Saturday, October 26, 2019

හැම තැනම දුම(8th epi) - ගින්න




මමත් රාජයියාත් බෝඩිමේ කළු බඩා අයියාත් වැටුනු වැටුනු තැන් වලට වෙලා හති අරින්න ගත්තා. කට කැඩිච්ච බේසමට පුරවපු අන්තිම වතුර ඩිංගෙන් කොටහක් මම බෙල්ල වටේට හලා ගත්තේ දැණුනු මහ දාහය දුරු කරලා අරින්න. මම රාජයියා දිහා බැලුවා. රාජයියා තවමත් දුම් දමමින් තිබුණු ටුක් එකේ ඇට සැකිල්ල දිහා බලං ගල් ගැහිලා. ඒ දුම වටේටම පැතිරෙමින් තිබ්බා. හැම තැනම දුම. මට රාජයියගේ ඇස් දෙක පැහැදිලිව පේන්නේ නෑ. ඒත් ඒ ඇස් රතුවෙලා ඇති කියලා මට හිතුනා. කේන්තියට, මහන්සියට, රස්නෙට, දුමට, දුකට ඇස් රතු වෙලා ඇති. ගිනි ගෙන ඉවර තමන්ගේ වටිනම වස්තුව දිහා බලං ගිනි ඇවිලෙන ඇස් දෙකක්.
රෑ දොළහ වෙද්දි මම හිටියේ හොඳ නින්දක. මොකක්දෝ දෙයක් බිඳිලා යන සද්දෙකට වෙන්න ඕන මම ඇහැරුනේ. කොහෙන්දෝ එන එළියක් නිසා මුලු කාමරයම එළිය වෙලා තිබ්බා. විනාඩියක් දෙකක් සිහිය එලවගන්න ට්‍රයි කරනකොට තේරුනා කාමරේ ලඟින්ම වුනු තාප්පෙට එහා පැත්තෙන් මහා ගින්නක් ඇවිලෙන බව. කාමරේ එලිය වුනේ ඒ ගින්දරෙන්. එලිය ආවමයි දැක්කේ බෝඩිඒ වහලටත් වඩා උසට ඇවිලෙන මහා ගිනි ජාලාවා. ටිකක් එහාට ගිහින් බයෙන් බයෙන් තාප්පෙන් ඉස්සිලා බෙල්ල දාලා බලද්දියි දැක්කේ අම්මමෝ නැතිව ඇවිලෙන්නේ රාජයියගේ ත්‍රීවිල් එක බව. රාජයියා කියන්නේ අපේ බෝඩිම එහා පැත්තේ අසල්වැසියා.වීල් පාක් එකේ හිත හොඳ චන්ඩියා. බෝඩිම අයිති කලු බඩාවත් ඇහැරවගෙන අපි කෑගහගෙන දිව්වා රාජගේ ගෙදරට. හොඳට ගසලා නිදා උන්නු රාජව ඇහැරවන්න ටිකක් වෙලා ගියා. ඉන් පස්සේ ඇරඹුනු අපි තුන් දෙනාගේ ගිනි නිවීමේ මෙහෙයුම සාර්ථක එකක් නොවුනේ මොකක්දෝ කරුමෙකට ඒ මහ රෑ වතුර කපලා තිබ්බ නිසා. ඒ නිසා වතුර අරං එන්න බෝඩිමට ආයේ ආයේ දුවන්න උනා. රාජගේ ගෙදර වතුර ටැංකියක්වත් නෑ රෙද්ද. ඒ මදිවට රාජාගේ ගේ වටේ පිටේ සෙට් එකම් කොහේදෝ ට්‍රිපක් ගිහින් නාකි උන් ඉන්න උන්ගේ තරුණ සමිතියෙන්. මිශන් එක ඉවර වෙද්දි ටුක් එකේ ගන්න දේකට කියලා ඉතුරු වෙලා තිබ්බේ යකඩ සැකිල්ල විතරයි.
තැනින් තැන පුපුරපු වීදුරු කෑලි විසිරිලා තිබ්බා. ලඟ තිබුණු එක වීදුරු කෑල්ලකින් මට ඉහළ ආකාසේ තියන හඳ පලුවෙ කෑල්ලක් පේනවා. රාජයියා තවමත් පුපුරමින් හිටියා.
"මට හිතාගන්න පුලුවන් කවුද මේක කරපු පරයා කියලා" අන්තිමේදි රාජයියා කට ඇරියා. කලු බඩා විමර්ශන සාකච්චාව සඳහා රාජයියට කිට්ටු කරා.
තමන්ගේ දෙයක් ගිනි ගද්දි හිතේ ඇතිවෙන ගින්දරෙන් කොහොම වේදනාවක් උපදිනවා ඇද්ද.ඒ ගින්නට තමන්ගේ ජීවිතෙත් බිලි වෙයිද කියලා බයකින් හිත කොච්චරක් ගැහැනවා ඇද්ද. ඒ ගිනි පුපුර අවුලවපු එවුන් ගැන කොහොම කේන්තියකින් හිත ඇවිලෙනවා ඇද්ද. මම රාජයිගේ මූණ දිහා ආයෙම බැලුවා. මේ සිද්දියට අදාල නැති මහ පරණ කතාවක සියුම් සෙවනැල්ලක් ‍රාජගේ මූණට වැටිලා තියනවා වගේ ගතියක් මට පෙනුනා. මීට කාලෙකට කලින් අඩියකට සෙට් වුනු වෙලාවේ රාජයියා තමන්ගේ තරුණ කාලේ ගැන වෙරි මතේ ගහපු කයියක තිබ්බ කතාවක් තමයි ඒ හෙවනැල්ලට මූලාශ්‍ර වෙන්නේ. බලාඉද්දි රාජා තරුණ වෙලා දශක ගණනාවක් පස්සට මාව ගහගෙන ගියා.
