Saturday, July 7, 2018

කිරිහොද්දාගේ ප්‍රේමය






කිරිහොද්දා මගේ යාලුවෙක් බවට පත් උනේ 8 වසරේදීය. එතැන් පටන් අද දක්වාම මගේ ලඟම මිතුරෙකි. කිරිහොද්දා උසය, සුදුය. හරියටම කියනවානම් ඌට දවස් වල තිබුනේ Mr.Bean ගේ පෙනුමමය. කරන වැඩත් Beanගේ වැඩ මෙන්ම පිලිවෙලක් නැති සිනහ උපදවන ඒවාය. කිරිහොද්දාගේ මේ විකාර වැඩ නිසා ඌට විනෝදපාල කියා නමක්ද පටබැඳුනි. මා කිරිහොද්දා ඇතුලු මගේ ගමේ පාසලේ යහලුවන්ගෙන් වෙන්වී ගාල්ලේ ප්රධානතම පාසලකට ඇතුලුවූයේ A/L පන්තියේදීය. නමුත් සුපුරුදු පරිදි tuition ඉගෙනුම් කෙරුවාව සඳහා මම අම්බලන්ගොඩට පැමිණුනෙමි. එවිට සුපුරුදු ගමේ ගැන්සියත් සමග එක්ව දවසේ ඉතුරු පැය කිහිපය ගෙවා දමන්නට මට හැකිවේපාසල නිමවී අම්බලන්ගොඩට tuition සඳහා පැමිණීම තරමක් අසීරු කටයුත්තකි. බොහෝ විට අපි පන්තියට ගොඩ වන්නේ ගුරුවරයා පන්තිය පටන්ගන්නකොටම වාගේයඒ වෙලාවට පන්තියට ගොඩවන අපට ඉඳගැනීමට ඉතුරුවී තිබෙන්නේ පේලි දෙකක් පමණි. පන්තියේ පළමු පේලිය හා අන්තිම පේළියයිකාර්ඩ් එක මාර්ක් කලාට පසු සර්ගේ දෑසට හසු නොවීම සඳහා දෙකට තුනට නැවී අන්තිම පේලියට පස්ස ඔබා ගැනීම යනු සෑහෙන ගේමකි. වැරදිලාවත් පොර දුටුවොත් අපට ඉස්සරහම පේලියට promotion එකක් ලැබෙන බැවිනි. පන්තියේ ඉස්සරහම පේලියේ ඉඳගත්තා යනු බඩේ බිත්තර තැම්බෙන කේස් එකකි. වැරදිලාවත් නිදිමතට ඇස් පිය වුනොත් බඩු අතේ මාට්ටුය. එවිට මුලු පන්තියටම පේන් තැනක ඇති tap එකෙන් මුහුණ සෝදා ගෙන ඒමට යැවෙන්නේය. ඊටත් වඩා සර් කාරයා සමහර වෙලාට ප්‍රශ්න අසන්නේය. ඒකට ඉතින් වැරදි උත්තරයක් දුන්නා කියන්නේ මුලු පන්තියම ඉස්සරහ රෙදි ගලවා ගැනීමකි....නමුත් එදා  අපේ ග්‍රහයා හොඳ වූ බැවින් පස්ස පේලියට පස්ස ඔබා ගැනීමේ වාසනාව අප සතුවියලෑලි බංකුව මත නිසි ලෙස හරි බරි ගැහීමෙන් පසු මම බෙල්ල කරකවමින් අපේ ගමේ සැට් එක සෙව්වෙමි. උන් සුපුරුදු පරිදි මැද පේලි කිහිපයකට වී ආතල් එකේ සිටිති

උන් නම් class එන්නේ full fun එකේය. ඉස්කොලේ ඇරී ගෙදර ගොස් ඇඟ පත මුහුණ සෝදා , කොණ්ඩය හොඳට පීරා ,ඩෙනිමක් ටී-ෂර්ට් එකක් ගසා වේලාසනින්ම පන්තියට එන මේ ගෝතයන් ටික පන්තියට එන කිරි කිරි කෑලි වලට පැණි බෝතල් පිටින් හලන්නේය. මට කොයින්ද එවැනි සැපක්. මම එන්නේ ඉස්කෝලේ ඇඳුම පිටින් දාඩිය පෙරාගෙන, දූවිලි නාගෙන, කොණ්ඩය අවුල් කරන් පිස්සෙක් වගේ, පිස්සෙක් වගේය. අනික ඉතින් මං එන වෙලාවට පන්තියද පටන් ගෙන ඇති බැවින් කෑලි බැලිල්ලකට වේලාවක් නැති. හැබැයි ඉතින් ඒකටත් එක්ක week end එකේ ඇති class වලදී ඇරියස් cover කරන්නටත් එක්ක  ඇති තරම් පැණි ඉසීමේ මහා පුණ් කර්මයට දායක උනත් අපි සැට් එකේ එකෙකුටවත් කෙල්ලෙක් නම් හරිගියේ නැත. කෙල්ලෙක් දා ගැනීම සඳහා අපට මහ පෙනුමක් තිබුනේද නැති. ඒත් මට හිතෙන්නේ අපිට වඩාත් නොතිබුණේ කෙල්ලෙක්ට මූණට talk කිරීමට අවශ් වන කොන්දය. නිසා අපි සැමදා පැණි නිෂ්පාදකයන්ගේ සංගමේ සාමාජිකයින් වූවා මිස කරත්ත දක්කන්නගේ සංගමයට සුදුසුකම් නොලත් එවුන් වූයෙමු.

පැය තුනක් ගෙවී ගොස් physics පන්තිය අවසන් විය. මම හිටියේ අන්තිම පේලියේ බැවින් මුලින්ම පන්තියෙන් එලියට ගිය මම අපේ උන් සැට් එක එනතුරු මග රැඳී සිටියෙමි. රෑ බෝ වීගෙන එන බැවින් තනිකඩ කෙල්ලන් හනි හනික පය ඔසවා ගෙවල් බලා දුවයි. දුවන උන්ගේ ගැස්සෙන පස්සවල් බලමින් මා වැනි තනිකඩ උන් ඇහේ පොට යවා ගනී. පෙම්වතුන් හෙමි හෙමින් පාරේ ගල් කැට ගනන් කරමින් උනුන්ට කොඳුරමින් ඇදී යයි.  ටික වේලාවක් යද්දී අපේ කස්ටිය පැමිණියහ

"අඩෝ උඹ දන්නවද වැඩක්...විනෝදපාලයා ගොඩ !!!"   එකෙක් දුර තියා කෑ ගසා කීවේය..

"ඈ....... කිව්වේ...?"

"යකොව්, තාරුකා love letter එකක් දුන්නා කියහන්කො. ඒකි මූට කැමතියිලු (තාරුකා අන්වර්ත නාමයකි )

"ටෞකණ්ඩ... සිරාවට ?......ඇත්තද බන් මේ කියන්නේ?" මම කිරිහොද්දා නොහොත් විනෝදපාලයාගෙන් ඇසුවෙමි.

කිරිහොද්දාගේ උත්තරය කටින් ලැබෙන්නට අවශ් නැත. උගේ මූණේ ඇති සිරියාව දුටු විට කතාව ඇත්ත බව පැහැදිලිය. විනෝදපාලයගේ මිස්ටර් බීන් මුහුණ විනෝදය නිසාම රතු වී ඇත්තේ කන් දෙකත් එක්කමය. වචනයක් නොදොඩා මට හතරට නැවූ ඇක්සයිස් පොත් කොලයක් දුන්නේය. එය දිග හරින මට මොකක්දෝ sent සුවඳක් හෝ පවුඩර් පුසුඹක් දැනිනි......ආච්චිට හාල් ගරන්ඩ, වැඩේ ඇත්තය. මුතු කැට වන් අකුරෙන් තාරුකා තම හිතේ ඇති කැමැත්තක් ගැන කොලය මත ලා නිල් පැහැති තීන්ත පෑනකින් වගුරවා තිබේ. හැකි ඉක්මනින් ඇයව හමුවෙන ලෙස සඳහන් කර තිබූ ලියුම අවසන් වූයේ රොෂාන් ප්‍රනාන්දුගේ ගීතයක මුල කොටසිනි.

තව එක සැරයක් ඔබ
හමුවන්නට ඇත්නම්
නොසඟවා පවසන්නම්
ඔබට ආදරෙයි මං

ටික ලියා තිබුණේ රතු පාටිනිලිපියේ තැනින් තැන රතු පෑනෙන්ම heart හැඩැති සලකුනු ඇඳ තිබුණි. යකඩෝ මෙහෙමත් දේවල් මේ ලෝකේ වෙනවද?...මම කිරිහොද්දාගේ මුහුණ දෙස බැලුවෙමි. උගේ මූණ කවි පද ලියා තිබුණු රත් තීන්ත වල පාට තරමටම රතු වෙලාය. කට කනේ යන තරම් සිනහවකින් මුව සැරසිලාය.

"අඩෝ පට්ට යකෝ....උඹ මාර luck කරයෙක්නේ"...මම ඌට පහක් දමමින් පැවසුවෙමි.

ඒත් මගේ හිතේ නම් වූයේ ආචිචිගේ රෙද්දේ ඉරිසියාවකි. දෙයියන්ට හෙන ගහන්න එපැයි මෙහෙම දේවල් කරනවට. අපි  අවුරුද්දක් තිස්සේ මුලු පන්තියේම කෑලි වලට line කර ඇත. අඩු ගානේ එකියකට සති දෙකක්වත් එක දිගට පැණි හලමින්  උන්ට අප දිහා ප්රතිචාර බැල්මක් හෙලන්නට කාලය දීමට තරම් කාරුණිකද වූයෙමු. නමුත් කිසි එකියක් එක පයිසයක් වටින බැල්මක් නෙත් කොනිවත් අපිට හෙලුවේ නැත.

විතරක් නොව අපි උන්ගේ කැමැත්ත අසා පස්සෙන් ගියේ නැත්තේ අපේ වැදගත් කමටය.ඒවා එහෙම වෙද්දී මේ කිරිහොදි විනෝදපාලයාට කෙල්ලෙක් කැමැත්ත දී ඇත්තේ ඒකිගෙන් අහන්නත් කලින්ය. ඉරිසියාවේ තරමට පපුව හත් කඩකට පැලෙන්නට එන්නාක් වගේය. සමාජ අසමානතාවක තරම.

"කොහොමද බං ඒකි උඹට නිකම්ම කැමති උනේ ?”..මම කුහුලෙන් ඇසුවෙමි

"මං බං කලුතර chemistry class යන ගමන් foot-board  එකේ ඉඳන් දවස් දෙක තුනක් ඒකි දිහා එක දිගට බලන් හිටියා. ඒකිත්  ගිය සතියේ මං දිහා දෙතුන් පාරක් බැලුවා......මං දැනගත්තා එදාම වැඩේ ගොඩ කියල"

හපොයි....යකෝ අපි අවුරුද්දක් තිස්සේ කොච්චර බැලුවත් අපිට නෑනෙ මෙහෙම හරි ගියේ. ලෝකය කුරිරුය. අසමානතාව හැම තැනම.

"උඹ දැක්කද ඒකි ලියුම දෙනවා".....මත තවමත් සැකය.

"නෑ බන්...අතින් අත ඇවිල්ලා තියෙන්නේ...ඒකි හිටියේ ඉස්සරහ කෙලවරක"

"එළ එළ...දැන් උඹ ඒකිව හම්බවෙන්නේ කවද ද?"

"අනිද්දට chemistry class යන ගමන් හම්බෙනවා...බලපන්කො මුන්ගේ ආඩම්බරකම class එක මැද ලියුම අතින් අත එවලත් , දැන් මෙතනින් bus එකේ නැගල ගියේ මුකුත් නොවුනු ගානට"

"සමහරවිට ඒකිට ලැජ්ජ ඇති මෙතන කතා කරන්න හැමෝම ඉස්සරහ. උඹ අනිද්දට තනියම හම්බෙයන්"....මං කිරිහොද්දාට දිරිය දුනිමි.මොනවා උනත් දැන් ඌට බොක්කෙන් උදව් දිය යුතුය. ඒ පිනෙන් හෝ අපිටත් යන කලදසාවක් තීරණය වනු ඇත.


 දින ගෙවී ගොස් ඉරිදා උදා විය. මට ආයේ class ඇත්තේ අඟහරුවාදාය. එතෙක් කිරිහොද්දාගේ පළමු හමුව ගැන තොරතුරක් දැන ගන්නට විදිහක් නැත. කිරිහොද්දා යන බද්දෙවිතානගේ chemistry class එකට මම ගියේ නැති බැවිනි. අඟහරුවාදා class එකට කිරිහොද්දා පැමිණ සිටියේ නැත. අනික් උන් සෙට් එක මට පන්තියෙන් පසුව හමුවුනෙන් මං උන්ගෙන් කිරිහොදි පෙම් පල හිලව්වේ ලුණු ඇඹුල් තත්වය විමසුවෙමි. උන් බඩ අල්ලාගෙන හිනා වෙන්නට විය. 


"මොකෝ බං තොපි හිනා වෙන්නේ ?"

"උඹත් හිතුවේ ඒක ඇත්තටම තාරුකා දීපු ලියුමක් කියලද ?" ගල් ඉබ්බා මගෙන් ඇසීය

"ඒ කිව්වේ...ඇයි ඒක දුන්නේ ඒකි නෙවෙයිද?

"පිස්සුද යකො ඒක දුන්නේ මෙන්න මූ...."  ඌ චමියා පෙන්නමි පැවසීය.

"යකෝ ඒ අකුරු කෙල්ලෙක්ගෙනෙ....ඇත්තටම තොට ඒ තරම් ලස්සනට අකුරු ලියන්න පුලුවන්ද...මල හත් ඉලව්වයි ".....මටද බඩ පැලෙන්නට හිනාය

"දන්නවනෙ මල්ලී අපේ වැඩ " චමියා ආඩම්බරයෙන් ඇසීය.

බැලින්නම් එදා ඒ ලියුම ලියා ඇත්තේ කිරිහොද්දාට පේලි දෙකක් පිටු පසින් සිටි චමියාය. ඌ ඒක ලියා ඌ ලඟ තිබූ sent කුප්පියකින් ටිකක් ගසා කෙල්ලන්ගේ පැත්තට ලියුම යවා එය කිරිහොද්දා අතට ලැබීමට කටයුතු ඉෂ්ඨ සිද්ධ කරඇත.

"දැන් කෝ එතකොට කිරි හොද්දා ?"

ගල් ඉබ්බා මට ඉරිදා සිදුවූ අයිතිහාසික සිදුවීම පැවසුවේය. කිරිහොද්දා ඉරිදා පන්තියේ interval එකේදී සියලු පුරුෂ දහිරිය හිතට අරගෙන ගොස් තාරුකාට කතා කර පන්තිය ඇරී ඇයව තනියම හම්බවෙන්නට ඕනෑ බව පවසා ඇත. තාරුකා පුදුමයෙන් ඌ දෙස බැලූ බව ඌ අනික් උන්ට පවසා ඇත. නමුත් ඈ තනියම හමුවෙන්නට කැමැත්ත පල කර ඇත. පන්තිය නිමව උන් දෙන්නා පාරේ ඉස්සරහින් යද්දී අනික් උන් මදක් දුරින් පස්සෙන් පැමින ඇත. උන්ට ඇසුනු, පෙනුනු අවසන් සිද්ධිය වූයේ තාරුකා සර්පයෙක් දැක්කාක් මෙන් එකවර පැත්තකට පැන්න බවත් "තමුසෙට පිස්සුදැයි අසමින් කිරිහොද්දා ඈ දුන් බව පවසමින් දුන් ලියුම උගේ මූණට දමා ගැසූ බවත්ය"

කිරිහොද්දාගේ මූණ නැවත රතුව තිබුනේලු. ඒ ලැජ්ජාවට හා කේන්තියටය. ඌ වචනයක්වත් කතා නොකර පාරේ වූ ගල් වලට කේන්තියෙන් පයින් ගසමින් වේගයෙන් ඉදිරියට ගොස් ඇත. එක් වරම "ඌයි...අම්මෝ" ගාමින් කකුල බදන් පහත් වී ඇත්තේ ගලකට ගැසූ පහරකින් උගේ කකුලේ නියපොත්තක් ගැලවී යාම නිසාය. විනෝදපාලයා හිත පමණක් නොව කකුලද තුවාල කරගනිමින් තම love කේස් එක එසේ අවසන් කරගත්තේ කිසිදු විනෝදයකින් තොරව සතියක් විතර ගෙදර නවතිමිනි.කරත්ත දක්කන්නන්ගේ සමිතියට බැඳීමට තිබූ අවස්තාව ඌට ගිලිහී ගියේය. පැනි නිපදවා පෙරන අපේ ලෝකයට නැවත සමානාත්මතාව උදාවිය.



1 comment: