Saturday, November 25, 2017

රෙදි ගැලවූ විට දුටුමි කොන්දක් නොමැති බව උඹට





ලංකාවේ music video කර්මාන්තය පහුගිය වසර කිහිපයක කාලය තුල ඉතා වේගයෙන් ප්‍රසාරණය වූ අංශයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මීට වසර දෙකකට පමණ කලින් පැවති  music video trend එක  අද දවස වන විට වෙනමම ස්ථරයක් දක්වා විතැන් වී ඇති බව පැහැදිලිය. අවුරුදු දෙකකට පමණ කලින් හොටු පෙරන් අඬන කොල්ලන්ගෙන් හා චපල කෙල්ලන්ගෙන් පිරි අරාබි නිසොල්ලාසයක් බඳුවූ music video කලාව/කර්මාන්තය අද වන විට හෙලුවැලි කාන්තා ශරීර වල සැනකෙලියක් වී ඇත. අඩ නිරුවත් ජවනිකා වලින් පිරි මේ videos වල අරමුණ ජනප්‍රියතාව හඹා යෑම සහ මුදල් සෙවීමේ උවමනාව හැර වෙන කිසිවක් නොවන බව මොනවට පැහැදිලිය. You tube hits ප්‍රමාණය වැඩි කරගැනීමේ ප්‍රමුඛ උවමනාවෙන් කෙරෙන මේ අලුත් ප්‍රවනතාවයේ music videos ගැන නැවත ලියන්න හිතුනේ පසුගිය සතියේ Sunday Apple පත්තරයේ පලව තිබූ සාකච්ඡාවක් දැකීමෙන් අනතුරුවය. සාකච්ඡාව සිදු වන්නේ පසුගිය දිනෙක නිෂ්පාදනය වූ "සිරවී" නම් වූ ගීතයක් ගැනය. කතාවේ හැටියට මේ video එකෙන් කතා වෙන්නේ මීට ටික කලකට පෙර ගෙල වැලලාගෙන මියගිය තරුණ නලුවෙක් ගැනය. සාකච්ඡාවේ අරමුණ මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතය මෙලෙස නිර්මාණ වලට නැගීමේ සදාචාරවත් බව පිලිබදවයි. මේ පිලිබඳව ප්‍රධාන වශයෙන් අදහස් දක්වා තිබුණේ එම රූප රචනයේ අධ්‍යක්ෂකවරයාය. ඊට අමතරව එම ගීතයේ ගායකයා සහ රූප රාමුවට පෙනී සිටි නිරූපණ ශිල්පියාත් , ශිල්පිණියත් අදහස් දක්වා තිබුණු අතර ලංකාවේ තරුණ නලු නිලියන් පිරිසකගේ අදහස්ද  චූටියට පල කර තිබුණි.

මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතය  කලා නිර්මාණ වලින් ආක්‍රමණය කරන බවට නැගෙන කතිකාව අද ඊයේ ඇති වුනක් නොවිය යුතුය. අතීතයේ සිටම කලා  ප්‍රකාශන වලට මිනිසුන්ගේ පුද්ගලික ජීවිත වල වග තුග ප්‍රස්තුතයන් බවට පත්වී තිබේ. දේශපාලකයන්, පූජකයන්, විවිධ වෘතිකයන් පමණක් නොව ආගමික ශාස්තෲන් ගැන පවා කලා නිර්මාණ බිහිවී ඇත. ඒ බොහොමයක් තැන් වලදී අදාල පාර්ශව වලට සම්බන්ධ පුද්ගලයන්ගේ විරෝධය ඊට එල්ල වන්නේ තම තමන් නියැලෙන ක්ෂේත්‍ර වලටත් තමන්ගේ චරිත වලටත් ඉන් හානි වන බවටය. බොහෝ පුද්ගල චරිත අලලා නිර්මාණය වූ කලාකෘති දහස් ගනනක් ලෝකයේ ඇත. ඒ ඒ කෘති වල ඒ ඒ චරිත කරන සමහර කටයුතු එම චරිත කලු චරිත බවට පත් කරන බව විවාදයක් නැත. එසේත් නැතිනම් අපි දැන සිටි දීප්තිමත් චරිත වල අඳුරු අහු මුලු හෙලි පෙහෙලි වන බවටත් අත්දැක ඇත. ඒ සියලු දේ ඇත්තක්ද යන්න අපිට මැනගැනීමට නොහැක. ඉන් සැලකියයුතු ප්‍රමාණයක් නිර්මාණකරුවාගේ පරිකල්පනීය දේ විය හැකිය. ඒ නිසා එවැනි නිර්මාණ වලට වාරණීය, මර්දනීය හඬ නැගෙන සෑම විටකම  නිර්මාණකරුවෝත් අනෙක් කලාකරුවෝත් ප්‍රකාශනය සඳහා වන තම අයිතිය වෙනුවෙන් කොන්දේසි විරහිතා පෙනී සිටිති.

අපි දැන් ලංකාවේ music video කෙරුවාව දෙසට හැරෙමු. පෞද්ගලික ජීවිතය තුලට ප්‍රකාශන මාධ්‍යයන් එබී බැලීමේ සදාචාරය ගැන දරුණුවට ප්‍රශ්න වන්නට ගන්නේ මුලදී කතා කල "සිරවී" ගීතයත් මීට ටික කලකට කලින් ඉරාජ් නිර්මාණය කල "දැනුනා" නම් ගීතයත් නිසාය. කෙලින්ම කිව්වොත් ඉරාජ්ගේ නිර්මාණයේ ඉලක්කය වී තිබුණේ වික්ටර් රත්නායක මහතා වන අතර "සිරවී" එකේ ඉලක්ක වී ඇත්තේ දසුන් නම් සියදිවි හානි කරගත් තරුණ නලුවාය. දැන් මේ සිද්ධි දෙක music video තුල රූපයට නැගීම වැරැද්දක්ද?.  මුලදී කිව්වාක් මෙන් ලෝකය පුරාත් ලංකාවේත් පුද්ගල චරිත පාදක කොටගත් නිර්මාණ ගැනිය නොහැකි තරමට බිහිව තිබේ. ඒ සෑම නිර්මාණයකදීම වාගේ අදාල චරිත සම්බන්ධ යම් යම් අඳුරු චිත්‍රයන් මවයි. කලාකරුවන් කියන අන්දමටම ඒවා ප්‍රකාශනයේ නිදහසය. පුද්ගලික ජීවිත හා නිර්මාණය පටලවාගතයුතු නොවේ. නිර්මාණයක් තුල නිර්මාපකයාගේ ආධිපත්‍ය අසීමිතය.
කලාව යනු ආත්මීය විෂයකි. එය සහෘදයාගෙන් සහෘදයාට දැනෙන හැඟෙන විදිහ විවිධවේ. නිර්මාණකරුවාගෙන්  කරුවාට රූපයට නැගෙන ප්‍රබලතාව වෙනස් වේ. එවැනි තත්වයක් තුල පුද්ගලික ජීවිත නිර්මාණයට නැගීමේ ප්‍රවනතාවන් කෙතරම් තීව්‍රතාවයකින් යුතු වේදැයි ඉරක් ගසා  අර්ථ දැක්විය නොහැක. එය තම තම නැණ පමණනින් විසඳාගතයුතු දේවල් වන්නේය. මන්ද ඒවා වාස්තවික දේ නොවෙන බැවිණි. උත්ප්‍රාසය වන්නේ මේ නිර්මාණ දෙකට විරුද්ධ වන්නෝ බොහොමයක් කලා කරුවන්ම වීමය. ප්‍රකාශනයේ නිදහස , කලාවේ භාවිතාව වෙනුවෙන් හඬ නගන පිරිසම එවැනි නිර්මාණයක් තම රැහේ එවුන්ගේ ජීවිත තුලට එබුණු විට පෙනේ පිප්පීමය. මා පැවසූ පුවත් පත් සාකච්ඡාවේ අදහස් දැක්වූ තරුණ නලු නිලියන් සියල්ල අදාල වීඩියෝවේ නිර්මාණකරුට බැන වැදී තිබුණු අතර සම්හරෙක් පවසා තිබුනේ ඌව මගදි හම්බුණොත් කණට ගහන බවය. ඔන්න මේ තරුණ කලාකරුවන්ගේ අදහස් වල තරම. දේශපාලකයන් හෝ සමාජයේ ආධිපත්‍යදාරීන්ගේ චරිත උපහාසයට, විවේචනයට ලක් කිරීමට හෝ අනාවරණය කිරීම වෙනුවෙන් අත් දෙකම ඔසවා පෙනී සිටින කලා ප්‍රජාව තමන් දන්නා අඳුනන තම සහෝදර ශිල්පියෙක්ගේ ජීවිත ආශ්‍රිත නිර්මාණයක් තිරය මත දිග හැරෙන විට අන්දොස් වීම එතරම් තේරුම් ගත නොහේ.

