Sunday, May 27, 2018

දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය




අප සෑම විටම ජීවත් වන්නේ බාහිර පරිසරයක් සමගය. මම කියා පුද්ගලයෙක් අර්ථ දැක්විය හැකි වන්නේම මගෙන් පරිබාහිර ලෝකයක් ඇත්නම් පමණි. ඒ නිසා අප සෑම විටම  පවතින්නේ යම් ලෝකයක, පරිසරයක, කුලකයක හෝ රාමුවක අවයවයක් ලෙසය. ඒ ජීවත් වන ලෝකය තුල අපේ චින්තාවන් , බලාපොරොතු , අපේ වටහා ගැනීම් අපේ අර්ථ දැක්වීම් යනු අපේ කැමැත්ත මතම සිදුවන දේ නොවේ. එය තුල අපිට ඉහළින් ක්‍රියාත්මක වෙන අධිපති මතවාද හෝ ජනප්‍රිය මත්වාද, බොහෝ විට අපේ සිතුම් පැතුම් වලට බලපෑම් කරන්නේය, ඒවා හැඩගස්වන්නේය. එම මතවාද සමූහය විසින් අපව යම් රාමුවක් තුලට ලෙස කොටුකරගෙන සිටී.  ලෝකය සෑම විටම ක්‍රියාත්මක වෙන්නේ අපව යම් රාමුවක් තුලට ඇතුලත් කරගනිමින්ය. අධිපති හෝ ජනප්‍රිය ග්‍රහණයෙන් මිදී තම තමන්ගේ රාමුව හැකි තරම් පුලුල් කරගැනීමය අපිට කළ හැක්කේ.නමුත් මේ පුලුල් කරගැනීමේ හැකියාව සෑම කල්හිම පහසු වන්නක් නොවේ. නැතිනම් ඇතැම් කරුණු සම්බන්ධයෙන් පහසු වන්නක් නොවේ.තරුරසී ගේ "දේශ ද්‍රෝහියාගේ නිර්මල හෘදය" යනු එම අපහසු කාලයන් සහ කරුණුමය තත්වයන් තුල රාමු පළල් කිරීමට උත්සහ ගත් ජීවිත රැසක දුෂ්කර  මතකයන් අප හමුවේ දිග හරින ලියවිල්ලකි. මනරම් ලියවිල්ලකි. 

මිනිස් ලේ වැගිරෙන, මිනී කඳු ගොඩගැසෙන , මිනිසුන් සොයා ගත නොහැකි ලෙස අතුරුදන් වෙන කාලයන් පසු ගිය දශක 5 පුරා අපිට විටින් විට උදාවී ඇත. ඇත්තටම ඒවා වැගිරුණා, ගොඩගැසුනා, අතුරුදන් වුනා නොව වැගිරුවා, ගොඩගැසුවා සහ අතුරුදන් කළා ලෙස වෙනස් විය යුතු බව අපි හොඳ හැටි දනිමු. නමුත් ඒ ඒ කාලයන් වල ඒ ඒ කරුණු වල කතෲන්  කවුරුන්දැයි නිශ්චිතව කීමට අපේ දිව නැවෙන්නේ නැත. මේ දිව නොනැවීම සිදුවන්නේ අප වටා පවතින අධිපති සහ ජනප්‍රිය ධාරාවේ මතවාදයන් , නැතිනම් දෘෂ්ටිවාදයන් වල ප්‍රබලතාව අනුවය. ඒ ප්‍රබලතාවයන් පෙර සඳහන් කළාවූ ලේ පිපාසිත කාලයන් වල මර්ධනයන් දක්වා උත්සන්න වේ. ඒ නිසා දෙන ලද තත්වයන් තුල අප සිත් අරක්ගෙන සිටිනා මතවාදයන්, අර්ථදැක්වීම් , සිතීමේ පටිපාටීන්ම  යනු අපේ කැමැත්තෙන්ම හෝ අපේ අනුදැනුම ඇතිවම වූ නිෂ්පාදිතයන් නොවේ.

එවැනි ලේ පිපාසිත සමයන් තුල මෙන්ම ආර්ථික සංවර්ධනය නමින් සිදුවන්නාවූ මුදල් ගොඩගැසීමේ ජාවාරම් ජයට කෙරෙන සමයන් තුලද සෑම විටම රටේ යම් ජන කොටසක් ආන්තීකරණයට ලක්වන්නේය.  බොහෝ විට ඔවුන් අධ්‍යාපනයෙන්, බලයෙන් සහ මුදලින් පහළ තලයේ වූවන්ය. මේ ආන්තීකරණයට ලක් වන්නවුන් වෙනුවෙන් පෙනී සිටිනා ආන්තීකරණය නොවූ ජනතාව යනු තමන් වටා පවතින අධිපති බලයට යට නොවී, ජනප්‍රිය රැල්ලට ගසා නොයනා පුරවැසියන්ය. ඔවුන්ට එරෙහිව ඇති අධිපති සහ ජනප්‍රිය රාමුවල තීව්‍රතාව මත ඔවුන් පිස්සන්, කඩාකප්පල්කාරීන්, දේශද්‍රෝහීන් ලෙස ලේබල් කරනු ඇත. ලේ පිපාසිත සමයන්ගේ නම් ආන්තීකරණයට ලක්වූ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීමේ පාපයට ඔවුන් ත්‍රස්ථවාදීන් ලෙස හංවඩු ගැසෙනු ඇත. බොහෝ විට එවැනි  කාලයන් යනු මිනිසුන් සිතා මතා, තර්කානුකූලව වැඩ කරනා කාලයන් නොවේ. ඒ නිසා මහා අධිපති ප්‍රතිරෝධයක් හමුවේ, ආන්තීකරණයට ලක්වන සුලු කොටසක් වෙනුවෙන්  නැගී සිටින්නන් සීමිතය. ඒ සීමිත භාවය උපයෝගී කරගනිමින් අධිපති න්‍යායපත්‍ර ක්‍රියාවට නැංවෙන අතර, පොදු ජනයා කුලී හේවායන්ගේ සිට රණවිරුවන් දක්වාත්, දේශප්‍රේමියාගේ සිට දේශද්‍රෝශියා දක්වාත් වර්ග කරණු ලබයි. මේ වර්ග කිරීම කලින් කලට ඉදිරියටත් පසුපසටත් සිදුවෙයි. දිගින් දිගට සිදුවන එවැනි ක්‍රියාවලියක් තුල සිදුවන්නේ අධිපති ධාරාවට එරෙහිව නොනැගිටින්නවුන්, අධිපතියන් හා එක්වී නිදහස් අදහස් දරන්නන් පාගා දැමීමය.

දේශ ද්‍රෝහියාගේ නිර්මල හෘදය තුලින් තරුරසී එවැනි නිදහස් මතධාරීන් සමූහයකගේ ජීවිත අප හමුවේ විදාරණය කරයි. එම චරිත අති බහුතරයක් මේ මහා පොළව මත සැබවින්ම අරගල කළ මිනිසුන් විනා පබැඳූ චරිත නොවේ. ලෝකයේ සෑම කල්හිම අධිපති මතවාදයට එරෙහිව මිනිසත්කම වෙනුවෙන් නැගී සිටිනා පරාර්ථකාමීන් වූහ. එය මෙබිමටත් එක සේ අදාළය. ජනප්‍රිය කතිකාවන් තුල ඔවුන්ගේ නම් ඉස්මතු වෙන්නේ නැත. මන්ද ඔවුන් වැඩ කර ඇත්තේ රාජ්‍ය බලය ඇති පාර්ශවය වෙනුවෙන්වත් , කැරළිකාර පාර්ශය වෙනුවෙන්වත් නොවන බැවිනි. ඔවුන් සැම විටම වැඩ කලේ මේ දෙපාර්ෂවයේ ක්‍රියාකලාපයන්ට මැදිව සදා දුක් විඳිනා, හඬක් නැති මිනිසුන් වෙනුවෙනි. ඒ නිසා එවැනි පරාර්ථකාමීන්ගේ නම් ඉහත කී දෙපාර්ශවයේම සැමරුම් උළෙල වලදී අමතක කර දමනු ලැබේ.

තරුරසී සිය කතාව අප හමුවේ දිග හරින්නේ ක්‍රිස්තියානි විමුක්ති ධර්මය ප්‍රධාන මාවත කරගනිමිනි. සෙව්වන්දි නමැති කන්‍යා සොයුරියට මුන ගැසෙන ආදිත්‍ය නම් රැඩිකල් තරුණයෙකු නිසා ඇයට තමන් ජීවත් වන රාමුව පුලුල් කල හැක්කක් බවට ප්‍රක්ත්‍යක්ෂ වේ. නමුත් අප ඉහත කතා කල රාජ්‍ය අධිපති කතිකාව හා ජනප්‍රිය කතිකාවට අමතර තවත් මහා ප්‍රතිරෝධයකට ඇයට මුහුණ දීමට සිදුවේ. ඒ තම පැවිදි ලෝගුව විසින් එල්ල කරන ප්‍රතිරෝධයයි. මේ සියලු බාධක මැද තමන් සිටිනා රාමුව යම් තරමකින් පුලුල් කර ගැනීමට යද්දී ඇය මුහුණ දෙන මානසික ආතතීන් තරූ  අපිට මැන්වින් මුණගස්වයි. හඬක් නැති මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීම කරා වෙහෙසින් දිව යන ගමනේදී, පැවිදි ලෝගුවෙන් වැසුණු ඇගේ තරුණ හදවතේ ආදරණීය හඬ ආදිත්‍යට හොරෙන්, නමුත් ඔහු වෙනුවෙන්ම , හඬ නගයි සැමවිට. ඒ  හඬ නැගෙන භාෂාව ඉතා ඉවසිලිවන්ත සහ කාව්‍යාවත්මක එකකි.


"හතර වටින් යුධ ගිනිදැල් නැගෙද්දී මා සිටියේ අරුමැසි ප්‍රේමයේ ගිනිකන්දක් මාතුලම දරා ගනිමිනි. එය කොයි මොහොතේ හෝ පුපුරා යනු ඇතැයි නිරන්තරයෙන් බියගනිමිනි. ඒ ඇතුළාන්ත අරගලයෙන් යම් සහනයක් ලැබිය හැකි වෙතැයි යන සිතුවිල්ල සැනසිල්ලක් වී, ශෝකී සුසුම් අතරම වි‍යැකී යන බවක්ද දැනිණ. විදාරණය වන්නට නොව සිසිලනය වෙමින් හද ගැඹරෙහිම නිවී යන්නට ඉඩදිය යුතු ප්‍රේමයකි ඒ."
-14 පිටුව

කෘතියේ සෑම පරිච්ඡේදයක්ම ඇරඹෙන්නේ බයිබලයේ එන ප්‍රේම ගී වල උද්දෘතයකිනි. එය ආකෘතිමය වශයෙන් නැවුම් අත්දැකීමකි. එමෙන්ම ස්තාපිත ක්‍රිස්තියානි දහම හා සංස්කෘතිය පිලිබඳ යම් විකල්ප කියවීමක් කෘතිය පුරා දිග හැරෙන්නේයැයි සිතේ. ඒ සියල්ල අප හමුවේ තබනා ඉවසිලිවන්ත භාෂා හැසිරවීම සැබවින්ම අගනේය. ඒ ඉවසිලිවන්ත භාෂා හැසිරවීම තුලින් අපිට තර්කයෙන් විසඳිය නොහැකි, හැඟීම් පිළිබඳ මහා ප්‍රශ්න ගොන්නක් නිස්කාන්සුවේ විමසීමකට ලක් කිරීමකට අවස්තාව උදා කර ඇත. ලංකාවේ ජන වාර්ගික අර්බුධය නිරූපණය කරනා බරැති සලු පිලි, ආගම් වල එල්ලී ලෙලදෙන සාවද්‍ය සලු පට, එකින් එක ඉවසීමෙන් ලිහා වෙන් කිරීමට මෙය අවස්තාවකි.

ගිය සතියේ ලිපියෙන් කීවාක් මෙන් මෙරට ජාතික ගැටලුව හා සම්බන්ධ අතිශය වැදගත්  කරුණක් පවා තර්කාණුකූලව කතිකා කිරීමේ හැකියාවක් මෙරට ජන සමාජයට නැත. මන්ද එම අර්බුධය පිළිබඳ මතක, අත්දැකීම් සැබවින්ම වේදනාත්මක, කටුක සහ අප්‍රසන්න හැඟීම් වලින් පිරී ඇති නිසාය. එමෙන්ම ඊට ඉහළින් අධිපති උවමනා වෙනුවෙන් ඉතා තදින් ඔලුවට සවි කරන  ලද, ඝන සාවද්‍ය  මතවාදී කබොල්ලක් ජාතිවාදී හැඟීම් කුප්පමින් ඇති නිසාය. ඒ නිසා මේ කරුණු දේශපාලනිකව හෝ ඇකඩමියානු ලෙස ජනයාට වටහා දීම අතිශයින් දුෂ්කරව ඇත. තත්වය එසේ වෙද්දී ආන්තීකරණය වෙන ජනයාගේ හඬ , රුව අපේ ඇස් , කන් ඉස්මත්තට ගෙන ආ යුත්තේ කලාව විසිනි. කලාවේ හැඟීම් දැනවීමේ කෞශල්‍ය තුලින් අතිශය හැඟීම්බර අපේ අතීත අත්දැකීම් තුල අපිට අමතකව ගිය අනෙකාව අපට මුණගැසෙනු ඇත. කලාව වින්දනයෙන් එහාට ගිය වැඩබිමක් ලෙස භාවිතා කල හැකි බවට මෙවැනි කෘති දෙස් දෙන්නේය.


1 comment:

  1. මම අදයි මේ සටහන දැක්කෙ. ස්තූතියි දසුන් මේ කියවීමට.

    ReplyDelete