කලාවේ ප්‍රමිතිය උදෙසා රජයන්ගේ මැදිහත්වීමේ ප්‍රතිපලය වෙන්නේ.අපි කලාව සදහා මැදිහත්වීමට රාජ්‍යයෙන් ඉල්ලා සිටිනවානම්, රාජ්‍ය තුල පවතින මර්ධනකාරි වාරණයන්ද පිළිගත යුතුයි.එහෙනම් ඉතින් films වල කෑලි කපන්න කීවාය,මගේ film එක තහනම් කලාය, අපි කලාකරුවො- ඕනෑම නිර්මාණයක් කරන්න අපිට නිදහස තියනවාය කියල කියන එව්වා බයිලයක්ම තමාය.රාජ්‍යයට කලාව සදහා මැදිහත් වීමට ආරාධනය කරනවානම් ආණ්ඩු මගින් කලාවේ සීමා මායිම් ලකුණු කරමින්,වාරණයන් ගෙනෙමින් කරන ක්‍රියාවලියටත් එකග විය යුතුය.

කලාව යනු රාජ්‍යයක් විසින් පවත්වාගෙන යන්නාවූ දෘෂ්ඨිවාද සමූහයට නතු නොවෙමින්,සාමාන්‍ය ජනයා ඉස් මුදුනින් පිලිගන්නා විශ්වාස පද්ධතීන්වලට කොටු නොවෙමින්, තුන් කල් දකිනා නිර්මාණාත්මක ක්‍රියාවලියකි.එය සැබවින්ම පවතින ක්‍රමය අතික්‍රමණය කරමින් ඉදිරියට යන මාධ්‍යක් විනා පවතින ක්‍රමය තුල සිරවී කුණු වෙමින් පැවතිය යුතු මාධ්‍යයක් නොවේ.එය සැමවිටම ඉදිරියට යා හැකි මාර්ගයක් සොයාගන්නා ක්‍රියාවලියකි.ඉන්දියානු බාල මෙගා රැලි ආවිට මෙරට නාට්‍ය කලාව අභියෝගයට ලක්වෙද්දී මෙරට නාට්‍ය කරුවෝද මෙගා නාට්‍ය හැදුවෝය.පවතින තත්වය තුල නොනැසී පැවතීමට අවරගනයේ නාට්‍ය නිර්මාණය කිරීමට ඔවුන් මෙහයවූ බව පැහැදිලිය.නමුත් ඒ පවතින පිලුණුවූ නාට්‍ය රැල්ල තුල පවා තම නිර්මාණ කෞශල්‍ය පෙන්වන්නට නාට්‍ය කරුවන් සමත්වූ බවට නිදසුන් සොයාගත හැක (අප්පච්චි,තක්සලාව,A/Lඉවරයි,හැන්දෑව...etc). ඉතින් පවතින තත්වයට නාහෙන් නොහඩා තම කලාව දියුණු කරගැනීමට ආණ්ඩු වලට පින්සෙන්ඩු වෙනවා වෙනුවට දියුණු කරගැනීමේ නිර්මානාත්මක ප්‍රවේශය ගතයුත්තේ කලාකරුවන්මය.චිත්‍රපට කර්මාන්තය සදහාත් මිනිස්සු එන්නේ නැති බව කියමින්ද , ශාලා හිමියන් ගසා කන බව පවසමින්ද ආණ්ඩුවේ මැදිහත්වීමක් ඉල්ලන සිනමාකරුවන්ද නව මාර්ගයන් හා නව රස නහරයන් සොයා ගතයුතුය.ලන්කාවේ films බලන්න මිනිස්සු නොපැමිනෙන්නේ සිනමා ශාලා වල ප්‍රමිතිය නැති නිසා නොව මෙරට බිහි වෙන බොහෝ සිනමා නිර්මාණ කටේ තියන්නට බැරි එව්වා නිසාය.ලෝක සිනමාව හා ගත්කල මෙරට සිනමා නිර්මාණ ඇත්තේ ඉතා පහලින් බව කිවයුතු නොවේ.අපට තාක්ෂණය නැත කියා කීම ඊට නිදහසට කරුණක්ද නොවේ.හෝ ගානා පොකුණ,ඇඩ්‍රස් නෑ වැනි විශිෂ්ඨ නිර්මාණශීලී ව්‍යායාම යනු අපේ නාහෙන් ඇඩීමේ මඩ ගොහොරින් එළිඅයට පැමිණි විශිඨ කලා කෘතීන්ය.ඒවා කලාත්මක ගුණයෙන් මෙන්ම ශාලා තුලට ප්‍රේක්ෂකයන් ඇද ගැනීමේ ගුණයෙන්ද පිරී පැවතුනි.

පවතින නව තාක්ෂණික හා සමාජ භාවිතාවන් උපයෝගී කරගෙන තම නිර්මාණ රසික ජනයා වෙත ලන්කිරීමට කලාකරුවන් සවිඥානික වියයුතුය.සමාජය කැරකෙන ක්‍රමයට අදාල නිලය අල්ලාගැනීමට නොහැකිව, පවතින තත්වයට ශාප කරන්නේ නම් ඒ කලාකරුවාගෙන් වැඩක් නැත.කොලයක් මත පෑනෙන් කුරුටුගෑ වචන සමූහයක්ම වියයුතුයැයි තවමත් සිතා සිටිනවානම් ,දෘශ්‍ය නිර්මාණයක් නම් එය පුන්චි තිරයේ හෝ රිදී තිරයේම පෙන්විය යුතුය යනුවෙන් සිතා සිටින්නේනම් එය මුලාවකි.තම අදහස ජනයා අතරට පත් කිරීම සදහා facebook,blogs,youtube වැනි නව මාධ්‍ය අද ඒ සදහා විවරව පවතින්නේය.ඒවා නිසි අයුරින් තමන්ට ගැලපෙන ලෙස කරකවා ගැනීම කලාකරුවා සතුය.අනික කලාව යනු අපි මේතාක් කියමින් සිටිනා සම්ප්‍රදායික චිත්‍රය,නාට්‍යය,ගීතය හා චිත්‍රපටය පමණක් නොවේ.ගප්පියා,පොඩ්ඩා වැනි නිර්මාණකරුවන් හරහා එලියට එන්නේ වර්ථමාන අදහස් ප්‍රකාශ කිරීමේ නව මුහුනුවරයන්ය.ඒවා තව අවුරුදු 20ක් 25ක් ගිය තැන ඉහළ කලා නිර්මාණ ලෙස සන්ජානනය නොකරාවියැයි කාට නම් කිව හැකිද?..අතීතයේ මිනිස්සු සීගිරි කැටපත් පවුර මත,  හිතට ආ දෑ ලිව්වේ අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යක් වශයෙනි.අද අපි ඒවා කලා නිර්මාණ ලෙස සලකමු.අතීතයේ බලි තොවිල් නැටුවේ මිනිසුන්ගේ ලෙඩ සුවපත් කිරීම සදහාය. එම බලි තොවිල් හා බැදුනු යාග හෝම,කෝලම් සම්ප්‍රදායන් අද අපිට කලාවන් වී ඇත.ඒ නිසා අද දවසේ තම කලාත්මක අදහස් ජනගත කිරීමට නව මානයන් කලාකරුවන් සොයාගත යුතුය.පවතින සම්ප්‍රදායික ක්‍රමවල තිබෙන්නේ නම් ඒ සදහා මැදිහත්වීමක් කලාව තුලින්ම කලයුතුය.කලාව සල්ලි වලට දියවී යන්නේ නම්, එය ජනයාගෙන් ඈත්වී යන්නේ නම්, වැරැද්ද  කලාකරුවාගේ මිස ආණ්ඩුවේ නොවේ.

කලාව යනු මිනිසුන්ගෙන් වෙන් කල හැකි දෙයක් නොවේ.එය මිනිසා තුල ස්වාභාවිකව පවතින නිර්මාණාත්මකව අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවයි.මිනිස්සු සල්ලි දීලා නාට්‍ය බලන්නට එන්නේ නැත්තේ එක්කෝ මෙරට කලා නිර්මාණ ලෝකයේ පවතින වෙනත් නිර්මාණ සමග ගත් කල පහළ මට්ටමේ පවතින නිසාය.නැතිනම් මිනිසුන්ට කලාව රසවිදිය හැකි සමාජ,මානසික හා ආර්ථික නිදහසක් නැති නිසාය.රජයක් කලයුත්තේ මිනිසුන්ගේ ජීවන තත්වය උසස් කිරීමය.එවිට සමාජ,මානසික හා ආර්ථික නිදහස ලැබී මිනිස්සු කලාව වෙනුවෙන් තම කාලය හා මුදල් කැප කරනු ඇත.රජය කීදාහක් වියදම් කරලා චිත්‍රපටිශාලා , නාට්‍ය ශාලා හැදුවත්, හවසට කලා නිර්මාණයක් බලලා නිවිහැනහිල්ලේ ගෙදර යන්නට තරම් රටේ ප්‍රවාහන සේවාව දියුණු නැත්නම්,බස් එකට දුම් රියට ගොඩවූ විට අත කකුල තිබූ තැනටත් කකුල අත තිබූ තැනට යන්නට තරම් ඒ මගී ප්‍රවාගන සේවා ආශ්චර්යමත් නම්,කලා නිර්මාණයක් රසවිදීමට මුදල් යෙදෙව්වාට පසු තම පවුලේ අනෙක් වියදම් පිරිමසා ගන්නට මුදල් ණයට ගන්නට වන්නේ නම් කලාව රස විදීමෙන් මිනිස්සු මදකට ඈත් වෙනු ඇත.ඒ අඩුව පිරිමසා ගැනීමට අවරගනයේ නිර්මාණ සදහා යොමුවෙනු ඇත.ඒ නිසා රජයක් කල යුත්තේ රටක යටිතල පහසුකම් හා ආර්ථිකය දියුණු කිරීමය.එවිට ජනයා යහපත් හා නිදහස් මනසින් යුතුව කලාව රසවිදීමට යොමු වනු ඇත.රජය ඒවා දියුණු කලත් නොකලත් පවතින තත්වය තුල කුණු නොවී තම කලාත්මක ප්‍රකාශනය ජනගත කිරීමේ නව මුහුණුවර සොයායෑම කලාකරුවා සතුය.


Sunday, August 14, 2016

නයි පැටියා දුටු ගාලු කොටුව







නයියාත් නයි හාමිනේත් ( ශිවන්‍යා එහෙම නෙවි හොදේ) ඊයේ හෙන කාලෙකට පසු ගාලු කොටුව බලන්නට ගියෝය.කවදත් මෙන් ගාලු කොටුව සුන්දරව පැවතුණි.නමුත් ඉස්සර ඉස්කෝලෙ යන කාලේ මෙන් නොව ගාලු කොටුව පරිසරයත් එය නරඹන්නට එන පිරිසේත් යම් යම් වෙනස්කම් සිදුවෙලා තිබේ.කොහොම උනත් ඊයේ රෑ හීනෙන් නයියා, නයි පැටියෙකු වී ගාලු කොටුව බලන්නට නැවත ගියේය.ගාලු කොටුව බලලා ඉස්කෝලෙ ගිය ඊලග දවසේ නයි පැටියාගේ ඉස්කෝලෙ ටීචර් තමන් ගිය චාරිකාවක් ගැන වාක්‍ය සැට් එකක් ලියන්නට කීවාය.නයි පැටියා ලියූ ආතල් රචනය පහලින් පළවෙන්නේය.

1. අපි ඊයේ උදැහැනැක්කේම  ගාලු කොටුව බලන්නට ගියේ CTB බසයක නැගලාය.බස් එක නවත්වද්දීම කොන්දොස්තර මාමී කෑගැසුවේ තේ බොන්නේ නෑ නගින්න යැයි.අපි ඉතින් ගෙදරින් එද්දීම අම්මි හදා දුන් කිරි එක බීලා ආ නිසා අපිට තේ ඕනේද නැත.තේ දෙන්නේ නැති එකේ මගදී orange juice වීදුරුවක්වත් හම්බවෙනු ඇතැයි මම සිතුවෙමි.

2. බස් එකට නගිද්දී යන්තම් seat දෙකක් හිස් වෙලා තිබුනේය.අම්මී එක සීට් එකකත් මම තව සීට් එකකත් වාඩි වීමු.මගෙන් එහා පැත්තේ මොකක්දෝ විභාගයක් ලියන්නට යන අක්කි කෙනෙකි (අක්කි ලියන්න යන්නේ A/L කියලා හෙන මරුමුස් විභාගයක් බව අපේ අම්මි මට ගෙදර ආවට පස්සේ පැවසීය).අක්කි කොලයක් බලාගෙන මුනු මුනු ගා එය කියවන්නීය.එහෙත් වැඩි වෙලා කියවන්නට වෙන්නේ නැත්තේ විනාඩි දහයෙන් දහයට අක්කීගේ තඩි පෝන් එකට එන calls නිසාය.

3. එය අපේ තාත්තීගේ පෝන් එක මෙන් නොව හෙන ලොකු තිරයක් ඇති පෝන් එකකි.එයට ලොකු පෝන් එකක් හෝ පොඩි ලැප් ටොප් එකක් කියා කියන්නටද ඇහැකිය.අක්කී දැන් බස් එක තියනා තැන පෝන් එක මූනේ තබා එහා පැත්තේ සිටින කෙනාට කියන්නේය (හරියට ගූගල් මැප් එක වගේය.).නමුත් එහා පැත්තේ සිටින කෙනාට කොච්චර කිව්වත් එය ඇහෙන්නෙ නැතිය.අක්කී ඉතින් පොඩි ලැප් එකේ කන  තබන තැන, කට ලගට කර ඉන්නා තැන නැවත නැවතකියන්නේය. ඔය සිද්දිය වරකට පස් පාර බැගින වාර 7,8ක්ම සිදු විය.ඇහෙන්නේ නැති එකාට කුදගහගනින් කියල ලැප් එක තියපන් අක්කේ කියලා මට කියන්න හිතුනේ අක්කි අනික් පැත්තේ ඉන්න කෙනාට කියනදේ ඇහෙනකල්ම ගේම අතාරින්නේ නැති නිසාය.

4. CTB බස් එකේ private බස් එකේ මෙන්නොව කෙලින් අතට පොලු තිබෙන්නේය.ඉතින් පොල් පටවාලා ඒක අස්සට කුරුම්බැට්ටිත් රින්ගවලා වගේ තිබූ බස් එක ගාල්ලට සේන්දු වූ කල ඒකෙන් බහින්නට ලේසි නොවුනේය.ඒකෙන් බහින්නට ගොස් තැලුනු තැලිල්ලට තවමත් හන්දිපත් රිදෙනවාය.බස් එකේ උස අතට දමා තිබෙන පොලු සැට් එක අයින් කරන්නට යහපාලනය යටතේවත් බැරිද මන්ද ?...එසේ අයින් කරන්නට බැරි නම් හාල් ගෝනි සයිස් ගෑනු,පිරිමින් බස් වල යෑම තහනම් කලයුතු බව නයි පැටියා වන මම මෙයින් දන්වා සිටිමි.

5. කොහොමින් කොහොමින් හරි ගාලු කොටුවට ආ මට නම් දකින්න ලැබුනේ හැමතැනම ලස්සන ලස්සන ජෝඩුය.මුහුද බැලිල්ල පැත්තකට දමා මම කලේ ජෝඩු බැලිල්ලය.අපේ තාත්තා ඉස්සර කියලා තිබ්බේ ගාලු කොටුව අස්සට රින්ගන්නේ tuition යන අයියලා අක්කිලා කියලාය.ඒත් මෙයාල ඊට වඩා ලොකු නැන්දිලා මාමිලා වගේ අයය.අනික එයාල ඇවිත් තිබ්බේ එහෙ මෙහෙ රින්ගලා අනම් මනම් කරන්නට නොව තව බැටෑලියන් එකක් සමග පොටෝ ගන්නය.අපේ අම්මී කිව්වේ මේ ඇවිල්ල තියෙන්නේ pre-shoot කොරන්නයි කියලාය.

6. අපි ගාලු කොටුව පුරා පැය 3ක් විතර ඇවිද්ද අතර ඒ කාලය තුල ගනන් කල photo shoot ගනන 11ක් විය.දැන් දැන් ගාලු කොටුව සන්චාරක පාරාදීසයක් නොව pre shoot පාරාදෙසයක් වීගෙන එන්නේය.ඒකත් හෙන ජොලි වැඩේය.හරියට අපි චිත්තරපටි ගසනා තැනක් මැදින් ඇවිදයන්නා මෙන් හැගීමක්  හිතට එන්නේය. 

7. ඔය දැකපු shoot 11න් දෙකක් pre shoot නොව wedding shoot විය.ඒවායේ ඉන්න නැන්දිලා මගුල් සාරි වලින්ම සැරසී සිටිනිසාය පුන්චි මගේ මීටරේට එය වැටහුනේ.ඉතින් අපි පළමුවෙන්ම දැක්කේ රතුපාට සාරිය ඇදගත් මනාලි නැන්දී කෙනෙක් හා එයාගේ මනාල මාමා පොටෝ ගන්න ආකාරයයි.මනාලි නැන්දී නම් හෙනම ලස්සන බව අපේ අම්මී කීවාය.තාත්තී එවිට කීවේ එයා නොව එයාගේ makeup එක ලස්සනයි කියලාය.එයා ඇත්තටම ලස්සනද කියලා බලන්නට මගුලෙන් පස්සේ makeup නැතුව බලන්න ඕනෙයි කියලාය.කථාව ඇත්ත බව මටද සිතුනේ, මනාලි ඇන්ටිගේ මූන බැලූ පසුය.එයාගේ මූන සෝස පාටය.ඔය වගේ ඇත්තටම මූන සෝස පාටනම් ඇන්ටිටට මූන තියාගෙන බස් එකක නම් යන්නට වෙන්නේ නැතිය.මූන කන්නට අන්කල්ලා පොර බදනු ඇත......මනාල අන්කල් නම් පුරහද වගේ තට්ටේ තිබූ කෙනෙකි.එයාගේ තට්ටේට උදෑසන හිරු එකේය එළිය වැටී දිස්නය දුන්නේ.එය ඇන්ටිගේ පාට තැවරූ මූනටත් වඩා එලියයි .

8. අපි ඊලගටත් දුටුවේ මනාලි ඇන්ටි කෙනෙක්ය.එයා නම් හරිම sweetය, සූටිය.නයි පැටියා එයා දිහා බලන් ඉන්නවා දැකලා එයා ලැජ්ජාවෙන් බිම බලාගත්තේය.මන් වගේ පොඩි ලමයෙක් දැකලාත් ලැජ්ජ වෙන්න තරම් ඇන්ටි හරි සුකුමාලය.මේ තරම් ලැජ්ජාශීලීවූ සූටි ඇන්ටිව ගොඩ දාගන්න මනාල අන්කල් පට්ට කට්ටක් කන්නට ඇත.ඇන්ටි දිහා ඕනිවට බලන් හිටි මට අපේ අම්මි ටොක්කක් ඇන්නාය.

9. එතනින් පස්සේ දැක්ක ඔක්කොම pre-shoot ය.ඒවායේ සිටි අන්කල්ලා අර wedding shoot දෙකේ මෙන් නොව, ඇද සිටියේ අපි trip යනකොට අදිනවා වගේ ඇදුම්ය.ඇන්ටිලානම් එක එක සුකුරුත්තම් ඇද සිටියෝය. හැබැයි ඒ හැම ඇදුමක්ම කොට ඒවාය.වෙඩිම දවසේ මුලු ඇගම වැහෙන්න සාරි පටලන් දුක් විදින්න වෙන නිසා pre-shoot වලදී කොටට ඇදලා relax වෙන්නට ඇන්ටිලා කැමති ඇති.

10. ඉතින් ඔය හැම shoot එකේම camera මානා ගත් අන්කල්ලා එහෙට ඇඹරී,මෙහෙට බෙල්ල්ල උලුක් කර පොටෝ ගන්නවාය.Couple එකටත් එක එක actions දමන්නට කියනවාය.ඒකත් හෙන ආතල් වැඩේය.Pre-shoot එකක් නිසා හරි කැමරාවක් ඉස්සරහ රගපාන්න චෑන්ස් එකක් ඒ අන්කල්ලා ඇන්ටිලාට ලැබෙන්නේය.සමහර ජෝඩු නම් ඔය එක එක එව්වා කලේ හෙන ලැජ්ජාවෙන්ය.නමුත් එක ඇන්ටි කෙනෙක් නම් හෙන confidence පිට පොටෝ වලට මුහුන දුන්නාය.තවත් ඇන්ටි කෙනෙක් තමන් ඇද සිටි ඇදුම ගැනවත් නොසිතා පොටෝ ගත්තාය.ඇන්ටිගේ ලිහිල් කොට සාය කෑල්ල සුලගේ ගොස් යටට මෙව්වා එකත් පෙනෙන්නටත් යන්නේය.ඒ උනත් ඇන්ටිට නම් මෙලෝ අවුලක් තිබ්බේ නැත.ඒ උනාට ඒක දැකලා අපේ අම්ම්මාට නම් හෙනම අවුල් ගියේය.ඉස්සර උන් හැන්ගිලා කරන එව්වා දැන් හැදෙන උන් එලිපිටම කොරන්නට යන බව ඇය කීවේ pre-soot couple එකක් තම තමන්ගේ කටවල් කන දර්ශනයක් දැකලාය.ඒ කට කන සීන් එක ගැන අහන්න ප්‍රශ්න කිහිපයක්ම මගේ ඔලුවට ආවත් අම්ම සිටියේ අවි අතට අරන් නිසා ප්‍රශ්න සැට් එක මම ගිලගතිමි.

11. තවත්  වෙන්ඩ මනාලි ඇන්ටි ගෙනෙක් පාරේ වාඩි කරවා පොටෝ අන්කල්ලා පොටෝ ගත්තෝය.ඇන්ටි බිම ඉදගෙන ඉන්නේය.පොටො අන්කල් පොටෝ එක ගන්නට මහ පාරේ බිම දිගාවෙලාය.පොටෝ අන්කල්ලා කොරන්නේ එසේ මෙසේ රාජකාරියක් නොවන බව මට වැටහුනි.එයා බිම දිගා වෙලා ඉන්න ගමන්ම මනමාලි ඇන්ටිට දැමිය යුතු එක එක ඉගි බිගි කියාදෙන්නේය.බිම දිගා වෙල ඉන්න ගමන් දාන ඕනා කරන actions රගපාල පෙන්නනකොට මේකාගේ බෙල්ල උලුක් වෙන්නේ නැද්ද මන්දා කියා මට සිතුනේය....හැමගේ අවදානය වෙන්ඩ මනාලි ඇන්ටි කෙරෙහිය.වෙන්ඩ මනාල අන්කල් පැත්තකට දමලාය.එයා ඔහේ බලා උන්නේ ඇයි මම කලුද ? කියා සිතමින් වියයුතුය.

12. අන්තිමට දුටු pre-shoot එක Korean ඇන්ටිලා සමූහයකගේ එකකි.ඒකේ මනාලි ඇන්ටි ගවුමකින් සැරසී සිටියත් ඇගේ යාලු Korean ඇන්ටිලා හැමෝම සාරි ඇදලා සිටියෝය.ඒකත් පුල් මොඩර්න් පන්නයටය.මොඩර්න් පන්නයට සාරිය ඇන්දාම කුක්කු වලින් යට ටිකෙන් පටන් ගෙන බුලියෙනුත් සෑහෙන ප්‍රමාණයක් පහලට යනතෙක්, ඇන්ටිලාගේ බඩ පුට් බෝල් පිට්ටනියක් තරම් පෙනෙන්නෙය.මෙයාලා කොරියන් හෝ චීන ඇන්ටිලා බැවින් එයාලාගේ බඩවල් සුදුම සුදුය.ඒ උනාට හින්දි පිලුම් වල පෙන්වන ඇන්ටිලාගේ බඩවල් තරම් මේවා quality නැත.

13. ඔය Korean මෙව්වා එක බැලීමෙන් පසු අපි ගොඩ වූයේ සමුද්‍ර කෞතුකාගාරයටය.ඒකට ගොඩ වනවිටම හෙන බැටෑලියන් එකක් ඒක ඇතුලේය.එකේ දොරකඩය.උන් අපි දිහ විපිලිසරවී බැලුවේ අපි නිසා උන්ට හෙන අපහසුතාවක් වූවාක් මෙන්ය.සමහරවිට මේ කෞතුකාගාරය ප්‍රදර්ශනය සදහ දැමූ එකක් නොවිය යුතුය.ඒ ඩෑල් සැට් එක අපි දිහා ඒ විදිහට බලන්නේ ඒකය.කලින් කියන්නට අමතක උනේ ඊයේ ගාලු කොටුව පුරාම හමුදා මාමිලා පිරිලාය.බැලින්නම් අපේ අගමැති අන්කල් ඊයේ කෞතුකාගාරය බැලීමට එනවාය.අර බැටෑලියන් එක සිටිය එතුමාගේ ආරක්ශාවටය.අපේ මුලු ඇගම අතපතගාලා එයාලා අපිව ඇතුලට දැම්මෝය.

14. මුලු කෞතුකාගාරයටම සිටියේ සුද්දන් දෙදෙනෙක් හා අපේ තිදෙනාත් පමණි.ඒ නිසා අගමැති අන්කල් ආවොත් ලොවෙත් අපිත් එක්ක කතා කරනවා සිකුරුය.මේ තරම් ඉතිහාසය ගැන උනන්දු ලාන්කිකයන් තිදෙනෙක්හෝ සිටීම ගැන එතුමා සතුටු වනු ඇත.අපිට ලන්කාවේ ඉන්නා මාලුන් background එකට අහු වෙන ලෙස අගමැති අන්කල් එක්ක සෙල්පියක් ගැසීමටත් හැකි වනු ඇත.

15. ඒ උනාට අගමැති අන්කල් එනකල් බැලීමට තරම් දෙයක් කෞතුකාගාරයේ නොතිබ්බේය.සමහරවිට අගමැති අන්කල්ටත් වෙලාවට වැඩ කිරීමේ හැකියාව නැති වෙලා වෙන්නට ඇති.එයා පහු ගිය දිනවල, ඉස්සර ජනපති ඇන්ටි කෙනෙක් වූ සැටලයිට් ඇන්ටිව වැඩියෙන් ආශ්‍රය කල බැවින් එයාගේ තිබූ වෙලාවට වැඩ නොකිරීමේ ගුණය මෙයාටත් බෝවෙලා වෙන්නට ඇතිය.ඒ කාලේ අපේ අම්මලා එයැයිට කිව්වේ පමාවතී කියලාය.මොකද එයා එන උත්සව වලට  රට පුරා මිනිස්සු මගබලමින් අව්වේ කරකුට්ටන් වුනේලු.එයා කියන වෙලාවට කවදාවත් වැඩ කලේ නොමැති චරිතයක්ලු.........


.......................පමාවතී නියම නම.හිකි හිකි............."මොකද අනේ අද දවසම නිදාගන්නද හදන්නේ..?"... අම්මටසිරි ශිවන්‍යා..නෑ නෑ නයි හාමිනේ....."අද කරන්න වැඩ වගයක් තියනවා කිව්වා නේද?...රචනාව අවසන් කරන්නට නොලැබුනේය.නයියා ගාලුකොටුවෙන් බිමට වැටී ඇහැරුනේය. හාමිනේ ගෙනත් දුන් කිරි තේ කෝප්පයේ රස්නය , පූ පූ ගා කටින් නිවමින් බොන්නට පටන් ගත්තේය....නගින්න නගින්න තේ බොන්නෑ....CTB කොන්දා කෑගසනු තවමත් ඇසෙන්නා වාගේය.

Wednesday, August 10, 2016

අපේ කොම්පීතර් ලැබ් එක






පසුගිය දවසක දෙවන වතාවටත් හෝගානා පොකුණ චිත්‍රපටය නැරඹීමට අවස්ථාව ලැබුණි.සින්හල චිත්‍රපටයක් ඉතින් දෙවතාවක් බලන්නට හිත දෙනවා  කියන්නේ ඉතින් ලේසි පහසු දෙයක් නොවේය.ගොඩක් සින්හල ෆිලුම් බලලා අවසානයේ හිතෙන්නේ මොන රෙද්දට බලන්න ආවාදැයි කියන කාලකන්නි හැගීම පමණක් නිසාය.ඒ අතින් හෝගානා පොකුණ අති සාර්ථක නිර්මාණයක් බවට අමුතුවෙන් කියන්නට දෙයක් නැත්තේය.බඩ පැලෙනකල් හිනා වෙන්නට පුලුවන් දර්ශන මෙන්ම අපිටත් නොදැනී අපේ ඇසින් කදුලක් එලියට ගන්න පුලුවන් අවස්තා වලින්ද හෝගානා පොකුණ පිරී ඇත්තේය.නානසාර නම් චීවරධාරියාට අනුව බුදු දහමට වින කටින සූක්ෂ්ම සටකපට දිය සුලියක්ද මේ පොකුණ මැද්දෑවේ ඇත්තේය.
ඒ කොහොම උනත් අද සටහන හෝගානා පොකුණේ චමත්කාරය පිලිබද නොවේ.මේ සටහන ලියන්න හිතුනේ ෆිලුමේ තිබූ එක්තරා දර්ශනයක් වන, ඉස්කෝලෙට අලුතින් පියානෝවක් ගෙන ආ දිනවල ඒ කුමක්දැයි කියා විපිලිසරවන වන පොඩි උන්ගේ දග වැඩ දැකීමෙන් මට අපේ ළමා කාලය සිහි වූ බැවිනි.

අපි ඉස්කෝලෙ 8,9 වසර වල ඉන්න කාලේ ඒ කියන්නේ මීට අවුරුදු 15කට පමණ කලින් අපේ ඉස්කෝලේ අලුතින් බිල්ඩිමක් හැදුවේය.එය මහ ලොකු එකක් නොවේ.ඕනි නම් පන්ති කාමර දෙකක පමණ විශාලත්වයක් එහි තිබෙන්නට ඇත.නමුත් එය අපේ ඉස්කෝලේ තිබූ අනිත් බිල්ඩින් වගේ නොවේය.එහි වටේට ඝනැති වීදුරු ජාතියක් ඇල්ලූ පොශ් ජනේල සැට් එකක් විය.ඒවා කවදාවත් ඇරලා තිබ්බේ නැත.ඒවාට ඉතා හොද තත්වයේ තිර රෙදිද දමා තිබූ බැවින් කාමරය ඇතුලේ මොනවා තිබෙන්නේද ? මොනවා වෙන්නේදැයි නොපෙනුණි.ඉස්කොලේ තිබූ අනික් පන්තිවල නම් තිබ්බේ කසි කබල් ලෑලි උලුඅහු තිබූ ජනේල කව්ලුය.ඒවා වලින් වහින කාලයට පින්නද පායන කාලයට දුහුවිල්ලද නොඅඩුව පන්තිය ඇතුලට කඩාවැදෙන්නේය.

එනමුත් අලුත් බිල්ඩිම එසේ නොවී පොශ් වීදුරු ජනෙල් වලින් ෆුල් කවර් කර තිබ්බේ එය AC කර තිබෙන කාමරයක් නිසාය.එය AC කරතිබ්බේ වෙනකක් නිසා නොව එය කොම්පීතර room එකක් වූ නිසා බව අපිට කලක් යද්දී දැනගන්නට ලැබුණි.හම්මේ ඉතින් computer lab එකක් ඉස්කෝලෙට ලැබෙනවා කියන එකනම් පික්සු පීකුදු වෙන වැඩකි.ඒ දවස් වල මම දන්නා කියන තැනක කියා කොපීතරයක් තිබ්බේ අපේ පවුලේ ලොකුම සල්ලිකාර නෑදෑයෙකුගේ ගෙදර පමණි.මන් දන්නා කියන එකෙක්වත් computer එකක් අල්ලා නොතිබ්බේය.ඔය කාමරය ලග නිකරුනේ ගැවසීමට ඉස්කොලේ ගුරුවරුන් අපට ඉඩ නොදුන්හ.හරියට එය අධිආරක්ශිත කලාපයක් මෙනි .අපි ඉතින් මේ වටිනා මහාර්ඝ මෙව්වා එක විවෘත කල පසු  බලා උන්නේ කවදා computer  එකක් අතපත ගාන්න චෑන්ස් එකක් වැදේදෝයි හීන දකිමිනි.

ඇත්තටම ඕකට Lab එක කිව්වේ ඇයිද කියා මට හෙන අවුලක් තිබ්බේය.මන් හිතාගෙන හිටියේ lab එක කියන්නේ විද්‍යාව පොතේ ඇති අනම් මනම් එව්වා මෙව්වා mix කොරන්න ඇති කාමරයකට කියාය.විද්‍යාව පොතේ ගැන computer ගැන සදනක් නොවූ බැවින් මේ කාමරයට lab එකක්යැයි කීම ගැලපෙන්නේ නැත....මාසෙකට එක පාරක් විතර අපේ විද්‍යා ගුරුවරිය අපිව ඕකට එක්කන් ගියේ පුන්චි අපේ නොමද ආසාව නිසාමය.Computer lab එකට යා යුතු වූයේ පන්සලට යද්දී මෙන් සපත්තු මේස් ගලවලාය.ඒකේ තිබූ computer අල්ලන හැටි කියාදෙන්නේට වෙනම ගුරුවරයෙක් වූවේය.හැඩය TV එක වාගේම උනත් computer එක පත්තු කිරීම, නිවීම TV එකේ වගේ button එකක් ඔබලා කොරන්න බැරි බව  ඔහු අපිට කියාදුන්නේය.අපි ඉතින් ඒ වටිනා computer රාජයන්ව ඇල්ලුවේ කෙරුවේ හරි භක්තියෙන්ය.හැම මාසයක් ගානේම කාමරේ ඇතුලට රින්ගුවත් අපි ඉගෙනගත් ලබ්බක් නම් නොතිබුනි.හැමදාම කලේ මොකක්දෝ player එකකින් සින්දු ඇසීමත් Microsoft Encarta වලින් එක එක රූප බැලීමත් පමණක්ය.

ඔය අතරතුරේම අපේ අයියා උගැන්වූ ඉස්කෝලෙටත් computer lab එකක් ලැබී තිබුනේය.ඒ ඉස්කෝලේ තිබ්බේ කොලොන්ගොඩ කියලා ඈත ගමකය.කොලොන්ගොඩ තියෙන්නේ හසලකිනුත් එහා 18km ක් ගිය තැනය.ටිකක් නගරබදව විසූ අපිටත් computer lab එකක් magic එකක් වූ කල රට ඇතුලේම වූ ගම් පෙදෙසක  ළමයින්ට එය කොයි තරම් ආශ්චර්යයක් වෙන්නට ඇත්දැයි පුන්චි මට ඒ දවස් වල සිතුනේය.ඉතින් ඒ ළමයින්ද පෙරුම් පුරා බලා සිටි ඒ කොම්පීතර කාමරේ විවුර්ත කිරීමේ උත්සවයට ආවේ එකල මධ්‍යම පළාත් මහ ඇමති තුමා වාගේ මතකය.ඔය උත්සවේ පිලි ගැනීමේ ගීතය ලියන්නට භාරවුනේ අපේ අයියාටය.මිනිහා ඉස්කෝලෙට ගියේ විද්‍යා ගුරුවරයෙක් ලෙස වුවත් එයගේ ඇගේ තිබ්බේ කලාව බව ඉස්කොලේ විදුහල්පති තුමා මැනවින් අවබෝධ කරගෙන තිබ්බේය.ඒ නිසා පිලිගැනීමේ ගීතය ඔහුට පැවරුවේය.මා මෙතෙක් අසා තිබෙන වෙනස්ම හා අවන්කම පිළිගැනීමේ ගීතය එයයි.එම ගීතය තුල පුන්චි අපේ තිබූ කුහුල මොනවට කියවුනේය.හෝගානා පොකුණේ පියානෝ ආශ්චර්ය දැකලා මට ඒ ගීතයේ මුල් පද කීපය මතකෙට ආවේය.


අපේ හීන පොදි බැදගෙන ,
අලුත හැදුව කාමරේ
යතුරු හිලෙන් අපි බලලා,
පැනල දිව්වා එක සැරේ..
එහෙම ගියත් හිත පාරන සිතුවිලි වල කරදරෙන්
මුදා ගන්න, පැමිනි ඔබ පිලිගමු අපි සාදරෙන්....



ඡායාරූපය හෝගානා පොකුණ චිත්‍රපටයෙනි

Saturday, August 6, 2016

යහපාලනය හා රාජ්‍ය මාධ්‍යය







ලගදීම මාධ්‍ය ආචාරධර්ම හෝ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් පනතක් එන්නට නියමිත බව බස් එකේ යන අතරතුර නයියාගේ කන වැකුණි.මේ පිලිබද මාධ්‍ය ප්ප්‍රධානීන් සමග කරන සාකච්ඡාවන්ද අවුලක් නැතිව යන බවත් එහිදී කියවුනි.කොහොමටත් ඉතින් මාධ්‍ය සම්බන්ධ නීති ගෙන ඒම යනු සෑම රජයකම කුප්‍රකට බලාපොරොත්තුවක් බව් නොකිවමනාය.මාධ්‍ය  තමන්ගේ remote control එක යටතේ ඉන්නවානම් ඉතින් ඕනෑම රජයකට ඕනෑම ගේමක්, ගේමක් නැතුව ගසන්නට හැකි බැවිනි. උනාට මාධ්යකාරයෝ එක්ක ඔවැනි නීති ගෙන ඒම ලේසි නැති බැවින් එසේ නීති ගෙන ඒමක් සිදු වන්නේ කලාතුරකිනි. එනමුත් යහපාලන ආණ්ඩුව යටතේ මෙරට ජනමාධ්‍ය  සෑහෙන පමණක නිදහසින් යුතුව කටයුතු කරන බව අමුතුවෙන් කියන්න ඕනෑ නැතිය.එම නිදහස ජනමාධ්‍ය  තුලින් පමණක් නොව පුරවැසි ප්‍රකාශනයන් හමුවේ වුවද මැනවින් දැකිය හැක්කේය.පහුගිය කාලයේ ජනපතිට,අගමැතිට සුද්ද සින්හලෙන් අමතලා ලිපි පමණක් නොව් බියකින් තොරව මුහුන පෙන්වමින් videos පවා අන්තර්ජාලයේ පල වුනේ නිසාය.මහින්දගේ කාලයේ videos දමන්නට තියා මිනිහාට විරුද්ධව අකුරක් ලීවේත් එහෙමත් එකෙක්ය. ඒ ලියූවත් ලියූ එකාට සිටින්න වෙන්නේ කොයි වෙලේ shot එක හම්බේදෝයි කියා චූ බර උන ගමන්ය.


මහින්දගේ දස වසරක පාලන කාලය යනු, රාජ්‍යය, සමාජයට වඩා ඉතා ඉහලින් වැජඹුනාවූත්,සාමාන්‍ය ජනතාවගේ විවේචනයට,විචාරයට හෝ ප්‍රශ්න කිරීමට ලක්නොවිය යුතුවූත් මුදුන් මල්කඩක් වූ පාලන සමයකි.නමුත් අද ඇත්තේ සපුරාම එහි අනික් පැත්තය.සමාජ බලය රාජ්‍යයේ බලය හා නිරතුරුව ගැටෙමින් පවතින්නේය. නිසා නිරන්තරයෙන් ආණ්ඩුව, රටේ සාමාන් ජනයාගේත්, ජන මාධ්යවලත් bite එක බවට නිතරම පත්වෙන ගතියක් දකින්න තිබෙන්නේය.එය හොද තත්වයකි.සමාජය රාජ්‍යය සමග නිරන්තර සන්වාදයක පැටලී ඇත්තේය. මේ නිදහස් මත දැරීමේ හා ප්‍රකාශන අයිතිය කරනකොටගෙන රජයට විරුද්ධ පාර්ශව විවිධ බොරු ප්‍රචාර හා සාහසික අදහස් නිරතුරුව පතුරුවන බවට රජය කිහිප අවස්ථාවකම  මැසිවිලි නැගුවේය.එම ප්රකාශන ජනතාව අතරට ගෙනයන සන්නායකය වන්නේ ජනමාධ්යන්ය. නිසා, ආණ්ඩුවේ මේ දෝශදර්ශනයේ ප්රධාන චූදිතයෙක් බවට ජනමාධ් පත්ව ඇත්තේය. පසු ගිය දිනෙක අපේ අතිගරු ජනපතිතුමා රැස්වීමක් අමතද්දී දිවයින පත්තරය උස්සාගෙන ඇවිත් ඊට හොදටම දෙහි කැපුවේ hybrid අධිකරනයක් ගැන පට්ටපල් බොරුවක් ප්‍රධාන සිරස්තලය ලෙස යොදාගෙන තිබූ නිසාය.මීට කලින් අවස්ථාවකත් එතුමා ඉතා වේදනාවෙන් කියා සිටියේ මේ පලවෙන අදහස් තමන්ව හිර කර, අඹරන්නට තැත් කරන ද්වේශසහගත ඒව බවයි.හොද වේලාවට එතුමා වැඩිපුරම බලන්නේ පත්තර බැවින් වැඩේ ශේප්ය.එතුම වැරදිලාවත් නිරතුරුව අන්තර්ජාලයේ සැරිසරන්නෙකු උනා නම් Internet එකේ පලවෙන මලඉලව් දැකලා  එතුමාට පපුවේ අමාරුව හැදෙනු නොඅනුමානය.


ඉතින් රජය මේ ගෙනෙන්නට යන මාධ් සම්බන්ධ මෙව්වා එකට වැඩිපුරම හේතු වී ඇත්තෙ ඉහත පැවසූ මෙන් සාවද් හා ද්වේශසහගත පුවත් බෙදා හැරීම වැලැක්වීමයි.එක අතකින් බලන විට මෙය මුල සිටම රජයේ තිබූ plan එකක් වන්නට බැරි නැත්තේය.අවුරුදු 2ක් පමණ මාධ්යට හොද හැටි නටන්නට දීලා, උන් පිස්සු බල්ලන් වගේ නටන්නට ගත් කල උන්ව බැද තැබිය යුතු බව රටට සාක්ෂි සමග පෙන්වමින් ඒවා නතර කිරීමට නීති ගෙන ආයුතු බවට මතයක් තහවුරු කර ගැනීමයි .පෙර සිටි මහ රජතුමාගේ කාලේ නම් ආයේ එකෙක්ටවත් කට හොල්ලන්නට දුන්නේ නැත.එයා ලග ඒවාට දේශීය ඔසු වර්ග තිබුනේය.ඒවා දුන් විට මාධ් කාරයෝ එක්කෝ බල්ලන් මෙන් නකුට වැනූ අතර නකුට වනන්න අක්මැති උන්ට ඇඩ්රස් නැත්තටම නැති විය.දැන් මෙයාලා දෙන්න හදන්නේත් නකුට වන්නවා ගැනීමේ ක්‍රියාවලියේම අලුත් බෙහෙතක් වන්නට පුලුවන.


කෙසේ නමුත් ජනාධිපතිතුමාගේ කථාව සත්‍ය බව පිලිගත යුතුය.අද වනවිට ජනමාධ්ය හරහා බොරු ප්‍රචාර මගින් ආන්ඩුවට රිදෙන්නේට වදිමින් තිබෙන්නේය.ඒවාට පිලියම වන්නේ සැබෑ සමාජ ක්‍රියාකාරීත්වයක් සදහා පනලැබී ඇති මාධ්යයට මේ අයුරින් වැට බැදීමද?......මේ රටේ ආන්ඩු සතුව රාජ් මාධ්ය ආයතන සැට් එකක් පවතින්නේය.මතක ඇත් කාලෙක පටන් බලයේ සිටි සෑම රජයක්ම  රාජ්‍ය මාධ්‍යයන් අනාචාරයේ යෙදවීය.එහි කුජීතම සමය පසු ගිය මහ රජ සමය බව අපිට අමතක නැත. දිනවල ජාතික රූපවාහිනිය, ITN එක දාන දාන වාරයක් පාසා වූයේ මහරජානන්ගේ වරුනාව වයන වැඩසටහන්ය.එක්කෝ එයාගේ පම්පෝරියක්ය,නැත්නම් එයා හැදූ පාලමක් ගැන වරුනාවක්ය,පෝය දවසට බන අහන හැටිය,අවුරුදු දවසක් නම් එයා අවුරුදු කන හැටිය,නැත්නම් යුද්ධය විකුනන් කෑමක්ය. දවස් වල මහරජානන්න්ට පඩයක් ගියත් සියලු මාධ් ආයතන රජමැදුරට ගෙන්වා උන්ගේ අතට, එයාගෙන් ඇසියයුතු ප්‍රශ්න ටිකක් දීලා, අසන අසන පැනයට  රජිනිකාන්ත් මෙන් උජාරුවට උත්ත් දෙන්නේය.එදාට ඉතින් මොන channel එක දැම්මත් තිබුනේ එයාගේ ගරු රගපෑම්ය.එයාගේ වරුනාවක් පෙන්වන්නට නැත්නම් ඉතින් රජයේ නාලිකා කරේ දිගට හරහට විපක්ශ්යේ කක්කුස්සි වලවල් ඉහිනා එකය.