පුද්ගලික ජීවිත ආක්‍රමණය කිරීමේ චෝදනා මේ රූප රචනා දෙකට දැඩිව එල්ලව වන්නට  තවත් ප්‍රධාන කරුණක් වන්නේ මේ දෙකේම ඇති යම් යම් අනවශ්‍ය කොටස් කිහිපයක් නිසා විය යුතුය. එම දර්ශන වල පූර්ණ අරමුන වී ඇත්තේ ප්‍රචාරණය බව පැහැදිලිය. කිසිසේත්ම අදාල නොවූ හා ජුගුප්සාජනක මෙවැනි දර්ශන ඇතුලත් කිරීමේ එකම අරමුණ, කුතුහලය නිසා ඒවා බැලීමට එන පිරිස උපයෝගී කරගෙන තම You tube hits ප්‍රමාණය වැඩි කරගැනීම මිස වෙනකක් නොවේ. කලා ප්‍රකාශන මත මුදල් සාධකයේ බලපෑම එන්න එන්නම තීව්‍ර වන්නක් මිස අඩුවන්නක් නොවේ. ප්‍රකාශන අවශ්‍යතාව හා මූල්‍ය අව්ශ්‍යතාවන් දශක ගනනාවක් පුරා මිශ්‍ර වෙමින් එකිනෙක ප්‍රතික්‍රියා කර ඇති බැවින් නැවතත් කියන්නට ඇත්තේ ප්‍රකාශනය හා මුදල අතර බෙදුම් රේඛාවක් සලකුණු කිරීම මේ සමාජ ක්‍රමය තුල සිහිනයක් පමණක් බවයි. මුදලට වහල් නොවී තම ප්‍රකාශනය වෙනුවෙන් පෙනී සිටිය හැකි උන් සිටිනුයේ අතිශය අල්පයක් පමණි. එය අල්පයක්ම බව රූප රචනා කලාවේ ප්‍රවනතා රැලි දෙස බැලූ විට මොනවට වැටහේ. මුදල හා ජනප්‍රියත්වය මුසු වූ එම මහා රැළි ප්‍රවාහයට හසුව අපේ ඇස් ඉදිරියට ගසාගෙන එන දේවල් කලා නිර්මාණ ද? නැතිනම් මානසික ව්‍යාධියක නෂ්ඨාවශේෂද යන්න වටහා ගතහැකි ලෝකයක් තැනීමේ වගකීම බාර වන්නේ කලාවේ නියලෙන්නන්ටමය. එය කල හැක්කේ එක එකාගේ කණට ගසා නොව තමන්ගේ හෘද සාක්ෂියට කතා කර බලාය.

දැන් අපි පුවත්පතේ ප්‍රශ්න වලට පිළිතුරු දුන් රූප රචකයාගේ අදහස් දෙසට යොමු වෙමු. ඔහුට අනුව ඔහු සිරස කුමරිය දිනූ ශලනිව මෙහි පෙන්වා නැත. රූප රචනයට අනුව එහි සිසිර කුමරියක් බිහි වන්නේත්, ශලනිගේ මෙන් නිකටේ උපන් ලපයක් ඇයටත් තබනුයේ නිකම්මය. කතාවේ තරුණයා fan එකක එල්ලී දිවි නහගන්නේත් ඔවුන් දෙදෙනාම නලු නිලියන් වන්නේත් නිකම්මය. දසුන්ගේ ජීවිත කතාව මේ video එකට ගැලපීම අහම්බයක් මිස, අධ්‍යක්ෂකයාගේ තුන්හිතකවත් දසුන්ගේ ජීවිත කතාව තිබී නැත. ඊට අමතරව මේ video නිළියගේ කට වටේ සුදු පැහැති යම් ද්‍රවයක් ගෑවී තිබෙන අයුරුත් ඇය එය දිවෙන් ලෙවකන අයුරුත් සමීප රූප රාමුවකින් පෙන්වයි. එය අන්තිමට ice cream එකක් බව අපිට පෙන්වයි. අධ්‍යක්ෂවරයාට එක විටම දියවුනු ice cream එකක් කන සීන් එකක් මතක් වෙලාය ඒ සීන් එක දමා ඇත්තේ. මේ වගේම ආනමාලු කන සීන්, සොසේජස් වලින් චීස් පනින සීන් ඉරාජ්ගේ වීඩියෝවේත් තිබුනි. මෙවැනි දර්ශන වලින් සංඛේත කරන්නේ මොනවාද යන්නත් ඒවායේ අරමුණ ප්‍රචාරණය (negative marketing) බවත් ඕන වෘෂභයකුට වැටහෙන්නේය.

අනික් කාරනය අඩ නිරුවත් දර්ශන තොරක් නැතිව අන්තර්ගත කරමින් තනන මේ රූප රචනා අධ්‍යක්ෂවරුන් කියා සිටින්නේ ඔවුන් මේවා කරන්නේ සමාජයට පනිවිඩයයක් දීමට බවය. වැඩිහිටියන්ට සැලකීමේ වැධගත්කම, සියදිවි නසා ගැනීම හොඳ නැති බව, සිගරට් අරක්කු බීම හොඳ නැති බව සමාජයට කියන්නටයි ඔවුන්ට උවමනාවී ඇත්තේ. ඒ අතින් ගත් කල පන්සලේ හාමුදුරුවන්ටත් නැති සමාජයට පණිවිඩ දීමේ ඇම්මක් අපේ තරුණ music video director මහත්වරුන්ට තිබේ. හැම වීඩියෝවේම අන්තිමතත්පර පහේ තිබෙන මේ පණිවිඩය දැනගැනීමට තවත් විනාඩි 3ක් රෙදි නැතුව ආතල් දෙන සීන් බලා සිටිය යුතුය. ඒ අතරට කෙසෙල් ගෙඩි කන ඒවා, කට වටේ ගෑවුනු අයිස්ක්‍රීම් ලොවින ඒවාද නොමිලේ අන්තර්ගත වේ. රෙදි ගලවන video හැදුවාට නයියාගේ නම් කිසිදු විරෝධයක් නැත. අපේ පැරණි වැඩිහිටියන්ට පමණයි ෆිලුම් වල මහත දෙහෙත ඇන්ටිලාත් අන්කල්ලාත් වෙව්ල වෙව්ලා කඳ බඩ අතගාන , lip kiss එකක් දීගන්න බැරි, ඔක්කාරයට එන සීන් වලට වඩා මේ music videos පට්ට ඉදිරියෙන් තිබේ. ඉන්නා කෙල්ලනුත් බොහෝ විට ගින්දරය. ඒත් අවුල ඇත්තේ මේවා හදන උන් මේවා හදන්නේ සමාජයට පනිවිඩ දෙන්නය , දියවුණු අයිස් ක්‍රීම් කට වටේ ගාගන්නේ පොඩි කාලේ මතක් වෙන්නය වගේ කියලා ගොන් ආතල් දෙන එකය,බබාලා වෙන්න හදන එකය.

මෙරට මෙන්ම ලෝකයේ බොහොමයක් නිර්මාණ කරුවෝ තම ප්‍රකාශනයේ නිදහස උදෙසා රජයන් සමග පවා ගැටී ඇත්තේය. ඒවා බොහොමයක් විකුණන්න හදපුවා නොව තමාගේ පරිකල්පනීය දෑ කලා මාධ්‍යක් තුල විදාරණය කිරීමේ උවමනාව නිසා බිහිවූ දෑය. අධ්‍යතනයේ බිහි වෙන දෑ බොහොමයක් විකිණීමේ පරමාර්තයෙන් බිහි වන දෑ වන්නට පුලුවන්ය. නමුත් එය පවතින ක්‍රමය තුල වැරැද්දක් නොවේ. හැම තැනම එහෙමය. ඒත් අවුල ඇත්තේ ඒවා හදන උන් කොන්ද පණ නැති ලපයි සිපයි මෙන් හැසිරෙන එකය. තමන් කල නිර්මාණය වෙනුවෙන් කොන්දක් ඇතුව පෙනී සිටීමේ හැකියාවක් නිර්මාපකයෙක් තුල තිබිය යුතුය. තමන්ගේ නිර්මාණයක් වෙනුවෙන්වත් පෙනී සිටිය නොහැකි ලපයි සිපයියෝ කලා සාගරය තුල සල්ලි මලු පොදි බැඳන් ජබු ගහන විට උන්ට පිටවන මළ පහ  සමුදුරු වෙරළට  ගසාගෙන එන්නේය. අපිට රැල්ල පාගන්න වෙන්නේ අසූචිත් පාගා ගෙනය.
තවත් සරළව කියන්වානම්, මචං උඹට ඕනෑ නම් හෙලුවෙන්, නැටුවාට, නැටෙව්වාට කමක් නැත, ඒත් බබා වෙන්න නම් හදන්න එපා.....

2 comments:

  1. ඒ නිළිය කියල තිබුණු දේ දැක්කද?

    අයිස් ක්‍රීම් කකා ඉන්නකොට කලා අධ්‍යක්‍ෂක ඇවිත් ඒක මූණෙ ඇතිල්ලුව ලු. ඒ ටික දිවෙන් ගන්න කිවුවලු.

    මේව කියවන්නෙ මිනිස්සු නෙවෙයි හාවො කියල වත් හිතන් ඉන්නවද දන්නේ නැහැ. පාඨකයොත් එයාල වගේම මෝඩයි කියල හිතන් ඇති.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ....ඒ කතාවෙ හැටියට නිරූපිකාව අහින්සක හාවෙක්, නලුවා අහින්සක මීමින්නෙක්, රූප රචකයා අහින්සක මුව පොව්වෙක්.....කියවන අපි හරක් :P

      Delete