Friday, March 17, 2017

සිහිනයක් පාට පාටින්





කහ පාට තවරගත්
ව්‍යාජ වූ කෙහෙරැලිති ගොන්නෙන්,
මුවා උනු කලු පාට ඇස් දෙක
අව්‍යාජ බව දැනෙනවා මට,
තුන් හතර වර නෙත් පැටලවෙනකොට....

ලා රෝස පාට තොල්
මතට වඩිනා මද සිනහවට
ඉඩ දෙන්න පැකිලෙන නිසා නුඹ
ඇපල් රතු පැහැය ගන්නා
සුදු දෙකම්මුල් නලියමින් ඇති බව
ලඟට ඇවිදින් කියන්නද මම………

Saturday, March 11, 2017

මතක පද 1 - යදමින් බැඳ විලංගු ලා





මේ ගෙවී යන කාලය ටිකක් වැඩ අධික කාලයක්.ඒ නිසා ලියන්නය කියලා එහෙමට අයිඩියාර් එකකුත් ඔලුවට එන්නේ නෑ.ඒ නිසා පොඩි මතක පද සීන් එකක් දාන්න හිතුනා. ඒ කියන්නේ නයියාගේ හිතේ ටිකක් විශේෂ ලෙස කාවැදිලා තියන ගීත කිහිපයක් ගැන එකින් එක කතා කරන්න. මේවා මතක පද වෙන්නේ කැමති සින්දු කියන අර්ථයෙන් නෙවී. කැමති සින්දු 10ක් තෝරගන්න එක නම් මේ කපේට කරන්න බැරි දෙයක්. අමරදේව ශූරීන්ගේ පටන් අරන් ජෝතිපාල, මිල්ටන්, සිට චාමර රනවක දක්වාත් , නදීක ගුරුගේ , කසුන් සිට අජිත් කුමාරසිරි දක්වාත් ඒ කැමති සින්දු සැට් එක දිවෙනවා.ඒකයි මුලින්ම කිව්වේ මේවා මතක පද......


මේවා විශේෂ වෙන්නේ මේවායින් කරන්න හදපු වැඩ, නැතිනම් ඒවායේ විලාසය, හදවතේ අමතක නොවන ලෙස තැන්පත් වීම.නැතිනම් අපේ ජීවිතයේ සමහර පරිච්ඡේද එක්ක මේ සමහරක් සින්දු ගලවන්න බැරි විදියට බැදිලා තිබීම. සමහරවිට අපි අකමැති සින්දු වුනත් අපේ මතකයෙන් ගලවන්න බැරි විදියට සම්බ්න්ධ වෙලා තියෙන්න පුලුවන්.ඒ නිසා මතක පද කියන ඒවා සුවිශේෂයි මට හිතෙන්නේ.
ඉතින්, මතකයට එන මුල්ම ගීතය ඉහතදි කිව්වා වගේ ජීවිතයේ එක කාලයක් එක්ක තදින්ම බද්ධ වුනු ගීතයක්. ඇත්තටම ගලවගන්න බැරි විදියටම ඒක ඇඟට පත්තියන් උනා ඒ කාලේදි.ගීතය තමයි නන්දා මාලිනී ගයන, සුනිල් ආරියරත්න ලියපු "යදමින් බැඳ විලංගු ලා" ගීතය.මේක අපේ රටේ එක්තරා තීරණාත්මක අරගල සමයක ලියවුනු "පවන" ගීත එකතුවේ එන ඉතා සුවිශේෂී එකක්.


මේ සින්දුව ඉස්කෝලෙ යන කාලේ කනින් කොනින් ඇහිල තිබුන උනාට මේක හදවතේ මකන්න බැරි විදියට කෙටෙන්නේ campus එකේ first year එකේදී.campus එකේ පලවෙනි අවුරුද්ද කියන්නේ ජීවිතේ කිසිදාක මතකෙන් නොමැකෙන රසවත් මතකයක්. ඒ කාලේ සබරෙ රැග ගැන දන්නෝ දනිති.ඒ කිසිසේත්ම ලේසි කාලයක් උනේ නෑ.සබරගමුවෙ මීදුමෙන් පිරුනු වැහි කාලෙ , කදු වලින් සහ කුඩා වන රොදින් වට උනු නුහුරු නුපුරුදු පරිසරේක, ගෙදරින් ඈත් වෙලා ගෙවන ජීවිතේ දුක සැප බෙදාගන්න කියල හිටියෙ රට වටෙන් එක් වුනු එකිනෙකාව නොහඳුනන තරුණ පිරිසක්.ඒ තරුණ පිරිසට හිටියා මහාආආආආ හතුරු රැලක්. ඒ තමා ජේෂ්ඨ උත්තමයෝ...........හික් හික් සුරන්ගනා කතාවක් වගේ නේද?

ඇත්තටම ඒ කාලෙ ඇඟේ fitness හදන්න වගේ හම්බුනු ශරීර සුවතා ව්‍යායාම සෙට් එකෙන් පස්සෙ කට්ටිය ඉන්නේ එලොව පොල් පෙනිලා.රිදුම් දෙන අත පය වල අමාරුව සහමුලින්ම අමතක වෙලා යන ඉල ඇදෙන විහිලු තහලු වලිනුත් ඒ කාලෙ අඩුවක් තිබුනේ නෑ.ඒ කාලෙ දැන් මතක් වෙද්දි ඉතා සුන්දර වන්නේ ඒ නිසා. කොහොමහරි අපේ ගීතයත් එක්ක සම්බන්ධ වෙන්නේ අර හොම්බෙන් යන්න හම්බුනු ශරීර සුවතා ව්‍යයාම සෙට් එකෙන් පස්සෙ සින්නන්ගෙන් අපිට වැදුණු තෙලත් එක්ක. ශිෂ්‍ය ව්‍යාපාරයක වටිනාකම, සරසවියේ සහෝදරත්වයේ බලය,ආදරය ගැන වගේම නිදහස් අධ්‍යාපනය ගැන ලැබෙන හිත් අලවන , හිත් ශක්තිමත් කරන ඒ කතාවලින් පස්සේ අපිට ඒ දවස් වල නිතරම අහන්න ලැබුණු සින්දුව තමයි, යදමින් බැඳ විලංගුලා ....

ඉතින් රිදුම් දෙන අත්පා සමග හදවතට බොක්කෙනම වැදුනු කතා කිහිපයකට පස්සේ අසන්න ලැබෙන මේ ගීතය අපේ ඇගේ මවිල් කෙලින් කලා හැමදාමත්.ඒ දවස් වල සබරෙ ඔඩියට වෙලා , NLH එකට වෙලා මේ සින්දුව අහපු මගේ සහෝදර සහෝදරියන් හැමෝටම එකවිට එන්නතක් දීල ජවය දුන්න වගේ හැගීමක් මේ ගීතය අහද්දි ආව බවට කිසි සැකයක් නෑ.මට මතකයි ඒ දවස් වල කස්ටිය ඇස් පිය නොහෙලා ඉහළට ගත් හුස්ම පහලට නොහෙලා මේ ගීතය අහපු හැටි.අසූ ගනන් වල අරගල සමයෙ දිවියෙන් වන්දි ගෙවූ ශිෂ්‍ය වීර ඉතිහාසය සමග දිග ඇරුණු මේ ගීතය අපේ සරසවි ජීවිතය තුල මුන ගැසුනු අරගල ගොන්නකදිම අපේ හිත් සවිමත් කලා.

සුනිල් ආරියරත්න මහතා අතින් එදවස ලියවුනු මේ ගීත ගොන්න  දිනවල තිබූ අරගලකාරී මානසිකත්වය තුල පීඩාවට එරෙහි වූ තරුණ හදවත් වලට මහත් ජවයක් හා පෙලඹවීමක් ගෙන දුන්නාට කිසිඳු සැකයක් නෑ.




P.S දැන් ඉතින් මේක දැකලා කියන්න එපා රැග් එකෙන් brain wash වුනු එකෙක් කියලා. රැග් එක සහ පවතින ශිෂ්‍ය ව්‍යාපාරය දුරදිග නොබලා කරන සමහර  ඔලමොට්ටලකම් ගැන මීට කලින් කීප සැරයක්ම ලිව්වා.අද ලිව්වේ මතකයක් ගැන.