Sunday, May 7, 2017

නිවන දුටු එකාට ගල් ගැසීම 2 - සමන්ත භද්‍ර සාධකය




පළමු කොටසෙන් අපි කතා කලේ වසර 2000කට ආසන්න කාලයක් තිස්සේ විය නොහැකි භාවයක් කරා ගමන් කරමින් ඇති රහත් බවට alternative එකක් විදිහට ප්‍රචලිත වෙමින් එන පුද පූජා සංස්කෘතිය සහ සාහිත්‍ය මගින් අපේ සිත් තුල පැළ කරපු රහත් template එක ගැන. නිර්වාණ අවබෝධය ඊලඟ භවයක් කරා කල් දමමින් එන මේ ක්‍රියාවලිය හරියට අපිට ඉස්කෝලේ කාලේදී හම්බවුණු අමාරු ගණිත ගැටලු මග හැරීම වගේ එකක්. ( අර ඒ දවස් වල අළු පාට කොටුවක "වැඩිදුරටත්"  කියල සඳහන් කරල   හැම පාඩමකම අන්තිමට තියන තියන ගණන් දෙක තුන.). ඒ කාලේ සමහර අසීරු ගණිත ගැටලු ගුරුවරුන් විසින්ම අපෙන් ඉවත් කර දමනවා. "ඕවා විභාගෙට එන්නෙත් නෑ...මේ වයසට ගැලපෙන්නේත් නෑ ඔය තරම් අමාරු ඒවා" කියල. ඉතින් ඒ වෙනුවට, අපි විසඳන්න පුලුවන් , ටීචරුත් අමාරුවේ වැටෙන්නේ නැති විදිහේ ගැටලු විසඳමින් ඉගෙනීම කරනවා. ඇත්තටම ඉතින් ඒ කිව්ව අමාරු ඒවා විභාගෙට එන්නෙත් නැති නිසා කාටවත් ඕකේ අවුලක් නෑ. ඒ අතිශය අමාරු ගැටලු ටික විසඳන්න කාටවත් උවමනාවක් වෙන්නේ නෑ. අපෙන්  උඩ පන්ති වල ඉන්න එවුනුත් ඔය ගනන් ටික හදල නෑ කවදාවත්. නිවන් දැකීමත් ඒ වගේ. අපි කට්ටියත් එක්ක පුද පූජා ටිකක් තියලා නිර්වාන අවබෝධය ඊලඟ ආත්මෙකට කල් දානවා. නිවන් දැකපු කෙනෙකුත් සහස්‍ර දෙකකටම මුන ගැහිල නැති  නිසා කාටවත් එකේ අවුලක් නෑ.


