මයිත්‍රී බුදුහාමුදුරුවෝ බුදුවන පුස්තකාලයේ සියඹලාගහ යටදී, 1967දී පාඨක සමාජයට දායාදවූ දැති රෝදෙන් උපන් බුදුන් කියන්නේ කෙටිකතා කිහිපයක් එකතු කරමින් අප සම්බන්ධ වී සිටින සමාජය සහ එහි සත්තාවන් අපේ මනස තුල පරිකල්පනය කරවීමට ගත්ත උත්සහායක්. අපිට නිතර දෙවේලේ හමුවන කෙටි කතා, නව කතා අතර වෙනස්ම ආකෘතියකින් ලියවුනු එකක්. මීට වසර 50කට ඉස්සෙල්ලා ලියවුනු ඒ අදහස් විටින් විට අතුගාදැමීමට උත්සහ කලත්, තවමත් රසික සමාජයට කිට්ටු වෙමින් , පවතිමින් තිබෙනවා. මේ පොත ගැන කතා කරද්දි මට හිතෙන විදියට වැධගත්ම දේ වෙන්නේ , අන්තර්ගතයට වඩා එහි ආකෘතිය. එක දිගට ගලා යන, අපහසුවෙන් තොරව ග්‍රහණය කල හැකි කතා ටිකක් වෙනුවට මේකේදී අපිට හමුවෙන්නේ වෙනස්ම විදියකට ආකෘතිගත ගරපු සිද්ධි ටිකක්. ඒ සිද්ධි ටික, කියවන අපිට පහසු වෙන විදියට හදලා දීපුවා නෙවී. කියවන්නන් හැටියට අපිට සිද්ධ වෙනවා නැවත මේ කතා ටික කියවන්න , අපේ බුද්ධිය කලඹවන්න , නැවත අපෙන්ම අහන්න අපි මේක හරියට කියෙව්වද කියලා. නැතිනම් අපිට මේක වැටහුණාද කියලා. කොටින්ම මේකෙ තියෙන්නේ කියවෙන කතා ටිකක් නෙවී කියවිය යුතු කතා ටිකක්. ඒ නිසා වෙන්න පුලුවන් දේවල් දෙකයි තියෙන්නේ. එක්කො අපිට සුටුස් ගාල හිතෙනවා මේක නම් මෙලෝ වැඩකට නැති පිස්සු, තේරුමක් නැති කතා ටිකක්. එහෙමත් නැතිනම් අපිට හිතෙනවා මේක එදවස පැවති ආගමික සහ ධනපති ක්‍රමය විවේචනය කරමින් ලියපු ප්‍රහේලිකාවක් වන් රචනාවක්. මට හිතෙන විදිහට මේක ටිකක් සැලකිල්ලෙන් කියෙව්වානම් අපිට එන සිතුවිල්ලක් තමයි මේ කතන්දර කිහිපය එකකට එකක් සම්බන්ධයි කියන එක. එක එක කතාවේ එන චරිත මොන යම් අයුරකින් හරි සම්බන්ධ කරන්න පුලුවන් බිඳුනු දම්වැල් මේ හැම කතාවකම අඬංගු වෙලා තියනවා.
තවත් වැදගත්ම දෙයක් වෙන්නේ මේක ලියවුණු කාලය. අහල තියන්ව විදිහට පනහ සහ හැටේ දශකය කියන්නේ ලංකාවේ පූජ්‍ය පක්ෂය ඉතා තදබල සහ තීරණාත්මක අයුරින් දේශපාලන කටයුතු වලට මැදිහත් වෙන කාලයක්. එවැනි කාලයක පූජ්‍ය පක්ෂය සහ ආගමික ඩීල් කාරයන් විසින් අසරණ මිනිසුන්ගේ ජීවිත සූරාකන ආකාරය ඉදිරිපත් කිරීම සැබවින්ම අභියෝගයක් වෙන්නඇති. ඊට අමතරව පවතින සමාජ ක්‍රමය හමුවේ පරාරෝපණයට ලක්වෙන අපේ ජීවිත සහ අපිටම වටහා ගැනීමට නොහැකිව අතරමංවන අපේ පැවැත්මේ අරමුණ මේ කතා කිහිපය හරහා අපි ඉදිරියට ගේනවා. අනික් කරුණ, අපි සියල්ලන්ටම අමතක වී යන අපේ සමාජයේ වෙසෙන අන්තම දිළිඳු කොටසට විඳින්නට වී ඇති දුක්ඛිත භාවය විටින් විට මුණගැස්සවීම. සමාජ සැකැස්මේ අන්තිම කෙලවරට ගාල්වූ ඒ පිරිසට, පවතින දේශපාලන, ආර්ථික ක්‍රමයෙන් විතරක් නෙවී ආගමික සංස්ථාවෙන් පවා පිළිගැනීමක් ගරුත්වයක් ලැබෙන්නේ නැති බව කතුවරයා අපිට ඉඟි කරනවා. සමහරවිට ඒවා මායා යතාර්තවාදී අයුරින් ඉදිරිපත් වෙන ඒවා.
ඒ සමගම ආපු අදසක් තමයි ඊලඟ බුදු හාමුදුරුවෝ මොනවා දේශනා කරයිද?....උන්වහන්සේ කොහොම කෙනෙක් වෙයිද ?....අපිට ඔලුවට කාවද්දලා තියන දේවල් සහ අපි ලබාගෙන තියන දැනුම අනුව බුදුවරයා කියන කියන චරිතය පරිකල්පනය කරගන්න අපේ තියන ශක්‍යතාව කුමක්ද?....ධනවාදී ක්‍රමයක කෙල පැමිනි මොහොතේ උන්වහන්සේ දේශනා කරන දහම අපිට තේරෙයිද?....ගෞතම බුදුන් වහන්සේත් සාමාන්ය මිනිහෙක් කතා කරනවාට වඩා 100 ගුණයකට වැඩි වේගයකින්ද කොහෙද කතා කරපු බව TV එකේ ලඟදී කිව්වා (හරියටම ගාන මතක නෑ. කොහොම හරි ලොකු ගානක්). ඉතින් ඒ විදිය වේගයකින් කතා කරද්දී සාමාන්‍ය මිනිහෙක්ට පුලුවන් උනාද ඒක ග්‍රහනය කරගන්න. එසේත් නැතිනම් අපි මේ අහන කරුණු වෙන කාගේ හරි interpretation එකක්ද?......මේ ප්‍රශ්න ටික මට ආවේ "ඉතිහාසයේ වීරයා" කතාව කියවද්දි.
".....යකඩ කැබලි එක්තැන් කොට ත්‍රිකෝණාකාර හැඩයට බැඳ සකස්කල ඔහුගේ හිස් වැසුම ...,....,
ඔහුගේ ලපැත්තත් පිටපැත්තත් විෂ්කම්භය අඩි එකහාමාරක පමණ වූ දැති රෝද දෙකකින් ආවරනණයවී තිබිණ.තඹ තහඩු කැබැල්ලකින් යටිකය වසා තිබූ අතර දණහිසේ සිට පතුල දක්වා වයර් ඔතා මේස් වැසුමක සෙය ගන්වා තිබිණ...."
".....ප්‍රධාන බස් නැවතුම් පල තෙක් පැමිණි ඔහු අඩ පැයක් පමණ දේශනාවක්ද පැවැත්වූයේය. එය අප වාර්තාකරුවන්ට තෝරා පැහැදිලි කරගත නොහැකි තරමට වේගවත් විය. ඇරත් එම බස කිසිම බසකට අයත් එකකැයි සිතිය නොහැකි වග ඇතැමුන්ගේ අදහසයි... "
මේ සියලු ඉඟි කිරීම් , සඳහන් කිරීම් සිද්ධ වෙන්නේ අපි පුරුදු වෙලා තියන ආකෘතියෙන් වෙනස් විදිහට. සමාජ අසධාරණය , ආගමික හා ලිංගික සූරාකෑම් පිලිබඳ ඉතා මනරම් සහා සංවේදී භාෂාවෙන් ලියවුනු කෘතීන් ඕනෑ තරම් අපිට හමුවෙනවා. ඒවා ලියවී ඇත්තේ අපිට බොහොම හුරු පුරුදු සංවේදී කතන්දර ආකෘතියෙන්. නමුත් ටෙනිසන් අපිට ඒ සුන්දර , කියවනකොට එක හුස්මට ගින්නක් නැතුව කිය්වන් යන්න පුලුවන් ආකෘතිය හදලා දෙන්නේ නෑ. ඒ වෙනුවට ඔහු සත්‍යයේ මොහොතවල් , පීඩාවේ මොහොතවල්, මායාවේ මොහොතවල් , සිහින ලෝකවල මොහොතවල් තැනින් තැන ලියමින් අපිට බලකරනවා සැබෑව වටහාගන්නට. නැතිනම් අපේ පැවැත්මේ ස්වාභාවය ඒ තුලින් දකින්නට. මේ ආකෘතිය මට මතක් කරන්නේ යම් තැනකදී කියවූ තිය්ඩෝර් ඇඩෝනෝගේ කලාව සම්බන්ධ විචාරයකට.
