Tuesday, September 13, 2016

දියවන්නාවේ රිලා ගති Campus වලින් මතු වීම






පෙරේදා පැවති SLIIT walk එක නිසා මේ දිනවල බුකිය තරමක් රත් වී ඇත.ඒ රත්වීම තුල private campus වල උන් හා රජයේ campus උන් අතර එකිනෙකාට මඩ ගසා ගැනීමේ ව්‍යාපාරයක් නැගලාම යමින් ඇත.මේ හදිසි සටහන ලියවෙන්නේ ඒ කාලකන්නි රිලා නාඩගම් දැක ඇතිවූ කලකිරීම නිසාය.මෙය පෞද්ගලික අධ්‍යාපන ක්‍රමය හෝ SAITM එක ගැන කෙරෙන විග්‍රහයක් නොවේ.ඒ පිලිබද නයියාගේ අදහස් මීට කලින් කීප විටකම ලියලා තියනවාය.අද සටහන වෙන්වන්නේ දියවන්නාවේ වීරවන්ශගේ , මර්වින්ගේ, කිරිඇල්ලගේ , ජොන්ස්ටන්ගේ වැනි උන්දලාගෙන් රිලා පාට් ඉගෙන ගෙන කුලල් කාගන්නා මෙරට රාජ්‍ය හා පෞද්ගලික වි.වි වල ඉගෙනගන්නා අපේ තාරුන්‍ය ගැන බොක්කෙන්ම උපන් දුක නිසාය.

මේ ආරෝව ඇරඹෙන්නේ SLIIT walk එකේදී එහි කොල්ලන් කෙල්ලන් උස්සන් ගිය බෝඩ් කිහිපයක ලියවී තිබූ දේවල් නිසාය.ඉන් සමහරක් රජයේ වි.වි තුල ඇති අරගල සම්බන්ධ විවේචන වූ අතර අනෙක්වා ආතල් ප්‍රකාශයන්ය.මේ ආතල් ප්‍රකාශයන් අතර ගෑවී නොගෑවී යන කුණුහරුප වූ අතර මේවා අල්ලන් රජයේ කැම්පස් උන්, Private campus උන්ට ප්‍රහාරය ඇරඹුවේ උන් උපාධි කඩ වලින් ඉගෙන ගන්නා නිසා  විනයක් නැති, කියමින් යන උන් කියලාය.ඒ අනුව පෞද්ගලික අධ්‍යාපන ආයතන තුල ඉන්නේ කුණුහරුප කියන,නට නටා පාරේ යන , පාගමන් ආතල් එකට ගත්තාවූ විනයක් නැති බඩු ටිකකි.රජයේ කැම්පස් වල උන් පාගමන් යන්නේ නිදහස් අධ්‍යාපනය රැකගන්න  වැනි මානව වාදී දේවල් වලටය.ඉතින් private campus  යනු සල්ලිකාර විනයක් නැති කොල්ලන් හා කෙල්ලන් සමූහයකගේ අවිනීත වැඩකි....................මෙරට බොහෝ පාසල් වල හා ආයතන වලින් පවත්නා ඔවැනි පාගමන් ඕනෑ තරම්ය.ඒවා බොහොමයක් ආතල් වලින් පිරුණු සින්දු කියමින්, නටමින් හුරේ දාමින්,පපරේ ගසමින් යන ඒවාය.ඔය ඉස්කෝල වලින් යන පාගමන් වලට මෙරට රජයේ වි.වි වල ඉගෙනගන්නා ඒ ඒ ඉස්කෝලවල ආදි ශිෂ්‍යන් බොහෝ සහබාගී වන්නේය.උනුත් යන්නේ නටමින් සින්දු කියමින්ය.සමහර උන් යන්නේ මත් පැනුත් තොල ගාගෙනය.එවිට නම් ඔය කියනා විනයක් නොතිබේ.කොහොමත් ඉතින් walkඑකක් යන විටදී match එකක් බලන විටදී ඔවැනි ආතල් ගන්නා එක සාමාන්‍ය දෙයකි, දෙපැත්ත  කැපෙන වචන ලියා බෝඩ් ඉස්සීමත් එහෙමය.නමුත් ඉතින් පෙරේදා එසවුනු එවැනි බෝඩ් දැකලා අපේ රජයේ වි.වි වල සහෝදරයන්ට හෙන ලැජ්ජාවකින් මූන රතු වී ඇත්තේ උන් ජීවිතේට කුණුහරුපයක් නොකියනා නිසා නිසාද?,...කැම්පස් උප සන්ස්කෘතියේ අමු කුණුහරුප සින්දු උබල කියලාම නැතිද?..අලුතෙන් එන ෆ්‍රෙශාලාට ෆ්‍රෙශීලට උබලා කුණුහරුපෙන් අමතන්නේ නැතිද?....ඉතින් ඔවැනි රජයේ වි.වි කොලුවන් කෙලියන් බොරු සුචරිතවාදී ඩයල් වීමට යන විට හෙන විහිලුවක් වන්නෙය.

අනෙක් අතින් පෞද්ගලික අධ්‍යාපන ආයතන වල සිසු පරපුරද කැම්පස් වල පවතින්නාවූ අරගල විහිලුවකට,අපහාසයකට ගෙන නින්දා කිරීමේ ව්‍යාපාරයකට අතගසා ඇත.උන්ට කියන්නට ඇත්තේ නොදන්න මගුල් කථා නොකර ඉන්නවානම් හොදයි කියලාය.මේ රටේ බිහිවූ හැම රජයක්ම පුලුවන් තරම් උත්සහ කලේ නිදහස් අධ්‍යාපනය කප්පාදු කර දමන්නටය.ඒ කාලේ ඉදන් රටේ වි.වි වල සිසු පරපුර ඊට විරුද්ධව සටන් නොකලා නම් අදවන විට මෙරට වි.වි පද්ධතිය ඇට්ට කුනාවූ නටබුන් බවට පත්වෙලාය.අපි කැම්පස් එකට පය තැබූ දිනවල අපිට දේශන සදහා තිබුනේ දැල් ගැසු පන්ති කාමර තුනකි ( ඒවා දේශන ශාලා කියලා කිසිසේත්ම හැදින් විය නොහැක ).අපේ පීඨයේ batch 4ම lectures ගියේ ඔය කාමර තුනට මාරුවෙන් මාරුවය.ඊට වඩා හොද පන්ති කාමර අපේ ගමේ ඉස්කෝලේ තිබුණේය.අපේ සින්නන් හා අපි එකතුවී පීඨ සන්කීර්නයක් ලබා ගැනීම සදහා කල අරගලයක තරම දන්නේ අපිම පමණි.ඊට කලින් සිටි උන් අපිට වඩා දහ දුක් විද පොලීසියෙන් ගුටිකමින්,මාස ගනන් උසාවි ගානේ නඩු යමින්, සති ගනන් උපවාස කර අපේ පීඨය සබරගමුවට නොගෙනාවනම් අපේ උපාධි අද වන විට වඳ වෙලා ගොහිල්ල්ලාය.අද සිටිනා උන් අභිමානයෙන් යුතුව තමන්ගේම කියා faculty complex වල ඉගෙන ගන්නේ හොද පහසුකම් සහිත labs වල පරීක්ශන කරන්නේත් කලින් සිටි උන් තමන්ගේ උපාධිය පමණක් නොව ජීවිතයද දෙවැනි කොට කෙරූ අරගල නිසාය.මෑත ඉතිහාසයට ඉතා ඉහතදී සිදුවූ භයානක අරගල ගැන ලියන්නේ නම් මෙය ලිපියක් නොව පොතක් බවට පත්වනු ඇත.ඒවා private campus වල ඉගෙන ගන්නා ඔබට සුරන්ගනා කතා පමනක්ම බැවින් අරගල ඉතිහාසය ගැන නොදන්නා ඉලව් කතා නොකර ඉන්නේ නම් මැනවි.

