Saturday, February 18, 2017

පින සමග බද්ධ වූ පුද පූජා විලාසිතාව







අද අපේ කථාව පුදපූජා විසින් අරක්ගත් පිං කිරීමේ කලාව ගැන. වර්ථමානය වෙද්දී බොහොමයක් අය තම බෞද්ධ වීම අර්ථදක්වාගෙන තිබෙන්නේ තම දෙමාපියන් බෞද්ධ ලෙස සඳහන් වීම නිසා උත්පත්තියෙන් තමන්ට ලැබෙන උරුමයක් ලෙස. ඉතින් මේ උත්පත්තියෙන්  ලැබෙන ආගමික උරුමය කරේ තියාගෙන තමන් බෞද්ධයෙක් බව කියාගනිමින් උද්ධාමයට  පත්වෙන්නේ පිංකම් කියලා ක්‍රියාවලියක් හා ඊටම බද්ධ වුනු පුදපූජා සමූහයක් පවත්වාගෙන යමින්.පොඩි කාලේ ඉගෙනගත්ත හැටියට තිසරණ සරණ යනව නම් ඔහු බෞද්ධයෙක් වෙනවා.මේ තිසරණ සරණ යාමේ අර්ථ දැක්වීම ඉතා පුලුල් එකක් විය යුතුයි(නැතුව හැමදාම කියන ගාථා පාඨ ටික තුන් පාරක් කිව්ව ගමන් තමන් බෞද්ධ වෙනවා කියන එක තරම් සරළ දෙයක් ද?) ....මට නම් හිතෙන්නේ උත්පත්තියෙන් ලැබෙන ජාතියට වඩා තාර්කික දෙයක් තමයි ආගම කියන්නේ.ආගම කියනදේ මිනිහෙකුට උපතෙන් ලැබෙන දෙයක් නෙවී. ආගම කියන්නේ පුද්ගලයාගේ තෝරාගැනීමක්. විවිධවූ ආගමික චින්තනයන් අධ්‍යයනය කරලා වඩා නිවැරදියි කියල තමන්ට හිතෙන චින්තන පද්ධතිය තෝරා ගෙන ඒ ඔස්සේ ගමන් කිරීමෙන් තමයි තමන් යම් ආගමක් අදහන්නෙක් විදියට හදුන්වගන්න පුලුවන් වෙන්නේ. ඒ අනුව බුදු දහමේ එන විමුක්ති මාර්ගයේ ගමන් කරන කෙනෙක්ට තමයි තමන් බෞද්ධයෙක් කියල හඳුන්වගන්න පුලුවන් වෙන්නේ. නැතුව මේ පිස්සුවෙන් වගේ කරගෙන යන පුද පූජා ක්‍රියාවලිය හා බැඳුන පිං කම් විලාසිතාව පවත්වගෙන ගියා කියල නම් නෙවෙයි.


බුදු දහමේ උගන්වන  විමුක්තිය නිර්වාණබෝධයයි. ඒක මරණින් පස්සෙ ස්වර්ගයක උපත ලබල, දෙවියෙක් වගේ සැප විදින ආත්මයක් ප්‍රාර්ථනා කරමින් කරන් යන ක්‍රියාවලියක් නෙවෙයි. ඒක පුද්ගලයෙකුගෙ ඉන්ද්‍රීය සංවරය මගින් පුලුල් කරගන්නා ඥාන අවබෝධයක්. එය  මරණයෙන් පස්සෙ ලැබෙන අමුතු මෙව්වා එකක් නොවෙයි, තමන් ගෙවන මේ ජීවිත කාලය තුලදීම ලබාගැනීමට වෙහෙසිය යුතු දෙයක් ලෙසටයි දැක්වෙන්නේ. අනෙක් ආගම් එක්ක බලද්දි එහි විශේෂත්වය වන්නේ මේ කියන අවබෝධය පුද්ගලයා විසින් තමන්ගේ කැපවීම සහ උත්සහය තුලින් ලබගතයුත්තක් මිසක් කිසිම ආකාරයක ඉල්ලීමක , පුද පූජාවක ප්‍රතිඵලයක් වශයෙන් ලබාගත නොහැකි වීම. කවුරුත් දන්න විදිහට මේ ක්‍රියාවලිය ශීල, සමාධි, ප්‍රඥා කියන අදියර තුනකින් යුක්ත බවත් එය ශීලයෙන් පටන් ගෙන ඉන් අන්තුරුව ඊලග අදියර දෙකට ගමන් කරමින් ක්‍රමානුකූල වර්ධනයක් ලබමින් දිවයන්නක් බවත් සඳහන්. ශීලයෙහි අරමුණ වන්නේ නිර්වාණ ක්‍රියාවලියට අදාල වන ශික්ෂණය පුද්ගලයා තුල ගොඩනැගීම.



අපේ කතාවේ වැධගත් තැන සලකුණු වෙන්නේ මෙන්න මේ ශීල ක්‍රියාවලිය තුල. බෞද්ධ ප්‍රතිපදා මාර්ගයේ ගමන් කරනවායැයි කියන අති බහුතරයක් දෙනා මෙන්න මේ ශීල අවස්ථාවෙන් එහාට තම ජීවිත කාලය තුල යන බවක් පෙනෙන්නේ නෑ.ඒ කියන්නේ පොඩි කාලේ ඉදන් වයසට ගිහින් මැරිලා යනකල්ම උත්සහ ගන්නේ  දස අකුසල් වලින් වැලකෙන්න. ඔය ක්‍රියාවලියට උදව් වෙන්න අපිට මුන ගැහෙන අනු කොටසක් තමයි පුද පූජා කියන්නෙ.මේ පුද පූජා ක්‍රියාවලිය ශීල අවස්ථාව තුල ලොකු භූමිකාවක් රඟදක්වනවා දකින්න පුලුවන්.මෙන්න මේ භූමිකාව එන්න එන්න වර්ධනය වීමෙන් තමයි වත්මන් බෞද්ධ අනන්‍යතාව ගොඩ නැගිල තියෙන්නෙ.



මුල් දේෂිත බුදු දහම ඉහත කිව්වාක් මෙන් පැහැදිලි වීර්යකින් යුත් නිශ්චිත ගමන් මාර්ගයක් තිබ්බ එකක් වුනත් පසු පසු කාලීනව ක්‍රමයෙන් එය වදින පුදන වටිනාකමක් තියන වාස්තවික අනන්‍යතාවක් ඇති දෙයක් බවට(ආගමක්) බවට පත්වෙනවා. මේක වෙන්නෙ රාජ්‍යය අනුග්‍රහය බුදු දහමට ලැබීමත් සමග. දුටුගැමුණු තම රජකම සඳහා ගෙනගිය සටනේ පැහැදිලි කොටස් කරුවන් ලෙස එදවස භික්ෂූන් පෙරමුණ ගත්බව ඉතිහාසයේ සඳහන්. ලෝකෝත්තර අවබෝධයක් වෙනුවෙන් දේශනාවූ දහමක් ගිහියන්ගේ රාජ්‍ය ලලාසාව වෙනුවෙන් කඩේ යන්නට පටන් ගත්තට පස්සේ සිද්ධවුනේ දහම යට ගිහින් උත්කර්ෂවත් සැනකෙළි සහ පුරාජේරු මතුවීම. මේ වෙනස් වීමේ තීරණාත්මකම අවදිය වන්නේ වළගම්බා රජ දවසයි. බැමිණිතියා සාය හේතුවෙන් අනතුරුදායක තත්වයකට ලක්වූ ත්‍රිපිටක ක්‍රියාවලිය, මුඛ පරම්පරාවෙන් වෙන්වී ග්‍රන්ථාරූඨ වන්නේ මේ කාලයේ. මේ සමයේ ඇතිවූ සිද්ධි දාමයත් සමග බුදුන් වහන්සේගේ මුල් ඉගැන්වීමේ වූ ප්‍රතිපත්තියත්( සීලාදී ගුණධර්ම පුරුදු කිරීම ) , ප්‍රතිවෙධයත්( නිර්වාණය අවබෝධ කිරීම ) පර්යාප්තියට( ත්‍රිපිටක ධර්ම ඉගෙනීඑම ) වඩා උතුම් කියන සංකල්පය අභියෝගයට ලක්වෙන බව වල්පොල රාහුල හිමියන්ගේ "භික්ෂුවගේ උරුමය" ග්‍රන්තයේ දැක ගත හැකියි. එහිදී පර්යාප්තිය  වඩා වැධගත් කියන මතයේ හිටපු ධර්මකතික භික්ෂූන්ගේත්, ප්‍රතිපත්තිය වඩා වැධගත් කියපු පංසුකූලික භික්ෂූන්ගේත් බෙදීම හේතු කොටගෙන තමයි ආරන්‍යවාසී හා ග්‍රාමවාසී කියන භික්ෂු දෙකොටස හැදෙන්නේ.


වියහැකි ලෙසම මෙහිදී සිදුවන්නේ ග්‍රාමවාසී භික්ෂූන් ඉතා ජනප්‍රිය වීම.ඔවුන් නිරතුරුවම එදවස රාජ්‍යත්වය සමග බැදීමක් ඇතිකරගත් නිසා මේ භික්ෂූ කොට්ටාසයට ඉතා ඉහළ සැලකිලි, විහාර දේපල සහ ධර්මය ඉගැන්වීම වෙනුවෙන් යම් දීමනාවක් පවා ගෙවූ බව සදහන්. රජවරුන්ගේ සම්බන්ධය එන්න එන්න වැඩිවෙද්දි දහම ක්‍රමයෙන් වාස්තවික අවස්ථාවට එන්නේ පුදපූජා හා සැනකෙළි දිනෙන් දිනම වැඩි කරමින්.

අවුරුදු දෙදාකට එහා රාජ්‍යත්වය හා කෙලින්ම සම්බන්ධ වෙමින් සිදුවූ මේ විකසනයේදී ශීල , සමාධි, ප්‍රඥා කියන පියවර තුනට ඉදිරියෙන් පුදපූජා කියන අලුත් ස්ථරයක් මුල්බැසගැනීම දකින්නට පුලුවන්.  පුදපූජා හා ශීල අවස්ථාව එකිනෙක හා දැඩිව බැඳී පවතින එකක් බවට පත්වීම සමග විමුක්ති මාර්ගයේ මුල් කොටස ඉතා වේගයෙන් වෙනස්වෙන්න වෙන්න ගන්නවා.ගෙවුණු කාලය පුරා මේ ආරම්භක ස්තරයේ ඝනත්වය එන්න එන්නම වැඩිවෙද්දි සමාධි හා ප්‍රඥා කියන ස්ථරයන් නොවෙනස්ව පවතින්නේ බොහෝ දෙනෙක් ඒ අධියරට යාම වැලැක්වී ඇති නිසා. ඉතින් කොහොමද මේ  පූජා+ශීල ස්ථරය දිනෙන් දිනම පුලුල් වෙන්නේ. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි  එහි ඇති වෙළඳ පොල වටිනාකම නිසා.සරළවම කියන්වනම් මේ කොටස ඉතා ඉහළ මිලකට විකුනන්න පුලුවන්. රජකාලේ පූජා ක්‍රමවලින් ආරම්භ වෙලා 1970 ගනන් වල හදුන්වාදෙන බෝධිපූජා සංකල්පය එකතුකරගනිමින් මේ වෙද්දි අසූහාරදාහේ පහන් පූජා, දාගැබ් මලින් වැසීම, පලතුරුවලින් වැසීම, තඩි තඩි සිවුරු මහලා දාගැබ් එතීම, වර්ග එකසිය ගණනකින් යුත් පලතුරු පූජා, දළදා පෙරහැරෙන් පටන්ගත් පෙරහර සංස්කෘතිය හැම පෝයකටම කරන පෙරහර දක්වා වර්ධනය වීම, කවි බණ,විලාසිතාකරණය වූ කඨින උත්සව, ජප කරපු පිරිත් නූල,පිරිත් පැන් සිට මෙකී නොකී හැම බක්කක්ම මේ  පූජා+ශීල ස්ථරයට එකතු වෙලා අවසන්. හෙට වෙද්දි තව තව අලුත් දෑ මේ ස්ථරය ශක්තිමත් කරාවි. මේ ශක්තිමත් වීමේ අංක එකේ හේතුව ඒ පිටුපස ගැවසෙන මුදල් කන්දරාව බව අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.ඒ වගේම වර්‍ථමාන දේශපාලන බල අරගලයේත් ප්‍රධාන තුරුම්පුවක් බවට මේ ජනප්‍රිය ආගම් විලාසිතා ස්ථරය පත්වෙලා අවසන්. මේ ක්‍රමය යටතේ හැමෝටම කරන්න ඕනි වෙන්නේ පුලුවන් තරම් වස්තුව පොදිගහලා ඒකෙන් යම් කොටසක් ලොකු size ජනප්‍රිය පූජාවකට වෙන් කරන එක විතරයි. ඒ වෙන් කල කොටස විසින් අපේ දිව්‍ය ලෝක ටුවර් එකට අවෂ්‍ය  කටයුතු සම්පාදනය කරනු ඇති.

අවසන් වශයෙන්, ඉතා අන්ධානුකරනයෙන් මේ වෙළඳපොලකරණයට ලක්වූ ස්ථරයක් පස්සේ දුවන එකෙන් වලකින්න කියල තමයි හැමෝගෙන්ම ඉල්ලන්න තියෙන්නේ. මරණයෙන් පසු දිව්‍ය සැප සම්පත් හොයන දහමක් නෙවෙයි බුදු දහම කියන්නේ. ඒ නිසා මේ මිසදිටුබවෙන්  මිදෙන්න බැරි නම් අඩුගානේ බුද්ධාගම හෙන දාර්ශනික ආගමක් , පට්ට විද්‍යාත්මකයි වහේ talks දෙන එකවත් නැවැත්තුවොත් හොදයි. මොකද ඉතාම අතාර්කික පුද පූජා ගොන්නක් කරේ තියන් පිං පිං කියා රට වටේ දුවන ගමන් බුදු දහම හරිම දාර්ශනිකයි කියන එක පට්ට ජෝක් එකක් නිසා....

4 comments:

  1. ඊලඟ ආත්මයක් කෙරෙහි ඇති තන්හාවද මන්දා,...පිං.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ඒක තණ්හාව තමයි.සත්යෝදය පොතේ කියලා තියන්වා ඊලඟ ආත්මය ගැන ලොබ බැඳගෙන පිංකම් කරන්න එපාය, ඒක තව තවත් තද කර ජීවිතය අල්ලගැනීමක්ම බව

      Delete
    2. එවිට එතැන තිබෙන්නේ සීලබ්බත පරාමාස යන දෙයයි

      Delete
    3. ඒ වචනෙ නම් ඉගෙන ගත්තෙ අද....බොහොම ස්තූතියි යාලුවා

      Delete