Saturday, January 13, 2018

පෙම්වත් දිනපොත - කෙටි කතාව






ආදිපාද මාලිගයේ දැවැන්ත ගේට්ටුපලු දෙක මහ හඬක් නංවමින් පෙරලුනා විය යුතුය. කැරලිකරුවන්ගේ හඬ ක්‍රම ක්‍රමයෙන් ලංවෙමින් ඇසෙන්නේ ඔවුන් මාලිගය තුලට කඩා වැදීමට ආසන්න  නිසා විය යුතුය. මම ඉක්මනින් ඉහළමාලයේ තරප්පුව දෙසට පියමනින්නට වීමි. තවත් හෝරා කිහිපයක් ඇතුලත මේ මාළිගය සුන් බුන් ගොඩක් බවටත් , අලු ගොඩක් බවටත් පත්වනු නියතය. මගේ හදවටත නොසන්සුන්ය, එය වේගයෙන් ගැහෙන්නේ කැරලිකරුවන්ගේ මහා ඝෝෂාවට බියකින් නොව ඒ හඬ නිසා නැගෙන උද්දාමය නිසාය. මම ගමන වේගවත් කරමි. තරප්පුව දැන් පේන මානයේය. අඩක් දොර වැසුනු කාමරයක් පසු කරද්දී සිහින් ඉකියක් සවනත ගැටී මම ගමන මොහොතකට නවත්වා අඩවන් වූ දොරෙන් ඇතුලතට එබී බැලුවෙමි. කාන්තා ඉකියක් ඇසෙන මුත් එක මිනිස් පුලුටක් ඒ විසල් කාමරය තුල නැත. මම කාමරය සිසාරා මගේ දෙනෙත් දිවවූයෙමි. කාමරයේ කෙලවරට වන්නට තිබූ විශාල සයනය යටින් එලියට ඇදී ආ ගවුම් වාටියක කෙලවර, ඉකිය එන්නේ කොහේ සිටදැයි මට පැවසීය. 
කැරලි කරුවන්ගේ හඬ පහළ මාලයෙන් ඇසේ. එහි වූ වටිනා භාණ්ඩ එකින් එක බිඳී යයි. මම පහත්වී වේගයෙන් ඇයව ඇඳ යටින් ඇද ගතිමි. සිදුවීමේ වේගය නිසාමදෝ ඉකිය ක්ෂණයෙන් නැවතිනි. බියෙන් ත්‍රස්ත වූ ඒ ඇස් එක එල්ලේ මගේ ඇස් වෙත යොමු විය. ඒ ඇස් ලස්සනය....


 ජනවාරි 5

ඇයව තම ඥාති නැනදණියගේ නිවසට ඇරලවා අදට සතියක් ගෙවේ. කැරලිකරුවන්ගේ ග්‍රහණයෙන් ඇයව ගලවා ගැනීමට තරප්පුව හරහා නොගොස් සඳලුතලයෙන් පහළට බැසීම එකම විකල්පය වූයෙන් මම ඇයත් ඇදගෙන වේගයෙන් සඳලුතලයට දිවීමි. ඇය කිසිත් නොකියා මගේ අතේ එල්ලී සිහිනෙන් මෙන් දිව ආවාය. බිම වැටී තිබූ යමක පය පැටලුනෙන් ඈ  ඇද වැටුණාය. එය මැණික් එබ්බවූ මිටක් සහිත කලු පැහැති වටිනා බස්තමකි.  රතු සහ නිල් මැණික් වලින් කැටයම් කරන ලද එහි කෙලවර සිංහ හිසක් විය. මම ඈ නැගිට්ටවීමි. ඇය එක්විටම වෙව්ලන්නට ගත්තාය. ඇගේ දෙනෙත් වචනයෙන් විස්තර කිරීමට නොහැකි භීතියෙන් මුසපත් විය.පසෙකින් පෙනෙන ආධිපාද කාමරය දෙසට අත දිගු කල ඈ යටි ගිරියෙන් මොරදුන්නාය......"තාත්තා......"

