Saturday, November 9, 2019

හැම තැනම දුම(9th epi) - මකර රැජිණ





අපි අතර කතාවක් නැවතිලා ගතවන නිහඬතාවයේ හත්වැනි මිනිත්තුව ගත වෙමින් තිබුණා. රාජයියට උනු අකරතැබ්බය විස්තරකරලා ඉවර උනාට පස්සේ, අසූ ගණන් වල රාජයියා කරපු හපන් කම් විස්තර කලාට පස්සෙයි දිවගොළු වුනු විරාමය උදාවුනේ. මැන්ඩි හිටියේ හපුතලේ පැත්ත බලාගෙන. මම හිටියේ ඇල්ල පැත්ත බලාගෙන. ඒ කියන්නේ එකිනෙකාගෙන් ඇස් සහ මූණු ඉවතට හරවගෙන.අපි දෙන්නා පස්ස තියන් හිටියේ බණ්ඩාරවෙල තානායමේ සිමෙන්ති බංකුවක් උඩ.
"ඔයා දන්නවද අර පේන්නේ හපුතලේ......බදුල්ල කොළඹ පාරේ හම්බවෙන සීතලම සීතල ටවුන් එක"........මැන්ඩිගෙන් ප්‍රශ්නයක්.
"හ්ම්ම්ම්ම්...."
"ඒ දිහාව බැලුවම ඔයාට මොනවද මැවිලා පේන්නේ ?"
"මට මැවිලා පේන්නේ කොළඹ බස් නවත්තන තැනට චුට්ටක් එහායින් තියන ආප්ප කඩේ ලිප ගාවට වෙලා මායි අනුෂ්කයයි සීතල මකාගන්න වලිකන හැටි"......මම කැම්පස් කාලේ ගියපු කැටයක් මතක් වෙලා කිව්වා.
එදා තමයි මම කරපු ජරාම කැටේ කලේ. දත කට පූට්ටු වෙන මහ හීතල මදිවට මුලු දවසම චුරු චුරු වැස්ස. මායි අනුෂ්කයයි පැය හයක් තිස්සේ කට්ට කෑවත් රුපියල් දාහක් හොයාගන බැරි වෙන්න ඇති. දියතලාවයි හපුතලෙයි දෙකම කවර් කලත් වැඩේ ගොඩ ගියේ නෑ. අනික අපි කියපු මාතෘකාව, "අධ්‍යාපන පෞද්ගලීකරණය නවත්වන්න". රෙද්ද තමයි. කොටින්ම ඒ කාලේ සයිටම් වත් ඇරලා තිබ්බේ නෑ. තනිකරම අන්තරේ උවමනාවට යන්නන් වාලේ ගිය කැටයක් ඒක. ඒ කාලේ එහෙම කැට ඉවරයක් නෑ. ලෙක්චර්ස් ගියාට වඩා අපි ගියේ කැට. හතේ හත වැදුනු කැට දෙක අපේ හිතට මහ බරක් වෙලා අතෙන් ගිලිහෙන්න හදනකොට අපි දෙන්නගේ දරාගැනීමේ සීමාවේ අන්තිම කෙලවරට ආවා. අපි තීරණේකලා කැටේ නවත්තලා ආයේ කැම්පස් එකට යන්න. ඒත් මොන කරුමයකටද මන්දා පැයකට වඩා ඉන්න උනා බස් එකක් එනකල්. හවස් වෙන්න වෙන්න හපුතලේ හීතල දැඩි වෙන්න ගත්තා. මුලු ටවුන් එකේම මිනිස්සු ජර්සි ඇඳන්, ජැකට් දාං, ඔලුවට අයිස් කැප් දාගෙන. අපි දෙන්නට තිබුනේ ටී ෂර්ට් එකයි ඩෙනිමයි විතරයි. ඌයි මායි දෙන්නම හීතලට ගැහෙනවා, දත් ඇඳි දෙක පවා කට කට ගහලා වදිනවා. බස් හෝල්ට් එකට ටිකක් එහායින් කඩයක් ඇතුලට වෙන්න ආප්ප පුච්චනවා අපි දැක්කා. අන්තිමට අපි දෙන්න මාරුවෙන් මාරුවට ඒ ලිප ගාවට ගිහින් උණුහුම් වෙන්න තීරණේ කලා. විනාඩි පහෙන් පහට එකෙක් කඩේ ඇතුලේ ලිප ගාවට වෙලා සීතලට ගල් නොවී ජීවිතේ බේරගද්දි අනික් එකා බස් එකක් එනවද බලන්න ඕන.......
"මොන ගොං කතාවක්ද අනේ ඒ.....මං ඇහුවේ එහෙම එකක් ගැන නෙවී.රාජගේ කතාවත් එක්ක මැවෙන දෙයක් ගැන" මැන්ඩි මගේ උරහිසට ඩෝං ගාලා දුන්නු පාරකින් කඳු අස්සෙන් මැවිලා පෙනුනු කැම්පස් මතකෙට උදැල්ල වැටුනා.
"මට නම් මැවිලා පේන්නේ හපුතලේ ලැයිම් වල උන්නු දෙමළ මිනිස්සු රාජයියලා වගේ තිරිසනුන්ගෙන් බේරෙන්න වැටි වැටී කඳු හෙල් දිගේ දුවන හැටි.....හීතල හපුතලේ දාඩිය ගලන තරමට මහ රෑ පවා රත් වුනු හැටි. මහ දවල්ටත් වැහි මන්දාරමට , මීදුමට, අඳුරු වෙන හපුතලේ මහ රෑ ගින්නෙන් එළිය වුනු හැටි".......මැන්ඩි කියාගෙන යනවා.
"උතුරෙ අරගලේට කිසිම සම්බන්ධයක් නැතත් ඒ මිනිස්සුන්ට ජීවිතෙන් වන්දි ගෙවන්න උනා සිංහල කතා නොකරපු වරදට...... චන්ද බලෙත් අහිමි කරලා පුරවැසිකමත් නැති කරලා අන්තිමට ජීවිතත් උදුර ගත්තා.උං ඒ කාලේ පුදුම තරං සමාජයෙන් පිටමං කෙරිච්ච මිනිස්සු "
"yes Marginalized people....... මොකක්ද ඒකට සිංහල වචනෙ. Marginalized ?"
"ආන්තීකරණය" මම මගේ සිංහල භාෂා දැනුම විදහා දැක්වුවා.
"අපිත් office එකේ එක වෙලාවකට ආන්තීකරණය වෙනවා වගේ දැනිලා නැද්ද ?.....දුම දාන්න යන වෙලාවට"
"හ හා.......ඒක නම් ඇත්ත දැන් දැන් සිගරට් එකක් බොන්න යන මිනිහා දිහා බලන්නේ මහ කුජීත ඇහැකින්. අපේ office එකෙත් සිගරට් ස්පොට් එක එන්න එන්න ඈතටම තල්ලු කරනවා. ඉස්සර ලොකු ඉඩක් වෙන් කරලා office එක පහළ තිබ්බ දුම් ස්පොට් එක දැන් කාර් පාර්ක් එකෙනුත් එහා චූටි ඉඩකට සීමා කරලා.එච්චර දුරක් ගිහිල්ලා දුමක් දාලා එන එකා දිහත් ලිෆ්ට් එකේදි බලන්නේ මිනී මැරුමක් කරලා එන්න වගේ"
"මොනවා උනත් සිගරට් බොන space එකේ හැදෙන්නේ කොමියුනිස්ට් සොසයිටි එකක්. එතන ඉන්නවා ඩිරෙක්ටර්ස්ලාගේ ඉඳන් පියන් දක්වා මට්ටමේ උන්. උන් හැමෝම එක විදිහට ආන්තීකරණය වෙලා. ගින්දර හොයාගන්න එකා තමයි එතන වැධගත් පුද්ගලයා. හැමෝම විනාඩි ගානකට එකම කෝවකට වැටිලා හැමෝටම පොදු මාතෘකාවකට එනවා එතනදී. පට්ටංලස් පීපල්"
"Hmmm....intersting thought.Classless , stateless society.But you definitely need money right ?" මැන්ඩිගෙන් දේශපාලන ගැටලුවක්
"ඔව් සල්ලි නැත්නම් සිගරට් ගන්න බෑනෙ. Moneyless කියන තැනට එන්න තව දුරයි"
"මේක හොඳ වෙලාවක් මගේ second fantasy එක සමරන්න".....මැන්ඩි ඩන්හිල් දෙකක් අදින ගමන් කිව්වා.
ඔව් මේ තමයි එයාගේ දෙවනි ෆැන්ටසිය. මීදුම ගලන සීතල එලිමහනක දුම දාන එක. මීදුම මැද්දෑවට සිගරට් දුම එක්කාසු කරන එක. වඩා ඝන, වඩා චංචල මීදුමද සිගරට් දුමද කියලා ඇස් වලින් ගණනය කරන එක. අපි හිටියේ උස් බිමක ගැට්ටට වෙන්න. අපේ කතාව පටන් ගන්නකොට අපිට පහළින් සහ අවටින් උනු ලස්සන මල් පිපුණු, කඳු වලින් වට වුණු පරිසරය ආකර්ෂණීයව පෙනුනා. දර්ශනීය සිතුවමක් වගේ.ඒත් දැන් ඒක බොහෝ දුරට මීදුමෙන් වැහිලා. පුංචි පුංචි තැන් ටිකක් විතරක් අඳුරු කොළ පාටින් පේනවා.
"ඩ්‍රකාරිස්"........කියමින් එයා ලොකු දුම් වලාවක් පහළින් පේන නිසල සිතුවම දිහාට පිම්බා. මීදුමත් එක්ක මුසු වුනු ඒ නිකොටින් දුම නිසා යන්තමට පෙනෙමින් තිබ්බ වට පිටාවත් නොපෙනී ගියා. කලීසිට වගේ සුදුම සුදු කොණ්ඩයක් තිබුණා නම් මැන්ඩි කොහොම වෙයිද, මම අලුත් මකර රැජිනව පරිකල්පනය කරන්න ගත්තා.

Saturday, October 26, 2019

හැම තැනම දුම(8th epi) - ගින්න




මමත් රාජයියාත් බෝඩිමේ කළු බඩා අයියාත් වැටුනු වැටුනු තැන් වලට වෙලා හති අරින්න ගත්තා. කට කැඩිච්ච බේසමට පුරවපු අන්තිම වතුර ඩිංගෙන් කොටහක් මම බෙල්ල වටේට හලා ගත්තේ දැණුනු මහ දාහය දුරු කරලා අරින්න. මම රාජයියා දිහා බැලුවා. රාජයියා තවමත් දුම් දමමින් තිබුණු ටුක් එකේ ඇට සැකිල්ල දිහා බලං ගල් ගැහිලා. ඒ දුම වටේටම පැතිරෙමින් තිබ්බා. හැම තැනම දුම. මට රාජයියගේ ඇස් දෙක පැහැදිලිව පේන්නේ නෑ. ඒත් ඒ ඇස් රතුවෙලා ඇති කියලා මට හිතුනා. කේන්තියට, මහන්සියට, රස්නෙට, දුමට, දුකට ඇස් රතු වෙලා ඇති. ගිනි ගෙන ඉවර තමන්ගේ වටිනම වස්තුව දිහා බලං ගිනි ඇවිලෙන ඇස් දෙකක්.
රෑ දොළහ වෙද්දි මම හිටියේ හොඳ නින්දක. මොකක්දෝ දෙයක් බිඳිලා යන සද්දෙකට වෙන්න ඕන මම ඇහැරුනේ. කොහෙන්දෝ එන එළියක් නිසා මුලු කාමරයම එළිය වෙලා තිබ්බා. විනාඩියක් දෙකක් සිහිය එලවගන්න ට්‍රයි කරනකොට තේරුනා කාමරේ ලඟින්ම වුනු තාප්පෙට එහා පැත්තෙන් මහා ගින්නක් ඇවිලෙන බව. කාමරේ එලිය වුනේ ඒ ගින්දරෙන්. එලිය ආවමයි දැක්කේ බෝඩිඒ වහලටත් වඩා උසට ඇවිලෙන මහා ගිනි ජාලාවා. ටිකක් එහාට ගිහින් බයෙන් බයෙන් තාප්පෙන් ඉස්සිලා බෙල්ල දාලා බලද්දියි දැක්කේ අම්මමෝ නැතිව ඇවිලෙන්නේ රාජයියගේ ත්‍රීවිල් එක බව. රාජයියා කියන්නේ අපේ බෝඩිම එහා පැත්තේ අසල්වැසියා.වීල් පාක් එකේ හිත හොඳ චන්ඩියා. බෝඩිම අයිති කලු බඩාවත් ඇහැරවගෙන අපි කෑගහගෙන දිව්වා රාජගේ ගෙදරට. හොඳට ගසලා නිදා උන්නු රාජව ඇහැරවන්න ටිකක් වෙලා ගියා. ඉන් පස්සේ ඇරඹුනු අපි තුන් දෙනාගේ ගිනි නිවීමේ මෙහෙයුම සාර්ථක එකක් නොවුනේ මොකක්දෝ කරුමෙකට ඒ මහ රෑ වතුර කපලා තිබ්බ නිසා. ඒ නිසා වතුර අරං එන්න බෝඩිමට ආයේ ආයේ දුවන්න උනා. රාජගේ ගෙදර වතුර ටැංකියක්වත් නෑ රෙද්ද. ඒ මදිවට රාජාගේ ගේ වටේ පිටේ සෙට් එකම් කොහේදෝ ට්‍රිපක් ගිහින් නාකි උන් ඉන්න උන්ගේ තරුණ සමිතියෙන්. මිශන් එක ඉවර වෙද්දි ටුක් එකේ ගන්න දේකට කියලා ඉතුරු වෙලා තිබ්බේ යකඩ සැකිල්ල විතරයි.
තැනින් තැන පුපුරපු වීදුරු කෑලි විසිරිලා තිබ්බා. ලඟ තිබුණු එක වීදුරු කෑල්ලකින් මට ඉහළ ආකාසේ තියන හඳ පලුවෙ කෑල්ලක් පේනවා. රාජයියා තවමත් පුපුරමින් හිටියා.
"මට හිතාගන්න පුලුවන් කවුද මේක කරපු පරයා කියලා" අන්තිමේදි රාජයියා කට ඇරියා. කලු බඩා විමර්ශන සාකච්චාව සඳහා රාජයියට කිට්ටු කරා.
තමන්ගේ දෙයක් ගිනි ගද්දි හිතේ ඇතිවෙන ගින්දරෙන් කොහොම වේදනාවක් උපදිනවා ඇද්ද.ඒ ගින්නට තමන්ගේ ජීවිතෙත් බිලි වෙයිද කියලා බයකින් හිත කොච්චරක් ගැහැනවා ඇද්ද. ඒ ගිනි පුපුර අවුලවපු එවුන් ගැන කොහොම කේන්තියකින් හිත ඇවිලෙනවා ඇද්ද. මම රාජයිගේ මූණ දිහා ආයෙම බැලුවා. මේ සිද්දියට අදාල නැති මහ පරණ කතාවක සියුම් සෙවනැල්ලක් ‍රාජගේ මූණට වැටිලා තියනවා වගේ ගතියක් මට පෙනුනා. මීට කාලෙකට කලින් අඩියකට සෙට් වුනු වෙලාවේ රාජයියා තමන්ගේ තරුණ කාලේ ගැන වෙරි මතේ ගහපු කයියක තිබ්බ කතාවක් තමයි ඒ හෙවනැල්ලට මූලාශ්‍ර වෙන්නේ. බලාඉද්දි රාජා තරුණ වෙලා දශක ගණනාවක් පස්සට මාව ගහගෙන ගියා.
*******************
ඔවුන් ඩබ්.ඒ.සිල්වා මාවතෙන් ගාලු පාරට වැටෙන විට අලුයම් හිරු කිරණ පළමු වරට පොළව සිප ගනිමින් තිබිණි. සමහරවිට මේ හිරු කිරණ පොළව සිඹින්නට පැමිණියේ බොහෝ වෙලාවකට මත්තෙන් විය හැක. එළිය දෙන්නට තරම් සතුටක් මහ පොළව උඩ නොවූ නිසා තම රැස් උපරිම කාලයක් සඟවා තබාගන්නට හිරුට සිතෙන්නට ඇත. නැතිනම් පලින් පල දැවෙන නිවාස හා කඩ වලින් නැගෙන මහා දුම් වලාව නිසා පොළවට පැමිණි හිරු රැස් අතරමග හිරවන්නට ඇත. මිතුරන් සිව් දෙනාට තම තමන් සතු අන්තිම සිගරට් කිහිපය දල්වාගන්නට අමුතුවෙන් ගින්දර ඕනෑ වූයේ නැත. වැල්ලවත්ත හන්දියේ සිට බලන බලන හැම අතම ඇත්තේ ගිනි ගොඩවල් මිස අන් මොනවාද?. කෙසේ වුවත් ගාලු පාර දිගට නම් තමන්ට කරන්නට එතරම් දෙයක් ඉතිරි වී නැතිබව සිව් දෙනාටම පැහැදිලි විය. තමන්ට පෙර ගාලු පාර බාරගත් සිංහල දේශප්‍රේමීන් බොහොමයක් පුංචි යාපනයට ගිනි දී සබ්බ සකල මනාවටම සුද්දය දී අහවරය. ගාලු පාරට වැටෙන්නට පෙර මොහොතේ ගිනිබත් කල සාරි කඩයෙන් පන්නා ගත් වටිනා සාරි කිහිපය ගෙදර දුවගොස් අම්මාටත් අක්කලා දෙන්නාටත් බෙදා දෙන ආකාරය ඔහුට මැවී පෙනෙයි. මේ කාලයේ නම් සාරි වැඩියෙන්ම අවශ්‍ය වන්නේ අලුත රස්සාවකට ගිය ලොකු අක්කාටය. ගෙදරට අවශ්‍ය අඩුම කුඩුම බොහොමයක් සපුරාගත හැකි මුදලකින් සාක්කු දෙකද පිරී ඇති බව ඔහුට සහතිකය. හැම කඩයකටම , නිවසකටම ගිනි අවුලන්නට පෙර වටිනා කියන දේ සුද්ද කළ යුතු බවට වන රත්තරං උපදේශය දුන්නේ සිරි අයියාය. ඔහුට තරම් නුවණක් කොහේද ඊයේ පෙරේදා පාසල් ගමන අවසන් කළ තම මිතුරන් දෙදෙනාටත්, තමන්ටත්. ඔවුන් තිදෙනාගේ කකියන සිංහල ලේ වලට වෙලඳපොල අගයක් එකතු කලේ සිරි අයියාය. පස් වෙනි කඩයට ගිනි දමද්දී සිංහල ආලය කොහේද මංදා ගොස් ඉතුරුවෙලා තිබුනේ සාක්කු බර කරගැනීමේ පෙරේත කම පමණි. ගිනි ජාලා අහස උසට නැගෙද්දී කල්ල මරේ වූයේ මල්ලේ බර දිගින් දිගට වැඩි වෙමිනි. ඔහුගේ හදවත මදක් කම්පා වුනා නම් වූයේ එක් කඩයක මුරට වූ තරුණ දෙමලාගේ ඔලුවට දුන් පොලු පාර ගැනය. ඌ නොමැරී ඇත්නම් හොඳය. බොහොමයක් පොහොසත් දෙමලුන් හැකි දෙයක් පොදි බැඳ පළාගොස් සිටියදී මේ යකා පමණක් කෙසේ ඉතිරි උනාදැයි ඔහුට සිතා ගත නොහැක. ඌ මුරකාරයෙක් නිසා විය හැක. එක අතකට එතනත් ලෙසටම කෙල වී ඇත්තේ දුප්පතාටමය. දෝයි ගා ඔලුවට දුන් පොලු පාරෙන් උගේ හිස පැලී සී සී කඩ විදින්නට ගත් ලේ වල රතු පැහැය කලුවරේදී වුවද හඳුනා ගැන්මට ඔහුට හැකි විය. සිරි අයියාට ඕනෑ වුනේ ඌව කඩය තුලම බාබකිව් කිරීමටය. ඒත් හිත යට කොහේදෝ වූ අනුකම්පාවක් නිසා කඩය ගිනි තබන්න මොහොතකට කලින් දෙමළ මුර කොල්ලාව එලියට ඇද පාරට දමන්නට ඔහුට හැකිවිය. අඩු ගානේ දැන් ඌ පිච්චිලා මැරෙන්නේ නැත. කම්මැලි නැතුව පිරික්සුවොත් දැවී ගිය කඩවල් අතර පවා වටිනා යමක් සොයා ගන්නට බැරි වන්නේ නැත. ඒත් තවත් දෑ ගෙනියන්නට තරම් හැකියාවක් නැත. ශර්ට් සාක්කුවේ පටන් කුඩා කුඩා මලු කිහිපයක් දක්වා වාසි සරුවී ඇත. වැඩි තන්හාවට ගියහොත් අන්තිමේදී නතරවන්නට වන්නේ පොලිස් කූඩුවේය.හැබැයි පහු ගිය පැය ගණනාව පුරාම පොලීසියෙන් නොවේ ඔවුන්ට බාදාවක් කලේ.ඒ කෙසේ වුවත් කෙමෙන් කෙමෙන් උදෑසන එලිය තර වෙන බැවින් පිරිස හනි හනික විසිර යෑමට තීරණය කලහ. ඔහු ගෙදරට පය තබන විට ඔරලෝසුවේ උදෑසන 8 වැදුනා පමණි.
"කොහේද රාජෝ තෝ මක බෑවුනේ......අපි මේ පපුව ගිනි අරං හිටියේ. ඇත්ත කියපන් තෝත් ගියා නේද....."
බෑගය උඩම තිබූ රතු පැහැති දිදුලන සාරිය අම්මාගේ ඔලුවට දැමූ රාජා ඇගේ කට වැසුවේය.නැතිනම් මුලු මුඩුක්කුවටම ඇගේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශය ඇසෙන්නේය.
"පොඩි අක්කේ තේ ටිකක් හදපන්කෝ" කියමින් ඔහු සාලයේ වූ එකම කුඩා මේසය මත වූ දින කැලැන්ඩරයේ අලුත් දවස පෙරලුවේය. ඒ 83 ජූලි 25වන සඳුදාවේ උදාවයි.
************************

Sunday, October 13, 2019

හැම තැනම දුම(7th Epi) - නිදාගත් ගැහැණු






"තොල් වලට සායම් ඕනම ද?"

"මල් පෙතිවල පාට ගෑවේ ඇයි සියුමැලි දෙතොලේ. කොළඹ ගිහින් ඉගෙන ගත්තේ ඕවද මගේ කෙල්ලේ...." මැන්ඩි හිනා වෙමින් උත්තර දුන්නා. ඒක උත්තරයක් නොවුනත්.

"මට නම් ........හිතෙන්නේ .........තොල් වලට ඕන....... රසයක්......" මම එයාගේ තොල් අතරේ පැටලෙමින් , කැලතෙමින් කිව්වා.

"තොල් වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද , ඒවා මෙලෙක් බව තේරෙනවා මටද..." ආයේ පිළිතුරක් වෙනුවට හිස්තැන පුරවන කවිපදයක්.

"ඔව් මෙලෙක් නම් තමයි.....ඇඟිලි වලටත් දැනෙනවා." එයාගේ යටිතොල මගේ දබර ඇඟිල්ලෙන් පහලට අදිමින් මම කිව්වා.
"අනික තොල් වල සුවඳ නෙවී එන්නේ කට නොහේදුවම එන ගඳ "
"අනේ යනවා මෝඩයෝ යන්න.......ඔයා තොල් වල රස ගැන කිව්වම මතක් උනේ. ඔයා චින්තනගේ Bitter lips, තිත්ත තොල් කියවලා තියනවද?"

"මම පොත් සීන් එකේ නෑනෙ. ඔයානෙ මගේ audio book එක. ඊලඟ turn එකට ready වෙනකල් bitter lips අහමු එහෙනම්...."

"අපෝ ඒක කියන්න තරම් හිතෙන පොතක් නෙවී. ඒත් ඒකේ පිදුම තමයි මට වැදුනෙම "

"හැදූ වැඩූ අම්මාට, නිදාගත් ගැහැණුන්ට"

"hmmm.....Interesting"
"ඔයාට මතකද පරණ සිංහල movies and dramas වල මේ වගේ මොහොතක් ගෙවෙන්නේ කොහොමද කියලා." මැන්ඩි එහෙම ඇහුවම මගේ හිතේ තිර පිටපත ලියවුනා ඇස් ඉස්සරහ video එකත් මැවීගෙනම.

දර්ශන අංක 5 - හෝටල් කාමරයක් තුල:

සුදු පැහැති ඇඳ රෙද්ද අවුල් වී ඇත. සිවිලිමේ ඇති විදුලි පංකාව මද වේගයෙන් කැරකේ. මදක් පරණ වී ඇති එයින් යම් කර්කශ ශබ්ධයක් නිකුත් වේ. කොණ්ඩය විදාහල යුවතිය ඇඳ විට්ටමට හේත්තු වී දෙදණ අතර මුහුණ සඟවා ගෙන ඉකි බිඳී. සුදු පෙරවන රෙද්දකින් ඇගේ දෙපා සම්පූර්ණයෙන් ආවරණය වී ඇත. තරුණයා ඇඳේ එහා කෙලවරට වී ඉඳගෙන සිටින්නේ උඩු කය නිරුවතිනි. (යුවතියගේ උඩුකය නිරුවත් නොවන බව මතක තබා ගන්න). ඔහු කල්පනා බරිතය , අතරමං වූ ගතියක් ඇති මුත් තෘප්තිමත්ය.
"දැන් ඕකට අඬලා වැඩක් නෑනේ.අපි දෙන්නගේම කැමැත්තෙන්නේ මේක උනේ...." කියමින් ඔහු ඇඳෙන් නැගිට කාමරයේ ජනේලය අසලට ගොස් ඉන් පෙනෙන වටපිටාවේ සිරි නරඹයි.
"ඒ උනාට ඔයා අමතක කරන්න එපා මගේ වටිනාම දේ මම ඔයාට පුදපු බව.......කියන්න ඔයා මාව අමතක කරන්නේ නෑ නේද....?"
ශෝක මූඩ් music එකක් වාදනය වෙමින් ජනේලයෙන් පිටත දක්වා පෙන්වමින් එන කැමරාව හිස් අහස කුස පෙන්වමින් තත්පර කිහිපයක් රැඳේ.

දර්ශන අංක 5 නිමාව ....

මමත් මැන්ඩිත් මහ හයියෙන් හිනාවෙන්න ගත්තා. හරියට අපි දෙන්නගෙම හිතේ එකම සීන් එක play උනා වගේ.

"හැබැයි Drama සීන් ඒකේ නම් යුවතියගේ first time. So අපිට ඒක මෙතනට apply කරන්න බෑ "....මම ගුටි පාරක් කන්න බලන් කිව්වා.

"ඒ කියන්නේ මගේ පිදුම ඔයාට වටින්නේ නැද්ද අයියාහ්හ්හ්හ්.... " ගාගෙන මැන්ඩි මගේ ඇඟට පැන්නා. විහිලු පහුරු ගෑම්, සපා කෑම්, කෙනිත්තීම්, සිප ගැනීම් මැද එදා හවස් වරුවේ දෙවනි turn එක උදාවෙද්දි රත්නපුර අහස ගුගුරවමින් වැස්සක් වැටුනා. ඔව් ......අපේ ඒ පළමු සයනකතාව හෙවත් පළමු පිදුම රත්නපුරේදී සිද්ද උනා. හැම තත්පරයක් ගානෙම මතක ඇති ඒ දවසේ විශේෂම කියමන චින්තගේ පිදුම,
"නිදාගත් ගැහැණුන්ට"


හිතට සමීප වෙන ගැහැණු කියන්නේ පිරිමින්ගේ හිත්වල අගුලු අරින යතුරු. ගොඩක් වෙලාවට අපේ හිත් ඇතුලේ එහෙම අගුලු තියනවද කියලා අපි දැනගන්නෙත් මේ යතුරු හම්බුනාට පස්සේ. උන් ඒ යතුරු වලින් අපේ හිත් අගුලු ඇරං හාරං හාරං ඇතුලට ගිහිල්ලා එතෙක් නොතිබ්බ අවකාශයක් බිහිකරනවා. ඒ වෙනකල් පිරිලා කියලා හිතං හිටපු අපේ හිත්වල හැදෙන මේ අලුත් අවකාශය හෙවත් ඉඩ අපිව කලම්බනවා, ආතතියට පත්කරනවා. ඒ ඉඩ ලේසියෙන් පුරවන්න පුලුවන් ඉඩක් නෙවෙයි. පුරවන්න පුරවන්න අලුත් ආශාවල් පූදිනවා.සමහරක් ඒවා මානසික වෙද්දි සමහර ඒවා ශාරීරික වෙනවා. ඉතින් ජීවිතේටවත් වචන තුන හතරක් ගලපලා හරියකට වාක්‍යක් නොලියපු උන් කවි ලියන්න ගන්නවා, සින්දු අහන්න ගන්නවා, පොත් කියවන්න ගන්නවා, කතා බහ කරන විදිය අඳින පලඳින වෙනස් කරගන්නවා, කවදාවත් නොකාපු තැන් වලින් කන්න ගන්නවා, තම තමන්ගේ ශරීර වල නොදැකපු මුන නොගැසුනු ප්‍රදේශ වල රස හොයාගන්නවා, ඇඳන් වල පොලු ගැලවෙනකල් අලුත් අලුත් ඉරියව් අත් හදා බලනවා.

කොහොමත් ආදරයකින් මෙහා නවත්තං ඉන්න පුලුවන් ගෑණු ඇසුරක් කියන්නේ ලෝකේ තියන වටිනාම අත්දැකීමක්. ඒ ලැබෙන අත්දැකීම් වල ගැඹුර, වටිනාකම, මුන ගැහෙන ප්‍රදේශ සහ ලස්සන එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. හැබැයි ඒ නිදහස් මානුෂික සම්බන්ධය ආදරය කියන රාමුව ඇතුලට වැටිච්ච ගමන් අර තිබ්බ වටින කම, ගැඹුරුබව, බුද්ධිමය බව නැතිවෙලා පට්ට ගොං තැනකට එනවා. එතනින් එහාට තියෙන්නේ කෑවද බිව්වද අහන එක, කොහේද ඉන්නේ මොනවද අරන්නේ අහන එක, call එක waiting උනේ ඇයි කියන එකට මරාගන්න එක, එකිනෙකාගේ password ඉල්ලං හොර අල්ලන එක , දවසට කී පාරක් ආදරේ කිව්වද කියන එක, බඳින්නේ කවදද කියන සැකය වගේ දේවල්. කලින් තිබ්බ විචාර බුද්ධියෙන් යුතු නිදහස සහ අවබෝධය එතන නෑ. ආදරය කියන ඉර පන්නන්න කලින් හිටපු බුද්ධිමත් ගැහැනිය ඒ ඉර පැන්නුවට පස්සේ හම්බෙන්නේ නෑ. ඒ ගැන තිබ්බ දෙගිඩියාව සහ වික්ෂිප්ත භාවය නිසාම වෙන්න ඕන පෝරුව පෙනි පෙනිම මගේ මගුල කැඩිලා ගියේ. තිත්ත තොල් තවම කියවලා නැතත් කියවන්න ආසාවක් නැතත්, ආදර රැහැන අසලම දැවටි දැවටි ගෙල පටලවා නොගත් ගැහැනු , නිදාගත් ගැහැණු කියන්නේ හැබෑවටම පිදුමක්,.....පුදුම පිදුමක්.

Thursday, October 10, 2019

හැම තැනම දුම (6th Epi) - fantasy No1




"මං නං හිතන්නේ විජේව මැරුවේ චන්ද්‍රිකා"
"මොකක් ?..."
"ගෑණු ගොඩකගේ සිහින කුමාරයා එක ගෑණියෙකුගේ සිහිනය වෙනුවෙන් බිල්ලට ලක් වෙනවා. ලස්සන විජේගේ ලේ කැත විජේවීරගේ අත්වල ගෑවීගෙන වැක්කිරිලා ප්‍රේමදාසගේ සුදු සරමට වැටෙනවා. හරියටම කියනවා නම් මැරිච්ච ප්‍රේමදාසගේ සුදු සරමට. ඒ සුදු සරමට වැටෙන විජේගේ රතු ලේ පැල්ලම හෝදලා දාන්නේ චන්ද්‍රිකා....ඔව්....ගෑනු කියන්නේ රහස් ගොඩක්......කවදාකවත් එලිපිට නොකියවෙන, ඒත් හිතාගන්න බැරි මොහොතක ගොජ ගොජ ගාලා දෝර ගලං යන ආසා ඟඟුලක උල්පත් ගොඩක්"
මැන්ඩි කියාගෙන කියාගෙන යනවා. දෙහිවල හන්දියේ පේමන්ට් කඩ ගොඩ මැද්දෑවෙ තියන විජේගේ පිළිරුව තමයි අපේ කතාවේ මධ්‍ය ලක්ෂය. ඒ අපේ දෙවනි හමුවීම සහ එයාගේ පළවෙනි ෆැන්ටසිය. ටවුන් එකක් මැද මහ රෑ දුම දාන ෆැන්ටසිය. වැල්ලවත්තේ සැෆායා එකේ ඉඳන් 2km කටත් වැඩි දුරක් අපි පයින්ම ඇවිදන් ආවා කතා කර කර. බියර් දෙක මැදට වැටුනු ලව්ඩර්ස් 50 නිසා ඒ දුර එච්චර ගානක් වුනේ නෑ. කොහොමත් මැදියම පහුවෙලා තිබ්බ නිසා රස්නෙකුත් නෑ. අපේ ආශාවේ නැවතුම නෝලිමිට් එක ඉස්සරහ යකඩ වැට. වැටට හේත්තුවක් දාගෙන අපි හතරමං හන්දියේ හැම මාවතක්ම ඇස් වලට පේන තරමට ආරම්මණය කලා. ගාලු පාර කාලකන්නි වෙලා, station පාර මූසල වෙලා, හිල් ස්ට්‍රීට් එක කල එලි වෙලා.
"එකෙන් යමු..." මම ඩන්හිල් දෙකක් එලියට අදිද්දි එයා යෝජනා කලා. එයාගේ රත් දෙතොල මැද රැඳුනු ස්විච් එකට මම ගිනි තිබ්බා. ගින්න අවුලන්න රුකුල් දෙන හුස්ම ඇදිල්ලෙදි ඒ ලස්සන මත් බර ඇස් අඩවන් වෙන ලස්සනක තරම......
දුම් උගුරු දෙක තුන යද්දි බීර-ලව්ඩර්ස් මික්ස් එක ආයේ පණ ගහලා එන්න ගත්තා.ඇස් යාන්තමට අඩවන් වෙද්දි හිත නැලවෙනවා. මං දෙහිවල පාලම උඩින් යන වාහන වල එලි දිහාව බලං හිටියා. ගුවන් පාලම උඩ වේගෙන් ඉගිලෙන වාහන කොයි මොහොතේ හරි ආකහේ තියන තරුවකට ලඟාවෙනවා සිකුරුයි. රෑ වෙන්න වෙන්න පාලම ආකාසෙට කිට්ටු වෙනවද කොහෙද.....
පාන්දර එකත් පහු වෙමින් තියන නිසා දෙහිවල හන්දිය පාලුයි. උදේ ඉඳන් රාත්‍රිය දක්වා ඉවරයක් නොවන ඉස පුපුරවන වාහන තදබදය කොහම නැති වෙලාද කියලා හිතාගන්න බෑ. ඉඳලා හිටලා යන වාහනයක් ඇරුණාම ජීවයක සලකුණකට තිබ්බේ ටිකක් එහාට වෙන්න නවත්තලා තිබුනු ත්‍රීවීල් දෙක විතරයි. ඒකේ ඉන්න වීල් කාරයෝ දෙන්නා මැන්ඩිගේ කෙටි ගවුම නිසා නිරාවරණය වන රත්‍රං පාට කකුල් දිහා බලං අනිමිස ලෝචනේ යෙදෙන බව මට පේනවා. මං ඒ ගැන කියලා ටිකක් එහාට යමුද ඇහුවම එයාට වඩ වඩා ඕන වුනා එතන ඉන්න. එක අතකට මං ඒ වීල් කාරයා උනා නම් මාත් කරන්නේ ඒකම නෙවීද.

මැදියමක දකිනා
සුබ සිහිනයක් බඳු
නාඳුනන සුදු වටොර
ඇසින් අල්ලා ගෙන තදට
හිතට තද කර බැඳං
ගෙදරටම ගෙන දුවමි
නිදහස් මොහොතක් පතං

"බොසා කොහේට හරි ඇරලවන්නද"......හිටි හැටියේ අපි ලඟ තිරිංග තදකරපු වීල් බුවෙක් ඇහුවේ මැන්ඩි දිහා උඩ ඉඳන් යටට පෙරේත බැල්මක් හෙලන ගමන්. පොරගේ දානපති සහය කාරුණිකව ප්‍රතික්ෂේප කරන ගමන් දෙවනි ස්විච් එක පත්තු උනා. පාලු දෙහිවල හන්දියේ පාට ගියපු චිත්‍රයක එලිය ගේන ලයිට් එලි මැද අපි දෙවනි දුමත් පිඹිමින් හිටියා.
"මට හිතෙනවා 'සරසවි' එක බිඳගෙන ගිහින් ඒකේ තියන හැම ආගමික පොතකම මුල් පිටුව මේ සිගරට් එකෙන් පුච්චං හිල් කරං යන්න. ඊට පස්සේ අන්තිම පිටුවේ ලිප්ස්ටික් පාර වදින්න කිස් කරන්න ".
'"මොකක්ද ඒකේ තේරුම ?"
"ඒකේ තේරුම,..... මුල පටං හිල් , ආගම් හරි හිස්, ශෘංගාරය මිස්, යූ ශුඩ් කිස් සම් ලිප්ස්" කියන එක.
"අද නම් ඔයාට වැඩී වගේ." මම හිනාව නවත්තගන්න බැරුව කිව්වා. "මට නම් ඕන සරසවිය නෙවී නෝලිමිට් එක බිඳින්න."
"ඇයි සිංහල ව්‍යාපාර නංවන්න ද?"
" නෑ හලෝ....ඩෙනිම් තුන හතරකුයි ටී ශර්ට් පහ හයකුයි උස්සන්න."
"එහෙනම් සිගරට් එක නිවලා පනින්න.නැත්නම් පානදුර නෝලිමිට් එකට වුනු සන්තෑසියම මේකටත් වෙයි"
පොත් කියවලා කියවලාමද කොහෙද මැන්ඩිගේ පොශ් life එකට හද්ද සිංහල vocabulary එකක් එක්කහු වෙලා තිබුනා.පාන්දර දෙකට ඔරලෝසු කටු කිට්ටු කරන්න ගද්දි අපි හෙමි හෙමින් හිල් ස්ට්‍රීට් එක උඩහට ඇවිදින්න ගත්තේ මැන්ඩිගේ බෝඩිමට පයින්ම අදින බලාපොරොත්තුවෙන්. සරසවිය පහුවෙද්දි මං කෝකටත් කියලා එයාගේ අතින් තද කරලා අල්ලගත්තා පොත් ටික ගිනි තියන්න දුවයි කියලා බයට.
"Do you want to kiss me?" එයා ගහෙන් ගෙඩි එන්න වගේ ඇහුවා. සරසවිය ඉස්සරහ මහ රෑ අලුත් පොතක් print වෙන්න ගත්තා.

Saturday, October 5, 2019

හැම තැනම දුම(5th epi) - Zoom වෙන පින්තූර






එදා මැදියම් රැයේ බැරකූඩාවෙන් පිටවෙද්දි එයාගේ මූණ හිතේ කෙටිච්ච ටැටූ එකක් වෙලා ඉවරයි ආයේ කිසිදා නොමැකෙන්නම. ටැටූ එක වටේට අඩ කවයක් විදියට අන්කොමන් font එකකින් කෙටිලා තිබ්බේ එයාගේ අන්කොමන් නම. සුපිරියටම ටැටූ කලා වුනත් මම බයේ හිටියේ හිත හෙල්ලුනොත් ටැටූ එක බොඳ වෙයි කියලා. ඒ නිසා වැඩි දේවල් හිතන්නේ නැතුව හිමීට ඇඳෙන් ඇලවුනා. එදා දවස පටන් ගනිද්දි මගේ හිතේ තිබ්බ ප්ලෑන් එකේ හැටියට සියල්ල සිදු උනා නම් මම ඇඳට වැටෙන්න තිබ්බේ එයත් එක්කමයි. ඒත් අපි අතර ඇදුනු ඇඳුනු කතා බහ අනුව තව මුණගැසීම් රාශියක වියහැකිබාවය මොනවට පැහැදිලි වෙමිනුයි තිබ්බේ. ඒ නිසා හදිසි වීමේ අවශ්‍යතාවක් නෑ. කොහොමත් අටවක පුත්තු වගේ බරසාර කතාවකින් පස්සේ දිගු ඇරුණු විචාර කතිකාව දිශානත වෙලා තිබ්බේ හෝටල් ඇඳක් දිහාවට නෙවෙයි. එයාව uber ටුක් එකකට ඇරලවපු මම වෙනින් ටුක් එකක නැගිලා බෝඩිමට ආවා.

ඇඳට වැටුනු මම බැරකූඩාවේ ගෙවුනු පැය කිහිපය මනසින් සිතුවම් කරමින් උන්නේ එයා නිදි දෙව් දුවක් වෙලා ඇවිත් මාව සිහින ලෝකෙකට කැන්දන් යයි කියන බලාපොරොත්තුවෙන්. නින්ද කොහේදෝ ඈත කෙලවරක ඉඳන් අතවනං ලඟට එද්දිම බෝඩිමේ බලු තඩියා බුරන්න ගත්තා මහ සද්දෙන්. නෙදකිං කාලකන්නි සුනඛයා......මට චන්දන මෙන්ඩිස්ගේ සුනඛ ශාපය පොත මතක් උනා. මූ නම් සාපයක්ම තමයි. පොතේ ඉන්න බැස්කවිල් බලු දණඩා වගේම මූත් භයංකාරයි. බැස්කවිල්ගේ වගේ මුගේ කටින් ගිනි පිට වෙන්නේ නැති උනාට කලුම කලු උස මහත ශරීරෙත් එක්ක මහ රෑක බුරං පනිද්දි අපිට නම් සුලුදිය පහවෙනවා.මිනිස්සු මොකට මුංව හදනවද මංදා , කාලකන්නි සත්තු. හැබැයි බෝඩිමේ බඩ තඩි අයියා නම් කියන්නේ මුගේ කට මිස වැඩ නෑ ඒ නිසා බය වෙන්න දෙයක් නෑ කියලා. බෝඩිමේ අක්කත් කියන්නේ අයියාගේ කටයි බඩයි විතරයි වැඩ නෑ කියලා. ඒත් උගේ දඩ සයිස් එක දැක්කම(බල්ලගේ සයිස් එක හොඳේ ) වැරදිලාවත් හැපුවොත් බුරිය වටේට ඉන්ජෙක්ෂන් එකසිය විස්සක්වත් ගහන්න වෙයි. ඒ නිසා කෝකටත් බල්ලා රෑට මතුවෙනකොටම අපිට "අයියේ.... බල්ලා...." කියලා සද්දෙට කියවෙනවා. එතකොට අයියා බඩ උඩ දදා එනවා ගේට්ටුව ලඟට "බිය නොවන මලයන්ඩිය සුනඛයා දමනය කරන සැටි මම පෙන්නන්නම්" කියාගෙන වගේ. ඒ වෙලාවට නම් අපිට කොච්චරවත් හිතෙන්නේ අක්කා මොනවා කිව්වත් අයියා තමයි වැඩකාරයා නොහොත් අපේ ගැලවුම්කාරයා කියලා. හැබැයි මාසේ බෝඩිං ගාස්තුව ඉල්ලං එද්දී ඌ තමයි අපේ කරුමක්කාරයා..... තත්පර පිහිපයක් යද්දී බෝඩිමේ ඉස්සරහ දොර අරෙනවා ඇහුනා. පේරේ intern කොල්ලො සෙට් එක දැන්ද කොහෙදෝ එන්නේ. මම වෙලාව බැලුවා. පාන්දර 1.45යි. උංගේ කතබහ සහ එහෙන් මෙහෙන් ඇහෙන සින්දු කෑලි අනුව කට්ටිය සිකුරාදා රෑ හොඳට සමරපු බව පැහැදිලියි.

කොහොමත් සිකුරාදා රෑ කියන්නේ අනිවා සැමරීම වෙනුවෙන් වෙන්කල යුතු පූජනීය කාල පරාසයක්. ඒ පූජනීය සිකුරාදා රෑ සැමරීම, එලඹෙන සති අන්තයට එකතු කරන්නේ කියලා නිම කරන්න බැරි ගැම්මක්, සන්තෝසයක් සහ සැහැල්ලුවක්. ඒ සැමරීම සිද්ද වෙන්නේ මී විතෙන්ද, ගී පොතෙන්ද, ආදරෙන්ද , සිනමාවෙන්ද කියන එක අදාල නෑ. අපි වද විය යුතු එකම දේ වෙන්නේ රස්සාව වෙනුවෙන් දවස් පහක් ගනිකා වෘතියේ යොදවපු අපේ හිත කය වචනය, අපි කැමති සැමරුමක් වෙනුවෙන් පාවිච්චි කිරීමේ නිදහස උදා කරගන්න බව තහවුරු කරන එක. පේරේ කොල්ලො ටික මීවිතෙන් මත් වෙලා ඒ නිදහස අත්පත් කරගනින්ද්දි මං හිටියේ නිශ්චිත නමක් නැති හමුවක සන්තෝසය, චුයින්ගම් එකක් වගේ නැවත නැවත මතකයෙන් අදිමින්. අනාගතයේ දිග හැරෙන්න නියමිත මේ සම්බන්ධය ලඟාකරවන්නේ ආලකමන්දාවක්ද හිරගෙයක්ද කියන එක පැහැදිලි නොවුනත් මං හිටියේ අමුතුම ලල් එකක පාවෙමින්. සුනඛයාගේ ශාපය නිසා නිදිමත දැන් අහලකටවත් එන පාටක් නෑ. මම ෆේස්බුක් ලෝඩ් කරං මැන්ඩිගේ account එක අස්සට රිංගුවා. ඒකේ පල්ලෙහාට පල්ලෙහාට කනිමින් එයාගේ අතීත අනතීත හැම පින්තූරයක්ම පිරික්සන්න ගත්තා. බලන බලන හැම පින්තූරයක් පින්තූරයක් ගානේ එයාට පණ එන්න ගත්තා. සමහර පින්තූර ලඟ විනාඩි ගණන් නැවතුනා , සමහර පින්තූර සූම් වුනා. සමහර ඒවා මාව නලවද්දි , ගොඩක් ඒවා මාව ඇවිලුවා. ඇවිලීමේ උපරිමේට ලංවේගෙන එන බව පැහැදිලියි. ඒත් වොශ් රූම් එකට රිංගන්න කම්මැලියි වගේම වෙලාවත් මදියි. මම අඳුරේම අතපත ගාලා බැනියමක් හොයාගත්තා.

Monday, September 30, 2019

හැම තැනම දුම (4th Epi) - මැන්ඩි



දෙවනි ලාගර් බෝතලේ පතුල දක්වා හිඳෙමින් ඉන්න මොහොතක මම බලාපොරොත්තුවෙන් හිටි කෙටි පණිවිඩේ ආවා. මැසේජ් එක දිමියාගෙන්. ලඟම, securedම, ගාණ ශේප්ම පොට් එක ගැන උපදෙස් පතා යැවුනු ප්‍රශ්නෙට ලැබෙන රත්තරං වටින පිළිතුර. ඌ මේවගේ හදිසි රති ගායවල් ගණනාවක් සාර්ථකව සංසිදවගත් එකෙක්. ඉතින් ඌ යනු අර අපි පොඩි කාලේ දැකපු ඇඩ් එකේ හේමසිරි ලියනගේ කියන්නේ "I know the place පුතා" කියලා confidence පිට කියන්න පුලුවන් බහුශ්‍රැතයෙක්. හැබැයි හේමසිරි ලියනගේ ඊලඟට කියන 'මම හැමදාම යන්නේ එතනට' කියන line එක ඌ කියන්නේ නෑ. මොකද මේ වගේ වැඩ වලට හැමදාම එකම තැනකට යන එක ඇඟට ගුණ නැති නිසා. විශේෂයෙන් කොටුවෙන් කොටුවට මාරු වෙන අවස්ථාවල. ඉතින් බැරකූඩාවේ සිට දුර ඇනලයිස් ඌ එව්වා තැන් දෙකක්. එයින් දෙහිවල place එක මග ඇරලා මගේ තෝරාගැනීම උනේ ගල්කිස්සේ හෝටල් පාරේ place එකක්. ටුක් එකක් අරන් සුටුස් ගාලා යන්න පුලුවන් දුරක්නෙ.

"ලාගර් බීලා ඔයාට ඇති වෙයි ද?".......එයා කෙටි ලස්සන හිනාවන්ගෙන් එකක් දාලා ඇහුවා. මගේ හෝටල් කාමර දැහැන බිඳුනා.
ලාගර් නම් ඉතින් වතුර බොනවා වගේ උනත් මේ වගේ නමක් නැති, අරමුණක් අවිනිශ්චිත, ශෘංගාරාය නගින බහින , කෝඩුකාර හමුවක් ගලායවන්න ඕන කරන අයිඩියල් ස්මූත් ගතියක් ලාගර් වල තියනවා. ඇඟ වටේට එතෙන මුහුදු හුලඟයි විටින් විටේ දැල්වෙන ඩන්හිල් ස්විච් කූරු ටිකයි ලාගර් එකේ අඩු පාඩු හීනියට පිරිමැහුවා. ඒ සියල්ලට වඩා මගේ ඔලුව බමන්න අරං full high වෙලා නන්නත්තාර වෙන්න ගත්තේ එයා මගේ දෙවනි A4 කොලේට දුන්නු උත්තරෙන්. මතකද ප්‍රශ්නේ ?. .......අඬහඳයා ??????

ලියනගේ අමරකීර්ති කියලා හාදයෙක් අතින් ලියවුනු නවකතාවක හිටි පික්සු කොර චරිතය. ඇත්තටම ඌ චරිතයක් නෙවී. ඇඟ ඇතුලේ ඉඳන් කතා කරපු හඳුනා නොගත් සත්වයෙක්. ඒකා ඉන්නේ බඩේද, ඔලුවෙද, අක්මාවෙද කියලා හිතාගන්න බෑ. මහ පණ්ඩිත කාලකන්නියෙක්. ඌ අපේ හෘද සාක්ෂිය වෙන්න පුලුවන් නැත්නම් යටි හිත වගේ නමක් කියන්න පුලුවන්. ඒ මොක උනත් අපේ ඇඟ ඇතුලේ ඉඳන් කතා කරන ඒ වගේ talkative nut case එකක් චරිතයක් කරලා ඌට නමක් දීලා අමරකීර්ති ලිව්ව අටවක පුත්තු කියන්නේ ලොවෙත් වැඩක්. මැන්ඩි මට ඒ කතාව කොච්චර වෙලාවක් කිව්වද කියලා මට අවබෝධයක් නෑ. කොහොමහරි එයා මට මුලු පොතම මතකයෙන් පෙව්වා. ඉතින් strong වත් special brew වත් ඕන වුනේ නෑ. මට වැදුණා. ඒ පොත කොච්චර alcoholicද කියනවා නම් මැන්ඩිට තවම ඒ පොතේ මත යවාගන්න බෑ කොච්චර තැඹිලි බීලවත් , එක්කෝ යටිපතුලේ දෙහි අතුල්ලලාවත්. නැත්නම් අපිට කියන්න පුලුවන් ඒ පොත හෙන fertile කියලා. මොකද පොත නිසා එයාගේ ඇඟ ඇතුලෙත් අඩහඳයෙක් පිලිසඳගෙන. අපේ හමුව වෙද්දි ඌ වැඩිලා වැඩිලා කොච්චර වැඩිලාද කියනවා නම් මැන්ඩිට ඒ වෙද්දි වෙන කවුරුවත් ඕන වෙන්නෑ අදහස් හුවමාරු කරගන්න..........එයා කියන විදිහට අඩහඳයා ඇරුණාම ඒ එකම වාසනාවන්තයා මම. ඕක ඉතින් ප්‍රශ්න කරලා ඇනලයිස් කරලා හීන ලෝකේ ප්‍රේමණීය ආතල් කුඩු කරගන්න මට ඕන වුනේ නෑ. අඩහඳයයි මමයි විතරමයි ඔව්.

දැන් උඹලට එන ප්‍රශ්නෙ කවුද මේ මැන්ඩි ?. වෙන කවුද ඉතින් එයා තමයි මැන්ඩි. ඒක ඉතින් ඕන මෝඩයෙකුට තේරෙනවනේ. 'මැන්ඩි' කියන්නේ බැරකූඩාව පහු කරං එදා දවසේ ගිය තුන්වෙනි කෝච්චිය යද්දි, පලවෙනි ලාගර් බෝතලේ බාගයක් ඉවර වෙද්දි, දෙවනි ඩන්හිල් කූරපත්තු කරද්දි, අපේ ඇස් එකොලොස්වෙනි පාරට පැටලෙද්දි මං එයාට දාපු සුරතල් නාමය. අපිට ටිකක් එහායින් තිබ්බ ටේබල් එකක් බි බී හිටපු කොල්ලො සෙට් එකකට තමන් ගෙනා බෝතල් වල මහත් ඵල මහනිසාංස දැනෙමින් තිබුණා ඒ වෙලාවෙම. ඒ මහත් ඵල වලට තමන් යට නොවන බව තහවුරු කරන්න හදන එකෙක් ඌට තවමත් කෙලින් හිටගන්න පුලුවන් බවට පම්පෝරියක් ගහමින් කෙලින් ඉන්න උත්සහා දරනවා. වැටෙන්න යන හැම මොහොතකම ඌ තමන්ගේ සමබරතාවෙ රැකගත්තේ මැන්ඩියට ඉඳන්. ඒකත් එක්කමයි මට එයා..........එයා කියන්නේ බේබද්දා නෙවී, මගේ ඉස්සරහ ඉන්න මෙන්න මෙයා.............'මැන්ඩි' බවට පත්වුනේ. මැන්ඩිට තිබ්බේ අන්කොමන් සිංහල නමක්. ඇත්තටම ඒක සිංහල ද, පාලි ද , හින්දි ද කියලත් හිතාගන්න අමාරුයි. ඒත් ලස්සනයි. එයා වගේම ලස්සනයි. නම ටිකක් දිගයි. එයා කියන කතා වගේම දිගයි. තේරුම් ගන්න අමාරුයි. සමහරවිට තේරුමක් නැතුව ඇති. මිහිරි රසයක් මිසක් තේරුමක් නැතුව ඇති. ඉතින් මං ගන්නවා මගෙ මානසික් A4 කොලයක් එලියට. ඒක අරං තියනවා මේක කියවන උඹේ උකුල උඩ. උඹට තියෙන්නේ පෑනක් හොයන් ,ඊලඟ එපිය එනකල්, මැන්ඩිගේ ඒ අප්‍රබංශ ලස්සනම ලස්සන නම හොයාගෙන ඔය සුදුපාට හිස්කොලේ පුරවන එක.

5වන_කොටස>>

Saturday, September 28, 2019

ණයගැති බාවයක අරුමය






පහුගිය කාලේ පුරාම ගුරුවරුනගේ වැටුප් ප්‍රශ්නයක් නිසා අරගලයක් සිද්ධ වෙනවා. ගුරුවරුන් කියන්නේ මේ රටේ අනාගතය අභිවෘද්ධිය තීරණය කරන්න පුලුවන් ප්‍රධාන කණ්ඩායමක්. ඒකේ කතා දෙකක් නෑ. මේ කතාව ඒ ගැන නෙවෙයි. මෙන්න මේ තියන පින්තූරෙ ගැන. මං හිතන්නේ මේ පින්තූරේ කියවිලා තියෙන දේ ලංකාවේ හැමදාමත් තියන කුහක සහ හිඟන මානසිකත්වේ පිලිඹිබුවක්. මෙහේ උන් හැමදාම බලං ඉන්නේ තමන් තවකෙක් වෙනුවෙන් කරපු දෙයක් වෙනුවෙන් ඌව ණය කාරයෙක් කරලා දැන් ඒක ගෙවපන් දැන් මට කළගුණ සලකපං කියන්න. 'අපි මේක කියවන්නේ ගුරුවරු නිසා' ඒ නිසා ඒ අරගලේට විරුද්ධ වෙන්න අපිට බැරිය, අපි පාරේ බැහැලා යන්නේ රණවිරුවෝ නිසා ඒ නිසා ඒ අයගේ මොකටවත් අපිට විරුද්ධ වෙන්න බැරිය, අපි බය නැතුව ජීවත් වෙන්නේ මහින්ද නිසා ඒ නිසා එයාට කලගුණ සලකන්න ඕනය, අපිට මෙහෙම නිදහසේ ලියන්න-කතාකරන්න පුලුවන් වෙලා තියෙන්නෙ රනිල් මයිත්‍රී ආන්ඩුව නිසාය ඒ නිසා ආයේ දිනවන්නය, අපි නොමැරි හොඳ සුවෙන් ඉන්නේ දොස්තර දෙවිවරු නිසාය ඒ අයගේ අරගලේට දොහොත්මුදුන් දෙන්න ඕනය, ඔහොම දාහකුත් එකක් ණය හිමියො අපිව ඉමෝෂනලි බ්ලැක් මේල් කරනවා ඉවරයක් නැතුව. කොටින්ම අපේ දෙමව්පියෝ පවා බොහෝ අවස්තාවල තමන් කරපු දේවල් අවියක් කරගෙන දරුවන්ගේ තටු සිඳිනවා මානසිකව පොළවේ ගහනවා.අපි උඹලව හැදුවේ මෙහෙම දුක්විඳලය, උඹ අද ඔය තත්වේ ඉන්නේ අපි උඹව හදපු නිසාය,උඹ කාලා බීල ඉන්නේ මගේ සල්ලි වලින් මගේ වහල යටය ඒ නිසා කට වහන් අපි කියන දේ කරපිය කියන බොහෝ තර්ජනයන් සහ ණය ඉල්ලීම් අපේ දෙමාපිය දූදරු සම්බන්ධතාවල් පිරිලා.

මනුස්සයා කියන්නේ සත්ව ලෝකේ ඉන්න බුද්ධිමත්ම එකා කිව්වට ඌ තමයි දුර්වලම එකා. මොකද මනුස්සයට කවදාවත් තනියම ජීවත් වෙන්න බෑ.ඉපදුණු පළවෙනි තත්පරේ ඉඳන් මරණයේ අවසාන තත්පරය දක්වා අපිට ඕන කාගේ හරි උදව්වක් කොහොම හරි මේ ලෝක පඩංගුවේ එල්ලිලා ඉන්න. එක්කෙනෙක්ගේ නෙවී මහා ගොඩකගේ උදව් ඕන. අපි දැන් ජීවත් වෙන සංකීර්ණ සමාජය කියන්නේ මිනිස්සු මිලියන ගානකගේ උදව්වෙන් දුවන සිස්ටම් එකක්. ඒකට පරම්පරා ගානක් තමන්ගේ ශ්‍රමය, බුද්ධිය , දහදිය , ලේ , කඳුලු හෙලලා තියනවා. ප්‍රාණය දීලා තියනවා. ඒ කාගෙවත් උදව්ව හෝ රාජකාරිය නැතුව මේ ලෝකය පවත්වගන්න බෑ.ඒක ලෝකේ ප්‍රබලම ව්‍යාපාරිකයාගේ, දේශපාලකයාගේ ඉඳන් පාරෙ කාණු හෝදන මිනිහා දක්වා බැඳුනු යාන්ත්‍රණයක්. අපේ ජීවිතයේ අපි කරන හැම දෙයක්ම පාහේ අපිට කවුරුහරි කියලා දීපු දේවල්. ඒ ඉගැන්වීමට සම්බන්ධ වෙන්නේ පාසල් ගුරුවරුම විතරක් නෙවී. උදාහරණයක් විදිහට මම අද වාහනයක් පදිනවා නම් මගේ රිය පැදවීම කියන, දැනුම/හැකියාව කියන්නේ කවුරුහරි කෙනෙක් විසින් මට උගන්වපු දෙයක්. මම ඒ හැකියාව උපතින් ගෙනාවේ නෑ.  ඒ ආකාරයෙන් කෙරෙන ඉගැන්වීම්, ඉදිකිරීම් , සුවකිරීම්, පවිත්‍රකිරිම්, සැලසුම්කිරීම්, පාලනයකිරීම් ආදී දාහකුත් එකක් ක්‍රියාවන් කියන්නේ අපේ මේ ලෝකය පවත්වාගන්න අවශ්‍ය ක්‍රියාවන් මිස  කවුරුවත් ණයකාරයෝ කරන්න කෙරෙන දේවල් නෙවී. ඒවා ඒ ආකාරයෙන් සිදුනොවුනොත් වෙන්නේ අපේ ලෝකය බිඳ වැටිලා මානවයා කියන එකා මහා අර්බුධයකට සහ විනාශයකට යන එක. ඒ නිසා තමයි අලුතින් බිහිවෙන හැම මිනිස් පැටියටම අපි ඉස්කෝල හදලා, කාර්මික විද්‍යාල, විශ්ව විද්‍යාල හදලා මොනයක් ක්‍රමේකින් හරි දැනුමක් ලබා දෙන්නේ. ඒ ඌට ආදරේකටම නෙවී. system එක රන් කරන දැනුමක් තියන වැඩිහිටි පරම්පරාව මියැද්දෙදි මේ system එක operate කරං යන්න පුලුවන් නව  පරම්පරාවක් බිහිනොවුනොත් හැමෝටම කෙල වෙනවා. ඒ කෙලවීමෙන් ගැලවෙන්න මොන ජගතටවත් බෑ. 