*******************
ඔවුන් ඩබ්.ඒ.සිල්වා මාවතෙන් ගාලු පාරට වැටෙන විට අලුයම් හිරු කිරණ පළමු වරට පොළව සිප ගනිමින් තිබිණි. සමහරවිට මේ හිරු කිරණ පොළව සිඹින්නට පැමිණියේ බොහෝ වෙලාවකට මත්තෙන් විය හැක. එළිය දෙන්නට තරම් සතුටක් මහ පොළව උඩ නොවූ නිසා තම රැස් උපරිම කාලයක් සඟවා තබාගන්නට හිරුට සිතෙන්නට ඇත. නැතිනම් පලින් පල දැවෙන නිවාස හා කඩ වලින් නැගෙන මහා දුම් වලාව නිසා පොළවට පැමිණි හිරු රැස් අතරමග හිරවන්නට ඇත. මිතුරන් සිව් දෙනාට තම තමන් සතු අන්තිම සිගරට් කිහිපය දල්වාගන්නට අමුතුවෙන් ගින්දර ඕනෑ වූයේ නැත. වැල්ලවත්ත හන්දියේ සිට බලන බලන හැම අතම ඇත්තේ ගිනි ගොඩවල් මිස අන් මොනවාද?. කෙසේ වුවත් ගාලු පාර දිගට නම් තමන්ට කරන්නට එතරම් දෙයක් ඉතිරි වී නැතිබව සිව් දෙනාටම පැහැදිලි විය. තමන්ට පෙර ගාලු පාර බාරගත් සිංහල දේශප්‍රේමීන් බොහොමයක් පුංචි යාපනයට ගිනි දී සබ්බ සකල මනාවටම සුද්දය දී අහවරය. ගාලු පාරට වැටෙන්නට පෙර මොහොතේ ගිනිබත් කල සාරි කඩයෙන් පන්නා ගත් වටිනා සාරි කිහිපය ගෙදර දුවගොස් අම්මාටත් අක්කලා දෙන්නාටත් බෙදා දෙන ආකාරය ඔහුට මැවී පෙනෙයි. මේ කාලයේ නම් සාරි වැඩියෙන්ම අවශ්‍ය වන්නේ අලුත රස්සාවකට ගිය ලොකු අක්කාටය. ගෙදරට අවශ්‍ය අඩුම කුඩුම බොහොමයක් සපුරාගත හැකි මුදලකින් සාක්කු දෙකද පිරී ඇති බව ඔහුට සහතිකය. හැම කඩයකටම , නිවසකටම ගිනි අවුලන්නට පෙර වටිනා කියන දේ සුද්ද කළ යුතු බවට වන රත්තරං උපදේශය දුන්නේ සිරි අයියාය. ඔහුට තරම් නුවණක් කොහේද ඊයේ පෙරේදා පාසල් ගමන අවසන් කළ තම මිතුරන් දෙදෙනාටත්, තමන්ටත්. ඔවුන් තිදෙනාගේ කකියන සිංහල ලේ වලට වෙලඳපොල අගයක් එකතු කලේ සිරි අයියාය. පස් වෙනි කඩයට ගිනි දමද්දී සිංහල ආලය කොහේද මංදා ගොස් ඉතුරුවෙලා තිබුනේ සාක්කු බර කරගැනීමේ පෙරේත කම පමණි. ගිනි ජාලා අහස උසට නැගෙද්දී කල්ල මරේ වූයේ මල්ලේ බර දිගින් දිගට වැඩි වෙමිනි. ඔහුගේ හදවත මදක් කම්පා වුනා නම් වූයේ එක් කඩයක මුරට වූ තරුණ දෙමලාගේ ඔලුවට දුන් පොලු පාර ගැනය. ඌ නොමැරී ඇත්නම් හොඳය. බොහොමයක් පොහොසත් දෙමලුන් හැකි දෙයක් පොදි බැඳ පළාගොස් සිටියදී මේ යකා පමණක් කෙසේ ඉතිරි උනාදැයි ඔහුට සිතා ගත නොහැක. ඌ මුරකාරයෙක් නිසා විය හැක. එක අතකට එතනත් ලෙසටම කෙල වී ඇත්තේ දුප්පතාටමය. දෝයි ගා ඔලුවට දුන් පොලු පාරෙන් උගේ හිස පැලී සී සී කඩ විදින්නට ගත් ලේ වල රතු පැහැය කලුවරේදී වුවද හඳුනා ගැන්මට ඔහුට හැකි විය. සිරි අයියාට ඕනෑ වුනේ ඌව කඩය තුලම බාබකිව් කිරීමටය. ඒත් හිත යට කොහේදෝ වූ අනුකම්පාවක් නිසා කඩය ගිනි තබන්න මොහොතකට කලින් දෙමළ මුර කොල්ලාව එලියට ඇද පාරට දමන්නට ඔහුට හැකිවිය. අඩු ගානේ දැන් ඌ පිච්චිලා මැරෙන්නේ නැත. කම්මැලි නැතුව පිරික්සුවොත් දැවී ගිය කඩවල් අතර පවා වටිනා යමක් සොයා ගන්නට බැරි වන්නේ නැත. ඒත් තවත් දෑ ගෙනියන්නට තරම් හැකියාවක් නැත. ශර්ට් සාක්කුවේ පටන් කුඩා කුඩා මලු කිහිපයක් දක්වා වාසි සරුවී ඇත. වැඩි තන්හාවට ගියහොත් අන්තිමේදී නතරවන්නට වන්නේ පොලිස් කූඩුවේය.හැබැයි පහු ගිය පැය ගණනාව පුරාම පොලීසියෙන් නොවේ ඔවුන්ට බාදාවක් කලේ.ඒ කෙසේ වුවත් කෙමෙන් කෙමෙන් උදෑසන එලිය තර වෙන බැවින් පිරිස හනි හනික විසිර යෑමට තීරණය කලහ. ඔහු ගෙදරට පය තබන විට ඔරලෝසුවේ උදෑසන 8 වැදුනා පමණි.
"කොහේද රාජෝ තෝ මක බෑවුනේ......අපි මේ පපුව ගිනි අරං හිටියේ. ඇත්ත කියපන් තෝත් ගියා නේද....."
බෑගය උඩම තිබූ රතු පැහැති දිදුලන සාරිය අම්මාගේ ඔලුවට දැමූ රාජා ඇගේ කට වැසුවේය.නැතිනම් මුලු මුඩුක්කුවටම ඇගේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශය ඇසෙන්නේය.
"පොඩි අක්කේ තේ ටිකක් හදපන්කෝ" කියමින් ඔහු සාලයේ වූ එකම කුඩා මේසය මත වූ දින කැලැන්ඩරයේ අලුත් දවස පෙරලුවේය. ඒ 83 ජූලි 25වන සඳුදාවේ උදාවයි.
************************

Sunday, October 13, 2019

හැම තැනම දුම(7th Epi) - නිදාගත් ගැහැණු






"තොල් වලට සායම් ඕනම ද?"

"මල් පෙතිවල පාට ගෑවේ ඇයි සියුමැලි දෙතොලේ. කොළඹ ගිහින් ඉගෙන ගත්තේ ඕවද මගේ කෙල්ලේ...." මැන්ඩි හිනා වෙමින් උත්තර දුන්නා. ඒක උත්තරයක් නොවුනත්.

"මට නම් ........හිතෙන්නේ .........තොල් වලට ඕන....... රසයක්......" මම එයාගේ තොල් අතරේ පැටලෙමින් , කැලතෙමින් කිව්වා.

"තොල් වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද , ඒවා මෙලෙක් බව තේරෙනවා මටද..." ආයේ පිළිතුරක් වෙනුවට හිස්තැන පුරවන කවිපදයක්.

"ඔව් මෙලෙක් නම් තමයි.....ඇඟිලි වලටත් දැනෙනවා." එයාගේ යටිතොල මගේ දබර ඇඟිල්ලෙන් පහලට අදිමින් මම කිව්වා.
"අනික තොල් වල සුවඳ නෙවී එන්නේ කට නොහේදුවම එන ගඳ "
"අනේ යනවා මෝඩයෝ යන්න.......ඔයා තොල් වල රස ගැන කිව්වම මතක් උනේ. ඔයා චින්තනගේ Bitter lips, තිත්ත තොල් කියවලා තියනවද?"

"මම පොත් සීන් එකේ නෑනෙ. ඔයානෙ මගේ audio book එක. ඊලඟ turn එකට ready වෙනකල් bitter lips අහමු එහෙනම්...."

"අපෝ ඒක කියන්න තරම් හිතෙන පොතක් නෙවී. ඒත් ඒකේ පිදුම තමයි මට වැදුනෙම "

"හැදූ වැඩූ අම්මාට, නිදාගත් ගැහැණුන්ට"

"hmmm.....Interesting"
"ඔයාට මතකද පරණ සිංහල movies and dramas වල මේ වගේ මොහොතක් ගෙවෙන්නේ කොහොමද කියලා." මැන්ඩි එහෙම ඇහුවම මගේ හිතේ තිර පිටපත ලියවුනා ඇස් ඉස්සරහ video එකත් මැවීගෙනම.

දර්ශන අංක 5 - හෝටල් කාමරයක් තුල:

සුදු පැහැති ඇඳ රෙද්ද අවුල් වී ඇත. සිවිලිමේ ඇති විදුලි පංකාව මද වේගයෙන් කැරකේ. මදක් පරණ වී ඇති එයින් යම් කර්කශ ශබ්ධයක් නිකුත් වේ. කොණ්ඩය විදාහල යුවතිය ඇඳ විට්ටමට හේත්තු වී දෙදණ අතර මුහුණ සඟවා ගෙන ඉකි බිඳී. සුදු පෙරවන රෙද්දකින් ඇගේ දෙපා සම්පූර්ණයෙන් ආවරණය වී ඇත. තරුණයා ඇඳේ එහා කෙලවරට වී ඉඳගෙන සිටින්නේ උඩු කය නිරුවතිනි. (යුවතියගේ උඩුකය නිරුවත් නොවන බව මතක තබා ගන්න). ඔහු කල්පනා බරිතය , අතරමං වූ ගතියක් ඇති මුත් තෘප්තිමත්ය.
"දැන් ඕකට අඬලා වැඩක් නෑනේ.අපි දෙන්නගේම කැමැත්තෙන්නේ මේක උනේ...." කියමින් ඔහු ඇඳෙන් නැගිට කාමරයේ ජනේලය අසලට ගොස් ඉන් පෙනෙන වටපිටාවේ සිරි නරඹයි.
"ඒ උනාට ඔයා අමතක කරන්න එපා මගේ වටිනාම දේ මම ඔයාට පුදපු බව.......කියන්න ඔයා මාව අමතක කරන්නේ නෑ නේද....?"
ශෝක මූඩ් music එකක් වාදනය වෙමින් ජනේලයෙන් පිටත දක්වා පෙන්වමින් එන කැමරාව හිස් අහස කුස පෙන්වමින් තත්පර කිහිපයක් රැඳේ.

දර්ශන අංක 5 නිමාව ....

මමත් මැන්ඩිත් මහ හයියෙන් හිනාවෙන්න ගත්තා. හරියට අපි දෙන්නගෙම හිතේ එකම සීන් එක play උනා වගේ.

"හැබැයි Drama සීන් ඒකේ නම් යුවතියගේ first time. So අපිට ඒක මෙතනට apply කරන්න බෑ "....මම ගුටි පාරක් කන්න බලන් කිව්වා.

"ඒ කියන්නේ මගේ පිදුම ඔයාට වටින්නේ නැද්ද අයියාහ්හ්හ්හ්.... " ගාගෙන මැන්ඩි මගේ ඇඟට පැන්නා. විහිලු පහුරු ගෑම්, සපා කෑම්, කෙනිත්තීම්, සිප ගැනීම් මැද එදා හවස් වරුවේ දෙවනි turn එක උදාවෙද්දි රත්නපුර අහස ගුගුරවමින් වැස්සක් වැටුනා. ඔව් ......අපේ ඒ පළමු සයනකතාව හෙවත් පළමු පිදුම රත්නපුරේදී සිද්ද උනා. හැම තත්පරයක් ගානෙම මතක ඇති ඒ දවසේ විශේෂම කියමන චින්තගේ පිදුම,
"නිදාගත් ගැහැණුන්ට"


