සහෝදරයා යනු වත්මන් ටෙලි නාට්‍ය අවකාශයේ වේගයෙන්ම තරුණ පරපුරෙහි හදවත් ආකර්ෂණය කරගනිමින් ඇති නිර්මාණයක් බවට විවාදයක් නැත. නමුත් මේ තරුණ පරපුර යනු දේශපාලන සවිඥානිකත්වයෙන් ඉතා වේගයෙන් ඉවත්වේගෙන යන හෝ මේ වන විටත් ඉවත්ව ගොස් ඇති පිරිසක් බව ඒ පරපුරේම එකෙකු ලස මම ඉතා හොඳින් දනිමි. අපගේ පරම්පරාවත් ඊට පසු පරම්පරාවනුත් යනු දේශපාලනය වනාහී අපට අයිති රාජකාරියක් නොවන බවටත් එය ඔක්කාරය දනවන විෂයක් ලෙසත් අදහන්නන් බහුතරයකගේ අවකාශයකි. ඒ නිසාම මේ අවකාෂය පිරී ඇත්තේ වාක්‍ය දෙක තුනක් ලෙස ලියවුනු මඩ ,අවලාද සහ අපහාස පුරවාගත් ෆොටෝ කෑලිත්, ලඳ බොලඳ,සිල්ලර, ජාතිවාදී, ආගම්වාදී අදහසුත් හිතුමතේ share කරමින් ආතල් එකක් ගන්නා තරුණ පරම්පරාවකින් මිස වෙන කවුරුන්ගෙන්ද?.................නයියා මහා දේශපාලන දැනුම ඇත්තෙක් නොවේ. නමුත් හැකි තරම් එහි ගැඹුරට යමින් ඒ පිලිබඳ නිසි හැදෑරීමක් කිරීමට උත්සහ ගන්නෙක්මි මම. සහෝදරයා තුලින් අපටත් හොරා අප කන් කුහර තුලින් ඇතුලට වත්කරන්නාවූ අපේ ප්‍රශ්නකාරී දේශපාලන ඉතිහාසයන් පිලිබඳ හෝඩුවාවන් හා තීව්‍රකාරී ප්‍රකාශ ෆොටෝකෑලි ලෙස පමණක් සංසරනය නොවී දැනුම වඩවනා දේශපාලන කියවීමක් දක්වා වර්ධනය කල යුතු බව මම උදක්ම විශ්වාස කරමි. ඒ වෙනුවෙන් කෙරෙන පළමු උත්සහයයි මේ. මෙහි සදොස් තැන් වෙතොත් ඒවා නිවැරදි කරන මෙන් දැනුමැති සියලුදෙනාගෙන් ඉල්ලා සිටින අතර, දේශපාලන දැනුම ලබාගැනීම නම් කර්තව්‍යයෙන් වේගයෙන් ඈත් වෙනවා වෙනුවට එය තුල සැරිසරන්නට මගේ පරම්පරාවට ආරාධනා කරමි. අප වෙනුවෙන් දැනුම සපයන්නට අපගේ වැඩිහිටි දැනමුත්තන් මීට වඩා වැඩි කාර්යභාරයක් blog අවකාශය තුල එලඹෙන නව වසරේදී කරනු ඇතැයි විශ්වාස කරමි.
*******************************
1924 බිහිවූ යාපනය ශිෂ්‍ය කොංග්‍රසය හැන්ඩි පෙරින්පනායගම්ගේ අපූරු නිර්මාණයක් විය. ගුරුවරයෙකු, විදුහල්පතිවරයෙකු ලෙස සේවය කල ඔහු පසුව අධ්‍යාපනඥයෙකුද විය. ළමුන්ට තම ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටි ඔහු සියලු
මනුෂ්ය වර්ගයාගේ අභිමතාර්ථය හා සමානාත්මතාවය කෙරෙහි
නිරන්තරයෙන් හා ස්ථිරසාරව විශ්වාස
කළ අතර එබැවින් ඕනෑම
ආකාරයක සමාජ බහිෂ්කරණයක් ප්රතික්ෂේප කලේය. මහත්මා ගන්න්ධිගේ චින්තනයෙන් පෝෂණය වූ ඔහු, එක්සත් සහ ස්වාධීන ලංකාවක් වෙනුවෙන් වූ තම මතය වෙනුවෙන් සැමදා පෙනී සිටියේය. ඒ ඔස්සේ යමින් , ජාති බැම්මෙන් සහ කුල බැම්මෙන් නිදහස්වූ දේශපාලනයක ධෛර්යය හා පරිකල්පනය, නිදහස් රටක් වෙනුවෙන් වූ සංකල්පය සඳහා අවශ්‍ය බවත් අපි ඒ වෙනුවෙන් මිස ඊට අඩු යමක් උදෙසා සටන් නොකළ යුතු බවත් එයින් මිස මෙරට ආරක්ෂා කළ හැකි වෙනත් ක්‍රමයක් නොමැති බවත් ඔහු ප්‍රකාෂ කළේය.
"මාතෘභූමියට සේවය කිරීමට ඇති අවංක අභිලාෂයක් තුළින් මෙම ප්රශංසනීය අරමුණු ඉටු කර
ගත හැකිය. එබැවින් ජාතික සමගිය, සමාජ
සාධාරණත්වය මත වැඩි අවධානයක් යොමු විය යුතුය".
මේ යුගයේ බිහිවූ දේශපාලන සංවිධාන අතරින් ඉතාමත් දියුණු දේශපාලන දැක්මක් තිබූ සංවිධානය, යාපනය ශිෂ්‍ය කොංග්‍රසයයි. එය කුල භේදයට එරෙහිව ක්‍රියාකාරී ලෙස සටන් කළ සංවිධානයක් විය. එය වාර්ගික එකමුතු බව සහ ආගමික එකමුතු බව වෙනුවෙන් පෙනී සිටියේය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලාංකික ජාතිකත්වයක් වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාරයක් වූ එහි වැඩි පිරිසක් සමන්විත වූයේ ගුරුවරුන්ගෙනි.සාම්ප්‍රදායික දෙමළ නායකයන් වාර්ගික නියෝජනයක් වෙනුවෙන් පෙනී සිටින විට යාපනය ශිෂ්‍ය සංගමය වාර්ගික නියෝජනයට තරයේ විරුද්ධවිය. එය වාර්ගික සමගියක් වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාරයක් විය. දෙමළ ලමුන් සිංහල භාෂාවත් , සිංහල ළමුන් දෙමළ භාෂාවත් ඉගෙනගතයුතු බව කියා සිටීමෙන් නොනැවතී සිංහල භාෂාව ඉගෙනගැනීමට යාපනයේ දෙමළ ළමුන් උනන්දු කරවීය. පැවති සෑම සම්මේලනයකටම දකුණේ සිංහල නායකයන් කිහිපදෙනෙකු හෝ සහභාගී කරවාගත්තේය.
කෙටි කාලයක් ගතවෙද්දී බොහෝ සිංහල හා මුස්ලිම් වියතුන් තම සංවිධානයට හවුල් කරගනිමින් පුළුල් වූ ශිෂ්‍ය කොංග්‍රසය, යාපනය තරුණ කොංග්‍රසය බවට පත්විය. එහි පළමු සම්මේලනයේ සභාපතීත්වය පවරන ලද්දේ පී.ද.ඇස්. කුලරත්නට ය. ඔවුන්, ප්‍රමුඛ ඉන්දීය නායකයන් ගණනාවක් යාපනේට ගෙන්වාගැනීමට සමත්විය. මහත්මා ගාන්ධි 1927දී ලංකාවේ චාරිකාවකට පැමිණීම එහි සුවිශේෂිතම අවථාවක් විය. 1928දී පැවති වාර්ෂික සමුලුවේදී ගන්නා ලද වැධගත් තීන්දුවක් වූයේ මව් සංගමයට සමාන ශාඛා කොළඹ, ගාල්ල හා නුවර ස්ථාපිත කිරීම හරහා සමස්ථ-ලංකා තරුණ කොංග්‍රසයක් බිහි කිරීමයි.
ඩොනමෝර් කොමිෂන් වාර්තාව ප්‍රකාශයට පත්වීමෙන් පසු පැවති සැසිවාරයේදී , කොමිෂන් සභාව ඉදිරියට දේශමාමකයන් ලෙස ඉදිරිපත්වූ නියෝජිතයන් සියලු දෙනා දැඩි දෝෂදර්ශනයකට ලක් කිරීමට යාපනය තරුණ සංගමය ක්‍රියා කරන ලදී. කොමිසම ඉදිරියට ගිය සියලු ප්‍රසිද්ධ පුද්ගලයන් ජාති, ආගම්, කුල ලෙස බෙදුනු නියෝජනයක් වෙනුවෙන් පෙනී සිට ඇති බවත් තමන්ගේ ආගම, කුලය වෙනුවෙන් පමණක් පෙනී සිටින මෙවැනි ආත්මාර්ථකාමීන් ගෙන එන වාර්ගික නියෝජනය පිළිගැනීමට ලක් නොකළ යුතු නපුරක් ලෙසත් හැඳින්වීය.
