Saturday, July 29, 2017

බුද්ධාගමෙහි ප්‍රමුඛතාව ?






මේ ආණ්ඩුව පත්වුන දින සිට කියවෙන ප්‍රධාන දෙයක් තමයි නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම කියන කරුණ. 2016 ජනවාරි වල තමයි මේ ක්‍රියාවලියේ ආරම්බය සටහන් වෙන්නේ. ඒ 2015 දෙසැම්බර් වල පිහිටවපු මහජන අදහස් විමසීමේ කමිටුව (සාමාජිකයින් 20දෙනෙකුගෙන් සමන්විත ) තමන්ගේ කර්තව්‍යයන් නිල ලෙස ආරම්භ කිරීමත් සමග. මාස කිහිපයක් පුරා ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 පුරාම තම කටයුතු පවත්වාගෙන ගිය මේ කමිටුව තම වාර්තාව 2016 මැයි මාසයේදී බාර දුන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්තා මණ්ඩලයට. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225දෙනාගෙන්ම සමන්විත මණ්ඩලයක්. මේ බාරදුන් යෝජනාවලිය , මෙහෙයුම් කමිටුවකින්, අනු කමිටු 6කින් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයකින් කළමණාකරණය වෙලා අවසානයේදී පාර්ලිමේන්තු ක්‍රියාවලියකට යොමු වෙනු ඇති.

මේ යෝජනා බාරදුන් දවසේ සිට රට පුරා විටින් විට පත්තු වුණු කාරනයක් තමයි බුද්ධාගමට හිමි ස්ථානය අහිමි කරන්න යනවා කියන අදහස. එදිනෙදා සමාජයේ අපිට මුණගැසෙන බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් නිසි අවබෝධයක නෑ. එහෙම නැති වෙලත් සමහරක් දෙනා ඉතා ක්‍රෝධයෙන් මේ ගැන රජයට සාප කරනවා. සමහරෙක් හිතාගෙන ඉන්නේ රට අන්‍යාගමීකරණය කරන්න යනවා කියලා. මොකද සමහරක් දෙනා රාජ්‍යය අනාගමික කිරීම කියන අදහස වරදවා වටහාගෙන ඇති නිසා. මේ හැම දෙනෙක්ම වගේ  කෝපගන්වන අදහස් වල ඉන්නේ බුකියේ page වල, groups වල පලවන මෙලෝ වගකීමක්, සදාචාරයක් නැති posts වලට වහල් වෙලා. නැතිනම් රට අවුලවන්න බලන් ඉන්න හාමුදුරුවරුන් කොට්ඨාශයක් සරණ ගිහිල්ලා.

ඉතින් අද  උත්සහය මේ ගැටලුවේ දැනට පවතින තත්වය ඉදිරිපත් කිරීම. පවතින ව්‍යවස්ථාවේ දෙවනි පරිච්ඡේදය නම් කරලා තියෙන්නේ "බුද්ධාගම" කියල. එහි ඇතුලත් වෙන්නේ ආන්ඩුක්‍රම ව්‍යවස්තාවේ 9වෙනි වගන්තිය. 9වෙනි වගන්තිය මෙන්න මෙහෙමයි තියෙන්නේ,
ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10වන ව්‍යවස්ථාවෙන් සහ 14වන ව්‍යවස්තාවේ (1)වන අනුව්‍යවස්ථාවේ (ඉ ) ඡේදයෙන් සියලුම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිතකොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.

දැන් අපි බලමු මොනවද මේ 10 සහ 14(1)(ඉ ) කියන්නේ කියලා,

10. සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුලුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය.

14(1)(ඉ ). එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව, තම ආගම , ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහස.

ඔය විදිහට තමයි 1972 ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට දී තිබුණ ස්ථානය කිසිඳු වෙනසකට ලක් නොකර 78 ව්‍යවස්ථාවටත් එක් වෙලා තියෙන්නේ. නමුත් 78 ව්‍යවස්ථාවේදී  දීල තියන ප්‍රමුඛබව ඉතා ශක්තිමත් එකක්. මොකද කියනවනම්, 83වන වගන්තියට අනුව පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතියට අතිරේකව ජනමත විචාරණයකදී ජනතාවගේ ප්‍රකාශිත අනුමැතියද නොලැබ බෞද්ධාගමට ව්‍යවස්ථාවෙන් පිරිනමන ලද තත්වයෙහි කිසිදු වෙනසක් ඇති කරන්න බැරි නිසා.

දැන් අපි බලමු මෙවර නව ව්‍යවස්තාව සඳහා මහජන අදහස් විමසීමේ කමිටුව ඉදිරිපත්කල නිර්දේශ මොනවද කියලා. ඔවුන්ගේ නිර්දේශ ඒකමතික නොවන නිසා ඒ ඒ නිර්දේශ ඉදිරිපත් කරන සාමාජිකයන් කවුරුන්ද කියලත් යෝජනාවලියේ පාද සටහන් වල දක්වා තිබෙනවා.

1. පවතින දෙවනි පරිච්ඡේදයේ 9වෙනි වගන්තිය කිසිඳු වෙනසකින් තොරව එලෙසම පවත්වා ගැනීම.( සාමජිකයින් 2යි )

2. දෙවනි පරිච්ඡේදයේ අඩංගු කරුණු වෙනසකට භාජනය නොකරමින්, දෙවන පරිච්ඡේදයේ මාතෘකාව "ආගම්" ලෙස වෙනස් කිරීම (සාමාජිකයින් 2යි )

3. නවවැනි වගන්තිය පහත අයුරින් යලි සූත්‍රගත කිරීම,
ශ්‍රී ලංකා ජනරජය සියලු ආගම් වලට සමාන තත්වයන් ලබාදෙයි. රාජ්‍යය බුද්ධාගම ආරක්ෂාකරමින් පෝෂණය කරන අතර සියලු ආගම් වලට, පවතින ව්‍යවස්තාවෙන් දෙනු ලබන අයිතීන්වන 10 සහ 14(1) (ඉ ) ලබාදීමට සහතික වේ.
( සාමාජිකයින් 5යි )

4. ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් වේ. (සාමාජිකයින් 5යි )

5. ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් වන අතර, ආධ්‍යාත්මික දියුණුව සඳහා වන ආගමෙහි භූමිකාව පිළිගනී. (සාමාජිකයින් 1යි )

6. දෙවන පරිච්ඡේදයෙහි මාතෘකාව "ආගම්" ලෙස වෙනස් විය යුතු අතර එහි ඇති කරුණ,
"ශ්‍රී ලංකා ජනරජය  සියලු ආගම් වලට සමාන තත්වයක් ලබාදේ" ලෙස විය යුතුය.
(සාමාජිකයින් 2යි )

ඔන්න ඔය විදියට තමයි මේ වෙද්දී කරුණු කාරණා පෙල ගැහිල තියෙන්නේ . බුද්ධාමට දෙන තත්වය මොකක්ද කියල වාචාල දේශපාලකයො, රට කොටවන හාමුදුරුවරු ඇතුලු අනිකුත් පූජක පක්ෂ , රටට ආතල් දෙන බුකී පේජ් කාරයෝ පික්සුවෙන් ගහන පිනුම් දිහා බලල ඔබත් පික්සු වැටිලා මුලා වෙන්න එපා. තොරතුරු තාක්ෂණය ඉතා දියුණු මේ යුගයේ ඔබට අවශ්‍ය තොරතුරු දැනගත හැකි මාධ්‍ය බොහොමයක් විවෘතයි. ඒ නිසා හැකි සෑම විටම අදාල තොරතුරු ඔබ විසින්ම විමසා බලා තම නැණ බලයෙන් තේරුම් ගන්න. එවිට රට ගිනිතියන ඉහත කණඩායම් වලට ඔබ ගොදුරු කරගන්න අපහසු වෙනවාක් මෙන්ම වකීමක් ඇති පුරවැසි සමූහයක් රටකට දායද වෙනවා.

මේ ලිපියේ ඇතැම් තැන් පරිවර්තනය කිරීම් වලදී සහ උපුටා ගැනීම් වලදී දෝෂ සහගත වී ඇති වෙන්න පුලුවන්.එසේ වී ඇතිනම් ඊට සමාව බජනය කරන අතරම , ඔබත් පහත සඳහන් මූලාශ්‍ර වලින් වැඩි දුර තොරතුරු පරිශීලනය කරන්න,


http://www.samabima.com/?p=17489
http://sinhala.constitutionalassembly.lk/
http://www.yourconstitution.lk/PRCRpt/PRC_english_report-A4.pdf
http://www.vikalpa.org/?p=30835


Constitution of Srilanka English Version
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමය සහ දේශපාලනය ( අතුල විතානවසම්, දෙවන මුද්‍රණය 2010. page451,452)

1 comment:

  1. ආගමික රාජ්‍යක් යන්නෙහි තෙරුම කුමක්ද .
    එසේනමි බුදුදහමට ප්‍රමුකස්තානය දි ආරක්ෂා කිරිම යනු කුමකටද ?
    පහදා දේන්න

    ReplyDelete