Saturday, April 28, 2018

ඕවත් වෙසක් කූඩුද බං ?





ලඟ ලඟම අවුරුද්ද එනවා කියලා මතක් වෙන්නේ කොහා හඬ තලන්න ගත්තම වගේ, ලඟ ලඟම වෙසක් එන බව ඒ කාලේ අපිට මතක් කලේ අපේ ගෙදර තිබ්බ උන බට පඳුර. වෙසක් එකට සති තුනක් විතර තියලා ගමේ කොලු කුරුට්ටො , අයියලා , මාමලා, අපේ ගෙදර පැත්තට එන්න ගන්නවා කූඩු හදන්න බට කපන් යන්න. වෙසක් ලඟ ලඟම එන බවට එන සංඥා තමයි ඒ පැමිණීම්. ඒ දවස් වල මුලු පැත්තටම තිබ්බ විසාලම උන බට පඳුර තිබ්බේ අපේ වත්තේ. ගමේ හිටපු සමහර වයසක ගෑනු උන්දලා නම් කිව්වේ උන බට පඳුරක් දොරින් එලියට බහිද්දිම මුලිච්චි වෙන්න තියන එක ගෙදරට මූසල කමක් කියලා. ඒ උනාට ඉතින් ගහෙන් පාත් වුනු කිසිම මූසල කමක් තිබ්බේ නම්නැති. ගෙදරට එන ගොඩක් අය ඒ උන පඳුරේ සරුසාර බව දැකල පුදුම උනා. ඒ පුදුම උනු ගොඩක් දෙනා ගහෙන් අතු කෑල්ලක් නොවරදවාම අරන් ගියා තම්න්ගේ වතු වලත් පැල කරන්න. ඒත් ඒ කිසිම වත්තකින් බලාපොරොත්තු උනු සරුසාර උන පඳුර හැදුනේ නෑ. ආච්චි නම් කිව්වේ හිටවපු කෙනාගේ අත්ගුනේ සහ වාසනාව මත තමයි ඕව්වා යහමින් වැඩෙන්නේ කියලා. 

අපේ තාත්තා තමයි එයා ඉස්කෝලේ යන කාලේ මේ උන පැලේ හිටෝලා තියෙන්නේ. ඉන්දපු කෙනාගේ අත්ගුනේ කිව්වට ඉතින් එතනින් එහාට අපේ තාත්තා ලොකුවට හදපු වෙන පැලයක් නම් ගෙදර තිබ්බේ නෑ. ඔක්කොම තිබ්බේ ආච්චි ඉන්දපුවා. තාත්තා කලේ හොඳට වැවිලා තියන මොකක් හරි ගහක අතු අපි හැමෝගෙම විරෝධය මැද පුලුවන් තරම් කපලා දාන එක තමයි. 

ඉතින් වෙසක් ලං වෙද්දි එකා දෙන්නා එනවා "මාමේ උන බටයක් කපා ගන්නෙයි ?  "
"නැන්දේ උන බටයක් කපා ගන්නෙයි?"කියලා අහගෙන. අපේ ගෙදරින්ම පිහියකුත් ඉල්ලගෙන උන් උන පදුර අස්සේ රින්ගගෙන බට කපා ගන්නවා. උන බට කපාගන්න එකත් ඒ තරම් ලේසි කාරියක් නෙවී. සීරු මාරුවට බටේ මුලට පිහි පාර දුන්නේ නැත්නම් බටේ පුපුරන්න ඉඩ තියනවා. ඒ වගේම  බට කොල වල තියන බූව ගෑවුනාම කසන්න ගන්නවා. වැහැලා තිබ්බ දවසක් උනොත් පිහි පාරක් දෙනකොටම සර සර ගාලා පඳුරේ  රැඳිලා තියන ඔක්කොම පිනි බිංදු වලින් බට කපන එකා නෑවිලා යනවා. ඒ වගේම පඳුරේ ගන සැරේට බට වැවිලා තියන නිසා හොඳ බටයක් අල්ලගන්න පඳුර අස්සට ලේසියෙන් අත දාගන්න බෑ. ඒ නිසා බට කපන වැඩෙත් යම් ආකාරයක කට්ටක්.

ඔහොම ඔහොම පස් හය දෙනෙක් ඇවිල්ලා ගියාට පස්සේ බටයක් අල්ලගන්න අත දාන්න තියන අමාරුව අඩු වෙනවා. මොකද මුලින් ආපු සෙට් එක අමාරුවෙන් අමාරුවෙන් අත දාලා බට කපාගෙන ගියාට පස්සේ මොකක් හරි තැනක යම් ඉඩක් හැදෙනවා. ඊට පස්සේ එන හැම එකාම බට කපන්න ගන්නේ ඔය ඉඩ අස්සෙන්. ඊට පස්සේ බට පඳුරේ ඒ කලාපය   බට වලින් හිස් වෙනවා ගුහාවක් හැදුනා වගේ. ඔන්න ඕක තමයි මගේ බලාපොරොත්තුව උනේ . මොකද ඒ දවස් වල අපි cricket ගහද්දි නිතරම වගේ ඔය බට පඳුර අස්සට බෝල යනවා. පඳුර අස්සටම යන බෝල හෙවිල්ල අතඇරලා දාන්න වෙනවා මොකද පඳුර ඇතුල කට්ට කලුවරයි , ඒ නිසා බෝලේ පේන්නේ නෑ. අස්සට අත දාන්න තියෙන්නේත් පොඩි ඉඩක් වගේම පඳුර ඇතුලේ තඩි ගැරඬි එහෙමත් කාලෙකට ඉන්නවා. ඒ නිසා ඉතින් ගොඩක් ටෙනිස් බෝල රබර් බෝල අපේ උන පඳුරට ගොදුරු වෙනවා බේර ගන්න බැරි විදිහට.

බට කපන් යන උන් හදන මේ කුහරය නිසාත් සහ බට ගහනය අඩුවීමෙන් එළියක් එන නිසාත් පඳුර අභ්‍යන්තරය හොඳින් බලාගන්න පුලුවන් වෙනවා. ඒ කියන්නේ නැති උන බෝල සෙවිල්ල පහසු වෙනවා. ඔය විදියට වෙසක් කාලෙ කියන්නේ අවුරුද්දක් පුරා නැති උනු බෝල හත අටක් හොයාගන්න පුලුවන් චෑන්ස් එකක්. හබැයි ඉතින් එහෙම හම්බෙන ටෙනිස් බෝල වලින් නම් වැඩක් උනේ නෑ. ඒවා මාස ගානක් වැස්සට තෙමිලා අව්වට කර වෙලා,බට ගස් වලට තෙරපිලා, අමුතුම material එකක් බවට පත් වෙලයි හම්බෙන්නේ. ඒත් රබර් බෝල නම් භාවිතයට ගන්න පුලුවන් මට්ටමක තිබුණා. ඒ  නිසා වෙසක් උදා වීම යනු මුහුදු පතුලෙන් නිධාන මතු වෙනවා වගේ බට පඳුර ආස්සෙන් බෝල මතු වීමේ ආශ්චර්යමත් කාලයක් උනා.

ඔය විදිහට වටේ පිටේ උන් බට කපන් වෙසක් කූඩු හදන කාලේ එළඹුනාට අපිට නම් කවදාවත් ඒ වගේ කාලයක් තිබුනේ නෑ අපේ හාමුදුරුවනේ. මොකද අපේ අයියටයි මටයි දෙන්නටම උන බට වලින් හදන අටපට්ටම් කූඩුව හැදීමේ හැකියාවක් නොතිබුණු නිසා. අට පට්ටමක් නියම හැඩේට බඳින එක වෙනම කලාවක්. හරි හැඩේට එන්න ඕක බඳින්න පුලුවන් හැකියාව අපි දෙන්නටම තිබ්බේ නෑ. එහෙම කියල අපි වෙසක් කූඩු නොහද හිටියේ නෑ. අයියා හොඳ චිත්‍ර ශිලිපියා , මිනිහා වෙසක් කූඩු වලට නව අර්ත කතනයක් දෙමින් රිජුෆෝම් වලින් වෙසක් කූඩු හැදුවා අමුතුම හැඩයන් වලට. ඒ  කූඩු ලියවැල් කැටයමින්, හංස කැටයමින් ආදී විවිධාකාර කැටයමින් අලංකාර වුනු ඒවා. නමුත් ඒකේ තිබ්බ ප්‍රශ්නෙ උනේ ඒවා දවල් කාලයේ එල්ලා තියන්න අමාරු වීම. දවල්ට තියෙන තද අව්වේ රස්නෙට රිජුෆෝම් ඇද වෙන්න ගන්නවා. ඒ නිසා දවල් කාලයේ කූඩුව ප්‍රදර්ශනේ කරන එක පොඩ්ඩක් හිතලා කරන්න ඕනි දෙයක් උනා. නයියාගේ කාලේ ආවම නයියා වැඩේ ඇල්ලුවේ කාඩ් බෝඩ් වලින් අට පට්ටම හදලා. දැන් ඔය කඩවල් වල විකුනන්න තියෙන්නේ කාඩ් බෝඩ් වලින් හදපු අටපට්ටම් හැඩේ කූඩු, අන්න ඒ වගේ ඒවා. ඒ කාලේ කූඩු විකුනන සංස්කෘතියක් නැති නිසා කාඩ් බෝඩ් වලින් ගහන අටපට්ටම ගොඩක් තැන් වල දකින්න තිබ්බේ නෑ. නයියටත් කැටයම් කැපීමේ යම් දක්ෂතාවක් තිබ්බ නිසා ඒ කූඩු විවිධාකාර කැටයමින් අලංකාර උනා.

අයියගෙයි, නයියගෙයි කූඩු දැකපු වටේ පිටේ ජනතාව , යාලු මිත්‍රයෝ එහෙම සෑහෙන වර්නනා කලා කූඩු වල ලස්සන ගැන.පිට උන්  කොච්චර හොඳ කිව්වත් ගෙදර උන්ට නෑනෙ අපේ අගයක්. පිට people know අපේ අගේ , but our people don't know අපේ අගේ. තාත්තයි, ආච්චියි නිතරම කියවන්නේ බට වලින් ගහන කූඩුව තමයි කූඩුව, මේව නියම වෙසක් කූඩු නෙවී කියලා. එයාලා මොනවා කිව්වත් අපි නෙවී බට වලින් කූඩු බැන්දේ. අටලෝ දහමෙන් කම්පාවෙන්න එපා කියලනේ  බුදු බනෙත් තියෙන්නේ. ඉතින් බ්ලේඩ් තලේට අත කපාගෙන කැටයම් කපලා ගහන කූඩුවේ කූටප්‍රාප්තිය එළඹෙන්නේ රාත්‍රියට කූඩුව දල්වනකොට. කැටයමෙන් අලංකාර වුනු කූඩුව ඇතුලේ ඉටි පන්දමක් දැල් වෙනකොට මැවෙන සෞන්දර්ය කියලා නිම කරන්න බෑ. ඒ සෞන්දර්ය විඳමින් ඉන්න්කොට මෙන්න එනවා කුෂානයගේ call එක. මචන් අද පන්සලට සිරාම කෑලි ටිකක් බැහැල ඉන්නවා බන්. කොහෙන් බැහැපු උන්ද මන්දා වරෙන් වරෙන් විගහට  පන්සල පැත්තට. කූඩුවේ සෞන්දර්ය කවදා බලන්න බැරිද?, මම පට ගාලා ඇඳුමක් දාගන්නවා....
එතනින් එළියට බහින බැහිල්ල ඉතින් ඉවර වෙන්නේ,කෙල්ලොත් බලලා, දන්සැලුත් වැඳලා, තොරණුත් බලලා රෑ එක දෙක වෙද්දි. ඒ එනකොට සමහර විට කූඩුව පිච්චිලා ගිහිල්ලා ඉටිපන්දමේ අන්තිම හරිය උදාවෙද්දි. තාත්තා ඉතින් පටන් ගන්නවා..... "ඒකනේ මිනිහෝ මං කිව්වේ බට වලින් හැදුවා නම් ඕකේ ඉටිපන්දම ගහන්න පුලුවන්. පිච්චිලා ගියත් වට්ටුව ඉතුරු වෙනවා. ඔය කාඩ් බෝඩ් කූඩුත් වෙසක් කූඩුද බං"....

9 comments:

  1. /// අට පට්ටමක් නියම හැඩේට බඳින එක වෙනම කලාවක්. හරි හැඩේට එන්න ඕක බඳින්න පුලුවන් හැකියාව අපි දෙන්නටම තිබ්බේ නෑ. ///
    මොන විළි ලජ්ජාවක්ද බන් මේ...
    ඕක හරියට අපිට අහවල් එකක් තිබුනට අහවල් වැඩේ කරන්න හැකියාවක් නැහැ කිව්වා වගේ කතාවක්නේ...
    ඔය පේළිය දැක්ක ගමන් කියවිල්ල පැත්තක දාල කමෙන්ට් එකක් කොටන්න හිතුනා...
    මොන මගුලක්ද බං ඒ...

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අයියාහ්....නැති බැරි කම් මේවා ;)

      Delete
  2. Hamadama wage mee post ekath harima rasawath!Scene eka mawila penawa.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සරත්

      Delete
  3. අටපට්ටමක් බැදගන්ඩ බෑ කියන කතාව ඈක්කනේ බං

    ReplyDelete
  4. අටපට්ටම බඳින එකේ වැඩේ එක තියෙන්නෙ බඳින්න ගන්න මැටීරියල් එකේ තමයි. හරියට බැඳගත්තෙ නැතොත් දහඅට පට්ටමක් තමයි වෙන්නෙ.

    ReplyDelete