මම ක්ෂණයකින් ඇගේ මුව වැසුවෙමි. මද වේලාවක් මගේ ග්‍රහනයෙන් මිදීමට ගැහෙමිනුත්, විලාප දීමට යත්න දරමිනුත් දැඟලූ ඈ ක්ලාන්ත විය.  කැරළිකරුවන්ට ඇගේ මොරදීම ඇසුනා විය යුතුය. ඈත තරප්පු පෙල ඔස්සේ දිව එන ඔවුන්ගේ  පා ගැටෙන හඬ ඇසේ. මම ඈ කරට ගතිමි. ඒ අතර මගේ දෑස් ආධිපාද කාර්යාලය දෙසට යොමුවිය. ඝන රක්ත ලේ විලක් මැද, කිනිසි පහරකින් ගෙල කැපී ගිය ආධිපාදවරයාගේ මළකඳ නිසොල්මනේය.

ජනවාරි10
සිහින් සිරිපොදක් වැටෙන්නට පටන් ගත්තේ අද උදෑසන සිටමය. ඇය තම ධනවත් නැන්දනියත් සමග සොහොන් බිමට පැමිණියාය. ඉංග්‍රීසි ආණ්ඩුවේ හේවායන් කිහිප දෙනෙක්ම ඇයට ආරක්ෂාව සපයමින් මදක් ඈතට වී සිටියහ. තම පියාගේ සොහොන් කොත පාමුල මල් පොකුරක් තැබූ ඈ බොහෝ වේලාවක් එදෙස බලා සිටියාය. ඒ ලස්සන ඇස් දුකින් බරව ඇති විට වඩා ලස්සනවේයැයි මට සිතිනි.සමහරවිට මම ඇයගේ සිනාසෙන ඇස් දැක නැති නිසා එසේ සිතෙනවා ඇති. ඇය හමුවූදා පටන් මේ දක්වා මා දැක ඇත්තේ ඇගේ දුක්මුසු මුහුණ පමණි. ඉංග්‍රීසි  ජාතික පියාගේත් සිංහල ජාතික මවගේත් ජාන එකතුවෙන් බිහිවුනු ඇය කුමන ගනයට අයත්දැයි ඇය දෙස බලන්නෙකුට සිතා ගත නොහැකි වනුඇත. සමහරවිට ඇය අයත්වන්නේ සුරඟන ගනයට වියයුතුය. ඔව්, ඇය සැබවින්ම සුරඟනකි. 

ජනවාරි29
තමා කුඩා කලදීම මව මෙලොව හැරගියපසු තම මුලු ලෝකයම වූයේ තම පියා බව ඇය කීවාය. අහස උසට වූ රාජකාරි ගොන්නක් මැද වුවද ඔහු ඇය වෙනුවෙන් කෙසේ හෝ කාලය සොයාගත්තේලු.......

 අපි දැන් යහලුවන් වී ඇත්තෙමු. එදා ඒ බිහිසුණු දිනයේ මා ඇය මරණයෙන් ගලවාගත් දේවදූතයා වූ බව ඈ කියයි. හිටිගමන් ඇය තොරතෝංචියක් නැතිව තම ළමා කාලය ගැන කියවන් කියවන් ගියාය. ඒ කතාවේ තම පියා ගැන සඳහන් කල යුතු තැනක් ආවිට ඇගේ මුව අගුලුවැටී යයි. දෙතොල් වෙව්ලන්නට ගනී. දෑස් බිමට නැවී වේගයෙන් සැලෙන්නට ගනී. ඒ වේගයෙන් ගැසෙන ඇහිපිල්ලමක් පාසා ලෝකය තත්පර ගනනාවකට අඳුරේ ගිලෙන්නේ‍යැයි මට සිතේ.


පෙබරවාරි 24
අපි දැන් දැන් හොඳම යහලුවන් වී ඇත්තෙමු. ආධිපාදවරයෙකුගේ දුවණියක් සතුවියයුතු හික්මීම, නුවණැතිබව, දැනුම සහ ඒ සියල්ලන් පරයන රූ සපුවෙන් ඈ පිරිපුන්ය. නමුත්  ඉහළ පැලැන්තියේ දුවණියක් සතුවියයුතු එක් ගතිගුනයක් ඈ ලඟ ගෑවිලාවත් නොතිබුනේය. ඒ ආඩම්බරකමයි. ඇය ඒ තරම් නිහතමානී වූවාය. ආධිපාදිවරයාට වයිර කළ කිසිඳු පුද්ගලයෙක්ට ඇය උදෙසා නම් කිසිදාක වයිරයක් ඇති නොවනු ඇත. මුදු වදනින් ඇය මා අමතන හැම වරක් පාසාම මගේ හදවත සලිත වී යයි. මිනිස් හදවත් සුවපත් කරන ඒ ගතිගුණ ඈ ලබා ඇත්තේ තම මවගෙන් විය යුතුය.


මාර්තු1
මට දැන් නින්ද අහිමි වෙමින් ඇත. මුලු රෑ පුරා සයනයේ ඒ මේ අත පෙරලෙමින් කල්පනා කරමි. ඒ සෑම කල්පනාවක්ම අරක් ගත්තේ ඇය මිස වෙන කවුරුන්ද?.....හිමිදිරි ජාමය උදාවේගෙන එද්දී ඇස් දෙකට ලඟාවෙන නිදි සුව, නැවත අවදිවෙන තෙක්ම සැරිසරනුයේ සිහින ලොවකය. ඒ සෑම සිහිනෙකම සිටින්නේ ඇය මිස වෙන කවුරුන්ද?....නිල් මහනෙල් පරදන ඇගේ රුව, මුතුවන් දසන් විහිදා මවන සිනහව, මුලු ලෝකයක් එකලු කරනා අගේ තාරකා ඇස්, ඒවා නම් සිහිනයක පමණක් නොව හැබහින්ද සත්‍යවන්නාවූ සුන්දරත්වයන්ය. ඇත්තෙන්ම මා මුලදී සිතූ සැටි වැරදිය.ඇගේ දෑස දුක්බර අවස්ථාවලදී සුන්දර නොවේ. ඒවා සුන්දර වන්නේ , නෑ .....නෑ..... අතිසුන්දර වන්නේ ඈ හිස මදක් පැත්තකට ඇල කර සිනාසෙන විටය.


මාර්තු3
තමන් මුහුද දැක ඇත්තේ එක් වතාවක් පමණක් බව ඇය කීවාය. ස්වදේශිකයන්ගෙන් එල්ල විය හැකි උවදුරු නිසා තම පියා තමන්ට මාලිගයෙන් දුර ඈත ගමන් වලට ඉඩ නොදුන්නේලු. මම ඇයට රට වටා ඇති මුහුදු තීරයන්ගේ ඇති විවිධත්වය විස්තර කළෙමි. ඇය පුදුම වී අසා සිටියේ සුරංගනා කතාවක් අසා සිටිනා පොඩි කෙල්ලක සිහි කරවමිනි.
වැව් තලය පිස එන සුළං රැල් ඇගේ කෙහෙ රැල්වලට පාඩුවේ ඉන්නට නොදෙයි. කෙහෙ රැලිත් එයට අමනාපයක් නැතුවා මෙනි. ඒවා සුළං රැළි හා එක්ව නොඉවසිල්ලෙන් ඳඟ කරමින් මගේ මුහුණටත් කඩා වැදේ. මම හොරහින් ඇගේ මුහුන දෙස බැලීමි. එය පැත්තෙන් බලන විට වඩා සුන්දරය. ඊටත් වඩා ඒ පැති පෙනුම මට සිහි කරන්නේ ඇගේ පියාගේ මුහුණය. මම ඊට අකමැති බැවින් මම පස් කන්ඩියට තබාගත් ඇගේ අත්ල දෙස බලමි. ඇගේ අතැඟිලි සිහින්ය,, දිගුය. සමහරවිට ඈට චිත්‍ර ඇඳීමට හැකියාවක් ඇති. මම ඇගේ අත්ලට ගෑවෙන නොගෑවෙන දුරින් මගේ අත්ලත් තබමි. මට ඒ සිහින් ඇඟිලි අල්ලන්නට සිතේ.....


මාර්තු12
සංවිධානයෙන් ලිපියක් ලැබී ඇත. මා අනිද්දා උදෑසනම මූලස්ථානය කරා යා යුතුය. නැවත එන්නට ලැබෙන්නේ කවදාදැයි හරිහැටි කිව නොහැක. 
නමුත්,..... දමා යාමට නොහැකි දෙයක් විසින් මා පස්සට අදිමින් තිබේ.


මාර්තු13
ජීවිතයේ උදාවුනු අපහසුම දිනයක් ගෙවී යමින් ඇත. මා යන බව ඇසූ ඈ හැඬුවාය. මාස ගනනකට පසු අද නැවත ඇගේ දෙනෙත් වලට අර දුක්මුසු බැල්ම කඩා වැදුනි. ඇසි පිය වේගයෙන් සැලෙන්නට වූයේ ලෝකයම අඳුරේ ගිල්වමිනි. අපි වැව් ඉවුරේ සක්මන් කරමින් සිටියෙමු. ඕලු , නෙලුම් , මහනෙල් මල් සියල්ල දුක්මුසුව ජල තලය දෙසට පෙති හරවාගෙන සිටී. ඈ මගේ දෑස් දෙස කඳුලු පුරවා බලා සිටියාය. මුවින් පිට නොවෙන දහසක් දේ, පිටාර ගැලීමට ඔන්න මෙන්න කියා තිබූ දෙනෙත් තුල ගොඩ ගැසෙමින් තිබුණි. ......

මගේ උගුර සිරවී තිබුණි.දෙවියනි මා ඇයට ආදරය කරන බව පැවසීමට ගත් වෑයම දන්නේ මා පමණි. නමුත් පපුව හිර කරන ඒ හැඟීම වචන වලට පෙරලන්නට මට නොහැකි විය. එය කීමට මට අයිතියක් නැත. මා ඇය ඉදිරියේ විශාල වරදකරුවෙකි.
මට ඇගේ සියුමැලි රත් දෙතොල් සිප ගැනීමට ඕනෑ විය. ඒත් ඒවා සිප ගැනීමට මගේ දෙතොල් රලු වැඩිය. ඊටත් වඩා මගේ හදවත රලු වැඩිය. .....යාන්තමට ඇගේ හිස සිපගත් මා වචනෙකුදු නොදොඩා හැරී ආවෙමි.....

හෙට උදේම යා යුතුය......


******************
"අපේ දෙවෙනි වැඩේට කාලය ඇවිල්ලා සහෝදරයා."
නායක සහෝදරයා මා අමතන්නට පටන් ගත්තේය. 

"පළවෙනි වැඩෙන් පස්සේ, සහෝදරයට අපි කරදර නොකලේ පොඩි විවේකයක් දෙන එක හොඳයි කියලා හිතුණු නිසා"

"සහෝදරයා සැලසුම් කරපු විදිහටම ඉංග්‍රීසි ආණ්ඩුව හෙල්ලිලා යන්න පුලුවන් විදිහට අපේ කොල්ලො වැඩේ කළා. කොල්ලො දන්නෙවත් නෑ සහෝදරයත් එදා එතන හිටියා කියලා"

"මුලු මාලිගාවම සමතලා කරලා අලු කරලා දැම්මා.පරදේශක්කාරයන්ට තව වැඩි කල් අපේ මේ භූමියේ රඟන්නට බැරි බව ඒ අලු දූවිලි මතුරන්නට පටන් අරන් ඉවරයි.ඒ මැතිරිල්ල උන්ට හැමදාම රෑ හීනෙන් ඇහෙනවා ඇති...."   නායකයා කියාගෙන යයි....මම නිහඬව අසා සිටිමි,

 "සහෝදරයත් ඉතින් තමන්ට පැවරුණු දඩයම හරියටම බිම හෙලුවනේ.....මට දෙන්න තියනවා සහෝදරයගේ නොවරදින කිනිසි පහර මතක් වෙන්න මතක සටහනක්. "

නායක සහෝදරයා මා අතට කලු පැහැති වටිනා බස්තමක් තිළිණ කළේය. එහි මිට සෑදී තිබුනේ රතු සහ නිල් මැණික් වලින් යුත් කැටයමකිනි. එහි කෙලවර සිංහ හිසක් විය.....

මගේ ඇස් වේගයෙන් සැලෙන්නට වූයේ ඇයිද කියා මම දනිමි. මම එය නොදන්නවාක් මෙන් ඉන්නට උත්සහ ගනිමි. තත්පරයක් පාසා ගැසෙන අහිපිල්ලම් පාරක් ගානේම, ලෝකය අඳුරු වෙමින් යයි.

"ඊලඟ කිනිසි පහරට මම සූදානම් සහෝදරයා"....මම කීවෙමි.

No comments:

Post a Comment