Wednesday, July 18, 2018

සංජයි සුප්පයි එක්ක කසුනඹර...




මේ ඉරිදා නම් ගිය ඉරිදා වාගේ වෙන්නේ නැති බව සහතිකයි. ගිය ඉරිදා හැන්දෑව ගෙවුනේ යටාලතිස්ස සෑ රදුන්ට නුදුරුව කහ පාට මලින් බරවුනු ඇහැල ගස් පෙලක් යට කෙරුනු සාහිත්‍ය කයියක් එක්ක. ඒ කසුන් හේමන්තගේ අලුත් කවි පොත “කසුනඹර” දොරට වැඩුනු මොහොත. මේ ලියමන ලියන්න හිතුනෙ එදා සුප්පා සහ සංජා දක්වපු අදහස් කිහිපයක් හිත පහුරු ගාන මොහොතක. සුප්පා කිව්වේ මේ දිනවල සිරසෙ යන "ඒක දිග කතාවක්"  ටෙලිනාට්‍යයේ තරුණ අධ්‍යක්ෂ තුමා, සුපුන් රත්නායක. සංජා නොහොත් සංජක ප්‍රසාද් දොලේවත්ත ඔහු ඉරිදා apple පුවත්පතේ ප්‍රධාන කතෘ. සුප්පගෙ කතාවෙදි බර කරලා කියවුනු දෙයක් උනේ smart devices යුගයක ඉන්න ලාංකිකයන්ගේ ඌන smart thinking එක. සංජාගේ අදහස් මූලිකවම ගොනු උනේ තාක්ෂණය අතිශය දියුණුවට පත්වන කාලයක අපෙන් ගිලිහී යන මානුෂික සම්බන්ධතාවන් ගැන.

සුප්පා බොහොම ධනාත්මකව සන්තෝසෙන්  කිව්ව උදහරණ දෙකක් සංජගෙ අසන්තෝසයත් එක්ක ගැටෙනවා වගේ කියලා නිකමට හිතුණා. එහිදී සුප්පා කිව්වේ  නව නිර්මාණ වැඩමුලුවකට ගිය අවස්තාවක ඉතා කුඩා වයස් වල සිටි අපේ පාසල් දරුවන් දෙදෙනකු අතින් වුනු නිර්මාණ දෙකක් ගැන. ඉන් එකක් වුනේ ආබාධිතයන් සඳහා නිමවුනු වැඩිදියුණු කල කිහිලි කරුවක් ගැන. එමගින් වෙන කෙනෙක්ගේ සහයක් නැතුව එම පුද්ගලයාට ඉඳගන්න හිටගන්න අවස්තාවල තම කිහිලි කරුව හසුරුවාගන්න හැකි වෙනවා. අනික් නිර්මාණය උනේ ස්විචයක් මගින් එලියට ඇතුලට එහා මෙහා කරන්න පුලුවන් රෙදි වැලක්. මේ දෙකම සුප්පා කියපු smart thinking වල ප්‍රතිපල. නමුත් මේ දෙකම සංජාගේ දුකට හේතුවෙන මානුෂික ගනුදෙනුවල අඩුවීම ඇති කරවන සොයාගැනීම් වගේ එක අතකට. මොකද මේ නිපදවීම් වලින් අපිට තවදුරටත් අපේ වටේ ඉන්න මිනිස්සු ගැන සොයාබලා මානුෂිකවීමේ ඉඩහසර නැති කරනවා. රෙද්දක් ගන්නවත් එලියට බහින්න බැරි තරම් අපිව කම්මැලි කරවනවා. අපි අපේ ලෝකවල තව තවත් හිරකරවනවා. සංජා බලාපොරොත්තුවෙන human interaction  සුප්පාගේ smart thinking වලින් මිලින කරවනවා . නමුත් සුප්පා smart thinking කියලා අදහස් කලේ එක එක gadgets හදන එක විතරක් නෙවී. මම මේක එතනට සීමා කලේ වෙන දෙයක් මතුකරන්න.

මට හිතෙන්නේ අපේ ශිෂ්ටාචාරය පුරාවටම අපි කරන සොයා ගැනීම් සහ නිපදවීම් වලින් අපේ කාර්‍යයන් ලේසි පහසු කරනවා, ඉක්මන් කරනවා වගේම මිනිස්සු විදිහට ඒ ඒ කාලයන්හී තිබ්බ අපේ සාමූහිකත්වයන් අඩු කරනවා. ඉස්සර මුලු ගමේම  මිනිස්සු එක්කහු වෙලා එකිනෙකාගෙ කුඹුරු කෙරුවවාට උදව් කරගත් ප්‍රමාණය ට්‍රැක්ටර් ආදී යන්ත්‍ර හොයාගැනීමත් එක්ක අඩු වෙලා යනවා.ඊට බොහෝ කලියෙන් දඩයම් යුගේ ඉඳන් කෘෂි යුගයට ගමන් කිරීමේදීත් ඒක එහෙමයි. සකර්බර්ග් facebook එලිදක්වද්දි භෞතිකව දුරස්ව ලෝකය වටේම ඉන්න අපේ හිතවතුන් අපිට අතිශය කිට්ටු කරගන්න හැකි වීම අපිව පිස්සු වට්ටපු ප්‍රවෘතියක්  වුනා. නමුත් සංජා කියන විදිහටම මේ වෙද්දි අපිට අපේ ලඟම ඉන්න මිනිස්සු ටික මේ අන්තර්ජංජාලය නිසා දුරස් කරගන්න වෙලා. කොටින්ම අපේ අසල්වැසියා පවා අපිට හමුවෙන්නෙ messenger එකෙන්. අපි හිනා වෙන්නෙ තරහ වෙන්නෙ emojis වලින්. ඒ තරමට අපි අපේ කාමර වලට කොටුවෙලා. බඩුවක් ගන්නත් දැන් දැන් කඩේට යන්න ඕනි නෑ online ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්. ඉතින් ඒ අස්සෙ රෙදි වැලත් switch එකෙන් පාලනය වුනොත් අපිට අපේ ගෙදර මිනිස්සුවත් මුන නොගැහෙන්න පුලුවන්. මේක තමයි අපි සංස්කෘතික වෙන්න ගත් දවසේ ඉඳන් අපේ පරිණාමය. ඒ සංස්කෘතික පරිණාමයේ වැදගත්ම දේ තමයි miss වීම. ඒ කියන්නේ අපි ශිෂ්ටාචාරය පුරාම ඉන්නේ යමක් අහිමි කරගනිමින්. හැබැයි ඒ වගේම තවත් දෙයක් හිමිකරගනිමින්.

මිනිස් ශිෂ්ටාචාරය පුරාම අපි බොහෝ දෑ අලුතෙන් නිපදවලා ඒවා වලින් අපේ ජීවිතය පුරවගන්න හදනකොට, ඒවට ඉඩ හදල දෙන්න අපි සතුව ඒ වෙද්දි තිබූ දේවල් අපිටත් හොරෙන් අයින් වෙනවා. ( හරියට යන්ත්‍ර සූත්‍ර වල දියුණුවත එක්ක අපේ ඇඟ වෙහෙසවීම හොර වෙද්දි අපේ ශරීර සෞඛ්‍යය අපිට අහිමි උනා වගේ. ඉතින් අපි යනවා සල්ලි දීලා මහන්සි වෙන්න gym එකට). ටික කාලයක් යද්දි අපිට දැනෙන්න ගන්නවා අපිට යමක් miss වෙලා කියලා. ඉතින් නිරන්තරයෙන්ම අපි ඉන්නේ ඒ අහිමිවීම් ගැන සන්තාපයෙන්, එහෙමත් නැත්නම් ඒ ගැන පැමිණිලි කරමින්. එක අතකින් යම් අඬවැඩියාවක. අපේ සංජාත් කලේ ඒ වගේ අඬවැඩියාවක්. ඔහු මේ ගැන "මතක පදවලට" ඇවිල්ලත්  කිව්වා මට මතක විදිහට. ඒ අඬවැඩියාවෙ තැවරිලා තිබුනෙ විද්‍යුත් චුම්බක තරංග අතරෙ වියැකිලා යන අපේ මානුෂවාදී සම්බන්දයන් ගැන.

මං හිතන්නෙ ඒ අඬවැඩියාව හරි වැදගත්. ඒ පැමිණිල්ල තමයි අපිව මේ වේගවත් රැලි අතර නිරුවත්ව ගසාගෙන යාම වලක්වන්නෙ. අපි ඉන්නෙ අහිමිවීමක් තුල බව අපිට නොවැටහුනොත් අපිට නවතින්න වෙන්නෙ මහ ව්‍යසනයක් අභිමුව, අමු හෙලුවෙන්. ඒ වගේම ඒ පැමිණිල්ල  තමයි සෞන්දර්යාත්මක නිමැවුම් ලෙස අපේ ඉදිරියට එන්නේ. ඒ පැමිණිලි හෙවත් අඬවැඩියාවන් අපිට බල කරනවා මේ සැඩ පහරවල් වල ඔහේ ගසාගෙන නොයා කවියෙන්, කතාවෙන් , චිත්‍රයෙන් ඒ දුක, අසරණකම, ලොවට කියන්න කියලා. ඒ අතරම ඒ අඬවැඩියාවන් අපිට බල කරනවා ආගම් තුලින් ඊට විසඳුමක් හොයන්න  කියලා. නූතන මෙවලම් සහ සන්නාමයන් සමග අපේම ලෝකවල හිරවෙලා ලොවෙත් නැති වින්දනයක ඉන්න අතරෙ ඉඩ ලැබුනු වෙලාවට පන්සල් පල්ලි අස්සෙ, ඇස් චූටි කරන් අමාරුවෙන් කියවන බණ පොත් අස්සෙ අපි හොයන්නෙ ඒ අහිමි උනු දේ.

නූතනවාදී ප්‍රවනතාවන් එක්ක ප්‍රගාමීව ඉදිරියට යන ගමන් සිදුවන අපේ අහිමිවීම් එක්ක සිදුවන පොර බැදීම් තමයි ආගම, දේශපාලනය, කලාව, වෙලඳපොල හෝ යුද්ධ ලෙස අප වටා ගොනු වෙන්නෙ. ඒක ලොකු මිශ්‍රණයක්.ඒ මිශ්‍රණයේ ස්වභාවය නිවැරදිව දැකලා තේරුමක් ඇතිව ජබු ගහන එක තමයි මට හිතෙන විදිහට සම්මා දිට්ඨිය කිව්වෙ.

ඉතින් සුප්පා අපිට දේවල් හිමි කර දෙද්දි සංජා ඒ හිමිවීම් අස්සෙ වෙන අහිමි වීම් අපිට මතක් කරදුන් අපූරු කයිය ගිය ඉරිදා නිමාවුනේ යටාල සෑයෙ යෝධ හෙවනැල්ලෙන් පන්සල් භූමිය වැහිල යද්දි. තිස්ස වැව පිස ආපු සීත සුලඟ අපිට තව තවත් කයිය ගහපල්ලා කියලා රහසින් කෙඳිරුවා.ඉතින් ඒ තිස්ස සුලඟෙ රහස පිලි අරගෙන ඔරලෝසුවත් එක්ක හිතෙන් මහ යුද්ධයක පැටලුනු  ගිය ඉරිදා කියන්නේ පට්ට දවසක්. හිතෙන් ඈත් වෙලා යන අය අතින් අල්ලලා නවත්තන්න බෑ කියලයි සංජා කිව්වෙ. ඉතින් සොයුරනි අතින් අල්ලා නවත්තන්නට දෙයක් නැත. උඹලා අපේ හිතට නොගැලවෙන කොක්කක් ගසා හමාරය. ජයවේවා...!!