ශ්‍රීමතී කමලාදේවි චට්ටෝපාධ්‍යය ද සහභාගීවූ පස්වෙනි සැසිවාරය ඉතා උත්කර්ෂවත් හා විශාල මහජන සහභාගීතවයක් ඇතිව පවත්වන ලද එකක් වූ අතර ඩොනමෝර් යෝජනා ස්ව-රාජ්‍ය තත්වයක් ලබා නොදෙන හෙයින් ඒ සඳහා පැවැත්වෙන මැතිවරණය වර්ජනය කළයුතු බවටවූ යෝජනාවක් එහිදී ඒකමතිකව සම්මත විය. පැමිණ විශාල පිරිසකගේ උද්යෝගය මත එම කරුණ යාපනය පුරා දැඩි ඝෝෂාකාරී උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය කරන ලදී.එහි උණුසුම නාමයෝජනා භාරදීමට සිටි අපේක්ෂකයන්ටද බලපෑ අතර යාපනය, කයිට්ස්, කන්කසන්තුර හ පොයින්ට්පේදුරු යන ආසන හතරකට කිසිවෙකුත් නාමයෝජනා භාරනොදෙන ලදී. යාපනය තරුණ සංගමය මැතිවරණ වර්ජනය සඳහා දකුණෙන්ද සහාය ලබාගැනීමට අපේක්ෂා කළත් ඒ සඳහා විදිමත් වැඩපිළිවෙලක් ඔවුන්ට තිබුණේ නැත. උතුරේ ආසන හතරකට කිසිවෙකුත් තරඟ නොකිරීම ඔවුන් ලද ජයග්‍රහණයක් වුවද මතිවරණයෙන් පසුව එය යාපනය අර්ධද්වීපයට පමණක් සීමාවූ දෙයක් බව යාපනය ජනයාට පෙනීගිය නිසා එය ආස්වාදයක් වෙනුවට එම ජනයා තුල ජනිත කලේ කලකිරීමක් හා අතෘප්තියකි. සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක වූ පළමු මැතිවරණය වූ එහිදී අන් සියලු ප්‍රදේශ වලින් මන්ත්‍රීවරු තේරී පත්වී තම ප්‍රදේශ වලින් පමණක් එසේ නොවූ විට ඒ අවස්ථාව තමන්ට අහිමි කළේ යාපනය තරුණ සංගමය බවට මතයක් ජනතාව අතර ගොඩනැගුණි.
තරුණ කොංග්‍රසයේ නායකයින්ගෙන් පළිගැනීමට කුලවාදී බලවේග සමග සාම්ප්‍රදායික දෙමළ දේශපාලන්ඥයන්ද , එම ව්‍යාකුල අවස්ථාව ප්‍රයෝජනයට ගත්හ. ඒනිසා ඇතිවූ ගැටුම් වල ප්‍රත්පලයවූයේ තරුන සංගමයට තිබූ පිළිගැනීම මුලුමනින්ම අවසන් වන තත්වයක් ඇතිවීමය.
තරුණ කොංග්‍රසය අතිධාවනකාරී නොවී ඊට සමාන ශක්තිමත් ව්‍යාපාරයක් දකුණේ ද ඇතිකරගන්නා තෙක් ඉවසීමෙන් ක්‍රියාකරන ලද්දේනම් එය ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට විශාල බලපෑමක් ධනාත්මක ලෙස කරනට ඉඩ තිබුණි. එම ව්‍යාපරය බිඳවැටීමෙන් පසු එම ව්‍යාපාරයේ චින්තනයට සමාන හෝ එය ඉක්මවා ගිය දේශපාලන චින්තනයක් ඉන්පසු බිහිවූ කිසිඳු ව්යාපාරයකින් බිහිවූයේ නැත.
Sources;
දෙමළ අභියෝගය - වික්ටර් අයිවන් , 1st edition
http://www.sundaytimes.lk/120603/News/nws_50.html
http://www.ft.lk/ft-lite/handy-perinbanayagam-a-memorial-volume/6-75989
No comments:
Post a Comment