Saturday, May 21, 2016

නයියාගෙ කෙටි කථාව - වතුර බෝතලය




සුදු පැහැති Honda FIT රථයක් බසය පසු කරන්නට තැත් කරන්නේ දැන් බොහෝ වෙලාවක සිටය.බම්බලපිටියේ පටන්ම ඇති දැඩි මාර්ග තදබදය තුල සෙමින් සෙමින් පැයක පමණ වේලාවක් තිස්සේ ගෑටූ රථයට දැන් ඇති ලොකුම අභිප්රාය මාතර කොළඹ බස් රථයට ඉස්සර කරගන්නා එකය.නමුත් බස් රියදුරා නොවේ එයට ඉඩ දෙන්නේ.ඉකමනින් ගමන් කිරීම සදහා ලක්ෂ ගානක් වැය කරලා හැමෝම ලොකු ලොකු කාර් ගත්තත්, පාරට දරන්න බැරි තරම් වාහන ගොඩක් ඇති නිසා හැමෝටම යන්නට වී තිබෙන්නේ ගාටමින් නොවේදැයි බස් රථය ජනේලය කෙලවරක වාඩි වී Honda vs Leyland ගැටුම දෙස බලා සිටින සිතුම්ට සිතේ.සිතුම්ද දැන් කාලයක් තිස්සේ FIT එකක් ගැනීමට සිහින දකිමින් සිටින්නේය. තමන් පසෙකින් එන රථය white orchid pearl color එකක් විය යුතුය.ඔහුගේ ආසාව ඇත්තේ Milano Red color FIT එකකටය. නමුත් දැනට ඇති ආර්ථික ගැටලු සමග බලනා කල එය සිහිනයක් පමණකි...........ගාටමින් පැමිණි වාහන පෙල දැන් විලියම් හන්දිය පසු කරමින් දෙහිවල දෙසට ඇදෙමින් පවතී. විලියම් හන්දියෙන් මගීන් නග්ගවා ගැනීමට බස් රථය නැවැත්වූ ඇසිල්ලේ බසය පසුකර ගන්නට සුදු පැහැති FIT රථයට හැකිවියකාර් එකේ රියදුරාට කෙතරම් ලොකු සතුටක් දැනෙන්නට ඇත්දැයි සිතුම්ට සිතුනේ කාර් එක පිටුපස ලස්සනට තබා ඇති බෙල්ල නටවන සෙල්ලම් බල්ලන් රැලගේ හිනාව දුටු විටය.කාරයේ පිටුපස බෙල්ල වනන බල්ලෝ 6ක් පමණ වූ අතර උන් ඔලුව වන වනා ඔලොක්කුවට හිනා වෙන්නේ පරාජයට පත්වූ බස් රථයේ රියදුරාට  වියයුතුය.සමහරවිටෙක උන් හිනාවෙන්නේ Milano red color FIT එකේ සිහිනය  බොදව යමින් බස් රථයේ දාඩිය ගලමින් සිටින තමාට වෙන්නත් පුලුවන් බව සිතුම්ට හිටි හැටියේ සිහිවුණි. අනේ දෙවියනේ අපි පවු නැද්ද කියා සිතුම් බස් රථයේ සවි කර තිබූ දේව රූප පෙල දෙස බැලීය.ලේසි නැත, දේව සභාවම එතන සිටිති.දේව රූප වටේට සියලු පැහැයන්ගෙන් යුත් ආලෝක විහිදමින් චූටි චූටි bulbs මහ ගොඩක් නිවි නිවී පත්තු වේ. එලිය දෙස එක එල්ලේ බැලූ සිතුම්ගේ ඇස්  නිලන්කාර  වී  ගියාක් මෙනි.

දේව සභාවේ ආලෝක පෙලහරින් සිතුම්ගේ සිත මුදා ගත්තේ එක් වරම On වූ බසයේ TV සහ speakers සැට් එක නිසාය.මුලින් සිතුම්ට සිතුනේ ලෝකය කඩා වැටෙන්නට යන බවය. තරම් සද්දයක් දාගෙන TV එකේ පෙනී සිටියේ Flash back පෙරටු කොටගත් චාමර රනවක නම් පොරක්ය.මගේ රත්තරන් යාලුවන්ගෙන් පුන්චි හූවක් යැයි කියමින් චාමර අයියා සින්දුව පටන් ගත්තේය."බැන්ජො රබන් සද්දෙ බන්ගලාවේ ඇහෙනවා" ……සින්දුව නැගලාම යන්නේ කන් දෙකත් හිල් කරගෙනය.කෙල්ලෝ සැට් එකක් සින්දුවට නටමින් සිටින්නේය.කෙටි හැට්ටයකින් හා දිගු සායකින් සැරසී සිටින උන්ගේ ඇදුම්ද දේව සභාවේ එලි මෙන්ම පාට පාටින් දිස්නය දේ.නමුත් සැමගේ ඇස් යන්නේ කෙල්ලන්ගේ ඇදුමේ පාටට නොව අක්කරයක තරම් පෙදෙසක් නිරාවරණය වූ උන්ගේ උදර පෙදෙසටය.Tamil  film වල ඉන්නා නිලියන්ගේ සාරිය අතරින් පෙනෙන  බඩවල් තරම් සුදුවට හා shape එකට නැතත් මේ බඩවලුත්  නරක  නැතැයි  සිතුම්ට සිතේ.
නැලවෙන  බඩවල් වල අතරමන් වී සිටි ඔහුගේ දැහැන බිදුනේ කිසිවෙකු විසින් ඔහුගේ උරහිසට දැමූ තට්ටුවකිනි.

"මල්ලි පොඩ්ඩක් එහාට යන්න පුලුවන්ද?..."

අවුරුදු 35 40 විතර පමණ පෙනුමැති මිනිසෙක් උරහිසට තට්ටුවක් දමනා ගමන් සිතුම්ගෙන් ඇසුවේය.තමන් ඉදගෙන සිටින්නේ සීට් එකෙන් බාගයකට වඩා අත්පත් කරගෙන බව වැටහුනු සිතුම් sorry කියමින් සීට් එකේ මුල්ලට ගුලි වුනේය.
බසය දැන් දෙහිවල හන්දිය පසු කරන ගමන්ය.කොන්දොස්තර මලයා ලගට පැමින විට මිනිසා මාතරට යෑමට ටිකට් පතක් ලබාගත්තේය.ටිකට් පත   කමීසයේ උඩ සාක්කුවට ඔබන ගමන් හෙතෙම තම කමීසයේ උඩ බොත්තම හැරියේ ඉවසනු නොහැකි රස්නය නිසා කටින් තම පපුවට පෙදෙසට හුලන් පාරක් පිඹින ගමන්.

"පුදුම රස්නයක් තියෙන්නේ නේද මල්ලි මේ දවස් වල..."
මිනිසා සිතුම්ගෙන් ඇසුවේය.සිතුම් මද සිනහවක් පා එය අනුමත කර පාර දෙසට තම මුහුණ හැරවූයේ නාදුනන බුවාලා සමග කතාවට යාම සිතුම්ට අල්ලන්නේ නැති දෙයක් හෙයින් විය යුතුය……පාරේ,  මිනිසුන් වේගයෙන් එහේ මෙහේ දුවතිඅවසන් වීගෙන යන දවසේ තම වැඩකටයුතු ඉක්මනින් නිම කර නිවෙස් වලට යාමට කාටත් හදිසි ඇති.සිතුම් තම ඔරලෝසුවේ වෙලාව බැලීය වෙලාව සවස  5.30යි. අධික වාහන තද බදය නිසා බසය ඉදිරිය ඇදෙනුයේ ඉතා සෙමිනි. …තම අසැල්වැසියා විටින් විට වට පිට බලන්නේ යමක් සොයන්නාක් මෙන්ය.ඔහුගේ ගෙල පුරා රූරා වැටෙන දහදිය කමීසය පොගවමින් ඔහුගේ පපුව හරහා උදරය දෙසට ගමන් කරයි.උදරය මතක් වූ සැනින් සිතුම් අමතකව ගිය TV එක දෙස බැලුවේය.බැන්ජො රබන් ගීය අහවරවී, කෙල්ලො සැට් එක ඉවත්ව ගොස් තිබුනේය.දැන් එහි ඉන්නේ තනියම කෑගසමින් සින්දු කියනා තට්ට චාමරයා පමණි.

"රස්නෙට කූල් වතුර එකක්,..කූල් බීම එකක්"....යැයි හඩ තලමින් වතුර බෝතල් කාරයෙක් ඔය අතරේ බස් එකට ගොඩ වුනේය.වතුර කාරයා දුටු හැටියේ තම අසල්වැසි මගියා  නැවත ක්රියාශීලි වෙමින් තම පසුම්බිය සොයමින් වතුර කාරයාට අතින් සන් කලේය.වතුර කාරයා දුටු විට මගියාගේ මූනේ ඇත්තේ පට්ටම සතුටකි.මිනිහට මිනිහා love  කරන කෑල්ල දැක්කමවත් මෙහෙම සතුටක් එන්නෙ නැතුව ඇති. බාග වෙලාවට මිනිහට ඇත්තේ කෑල්ලක් නොව බීරිදක් විය යුතුය.මේ වයසේ උන්ට ගෙදර ගෑනි දකිනවාට වඩා වතුරකාරයෙක් දකින එක සතුටක් වෙන්නට පුලුවන් බව සිතුම් දන්නේ තම ඔපීසියේ, බැදලා අවුරුදු 4,5ක් ගිය උන් කියනා කතා මතක් වුනු විටය.සිතුම්ගේ දෙතොලට කථා මතක් වී මද සිනහවක් නැගේ……මගියා සිට ඇත්තේ තද බල පිපාසයෙන් විය යුතුය.කූල් වතුර එකක් ඉල්ලු ඔහු වතුර කාරයාට රුපියල් 1000ක් දිගු කලේය.

"මාරු සල්ලි 60ක් නැද්ද මහත්තයා ? "

"නෑනෙ. 1000 විතරයි තියෙන්නේ මන් ලග..."  තම පසුම්බිය පිරිකසන ගමන් මගියා කීවේය.

"කමක් නෑ මාරු කරගන්න පුලුවන් වෙයි"..වතුර කාරයා පිටුපස දොරේ සිටි කොන්දා පෙන්වමින් බසයේ පිටුපසට ඇදෙන්නට විය.

"රස්නේට කූල් වතුර එකක්...කූල් බීම එකක්"........


මගියා වහාම වතුර බෝතලය කඩා ලොකු වතුර උගුරු 2,3ක් එක හුස්මට කටේ හලා ගත්තේය.මිනිහාගේ මූනේ අමුර්තය පානය කලාක් මෙන් සතුටකි. ඔහු සැනසුම් සුසුමක් හෙලුවේ ලෝකෝත්තර සත්‍ය මාර්ගය අවබෝධ වුනාක් මෙන් සහනයකිනි.තමන්ටත් වතුර ටිකක් බොන්නට ඇත්නම්.. හොරැහින් ඒ දෙස බලා සිටි සිතුම්ට සිතින....තතපර කීපයකින් මගියා කලබලයෙන් පසුපස හැරී ඕනෑකමින් බැලුවේය.ඔහු සොයනා දෙය නොදුටු හෙයින් ඔහු මදක් ආසනයෙන් එසවී නැවත බසයේ පිටුපස පරීක්ශාවෙන් බලයි.......ආ රුපියල් දාහෙ ඉතුරු, සිතුම්ට මතක් විය.සිතුම්ද මදක් පිටුපස හැරී බැලුවේ හරියට රුපියල් දාහ තමන්ගේ එකක් මෙනි.බස් රථයේ මගීන්  කීප දෙනෙක් හිටගෙන සිටින නිසා හරියට පිටුපස නොපෙනේ.නමුත් මගියා සැනසීමෙන් නැවත ඉදගත්තේ වතුර බෝතල් කාරයා තවමත් බසයේ සිටින නිසා වියයුතුය. කෙසේ නමුත් ඔහු තත්පර දෙකෙන් දෙකට පිටුපස හැරී වතුර කාරයා බසයේ සිටින බවට සැක හැර දැන ගනී. මේ මිනිසාට 60ක වතුර බෝතලයක් වෙනුවෙන් රුපියල් 1000ක් පරිත්‍යාග කිරීමට වන බව සිතුමට හොදටම sure ය.ඔය වතුර කාරයෝ , කඩල කාරයෝ ධාවනය වෙන බස් වලින් පැනීමට හෙන සූරයෝය. වේගයෙන් ධාවනය වන බසයකින් ඉදිරියට පැන, වේගයෙන් ඉදිරියට දුවගොස් තම සමබරතාව බෙල්ල කඩාගන්නේ නැතුව රැක ගැනීමට ඔවුන් සමර්ථය.ඉතින් වතුර බෝතල් 17ක් පමන විකුනලා ලබා ගත හැකි මුදලක් අතේ තිබෙනා වතුර කාරයාට ආයේ ඉතින් අද දවසට මහන්සි වීමට හේතුවක් නැත.ඔහුට කරන්නට ඇත්තේ බස්යේ පසු පස දොරෙන් පැන පාරේ යන සෙනග අතරින් සැගව යාම පමණි.මගියා වාඩිවී සිටින්නේ ඉස්සරහම නිසා කෝමත් අවුලක් නැත.කොහොමත් ඌට තිබුනේ මහ හොර ගෙඩියෙකුගේ මූනක්.  1000 අමතක කරලා හිත හදා ගනින් අයියේ.. ..සිතුම් හිතෙන් තම අසල්වැසි මගියාට කීවේය.
නමුත් එසේ වූයේ නැත.වතුර කාරයා නැවත මගියා ලගට ආවේය.

"සල්ලි මාරු කරගන්න උනේ නෑ මහත්තයා  .කාගෙ ලගවත් 1000ක් මාරු කරන්න නෑ."

" එහෙමද...මන් බෝතලෙන් භාගයක්ම බිව්වනේ....ඔයා මාරු කරන්න පුලුවන් කියලා කිව්ව නිසා මන් බෝතලේ කැඩුවේ."

දැන් ඉතින් බඩු හරිය. මාරු සල්ලි නැතිව එන මගීන් හා කොන්දන් අතර, මගීන් හා මෙවැනි වෙලෙන්දන් අතර වචන හුවමාරු ඇතිවීම ඉතා සුලබ දෙයකි.අනික ඔය බස් වල නගින බඩු විකුනන උන්ගේ කටවල් වල කිසි චාරයක් ඇත්තේ නැති නිසා හොදවයින් අමතනු ඇති බව සිතුම්ට සිතේ

"ආ…, මහත්තයා ටිකට බිව්වද?......කමක් නෑ මොනවා කරන්නද?"

"නෑ නෑ අපි බහිමු මෙතනින්මන් කඩේකට ගිහින් සල්ලි මාරු කරන් ඔයාගෙ රුපියල් 60 දෙන්නම්."

මේ මොන විකාරයක්ද?. රුපියල් 60කට ඔච්චර මැරෙන්න දෙයක්දඕක නැතුව වතුර කාරයට ඉන්න බැරිදඅනික මේ ගල්කිස්ස…..මාතර යන එකා ticket අරගත්තටත් පස්සෙ රුපියල් 60ක් ගෙවන්න බස් එකෙන් බහින්නෙ.? අනික මේ වෙලාවට ආයේ මාතර යන්න සීට් තියන බස් අල්ලනව බොරු....මේ මිනිහට නම් පිස්සු රුපියල් 60ක් දෙන්න බස් එකෙන් බහින්න හදන්නෙ...... ඔය වතුර එකේ රුපියල් 60 අමතක කරල පලයන් බන්.වතුර කාරයාට කීමට සිතුම්ට සිතේ.

"නෑ නෑ මහත්තයා එහෙම බෑනෙ...මහත්තය මේ අතරමග බහින එක අපරාදෙ"

" වුනාට බෑනෙ මල්ලි...රුපියල් 60ක් කියන්නෙ ඔයාගෙ රස්සාවෙ ලබන්න පුලුවන් උපරිම. ගානක්නෙ.අපිට පොඩි වුනත් ඒක ඔයාට අනිවාර්යෙන් ලොකු ගානක්….අපි බහිමු"

මගියාගෙ උත්තරය හරියට සිතුම්ගේ සිතුවිලි වලටම පිලිතුරු සැපයුවා වගේයනියම චරිත දෙකක්නෙ.   අද කාලෙ ලොවෙත් මෙහෙම උන් හොයනවා බොරු…….නැති බව දැන දැනත් සිතුම් තම පසුම්බිය ඉවතට ගෙන තමන් ලග 1000ක් මාරු තිබේදැයි පරීක්ශා කලේය.   තමන් වටා සිටින මිනිසුන්ද එසේ තම මුදල් පසුම්බි හාරනු ඔහු දුටුවේය.

"කමක් නෑ මහත්තය...මහත්තය බහින්න ඕනි නෑ.වතුර ටිකක්නෙ..?.....වතුර කාරයා හිත හදාගෙන කීවේය.
මගියාගේ මුහුණේ සැබවින්ම කණගාටුදායක පෙනුමක් ඇදෙමින් තිබුණි.

" මල්ලි මන් ලග තියනවා මාරු 1000ක්......මන් මේ බෑග් එක අස්සෙම හොයල හොයලා හම්බුනේ.."...... වෙන මගියෙකුගේ කටහඩකි.

ඇසූ වතුර කාරයා හා මගියාගේ මෙන්ම වටේ සිටි උන්ගේද සිත්වලට සහනයක් ගලා ගිය බව සිතුම්ට පෙනුනා.

"බොහොම ස්තූතියි.."මගියා හා වතුර කාරයා දෙන්නත් එක්කම දෙවන මගියට තම සතුට පල කලා.

"මෙන්න මහත්තයා...ඉතුරු සල්ලි... මහත්තයාට ගොඩක් ස්තූති."....වතුර මල්ලි තම පාරිභෝගිකයාට හද පිරි සතුටින් කිවා.

ඔයාටත් ස්තූත්යි. මගියා පෙරලා වතුර මල්ලිට කිව්වා.

දෙන්න තම කෘතඥතාව පල කලේ තමතමන්ගේ මනුස්සකමට නේද,  කියල සිතුමට දැනුනා.මේ තෙරපෙන සෙනග  අතරේ, දාඩිය ගලන රස්නෙ මැද්දෙ දැනුන මනුස්සකම කූල් වතුර එකටත් වඩා සිසිලක් මුලු බස් එකට ගෙනාව.....වතුර කාරය බැහැල ගියා

සිතුම් මගියාට, හදවතින්ම නැගුන උණුසුම් සිනහවකින් සුබ පතල පාර දෙසට දෙනෙත් යොමු කලා.තවත් FIT එකක් බසය පහු කරගෙන ගියා.ඒක ඇතුලෙ හිටිය ලස්සන චූටි දුවෙක් බස් එක දිහා බලල හරි සුන්දර සිනාවක් පෑවා. සිනහව Milano Red නැති අයට දාපු සරදමක් නෙවී.මනුස්සකමින් පිරීගිය එකිනෙකාට ගරුකරනා සමාජයක් වෙනුවෙන් සුබ පතපු හිනාවක්.

  

7 comments:

  1. උද්දච්ච මිනිස්සු අතරේ එහෙම අය ඉන්න එක අහන්නත් සතුටුයි.ලස්සණට ලියලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම මේක මන් දැකපු සත්‍ය සිද්ධියකින්....මටත් ගොඩක් සතුටු හිතුනා ඒ දෙන්නගෙ හැසිරීම් විලාශයට

      Delete
  2. 😊😊😊😊😊 ela suddo... 😊😊

    ReplyDelete
  3. මේ කුඩා සිදුවීම ලොකු කතාවක් ලෙස ගොඩනැගීම හරි අගෙයි. ඔබේ දක්ෂතාවයට මගේ සැලියුට් එක!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරුණ

      Delete
  4. //මනුස්සකමින් පිරීගිය එකිනෙකාට ගරුකරනා සමාජයක් වෙනුවෙන් සුබ පතපු හිනාවක්.//
    දුක හිතෙන සිංදු , චාටර් අවසාන තියෙන කථා මම කියවන්නේ නෑ. හැමෝම කළු චරිතත් නෙවෙයි සුදු චරිතත් නෙවෙයි,හොද මිනිස්සුත් සමාජයේ ඉන්නවා..

    ReplyDelete