Tuesday, September 5, 2017

දේශපාලන උත්කෘෂ්ටතාවයේ වියැකීම





ලංකාවේ වර්ථමාන දේශපාලනය යනු උත්කෘෂ්ට භාවයන් වලින් තොර වූ තෙරක් නොපෙනෙන කතරක්. මෙහිදී උත්කෘෂ්ට යන වචනය යොදාගත්තේ ඉමානුඑල් කාන්ට්ගේ The Sublime එනම් උත්කෘෂ්ට දෙය පිළිබඳ අදහස පාදක කරගනිමින්. කාන්ට්ට අනුව එහිදී උත්කෘෂ්ට දෙය ලෙස හැඳින්වුනේ අපගේ මානසික ලෝකය තුල ග්‍රහණය කරගත නොහැකි සංකීර්ණ පැවැත්මවල් යන්නයි. අපට සිතා ගැනීමට අපහසු විශාල පැවැත්මවල් හමුවේ අපගේ කුඩා භාවය එහිදී හැඳින්වුනා විය යුතුයි. ඔහුට අනුව එම  උත්කෘෂ්ට දෙය වුනේ ස්ව්බාවදර්මය. අපගේ  පශ්චාත් යටත් විජිත දේශපාලන සන්දර්බය තුල හඳුනාගත හැකිව තිබූ එවැනි උත්කෘෂ්ටබාවයන් දෙකකි ( මා කාන්ට් ගැන හෝ ඔහුගේ මතයන් ගැන කිසිසේත් හදාරා නැති අතර, මේ උත්කෘෂ්ට දෙය පිලිබඳ ඔහුගේ අදහස අනුවාදයක් ලෙස යොදා ගැනීමකි. ඒ නිසා මෙය උත්කෘෂ්ට දෙය පිලිබඳ නයි version එකක් විය හැක). 

ඉන් පළමු වැන්න දශක 3ක් පුරා දිග හැරුණු යුද්ධයේ නිමාවයි. දෙවැන්න දශක 6කටත් අධික කාලයක් කරගත නොහැකිව තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ හවුල් පාලනයයි.මේ කාරණා දෙකම  එවකට අපේ මානසික ලෝකය තුල නියෝජනය කරගන්නට ලේසි පහසු වූ දේවල් නොවේ. මන්දයත්  ඒ කාරණා දෙකම දශක 3කටත් අධික කාලයන් තුල සිහිනෙන්වත් සැබෑ නොවන දේ ලෙස අපිට පෙනීගිය නිසා. ඒ අනුව යමින් අතීතයේ අප සියල්ලන්ම පාහේ සිතුවේ "යුද්ධය නැත්නම් අපි ලෝකයේ සංවර්ධිත්ම රටක් බවට පත් වෙනවා" , අනික අපේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වෙලා රට කරොත් අපිට ඉතා සෞභාග්‍යමත් කාලයක් උදාවෙයි කියන  කාරණා දෙක. එනිසා නැවුම්බවේ ,වාසනාවේ , සෞභාග්‍යයේ අපරිමිත බලාපොරොත්තු ඉහත කී උත්කෘෂ්ට බාවයන් දෙකට එපිටින් දිලිහෙමින් තිබුණා.

අපි මේ ගෙවමින් සිටින මොහොත ඉහතින් සඳහන් කල උත්කෘෂ්ට බාවයන් 2ම අත්පත් කරගත් මොහොතක්. මීට දශකයකට පමණ පෙර කිසිසේත්ම අපේ මානසික ලෝකය තුල නියෝජය කල නොහැකි වූ අතිශය සංකීර්ණ කාරණා දෙකක් සඵල වී ඇති මොහොතක්. නමුත් ප්‍රශ්නය වෙන්නේ ඒ උත්කෘෂ්ට දේවල් දෙකට එපිටින් ඇතැයි අපි සිතා සිටි දිලිසෙන, මනරම් , සංවර්ධිත අනාගතය, ස්ථාවර දිවි පැවැත්ම,දේශපාලන විදග්ධ බාවය පේන තෙක් මානයකවත් නැති වීම. මහා උත්කෘෂ්ට බාවයන් දෙකක් සඵල කරගැනීමෙන් පසු අපි ඇවිත් ඉන්නේ සිතා ගැනීමට බැරිතරම් අපිව ආතතියට පත් කරන, ඉච්චා භංගත්වයට පත් කරන මහා රික්තයකට. තවදුරටත් උත්කෘෂ්ට දෙයක් දෙයක් අප ඉදිරියේ නෑ. මන්ද අප දශක ගනනාවක් දැන සිටි ඒ විශාල පැවත්මවල් දෙකම අපේ ඉදිරිපිටට ඇවිත් ඉවරයි. ඒ නිසා අපි දැන් ඉන්නේ ලොවෙත් නැති විදිහට අතරමං වෙලා. රටේ මීලඟ දේශපාලන සිතියමේ දිදුලන ලකුණක් හෝ දිශානතියක් අපිට කිසිසේත් හිතාගන්නට නොහැකිවයි අපි මේ මොහොත ගත කරන්නේ.

2015 ජනවාරි 8 කියන්නේ සැබවින්ම විප්ලවයක්. මොකද ඒ මගින් පෙන්වා දුන්නා අප වටා සිටින සියලු දේශපාලන චරිත, පක්ෂ සහ සැලසුම් ඉතා හිස් දේවල් බව. ඊට පෙර අප මහා පෞර්ෂයන් , නැතිනම් වැඩපිලිවෙලවල් කියා සිටි සියල්ල මේ වෙද්දී බොල් හඬ නගන ඇතුලත හිස්වුනු ඔද්දල් භණ්ඩ බවට පත් වෙලා ඉවරයි. ප්‍රධාන පක්ෂ දෙකේ එකතුව අතිශය මලානික බැරිමරගාතේ යන වාහනයක් වෙලා. හිටපු ප්‍රතාපවත් නායකයා දුම්මල ගහලවත් එලවන්න බැරි තරමට බලයට කෑදරව කෙල හලන්නෙක් බවට පත්වෙලා. එවකට අපි දැන සිටි රටේ 3න්වන සටන්කාමී බලවේගය ජ.වි.පෙ සැලසුමක් ඉදිරිපත් කල නොහැකි එකම බයිලේ ගහන බස් සින්දු ගායකයෙක් තරමට වැටිලා. ඒ සියලු ජරාජීර්ණ වූ පැවැත්මවල් අතර පොදු ජනයාට උත්කෘෂ්ට දෙයක් පිළිබඳ අදහසක් නැති වෙලා. වටේටම තියෙන්නේ තෙරක් නොපෙනෙන හිස් බව විතරමයි.

2009 යුධ අවසානයත් සමග උදාවුනු කාලය  ජවයෙන් හා උනන්දුවෙන් පිරුණු එකක් වුනා. මහා සංවර්ධන ව්‍යාපෘති වලින්, ජාති මාමකත්වය කුලු ගැන්වීමෙන් පටන් අරගෙන ප්‍රජාතන්ත්‍රීය අවකාශය හැකිලීම, දූෂණය නාස්තිය ඉහළ යෑම දක්වාත්, පැවති රෙජීමය බිඳ හෙලීමට අපහසු මහා ප්‍රාකාරයක් තරමට ශක්තිමත් වීම දක්වාත් ගිය ගමන, එවකට අපිව පුදුමයට පත්කරපු කාරනයන් වුනා. ඒ පුදුමයන්වලින් පසු උදා වුනේ මර්ධනකාරී ශක්තිමත් ආන්ඩුවක් විසින් විරුධවාදීන් පෙලීමේ කාලය. ඒ පෙලීමට එදිරිව , එම මහා ප්‍රාකාරය බිඳ දැමීමට පෙරට පැමිණ නිර්භයව සටන් කරපු බලවේගය තමයි ජවිපෙ. පැවති පාලනයේ මහා දූෂණ වංචාවන් ඔවුන් නොබියව හෙලි කලා. ඒ මහා හොරකම් දැකපු අපි පුදුමයෙන් පුදුමයටත් , කේන්තියෙන් කේන්තියටත් පත් වුනා. දෙවනි උත්කෘෂ්ට භාවයේ සඵල වීම 2015දී එළබෙන්නේ ඒ ක්‍රියාවලියේ ප්‍රතිපලයක් විදිහට.