මට මතක විදියට ඔහු පවසා තිබුනේ ධනවාදය විසින් කලාව සංස්කෘතික කර්මාන්තයක් බවට පත් කර ඇති බවයි. එමගින් බිහිවන පොප් සංගීතය හා චිත්‍රපට මගින් එකම වට්ටෝරුවේ නිර්මාණ බිහි කරමින් ජනතාව තත්වාරෝපණ්ය කරන බවත් එමගින් පවතින මර්ධනකාරී ක්‍රමය ස්වභාවික දෙයක් ලෙස පිලිගැනීමට අප පොලඹවන බවත්. මිනිසුන්ගේ විප්ලවවාදී අදහස් මොට කරන ඒකාකාරී ජනප්‍රිය රැල්ල වෙනුවට ඔහුගේ යෝජනාව උනේ දුෂ්කර සහ විනෝදයට අභියෝග කරන විරෝධය පෑමේ කලාවක් වෙනුවෙන්. ඇඩෝනෝ මේ මතය අනුව යමින් අපව පිනවන , දැහැන්ගත කරන ජනප්‍රිය සංගීතය වෙනුවට තෝරාගන්නවා විඳීමට අපහසු සංගීත ක්‍රමයක ආගමනය. ඒ තුලින් ඔහුගේ අරමුණ වෙන්නේ "අප සවන් දෙමින් සිටී" කියන තැනට ශ්‍රාවකයා පත් කිරීම. මොකද ජනප්‍රිය සංගීතය යනු අපි සවන් දෙනවා වෙනුවට "අපට ඇහෙමින් තිබේ " වර්ගයේ දෙයක් වීම.
මේ මතය ඉදිරියට ගෙනිය ෆ්‍රෙඩ්‍රික් ජෙම්සන් මතයක් පලකරනවා භාෂාවත් මේ ආකාරයෙන්ම විරෝධය පල කිරීමේ මාධ්යක් ලෙස යොදාගත හැකි බව. සමාජයේ පවතින අසාධාරණය සහ දුෂ්ඨ බව, සංවේදී/විසිතුරු භාෂාවකින් නොකැඩී ගලා යන කතාවක් ලෙස ඉදිරිපත් කරනවා වෙනුවට සත්‍යය සොයාගත හැකි තැන් වෙත අපිව යොමු කිරීමට , ඛණ්ඩනය වූ භාෂා විලාසයකට හැකි බව. මේ අනුව එන අදහසක් තමයි අන්තර්ගතය ද්වීතික වෙමින් ආකෘතිය ප්‍රමුඛවීම. දැති රෝදෙන් උපන් බුදුන් කියවන විට මට නිතැතින්ම මතක් උනේ මේ අදහස. ටෙනිසන් අපිට කියවන්නට, මනස වෙහෙසමින් කියවන්නට, අවශ්‍යය ඛණ්ඩිත සිදු වීම් පොකුරක් ලබාදෙනවා. එය හැටගනන් වල විතරක් නෙවී සමකාලීන සමාජ, දේශපාලන සහ ආගමික ස්ථර හමුවේ හමුවේ අපේ කුඩා බව හිතාගන්නට අපිව පොළඹවනවා. ඒ කුඩා බවට සවිඥානික වෙමින් හෝ නොවෙමින් ගෙවෙන අපේ පැවැත්මේ එක්තරා අවසානයකට අවසන් කතාවේදී මේ විදිහට එනවා,
"ගැහැනියකගේ සුවඳ උපන්දාමෙන් දැනුදු මාවෙත පැතිරේ. ඒ පිලිබඳ එදා අරමුණක් ගැනීමට මට නොහැකිවූවා සේම අදද මට එය කළ නොහැක. කෙසේ වුවත් එය පැහැපත් සිරුරක් ඇති, නිර්මල දෑසක් ඇති ස්ත්‍රී ආත්මයක් විය හැක. ඇය මා උපන් ද හෙලූ කෙඳිරිය මීට මොහොතකට පෙර යලිඳු හෙලුවාය. එය එදාට වඩා අද කෙනෙකුට මිහිරි ගීතයක් විය හැකිය. මට එය මිහිරක් නැත. අමිහිරිත් නැත. මිහිරි බවත් අමිහිරි බවත් අතර වූ තත්වයක් එය උසුලයි....."
+++++
ReplyDelete