ඉතින් මේ මහා කෙලිය කරගෙන යන්න බිහි වෙනවා මහා ගොඩක් වෘතීන්.මේ වෘතීන් හා බැඳුනු බොහෝ කාර්‍යයන්ට ඒ සඳහා අදාල වෙන වැටුපක් තියනවා. ඒ කරන අය ඒක ලබාගෙනයි තමන්ගේ සේවාව හෝ නිෂ්පාදනය කරන්නේ. ඒ ලබන වැටුප හෝ අදාල ක්ෂේත්‍රය සම්බන්ධ අනෙකුත් කාරණා සඳහා ඒ ඒ වෘතිකයින් හැමදාමත් සටන් කලා. අනාගතෙත් එහෙම සටන් සිදු වේවි. ඒ සටන් වල යහපත් අයහපත් ප්‍රතිඵල සමාජයක් විදියට හැමෝටම බුක්ති විඳින්නත් වුනා සහ වේවි. ඒ නිසා රජයේ සේවක අරගලයක් කියන්නේ වඩා හොඳ අනාගත සමාජයක් සඳහා වන ක්‍රියාවලියක් විය යුතුයි.මොකද ඒ සේවාව කියන්නේ හුදකලා දෙයක් නෙවී. ඒ ක්ෂේත්‍රය සම්බන්ධ අරගල වල තියන සමාජ බලපෑම ගැන තම තමන්ගේ දැනුම අනුව හොඳ නරක විශ්ලේෂණය කරන්න ජනතාවට අයිතිය තිබිය යුතුයි. ඒ සඳහා  හැදෙන්න ඕන බුද්ධිමත්, විවෘත සංවාදයකට අවශ්‍ය ඉඩකඩ මිසක් මේ රූපයේ කියලා තියන විදිහේ  ණයහිමි-ණයගැති හෝ භික්ෂු-ශ්‍රාවක දම්වැලක් නෙවී.


Friday, September 27, 2019

හැම තැනම දුම(Epi 3) - ප්‍රශ්න පහ





අපි දෙන්නම ඒ කාලේ මූණු පොතේ අතිශය සක්‍රීය ජීවින් දෙන්නෙක්. සමාජ මාජ්ජ සයිබර් අවකශෙ රීතීන් අනුව යාලුවෝ කියලා පෙන්නුවත් හැබෑ ජීවිතේ ඇතුලෙ නාඳුනන්නන්. සයිබර් සමාජ මාජ්ජෙ ඇතුලෙදි මම සංස්කෘතික, දේශපාලන , සමාජ ක්‍රියාකාරී අකුරු අමුණන්නෙක්. එයා model කෙනෙක් නොවුනත් සමාජ මාජ්ජ අවකාශය තුල ඇවිලෙන ගිනි පුපුරක්. එයා photos දානවා. මම හෑලි ලියනවා. එයා දාන photos දිහා මම දිගු විනාඩි ගනන් බලා ඉඳලා තිබුනත්, එදිනෙදා පොඩි වැඩ සඳහා එයාගෙ ගින්දරම පින්තූර hard එකෙත් සමහර පින්තූර හිතෙත් සේව් කරං හිටියත්, ඒ වගේ කෙනෙක් මගේ හෑලි දිහා නම් ඇහැක් ඇරලා බලයි කියලා මම හීනෙකින්වත් හිතලා තිබුනේ නෑ. ඉතින් එදා රෑ Chat එකේ තිබ්බ හැමදේම ලියන්න බල කරන බොලඳ ආසාවකින් හිත ඳඟකරත් මං ඒක සාරාංශයකට සීමා කරන්නම්. එයා කියලා තිබ්බේ මම ලියන දේවල් වලට කැමතී සහ මගේ සමහර කවි පඩංගු වලටත් කැමතී කියලා. Phone එක ආයෙත් මගේ අතින් වැටෙන්න ගියා ඒක දැක්කහම. හරියටම කියනවානම් චින්තාගේ faculty of sex දෙවනි කොටස් වුනු guilt එක පටන් අරං තයෙන්නේ අපි අතර එදා වුනු message හුවමාරුවෙන්මයි. මේ ලඟකදී Guilt කියවන්න ගත්තු මොහොතෙම මට මතක් උනේ අපේ මේ පළමු චැට් එක. හරියට චින්තා අපේ චැට ගැන දැනං ඉඳලා ඒ ටික ලිව්වා වගේ. ඊට පස්සේ ඇගේ යෝජනාව උනේ මාව මුන ගැහිලා කතා කරන්න ඕන කියන එක. මාත් එක්ක කියවන්න ඕන, share කරගන්න ඕන මොනවදෝ එව්වා වගයක් එයා ලඟ තිබුනා කියලා chat window එකේ පේලියෙන් පේලියෙන් මතුවෙන english , සිංග්ලිශ් මිශ්‍ර කතන්දරේ තිබුනා. ආයේ ඉතින් ඒ හමුවට මම කුමට බෑ කියම්.
යෝජනාව ඉස්තීර වෙලා පළමු හමුව දෙහිවල බැරකූඩාවෙදි සිද්ද වුනා. මුහුද සිප ගෙන හමන තෙත ලුණු රහ හුළං අහුරයි, හිටි හැටියම ලෝකේ පෙරලෙන සද්දයකින් වටපිටාවම කම්පා කරං දුවන කෝච්චියයි ඇරුණම අපේ කතාවේ පළමු හතරෙන් පංගුව සම්පූර්ණයෙන් guiltම තමයි. ඒ විස්තර පොත හොයන් කියවගනිව්. පළමු හතරෙන් එකෙන් පස්සේ ඇත්තටම මගේ ජාගර හිතේ තිබුනේ චින්තා කියලා තියන තරමටම නැතත් ශෘංගාරයට අතපොවන්න, අත්දකින්න, කැලතෙන්න පුලුවන් විදිහේ ක්‍රියාවලියක්. ඒ බලාපොරොත්තු වැඩි කරමින් ඇදිලා ආවේ ගෑණුපිරිමි සම්බන්ධකම් ගැන මම ඒ කිට්ටුවදිම දාලා තිබුණු පෝස්ටුවක් ගැන කතාබහක්. අවුරුදු දෙකක කැරලිකාර ආදර සම්බන්ධයක්, සාම්ප්‍රදායික විවාහ දොරටුවේ ඉස්මත්තටම ඇවිදින්, මොකක්දෝ වාසනාවකටද අවාසනාවකටද මන්දා කාබාසිනියා වෙලා ගිහින්, මම සම්මත, අසම්මත, නීතිමය, හැම ක්‍රමයකින්ම තනි වෙලා හිටිය කාලයක් ඒක. අපි වෙනුවෙන් ගහන්න තිබ්බ පෝරුවේ රත්තරන් පාට තැවරුනු රිජුෆෝම් පුන්කලස්, ‍රිජුෆෝම් වී කරල් , ඉර, හඳ ,තරු, සියල්ල කුඩු වෙලා ඉහිරිලා අවරට යද්දිත්, නැකැත් පත්‍ර වෙඩිංකාඩ් ඉරිලා දියවෙලා යද්දිත් මට දුකක් කියලා එකක් නොදැනුනේ ඇයි කියන එක අද හිතලා බලද්දී හෙන ප්‍රශ්නයක්. කොටින්ම දුකක් හිතෙන්නවත් මං ඒ ගැන කල්පනා කෙරුවේ නෑ ඒ කාලේ. මට දැන් වෙලාවකට හිතෙනවා FIGHT CLUB movie එකේ නමක් නැති කතා නායකයා කලා වගේ ඒ මහා මංගල්ලේ පුපුරවා හරින්න ඇත්තේ මංමද කියලා . ඔව් ඒ මංගල්ලේ ලං වෙන්න ලං වෙන්න මගේ ඇතුලේ tyler durden කෙනෙක් ඉපදෙන්න ඇති..........
ඉතින් අපේ පළමු හමුවේ ගෑනු පිරිමි කතාව පටං අරං ගලා ගියේ ඒ ඔස්සේ. මෙතෙක් ලියපු episode දෙකේ පූර්වාපර සන්ධි ගලපනවා නම් ඔය ගලපු කතාව මැද්දේ එක තැනකදි තමයි එයා කිව්වේ,

"මට ජීවිතයේ අරමුණු, ආසාවල් කියලා ලොකූ දේවල් නෑ. ජීවිතේ නාකි වෙනකල් ඇදං යන්න අත්වාරුවක් වෙන්න මිනිහෙක් ඕනත් නෑ. මගේ ඇතුලේ ඉන්නවා අඩ හඳයෙක්.මං ඌට කතා නොකරන්නේ ඔයා එක්ක කතා කරනකොට විතරයි...."
කියලා.
ඊට පස්සේ එයා ඩන්හිල් පැක් එක දික් කරා එක පාරටම.
"ගන්නව ද ?"
මම තත්පර ගානකට ලොක් වුනා. එක වෙලාවෙම ඔලුව ඇතුලේ ඉපදුනු ප්‍රශ්න කිහිපයක් ඔලුවෙන් ගැලවිලා ඇවිත් A4 කොලවල ලියවිලා මගේ ඇස් ඉස්සරහින් හිට ගත්තා. ඉතින් එකිනෙකාට සමාන්තරව හිටගෙන ඉන්න A4 කොල 5ක් තියනවා මුහුදු හුලඟට ඇඹරෙමින්. එක A4 කොලේක එක ප්‍රශ්නේ ගානේ තිබ්බා. මම ඇස් චූටි කරමින් ලොකු කරමින් ඒවා හිතෙන් කියවන්න ගත්තා.
1. මේකි සිගරටුත් බොනව ද?
2. අඬහඳයා ?????.....ඒ මොකාද ඒ ?
3. "මං ඌට කතා නොකරන්නේ ඔයා එක්ක කතා කරනකොට විතරයි".......පළවෙනි වතාවට මාව හම්බවෙන්නේ අද වෙනකොට ඒ කියපු හරුපේ තේරුම මොකක් ද?
4. මේ ලඟම තියන , secured ම , ගාන ශේප්ම hotel එක මොකක් ද?
5. අද රෑට එන්න වෙන්නැති එක ගැන ගෑනිට කියන බොරුව මොකක්ද ?....

ආහ්....පස්වෙනි A4 කොලේ ඕන නෑනෙ. මංගල්ලේ කැඩුනනේ. දැන් no barriers baby. මම පස් වෙනි A4 කොලේ ගුලි කරලා විසි කරන ගමන් අනිත් කොල හතර තාවකාලිකව නැවත මොලේ ඇතුලට රිංගෙව්වා. අමාරුම ප්‍රශ්නේ ඉවරයි, පට්ට සැටිස් එකේ මම එක ඩන්හිල් කූරක් ඇදලා ගත්තා. ඉතුරු ප්‍රශ්න හතරට උත්තර දුම අදින ගමන් උත්තර ලියනවා.

Thursday, September 26, 2019

හැම තැනම දුම(Epi 2) - මුල්ගල්




කඩ්ඩ හෝඩියේ අට වෙනි සහ නවවෙනි අකුරු එක ලඟ තියෙන්නෙ connection හැදීම සඳහාම බිහිවුනු විදියට. හුදකලාව ඉන්න H අකුරක් අල්ලපු වැටේ ඉන්න i අකුරත් එක්ක හාද වෙලා හැදෙන Hi එක කියන්නේ ලොකු connection එකක් වෙනුවෙන් තියන මුල්ගලේ අමුද්‍රව්‍ය. Facebook හදාගත්ත මුල්ම කාලේ දකුණු පැත්තෙන් චූටියට පේන ඕනෑම ලස්සන කෙලි මූණකට යවන request එකක් accept වෙලා පැය ගානක් යද්දි Hi මුල්ගල chat box එකේ තැන්පත් කරලා ඉවරයි අපි. ඉතාම කණගාටුදායක විදිහට ගොඩක් මුල් ගල් පැලවුනා. හැබැයි එහෙන් මෙහෙන් අපිලිවෙලට බිත්ති බැඳුනු ඒවත් නැත්තෙම නෑ. සමහරුනම් තට්ටු ගෙවල් පිටිං ගැහුවා. ඒත් අපිට කොහෙද බූල් බල්ලෝ. ඒ මතකයන් හිනැහෙමින් සමරමින් මම ගැමුණුගේ මතක පද search කරලා ගත්තා යූ ටියුබ් එකේ අස්සෙන්.

"ආදරේ කරද්දි හැම නිතරම අපි ඉන්නේ extreme closeup එකක. ආදරේදී අපි ඉන්න මේ අති සමීපතාව නිසා අපි ලඟම ඉන්න කෙනාගේ නියම චිත්‍රය අපිට පේන්නේ නැතුව යනවා. ඒත් අපි ඈත් වුනු දාට අපිට පේන්න ගන්නවා වෙනම රූපයක් වෙනදා නොදුටු ...."

එදා ලඟ සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ. සුනිල් එදිරිංසිහගෙ සදාකාලික නොවූ ලෝකේ ගැන බූපතිගේ අදහස යූ නලය දිගේ ගලං ඇවිත් හෙඩ් ෆෝන් වයර් වලින් ලීක් වෙලා මගේ කං ඇතුලේ කැලතෙමින් තිබුනා. බූපති david lynch ගැන කිව්ව අදහසක් නිසා පොරගේ films මොනවද කියලා search කරන්න phone එක අතට ගද්දිම messenger chat එකක vibration එක අතට දැනුනා. අටවෙනි අකුරෙයි නවවෙනි අකුරෙයි එකතුවක් , Messenger එකට නුපුරුදු නමකින් ඇවිල්ලා තිබුනා. Messenger එකට නුපුරුදු වුනත් මූණු පොත අස්සේ ඒ නම, ඒ රූපය කවදාවත් නුපුරුදු උනේ නෑ. දවස ගානේ upload වෙන ගින්දර photos ගොඩක හිමිකාරී. එක පිට එක like දාං යන්න හිතුනු වාර අනන්ත උනත් කොහේදෝ තිබ්බ විනීත කමක් නිසා බලා පමණක් සැනසුනු ඒ හැඩකාරි. ඒ දවස් වල fb එකේ තිබ්බේ like option එක විතරයි. Heart reaction තිබ්බා නම් කොල්ලා නාලා සායම යන්නම හොඳම එකෙන්..... "ඔබේ වත නොව ඔබේ හදවත පුරා හඳ සේ පෑදිලා.....", සුනිල්ගේ කට වහලා මම ආයේ ටික වෙලාවක් phone screen එක දිහා බලං හිටියා. වැරදිලා ආපු hi එකක් නම් apologize කරයිනේ කියලා. අනේ දෙයියනේ එහෙම නම් වෙන්න එපා. විනාඩියක් දෙකක් ගෙවිලා ගියා. ප්‍රාර්ථනාව හරි ගියා. දෙයියෝ ඉන්නවා ඔව්. මම පරිස්සමට H අකුර හොයාගෙන phone එකට දැනෙන නොදැනෙන ගානට එබුවා. ඊට පස්සේ I අකුර ගෙනැත් ඒ ලඟම තිබ්වා. H එකයි i එකයි හරියට හරියට ලංවෙලා ඉන්නවද බැලුවා. මොකද මීට කලින් හදිසියේ ගහපු ගොඩක් ඒවා hoi කියලා type වෙලා තියන නිසා. එහෙම උනොත් වස නෝන්ඩියනෙ. දෙකම හරියට තියනවා. touch කරා send button එක ඇඟට නොදැනෙන්න. ඊලඟ විනාඩි කිහිපය කල්පයක් වගේ දිග වුනා. මෙහෙන් යවපු hi එක එහෙන් seen වෙනකල් ලොවෙත් stress . ආතතිය වැඩි කමට ආයෙත් සුනිල්ට chance එකක් දුන්නා. "ගෙවූ කාලය සිහිනයක්"...... කියමින් සිංදුව ඉවරවෙමින් තිබ්බා. යූ නලේ ගිය program එක Pause කලාට pause වෙලා නෑ. ගෙවූ කල්පයක් දිග විනාඩිය ඉවර කරමින් චැට් vibration එකක මිහිරි නාදය ඇහුණා. දඩ බඩ ගාලා phone එක අතට ගත්තා. කලබලේට තව ටිකෙන් අලුත්ම phone එක බිම........ ඒ ඔක්කොම පටන් ගත්තේ එහෙම.

Wednesday, September 25, 2019

හැම තැනම දුම - Episode 1



කොත්තු සින්ඩියෙන් ගැලවුනාට පස්සේ බ්ලොග් එක ලියන්න කම්මැලිම වෙලා ගියා, මිනිස්සු නැති තැනක ලියවෙන අකුරු තේරුමක් නෑ වගේ දැනුනු හින්දා. දැන් කොහොමටත් බ්ලොග් එක කුරුටු ගාන්න වෙලාව අඩුයි. මේ දවස් වල අම්බ වැස්ස නිසා ගෙදරට වෙලා හිටිය දවස් දෙකේදි මහා වැස්සේ හෝ හෝ සද්ද මැදදෑවෙ හිතට ආපු පුංචි කතන්දර කෑල්ලක් ෆෝන් එකෙන් අකුරු විදිහට අමුණන්න ගත්තා. වෙලාව හම්බෙන තරමින් බස් එකේදී, ටොයිලට් එකේදී, වැස්ස පායනකල් ඉන්න කඩපිල් ගානේදී ලියවෙන ඒ කතන්දරේ බඩී එපිසෝඩ්ස් අද ඉඳන් පල කරන්න හිතුවා. මේ එපිසෝඩ්ස් බොහොම පුංචියි, කෙටියි. ඉතින් පට් පට් ගාලා කියවන ගමන් හිත ඇතුලෙන් දුරකට ගෙනියන්න පුලුවන් විදිහකට තැන්පත් කරගන්න. වැස්ස කාලෙට ප්‍රයෝජනවත් වෙයි. කතාවේ නම 'හැම තැනම දුම'.

------------------------------------------------------------------------------------------------------------------------------------
එයාට දුමක් දාන එක ජීවිතයේ සිහිනයක් වෙලයි තිබ්බේ. තමන් ජීවත් වෙන්නේ පොත් කියවීම සහ සිහින දූම මාළිගා හැදීම වෙනුවෙන්ම විතරයි කියලා එයා නිතරම මිමිණුවා. පොත් වලින් ඇතුලට ගන්න හුස්ම , සිගරට් දුමක් වෙලා කටින් පිට වුනා. ඒ දුම් වලාවන් එක්ක එතිලා දැවටිලා කැරකැවෙමින් අවකාශයට මුසුවුනේ ඒ ඒ කාලෙට කියවමින් ඉන්න පොත ගැන එයාට තිබ්බ කියවීම. ඉතින් ඒ දුම්වල තිබ්බේ නිකොටින් සුවඳ නෙවී. එයා ඇසුරු කරමින්, ආදරේ කරමින්, කැරලි ගහමින් , කෙස්වලු පටලවගනිමින් උන්නු චරිත වල සුවඳ. ඉතින් මට තවදුරටත් ඒ පොත් කියවන්න කාලය සහ මුදල් වැය කරන්න ඕන වුනේ නෑ. මට තිබ්බේ නිවෙන නිවෙන රන්පතට ගිනි අවුලවන්න විතරයි. බටයි, කතායි එයා ගානේ. කාලය හවුලේ.

"මට ජීවිතයේ අරමුණු, ආසාවල් කියලා ලොකූ දේවල් නෑ. ජීවිතේ නාකි වෙනකල් ඇදං යන්න අත්වාරුවක් වෙන්න මිනිහෙක් ඕනත් නෑ. මගේ ඇතුලේ ඉන්නවා අඩ හඳයෙක්.මං ඌට කතා නොකරන්නේ ඔයා එක්ක කතා කරනකොට විතරයි...."

මට ලියනගේ අමරකීර්ති නම අහන්න ලැබෙන්නේ, පොරගේ අටවක පුත්තු කංදෙක ඇතුලෙන් රිංගන්න පටං ගන්නේ අන්න එදා. පිට පිට සම්මාන ලබපු කුරුලු හදවත, අහම්බකාරක කතා අහමින් රතු ඉරි අඳින අත සල්ලි දීලා ගන්න තරම් වෙන වර්තමානයක ඉතිහාසය ආරම්බ වුනේ එදා. ඔක්කෝටම වඩා සිගරට් බොන කෙල්ලෙක්.......සිගරට් බොන-ලස්සන කෙල්ලෙක්.....සිගරට් බොන- ලස්සන- පොත් කියවන කෙල්ලෙක්, ........ සිගරට් බොන- ලස්සන - පොත් කියවන- කියවපු පොත් ගැන කියවන කෙල්ලෙක් මුණ ගැහෙන්නෙ එදා.

" ගන්නව ද? " ......එයා ඩන්හිල් පැක් එක මං දිහාට දික් කරං ඇහුවා. මං හිතන්නේ මං තත්පර ගානකට ගල් වෙන්න ඇති.



Friday, August 2, 2019

දෙව්දත් හසුන





යසෝ,
කරං උඹ හිත ගලක්
පිදුවා ලෙස මලක්
කරන්නට වෙන දෙයක් නැති තැන
මාත් හිත කරගත්තා ගලක්.
කාලයක් ගත වෙද්දි
තනිකමට හුරුවෙද්දි
හිත වුනා මෙලෙක්.
මොකක්දෝ කරුමෙකට
ලෝකයට සැප දෙන්න
උඹෙ හිතට දුක් දෙන්න
උගේ හිත කරගත්තා ගලක්
වුනා උඹ තනි කතක්...
උඹේ ඇස් තෙත්වන තරම්
මට බලාඉන්නට බැරිතරම්
ඉතින් යසෝ,
මම කරගත්තා හිත ගලක්...
ගල්වුනාවූ හිතේ හයියෙන්,
ගල් පෙරලුවා
ගල් ගැසුවා
අලින්ටත් ගල් ගැස්සුවා
ගස්සලා කෙලවන්න ඇරියා....
ගහන තරමට ඌට ගල්
මටමමයි වැදුනේ එක්ක මුල්
ඌට දිගටම සුවඳ මල්
නේක පාටින් දිලෙන මල්......
බොහෝ කල් දැන් ගෙවීලා ඇත
ගලක් වූ හිත මෙලෙක් වී ඇත
ගල් පාරවල් මට වැදුණු තරමට
පත්තියම් වී දැන් මල් මෙන්ය මට....
දැනෙයි යනු මා නිරයට ඇදී
ලොබක් එයි සිත වෙත ඇදී
එනිසා යසෝ ඉවසා දරා
අසා සිටි නම් දැනෙනු ඇත
මම වෙමි දෙව්, සැමදා නුඹේ සිත දත්

Sunday, June 2, 2019

ඔව් යසෝ මම ප්‍රේම කෙරුවා



ඔව් යසෝ මම ප්‍රේම කෙරුවා
උඹ නොදත් ගානටම හිටියා
දස පාරමී මතකෙන් ගිලිහිලා
ප්‍රේම පාරමී විතරක්ම පිරුවා

ලෝකයක් මට ගල් ගැසූදා
නොරිදුනා සේ මම කෙලින් උන්නා
ඒත් උඹ ඔහුට කවි පන්ති ලිව්දා
සත්තකයි මගෙ ඔලුව පැලුණා





Monday, May 20, 2019

අපි ගැන කවි අකැපද ?

හඳහාමි,

උඹ දන්නවද මිනිස්සු වැඩියෙන්ම කවි ලියල තියෙන්නෙ උඹ ගැන. උඹ ගැනම නොවුනත් උඹව උපමාවට හරි අරගෙන. පොඩි උන් අඬනකොට නලවගන්න උඹෙන් කිරීරීරී , පැනීනීනී දියෝ දියෝ කියනවා. උඹේ හාවා පොඩි උන්ට පෙන්න පෙන්න බත් කවනවා. ලව් කරනකොට අපේ කෙල්ලොන්ගෙ මූණු පේන්නේ උඹ වගේමයි. ඉතින් උන්ව යාප්පුවෙන් තියාගන්න, දැලේ දාගන්න ඕන කමටම උඹව විකුණ විකුණ උන්ට කවි ලියනවා. උන් ඉතින් එදාට යන්නේ අඩි දෙකක් විතර උඩින්. ඒ උනාට උන් දන් නෑ උන්ගෙ මූණු උඹේ අහලකින්වත් තියන්න බැරි බව. එතනින් නවතින් නෑ. මෙහේ තියනවා ආගම් කියලා ජාතියක්. එක එක සෙට් උඹව පේන පේන විදියට එක එක ජාතියේ උත්සව පවත්වනවා. සමහරු සිල් ගන්නවා, තොරන් ගහනවා, සමහරු මාසයක් නොකා ඉන්නවා, එක විකාරයයි. ඉතින් අපි ඒක අල්ලලා ආයේ ෂින්දු තමා ලියනවා......මට අහන්න ඕනේ මේකයි. අපි මෙච්චර උඹට පශ්ශ පැත්ත දෙද්දි තමුෂෙට කවදාවත් හිතුනේ නැද්ද අපි ගැන ෂින්දුවක් ලියන්න. මම දන් නෑ ඔහේ ඉඳන් අපිව කොහොම පේනවද කියලා. සමහරවිට අපිවත් පේන්නේ හඳ වගේ වෙන්න ඇති. මෙහේ සයන්ටිශ්ලානම් කියන්නේ අපිව පේන්නේ නිල් පාටට කියලා. You know blue, right dear ? 😚.....මොකක් හරි පේන විදිහට අපි ගැනත් සින්දුවක් ලියලා එවනවකෝ. තමුසෙට නිල් පාට පේන්නේ නැතුව ඇති කියලා තමයි අපි මෙහේ ගිනි පත්තු කරන්නේ. මොකද තමුශෙත් කහ පාට නිසා කහ පාට තමා පේනවා කියලා අපිලා හිතනවා. ඉතින් අපි ශිංගල තමිල් අවුරුද්දට නිලා පත්තු කරනවා, බඹර චක්කරේ දානවා, රතින්නා දාලා ආකාශෙත් අරිනවා, ඩෝං ගාලා සද්දෙත් එක්කම එවලා බැරිම තැන විසිල් ගහන ආකාසත් එව්වා. උඹට කං ඇහෙන්නෙත් නැද්ද මංදා. ඊට පස්සෙන් පහු december 31st there were so much fireworks අනේ...didnt you see ?.....


ඒවත් මදි වුනු තැන අපිලා සෙට් වෙලා ෂති තුනකට කලින් ලොකු ලොකු බොම්බ්ස් තමා ගැහුවා. මෙහේ උන් ශෙට් එකක් කෑලි කෑලි වෙලා තමා ගියා. ඒත් තමුෂෙ අපි ගැන කවියක් ලිව්වොත් ඒ මදෑ. ඒත් තමුශෙ නෝ හෙල්ලුම් පොල් පැල්ලුම්. ඒකත් වැරදුනු තැන බුර්කා එවුන්ගේ ගෙවල් ගිනි තිබ්බා. මෙහේ ඒවා ටීවී එකේ නොපෙන්නුවත් ඔහේට ඒවා පේන්න ඇති කියලා හිතුවා. ඒත් බොට පෙනිලා නැති හැඩයි. අද වෙසක් පෝය. ගිනි තියලා , බෝම්බ ගහලා, රතිඤ්ඤා දාලම මහන්සියි. අවුරුදු කීයක් නම් මේවා කලාද ?.....ඒත් තමුසෙගෙන් නෑනෙ කිසි ප්රතිචාරයක් හඳහාමි . අපිට ඕන මේ සක්වලගලම අපේ කියන්න. අපිට වඩා හයිරංකාරයෝ නෑ කියලා විශ්වෙටද , ක්ෂීරපතේ ද කියන මොකක්ද එකට කියන්න. ආයේ කියන්නේ,.... අද වෙසක් පෝය. තමුසෙව ලොකුවට ලංවෙලා පේනවා අද. ඉතින් තමුසෙටත් අපිව ලංවෙලා පේනවා ඇතිනේ. පේන්නේ නැතිවුනොත් කියලා කඩෙන් ගෙනත් වෙසක් කූඩු පහක්ම එල්ලුවා. මදි පාඩුවට බකටුත් එල්ලුවා. මං විතරක් නෙවී වටේ පිටේ හැමෝම එහෙමයි. ඉතින් දැන්වත් අපි ගැන ලියනවකෝ කවියක්. අපි නේද විශ්වෙටම පොරවල්.....?

Yours sincerely,
පොළවේ ඉන්න hukxu පිත්තෙක්....

Image may contain: night and sky

Tuesday, April 16, 2019

වැඩ ඇල්ලීම




ගතපුරා නෑවා අවුරුද්දේ පරණ
උඹේ දහඩිය පරණමුත් හේදිලා ගියෙ නැත
මගෙ ගතේ වෙලීලා කෙරූ වැඩ අපමණ
නොනගතේ ලැබුව කල නිකං ඉනු කොහොමද
අලුත් අවුරුද්ද හනිහනික දිව එයි
ඉතින් මම දවටවමි අලුත ගත් සේල
අනුබවේ නැකතට බඩ පුරා කෑව මිස
තිබහ තව එහෙමමයි බොන්න කිසි දේ නැත
තිබහ දුරලන්න වැඩත් අල්ලන්න,
ආකාස වේගයෙන් නුඹේ නෙතු පාමුලට එමි
අලුත ගත් සලු නිසා උඹට රස්නෙද අසන්නට


Image may contain: one or more people and indoor


Wednesday, April 3, 2019

කලා රිටක අපහාසය





කලා ප්‍රකාශනය හා ආගමික අධිකාරිය අතර නැවතත් ඝට්ටනයක් ඇති වෙලා. අදහස් ප්‍රකාශ කිරීම කියන්නේ අතීතයේ පටන්ම මිනිසුන්ව කරදරයෙහි හෙලපු ක්‍රියාවක්. ක්‍රි.පූ හතරවෙනි සියවසේදී සොක්‍රටීස්ට වස බොන්න බල කරලා, ක්‍රි.ව දහ හත්වෙනි සියවස වෙද්දි ජියඩානෝ බෲනෝව පණ පිටින් පුලුස්සා මරා දමන්නෙත් අදහස් ප්‍රකාශ කිරීමේ සීමාව ඉක්මවා යාම ගැන මතුවෙන ප්‍රශ්න නිසා.ඊට අමතරව රටේ ලෝකේ හැම තැනම හැම කාලයකදීම ප්‍රකාශනය කියන එක අභියෝගයට ලක් වෙනවා. ඒ සියලු හැල හැප්පීම්, කෲරකම් මැද ලෝකය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සම්බන්ධයෙන් බොහෝ දිගු ගමනක් ඇවිත් අවසන්. පහුගියදා ශක්තිකට උනු සිද්දියත් එක්ක ගත්තම අපිට නැවතවරක් විමසන්න වෙන මූලික ප්‍රශ්න දෙකක් තියනවා. එකක් කලාකෘතියක් කියන්නේ මොකක්ද ? , අනික අපහාසයක් කියන්නේ මොකක්ද ?.
අජිත් කුමාරසිරිගේ ගීතයක්, සර්පයාගේ අර්ධනාරි වගේ පොතක්, සයිමන්ගේ සංසාරන්න්‍ය වගේ පොත්, විමුක්තිගේ චිත්‍රපටයක් , මට හම්බුනු බොහෝ දෙනෙක් දකින්නේ කලාකෘති ලෙස නොව කාලකන්නි ප්‍රේත වස්තු ලෙස.ඉන් සමහරෙක් මට කටේ තියන්න බැරි, මහ රජ කංසා, සන්ෆ්ලවර්ලාගේ, අජිත් මුතුකුමාරණලාගේ සින්දු වගේ එව්වා දකින්නේ රස කරන්න පුලුවන් වැඩ විදිහට.

අපහාසය ගත්තොත් ඉහත සඳහන් කල මුල් සෙට් එකේ අයගේ ප්‍රකාශන වල බොහොමයක් තැන් සමාජය දකින්නේ කුණුහර්ප හෝ ආගමට ජාතියට කරන අපහාසයන් ලෙස.තවත් සමහරුන් දකින්නේ ගැඹුරු හෝ විකල්ප කියවීමක් ලෙස. එහෙම ගත්තම කලාව සහ අපහාසය පුද්ගලානුබද්ද කාරණා. ඒවාට ඉරි ගහලා අර්ථ දැක්වීම් දීලා පාට කරලා තර්කානුකූල නිර්වචන දෙන්න බෑ. "අපි දකින විදිහ අපි විඳින විදිය තමයි ඩෝ විදිය" කියලා පරසක්වල ගහලා වැඩක් නෑ.

කොටින්ම කලාකරුවාට අසීමිත නිදහස තිබියයුතුයි කියලත් වැඩක් නෑ. මොකද එහෙම කිව්ව ගමන් අනික් පැත්තෙන් අහන්නේ ඇයි උන් අලි පුකෙන් ඇවිල්ලද කියලා. ඇත්තටම කලාකරුවෝ කියන්නේ මොකුන්ද ?. කලාව වෘත්තියක් වශයෙන් කරන අයද ?. නැතිනම් කලා නිර්මාණයක් කරන කෙනාද. මට අනුව නම් යම් ප්‍රකාශනයක් කලාවක් වෙනවාද නැද්ද කියලා තීරණය කරන්නේ ඒක රස විඳින්නන් විසින්. කලාව කියන එක බිහිවුනේම ප්‍රාතමික ජන සමාජ වල මිනිස්සු තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ගත්ත අමුතු උත්සහයන් වෙනත් පිරිසක් විසින් සෞන්දර්යාත්මක ලෙස දකින්න යාම නිසා කියලයි මට හිතෙන්නේ. ඊට පස්සෙන් පහු , ප්‍රභූ අධිකාරීන්, වෙලඳපොල බලවේග, අධ්‍යපන ආයතන පද්ධතීන් විසින් කලාව කියලා වෙනම සංකල්පයක් ගොඩනගලා රාමු ගහලා ආයතනීගත කරන්න ගත්තහම තමයි කලාකරුවො කියලා වෙනම ප්‍රවර්ගයක් බිහි වෙන්නේ. ඒ නිසා කලාකරුවෝ කියලා වෙනම සර්වබලධාරි කොටසක් නෑ. ඉන්නේ මිනිස්සු විතරයි. ඒ හැම මිනිහටම ප්‍රකාශනයේ හැකියාව තියනවා. Receiving end එකේ ඉන්න උදවිය තමයි ඒක කලාවක්ද නැද්ද කියලා අර්ථ දක්වන්නේ.

ඒ විදිහටම මේ ප්‍රකාශනන් අපහාසයන්ද උපහාසයන්ද කියලා තීරනය කිරීමත් ඒ ඒ ග්‍රාහකයන් සතු කාර්‍යයක්. ඒ අයිතිය උසාවියක, පන්සලක, පල්ලියක හෝ වෙනයම් ආයතනයක කිරුම් මිණුම් අර්ත දැක්වීම්වලට යට විය යුතු නෑ. අනික් අතින් අපේ තිබෙන අවුල වෙන්නේ සියලුම දෑ අපහාසයට ලක් වෙන එක අවුලක් නෑ වගේ ඉඳලා ආගම් හා සම්බන්ද කරුණු වලදී පමණක් හොඳම එකෙන් ඌයියා කරගෙන ඌයියා නොවුනු උන්ටත් ඌයියා වුනු බව කියමින් පරසක්වල ගහන එක. මේක පොඩි කාලේ ඉඳන්ම අපේ හිතට කාවද්දන විකාර අදහසක් නිසා වෙන දෙයක්. ඒ අදහස තමයි කාට මොනවා කිව්වා කරා උනත් කෙනෙක්ගේ ආගමට නම් ගරහන්න එපා කියන එක. ඉතින් අපි, ජීවතුන් අතර ඉන්න පුද්ගලයන්ට, ලංකාවේ නම් විශේෂයෙන් කාන්තාවන්ට, විවිදාකාරවූ ඉගැන්වීම් වලට, ආයතන වලට, කොටින්ම රටේ ජනාධිපතිට පවා අපහාස කරමින් පිස්සු කෙලින එක ok කරං ආගමක් හා සම්බන්ධ විකල්ප අදහසක් ලියවුණු ගමන් භූමිතෙල් වැදුනු ගැරඬි වගේ දුවන්න ගන්න එක. ආගමක් කියන්නෙත් අදහස් පද්ධතියක්. ඒක සම්බන්ධ කරන් විවිධාකාරයේ ප්‍රකාශන පලවෙන එක විශේෂයෙන් වැලැක්වීම සාධාරණීකරණය කරන්න බෑ. විය යුත්තේ අපහාස කිරීමෙන් වැලකීම. නමුත් එම වැලැක්වීමේ මඩු වල්ගය රාජ්‍යයේ අතටවත්, පූජකයන් අතටවත් වෙනයම් ආයතනයක් අතටවත් යා නොයා යුතු බවයි මගේ හැඟීම. එහෙම ගියපු ගමන් බිහිවෙන්නේ ඊනියා යහ-ප්‍රකාශනයන්. ඒක කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරගන්න ඉඩ දීමක්. එහෙම දීපුවහම වෙන්නේ ඒ ඒ ආයතන තමන්ට අභියෝගාත්මක වෙන දේවල් මර්ධනය කිරීම සඳහා මඩුවල්ගය අතට ගැනීම. ඒ නිසා ප්‍රකාශනයට සීමා මායිම් තිබිය යුතු නෑ. ප්‍රවෘත්ති වාර්තාකරණයක් හැරුණම අනෙක් අදහස් ප්‍රකාශ කිරීම් සියල්ල යට විය යුත්තේ ස්ව්‍යං විනයකට. අපි කවුරුත් ඔලුවට ගත යුත්තේ කිසිවක් අපහාසයට ලක් කිරීම හොඳ දෙයක් නොවන බව. ඒත් ඒකට නීති රීති ඕන නෑ. බුදුන් කිව්වා වගේ තමන් උපමාවට ගෙන අනික් අය දෙස බලන්න. තමන් අපහාසයක් ලෙස ගනන් ගන්න, තමන්ට රිදෙන , ප්‍රකාශන වලින් අනික් අයට දමා ගහන්න යන්නේ නැතුව ඉන්න. මොකද අනික් උදවියටත් ඒකෙන් රිදෙන්න පුලුවන් වීම. ඒ ස්ව්‍යං සීමාව දිගින් දිගට සිදුවන සංවාදයක් හරහා වඩා හොඳ අවබෝධයක් කරා ගෙන ආ හැකියි. එවැනි අවබෝධයක් තුලින් මේ වගේ ආතතිමය අවස්තා වඩා සංසුන් මනසින් විසඳාගත හැකියි. අදහසක් ඉක්මවා යන්න අදහසක්ම මිස වෙනයම් මර්ධනීය ක්‍රමයක් භාවිතා වෙනවා නම් ඒක ගොබ්බයි.