හිතට සමීප වෙන ගැහැණු කියන්නේ පිරිමින්ගේ හිත්වල අගුලු අරින යතුරු. ගොඩක් වෙලාවට අපේ හිත් ඇතුලේ එහෙම අගුලු තියනවද කියලා අපි දැනගන්නෙත් මේ යතුරු හම්බුනාට පස්සේ. උන් ඒ යතුරු වලින් අපේ හිත් අගුලු ඇරං හාරං හාරං ඇතුලට ගිහිල්ලා එතෙක් නොතිබ්බ අවකාශයක් බිහිකරනවා. ඒ වෙනකල් පිරිලා කියලා හිතං හිටපු අපේ හිත්වල හැදෙන මේ අලුත් අවකාශය හෙවත් ඉඩ අපිව කලම්බනවා, ආතතියට පත්කරනවා. ඒ ඉඩ ලේසියෙන් පුරවන්න පුලුවන් ඉඩක් නෙවෙයි. පුරවන්න පුරවන්න අලුත් ආශාවල් පූදිනවා.සමහරක් ඒවා මානසික වෙද්දි සමහර ඒවා ශාරීරික වෙනවා. ඉතින් ජීවිතේටවත් වචන තුන හතරක් ගලපලා හරියකට වාක්‍යක් නොලියපු උන් කවි ලියන්න ගන්නවා, සින්දු අහන්න ගන්නවා, පොත් කියවන්න ගන්නවා, කතා බහ කරන විදිය අඳින පලඳින වෙනස් කරගන්නවා, කවදාවත් නොකාපු තැන් වලින් කන්න ගන්නවා, තම තමන්ගේ ශරීර වල නොදැකපු මුන නොගැසුනු ප්‍රදේශ වල රස හොයාගන්නවා, ඇඳන් වල පොලු ගැලවෙනකල් අලුත් අලුත් ඉරියව් අත් හදා බලනවා.

කොහොමත් ආදරයකින් මෙහා නවත්තං ඉන්න පුලුවන් ගෑණු ඇසුරක් කියන්නේ ලෝකේ තියන වටිනාම අත්දැකීමක්. ඒ ලැබෙන අත්දැකීම් වල ගැඹුර, වටිනාකම, මුන ගැහෙන ප්‍රදේශ සහ ලස්සන එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. හැබැයි ඒ නිදහස් මානුෂික සම්බන්ධය ආදරය කියන රාමුව ඇතුලට වැටිච්ච ගමන් අර තිබ්බ වටින කම, ගැඹුරුබව, බුද්ධිමය බව නැතිවෙලා පට්ට ගොං තැනකට එනවා. එතනින් එහාට තියෙන්නේ කෑවද බිව්වද අහන එක, කොහේද ඉන්නේ මොනවද අරන්නේ අහන එක, call එක waiting උනේ ඇයි කියන එකට මරාගන්න එක, එකිනෙකාගේ password ඉල්ලං හොර අල්ලන එක , දවසට කී පාරක් ආදරේ කිව්වද කියන එක, බඳින්නේ කවදද කියන සැකය වගේ දේවල්. කලින් තිබ්බ විචාර බුද්ධියෙන් යුතු නිදහස සහ අවබෝධය එතන නෑ. ආදරය කියන ඉර පන්නන්න කලින් හිටපු බුද්ධිමත් ගැහැනිය ඒ ඉර පැන්නුවට පස්සේ හම්බෙන්නේ නෑ. ඒ ගැන තිබ්බ දෙගිඩියාව සහ වික්ෂිප්ත භාවය නිසාම වෙන්න ඕන පෝරුව පෙනි පෙනිම මගේ මගුල කැඩිලා ගියේ. තිත්ත තොල් තවම කියවලා නැතත් කියවන්න ආසාවක් නැතත්, ආදර රැහැන අසලම දැවටි දැවටි ගෙල පටලවා නොගත් ගැහැනු , නිදාගත් ගැහැණු කියන්නේ හැබෑවටම පිදුමක්,.....පුදුම පිදුමක්.

Thursday, October 10, 2019

හැම තැනම දුම (6th Epi) - fantasy No1




"මං නං හිතන්නේ විජේව මැරුවේ චන්ද්‍රිකා"
"මොකක් ?..."
"ගෑණු ගොඩකගේ සිහින කුමාරයා එක ගෑණියෙකුගේ සිහිනය වෙනුවෙන් බිල්ලට ලක් වෙනවා. ලස්සන විජේගේ ලේ කැත විජේවීරගේ අත්වල ගෑවීගෙන වැක්කිරිලා ප්‍රේමදාසගේ සුදු සරමට වැටෙනවා. හරියටම කියනවා නම් මැරිච්ච ප්‍රේමදාසගේ සුදු සරමට. ඒ සුදු සරමට වැටෙන විජේගේ රතු ලේ පැල්ලම හෝදලා දාන්නේ චන්ද්‍රිකා....ඔව්....ගෑනු කියන්නේ රහස් ගොඩක්......කවදාකවත් එලිපිට නොකියවෙන, ඒත් හිතාගන්න බැරි මොහොතක ගොජ ගොජ ගාලා දෝර ගලං යන ආසා ඟඟුලක උල්පත් ගොඩක්"
මැන්ඩි කියාගෙන කියාගෙන යනවා. දෙහිවල හන්දියේ පේමන්ට් කඩ ගොඩ මැද්දෑවෙ තියන විජේගේ පිළිරුව තමයි අපේ කතාවේ මධ්‍ය ලක්ෂය. ඒ අපේ දෙවනි හමුවීම සහ එයාගේ පළවෙනි ෆැන්ටසිය. ටවුන් එකක් මැද මහ රෑ දුම දාන ෆැන්ටසිය. වැල්ලවත්තේ සැෆායා එකේ ඉඳන් 2km කටත් වැඩි දුරක් අපි පයින්ම ඇවිදන් ආවා කතා කර කර. බියර් දෙක මැදට වැටුනු ලව්ඩර්ස් 50 නිසා ඒ දුර එච්චර ගානක් වුනේ නෑ. කොහොමත් මැදියම පහුවෙලා තිබ්බ නිසා රස්නෙකුත් නෑ. අපේ ආශාවේ නැවතුම නෝලිමිට් එක ඉස්සරහ යකඩ වැට. වැටට හේත්තුවක් දාගෙන අපි හතරමං හන්දියේ හැම මාවතක්ම ඇස් වලට පේන තරමට ආරම්මණය කලා. ගාලු පාර කාලකන්නි වෙලා, station පාර මූසල වෙලා, හිල් ස්ට්‍රීට් එක කල එලි වෙලා.
"එකෙන් යමු..." මම ඩන්හිල් දෙකක් එලියට අදිද්දි එයා යෝජනා කලා. එයාගේ රත් දෙතොල මැද රැඳුනු ස්විච් එකට මම ගිනි තිබ්බා. ගින්න අවුලන්න රුකුල් දෙන හුස්ම ඇදිල්ලෙදි ඒ ලස්සන මත් බර ඇස් අඩවන් වෙන ලස්සනක තරම......
දුම් උගුරු දෙක තුන යද්දි බීර-ලව්ඩර්ස් මික්ස් එක ආයේ පණ ගහලා එන්න ගත්තා.ඇස් යාන්තමට අඩවන් වෙද්දි හිත නැලවෙනවා. මං දෙහිවල පාලම උඩින් යන වාහන වල එලි දිහාව බලං හිටියා. ගුවන් පාලම උඩ වේගෙන් ඉගිලෙන වාහන කොයි මොහොතේ හරි ආකහේ තියන තරුවකට ලඟාවෙනවා සිකුරුයි. රෑ වෙන්න වෙන්න පාලම ආකාසෙට කිට්ටු වෙනවද කොහෙද.....
පාන්දර එකත් පහු වෙමින් තියන නිසා දෙහිවල හන්දිය පාලුයි. උදේ ඉඳන් රාත්‍රිය දක්වා ඉවරයක් නොවන ඉස පුපුරවන වාහන තදබදය කොහම නැති වෙලාද කියලා හිතාගන්න බෑ. ඉඳලා හිටලා යන වාහනයක් ඇරුණාම ජීවයක සලකුණකට තිබ්බේ ටිකක් එහාට වෙන්න නවත්තලා තිබුනු ත්‍රීවීල් දෙක විතරයි. ඒකේ ඉන්න වීල් කාරයෝ දෙන්නා මැන්ඩිගේ කෙටි ගවුම නිසා නිරාවරණය වන රත්‍රං පාට කකුල් දිහා බලං අනිමිස ලෝචනේ යෙදෙන බව මට පේනවා. මං ඒ ගැන කියලා ටිකක් එහාට යමුද ඇහුවම එයාට වඩ වඩා ඕන වුනා එතන ඉන්න. එක අතකට මං ඒ වීල් කාරයා උනා නම් මාත් කරන්නේ ඒකම නෙවීද.

මැදියමක දකිනා
සුබ සිහිනයක් බඳු
නාඳුනන සුදු වටොර
ඇසින් අල්ලා ගෙන තදට
හිතට තද කර බැඳං
ගෙදරටම ගෙන දුවමි
නිදහස් මොහොතක් පතං

"බොසා කොහේට හරි ඇරලවන්නද"......හිටි හැටියේ අපි ලඟ තිරිංග තදකරපු වීල් බුවෙක් ඇහුවේ මැන්ඩි දිහා උඩ ඉඳන් යටට පෙරේත බැල්මක් හෙලන ගමන්. පොරගේ දානපති සහය කාරුණිකව ප්‍රතික්ෂේප කරන ගමන් දෙවනි ස්විච් එක පත්තු උනා. පාලු දෙහිවල හන්දියේ පාට ගියපු චිත්‍රයක එලිය ගේන ලයිට් එලි මැද අපි දෙවනි දුමත් පිඹිමින් හිටියා.
"මට හිතෙනවා 'සරසවි' එක බිඳගෙන ගිහින් ඒකේ තියන හැම ආගමික පොතකම මුල් පිටුව මේ සිගරට් එකෙන් පුච්චං හිල් කරං යන්න. ඊට පස්සේ අන්තිම පිටුවේ ලිප්ස්ටික් පාර වදින්න කිස් කරන්න ".
'"මොකක්ද ඒකේ තේරුම ?"
"ඒකේ තේරුම,..... මුල පටං හිල් , ආගම් හරි හිස්, ශෘංගාරය මිස්, යූ ශුඩ් කිස් සම් ලිප්ස්" කියන එක.
"අද නම් ඔයාට වැඩී වගේ." මම හිනාව නවත්තගන්න බැරුව කිව්වා. "මට නම් ඕන සරසවිය නෙවී නෝලිමිට් එක බිඳින්න."
"ඇයි සිංහල ව්‍යාපාර නංවන්න ද?"
" නෑ හලෝ....ඩෙනිම් තුන හතරකුයි ටී ශර්ට් පහ හයකුයි උස්සන්න."
"එහෙනම් සිගරට් එක නිවලා පනින්න.නැත්නම් පානදුර නෝලිමිට් එකට වුනු සන්තෑසියම මේකටත් වෙයි"
පොත් කියවලා කියවලාමද කොහෙද මැන්ඩිගේ පොශ් life එකට හද්ද සිංහල vocabulary එකක් එක්කහු වෙලා තිබුනා.පාන්දර දෙකට ඔරලෝසු කටු කිට්ටු කරන්න ගද්දි අපි හෙමි හෙමින් හිල් ස්ට්‍රීට් එක උඩහට ඇවිදින්න ගත්තේ මැන්ඩිගේ බෝඩිමට පයින්ම අදින බලාපොරොත්තුවෙන්. සරසවිය පහුවෙද්දි මං කෝකටත් කියලා එයාගේ අතින් තද කරලා අල්ලගත්තා පොත් ටික ගිනි තියන්න දුවයි කියලා බයට.
"Do you want to kiss me?" එයා ගහෙන් ගෙඩි එන්න වගේ ඇහුවා. සරසවිය ඉස්සරහ මහ රෑ අලුත් පොතක් print වෙන්න ගත්තා.

Saturday, October 5, 2019

හැම තැනම දුම(5th epi) - Zoom වෙන පින්තූර






එදා මැදියම් රැයේ බැරකූඩාවෙන් පිටවෙද්දි එයාගේ මූණ හිතේ කෙටිච්ච ටැටූ එකක් වෙලා ඉවරයි ආයේ කිසිදා නොමැකෙන්නම. ටැටූ එක වටේට අඩ කවයක් විදියට අන්කොමන් font එකකින් කෙටිලා තිබ්බේ එයාගේ අන්කොමන් නම. සුපිරියටම ටැටූ කලා වුනත් මම බයේ හිටියේ හිත හෙල්ලුනොත් ටැටූ එක බොඳ වෙයි කියලා. ඒ නිසා වැඩි දේවල් හිතන්නේ නැතුව හිමීට ඇඳෙන් ඇලවුනා. එදා දවස පටන් ගනිද්දි මගේ හිතේ තිබ්බ ප්ලෑන් එකේ හැටියට සියල්ල සිදු උනා නම් මම ඇඳට වැටෙන්න තිබ්බේ එයත් එක්කමයි. ඒත් අපි අතර ඇදුනු ඇඳුනු කතා බහ අනුව තව මුණගැසීම් රාශියක වියහැකිබාවය මොනවට පැහැදිලි වෙමිනුයි තිබ්බේ. ඒ නිසා හදිසි වීමේ අවශ්‍යතාවක් නෑ. කොහොමත් අටවක පුත්තු වගේ බරසාර කතාවකින් පස්සේ දිගු ඇරුණු විචාර කතිකාව දිශානත වෙලා තිබ්බේ හෝටල් ඇඳක් දිහාවට නෙවෙයි. එයාව uber ටුක් එකකට ඇරලවපු මම වෙනින් ටුක් එකක නැගිලා බෝඩිමට ආවා.

ඇඳට වැටුනු මම බැරකූඩාවේ ගෙවුනු පැය කිහිපය මනසින් සිතුවම් කරමින් උන්නේ එයා නිදි දෙව් දුවක් වෙලා ඇවිත් මාව සිහින ලෝකෙකට කැන්දන් යයි කියන බලාපොරොත්තුවෙන්. නින්ද කොහේදෝ ඈත කෙලවරක ඉඳන් අතවනං ලඟට එද්දිම බෝඩිමේ බලු තඩියා බුරන්න ගත්තා මහ සද්දෙන්. නෙදකිං කාලකන්නි සුනඛයා......මට චන්දන මෙන්ඩිස්ගේ සුනඛ ශාපය පොත මතක් උනා. මූ නම් සාපයක්ම තමයි. පොතේ ඉන්න බැස්කවිල් බලු දණඩා වගේම මූත් භයංකාරයි. බැස්කවිල්ගේ වගේ මුගේ කටින් ගිනි පිට වෙන්නේ නැති උනාට කලුම කලු උස මහත ශරීරෙත් එක්ක මහ රෑක බුරං පනිද්දි අපිට නම් සුලුදිය පහවෙනවා.මිනිස්සු මොකට මුංව හදනවද මංදා , කාලකන්නි සත්තු. හැබැයි බෝඩිමේ බඩ තඩි අයියා නම් කියන්නේ මුගේ කට මිස වැඩ නෑ ඒ නිසා බය වෙන්න දෙයක් නෑ කියලා. බෝඩිමේ අක්කත් කියන්නේ අයියාගේ කටයි බඩයි විතරයි වැඩ නෑ කියලා. ඒත් උගේ දඩ සයිස් එක දැක්කම(බල්ලගේ සයිස් එක හොඳේ ) වැරදිලාවත් හැපුවොත් බුරිය වටේට ඉන්ජෙක්ෂන් එකසිය විස්සක්වත් ගහන්න වෙයි. ඒ නිසා කෝකටත් බල්ලා රෑට මතුවෙනකොටම අපිට "අයියේ.... බල්ලා...." කියලා සද්දෙට කියවෙනවා. එතකොට අයියා බඩ උඩ දදා එනවා ගේට්ටුව ලඟට "බිය නොවන මලයන්ඩිය සුනඛයා දමනය කරන සැටි මම පෙන්නන්නම්" කියාගෙන වගේ. ඒ වෙලාවට නම් අපිට කොච්චරවත් හිතෙන්නේ අක්කා මොනවා කිව්වත් අයියා තමයි වැඩකාරයා නොහොත් අපේ ගැලවුම්කාරයා කියලා. හැබැයි මාසේ බෝඩිං ගාස්තුව ඉල්ලං එද්දී ඌ තමයි අපේ කරුමක්කාරයා..... තත්පර පිහිපයක් යද්දී බෝඩිමේ ඉස්සරහ දොර අරෙනවා ඇහුනා. පේරේ intern කොල්ලො සෙට් එක දැන්ද කොහෙදෝ එන්නේ. මම වෙලාව බැලුවා. පාන්දර 1.45යි. උංගේ කතබහ සහ එහෙන් මෙහෙන් ඇහෙන සින්දු කෑලි අනුව කට්ටිය සිකුරාදා රෑ හොඳට සමරපු බව පැහැදිලියි.

කොහොමත් සිකුරාදා රෑ කියන්නේ අනිවා සැමරීම වෙනුවෙන් වෙන්කල යුතු පූජනීය කාල පරාසයක්. ඒ පූජනීය සිකුරාදා රෑ සැමරීම, එලඹෙන සති අන්තයට එකතු කරන්නේ කියලා නිම කරන්න බැරි ගැම්මක්, සන්තෝසයක් සහ සැහැල්ලුවක්. ඒ සැමරීම සිද්ද වෙන්නේ මී විතෙන්ද, ගී පොතෙන්ද, ආදරෙන්ද , සිනමාවෙන්ද කියන එක අදාල නෑ. අපි වද විය යුතු එකම දේ වෙන්නේ රස්සාව වෙනුවෙන් දවස් පහක් ගනිකා වෘතියේ යොදවපු අපේ හිත කය වචනය, අපි කැමති සැමරුමක් වෙනුවෙන් පාවිච්චි කිරීමේ නිදහස උදා කරගන්න බව තහවුරු කරන එක. පේරේ කොල්ලො ටික මීවිතෙන් මත් වෙලා ඒ නිදහස අත්පත් කරගනින්ද්දි මං හිටියේ නිශ්චිත නමක් නැති හමුවක සන්තෝසය, චුයින්ගම් එකක් වගේ නැවත නැවත මතකයෙන් අදිමින්. අනාගතයේ දිග හැරෙන්න නියමිත මේ සම්බන්ධය ලඟාකරවන්නේ ආලකමන්දාවක්ද හිරගෙයක්ද කියන එක පැහැදිලි නොවුනත් මං හිටියේ අමුතුම ලල් එකක පාවෙමින්. සුනඛයාගේ ශාපය නිසා නිදිමත දැන් අහලකටවත් එන පාටක් නෑ. මම ෆේස්බුක් ලෝඩ් කරං මැන්ඩිගේ account එක අස්සට රිංගුවා. ඒකේ පල්ලෙහාට පල්ලෙහාට කනිමින් එයාගේ අතීත අනතීත හැම පින්තූරයක්ම පිරික්සන්න ගත්තා. බලන බලන හැම පින්තූරයක් පින්තූරයක් ගානේ එයාට පණ එන්න ගත්තා. සමහර පින්තූර ලඟ විනාඩි ගණන් නැවතුනා , සමහර පින්තූර සූම් වුනා. සමහර ඒවා මාව නලවද්දි , ගොඩක් ඒවා මාව ඇවිලුවා. ඇවිලීමේ උපරිමේට ලංවේගෙන එන බව පැහැදිලියි. ඒත් වොශ් රූම් එකට රිංගන්න කම්මැලියි වගේම වෙලාවත් මදියි. මම අඳුරේම අතපත ගාලා බැනියමක් හොයාගත්තා.