Saturday, January 6, 2018

තනි ගෑණියෙක්ගෙන් පිරෙන්න තරම්....





"තනි ගෑනියෙක්ගෙන් පිරෙන්න තරම් උඹේ හදවත පුංචි ද ? එහෙම උන්ට දේශපාලනේ කරන්න බෑ බං............"
මේක සහෝදරයා ටෙලි නාට්‍යයේ ගිය වදන් පෙලක්. අද කතාකරන්න යන්නේ සහෝදරයා ගැනවත්, දේශපාලනය ගැනවත් නොවෙයි. ආදරය ගැන. ආදරය කියන්නේ මිනිස් ඉතිහාසය පුරාම වැඩියෙන්ම බාවිත වුනු , කලා නිර්මාණ බිහු වුනු, දේශනා පවත්වපු, අර්ථකතන බිහි කරපු සහ නොයෙක් ආකාර වලින් පට්ට ගහපු මාතෘකාවක්. එනමුත් තවමත් පරිපූර්ණ ලෙස වටහානොගත්ත නැත්නම් අර්ථකතනය නොවූ හැඟීමක්. මං හිතන්නේ ඒක නිසි ලෙස අර්ථකතනය හෝ විස්තර කරන්න බැරිවෙන්නේ ඒක අතිශය පුද්ගලානුබද්ධ හැඟීමක් නිසා වෙන්න ඇති. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට අනන්‍ය වූ රීති පද්ධතියක් උඩ දුවන දෙයක්. එකම කෙනාට උනත් යම් මොහොතක ඒ අනන්‍ය වූ රීතීන්, නියමයන් වෙනස් වීමකට ලක් වෙන්න පුලුවන්. සරළවම කියනවනම් ආදරයක් ඇති වෙන මොහොත කියන්නේ accident එකක් .ඒක කොයි මොහොතේ මොන තත්වයන් යටතේ කවුරුන් උදෙසා ඇතිවෙයිද කියලා අපිට සාස්තර කියන්න බෑ. ඉතින් එහෙව් හැඟීමක් ගැන, ඉහතින් සඳහන් කරපු දෙබස ඇහුණාම ආපු අදහසක් වචන වලට ගලපලා ලියන්නයි යන්නේ. අතිශය පුද්ගල කේන්ද්‍රීය දේවල් වලට සාර්වත්‍රික නියමයන් හෝ තර්ක ඉදිරිපත් කිරීම හරියන වැඩක් නෙවී. ඒනිසා ගොඩක් වෙලාවට ඒක වචන විදිහට පෙලගස්වනකොට නාගන්න හෝ අනාගන්න ඉඩ තියෙන බව හොඳ හැටි දනිමින් ඊලඟ ඡේදෙට පිවිසෙමි.

යම් කෙනෙක් උදෙසා අපිට අතිවෙන ආදරය එහෙමත් නැතිනම් accident එක ප්‍රකාශ කළාට පස්සේ අනෙක් පාර්ශවයෙන් ඒක පිළිගන්නා මොහොත කිසිසේත්ම ඔප්පු කල හැකි දෙයක් නෙවී. විස්තරාත්මකව කියනවනම් "මම ඔයාට ආදරෙයි" කියලා කෙනෙක් තවත් කෙනෙක්ට කියන ප්‍රකාශය ඇත්තක් බවට ඔප්පු කල හැකි දෙයක් නෙවී ඒ මොහොතේදී. ඒ වගේම අනෙක් පාර්ශවයෙන් "ඔව් මාත් ඔයාට ආදරෙයි" කියලා කියන එකත් එහෙමමයි. මේක ඇත්තක්ද බොරුවක්ද කියලා දැන ගන්න පුලුවන් ප්‍රකාශයක් නෙවී ඒ මොහොතේදී. එය ඒ මොහොතේදී ඇතිවන එකඟතාවයක්. අපි එකිනෙකා පිළිගන්නවා ඔව් අපි අපිට ආදරෙයි කියලා. හරියට ඔය ගණිතයේදී එක එක ප්‍රමේයයන් සාධනය කරද්දී නැත්නම් විවිධ සංකල්ප හදද්දී කරන පූර්ව උපකල්පන වගේ. එහෙම දෙයක් තියනවා කියලා පිලිගත්තට පස්සේ නැත්නම් එහෙම දෙයක් ඇති ලෙස උපකල්පනය කරගත්තොත් තමයි අපිට ඉදිරියට යන්න පුලුවන් වෙන්නේ. ඒ වගේම අනෙකා තමන්ට ආදරෙයි කියන ප්‍රකාශය ඇත්තක් ලෙස සැලකුවොත් තමයි ආදරය කියන ක්‍රියාවලියේ ඉදිරි ගමන කරගෙන යන්න පුලුවන් වෙන්නේ.

මේ පිළිගැනීමත් සමග ඒ පුදගලයන් දෙදෙනාගේම ජීවිත වෙනස් වෙනවා. මුලදී තමන්ගේ සියලු කාර්යයන් පිළිබඳ තමන් අත තිබූ පාලනය තවත් හවුල්කාරයෙක්ට පවරන්න වෙනවා. අපි කරන වැඩ, අපි අනෙක් අයත් එක්ක තියෙන සම්බන්ධතා re-model කරගන්න අපිට සිද්ධ වෙනවා.  තීරණ ගැනීමේදී "මම" අතේ තිබ්බ අධිකාරී බලය "මම ආදරය කරන කෙනා" සමග බෙදා ගන්නට යොමු වෙනවා. මේක ගිවිසුමක් අත්සන් කරලා වෙන වෙනම කතා වෙලා වෙන දෙයක් නෙවී. එය ස්ව්‍යංක්‍රීයවම සිද්ධ වෙන දෙයක්. මේ නිසා ඒ පුද්ගලයන් දෙදෙනාගේ ජීවිත වෙනස් වෙන්න ගන්නවා.  අවිඥානිකවම අපි අනෙක් පුද්ගලයන් හෝ අප අවට සමාජයත් සමග පැවැත්වූ සම්බ්න්ධතාවල තීව්‍රතාවය අඩු වෙන්න ගන්නවා.අපි තවදුරටත් සලකන්නේ, වද වෙන්නේ අපි ආදරය කරන කෙනාගේ කාර්යයන් සහ හැඟීම් වෙනුවෙන්. 

අපි කඩේ යන්නේ, film බලන්න යන්නේ, beach යන්නේ, ගේ අතුපතු ගාන්නේ, උයන්න උදව් වෙන්නේ, ලෙඩක් උනාම බලා කියාගන්නේ, ආදී මෙකී නොකී කාර්යයන් කරන්නේ , සොයා බලන්නේ අපි ආදරය කරන කෙනා වෙනුවෙන් පමණයි. එහෙම නැත්නම් ආදරය කරන කෙනා වෙනුවෙන් කරන මේ වැඩ අනෙක් අය වෙනුවෙන් කරනාවට වඩා පැහැදිලි ඉහළ අගයකින් යුතුයි. මේක තමයි අපි අපේ පෙම්වතා හෝ පෙම්වතිය අනෙක් අයගෙන් වෙන් කරලා පෙන්වන බෙදුම් රේඛාව. ආදරය ප්‍රකාශ කරන මොහොත හුදු පිළිගැනීමක්/උපකල්පනයක් වෙද්දී එතනින් එහාට ප්‍රේමය සාධනය කරන පියවරයන් තමයි, මේ එක් කෙනෙක් උදෙසා කරන කැපවීම. ඒ කැපවීම සමාජයේ අනෙකුන් උදෙසා කරන කැපවීමෙන් පැහැදිළිව වෙන් කොට හඳුනා ගන්න බැරිනම් අපේ ආදරය සාධනය කරගන්න තරමක් අමාරු වෙන්න පුලුවන්. නැතිනම් අපේ ආදරය සැබවින්ම පවතින්නක් බව අනෙක් පාර්ශවයට ඒත්තු ගන්වන්න අමාරු වන්න පුලුවන්. ආදරය පිළි ගන්නා අවස්ථාවේදී එය ඔප්පු කර දැක්වීමක් අවශ්‍ය නොවුනත් ආදරය පවත්වාගෙන යෑමේදී මේ ඔප්පු කිරීම් අවශ්‍ය වෙන්නක් බවට අවිඥානිකවම පත්වෙනවා.

ඉතින් , එක ගෑනියෙක්ගෙන් එහෙමත් නැතිනම් එක් සහකරුවෙක්ගෙන් පිරෙන්න තරම් හදවත පුංචිද?......ඒ කියන්නේ අපි අනෙකෙක් වෙනුවෙන් කරනා කැපකිරීම, සැලකිල්ල යනු අපි ආදරය කරන බවට එකඟතාවක් ඇති කරගත් කෙනා වෙනුවෙන් පමණක් කරන දෙයක් වියයුතුද?....එසේත් නැත්නම් ඒ සැලකිලේ හෝ කැපකිරීමේ ඉහළ තීව්‍රතාව සමාජයක් උදෙසා පවත්වා ගත නොහැකිද?.....එසේ පවත්වාගතහොත් දෙදෙනෙක් අතර ඇතිවන ප්‍රේමයේ නිශ්චිත හඳුනා ගැනීමේ සංකේතය කායික සන්තර්පනය උඩ දිවෙන්නක් බවට පත්වේද?...........

1 comment:

  1. න්‍යායාත්මකව බැරි නෑ. නමුත් අාදරය යන්න අාත්මාර්ථය හා බැඳුණු දෙයක්.

    ReplyDelete