ඔන්න ආයේත් අපිට එලඹුනා දිදුලන බලාපොරොත්තු වල යුගයක්. නමුත් වසර 3ක් ලබනන්න එද්දි අපිට පේනවා දෙවනි උත්කෘෂ්ට බාවයේ සපල වීමත් පුස්සක් බව. මෙතන තියන ඛේදජනකම තත්වය තමයි මේ යුගයේ අපිව පුදුම කරන්න හෝ අපිව උත්තේජනය කරන්න පුලුවන් තවත් උත්කෘශ්ට දෙයක නොපැවැත්ම. අඩුගානේ මේ සිද්ධ වෙන දේවල් වලින් අපිව පුදුමයටවත් පත් වෙන්නේ නෑ. 2013 අග වෙනකොට ජවිපෙ විසින් හෙලිකරන්න පටන් ගත්ත හොරුන්ගේ ලැයිස්තුව තවමත් දිග හැරෙනවා.  මේ හෙලිවෙන හොරකම් , වංචා වල සංඛ්‍යාත්මක අගය ඉලක්කමෙන් කොලේක ලියන්නවත් නොතේරෙන තරමට ඒ දූෂණ, හොරකම් වල ප්‍රමානය විශාලයි. ඒත් වැඩේ කියන්නේ අපි දැන් ඒකට පුරුදු වෙලා ඉවරයි. තව දුරටත් මේ මහා හොරකම් හෙලි වීමෙන් අපිව පුදුමයට පත් වෙන්නේ නෑ. මොකද අපි දන්නවා හැමෝම හොරු කියලා. ඒ වගේම ඒ කාටවත් දඬුවමක් ලැබෙන්නේ නෑ කියලත්.

ඒ වගේම පවතින රජයට එදිරිවූ විකල්ප දේශ්පාලනයක බලාපොරොත්තුවත් ගිලිහිලා අවසන්. මොකද මේ ආණ්ඩුව කලින් ආණ්ඩුව වගේ කෙලින් අපිත් එක්ක හැප්පෙන්න , තලන්න පෙලන්න එන්නේ නෑ. ඔවුන් හරිම ඔතෑනියි, හාමුදුරුවන්ට, කාදිනල්ට වගේම සමාජ ජාල වල අදහස් වලටත් ඔවුන් කන් දෙනවා. ඒ නිසා ජවිපෙ වගේ පක්ෂෙකට කලින් ආණ්ඩුවත් එක්ක හැප්පුනා වගේ කෑ ගහලා බැන අඬගහල හැප්පෙන්න දෙයක් මේ ආණ්ඩුවේ නෑ. එහෙම හැප්පෙන්න තරම්, මේක චීන මහා ප්‍රාකාරේ වගේ ශක්තිමත් එකකුත් නෙවී. කොයි වෙලේ වැටෙයිද කියලා කියන්න බෑ. නමුත් අපි එහෙම හිතුවට මේක වැටෙන්නේත් නෑ. හරියට හෙල්ලි හෙල්ලි තියන දතක් වගේ. කොටින්ම ඔවුන්ව ඉවත් කරලා ගේන්න පුලුවන් මොකක්ද කියන එකත් හැමෝටම ප්‍රශ්නයක්. මොකද මේ වෙද්දී  දේශපාලනිකව උත්කෘෂ්ට දෙයක පැවැත්ම සහමුලින්ම අහෝසි  වී තිබීම.

මේ අවස්තාවේ නන්නත්තාර වෙලා , හොඳම එකෙන් ඇනගෙන අනාගත දේශපාලන විබවයක දෘශ්ටියක් හොයාගන්න බැරිව ඉන්න ජනතාවට , දේශපාලන උත්කෘෂ්ට බවක අදහස ගේන්න වාමාංශික පක්ෂ වලට බැරි ඇයි. ධනවාදී රාමුවක අධි පරිභෝජනවාදයක හිරවෙලා , දේශපාලනිකව අනාත වෙලා ඉන්න රටකට සමාජවාදයේ අයනු ආයනු කියාදෙමින් අලුත් උත්කෘෂ්ට දෙයක කටුසටහනක් අඳින්න මේක හොඳ අවස්තාවක්. ඒකෙන් කියවෙන්නේ සමජවාදී රටක් 2020 දි හදන්න කියන එක නෙවී. ඒ උත්සහය අපිට අයිති කරගන්න ඉතා අපහසු විශාල දෙයක් පිළිබඳ අදහසක් හිතේ කෙලවරක තබා ගැනීම. ඒ අදහස යම් දේශපාලන අනාගතයක් කෙරෙහි යොමු වී තිබීම. ප්‍රශ්නෙ තියෙන්නේ අලි බබා සහ හොරු 40 හිර වෙලා ඉන්න ජවිපෙට, ජවිපෙට බැන අඬගසමින් ඉන්න පෙරටුගාමීන්ට සහ ඒකාබද්ධයට බද්ධ වෙලා ඉන්න පැරණි වාමාංශික පක්ෂ වලට මේ සඳහා එක ඉවුරකට එන්න පුලුවන්ද කියන එක.