නයින් ගත්කල මේ ආණ්ඩුව රජයේ මාධ්‍ය භාවිතාව අතින් ඉතා පහල මට්ටමක සිටින්නේ යැයි කිව හැක.මේ කියන්නේ රාජපක්ෂ කලාක් මෙන් රාජ්‍යමාධ්‍ය තම භෝජනාගාරය කරගන්නට කියලා නොවේ.නමුත් රජයට, තමන් කරනා ව්‍යාපෘති, තම ප්‍රතිපත්තිමය තීන්දුතම ආර්ථික දැක්ම ජනතාවට සමීප කරවීමට රජයේ මාධ් පැහැදිලිවම යොදාගත හැක්කේය.ඒවා තම දර්ශනය නිවැරදිව ජනතාව අතරට ගෙනයාම සදහා පලදායී ලෙස භාවිත කරන්නේනම් අනිකුත් මාධ්යන් තුලින් පැතිරයන බොරු බේගල් ගැන රජය එතරම් වදවිය යුතු නොමැත්තේය.උදාහරණයක් ලෙස මේ රජය යෝජනා කරා ඇති ETCA ගිවිසුමට විරුද්ධව පසු ගිය මාස ගනනාව කොළඹ අවට පෙදෙස් වල සාකච්ඡා, සම්මන්ත්‍රණ පැවැත්වෙන්නේය.බොහෝ දෙනා ETCA වලට විරුද්ධව මාධ් හමුවේ අදහස් දක්වන්නේය.එනමුදු රජය එහි තිබෙන යම් වාසියක් වේ නම් එය ජනතාවට සමීප කරවීම සදහා රජයේ හෝ වෙනත් කිසිම මාධ්යක් පලදායි භාවිතා කරනු නොදුටුවෙමි.රජයේ අනෙකුත් ප්‍රතිපත්ති හා වැඩපිලිවෙලවල් ගැන වුවද  තතු එසේමය.විශේශයෙන් රජය, ප්‍රජාතන්ත්රවාදය හා සන්හිදියාව ගැන ගන්නාවූ ක්‍රියාමාර්ග ගැන මීට වඩා අති පුලුල් පැහැදිලි කිරීමක් සමාජගත කල යුතුව ඇත.එසේ කර නොමැති නිසාය මේ තරම් ජාති වාදී රැලි ඉහල යමින් පවතින්නේ. සැබවින්ම පසුගිය සමය තුල ගෙන වටිනා ප්‍රජාතන්ත්රවාදී ප්‍රරතිපත්තිමය තීරණ රාශියක් ගැන රජය තම රටවැසියන් දැනුවත් කලේද යන්න ප්‍රශ්න සහගතය. අතින් බලන කල මේ රජය ජනතාව අතරට යාම අතින් සිටින්නේ සෑහෙන පසුපසින්ය.එමගින් රජයේ ප්‍රතිරූපය ඉහල නන්වා ගැනීමට ඇති අවස්ථාව මගහරිනවාක් මෙන්ම ජනතාවටද වඩා නිවැරදි හා රජය පැත්තෙන් ලැබිය යුතු පැහැදිලි කිරීම් ගනනාවක් නොලැබී යමින් පවතී.


රජයට එවැනි දැනුවත් කිරීම් සදහා අදාල මැති ඇමතිවරුන්ව රාජ් මාධ් වෙත යොමු කරන්නට හැක. හැබැයි මේ රජයේත් ඉන්නේ කලින් එකේ හිටියා වගේම කට ඇරියොත් රෙවා ගන්න සැට් එකක් නිසා අගමැතිතුමාට එය කිරීමට සැක සහිතදැයි අපි නොදන්නෙමුකලින් ආණ්ඩුවේ හිටි පොරවල් වලට දැනුමක් නැති උනත් අඩු ගානේ උන් යුද්ධය විකුනලා,දේශ අභිමානය ගැන talks දීලා ජනතාවගේ හිතට තේරුමක් නැති ආඩම්බරයක් එකතු කරලා හරි වැඩේ ගොඩ දාන්නට සමත් කමක් තිබූ උන්ය.උන්ගේ කතා තේරුමක් නැති පුස්සවල් බව තේරෙන්නට මෙරට ජනයාට සෑහෙන කල් ගත උනේ ලේ තැවරනු ජාතිවාදී මස් වැදලි දිගින් දිගටම පෙන්වමින්, රට පුරා කෙරුනාවූ නාස්තිකාර සන්වර්ධන දෘශ්ටිවාදයකින් ඔවුන් මුලා කර තිබූ බැවිනි...ඇත්ත්ටම කියතොත් යුද්ධයේ සාර්ථකත්වය වෙනුවෙන් මැවුවාවූ ඒ දෘශ්ටිවාදයෙන් ගැලවීමට තවමත් බොහෝ ශ්‍රීලාන්කික සින්හල ජනයාට නොහැකි වී තිබේ.එවැනි මුලාවක් තුල තවමත් සැරි සරමින් සිටින ජනයා ඉන් මුදවා ගැනීම සදහා රජයේ මාධ්‍ය තුලින් කෙරිය හැකි මෙහෙවර ගැන රජයට අවබෝධයක් තිබිය යුතුය. තම මතයන් නිසි ලෙස සමාජයට සම්ප්‍රේශනය කල හැකි දේශ්පාලනඥයන් රජය තුල නොවේ නම්  රාජ් මාධ්යන්හී සිටිනා දැනුමැති නිශ්පාදක වරුන් ලවා කරවන වාර්ථා වැඩසටහන් මගින්හෝ රජයේ ඉදිරි වැඩපිලිවෙල ගැන නිවැරදි අවබෝධයක් ජනතාවට ලබාදීම කල හැක. විය යුත්තේත් එය විනා තමන්ගේ දේශපාලන අවාසි මග හරවා ගැනීමට මාධ්‍යට සීමා මායිම් දැමීම නොවේ.මෙවැනි සීමාවන් මගින් සමාජයටරාජ්‍යය සමග ගොඩනගාගත හැකි යම් සන්වර්ධනාත්මක විවේචන වේදිකාවකට වන  ඉඩ කඩ අහුරාලනු ඇත