Saturday, July 1, 2017

ගිරා රිලා හටන් ඉතිහාසය - 1





අද කියන්න යන්නේ මීට ගොඩාක් ගොඩාක් කලෙකට කලින් උනු කතාවක් ගැන. කොච්චර කාලෙකට කලින්ද කියනවනම් සත්තුන්ටත් කතා කරන්න පුලුවන් කාලේ කතාවක්. මිනිස්සු කියන සත්ව කොට්ටාශය ඒ තරම් දියුණු නෑ ඒ කාලේදී. මිනිස්සු වර්ග හිටියේ දෙකයි.එකක් තාපසයො අනික වැද්දො.ඒ කාලේ තිබුණා සිංහරාජ කියල මහ විසාල වනාන්තරයක්.සිංහරාජ කිව්වට එකේ හිටපු සින්හයෙක් නෑ. ඒ නිසා මේ කැලෑව පාලනේ කරේ වඳුරන් විසින්. කැලේ පාලනය බාර වෙන්න ඕනි කාටද කියන එක තීරණය උනේ වඳුරන්ට පමණක් සීමා වුනු ඡන්දයකින්. කැලේ ඉන්න නුවණැතිම සත්තු උනේ වඳුරන් නිසා ඡන්ද බලේ තිබ්බේ උන්ට විතරයි.ප්‍රධාන වඳුරු රන්චු දෙකක් අතර කැලේ පාලනය විටින් විටේ හුවමාරු උනා.මේ රන්චු දෙක හිටියේ කැලේ මැදින් ගලාගෙන ගියපු කුඩා දිය පාරක දෙපැත්තේ.කැලේ පාලන බලය හිමි වෙන කණ්ඩායම වෙසෙන ඉවුර රජ ඉවුර ලෙසත් අනික් ඉවුර මඩ ඉවුර ලෙසත් හඳුන්වන්න කැලේ සත්තු පුරුදු වෙලා හිටියා.ඔය රංචු දෙක අතරෙ හිටියා බලේ මාරු වෙන වෙන පාරට ඉවුරු අතර කරණම් ගහන වඳුරො ජාතියක්.දිගින් දිගටම පැවත ආපු මේ කරණම් ගහන වඳුරු වර්ගය නිසා තමයි සත්ව ලෝකයට රිලව් කියල සත්ව කොට්ඨාශයක් බිහි වෙන්නේ.නැත්නම් ඇත්තටම හිටියේ වඳුරෝ විතරයි.මේ රිලව් සැට් එක අතරෙ හිටියා තරුණ කඩවසම් රිලවෙක්. ඌ ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට සුපිරි කරණම් ගහපු බඩුවක්. ඒ වගේම දිව දෙකේ කතා කියන්නත් ලස්සනට සින්දු කියන්නත් මේ රිලවා සූරයෙක්. ඒ නිසා කවුරුත් මේ රිලවට කිව්වේ අම්ම්ටසිරි රිලවා කියලා.අපි මේ කියන කාලේ වෙද්දි කැලේ රජ ඉවුර එක් පැත්තකින් අනික් පැත්තට මාරු උනු අලුත. ඉතින් සුපුරුදු පරිදිම අම්මටසිරි රිලවා බඹයක් අහස උසට උඩ යන ලෙස හත් වටයක් කැරකිලා පරණ රජ ඉවුරේ ඉඳන් අලුත් රජ ඉවුරට ගැහුවා සුපිරි කරණමක්. අලුත් වඳුරු රජා මේ සුපිරි කරණම දැක සෑහෙන පුදුමයට පත් වෙලා  අපේ රිලවට බාරදුන්නා කැලේ සෙල්ලම් පරිපාලනය. එතැන් පටන් අම්මටසිරි රිලවා හැඳින්වුනේ සෙල්ලම් රිලවා කියලා.

ඒ කාලේ කැලේටම තිබුණේ එකම එක සෙල්ලමක් විතරයි. ඒ සෙල්ලම කලේ කුරුල්ලෝ විතරයි. මේ සෙල්ලමට කිව්වේ ගෙඩි  ඇතිල්ලීම කියලා. ඒක කලේ ලොවි ගෙඩියක්  හා බට පතුරක් භාවිත කරගෙන. පිල් දෙකකට බෙදිල කරන මේ සෙල්ලමේදී එක් පිලක කුරුල්ලෙක් තමන්ගේ  කකුලෙන් ලොවි ගෙඩිය තල්ලු කරල යැව්වම බට පතුර හොටෙන් ගත්ත අනික් පිලේ කුරුල්ලෙක් ලොවි ගෙඩියට ගහනවා. වැඩිය විස්තර කරන්න දෙයක් නෑ මොකද මේක තනිකරම අපේ cricket ක්‍රීඩාව වගේමයි. Cricket ක්‍රීඩාවේ ආරම්භය සිදු වුනේ සිංහරාජේදී බව පුරාණ සෙල්ලිපි වල පවා සඳහන්.කොහොමින් කොහොමින් හරි සිංහරාජේ මේ සෙල්ලම කලේ ගිරව් සැට් එකක්.ඔය සැට් එක අතරෙ හිටියා කැපී පෙනෙන ගිරව් දෙන්නෙක්.එකෙක් "මලසේකර" අනිකා "මාලි".

