Saturday, October 26, 2019

හැම තැනම දුම(8th epi) - ගින්න




මමත් රාජයියාත් බෝඩිමේ කළු බඩා අයියාත් වැටුනු වැටුනු තැන් වලට වෙලා හති අරින්න ගත්තා. කට කැඩිච්ච බේසමට පුරවපු අන්තිම වතුර ඩිංගෙන් කොටහක් මම බෙල්ල වටේට හලා ගත්තේ දැණුනු මහ දාහය දුරු කරලා අරින්න. මම රාජයියා දිහා බැලුවා. රාජයියා තවමත් දුම් දමමින් තිබුණු ටුක් එකේ ඇට සැකිල්ල දිහා බලං ගල් ගැහිලා. ඒ දුම වටේටම පැතිරෙමින් තිබ්බා. හැම තැනම දුම. මට රාජයියගේ ඇස් දෙක පැහැදිලිව පේන්නේ නෑ. ඒත් ඒ ඇස් රතුවෙලා ඇති කියලා මට හිතුනා. කේන්තියට, මහන්සියට, රස්නෙට, දුමට, දුකට ඇස් රතු වෙලා ඇති. ගිනි ගෙන ඉවර තමන්ගේ වටිනම වස්තුව දිහා බලං ගිනි ඇවිලෙන ඇස් දෙකක්.
රෑ දොළහ වෙද්දි මම හිටියේ හොඳ නින්දක. මොකක්දෝ දෙයක් බිඳිලා යන සද්දෙකට වෙන්න ඕන මම ඇහැරුනේ. කොහෙන්දෝ එන එළියක් නිසා මුලු කාමරයම එළිය වෙලා තිබ්බා. විනාඩියක් දෙකක් සිහිය එලවගන්න ට්‍රයි කරනකොට තේරුනා කාමරේ ලඟින්ම වුනු තාප්පෙට එහා පැත්තෙන් මහා ගින්නක් ඇවිලෙන බව. කාමරේ එලිය වුනේ ඒ ගින්දරෙන්. එලිය ආවමයි දැක්කේ බෝඩිඒ වහලටත් වඩා උසට ඇවිලෙන මහා ගිනි ජාලාවා. ටිකක් එහාට ගිහින් බයෙන් බයෙන් තාප්පෙන් ඉස්සිලා බෙල්ල දාලා බලද්දියි දැක්කේ අම්මමෝ නැතිව ඇවිලෙන්නේ රාජයියගේ ත්‍රීවිල් එක බව. රාජයියා කියන්නේ අපේ බෝඩිම එහා පැත්තේ අසල්වැසියා.වීල් පාක් එකේ හිත හොඳ චන්ඩියා. බෝඩිම අයිති කලු බඩාවත් ඇහැරවගෙන අපි කෑගහගෙන දිව්වා රාජගේ ගෙදරට. හොඳට ගසලා නිදා උන්නු රාජව ඇහැරවන්න ටිකක් වෙලා ගියා. ඉන් පස්සේ ඇරඹුනු අපි තුන් දෙනාගේ ගිනි නිවීමේ මෙහෙයුම සාර්ථක එකක් නොවුනේ මොකක්දෝ කරුමෙකට ඒ මහ රෑ වතුර කපලා තිබ්බ නිසා. ඒ නිසා වතුර අරං එන්න බෝඩිමට ආයේ ආයේ දුවන්න උනා. රාජගේ ගෙදර වතුර ටැංකියක්වත් නෑ රෙද්ද. ඒ මදිවට රාජාගේ ගේ වටේ පිටේ සෙට් එකම් කොහේදෝ ට්‍රිපක් ගිහින් නාකි උන් ඉන්න උන්ගේ තරුණ සමිතියෙන්. මිශන් එක ඉවර වෙද්දි ටුක් එකේ ගන්න දේකට කියලා ඉතුරු වෙලා තිබ්බේ යකඩ සැකිල්ල විතරයි.
තැනින් තැන පුපුරපු වීදුරු කෑලි විසිරිලා තිබ්බා. ලඟ තිබුණු එක වීදුරු කෑල්ලකින් මට ඉහළ ආකාසේ තියන හඳ පලුවෙ කෑල්ලක් පේනවා. රාජයියා තවමත් පුපුරමින් හිටියා.
"මට හිතාගන්න පුලුවන් කවුද මේක කරපු පරයා කියලා" අන්තිමේදි රාජයියා කට ඇරියා. කලු බඩා විමර්ශන සාකච්චාව සඳහා රාජයියට කිට්ටු කරා.
තමන්ගේ දෙයක් ගිනි ගද්දි හිතේ ඇතිවෙන ගින්දරෙන් කොහොම වේදනාවක් උපදිනවා ඇද්ද.ඒ ගින්නට තමන්ගේ ජීවිතෙත් බිලි වෙයිද කියලා බයකින් හිත කොච්චරක් ගැහැනවා ඇද්ද. ඒ ගිනි පුපුර අවුලවපු එවුන් ගැන කොහොම කේන්තියකින් හිත ඇවිලෙනවා ඇද්ද. මම රාජයිගේ මූණ දිහා ආයෙම බැලුවා. මේ සිද්දියට අදාල නැති මහ පරණ කතාවක සියුම් සෙවනැල්ලක් ‍රාජගේ මූණට වැටිලා තියනවා වගේ ගතියක් මට පෙනුනා. මීට කාලෙකට කලින් අඩියකට සෙට් වුනු වෙලාවේ රාජයියා තමන්ගේ තරුණ කාලේ ගැන වෙරි මතේ ගහපු කයියක තිබ්බ කතාවක් තමයි ඒ හෙවනැල්ලට මූලාශ්‍ර වෙන්නේ. බලාඉද්දි රාජා තරුණ වෙලා දශක ගණනාවක් පස්සට මාව ගහගෙන ගියා.
*******************
ඔවුන් ඩබ්.ඒ.සිල්වා මාවතෙන් ගාලු පාරට වැටෙන විට අලුයම් හිරු කිරණ පළමු වරට පොළව සිප ගනිමින් තිබිණි. සමහරවිට මේ හිරු කිරණ පොළව සිඹින්නට පැමිණියේ බොහෝ වෙලාවකට මත්තෙන් විය හැක. එළිය දෙන්නට තරම් සතුටක් මහ පොළව උඩ නොවූ නිසා තම රැස් උපරිම කාලයක් සඟවා තබාගන්නට හිරුට සිතෙන්නට ඇත. නැතිනම් පලින් පල දැවෙන නිවාස හා කඩ වලින් නැගෙන මහා දුම් වලාව නිසා පොළවට පැමිණි හිරු රැස් අතරමග හිරවන්නට ඇත. මිතුරන් සිව් දෙනාට තම තමන් සතු අන්තිම සිගරට් කිහිපය දල්වාගන්නට අමුතුවෙන් ගින්දර ඕනෑ වූයේ නැත. වැල්ලවත්ත හන්දියේ සිට බලන බලන හැම අතම ඇත්තේ ගිනි ගොඩවල් මිස අන් මොනවාද?. කෙසේ වුවත් ගාලු පාර දිගට නම් තමන්ට කරන්නට එතරම් දෙයක් ඉතිරි වී නැතිබව සිව් දෙනාටම පැහැදිලි විය. තමන්ට පෙර ගාලු පාර බාරගත් සිංහල දේශප්‍රේමීන් බොහොමයක් පුංචි යාපනයට ගිනි දී සබ්බ සකල මනාවටම සුද්දය දී අහවරය. ගාලු පාරට වැටෙන්නට පෙර මොහොතේ ගිනිබත් කල සාරි කඩයෙන් පන්නා ගත් වටිනා සාරි කිහිපය ගෙදර දුවගොස් අම්මාටත් අක්කලා දෙන්නාටත් බෙදා දෙන ආකාරය ඔහුට මැවී පෙනෙයි. මේ කාලයේ නම් සාරි වැඩියෙන්ම අවශ්‍ය වන්නේ අලුත රස්සාවකට ගිය ලොකු අක්කාටය. ගෙදරට අවශ්‍ය අඩුම කුඩුම බොහොමයක් සපුරාගත හැකි මුදලකින් සාක්කු දෙකද පිරී ඇති බව ඔහුට සහතිකය. හැම කඩයකටම , නිවසකටම ගිනි අවුලන්නට පෙර වටිනා කියන දේ සුද්ද කළ යුතු බවට වන රත්තරං උපදේශය දුන්නේ සිරි අයියාය. ඔහුට තරම් නුවණක් කොහේද ඊයේ පෙරේදා පාසල් ගමන අවසන් කළ තම මිතුරන් දෙදෙනාටත්, තමන්ටත්. ඔවුන් තිදෙනාගේ කකියන සිංහල ලේ වලට වෙලඳපොල අගයක් එකතු කලේ සිරි අයියාය. පස් වෙනි කඩයට ගිනි දමද්දී සිංහල ආලය කොහේද මංදා ගොස් ඉතුරුවෙලා තිබුනේ සාක්කු බර කරගැනීමේ පෙරේත කම පමණි. ගිනි ජාලා අහස උසට නැගෙද්දී කල්ල මරේ වූයේ මල්ලේ බර දිගින් දිගට වැඩි වෙමිනි. ඔහුගේ හදවත මදක් කම්පා වුනා නම් වූයේ එක් කඩයක මුරට වූ තරුණ දෙමලාගේ ඔලුවට දුන් පොලු පාර ගැනය. ඌ නොමැරී ඇත්නම් හොඳය. බොහොමයක් පොහොසත් දෙමලුන් හැකි දෙයක් පොදි බැඳ පළාගොස් සිටියදී මේ යකා පමණක් කෙසේ ඉතිරි උනාදැයි ඔහුට සිතා ගත නොහැක. ඌ මුරකාරයෙක් නිසා විය හැක. එක අතකට එතනත් ලෙසටම කෙල වී ඇත්තේ දුප්පතාටමය. දෝයි ගා ඔලුවට දුන් පොලු පාරෙන් උගේ හිස පැලී සී සී කඩ විදින්නට ගත් ලේ වල රතු පැහැය කලුවරේදී වුවද හඳුනා ගැන්මට ඔහුට හැකි විය. සිරි අයියාට ඕනෑ වුනේ ඌව කඩය තුලම බාබකිව් කිරීමටය. ඒත් හිත යට කොහේදෝ වූ අනුකම්පාවක් නිසා කඩය ගිනි තබන්න මොහොතකට කලින් දෙමළ මුර කොල්ලාව එලියට ඇද පාරට දමන්නට ඔහුට හැකිවිය. අඩු ගානේ දැන් ඌ පිච්චිලා මැරෙන්නේ නැත. කම්මැලි නැතුව පිරික්සුවොත් දැවී ගිය කඩවල් අතර පවා වටිනා යමක් සොයා ගන්නට බැරි වන්නේ නැත. ඒත් තවත් දෑ ගෙනියන්නට තරම් හැකියාවක් නැත. ශර්ට් සාක්කුවේ පටන් කුඩා කුඩා මලු කිහිපයක් දක්වා වාසි සරුවී ඇත. වැඩි තන්හාවට ගියහොත් අන්තිමේදී නතරවන්නට වන්නේ පොලිස් කූඩුවේය.හැබැයි පහු ගිය පැය ගණනාව පුරාම පොලීසියෙන් නොවේ ඔවුන්ට බාදාවක් කලේ.ඒ කෙසේ වුවත් කෙමෙන් කෙමෙන් උදෑසන එලිය තර වෙන බැවින් පිරිස හනි හනික විසිර යෑමට තීරණය කලහ. ඔහු ගෙදරට පය තබන විට ඔරලෝසුවේ උදෑසන 8 වැදුනා පමණි.
"කොහේද රාජෝ තෝ මක බෑවුනේ......අපි මේ පපුව ගිනි අරං හිටියේ. ඇත්ත කියපන් තෝත් ගියා නේද....."
බෑගය උඩම තිබූ රතු පැහැති දිදුලන සාරිය අම්මාගේ ඔලුවට දැමූ රාජා ඇගේ කට වැසුවේය.නැතිනම් මුලු මුඩුක්කුවටම ඇගේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශය ඇසෙන්නේය.
"පොඩි අක්කේ තේ ටිකක් හදපන්කෝ" කියමින් ඔහු සාලයේ වූ එකම කුඩා මේසය මත වූ දින කැලැන්ඩරයේ අලුත් දවස පෙරලුවේය. ඒ 83 ජූලි 25වන සඳුදාවේ උදාවයි.
************************

No comments:

Post a Comment