Friday, May 5, 2017

නිවන දුටු එකාට ගල් ගැසීම -1






"නිර්වාණය".....මේක තමයි බෞද්ධ විමුක්ති මාර්ගයේ අවසානය හඳුන්වන නම.නිර්වාණය අවබෝධ කර ගැනීම එහෙමත් නැතිනම් නිවන් දැකීම කියන්නේ තෘෂ්ණාව නැති කිරීම කියලා සරලව කියනවා. තවත් විධිමත් ආකාරයට කියනවානම් අවිද්‍යාවෙන් තොරව තතු පරිද්දෙන් දැනගැනීම  හෙවත් සත්‍ය අවබෝධ කිරීම. "නිර්වානයත් සංසාරයත් අතර වෙනසක් නැත" කියල මහායාන කියමනක් ඇති බවට වල්පොළ රාහුල හිමියන්ගේ "බුදුන් වදාළ ධර්මය" පොතේ සඳහන්. ඒකෙන් අදහස් වෙන්නේ එකම දෙයක් දෙස  අවිද්‍යාවෙන් බලන්නාට සංසාරයත් ප්‍රඥාවෙන් බලන්නාට නිර්වාණයත් වේ කියන අදහස. නිවන කරා ලඟාවීමට ආර්ය අෂ්ඨාංගික මගෙහි ගමන් කල යුතු බවත් එමග අවසනදී සියලු කෙලෙසුන් නසා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් නිවන සාක්ෂාත් කරගත හැකි බවටත් සඳහන් වෙනවා.

බුද්ධ කාලයේ මේ කියන මාර්ගය ඔස්සේ ගිහින් නිවන් අවබෝධ කරගත් රහතන් වහන්සේලා විෂාල ප්‍රමාණයක් ගැන අපිට අහන්න ලැබෙනවා. බුදුන්ගේ පිරිනිවනින් පසු ක්‍රම ක්‍රමයෙන් ලංකාව දෙසට බර වන බෞද්ධ සංස්කෘතික ඉතිහාසය තුල අපිට අවසන් වරට රහතන් වහන්සේලා ගැන අහන්න ලැබෙන්නේ අනුරාධපුර යුගයේදී. දුටු ගැමුණු රජතුමා රුවන්වැලිසෑය ගොඩනගන විට ඒ හා බැඳුනු රහතන් වහන්සේලා විෂාල ප්‍රමාණයක් ගැන ඉතිහාසයේ ලියවී තිබෙනවා.ඊට අමතරව මලියදේව කියන ලක්දිව අවසන් රහතන්වහන්සේ නමක් අපිට මුන ගැහෙන්නෙත් දුටු ගැමුණු යුගයේදීමයි. ඊට අවුරුදු 500ක් විතර යනකලුත් රහතුන් හිටි බවට අත්තනගලු වංශයේ සඳහන් වෙලා තියන බවත් කියවෙනවා. කොහොම නමුත් ලාංකීය සින්හල බෞද්ධ බොහෝ දෙනා, අන්තිමට රහතුන් හිටි බවට දන්නේ බුදුන්ගේ කාලය  හෝ දුටු ගැමුණුගේ කාලය. නයියාට උනත් අත්තනුගල වංශයේ කතාව අහු උනේ වැඩි පුර හොයන් යද්දී. ඒ නිසා රහතන් වහන්සේලා පිලිබඳ අපි දන්නා විස්තරය අඩුම ගානේ අවුරුදු 2000කට වඩා පැරණි එකක්.

වසර  2000ක් විතර පැරණි මේ දැනුම විසින් අපි ඉස්සරහ මවන රහතා Super Man වර්ගයේ Template එකකින් නිර්මිත කෙනෙක්.ඒ බොහෝ දෙනා විවිධ වර්ගයේ මානසික හා ශාරීරික super powers වලින් යුතු අය.ඉතින් මේ රහතන් වහන්සේ කියන කෙනා අපේ හිත් වල ඉන්න වීර චරිතයක් වගේ. ඔවුන්ට හිත් කියවන්න පුලුවන්, අහසෙන් ගමන් කරන්න පුලුවන්, නාසයෙන් ගිනි විදින්න පුලුවන් ආදී මෙකී නොකී ගොඩක් වැඩ දාන්න පුලුවන් අය. නිවන ලෙස මුලදී සඳහන් කරපු දේ කෙසේ වෙතත්, මේ අයගේ කැපී පෙනෙන දේ උනේ මේ ඉර්දි ප්‍රාතිහර්යයන් පෑමේ හැකියාව. ඊට අමතරව සමහරක් අය දුටු පමනින් සිත නිවී යන තරම් ශාන්ත වූ අය බව සඳහන්. හින්දු ආගමේ ඉන්න විවිධ බල පරාක්‍රමයන්ගෙන් අනූන දේව සභාවේ කතන්දර ඒ කාලෙ ජනයාගෙ ( බුදුන් පිරිනිවන් පා කලක් ගියාට පසු කාලයේ ) සිත් වසඟ කරගත්තාට සැකයක් නෑ. එහෙම බලද්දී තමන් හිසට තම අතමය සෙවනැල්ල වගේ කතාවක් කියන බුදු දහම ජනප්‍රිය බවින් අඩුව යන්නට ඇති ඉඩ කඩ බොහෝ වැඩී. එය වලක්වා ගැනීමේ අරමුණින් මේ super powers තියන රහතන් වහන්සේලාගේ කතා බිහි වෙන්නට ඇති. ඊට අමතරව දෙවියන් පවා පොළවට වැඩලා ඔවුන්ට නමස්කාර කරන කතන්දර මේකට ඇතුලු වෙන්නේ, දෙවියන් පවා රහතුන්ට, බුදුන්ට යටයි කියල මතුකරමින් දේවවාදී ආගම් දෙවනි තැනට ඇද දැමීමේ අරමුණ ඇතිව විය යුතුයි. ඒ නිසාම බුදුන්ගේ පිරිනිවනින් පසුව බිහි වන සාහිත්‍ය හා චිත්‍ර කලා නිර්මාණ වලදී රහතුන් මවන්නේ රැස් වලල්ලක් තියෙන , උඩින් යන්න පුලුවන් , රන්වන් පාටින් බබලන අනික් අයගෙන් පැහැදිලිව වෙන් කරල හඳුන ගන්න පුලුවන් භෞතික ලක්ෂණ විෂාල ප්‍රමාණයක් එක්ක. විය හැකි පරිදිම මෙහිදී සිත පිලිබඳ විග්‍රහය යට යමින් පිට ඔපයට පෙන්වන්න පුලුවන් භෞතික ලක්ෂණ සමූහයක් උඩට එනවා.

ඉතින් ඔය කියන template එක අනුව තමයි අපි දන්න කියනා රහතා නිර්මාණය වෙලා තියෙන්නේ.බහුදේව ආගමක් වන හින්දු ආගම සමග ඇතිවන තරඟය ජයගැන්ම සඳහා බෞද්ධ සාහිත්‍ය විසින් මවන මේ template එක ඉතා දක්ෂ ලෙස කල වියමනක්.  ඔය template එකට අනුව රහත් බව ලබන්න ඕනි කෙනෙකුට ආසාවක් ඇති වෙන්න ඕනි. නමුත් ඒ සඳහා ගමන් කල යුතු මාර්ගය බෞද්ධ සාහිත්‍ය තුලින් මවපු විච්චූර්න powers තරම් happenning නෑ. නිවන් මාර්ගය කියන එක සම්පූර්ණ්යෙන්ම ඉලක්ක ගත වෙලා තියෙන්නේ පුද්ගලයාගේ සිත අරමුණු කරගෙන. සියලු බැඳීම් වලින් සිත නිදහස් කරගෙන මැදහත් සිතින් ලෝකය බලන සමීකරණයක් ඒක. මුලදී පැහැදිලි කලා වගේ තෘශ්ණාවෙන් සිත ගලවාගන්නා මග ලේසි පහසු මගක් නෙවී. ක්‍රම ක්‍රමයෙන් පරිභෝජනවාදය කරා දිශානත වී, පරිණාමය වෙමින් පැවති ලෝකයක එය එන්න එන්නම කල නොහැකි දෙයක් බවට පත් වුනා. විසඳන්න උවමනාවක් නැති සමීකරණයක් බවට පත් වුනා. ඒ නිසා සමාජයක් ලෙස මේකට උත්තරයක් හොයාගන්න අවශ්‍ය උනා. ඒ නිසා තමයි ඉතා සූක්ෂ්ම ලෙස ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා වායාම කොටස ප්‍රමුඛ කර ගැනීමේ ව්‍යාපෘතිය ඇරඹෙන්නේ. ශීල ගනයට අයත් වන සම්මා - වාචා, ආජීව, කම්මන්ත කියන කොටස් ඒ වන විටත් සමාජ ආචාර ධර්මයන් ලෙසත් රටේ නීති පද්ධතියටත් ඇතුලු වෙමින් තිබ්බ. සම්මා වායාම එහෙමත් නැතිනම් යහපත් වෑයම කියන මේ කොටසට තමයි කුසල් සමග ගනු දෙනු කරන කොටස ඇතුලත් වෙන්නේ. විස්තර සහිතව ගන්නවා නම් නූපන් අකුසල් ඉපදීම වැලැක්වීම, තමාතුල පවතන අකුසල් නැති කිරීම, නූපන් කුසල් ඉපදවීම හා උපන් කුසල් දියුණු කිරීම. ඉතින් මේ සම්මා වායාමය highlight කරලා අරගෙන විවිධ වර්ගයේ පුද පූජා ගොන්නක් එය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ඉතිහාසය පුරා හඳුන්වා දෙනවා. ඊට පස්සේ කාලෙක හින්දු බලපෑම නිසා ගැටගැසෙන ආත්මවාදයත් එක්ක තව තවත් මේ පුද පූජා ස්ථරයේ අවශ්‍යතාව වැඩිවෙන්න ගන්නවා

මේක කාගේවත් කූට ව්‍යපෘතියකට වඩා බෞද්ධයන්ගේ සාමූහික විඥානය තුලින්ම ඉල්ලා සිටි හා ක්‍රියාත්මක කෙරුණු වඩ පිලිවෙලක් ලෙසයි නයියාට හිතෙන්නේ. ඊට අමතරව රාජ්‍ය බලයත්, ආගම වෙනස් කිරීමේ ප්‍රධාන සාධකයක්. රජා ධාර්මික කරන්න කියලා දේශපාලනේට ගෑවෙන හමුදුරු ගොල්ල නතරවෙන්නේ රජ මාලිගාවේ තියන සැප සම්පත් පන්සලට අරන් ඇවිල්ලා. ඒකට අවශ්‍ය පදනම වැටෙන්නේ දුටු ගැමුණුගේ යුද්ධයේ ආරම්භයත් එක්ක. හාමුදුරුවරු විසින් මහා විශාල  මනුශ්‍ය ඝාතනයන් පවා නොපැකිලව සාධරණීකරනය කරන්න ආරම්භය ගන්නේ එළාර දුටු ගැමුණු යුද්ධයෙන්. නැවත මාතෘකාවට ආවොත් ක්‍රමයෙන් ඈත් වෙමින් යන නිවන සාක්ෂාත් කරගැනීමේ අඩුව පිරිමහන්න තමයි මේ පුද පූජා, ශාන්ති කර්ම හා දේව වන්දනා ආදේශ වන්නේ. මේ දේවල් ඉතා ශක්තිමත් වෙමින් ඉදිර්යඉදිරියටම ගමන් කරනවා. මොකද මේවා එක්ක මුදල කියන සාධකය ගැටගැසිලා තිබ්බ නිසා. ධනවාදී සමාජ ක්‍රමය බිහි වීමත් සමග මූලික වන මුදල නිසා  ක්‍රමයෙන් ද්‍රව්‍යකරණය වෙන සමාජයට පුද පූජා template එක අපූරුවට පෑහෙන්න ගන්නවා. විසඳීමට අපහසු සමීකරණයක් මත්තේ නැහෙනවා වෙනුවට මේ අලුත් template එක අපිට විසඳන්න පහසු එකක් වෙනවා. ඒකෙන් යෝජනා කරනවා මේ ජීවිත කාල්යේ පුලුවන් තරම් දන් දීලා, පුද පූජා පවත්වලා පිං ගොඩක් රැස් කරගෙන , ඊලඟ ආත්මයකදී නිවන් දකින්න try කරමු කියලා. පේනවනේ හරිම simple plan එකක්. මේ මාර්ගයේ ගමන් කරන්න සිත පිලිබඳ සිහියක් හෝ විදසුන් වැඩීමක් අවශ්‍ය නෑ. කරන්න තියෙන්නේ පුලුවන් තරම් හම්බ කරලා ඒකෙන් යම් කොටසක් පිං තකා වියදම් කිරීම පමණයි.  ඒක ධනවාදී සමාජ ක්‍රමයත් එක්ක හරියටම ගැලපෙනවා. නිර්වාණ අවබෝධය නැතිනම් රහතෙක් දැකීම කියන එක අනුභූතිකව විය නොහැකි තත්වයට පත් වෙන්නේ මේ ක්‍රියාවලිය අනුව. ඒ නිසා අපි සමාජයක් ලෙස අවුරුදු 2000ක් තිස්සේ නිවන් අවබෝධ කරන එක කල් දමමින් ඉන්නවා.හැබැයි අපි අර රහත් template එක අමතක වෙන්න දෙන්නේ නෑ. කරන්නාවූ සියලු පුද පූජා ,දාන මාන හා දේව වන්දනා අතරෙහි හාමුදුරුවරු අපිට පොඩි මතක් කිරීමක් කරනවා ලබන ආත්මයක නිවන් ලබන්න ඔනියි කියලත්. ඒ වගේම රහත් බවක් පිලිබඳ අවුරුදු 2000ක් තිස්සේම අනුභූතික සාක්ෂියක් නැති අපි අවිඥානිකව රහත් බවේ විය හැකි බාවය ප්‍රශ්න කරනවා.

3 comments: