Wednesday, August 10, 2016

අපේ කොම්පීතර් ලැබ් එක






පසුගිය දවසක දෙවන වතාවටත් හෝගානා පොකුණ චිත්‍රපටය නැරඹීමට අවස්ථාව ලැබුණි.සින්හල චිත්‍රපටයක් ඉතින් දෙවතාවක් බලන්නට හිත දෙනවා  කියන්නේ ඉතින් ලේසි පහසු දෙයක් නොවේය.ගොඩක් සින්හල ෆිලුම් බලලා අවසානයේ හිතෙන්නේ මොන රෙද්දට බලන්න ආවාදැයි කියන කාලකන්නි හැගීම පමණක් නිසාය.ඒ අතින් හෝගානා පොකුණ අති සාර්ථක නිර්මාණයක් බවට අමුතුවෙන් කියන්නට දෙයක් නැත්තේය.බඩ පැලෙනකල් හිනා වෙන්නට පුලුවන් දර්ශන මෙන්ම අපිටත් නොදැනී අපේ ඇසින් කදුලක් එලියට ගන්න පුලුවන් අවස්තා වලින්ද හෝගානා පොකුණ පිරී ඇත්තේය.නානසාර නම් චීවරධාරියාට අනුව බුදු දහමට වින කටින සූක්ෂ්ම සටකපට දිය සුලියක්ද මේ පොකුණ මැද්දෑවේ ඇත්තේය.
ඒ කොහොම උනත් අද සටහන හෝගානා පොකුණේ චමත්කාරය පිලිබද නොවේ.මේ සටහන ලියන්න හිතුනේ ෆිලුමේ තිබූ එක්තරා දර්ශනයක් වන, ඉස්කෝලෙට අලුතින් පියානෝවක් ගෙන ආ දිනවල ඒ කුමක්දැයි කියා විපිලිසරවන වන පොඩි උන්ගේ දග වැඩ දැකීමෙන් මට අපේ ළමා කාලය සිහි වූ බැවිනි.

අපි ඉස්කෝලෙ 8,9 වසර වල ඉන්න කාලේ ඒ කියන්නේ මීට අවුරුදු 15කට පමණ කලින් අපේ ඉස්කෝලේ අලුතින් බිල්ඩිමක් හැදුවේය.එය මහ ලොකු එකක් නොවේ.ඕනි නම් පන්ති කාමර දෙකක පමණ විශාලත්වයක් එහි තිබෙන්නට ඇත.නමුත් එය අපේ ඉස්කෝලේ තිබූ අනිත් බිල්ඩින් වගේ නොවේය.එහි වටේට ඝනැති වීදුරු ජාතියක් ඇල්ලූ පොශ් ජනේල සැට් එකක් විය.ඒවා කවදාවත් ඇරලා තිබ්බේ නැත.ඒවාට ඉතා හොද තත්වයේ තිර රෙදිද දමා තිබූ බැවින් කාමරය ඇතුලේ මොනවා තිබෙන්නේද ? මොනවා වෙන්නේදැයි නොපෙනුණි.ඉස්කොලේ තිබූ අනික් පන්තිවල නම් තිබ්බේ කසි කබල් ලෑලි උලුඅහු තිබූ ජනේල කව්ලුය.ඒවා වලින් වහින කාලයට පින්නද පායන කාලයට දුහුවිල්ලද නොඅඩුව පන්තිය ඇතුලට කඩාවැදෙන්නේය.

එනමුත් අලුත් බිල්ඩිම එසේ නොවී පොශ් වීදුරු ජනෙල් වලින් ෆුල් කවර් කර තිබ්බේ එය AC කර තිබෙන කාමරයක් නිසාය.එය AC කරතිබ්බේ වෙනකක් නිසා නොව එය කොම්පීතර room එකක් වූ නිසා බව අපිට කලක් යද්දී දැනගන්නට ලැබුණි.හම්මේ ඉතින් computer lab එකක් ඉස්කෝලෙට ලැබෙනවා කියන එකනම් පික්සු පීකුදු වෙන වැඩකි.ඒ දවස් වල මම දන්නා කියන තැනක කියා කොපීතරයක් තිබ්බේ අපේ පවුලේ ලොකුම සල්ලිකාර නෑදෑයෙකුගේ ගෙදර පමණි.මන් දන්නා කියන එකෙක්වත් computer එකක් අල්ලා නොතිබ්බේය.ඔය කාමරය ලග නිකරුනේ ගැවසීමට ඉස්කොලේ ගුරුවරුන් අපට ඉඩ නොදුන්හ.හරියට එය අධිආරක්ශිත කලාපයක් මෙනි .අපි ඉතින් මේ වටිනා මහාර්ඝ මෙව්වා එක විවෘත කල පසු  බලා උන්නේ කවදා computer  එකක් අතපත ගාන්න චෑන්ස් එකක් වැදේදෝයි හීන දකිමිනි.

ඇත්තටම ඕකට Lab එක කිව්වේ ඇයිද කියා මට හෙන අවුලක් තිබ්බේය.මන් හිතාගෙන හිටියේ lab එක කියන්නේ විද්‍යාව පොතේ ඇති අනම් මනම් එව්වා මෙව්වා mix කොරන්න ඇති කාමරයකට කියාය.විද්‍යාව පොතේ ගැන computer ගැන සදනක් නොවූ බැවින් මේ කාමරයට lab එකක්යැයි කීම ගැලපෙන්නේ නැත....මාසෙකට එක පාරක් විතර අපේ විද්‍යා ගුරුවරිය අපිව ඕකට එක්කන් ගියේ පුන්චි අපේ නොමද ආසාව නිසාමය.Computer lab එකට යා යුතු වූයේ පන්සලට යද්දී මෙන් සපත්තු මේස් ගලවලාය.ඒකේ තිබූ computer අල්ලන හැටි කියාදෙන්නේට වෙනම ගුරුවරයෙක් වූවේය.හැඩය TV එක වාගේම උනත් computer එක පත්තු කිරීම, නිවීම TV එකේ වගේ button එකක් ඔබලා කොරන්න බැරි බව  ඔහු අපිට කියාදුන්නේය.අපි ඉතින් ඒ වටිනා computer රාජයන්ව ඇල්ලුවේ කෙරුවේ හරි භක්තියෙන්ය.හැම මාසයක් ගානේම කාමරේ ඇතුලට රින්ගුවත් අපි ඉගෙනගත් ලබ්බක් නම් නොතිබුනි.හැමදාම කලේ මොකක්දෝ player එකකින් සින්දු ඇසීමත් Microsoft Encarta වලින් එක එක රූප බැලීමත් පමණක්ය.

ඔය අතරතුරේම අපේ අයියා උගැන්වූ ඉස්කෝලෙටත් computer lab එකක් ලැබී තිබුනේය.ඒ ඉස්කෝලේ තිබ්බේ කොලොන්ගොඩ කියලා ඈත ගමකය.කොලොන්ගොඩ තියෙන්නේ හසලකිනුත් එහා 18km ක් ගිය තැනය.ටිකක් නගරබදව විසූ අපිටත් computer lab එකක් magic එකක් වූ කල රට ඇතුලේම වූ ගම් පෙදෙසක  ළමයින්ට එය කොයි තරම් ආශ්චර්යයක් වෙන්නට ඇත්දැයි පුන්චි මට ඒ දවස් වල සිතුනේය.ඉතින් ඒ ළමයින්ද පෙරුම් පුරා බලා සිටි ඒ කොම්පීතර කාමරේ විවුර්ත කිරීමේ උත්සවයට ආවේ එකල මධ්‍යම පළාත් මහ ඇමති තුමා වාගේ මතකය.ඔය උත්සවේ පිලි ගැනීමේ ගීතය ලියන්නට භාරවුනේ අපේ අයියාටය.මිනිහා ඉස්කෝලෙට ගියේ විද්‍යා ගුරුවරයෙක් ලෙස වුවත් එයගේ ඇගේ තිබ්බේ කලාව බව ඉස්කොලේ විදුහල්පති තුමා මැනවින් අවබෝධ කරගෙන තිබ්බේය.ඒ නිසා පිලිගැනීමේ ගීතය ඔහුට පැවරුවේය.මා මෙතෙක් අසා තිබෙන වෙනස්ම හා අවන්කම පිළිගැනීමේ ගීතය එයයි.එම ගීතය තුල පුන්චි අපේ තිබූ කුහුල මොනවට කියවුනේය.හෝගානා පොකුණේ පියානෝ ආශ්චර්ය දැකලා මට ඒ ගීතයේ මුල් පද කීපය මතකෙට ආවේය.


අපේ හීන පොදි බැදගෙන ,
අලුත හැදුව කාමරේ
යතුරු හිලෙන් අපි බලලා,
පැනල දිව්වා එක සැරේ..
එහෙම ගියත් හිත පාරන සිතුවිලි වල කරදරෙන්
මුදා ගන්න, පැමිනි ඔබ පිලිගමු අපි සාදරෙන්....



ඡායාරූපය හෝගානා පොකුණ චිත්‍රපටයෙනි

2 comments: