Sunday, March 25, 2018

කූඹිවාදයෙන් මිදිය යුතුය





රයිගම් ටෙලි සම්මාන උළෙල පසුගිය රාත්‍රියේදී නිමාවිය. එහිදී ජනප්‍රියම නලුවාට සහ ජනප්‍රියම නාට්‍යට හිමි සම්මානයන් කූඹියෝ නාට්‍යට හිමි විය. පහුගිය කාලය පුරාම fb එකේ ඉන්නා  කුඹි කෑ රසිකයන් බොහොමයක් දිවා රෑ නොබලා මහන්සි උනේ ඔය ජනප්‍රිය category එකේ සම්මාන රොත්ත කූඹියෝ වෙනුවෙන් ලබා ගැනීමටය. මෙරට පැවැත්වෙන මැතිවරණයක් වෙනුවෙන් මෙන් එයට ඇප කැපවී ක්‍රියා කල කූඹි පාක්ෂිකයන්ගේ අප්‍රතිහත කැපවීම නිසා දෙවනි ඉනිම පරදා ජය ලැබීමට කූඹින්ට හැකිවිය.

සැබවින්ම කූඹියෝ සහ තුමිඳු ලංකාවේ ජනප්‍රියම category එකට අයිති වන්නේද?. මගේ පිළිතුර නම් නැත යන්නයි. බොහෝ විට එය දෙවනි ඉනිම සහ එහි රඟන නළු නිළි කැල විය හැක. කූඹියෝ මෙතරම් කතා බහට ලක්වුනේ එය වෙනුවෙන් දියත්වූ marketing campaign එක නිසා බවට සැක නැත. කූඹියෝ  යනු මෙරට ටෙලි නාට්‍ය කර්මාන්තයේ වැඩි කොටසක් ආක්‍රමණය කර ඇති එදා වේල ටුවර්ස් ගනයේ නාට්‍ය වල  සුපුරුදු ඕලාරික, නීරස ජවනිකා වලින් රැඩිකල් ලෙස මිදුනු ක්‍රියාවලියකි. එහි කතාවේ රසවත් බවත් එහි සිටින නලු නිලි කැලගේ ප්‍රතිභාවත් පිළිබඳ විවාදයක් නැත. ඒ ගැන පසුගිය ලිපියකින් කතා කළෙමි. නමුත් අමතක නොකල යුත්තේ කූඹින්ට වඩා ඉහළින් යුත් නිර්මාණ කිහිපයක්ම පසුගිය කාලය පුරා මේ ජරා ජීර්ණ ටෙලි ක්‍රමය ඔස්සේ සටන් කල බවය. ඒ සියල්ල කාලයේ වැලි තලාවෙන් වැසී යද්දී කූඹියෝ කරනම් ගසන්නේ එහි ඇති ගුණාත්මක බවටත් වඩා ඒ වටා ක්‍රියාත්මක වූ marketing campaign එක නිසාය.

මිනිසුන්ගේ රසිකත්වය මොට කරන්නේ කලා නිර්මාණවල තත්වය නොව ඒ වටා ක්‍රියාත්මක වන marketing campaign එකය. එය අදාළ ක්ෂේත්‍රය හසුරුවන මුදලාලිලා අත තිබෙන්නකි. හොඳින් කල්පනා කලහොත් විටෙක මුදලාලිලා නැතුවත් ඔය ගේම් එක ගැසිය හැක. ගරිල්ලා මාකටිං ෆිලුම බැලුවානම් ඒ ගේම් එක ගහන ආකාරය එහි සඳහන්වී තිබුනි. ඒ ගේම වැඩ කලොත් මුදලාලිලා නැතුවම මිණිය කර තබා යන්නට බැතිමතුන් නොමිලේම ඉදිරිපත් වනු ඇත. ජාතිවාදය සහ ආගම්වාදය වැනිදෑ මිනිසුන් කරේ තබා ගන්නේ ඒ වගේය. පොඩ්ඩක් චූන් කරලා දුන්නා නම් හැම එකාම රැල්ලට ඒවා කරේ තියාගෙන දුවන්නේය. ඒ රැලි වල අලුත්ම රැල්ල කූඹිවාදී රැල්ලය. එය රසිකයන්ව මුරුංගා අත්තේ තියා තමන් හෙන ප්‍රබුද්ධ රසිකයන් බවට තමන් විසින්ම ඇන්දවීමේ අධි-ප්‍රචාරණවාදී ව්‍යාපෘතියකි. කලාව යනු ආත්මීය දෙයකි. එහි හොඳ නරක, උසස්, පහත් , සම්බාව්‍ය ගුණ තීරණය වීම රසිකයාගෙන් රසිකයාට වෙනස්ය.නමුත් අධි මාත්‍රාවෙන් කෙරෙනා ප්‍රචාරණ වැඩපිලිවෙලවල් විසින් රසිකයා මෙහෙයවන්නට පටන් ගන්නේ ඔහුටත් නොදැනීමය. ඒ හරහා අනිකුත් නිර්මාණ සහ ඒවායේ රසිකයන් හෙලා දැකීම වැනි පහත් අඩියක් දක්වා මිනිසුන් පල්ලම් බසින්නේය. එවැනි දේ මෙරට දේශපලානයේදී, ආගම් බාවිතාවේදී සහ ජාතිවාදයේදී ඕනෑ තරම් දැක ගත හැකිය. ඒ නිසා කලාවටවත් එවැනි රිලා ගති රිංගවන්නේ නැත්නම් ඉතා හොඳය.

කලාව කියන්නේ සංඛ්‍යා රේඛාවක් වැනි දෙයකි. එහි විශාල පරාසයක් ඇත. එහි විවිධ රස ඇත. රේඛාවේ ධන අගයන් පරාසය කොතෙක්දැයි තීරණය කරන්නේ රසිකයාය. රසිකයා මොට්ට වෙනවා කියන්නේ සංඛ්‍යා රේඛාවේ එක අගයක ඔහු හෝ ඇය සිරවී සිටීමය. කූඹියෝහී marketing campaign එක යනු ඒ සිර කිරීමේ හෙවත් රසිකත්වය මොට කිරීමේ කූඨ ප්‍රාප්තියය. ඒ උමතුවේ උපරිමය ඊයේ රෑ තුමිඳුව ජනප්‍රියම නලුවා කිරීමේ ගේමෙන් මනාව පෙනුනේය. ඒ නිසා ඇහැරෙන්න , තවත් බොහෝ හොඳ දෑ තිබේ. ඔබ සොයන්නට ලෑස්තියි නම් ඔබට ඒවා හම්බවෙනු ඇත. 


කලාව තියෙන්නේ චිත්‍රයේවත්, නාට්‍යයේවත්, සිංදුවේවත් නොව ඒවා ග්‍රහණය කරගන්නා සහෘදයාගේ සිත තුලය. එය එකිනෙකාට වෙනස්ය. කලා ප්‍රකාශනයන් මේ තරම් විවිධ වන්නේත් , සමහරක් වැලලී යන්නේත්, සමහරක් අති ජනප්‍රිය වන්නේත් ඒ නිසාය. ඒ අති ජනප්‍රිය දේවල් ඔබ වෙත ගෙන එන්නන්ගෙන් සැම විට ප්‍රවේසම් වන්න , ඔවුන් ඔබව එක් රාමුවකට සිර කිරීමට සැම විට මාන බලන්නේය. ඒ නිසා ඔබවටා ඇති වෙලඳපොළ සහ ප්‍රචාරණවාදී බැම්මෙන් එපිට ලොවක් ඇති බව මොහොතකටවත් අමතක නොකරන්න. කලාව නම් සංඛ්‍යා රේඛාවේ උපරිම දුරක් ස්පර්ශ කිරීමට සැමවිට උත්සහ ගන්න.


4 comments:

  1. "Koombiyo" natyaya kochchara honda unath,"Thumindu" kopamana daksha unath, anith nirmana walata sadarana avasthawak nodee kala marketing campaign eken ehi agaya adukala.Meya I.T.N.ekata uruma lakshanayakda?Oya wagemayi" Atapattamath" Hasanthawath uda danneth!

    ReplyDelete
    Replies
    1. ඔව් වෙන්න පුලුවන් සරත්. නාට්‍ය අන්තිම දවසේ තිබ්බ සමාප්ති උළෙලින් පෙනුනා වෙනස් කොට සැලකීමේ උපරිමය.

      Delete
  2. කූඹියෝ මෙතරම් කතා බහට ලක්වුනේ එය වෙනුවෙන් දියත්වූ marketing campaign එක නිසා බවට සැක නැත // මම නම් එහෙම එකක් දැක්කේ නැහැ. කටහ්ව බලලම කැමති වුනා. අනිත් ඒවාට කොහොමත් කැමති නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත්, කතාවේ හොඳ බව ගැන විවාදයක් නෑ. නමුත් එය වටා එක්වූ පිරිස ඒ ගැන කතා කරන්නේ ලොකු hype එකකින්. ඒ මානසිකත්වය හැදුවේ ඔය marketing campaign එකෙන්. ඒක ඉතා සූක්ෂමව දියත් උනා fb හරහා. මට මුන ගැසුනු බොහෝ දෙනා මේ fb ව්‍යාපෘතිය හරහා කූඹියෝ බලපු උදවිය. ඒකෙන් හදපු මාන්සිකත්වය තමයි ටෙලියක් නම් කූඹියෝ තමයි ආයේ වෙන මුකුත් නෑ කියන එක. මේ පිරිස කූඹියෝ ගැන කතා කරන්නේ සුරාන්තයට පත් වුනා වගේ.

      Delete