මේ ගිරව් දෙන්නා පොඩි කාලේ හැදුනෙ එකම ගස් බෙනේක. නමුත් හිටි හැටියෙ ආපු මහ කුණාටුවක් නිසා මේ දෙන්නා මිනිස් වාසය තිබුනු පෙදෙස් දෙකකට ගසාගෙන ගියා.එක්කෙනෙක් තාපසයන් සිටි ආරාම පෙදෙසට යද්දි අනිකා විසි උනේ වැද්දන්ගේ ගුබ්බෑයම් පෙදෙසට. තාපසයන් අතර හැදෙන කෙනා ඉතා සංයමයෙන් හා බුද්ධියෙන් මුහුකුරා යද්දී අනිකා වැද්දන් අතර වැඩෙමින් කලහයට හා කටකාරකමට බර උනා. වයසින් මුහුකුරා ගිහිල්ලා පියාඹන්න පුලුවන් වෙද්දී දෙදෙනාම නැවත සිංහරාජය සොයාගෙන ආවා. ක්‍රියාවෙන් තැන්පත් බුද්ධිමත් මෙන්ම භාෂාවේ ප්‍රවීණයෙකු වූ  තරුණ ගිරවා එතැන සිට හැඳින්වුනේ මලලසේකර ගිරවා නමින් ( අපේ මලලසේකර ස්ද්දකෝෂේ නමට මුල් වුනෙත් ඒ තාපස පරම්පරාවෙන් ආපු මේ ගිරවා කියල පරණ පත්තරේක තිබ්බා මට මතකයි.) .එය කෙටි වී මලසේකර බවට පත්වුණා. කටට බ්‍රේක් නැති දබරයට බර අනික් ගිරවාගේ බෙල්ලේ මාලයක්ද තිබූ බැවින් ඌ මාල ගිරවා ලෙස හැඳින්වුනා.උගේ පෙඳේ අනික් ගිරවුන්ගේ වගේ කොල පාට නොවී තඹ පාටක් තිබුණා. ඒ විතරක් නොවේ මාල ගිරවගේ පෙඳේ කැරලි ගැසිලා තිබ්බා හරියට සිංහයෙක්ගේ කේසර වගේ. මාල ගිරවාගේ තිබුනේ මොඩ් ගිරවෙක්ගේ පෙනුමක්. ඒ නිසා මාල ගිරවා නම පොඩ්ඩක් මොඩ් කරලා අරන් මාලි බවට නම වෙනස් වුනා. ඉතින් කල් යද්දි මාලිත් මලසේකරත් බෝල අතුල්ලන සෙල්ලම කරන්න පටන් ගත්තා. ටික කලක් යද්දිම මේ දෙන්න ඒ සෙල්ලමේ හොඳම දක්ෂයෝ දෙන්නෙක් බවට පත්වුණා. අනික් වනාන්තරත් සමග පැවැත්වුණු බෝල ඇතිල්ලීමේ තරඟ වලින් සිංහරාජයට ජයග්‍රහණ බොහොමයක් ලැබුනේ මේ දෙන්නගේ දක්ෂතාවය නිසා. ඒ දක්ෂතාවට ඇගයීමක් වශයෙන් වඳුරු රජයෙන් අපේ ගිරව් දෙන්නට මදි නොකියන්න පළතුරු වලින් සංග්‍රහ කලා.ඉතින් මේ දෙන්නා හොඳින් බෝල අතුල්ලන ගමන් බඩකට පුරා පළතුරු කමින් සතුටින් ජීවත් වුනා. මේ දෙන්න ගැන නොදන්න වනාන්තරයක් තිබුනේ නෑ. විශේෂයෙන්ම මාලි ගිරවා හැම වනාන්තරයකම ජනප්‍රිය තරුව බවට පත් වුණා. හැම කුරුල්ලෙක්ටම ඕනි උනා උන්ගේ පෙඳේ මාලිගෙ වගේ තඹ පාට කැරලි කැරලි සිස්ටම් එකට හදා ගන්න.

අවුරුදු ගනන් කාලය ගෙවී යද්දී මලසේකර හා මාලි දෙන්නගෙම ඇඟ ටික ටික මහත් වෙන්න ගත්තේ කාපු අධික පලතුරු ප්‍රමාණය නිසාමද මන්ද. ඒ අතරෙ දෙන්නම ක්‍රමයෙන් තමන්ගේ තරුණ විය පසු කරමින් සිටියා. ඒ දෙන්න තරුණ විය පසු කරනව වගේ සිංහරාජේ බෝල ඇතිල්ලීමේ සෙල්ලමත් ටිකෙන් ටික පහුබහින්න අරගෙන තිබුණා. එක දිගටම තිබ්බ සෙල්ලම් තරඟ පරාද වීම නිසා සෙල්ලම් රිලවා සිටියේ හොඳටම කේන්තියෙන්. මේ විදියට එක දිගට පරදින්න ගත්තොත් තමන්ගේ සෙල්ලමා තනතුරටත් කෙල වෙන්න පුලුවන් කියලා රිලවට තේරුණා.මේ පරාජයන්ට ලොකුම හේතුව විදියට රිලවා දැක්කේ අපේ ගිරව් ඩබලගේ තඩි බඩවල් එක්ක තියෙන ජොහොර ඇඟ. සෙල්ලමා සද්දයක් දැම්මා ගිරා කණ්ඩායමටම,
"ඔයාලගේ fitness මදි ඔහොම කෝමද සෙල්ලම් කරන්නේ?" කියලා.
"ඔච්චර බඩවල් තියන් අඩි 10ක්වත් හති වැටෙන්නේ නැතුව පියාඹන්න බෑ",
කියලා සෙල්ලම් රිලවා ගිරවුන්ට දොස් කිව්වා. මේ කතාව අහපු මාලි ගිරවාට මල පැන්නා ලෙසටම. මාලි තැන තැන සෙල්ලම් රිලවාට බනින්න ගත්තා. ගිරවගේ බෙනේ ගැන දන්නේ ගිරවා මිසක් රිලවා නෙවෙයි කියලා මාලි සෙල්ලම් රිලවාට කෝචොක් කලා. හිටපන් තොට අඹරලා දෙන්න කියල හිතන් සෙල්ලමා යෝජනා   ගිරා fitness test එකක්. Test එකේදි බැලුවේ වේගයෙන්ම පියාඹන්න පුලුවන් කාට්ද කියලා. හැමෝම පුදුමයෙන් පුදුමයට පත් කරමින් test එකේදී වැඩිම වේගයෙන් පියෑඹුවේ වයසින් වැඩිම හා බඩිනුත් වැඩිම මලසේකරයි මාලියි. මාලි උජාරුවෙන් සෙල්ලමා දිහා බැලුවා නෝන්ඩියට වගේ. මාලිටත් වඩා මේකේ ලල් එක ආවේ මාලිගේ ප්‍රේක්ෂකයොන්ට.

මේ ප්‍රතිඵලත් එක්ක සහ ගිරා බෙනේ කතාවත් එක්ක සෙල්ලමා නෝන්ඩි වෙලා ගියා. කැලේ පුරා ඉන්න පොඩි පොඩි හාවෝ, ඉත්තෑවො, පැණි කුරුල්ලො වගේ සත්තුත් සෙල්ලම් රිලවාව විහිලුට ගන්නට උනා. හැමෝම මාලිව වීරයා කරගනිමින් සෙල්ලමාට අපහාස උපහාස කරන්න ගත්තා. දැන් යන යන තැන සෙල්ලමාට ඇනෙන්න කැලේ සත්තු එක එක කතන්දර කියනවා. "කෝ බෙනේ size එක බැලුවද හූ හූ " අහනවා..මේ නිසා සෙල්ලම් රිලවා හිටියේ ගොඩක් වේදනාවෙන්.

Test එක ඉවර වෙලා ටික දවසකින් සිංහරාජේ ඊලඟ බෝල ඇතිල්ලීමේ තරඟෙටත් දින ලං වුනා. මේ තරගෙ යෙදිල තිබ්බේ ඉතාම ඈත තිබ්බ කුඩා කැලේක මෙලෝ රහක් නැති කවුරුත් වැඩිය දන්නෙත් නැති සිම්බාවෝ කියල කුරුල්ලො සැට් එකක් එක්ක. පහුගිය ටිකේ තිබ්බ තරඟ එකපිට පැරදුනත් මේක නම් ලේසියෙන්ම දිනන්න පුලුවන් කියලා මුලු සිංහරාජෙම විස්වාස කලා. ඒ නිසා සිංහරාජෙ සත්තු හිටියෙ තරඟෙ බලන්න සැදී පැහැදිලා. ඒ උනාට සෙල්ලම් රිලවා නම් හිටියේ ෆුල් අවුලෙන්. මේ තරඟෙදි මාලි ගිරවා උඩින්ම දක්ෂතා පෙන්නුවොත් තමන්ගේ ඉතිරි වෙලා තියෙන සායමත් යනවා කියලා රිලවාට තේරුණා. එහෙම වුනොත් ඉතින් කැලේ වසනවා බොරු. මේ ගැන දුක් වෙමින් හිටි සෙල්ලමාට ආව නියම අයිඩියාර් එකක්.......


දෙවනි කොටසට ->

5 comments:

  1. ela ela niyamayi lokka niyamayi,,, liyapan me wagema Badum kare gana

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රන්සතු
      බැඳුම් කරේ ගැන ලියන්න ගිහින් හිරේ විලන්ගුවේ යන්න වෙයිද දන් නෑ....... හික් හික්

      Delete
  2. Replies
    1. ඔබේ ආතල් එක මගේ සතුටයි කොම්සා.... :D :P

      Delete