ඉතින් අපි එසේ අරගල කල නිසා රජයේ campus උන් හෙන උතුම් පොරවල් වන්නේත්  private campus වල උබලා අරගල නොකලා කියලා පජාත ඩයල් වන්නේවත් නැත.එකිනෙකාට ඒ ඒ පරිසර අවකාශයන් තුලදී මූන දෙන්නට වන සිදුවීම් මත ඒ ඒ පන්නරයන් ලැබෙන අතර විවිධ ක්‍රියාමාර්ග තෝරන්නට සිදුවේ.ඒවා එක් රාමුවක් තුලදී වීරකම් වන අතර අනෙක් රාමුව තුලින් බලන විට විකාර රූපී විය හැකිය.කෙසේ වෙතත් අතීතයේ සිදු කල අරගල බොහොමයක් වර්ථමානයේ වි.වි පද්ධතියේ සුරක්ශිතතාවට ඉවහල් වුනු බවට සැකයක් නැත්තේය.හැබැයි ඉතින් එසේ  උනා කියා අපි හෝ අපේ පෙර පරම්පරාව හෝ වර්ථමාන රජයේ වි.වි සිසු පරම්පරාව යනු පාරම් බාන්න තරම් පොරවල් නොවේය.දැන් ඔය රජයේ කැම්පස් වල ඉන්නා උන් හා out වුණු උන් කියනා ලෙස private එව්වා වල ඉන්නේ හෙන මැටි මෝල්,කවියක් ලියන්නට බැරි, කලාවක් රස විදින්නට බැරි, මානව දයාවක් නැති , ආදරයක් දන්නේනැති sex පමණක් හොයන අමු හරක් රැලක්ය.උන් කියනා ලෙස රජයේ වි.වි වල ඉන්නා උන් හෙන මානව වාදී, කලා රසයෙන් පිරිපුන් හෙන මීටර්ය.ඉතින් ඔවැනි බයිලා ගහන රජයේ campus වල නාම්බන්ට කියන්නට ඇත්තේ ඇට දෙක හපාගනින් කියලාය.ඔය බයිලා ගහන මානව වාදී බොහෝ ඩයල් වලට 3rd year එක වෙද්දී සියලු සහෝදරකම් හා අරගල අමතකව යනු නයියා ඇස් දෙකටම දැක තිබෙන්නේය.අනික ඔය කියන government uni උන් දන්න කලාවක් නැත්තේය.පෞද්ගලික ආයතන මගින් තම උසස් අධ්‍යාපනය හැදෑරූ සුපිරි දක්ශයන්, කලාකාමීන් හා හිත හොද පරාර්ථකාමීන් නයියා මේ වන විටත් ඕනෑ තරම් ඇසුරු කරමින් සිටින්නේය.මිනිසුන්ගේ කලාව, රසාස්වාදනය හා මානව දයාව දියුණු වෙන්නේ උන් ලබන උසස් අධ්‍යාපනයෙන් නම් ඉතින් මේ රටේ අති බහුතරයක් වනචාරීන් විය යුත්තේ උන් A/L වත් පාස් කොරලා නැති නිසාය.

අවසානයට කියන්නට ඇත්තේ government campus හා private campus වල ඉගෙන ගන්නා උබලා දෙගොල්ලන්ටම මෙරටේ අරගලයක් කරන්නට ඇත කියලාය.ඒ නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් තහවුරු කරනා විධිමත් තාර්කික අධ්‍යාපන ක්‍රමයක් උදෙසා වන සටනය.අපේ රටේ අධ්‍යාපන ක්‍රමය එක වසරේ ඉදලාම කුනු වී ඕජස් ගලනා වනයකි.එය කටපාඩම් කරනා යන්ත්‍ර  බිහි කරනා ක්‍රමයක් විනා නිසි ආකල්ප හා කුසලතාවලින් පොහොසත්, බුද්ධිමත් මනුෂ්‍යයින් බිහි කරන්නක් නොවේ.අප සැම එක්වී අරගල කලයුත්තේ එවැන්නක් සදහාය.එය පාරට බැහැලා කෑගැසීමක් වන්නක්ම නොව මතවාදීමය වශයෙන් හෝ ඇති විය යුත්තකි.නමුත් මේ කරමින් ඉන්නේ දියවන්නාවේ වීරවන්ශගේ,මර්වින්ලාගේ , ජොන්ස්ටන්ලාගේ නූගත් රිලා පාට් ආදර්ශයට ගනිමින් මෙරට උසස් අධ්‍යාපනය හදාරන සිසුන් එකිනෙකාට මඩ ගසා ගැනීමේ සම්ප්‍රදායකි.අපි ජාතීන් වශයෙන්, ආගම් වශයෙන්, පාට පක්ශ වශයෙන් බෙදී ඕනෑ තරම් මඩ බාල්දි නොඅඩුව ගසාගනිමින් රට අවලස්සන කරමින් සිටිති.ඉතින් ඒකට  private campus හා government campus කියලා තවත් බෙදීමක් ඕනෑ නැත්තේය.දියවන්නාවේ නූගත් රිලා පාට් උසස් අධ්‍යාපනය හදාරන බුද්ධිමතුන්ට තරම් නොවේ.

1 comment: