"සුබ උදෑසනක් ජේෂ්ඨ උත්තමයා...."
මම ඇඳෙන් උඩට විසි වෙන ගමන් කිව්වා.
"මොන උත්තමයා....
මේ campus එක නෙවී කොල්ලො".........
අම්ම හොඳටම හිනා වෙන ගමන් කිව්වා. ඔව් නේන්නම් මේ campus එක නෙවී, මේ ගෙදර. සති දෙකක කෙටි නම්නීකරණ කාලයෙන් පස්සෙ ආයෙත් මම ගෙදර ඇඳ උඩ. පහුගිය සති දෙකේම උදේ පාන්දර ඇහැරුනේ ජේෂ්ඨ උත්තමයන් අපේ යකඩ ඇඳට තඩි බාන පොලු පාරක මිහිරි නාදයෙන්. යකඩ ඇඳ ඒ පොලු පාරට තැව් දෙනකොට අපිත් ඒ අනුව තැව් දෙමින් උඩ විසිවෙන්නේ පොඩි කාලෙ බලපු කාටුන් වල හිටපු චරිත වගේ. එහෙම ගුවන් ගත වෙන ගමන් අපි ඇස් කොනින් පහළ බලනවා. ඔන්න එතකොට අපිට පේන්වා එළියට පනින්න තරම් ලොකු ඇස් දෙක ලොවි ගෙඩි වගේ රතුම රතුඋනු, උල්වූ දත් අතරෙන් රතු දිවක් එළියට දාගෙන , අපිව උන්ගේ කට ඇතුලට වැටෙනකල් බලන් ඉන්න යක්ෂ සේනාව. අපි අභය දානය තකා පළවෙනි වචන කිහිපය අමාරුවෙන් ගලපගන්නවා ....."සුබ උදෑසනක් ජේෂ්ඨ උත්තමයා".
ඒ බයංකාර උදෑසනවල් 12කට පස්සේ මම ආයේ සුපුරුදු සුවපහසු ඇඳේ ඉඳන් අම්ම හදලා දීපු කිරි එකක් බොන දවසක් උදාවෙලා. මගේ හොස්ටල් ජීවිතේ පළමු දින කිහිපයේ මට අහිමිවුනු ලොකුම දේ තමයි උදේට ලැබෙන කිරි එක. කිරි එක නැතුව උදේට කනකල් බඩගින්න ඉවසන එක නම් ලේසි උනේ නෑ. ඒ විතරක් යෑ කිරි එක නැතුව උදේට ශරීර කෘත්‍ය කරන්නත් ලේසි උනේ නැතුවා.
නිදි මතේ ඇස් දෙකත් භාගෙට වහන් කිරි එකේ අන්තිම උගුරු දෙක කටට ගන්න අතරෙ, මට 64 හීනෙන් වගේ පෙනී නොපෙනී ගියා. හත්වලාමයි , ඒක අමතකම වෙලා ගිය හැටි. මම ඇඳේ කොට්ට, පෙරවන රෙද්ද විතරක් නෙවී මෙට්ටෙත් උස්සල බල බල phone එක හෙව්වා. බැලින්නම් නිදිමරගාතේ පෙරලෙද්දි phone එක ඇඳයි බිත්තියයි අතර හිඩසින් බිමට වැටිලා. ඒක ගන්න නම් බිමට බැහැලා ඇඳ පොඩ්ඩක් එහාට අදින්න ඕනි. ඒත් මට ඒකට කම්මැලි නිසා පුලුවන් තරම් ඇදිලා ඇඳයි බිත්තියයි අතරෙන් අත දාල phone එක අතට අහු වෙනකල් අත එහේ මෙහේ කලා. උරහිසින් අත වෙන් වෙලා යන තරමටම ඇදුණට පස්සේ යාන්තම් phone එක අතට අහු උනා. උදේ පාන්දර ඇඳ යට හැංගි මුත්තන් කරපු phone එක මගේ අතට ආවේ ඇඳ යට බැඳිල තිබුනු දූවිලි , මකුලු දැල් පොදියකුත් එක්ක. "නෙදකින් විතරක් දවසම මූසලයි". අතේ ගෑවුනු දූවිලි පිහින ගමන් මට කියවුනේ දූවිලි ගෑවුනු තරහටම නෙවී, phone එකට එක message එකක්වත් missed call එකක්වත් නොතිබුණු දුකට.
බොරුකාර ගෑණු. එක පාරින් කොහොමද නම්බරයක් මතක තියාගන්නෙ. ඊටත් හපන් මං වගේ බූරුවෙක්. කොහොම හරි කරල පෑනක් හොයගෙන නම්බර් එක ලියාගන්න හෝ කටින් හරි අහගන්න මට මොලයක් පහළ නොවුනු හැටි. මම 125 වෙනි වතාවටත් මටම සාප කරගත්තා.
කාලෙකට පස්සෙ උදේට හොඳ කෑම වේලක් කන්න වාසනාව ලැබුණා. පහු ගිය සති දෙකේම අපේ උදේ ආහාරය උනේ පොල්කුඩු වලින් හදපු පොල්සම්බලෙයි, ඇට නැති පරිප්පු හොද්දයි එක්ක ලැබුණු බත් පත. මම කොහොමත් උදේට බත් කන්න කැමති එකෙක් නෙවී. බත් කන්න කැමති එකෙක්ට උනත් ඒ පරිප්පු හොද්දයි පොල් සම්බලෙයි එක්ක බත් කන්න නම් සෑහෙන්න හිත සමාධි ගත කරගන්න වෙනවා. ඒ නිසා අම්මගෙ අතින් හැදුණු උදේ කෑම වේල මිල කරන බැරි තරම් වටින එකක් කියලා මට නැවතත් පසක් වුනා.
කාපු ගමන් ඉක්මනින් මූණ කට හෝදගෙන මම ගියා කලින් දවසෙ රෑ මෝඩ call එකක් අරන් මාව මරණ මංචකේ පේන තෙක් මානය වෙනකල් අරන් ගියපු කුෂානයගෙ ගෙදරට. ඌ ඉන්නෙ අපේ ගෙවල් ලඟමයි. මං යනකොට ඌ හොඳටම නිදි. තුන්වෙනි පාරටත් A/L කරලා හෙම්බත් වෙලා හිටපු කොල්ලා මහන්සිය තවම පිට කරනවා වගේ. මං ගිහිලා ඌව ඇහැරෙව්වේ පිට මැද්දට දඩෝරියං ගාලා පාරක් අත අරිමින්. ඌ විලාප තියාගෙන නැගිට්ටා.
"මොනවද හු** කරන්නේ. මරන්නද හදන්නේ උදේ පාන්දරම මූසලයා"
"මරන්න නෙවී තෝව පණ පිටින් හම ගහන්න ඕන ඊයේ රෑ මට කරපු වැඩේට"
"ඇයි මං මොකක්ද කලේ"
මං ඌට සති දෙකක් පුරා සිදු වුනු ත්‍රාසය, භීතිය , සිනහව සපිරි කතන්දරය කිව්වා අතිනුත් ලුණු ඇඹුල් දාලා.
කතාවෙ අන්තිම විනාඩි කිහිපය තිබුණේ දුක්බර, හදවත සසල කරවන මගේ phone නම්බර් දඩයම ගැන. ඒ දුක්ඛ දායක කතන්දරේ අහලා කුෂානයා මටත් වඩා දුක් වුනා.මොකද ඌටත් තවම ඌ කැමති කෙල්ලෙක් එක්ක කොන්ද පණ ඇතුව, කකුල් දෙක වෙව්ලන්නේ නැතුව කතා කරන්න පුලුවන් වෙලා තිබ්බේ නෑ. ඒ නිසා මගේ අතට ආපු chance එකක් miss කර ගත්ත එකේ වේදනාව ඌට හොඳින් අවබෝධ උනා.
"අපරාදේ බන් උබටත් තිබ්බේ එකිගේ නොම්මරේ අහගන්න"......ඇහේ කබ අයින් කරන ගමන කුෂානය කිව්වා.
"කොහේ ඉල්ලන්නද බන්, මගේ පපුව විනාඩියට 144 ගානේ ගැහෙන ගමන් තිබ්බේ. මං බයේ හිටියේ ඒකි මට සෙරප්පු පාරක්වත් දෙයිද කියලා"
"සෙරප්පු පාරක් කන්න හරි ඉල්ලන්න තිබ්බේ. බලහන් දැන් ඉතින් උඹට ආයේ කවදා campus පටන් ගනීද දන් නෑ. ආයේ උඹ යනකොට ඒකිට එකෙක් set වෙලා ඉඳී".
"අපරාදෙ බන් මට තිබ්බේ තව කෑලි 4,5ක්ගෙවත් නම්බර්ස් ඉල්ල ගන්න. කොහෙද මට ඒකට අවශ්‍ය පුරුෂ දහිරිය එනකොට meet එක ඉවර උනානේ"
"ඒකනේ බන්. අපිට ඕවා A\L කාලෙම පුරුදු වෙන්න තිබ්බේ. කොහේද ඉතින් අපි ඉගෙනීමටමනෙ සිත ගත දෙකම යොමු කලේ"
"අනේ තොගේ හිත ගත යෙදවිල්ල.......ඒක තමයි උඹලා ඔක්කොටම තුන්වෙනි පාරටත් මේ මගුල ලියන්න උනේ....ඔය කුණු කෙල ටික පිහදා ගනින් මළ පෙරේතයා" මම කුෂානයට ආයේ පයින් පාරක් දීගෙන උගේ හඩු ගඳ ගහන කාමරෙන් එලියට ආවා.
"අද හවස යමන් beach එක පැත්තේ ගයාන්වත් ඇදගෙන" කුෂානයා ආයේ ඔලුවෙ ඉඳන් පොරව ගන්න ගමන් කිව්වා.
සති දෙකකට පස්සේ අපි බන්ඩරවත්ත මුහුදු වෙරළට පය ගැහුවා. A\L ඉවර උනාට පස්සේ අපේ හවස් වරු වැඩි කාලයක් ගෙවුනේ මේ මුහුදු වෙරළේ. ටිකක් උස් ගල් කුලු සමූහයකින් සමන්විත මේ වෙරළ තීරය ගාලු පාර කිට්ටුව තියන නමුත් සැඟවුනු සුන්දර ප්‍රදේශයක්. ස්වභාවිකව ගලින් වටවෙලා හැදුණු පුංචි මුහුදු පොකුනේ තරුණියන් පිරිසක් නාමින් හිටියා. පීනන්න බැරි කොයි කාටත් මේ මුහුදු පොකුණ අපූරු අස්වැසිල්ලක් හා අවස්තාවක් ගෙනදුන්නා. මොකද බයක් හැකක් නැතුව ඒකට බැහැලා හිතේ හැටියට නාගන්න , දඟලන්න පුලුවන්. වටේටම ගල් වැටි සමූහයක් තිබුණු නිසා ගහගෙන යාමේ බයක් තිබ්බේ නෑ. අසල තිබ්බ උසම ගල් පර්වතයට නැග්ග අපි , ඒ කියන්නේ මායි, කුෂානුයි, ගයානුයි ඈත ක්ෂිතිජය දිහා බලන් හිටියා.
හිරු රජිඳු සමුදුරු කිඳුරිය තුරුලේ මුහුන සඟවගන්න කිට්ටු කරමින් හිටියා. කොච්චර සැඩ පරුෂ උනත් සමුදුරු කිඳුරිය ලඟදි ඉර ලැජ්ජාවෙන් රතු වෙනවා. ඒ කෝල බවේ රත් පැහය අහස් කොපුල පුරා පැතිරෙමින් තිබුනා. තේජාන්විත බවේ නිල් පැහයත්, කෝල බවේ රත් පැහයත් එක් වෙලා හරි අපූරු සිතුවමක් අපේ ඇස් ඉදිරිපිට මැවෙමින් තිබුණා.පහු ගිය සති දෙක පුරා මීදුමෙන් වැසුණු කඳු පන්තියක් මැද ගෙවුණු මගේ අලුත් ජීවිතයට මද විරාමයක් දෙමින් ආයේ සුපුරුදු මුහුදු සුළං රැල්ල මගේ මුහුණ පිසිමින් හමන්න අරගෙන. කොහොමත් මම මීදුමෙන් මූණ වහගන්න යෝධ කඳු වලට වඩා මූණ රතු කරන් කරදියෙහි එබෙන ඉරට ආසයි.
"අඩෝ උබේ phone number love එක මූටත් කියපන් "...කුෂාන් මගේ දැහැන බින්දා.
මම ආයෙත් මගේ සති දෙකේ අත් දැකීම ලුණු ඇඹුල් එක්ක කරදියත් මුසු කරලා කියන්න පටන් ගත්තා.
පරිප්පුයි පොල් සම්බලුයි එක්ක බත් කන්න බැරි ලංකාවෙ එකෙක් දැක්කමයි
ReplyDeletecampus එකේ දෙන පරිප්පුයි පොල් සම්බලෙයි එක්ක බත් කන්න එක පාරටම පුලුවන් උනා නම් ඌ මනුස්සයෙක් වෙන්න බෑ ඉයනෝ :D
Delete++++++++++++
ReplyDeleteමරු
ReplyDeleteස්තූතියි
Deleteකොහෙද බන් කැම්පස් එක? දියතලාව ඇකඩමිය කියල කෑල්ලක් කලින් පෝස්ට් එකේ දැක්කා... ආමි ඇකඩමිද?
ReplyDelete