Sunday, February 18, 2018

අගමැති දොට්ට දැමීම, පොතේ ඇත්තේ කොහොමද ?





පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසුව දේශපාලන පක්ෂ අතර ඇතිව ඇති බල තුලන ආතතිය හේතුවෙන්, අගමැතිවරයා ඉවත්විය යුතුය , ඉවත් කළ යුතුය, ඉවත් කළ හැකිද , යන ප්‍රශ්න සෑම පැයක් පාසාම ඇසෙමින් පවතී. දහනවවන සංශෝධනයත් සමග යම් පටලැවිල්ලක් බවට පත්ව ඇති අගමැති දොට්ට දැමීමේ කර්තව්‍යයට බලපානා වගන්ති කිහිපය හුදී ජන දැනුම් සංවේගය තකා මෙසේ ඉදිරිපත් කරමි. 

1978 ව්‍යවස්ථාව අනුව අග්‍රාමත්‍යවරයා පත්කිරීම හා සබැඳෙන 43(3) වගන්තිය පහත පරිදිය,

43(3) පාර්ලිමේන්තුවේ යම්කිසි මන්ත්‍රීවරයෙකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කෙරේද ජනාධිපතිවරයා විසින් ඒ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ධූරයට පත්කළ යුත්තේ ය.

1978 ව්‍යවස්ථාව අනුව අග්‍රාමත්‍යවරයා ඉවත්කිරීම හා සබැඳෙන  47වැනි වගන්තිය පහත පරිදිය,

47. අග්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක් හෝ වෙනත් යම් අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්,-

         (අ) ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවොත්
                ; හෝ 

     (ආ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් අස්වූහොත් ; හෝ

  (ඇ) තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු නොවුවහොත් ; හෝ 
මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය අණ්ඩලය පවතින්නේද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේය.

2015 වසරේ සිදුවූ 19වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මේ පත්කිරීම්, ඉවත්කිරීම් හා සබැඳෙන වගන්ති යම් ප්‍රමාණ වලින් වෙනසක්ම් වලට භාජනය වී ඇත.
ඒ අනුව අගමැතිවරයා පත්කිරීම හා සබැඳෙන 42(4) වගන්තිය මෙලෙසය,


42(4 ) ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය.

19වන සංශෝධනයට අනුව අගමැතිවරයා ඉවත් කිරීම හා සබැඳි 46(2 ) වගන්තිය පහත පරිදි වේ,

46(2)  අග්‍රාමාත්‍යවරයා -

           (අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය                          ධූරයෙන් ඉල්ලා අස්වූහොත් ; හෝ

      (ආ) තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු නොවුවහොත් ; හෝ 
මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය අණ්ඩලය පවතින්නේද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේය.

අගමැති පත්කිරීම හා ඉවත්කිරීම සම්බන්ධයෙන් ඇති ඉහත වගන්ති දෙක අතර ගැටුමක් ඇති බව පෙනේ. පත්කිරීමේදී ජනාධිපතිවරයාගේ කැමැත්ත අනුව පත්කෙරෙන අගමැතිවරයා, ඉවත්කිරීම සම්බන්ධයෙන් ජනපතිට පැහැදිළි බලතල තිබේදැයි ප්‍රශ්නයක් පැන නගී. ඔහුට කැමති කෙනෙක් පත්කිරීමට බලය තිබුණද, මුල් අවස්ථාවකදී පත් කළ තැනැත්තෙක් සිය කැමැත්තෙන් ඉලා අස්නොවුනහොත් දෙවැන්නෙක් පත් කිරීමට ජනපතිට බලයක් තිබේද?....1978 මුල් ව්‍යවස්ථාවේ අගමැති ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනපතිට තිබූ පැහැදිළි බලය 19 සංශෝධනය තුල යම් හිරවීමකට ලක් කර ඇතැයි වචනාර්ථයෙන් බලන කළ පැහැදිලිව පෙනේ. මේ අවුල විසඳා ගැනීමට නීති විශාරදයන් තව වගන්තියක සහය පතන බව දැකිය හැක. එයින් බලාපොරොත්තු වෙන්නේ 46(2)හි අන්තිමට කියවෙන "යම් තාක් කල් අමාත්‍ය අණ්ඩලය පවතින්නේද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේය" කියන කොටස පාවිච්චියට ගන්නේ කෙසේදැයි විග්‍රහ කිරීම. මොකද අමාත්ය මණ්ඩලය නොපවතින අවස්ථාවක අගමැති තනතුර නොපවතී කියන තර්කය.  ඒ සඳහා ඔවුන් උපයෝගී කරගන්නේ 19වන සංශෝධනයේ ඇති 43(3 ) වගන්තිය.

43(3) ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බලනොපාන්නේය.


මේ වගන්තිය තුල මේ වන විට සංවාදයට ලක්වෙන කාරණය තමයි, මෙහි සංයුතිය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියන එක. සමහරුන් නගන තර්කයක් වෙන්නේ මේ සංයුතියට අගමැතිවරයාත් ඇතුලත් කියන එක. ඔවුන්ට අනුව අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් මේ සංයුතිය වෙනස් කිරීම තුලින් ඉවත් මාරු කළ හැකියි. තවත් තර්කයක් වන්නේ මෙහි සංයුතිය යනු රසායන විද්‍යාවේ අපි ඉගෙන ගන්න සංයුතියේ අදහස් වෙන යම් යම් සංඝටක වල අනුපාතය වගේ, අමාත්‍යධූර අනුපාතවල එහා මෙහා වීමක් මිස ඇමතිවරු ඉවත් කිරීමක් නොවෙයි. ඒ නිසා 43(3 )ට එද්දි නැවත හිර වෙනවා සංයුතිය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න. සැබවින්ම ඇමතිවරු ඉවත් කිරීම සම්බන්ධයෙන් වෙනම වගන්තියක් 19වන සංශෝධනයේ ඇතුලත් වෙනවා. ඒ නිසා 43(3)හි කියන සංයුතිය යනු කුමක්ද යන්නත්, අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට ඉන් හානි නොවේ කියන කොටසත් අගමැති ඉවත් නොකළ හැකියි කියන අය ගේන තර්කයක්. ඇමතිවරුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වෙන 46(3 ) වගන්තිය මෙන්න මෙහෙමයි,


46(3) අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක්, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් නොවන අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්-

    (අ) අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවනු                          ලබන ලිපියක් මගින්, ඉවත් කරනු ලැබුවොත් ; හෝ

                (ආ ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වූහොත් ; හෝ

          (ආ ) තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු නොවුවහොත් ; හෝ 
මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය අණ්ඩලය පවතින්නේද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේය.


මේ වගන්තිය අනුව ජනාධිපතිවරයාට හිතුමතේ ඇමතිවරුන් ඉවත් කරන්න නොහැකියි. එම නිසා එය 43(3 )හි වාසිය සොයන අයට යම් බලපෑමක් එල්ල කරනවා. 


ඔය විදිහට තමයි මේ දවස් වල ක්‍රියාත්මක වන, සංවාද ගත වන, අගමැති දොට්ට දැමීමේ සෙල්ලමේ හරඹදාන වගන්ති සමූහය ලියවිලා තියෙන්නේ. මීලඟ  දින කිහිපය ගත වන විට නීති විශාරදයන්ගේ උපදෙස් මත මේ ප්‍රශ්නය විසඳගන්න පුලුවන් වෙයිද නැතිනම්  ව්‍යවස්ථාව අර්ථ නිරූපන බලය ඇති ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා මේ අවුල ඔඩු දුවයිද කියලා අපිට බලන් ඉන්න වෙයි.  ඒ තරම් දුර නොයා මේක සාමදානෙන් විසඳගන්න පුලුවන් වගේම පාර්ලිමේන්තුව තුලදී සිදු කල හැකි නූල් සූත්තර කිහිපයකිනුත් මේක විසඳගන්න පුලුවන් බවත් අමතක කරන්න නරකයි. 


Friday, February 16, 2018

ජවිපෙ , ඉතින් ඊට පස්සෙ





පළාත් පාලන මැතිවරණය අවසන් විය. එම මැතිවරණය තුල කන්දක් උසට බලාපොරොත්තු තබා සිටි ජනතා විමුක්ති පෙරමුණ තවත් වරක් පහලට ඇද වැටී ඇත. පසුගිය මැතිවරණ කිහිපයකදීම ජවිපෙ ඉහළ ප්‍රතිඵල අපේක්ෂා කරගෙන සිටියද දිගින් දිගටම ඒවා බොඳවූ සිහින බවට පත්ව තිබේ. එසේ වන්නේ ඇයි?
මට වැටහෙන පරිදි නම් ජවිපෙ දිගින් දිගට සහභාගී වෙමින් සිටින්නේ තමන්ට අදාළ නොවන තරඟයකටය. ධනවාදී ක්‍රමයක් තුල ගොඩනැගී ඇති ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමයක් තුල වාමවාදී පක්ෂ වල තරඟ වැදීම දිගින් දිගටම අසාර්ථක උත්සහයන් බව ඉතිහාසය දෙස් දෙයි. දිගින් දිගටම අදාළ නොවන තරඟයකට සහභාගී වීම හරහා ජවිපෙ තම වටිනාකම් අහිමි කරගනිමින් සිටින අතර, වඩා ශක්තිමත් ධනපති ප්‍රජාතන්ත්‍රවාදය තුල තම පක්ෂය දිය කරගනිමින් සිටී. එම පරාජයන්ගෙන් ගැලවීම සඳහා ක්‍රම ක්‍රමයෙන් නොගැඹුරු ජනප්‍රියවාදී ඇඳුම් ඇඟලා ගැනීමට ඔවුන්ට සිදුවෙමින් ඇත. එම පොප් ඇඳුම් ඇඟලාගත් පසු ජවිපෙ සද්දෙට ගැසූ එකම  එකම බෙර පදය වූයේ දූෂණ විරෝධී බෙර පදයයි.  ජවිපෙ දූෂණ විරෝධී සටන් පාටය තෝරා ගත්තේ එය ඉතා පහසුවෙන් සෑම දෙනාටම තේරුම් කල හැකි මාතෘකාවක් නිසා විය යුතුය. එය සෑම දෙනා එක් කළ හැකි සටන් පාඨයක් ලෙස ඔවුන් සිතුවා විය හැක. නමුත් මහා පරිමාණ සොරකම් යනු තවදුරටත් අපිව පුදුම කරවන හෝ කම්පා කරවන ප්‍රවෘතියක් නොවේ.  දූෂණ වංචා යනු අපේ ඇඟට ඒ තරමට පත්තියම් වූ දේය. වසර ගණනාවක් පුරා පවතින අන්ත දූෂිත පාලන තන්ත්‍රයකුත්, දූෂිත ජනතාවකුත් වෙසෙන රටකට දූෂණ විරෝධී බෙර පද යනු අලුත් නැටුමකට ඇරයුම් කරන තාලයක් නොවේ.

රාජපක්ෂ යනු හුදු පුද්ගලයෙකු නොව දේශපාලන ප්‍රවාහයක් බව මේ මැතිවරණයෙන් නැවත අපිට ඉඟි කර ඇත. ඔහු තම වසර 10ක පාලන කාලය තුල බිහි කළ හෙජමොනික ස්ථාවරත්වය යනු ජාති සහ ආගම්වාදයයි. උතුරේ පැවති සන්නද්ධ මෙහෙයුම අතරතුර නිශ්චිත දෘෂ්ටිවාදී මෙහෙයුමක් එදවස දකුණේ  ක්‍රියාත්මක විය. එය සන්නද්ධ මෙහෙයුමෙන් පසු වඩා තීව්‍ර එකක් බවට පත්වූ අතර ඒ තුලින් උත්කර්ෂයට නැංවූ ජාතිය සහ ආගම පිළිබඳ චින්තාව යනු ජන මනස් වල ගැඹුරටම කාවැදුනක් බවට සැක නැත. පළමුව රටේ ආරක්ෂාව සහ ස්ව්යිරීත්වය වෙනුවෙන් කුලු ගැන්වුනු ඒ ගැඹුරු හැඟීම යුද්ධයෙන් පසු දේශපාලන බලය තර කරගැනීමට අනාචාරයේ යෙද්වූවක් විය. දකුණේ එය අනාචාරයේ යැවුනේ කෙසේද, එය එලෙසින්ම උතුරේ දමිළ ජාතිවාදීන් විසින් අනාචාරයේ යැවිණි. 

ජනවාරි 8 පෙරළියෙන් පසු යහපාලන රජය සංහිඳියාව තකා පියවරක් දෙකක් තබන්නට උත්සහ ගද්දීම දකුණෙන් ඊට එරෙහිව දැමුණාවූ කකුල් මාට්ටු නිසා එය කොර අනිමින් යන ගමනක් බවට පත් විය. ජනවාරි 8ට පෙර පැවති ජාති වාදය තම ජාතිය හා ආගම උත්කර්ෂයට නංවන්නක් වුවද ඉන් පසුව නැගී එන නව ජාතිවාදී නැම්ම ජාතියේ හා ආගමේ පැවැත්ම සහ ආරක්ෂාව ගැන මතුවූ බියෙන් සහ සැකයෙන් යුතු වූ ආරක්ෂණ ව්‍යාපෘතියක ස්වරූපයක් ගති. මහ ජාතිය, සුලු ජාතීන් විසින් තම සංස්කෘතිය ආක්‍රමණයට ලක් කරනු ඇතැයි යන බියක් ඇතිකරගත් අතර සුපුරුදු පරිදි සුලු ජාතීන්, මහ ජාතීන් විසින් තම් අයිතීන් දිගින් දිගටම පාගා දමන බවට වන ස්ථාවරය තවත් ශක්තිමත් කරගත්හ. ගෙවී ගිය කාලය පුරා මේ හැඟීම් දෙකින් වසාගත් උතුරේ සහ දකුණේ ධ්‍රැවීකරණ ක්‍රියාවලිය යනු අනවරත එකකි.

 යහපාලන රජයට දකුණේ වූ ජාතිවාදී දෘෂ්ටිවාදයන් ඇමතීමට තරම් පැහැදිලි කටහඬක් තිබුණේ නැත. එය බැරෑඬි හඬින් වචනයක් දෙකක් කියා නිහඬ වූවා මිස දකුණේ ජාතිවාදී දෘෂ්ටීන් සමග මුහුණට මුහුණලා සිටගන්නට ගියේ නැත. දකුණේ ඇතිවෙමින් ඇති සැක සංකා වලට පිළිතුරු සැපයීම ඔවුන් විටෙක බියෙන්ද තවත් විටෙක අවඥාවෙන්ද බැහැර කළහ. රජයේ හඬ එසේ නිහඬ වී යද්දී ජවිපෙ ප්‍රමුඛ වාමාංශික ව්‍යාපාරය කළයුතුව තිබුණේ නිසි බුද්ධිමය කතිකාවක් ජාතිවාදයට එරෙහිව ඇරඹීමත්, එය සාමාන්‍ය ජනයා අතරට තේරෙන සිංහලෙන් ගෙනයාමත්ය. යම් යම් වාමාංශික ව්‍යාපාර එම සටනේ බුද්ධිමය කොටස ඉටුකරන්නට උත්සහ ගත්තද එය සාමාන්‍ය ජන විඥානයට අමතන්නට තරම් සුමට වූයේ නැත. රජය එම අභියෝගය නොදුටුවා සේ සිටීමත් , ජවිපෙ විසින් එම අභියෝගය දූෂණ වංචා මාතෘකාවෙන් වසා දැමීමත් නිසා , නිසි පිළිතුරු හෝ ආමන්ත්‍රණ නොලැබුණු ජාතිවාදී කතිකාව දිගින් දිගටම කෙරීගෙන ගියේය. එය විසින් ජනයා තුල රටේ ආරක්ෂාව ගැන බියකුත්, තම ජාතිය සහ ආගම පෙරටු කරගනිමින් ලාංකීයත්වය අමතක කරනා නැඹුරුවකුත් ඇතිකරන ලදී. සරළවම කියනවානම් රාජපක්ෂ හෙජමොනිය දිගින් දිගටම ජන මනස් තුළ හොල්මන් කරමින් පැවතියේය. එහි ප්‍රතිඵල මේ මැතිවරණය තුලින් පෙන්වාදී ඇත. එය දකුණේ පමණක් නොව දිගින් දිගටම දෙමළ ජාතිවාදය දෙසට විතැන් වන උතුරේත් එසේමය.

නිදහසින් පසු මේ දක්වාත් අපි ලාංකීය චින්තනයක් තුල  සියලු ජාතීන් ගොනු කිරීමට අපොහොසත්වී සිටිමු. දිගින් දිගටම ජාතිවාදය නිසා දෙපසට, තුන් පසට වෙන්වන ජනයා එක් තැනකට ගෙන ඒමේ වැධගත් උත්සහය ජවිපෙ විසින් ඉතිහාසය පුරා පසුපසට දමා ඇත. මුලදී නිසිමග සිටි සාම්ප්‍රදායික වමේ පක්ෂද මැතිවරණවලට ඉදිරිපත්වීමේ නොගැලපෙන තරඟයට ගොස් ජාතීවාදය වැලඳගත්හ. ඒ නිසා වසර 70ක කාලයෙන් බොහෝ ප්‍රමාණයක් අපි ගෙවා ඇත්තේ ජාතිවාදයට එරෙහිව හඬනගනා , ජන මනස් බුද්ධියෙන් පුරවනා, ශක්තිමත් වාමාංශික ව්‍යාපාරයකින් තොරවය.

ඒ අඩුව භාවිතයට ගනිමින් මෙරට දක්ෂිණාංශික බලවේග දිගින් දිගටම ජාතිවාදී හැඟීම් දඩමීමා කරගනිමින් මෙරට ජනවිඥානය හසුරුවමින් සිටී. අපේ රටේ පාලක තීරුව පසු ගිය කාලය පුරා දැරිය නොහැකි තරම් පුලුල් වෙමින් ඇත. පාර්ලිමේන්තුව තුල පවතින අතිවිශාල ඇමති මණ්ඩලය අඩු කිරීමේ සිහිනය දැන් දශකයකටත් වඩා කලක් සිහිනයක් බවටම පත්ව ඇත, එමෙන්ම පාර්ලිමේන්තු මංත්‍රීන් ගණන වැඩි කිරීමටත් ව්‍යවස්තා යෝජනාවේ දැක්වේ, පළාත් සභා සුදු අලියෙක් බවට අපි උපන්දා සිටම කියවේ, ඒ අල්ල පනල්ලේ පළාත් පාලනයට මෙවර අලුතෙන් 4000කට වඩා පත්වේ. නමුත් ජවිපෙ මේ ගැන නිහඬය. නැතිනම් දුන්නේ ඇල් මැරුණු පතෝල ගනයේ උත්තරය. එයට හේතුව ජවිපෙ මේ මැතිවරණ උගුලේ සිරවී සිටීමයි. තම නියෝජිතයන් වැඩි ගණනක් පාලන තන්ත්‍රය තුලට දමා ගැනීමේ හැකියාවක් හමුවේ ජවිපෙ හඬ බැරෑඬි විය. ජනයාට දැරීමට සිදුවන අමතර බරට එරෙහි සටන පසුවට කල් දැමීමටට ඔවුහු තීරණය කළහ. ඒ මෙවර මැතිවරණයෙන් තමන්ට ඉහළ නියෝජිත කෝටාවක් ලැබෙනු ඇතිය යන ඊනියා සිහිනය මුල් කරගෙනය.

ඉතිහාසය පුරාම ජයගත නොහැකි, නොගැලපෙන, මැතිවරණ උගුලෙහි හිරවෙන වාමාංශික ව්‍යාපාරවලට සිදුවූයේ මෙවැනි ජනප්‍රියවාදී රැළි හමුවේ ගසාසෙන යාමටය. එනිසා දැන්වත් මේ මැතිවරණ දිනීමේ සිහිනයෙන් ජවිපෙ ප්‍රමුඛ වාමාංශික සංවිධාන ඇහැරෙන්නේ නම් මැනව. අවැසිව ඇත්තේ පුරවැසියා ජාතිවාදයෙන් හා ආගම් වාදයෙන් ගලවා ගත හැකි සමාජ ව්‍යාපාරයකි. එය පුරවැසියා දේශපාලන දැනුමෙන් සන්නද්ධ කරන්නක් විය යුතුය.වත්මන් ලාංකිකයා යනු දේශපාලන බුද්ධියෙන් හීනවූ , ඕනෑම කුණුගොඩක් විශ්වාසයට ගෙන රට ගිනි තියන පන්නයේ වගකීම් විරහිත දේශපාලන සත්වයෙකි. ඒ දැනුම් විරහිත භාවය නිසාම මෙරට දේශපාලන පක්ෂ විසින් ඔවුන්ව අල්ලේ නටවමින් සිටී. 
ජාතිවාදි හරණයවූ , නිසි දේශපාලන දැනුමෙන් යුතු පුරවැසි සමූහයක් ශක්තිමත් සමාජ ව්‍යාපාරයක් වටා එක්වූ කළ එය හොඳ පීඩන කණ්ඩායමක් වනු ඇත. අද දවසේ වමේ මෙහෙයුම විය යුත්තේ මේ වගකීමක් ඇති පුරවැසියා බිහි කිරීමේ මෙහෙයුමයි. එය සමාජවාදය බිහි කරන්නක් නොව ධනවාදය තුල දේශපාලන විඥානය වඩා හොඳින් කළමණාකරනය කළ හැකි ජනතාවක් බිහි කිරීමේ මෙහෙයුමකි. මේ මොහොතේ විය හැකියාවක් නැති සමාජවාදයේ සිද්ධාන්ත මෙලෝ යකෙකුට නොතේරෙන මහප්‍රාණ සිංහලෙන් දේශනා පවත්වන ගුහාගත බුද්ධිමය වාමාංශික ව්‍යාපාරත් , වත්මන් ජනප්‍රිය මැතිවරණ සිතියම් තුල පස්ස බිම ඇනගන්නා කරනම් ගසමින්, තම වටිනාකම් වේගයෙන් සිඳගනිමින් සිටින ජවිපෙත් එක අරමුණක් වෙනුවෙන් වහා පෙලගැසියයුතු මොහොත උදාවී අවසානය. කාලය වේගයෙන් ගෙවී යමින් ඇත. ජාතිවාදී අගල නැවත කපා ඇති බව අමතක නොකරන්න. හෙට දවසේදී ගඟ වේගයෙන් ආපස්සට ගැලීමට නියමිතය.

Sunday, February 4, 2018

පෙබරවාරි 11 වැනිදා උදෑසන






අද , පෙබරවාරි 4, එනම් 70වෙනි නිදහස් දිනය ගෙවී යමින් ඇත. තව සතියකින් පෙබරවාරි 11වැනිදා උදා වනවිට මෙරට තවත් පළාත් පාලන මැතිවරණයක් අවසන්වී තිබෙනු ඇත. පෙබරවාරි 11වැනි දින අරුණලු උදාවීමට සතියකට මත්තෙන් අපි මේ ගෙවමින් සිටිනුයේ මෝහනීය  කාලයකි. 2015 අගෝස්තුවෙන් පසු රජ පුටු ටික ඔවුන්ට භාරදී අපි ගේ මුල්ලේ පුටුවට වැටුනෙමු. එදායින් පසු මේ ගෙවී යමින් ඇත්තේ නැවතත් අපිට රජ පුටුවල ඉඳගනිමින් යම් මහන්තත්වයකින් යුතුව වටපිට බලමින් සිටිය හැකි කාලයකි. මන්ද අපි ඉදිරිපිට තවත් මැතිවරණයක් ලඟ ලඟ එන බැවිනි. ඉදින් එතුමන්ලාගෙන් අපිට රජ සැලකිලිය, කරවටක් පොරොන්දුය. ඇසෙන හැටියට 11වැනිදායින් පසු ගම දිනනු ඇත, ගම සුරපුරයක් වෙනු ඇත , දූෂණය නම් වචනය ශබ්ධකෝශයෙන් අතුගෑවී යනු ඇත. එහෙයින් අපි මේ පසු කරමින් සිටින්නේ දිනුම් කණුව කරා දිවෙන අවසන් මයිල කිහිපයයි. ඉතින් මා ප්‍රිය ඡන්ද දායකයිනි, අපි නටමු , ගයමු, ප්‍රීති වෙමු. 10වැනිදා උදෑසනින්ම ගොස් ඔබේ පරමාධිපත්‍යයේ කතිරය ගසා, ඔබේ මහා බලයේ පෑන් පහර ගසා ඔබ දිනවනුයේ ඔවුන් නොව ඔබමය. අපේ රජ පුටු භාර දෙන්නේ අපේ සේවකයන්ටය, උන් එය දිස්නය දෙන තෙක් මදිනු ඇත, පාට තවරනු ඇත , මකුළු දැල් බඳිනට නොදී දූවිලි පිසිනු ඇත. උන්ගේ මහන්සියෙන් අපට තවතවත් සුව පහසුවෙන් හිඳීමට හැකිවනු ඇත. අපි රජ වනු ඇත නැවතත්, මේ සිටිනවාටත් වැඩි තේජසින්. මේ අපි සිටිනා මෝහනයේ මායාවයි.

දශකයට අධික කාලයක් තිස්සේ අපි ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය අඩු කිරීමට මාන බලමින් සිටිමු. නමුත් එය සිදුවී නැත. උන් විඳින රජ සැප අපි වෙනුවෙන් දැන් අතහරිතැයි, දැන් අතහරිතැයි විශ්වාස කරමු. නමුත් උන් අත්හල සැපක් නැත. උතුරු නැගෙනහිර අර්බුධය විසඳනු වස් පිහිටවූ පළාත් සභා සුදු අලියෙක් බව ඉපදුන දා සිට අසා ඇත. නමුත් ඒ අලියා තවමත් සුදුය. ජාතික ප්‍රශ්නය එහෙමමය. පාර්ලිමේතුවට දූෂිතයන් අවැසි නැති බවට අපි හඬගා කියද්දී උන්ද දෑත් ඔසවා එකඟවත්වය පල කළහ. අපේ උන් දූෂිතයන් ඡන්දයෙන් පරදා ගෙදර යවන්නට තැත් කරද්දී, හොර පාරෙන් උන් නැවතත් පාර්ලිමේන්තුව තුලට වැද්දගත්තේ නිකම්ම නොව ඇමති කම්ද පුදමින්ය. මේ පුංචි රටකට ඇයි මෙතරම් ඇමති මණ්ඩලයක්, ඇයි මෙතරම් විශාල පාර්ලිමේන්තුවක් අසද්දී අලුත් ව්‍යවස්තා යෝජනා එන්නේ  225, 280ටත් එහා යවන්නටය. තතු එසේ වෙද්දී සතියකට පසු අරුණලු උදාවනවිට පළාත් පාලනයට 4000කටත් අධික අමතර සභිකයන් එකතු වීමට නියමිතය. ඒ සියලුදෙනා පෝෂණය කිරීම අපේ කරමත පැටවෙනු ඇත. මෙතරම් කුඩා රටක පාලක තීරුව දිනෙන් දින පුලුල් වද්දී පාලිත තීරුව දිනෙන් දින අමතර බරක් කර ගසනු ඇත. ඒ නිසා,

සහෘදයනි එන්න
11වැනිදා උදෑසන මල් පිපේදැයි බලන්න
උඹලාට පෙනේවි මුලු ගහම වසාගෙන,
පැතිර ඇති මල් පොකුරු නොව පිළිල ගොන්න
එය දුටු විටවත් යයිද තේරුම්,
මේ සියලු පක්ෂ,
අපේ අන්තිම ලේ කලඳ දක්වා උරාබොන බව
ඒ නොදැනෙනා සේ අපි,
මාරුවෙන් මාරුවට අපේ පෑන් පහර උන් ඉදිරියේ ගසන බව
පරම බලයක් අපි සතුව ඇති බවත්,
එය නාස්ති නොකර කතිරයක් සේ සලකුණු කල යුතු බවත්,
කුඩා කල සිට මට උගන්වයි, 
දැනුදු සජ්ජායනා කරයි දසතින්.
එනමුත් මට නම් දැනී නැත මේලෝක පරම බලයක්
ආවට පසු ඡන්ද පොලෙන්, 
ඇත්තේ දම් පැහැති පැල්ලමක් පමණයි සුලැගිල්ල මත
එයත් මැකී යයි දවස් දෙක තුනක් ඇවෑමෙන්.
ඉතින් කුමක්ද විසඳුම කියා මගෙන් නොඅසන්න.
මා මේ ලිව්වේ ප්‍රශ්නයේ ඉතා කුඩා කොටසක්ය.
ප්‍රශ්නය A4 කොල හත අටක් දිගය. 
ඒ නිසා 11වැනිදා උදේ වන විට අමතක නොකරන්න,
පිළිතුර තවමත් සෙවිය යුත්තක් බව.

Saturday, February 3, 2018

කූඹියෝ ලොකු ද?






"උඹ මොනවද බොන්නෙ ?"
"උඹ මොනව බිව්වත් මෙහෙ තියෙන්නේ ප්ලේන්ටී විතරයි"

පසුගිය වසර 5,6ක් තිස්සේම ලාංකික ටෙලි නාට්‍ය රසික ප්‍රජාවට සිදුවූ තිබෙන්නේ මේ සන්තෑසිය බව අමුතුවෙන් කිවයුතු නොවේ. අපි කෙතරම් රස වර්ග වලට කැමැත්තෙන් සිටියද අපිට බොහෝ විට රහ බලන්නට ලැබුනේ සීනි නොදැමූ, කහට ගතියක් ගෑවිලාවත් නැති, නිවී ඇල්ව ගිය තේ කෝප්පයක් බඳුවූ ලාචෝරු , එදා වේල ටුවර්ස් ටෙලි කතා ගොන්නක්ය. අතරින් පතර අති විශිෂ්ඨ උත්සහායන් නොතිබුනාම නොවේ. නමුත් බොහෝවිට වුනේ පෙරකිව් ඇල්මැරුනු නාට්‍ය ගොන්නක් මැද ඒ වටිනා උත්සහයන් ප්‍රේක්ෂක අවදානයෙන් සැඟව යාමය. එවන් කාලයක කූඹියෝ යනු සැමගේ සිත් සතන් නොසිතූ පරිදි දිනාගන්නා ටෙලි සිත්තමක් බව තහවුරු කිරීමට අමුතුවෙන් අටුවාටිකා ලිවියයුතු නොවේ. පුංචි තිරයෙන් ඈත්ව සිටි බොහොමයක් දෙනා නැවතත් රූපවාහිනී තිරය ඉදිරියට ගෙන එන්නට කූඹින්ට හැකිවූ බව නොරහසකි.  එය මේ වෙද්දී මෙරට ජනප්‍රියම, වැඩිම දෙනා නරඹන නාට්‍යය නොවුනත්  තරුණ ප්‍රජාවන්හී ප්‍රධාන මාතෘකාවක් බවට කූඹියෝ පත්ව තිබේ. ඒ ප්‍රජාව වනාහී බොහෝ විට සමාජ ජාල තුල ඉතා සක්‍රීය පිරිස්ය. ඒ නිසා social media අස්සේ කරක් ගසනා ඕනෑම එකෙක් කූඹින්ව දනී. නමුත් එයින් පිට ඉන්නා හෝ තරුණ විය ඉක්මවූ බොහෝ දෙනෙක්ට කූඹියෝ තවමත් ගෝචරවී නැති බව නයියාට සිතේ.

පොඩි පූර්විකාවක් වගේ ලියන් ඇවිත් එක පාරටම හිතුනා භාෂා විලාසය මාරු වෙන්න ඕනි කියලා. මොකද කූඹියෝ වගේ හිතේ ලොකු ඉඩක් ගත්ත නිදහස් නිර්මාණයක් ගැන කතා කරද්දි භාෂාවත් නිදහස් වෙන්න ඕනි. ඇත්තටම කූඹියෝ අපිට වැදුනේ ඇයි. ඒකට ගොඩක් හේතු තියෙන්න පුලුවන්. මට හිතෙන්නේ ප්‍රධානම හේතුව වුනේ මුල කොටස් දහය පහළවේ  තිබ්බ සිදුවීම් ටික. ඒ සිදුවීම් පහුගිය කාලයේ බිහිවුනු කිසිම නාට්‍යයක තිබුනේ නැති දේවල් ටිකක්.  අඩුගානේ පහු ගිය දශකයේවත් හිටියේ නෑ මෙහෙම character එකක්. අපරාධකාරයෙක් උත්කර්ශයට නංවන , ඒ අපරාධකාරයා සිරා පොරක් ලෙස වර්ණනාත්ම දෘෂ්ටිකෝනයෙන් ප්‍රේක්ෂක ඇස් ඉස්සහට ගෙන ඒමක් ලංකාවේ වෙලා නැතුව ඇති. එහෙම නොවෙන්නේ ගොඩක් වෙලාවට අපේ සංස්කෘතියත් එක්ක. ආගමික මතවාද දැඩි ලෙස කාවැදුණු අපේ සංස්කෘතිය තුලින් කවදාවත් අපරාධකාරයෙක් හෝ අනුන්ව පෙලලා ජීවත් වන්නෙක් උත්කර්ශයට නංවන්න ඉඩක් දෙන්නේ නෑ. නමුත් ඇත්තටම අපේ ජීවිතේ අහුමුලු වල මේ වගේ චරිත හැංගි හොරා ජීවත් වෙනවා. අපේ ගම්වල ජීවත් වෙනවා හිත හොඳ හොරු, මැරයෝ. එහෙමත් නැත්නම් ලොකුවට දූෂණ වංචා කරන දේශපාලකයෝ. මේ උදවිය ඒ වැරදි දේවල් කලාට ගමේ මිනිස්සුත් එක්ක හරිම හිතවත් කමෙන් ජීවත් වෙනවා. ඔවුන්ට ආදරෙන් සලකනවා. ඔවුන්ගේ හද ගැස්ම , ජීවන විලාසයත් එක්ක බද්ධ වෙන්න දන්නවා.ඒ නිසා එලිපිට කියන්න නොගියත් මිනිස්සු හිත යටින් ඒ චරිත වලට ගොඩක් මනාපයි. සංස්කෘතික හා නීතිමය තත්වයන් උඩ වැරදිකරුවන් වන මේ චරිත වලට තමන්ගේ ඇති කැමැත්ත කවුරුත් හෙලිකරන්නේ අඩුවෙන්.ඉතින් ඒ ගතිය අපේ කලා නිර්මාණ වලත් එහෙමමයි. ගොඩක් වෙලාවට රූප මාධ්‍යයේ එහෙමයි. ඒ නිසා අපේ නිර්මාණ වල හැම විටම වගේ ඉදිරියට ගේන්නේ අර කිව්ව අපරාධකාරයො නැත්නම් ගේම්කාරයො නිසා පීඩාවට පත්වෙන චරිත වල දුක. ඔවුන් හොටු පෙරන් අඬන , නැත්නම් පොලවෙ අත ගගහා සාප කරන වගේ දර්ශන. ඒ අතර අපරාධකාරයා නැත්නම් ගේම් කාරයා, රැවුල වවාගත්ත , කැත,  දරුණු, කිසිම ඉගනීමක් නැති හිතක් පපුවක් නැතු දුෂ්ටයෙක් විදිහට. නමුත් බටහිර බිහිවන නිර්මාණ මේ විදිහට එක් අන්තයකට සීමා වෙන්නේ නෑ. ඔවුන්ගේ ගොඩක් නිර්මාණ තියනවා අපරාධකරුවා උත්කර්ශයට නංවන. ඔහුගේ දැනුම ගැන , තීක්ෂණ බුද්ධිය ගැන අපිව පුදුම කරවන මේ නිර්මාණ වලින් අපි ආදරය කරන ගේම් කාරයො බිහි කරනවා. ඒ කරන්නේ ඔවුන්ගෙන් පීඩාවට පත්වෙන පාර්ශවයේ දුක හංගමින්. මේ අත්දැකීම අපේ නිර්මාණ ප්‍රවේශයන් වලට සෑහෙන අලුත්. කූඹියෝ තුල අපිට හමුවෙන්නේ අන්න ඒ decent ගේම් කාරයා. එතකොට අපෙන් සැඟව යන්නේ ඔහු නිසා අගතියට පත්වෙන පාර්ශවයේ දුක වේදනාව. 

අනික් කාරනය අපිට මේකේ ලංකාවේ 99%ක්ම නිර්මාන වල මුනගැහෙන පවුල මුන ගැහෙන්නේ නෑ. ඒ කියන්නේ තාත්තා, අම්මා, දුව, පුතාල දෙන්නා එකට වාඩි වෙලා බත් කන, නාහෙට අහන්නේ නැති පුතාට බනින අම්මා, හොර ලව් තියන කෙල්ල, ඒ දුව නිසා අඬන අම්මා , සැමියගේ අයතා සම්බන්ධයන් හෝ මහ රෑබෝවෙනකල් ගෙදර එන්නේ නැති එක ගැන පැමිණිලි කරන බිරිඳ ,ඔය වගේ පහුගිය කාලේ බිහි වුනු එදාවේල ටුවර්ස් නාට්ටි කෑලි වල තිබ්බ මේ වාත වෙන පවුල කූඹියෝ වල නෑ. ඒකත් බටහිර නිර්මාණ වලට ආශක්ත වුනු තරුණ පරම්පරාව කැමති දෙයක්. ඔය පවුලේ ගැටුම් ඉවරයක් නැතිව උලුප්පලා පෙන්නන විකාර සහගත trend එක අපේ නිර්මාණ කලාවට ගෑවුනේ ඉන්දියානු පල් හෑලි ටෙලි නාට්‍ය වලින් වෙන්න ඕනි. ඒ වගේ නිතර ගැටුම් ඇතිවන ආතතිගත පවුල් සංස්ථාවන් දිහා කම්මුලේ අතගහගෙන බලන්න අපේ අම්මලාගේ පරම්පරාවේ උදවිය කැමති වුනත් අපේ තරුණ පරම්පරාවනම් කැමති නැති බව පැහැදිලියි.

තුන්වෙනි කාරනාව මේකේ අපිට හම්බෙන ජෝකර්. ඇත්තටම එහෙම ජෝකර් කෙනෙක් මේකේ නැහැ. ඒ ජෝකර් වචනේ මම ගන්නේ පහුගිය කාලේ පුරාම බිහි වෙන නාට්‍ය වල ජෝකර් කෙනෙක් ඉන්න නිසා. කතාවට කිසිම අදාලත්වයක් නැති මෝඩ චූන් දෙබස් ටිකක් දාලා කතාව දික් ගස්සන්න භාවිත කරන ජෝකර් කෙනෙක් මේ හැම නාට්‍යයකම ඉන්නවා. හුදෙක් සම්ප්‍රප්පලාප විකාර සහගත ඉරියව් වලින් කියවන මේ ජෝකර් දැන් කල් ඉකුත් වෙලා කුණු ගඳ ගහන චරිතයක්. නමුත් කූඹියෝ වල අපිට හම්බෙන , අපිව හිනස්සන චරිතේ එහෙම කතාව දික් ගස්සන්න භාවිත කරන , උඩින් පහත් වෙන චරිතයක් නෙවී. ඔහු මේ නට්‍යයේ ප්‍රධාන නලුවෙක් වෙන ප්‍රියන්ත මහ-උල්පතගම. ප්‍රියන්තගේ චරිතේ තමයි මේ නාට්‍යයේ ලබැඳියන් 80%කමගේම හිත අමන්දානන්දයට පත්කරපු චරිතෙ. ජෝකරයෙක් නොවී අපිව හිනස්සනේ කොහොමද කියලා ඔහු අපිට පෙන්නුවා. අපිව පුදුම කෙරෙව්ව ඔහුගේ රංගන කෞශල්‍යයෙන්. ඒ තරමට අපිව හිනස්සන්න පුලුවන් ප්‍රියන්තට අපිව අඬවන්නත් පුලුවන් කියලා කතාවේ අන්තිම හරියට එද්දි වැටහෙනකොට අපි තව තවත් ඔහුට ලංවුනා.

හතර වෙනි කරුණ වෙන්නේ අපිට කූඹියෝ වල හම්බ්වෙන්නේ නෑ ලව් කරන තරුණ ජෝඩු. අධ්‍යතනයේ බලන බලන හැම කතාවෙම ඉන්නවා තමන්ගේ සම්බන්ධය අමාරුවෙන් පන ඇද ඇද ගැටගහගෙන යන තරුණ ජෝඩු. කොණ්ඩෙ පාට කරපු කෙල්ල. එයාගේ පස්සෙන් හැපි හැපි යන කොල්ලා. මුන් පාරවල් ගානේ රණ්ඩු වෙමින්, ෆෝන් එකෙන් රණ්ඩු වෙමින්, කඩවල් ගානේ තොඳොල් වෙමින් ගලාගෙන වාත ලව් එක අපිට කූඹියෝ වල හම්බවෙන්නේ නෑ. විරුද්ධ ලිංගිකයන් අතරෙ තියන මේ ආතති සහගත ලව් එක රැකගන්න ඔවුන් දෙදෙනා සහ උන් වටේ ඉන්න පිරිස ගහන ගේම අවුරුදු ගානක් තිස්සේ බලලා අපි හෙම්බත් වෙලා ඉවරයි. ඒ මදිවට ගොඩක් music videos වල තියෙන්නේත් ඔය කතන්දරේමයි. ඒ වෙනුවට අපිට කූඹියන් තුල හම්බවෙන්නේ පිරිමි දෙන්නෙක් අතරෙ තියන සම්බන්ධයක්.
ඒ කිව්වේ sex කිරීමේ උවමනාවෙන්, ළමයි හැදීමේ උවමනාවෙන් ගොඩනැගුණු ආදර සම්බන්ධයක් නෙවී. තමන්ගේ ජීවිතය ගැටගහගන්න, එකිනෙකා පෝෂණය කරගන්න , දැනුම ලබාගන්න ගොඩ නැගෙන පිරිමි-පිරිමි සම්බන්ධයක්, ආදරයක්. ජෙහාන් සහ ප්‍රියන්ත අතර තියන මේ chemistry එක අපිව අර ගෑනු-පිරිමි ලව් කතා අස්සේ තිබ්බ හෙම්බත් වුනු ආතතිසහගත විකාරයෙන් මුදවනවා. කොල්ලො දෙන්නෙක් සෙට් වෙලා ජීවිතේ ගැටගහන්න දරන  උත්සහයේ තියන ලස්සන. උන්දෙන්නා තමන් අතර වෙන මතභේද සමනය කරගන්නා ආකාරය සරලව කියනවනම් කොල්ලො දෙන්නෙක්ගේ තියන බොක්කෙ ෆුල් ෆිට් එක කූඹින් තුල අපිට මුන ගැහෙනවා.උන්ගේ ජීවිතේ අනුන්ගේ sex fantasy හෝ තමන්ගේ sex fantasy වෙනුවෙන් කඩප්පුලි වැඩ කරලා  නාස්ති වෙන විකාර සහගත ක්‍රියාවලිය නෑ. එලෙසින්ම මේකේ පෙම්වතියක් විදිහට අපිට මුන ගැහෙන යුරේනිත් ලංකාවේ නාට්‍ය වල අපිට මුන ගැහෙන සාම්ප්‍රදායික පෙම්වතිය නෙවී. ඇය ඊට එහා ගිය පෞර්ශයක් තියන, ධනාත්මක සහ සරාගී චරිතයක්. ඒක කොටටඇඳලා ඇඟ පෙන්නලා ගන්න හදන සරාගී කමක් නෙවී. 

ඒ කාරණා සියල්ල අතරෙ මෙහි සිටින සියලුම චරිත වල රංගන ප්‍රතිභාව මතක් නොකරම බෑ. ජෙහාන්ගෙන් පටන්ගෙන ,අපිට මුන ගැහෙන වාමාංශික නායකයා, මනු වර්න ඇතුලු පිරිසගේ දක්ෂතාව අපිව කූඹියොන්ට ආදරයෙන් බන්දනවා. ඒ සියලු දෙනා එකට ගොනු කරපු ලක්මාල්ගේ සහ දමිතගේ වික්‍රමයට අපේ ප්‍රනාමය. මේ සියලු කාරනා මැද නයියාට හිතෙන පස්වෙනි කාරනයක් තියනවා,
ඒ තමයි කූඹියෝ වටා ගොඩ නැගුනු marketing campaign එක. ලක්මාල් කිහිප විටකම කිව්වේ ඔවුන්ට advertising වෙනුවෙන් වියදම් කරන්න තරම් සල්ලියක් තිබුනේ නැති බව. සල්ලි වියදම් නොකර හරි ලක්මාල්ගේ හිතවතුන් ලකා වෙනුවෙන් ඒ ගේමට බැහැපු බවයි නයියාගේ නිරීක්ෂණය. කූඹියෝ එලියට එන්න සති දෙක තුනකට කලින් ඉඳන්ම සමාජ ජාල හරහා මේ පිලිබඳ කනින් කොනින් කතා වුනා. මතක විදිහට චින්තා වරක් දාල තිබ්බ ලකා කිව්ව කතාවක් නිසා ඔහු මැරෙනකල්ම කූඹියෝ නොබලන බව. මේ ප්‍රකාශය අතිශය ප්‍රචාරන වාදී එකක්.කොහොමත් චින්තා කියන්නේ marketing අපි බලාපොරොත්තු නොවෙන අවස්තා වල පාවිච්චි කරන පොරක්.  ඒ වගේම කූඹියෝ කියලා ලංකාවේ පළවෙනි TV series එක දැන් ITN එකේ පෙන්වනවා කියලා හා හූවකුත් හීනියට පැතිර ගියා. මේ TV series කියන වචනෙට ආසක්ත උනු බොහෝ දෙනෙක් කූඹියෝ බලන්න පෙලඹුනා.. නාට්‍ය පටන්ගන්න කලින්ම බොහොම සූක්ෂම විදිහට මේ campaign එක පටන් අරගෙනයි තිබුනේ. නාට්‍ය පටන් ගත්තට පස්සේ සමාජ ජාල හරහා බිහි වුනු විවිධාකාර අංශ හරහා කූඹියොන්ට විශාල ආකර්ෂණීය ප්‍රචාරයක් ලබාදුන්නා. මේක හේතු වුනා ජීවිතේට සිංහල නාට්‍ය නොබලන බොහෝ තරුණ ප්‍රජාවක් කූඹියෝ වෙත ගෙන්වගන්න. නමුත් ඔවුන්ව රඳවගන්න පුලුවන් වුනේ කූඹින්ගේ තිබ්බ නිර්මාණ කෞෂල්‍යය නිසාම තමයි. මේ ප්‍රචාරනය ඉතා ධනාත්මක දෙයක් විදිහටයි නයියා දකින්නේ. ලකාට නම් මේ ප්‍රචාරය දෙන්න මුල ඉඳලම ඔහුගේ හිතවතුන් මහන්සිවුනාට සැකයක් නෑ. සල්ලි අතින් වියදම් නොකර මේ නව මානයන් හරහා කෙරෙන ප්‍රචාරයන් බොහොම effective. කොහොමත් තමන් හඳුනන හෝ නොහඳුනන කෙනෙක්ගේ හොඳ වැඩක් සඳහා ලාබ ප්‍රයෝජන නොතකා , සමාජ ජාල හරහා ගොඩ නැගෙන මේ එකතුව හරිම ලස්සන ඉදිරිගාමී එකක්. ඒක ඉස්සරහට තව තව දියුණු වෙලා ලෝකය කලබල නොකර , ලස්සන කරනවනම් ගොඩක් වටිනවා.

අවසාන වශයෙන් කූඹියෝ ලොකුද?..ඔව් මේ කූඹි ටික ලොකුයි. කතාව , රංගනය , අධ්‍යක්ෂණය , කැමරා අධ්‍යක්ෂණය, ප්‍රචාරනය පැත්තෙන් පෙන්නුව ධනාත්මක දේවල් පැත්තකින් තිබ්බත් ලාංකීය සබුද්ධික  ටෙලි රසිකත්වය ආපහු රූපවාහිනිය ඉස්සරහ වාඩි කෙරෙව්ව එක නම් ලොකුම ලොකු වැඩක්. ලකාට අන්තිමට කියන්න තියෙන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාරෙන් දෑස් අන්ධ කරන් දවස ගානේ කතාව ලිය ලිය TV එකේ පෙන්නන තැනටනම් වැටෙන්න එපා සත්තලන්. කූඹියෝ season 2  එකක් කරනවනම් පරිස්සමට වෙලාව අරගෙන කරපන්. ජයවේවා.