කස්ටියත් එක්ක ඔහොම සන්තෝසෙන් ඔය වැඩ ටික කරගෙන ඉන්දෙද්දි මෙන්න එනවා සමන්ත භද්‍ර කියල කෙනෙක්. එයා කියනවා එයා බුදු දහමේ තියන නිර්වානය අවබෝධ කරගත්ත බවත් ඒ නිසා එයා රහතෙක් බවත්. මේ කියමන අපි ජීවත් වන fantasy එක සම්පූර්ණයෙන් කඩා බිඳ දමනවා. යකෝ අපි කරන්න බෑ කියල ( අවිඥානිකව ) හිතන් හිටපු දේ මෙයා කලේ කොහොමද කියල ලොකු ප්‍රශ්නයක් මතු වෙනවා. ඇත්තටම අවිඥානිකව කිව්වට එහෙමමත් නෑ මට හිතෙන්නේ. ඇත්තටම අපිට නිවන් දකින්න සැබෑ උවමනාවක් තියනවද?....මේ අධි පරිභෝජනවාධී සංස්කෘතියේ පීන පීන නාමින් ඉන්න අපිට මේ කම් සැප අතහැරීමේ උවමනාවක් ඇත්තටම තියනවද?....ඒ සැප අත්හරිනවාට වඩා හොඳ නැත්ද ඔය පිනක් දහමක් කරල, දිනෙන් දින අලුත් වන , අත්කරගැනීම පහසු වන  තාක්ෂණික ධනවාදයේ මිහිරෙන් නැහැවෙන එක ?....ආර්ය අෂ්ඨාන්ගික මගෙහි දිගටම යන්නේ නැතුව සම්මා වායාමයේ නූතන edition එකෙන් අපේ ගමන නතර කරලා දකින නිවනක් ඊලඟ ආත්මයක දකින එක? .......පෙනෙන හැටියට නම් අපි කැමති විදිහ ඒක තමයි. අපිට නිර්වාන අවබෝධය සැබවින්ම උවමනානම්  නම් සමන්ත භද්‍ර හිමියන් නිවන් අවබෝධ කරා කියල කිව්වම උන්වහන්සේගේ පන්සල ඉස්සරහ ලංකාවේ බෞද්ධයන්ගෙන් 80%ක්වත් පෙල ගැසිලා ඉන්න ඕනි නිවන් දකින විදිහ අහගන්න. මොකද අපිට අවුරුදු 2000කට පස්සේ ලැබෙන රහත් බවේ පළමු  උදාහරණය තමයි සමන්ත භද්‍ර කියන්නේ. නමුත් එහෙම උනේ නෑ. 80%ක්ම කලේ උන්වන්සේව සැක කරපු එක. තමන් විය නොහැකියි කියල හිතන් හිටපු මේ දෙය කරපු ඔහුව ප්‍රතික්ෂේප කරන විදිහක් බොහෝ දෙනෙක්ට උවමනා උනා. ඒකට උදව් කරගත්තු ප්‍රධාන අයුධය තමයි අපි රහත් බව ලෙස විශ්වාස කල template එක.....ඒක භාවිතා කරමින් හැමෝම ඇහුවා කෝ super powers කියලා. උඩින් යන්න පුලුවන්ද?, නාහෙන් ගිනි පිට කරන්න පුලුවන්ද, හිත් කියවන්න පුලුවන්ද එහෙමත් නැතිනම් දැක්ක පමණින් cool වෙලා යන රන්වන් විනීත පෙනුම තියනවද? .... .මේ කිසිවක් ඔහු ලඟ නෑ. ඉතින් එහෙනම් කොහොමද රහත් කියන්නේ ?.....


සමන්ත හිමියන් රහත්ද නැතිද කියන්න නයියාට දැනුමක් නෑනෙ. ඇත්තටම ඒක කියන්න කාටවත් හැකියවාක් නෑ මං හිතන්නේ. නිර්වාණ අවබෝධය ගැන කියවලා තියන තරමින් මට හිතෙන විදිහට ඒක පුද්ගලයාට තමන් විසින් විඳිය හැකි දෙයක්. එය තමන් විසින් අවබෝධ කරගෙන තෘෂ්ණාව කියන සාධකය නැති කරගත් විට තමන් ඇතුලාන්තයෙන් අත් දකින දෙයක්.නමුත් ඒ දේ පිළිගන්න අපි ලෑස්ති නෑ. එකක්, අපිට කැමැත්තක් නෑ අපි ගත කරමින් ඉන්න සහ තව දුරටත් වර්ධනය කරගන්න ආසාවෙන් ඉන්න මේ පරිභෝජනවාදී ක්‍රමයට මද විරාමයක් හෝ දෙන්න. දෙක, අපි කැමති නෑ විශ්වාස කරන්න කවද හෝ අනාගත භවයක අපි රහත් උන දවසක අපිට ලැබෙන්නේ super powers නැති inner peace විතරක් තියන තත්වයක් කියන එක. ප්ලේන්ටියක් බොන්න ගියත් සෙල්ෆියක් ගහල fb දාලා මම ප්ලේන්ටී බොනවෝ "feeling පට්ට" කියලා දාන, පන්සලකට ගියත් තමන් කරපු දේවල් ලෝකෙට පේන්න photos ගහලා, තැන් තැන්වල කියවලා  වපුරවන, සංස්කෘතික ප්‍රදර්ශනකාමයක් දක්වා පරිණාමය උන අපිට පිළිගන්න බෑ රහත් බව කියන්නේ ලෝකෙට පේන්න පොඩි වැඩ කෑල්ලක්වත් දාන්න බැරි තත්වයක් කියලා.

සමන්ත භද්‍ර සාධකය කියන්නේ මෙන්න මේ fantasy නිර්වාණයෙන් අපිව මුදව ගන්නා ක්‍රියාවලියට. සැබවින්ම ඔහු රහත්ද නැතිද යන්න අපිට අදාල නෑ. වැධගත් වෙන්නේ ඔහු විසින් නිරුවත් කරන fantasyගත ආගමික අධිපතිවාදය. ඔහුගේ ක්‍රියාවලිය හරහා අපිට පේන්න ගන්නවා අපි මෙතෙක් කලක් බුදු හාමුදුරුවන් ගැන පවා එලඹිලා ඉඳලා තියෙන්නේ සාහිත්‍ය කරුවන් මැවූ සුරංගනා කතා ලෝකයක කියලා. ඔයාට ඇයි මෙච්චර ලොකු පන්සලක් ? ඇයි මෙච්චර සල්ලි වියදම් කරන්නේ කියල අහනකොට , ඔහු අපිට උදාහරණ ගේනවා ජේතවනාරාමයේ විශාලත්වය හා ඒ කාලේ දුන්නයි කියන කහවණු කෝටි ගනනක දාන මාන ගැන. බුදුන් වහන්සේ උදෙසා දීපු ඒ ලොකු ලොකු පන්සල් , කහවණු ගණනක දාන මාන අපි මෙතෙක් කල් පාවිච්චි කලේ බුදුන්ගේ සහ රහතුන්ගේ වටිනාකම සහ අද්විතීය භාවය ගැන කියන්න පුලුවන් පම්පෝරියක් හැටියට.නමුත් ඔහු කියන දේ හරහා අපිට පේන්න ගන්නවා සාහිත්‍ය විසින් අපිව කොයි තරම් අන්දලාද කියලා. ඒ ඇන්දීමේ ඵලයක් හැටියට තමයි අපේ මිනිස්සු දහම් පාසලෙන් පටන්ගත් ජාතක කතා පොතේ ලස්සන කතා සාධු සාධු කිය කිය මැරිල යනකල්ම කියවන්නේ.ඊට එහා විනිවිද යන කියවීකට සූදානමක් කවදාවත් නෑ.දේවවාදී ආගම් සමග තිබුණු නිල නොලත් අරගලයන් වල සහ බුද්ධාලම්බන ප්‍රීතිය වැඩිදියුණු කිරීමේ අරමුණු  වල ප්‍රතිඵල ලෙස බිහිවූ මේ සාහිත්‍ය නිර්මාණ අපිව කෙතරම් සැබෑ බුද්ධ දේශනාවෙන් ඈත් කරලද කියන එක වටහාගන්න සමන්ත භද්‍ර සාධකය ඉතා වැධගත්. නමුත් කණගාටුවට කරුණ වෙනේ ඔහුගේ අනුගාමිකයන් ඔහුගේ මග පෙන්වීම යටතේ fantasyගත බෞද්ධ අධිපති රාමුවෙන් මිදෙනකොටම ඔවුන් ගිහිල්ලා සම්න්තභද්‍රගේ රාමුවට ඇලෙනවා. තඩි තඩි බුදු පිළිම , දේව පිළිම , පළතුරු පූජාවෙන් මිදෙන ඔවුන් නතර වෙන්නේ සමන්ත භද්‍රගේ තඩි පිළිමයක් හදලා ඒකට පාට පාට මල් පූජා පවත්වන තැනකින්. සමන්ත හිමියන්ගේ ඇතැම් අනුගාමිකයන් facebook හරහා ඔහුට කඩේ යන්නේ දේශපාලකයන්ට කඩේ යන ටොයියොන්ට බයියොන්ට හා ජෙප්පොන්ටත් අන්ත විදිහට. බහුතරයක් එහෙම නොවේවායි අපි ප්‍රාර්තනා කරමු....... කරුණු එසේ වුවත් මේ වෙසක් කාලය විචක්ෂ්ණශීලීව දහම නැවත කියවීමකට හොඳ කාලයක්. ඉතින් වැඳිල්ල පැත්තකින් තියල කස්ටියත් එක්ක පොත පත පොඩ්ඩක් කියවන්න ගමු.

1 comment: