Saturday, January 28, 2017

ඇයි අනේ සෝමා පැන්නේ ?






කඩු සහ හෙල්ල අතින් ගත් අසරුවන් කිහිප දෙනෙක් අශ්ව කරත්තයක් පසු පස හඹා යයි.අශ්ව කරත්තයේ බියෙන් තැතිගෙන දෙනෙත් දල්වා බලාසිටින කාන්තාවන් දෙදෙනාට මැදිවූ කුඩා දරුවෙකි.තමන් පසු පස එලවා එන අසරුවන්ට පහරදීමට මාන බලමින් ගැල අද්දර උක්කුටියෙන් සිටින්නේ බියෙන් තැතිගත් වළගම්බා රජතුමාය.සතුරු අසරුවන් සමූහය තමන්ට ලන් වෙද්දී සලිත වන හෙතෙම ඉක්මනින් රථය පදවන ලෙස තම සේවකයාට නියෝග කරයි.නමුත් ගැල බර වැඩි හෙයින් තවත් වේගයෙන් යා නොහැකි බව සේවකයා පවසයි.ගැලෙහි උන් එක් කතක් වූ සෝමා දේවිය තම තුරුලේවූ පොඩි එකා අනෙක් බිසවට බාරදෙමින් මෙසේ පවසයි."රජතුමණි, මේ රටත් උතුම් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂාවීමට නම් ඔබ තුමාගේ දිවි රැක ගතයුතුය".මෙසේ කියා ඇය ධාවනයවන කරත්තයෙන් බිමට පනී.රජතුමා සෝමාආආ......කියා කෑගසයි.

"ඇයි අනේ එයා පැන්නේ...." ඒ මගෙන් පිටුපස අසුනක ඉදගෙන සිටි තරුණියක් තම පෙම්වතාගෙන් ඇසූ ප්‍රශ්නයයි.

"ඇයි අනේ සෝමා දේවි පැන්නේ?" ඒ ගමන ප්‍රශ්නය නයි හාමිනේගෙන්ය.එකම ප්‍රශ්නය කෙල්ලන් අතර බෝවී යන්නා සේය.සමකාලීනයන්ට සම අදහස් පහල වන බව ඉස්සර අපේ ගණිත ගුරුතුමා පවසා තිබේ.ඉතින් එක චිත්‍රපට ශාලාවක් තුල එකම ප්‍රශ්නය කිහිප දෙනෙක්ට මතුවීම පුදුම විය යුතු නැත.අපි සිටියේ ආලෝකෝ උදපාදි නරඹමින්ය.
"ඒකවත් තේරෙන්නේ නැද්ද මැට්ටෝ" නයියා හාමිනේගෙන් ඇසුවේ ටිකක් මල පැනලාය.
ඉතිහාස කථාවට අනුව සෝමාදේවිය තම දිවි දෙවෙනි කොට ගැලෙන් පනිනුයේ රජතුමාගේ දිවි ගලවා ගැනීම අරමුණු කරගෙනය.ගැල මත පැටවුනු අධික බර නිසා තම ගමන් වේගය බාල වන බව වටහාගත් ඇය තම ආදරයේ නාමයෙන් ඔහුවෙනුවෙන් දිවි දීමට අදිටන් කරගත්තාය.ඉතින් ඒ උතුම් කාන්තාව කල ශ්‍රේෂ්ඨ පරිත්‍යාගය ගැන අපේ ගෑනුන්ට තේරුම් නොයන හැටි.......නමුත් ඇයගේ දිවි දීම චිත්‍රපටය තුල සංවේදී සිද්ධියක් වුනේ නැති බව ටික වේලාවක් යද්දී නයියාටද වැටහෙන්නට විය.ඇත්තටම සෝමා දේවියගේ කතාව දන්න එකෙකුට මිස චිත්‍රපටය තුල ඇය ගැලෙන් පනිනුයේ කුමක් සදහාදැයි එක්වර වටහාගන්නට නොහැකි බව තවදුරටත් සිහිපත්කිරීමේදී පෙනී යන්නේය.

මෙවැනි සංවේදී ස්ථාන ඉතා දුර්වල ලෙස මගහැර යාම වර්තමාන සිංහල සිනමාවේ ප්‍රධානතම අඩුපාඩුවකි.පසුගිය ලිපියකදී කීවාක් මෙන් සිංහල සිනමාවේ අංශභාගය වන්නේ නිසි පරිදි කතාවක් කියා ගැනීමට ඇති දුර්වලතාවයයි.ආලෝකෝ උදපාදි තුල අපිට ඒ අංශභාග තත්වය මුන නොගැසේ.සමහරවිට එසේ වන්නේ අපි කුඩාකල සිටම කථාව දන්නා නිසා විය හැක.ඒ නිසා කතාවේ වුනේ කුමක්දැයි කියා නොතේරීයාමක් වන්නේ නැත.නමුත් චිත්‍රපටයේ තිර පිටපත නම් ඉතා ඕලාරික හා පතෝල පන්නයේ එකක් වූ බව කිය යුතුමය.ඉහත සෝමා දේවියගේ සිද්ධිය  වැනි, සංවේදීව නිරූපනය කරන්නට තිබූ අවස්ථා ගනනාවක් තිරපිටපත මත නිකන්ම නිකන් ලියා දමා ඇත.

ඔය කරත්තෙන් පනින සිද්ධිය බොලිවුඩ් චිත්‍රපටයක් තිබ්බා නම් එය ඇඩෙන සීන් එකක් වෙනවා නොඅනුමානය.එසේ නම් කරත්තය තුල වූවන්ගේ බයෙන් ත්‍රස්තවූ මුහුණු , පොඩි එකාගේ හැඩීම්, ඇග ලොමු දැහැ ගැන්වෙමින් කරත්තයට ලන් වන අසරුවන් නිසා දැනෙන මරණ බය චිත්‍රපටය නරඹන අපටද දැනෙනු ඇත.අවසානයේ සෝමා කරත්තයෙන් පනිනු ඇත්තේ ඇගේ ආදරය නිසා කරනා ජීවිත පූජාවෙන් අප සැම සලිත කරමින්ය.එය දකින අපේ ගැහැණු ලොවෙත් අඩති, පිරිමි "අන්න යකෝ නියම ගෑනු"යි කියා සිතයි.සෝමා සතුරන්ට ගොදුරු වීමත් ඒ දකින රජුගේ හැගීම් පුපුරා යන මුහුනත් තත්පර කිහිපයක් තිරයේ රැදෙනු ඇත.ඒ දෙස බලා සිටින අපේ ලෝකය මොහොතකට නතර වනු ඇත......නමුත් ආලෝකෝහි එය වුනේ නැති.සෝමා පැන්නාය.අපි ඔහේ බලා සිටියෙමු.ප්‍රේක්ෂක සිත් සතන් සංවේදී කල හැකි ස්ථාන මෙලෙස දඩස් ගා පෙන්නා ඉවර කිරීම මෙරට සිනමාවේ හැමදාම දකින අත්වැරැද්දකි.හින්දි සහ දමිල චිත්‍රපට සමග දවස ගෙවන ප්‍රේක්ෂක ගොන්නක් සිටින අප වැනි රටක ජනප්‍රිය ධාරාවේ සිනමා කෘතීන් තුල මෙවැනි හදිසි ඉවරකිරීම් ලොවෙත් fail වන්නේය.සංවේදී සිද්ධි මීට වඩා ඉලාස්ටික් විය යුතුය.හදවත කම්පා කල යුතුය.

ප්‍රේක්ෂක සිත් සංවේදී කරමින් ඔවුන් ඇද බැද තබා ගත හැකි , ඔවුන්ව චිත්‍රපටය තුල ජීවත් කරවිය හැකි අවස්ථා ගනනාවක් තිරපිටපත තුලින් මග හැර තිබීම ඉතා කණගාටුදායක තත්වයකි.බැමිණිතියා සාය යනු මහාවන්ශය තුල අපිට හමුවන දරුණුතම සාගත වකවානුව විය යුතුය.තිය බමුණාගේ තම බැමිණියගේ උපදෙස් මත සියලු වැව් අමුණු , ගොවි බිම් විනාශ කිරීමෙන් අනතුරුව උද්ගතවන අහාර හිගයත් සමගම බද්ධ වන දැඩි  නියගයක් හේතුකොටගෙන මුලු ජන සමාජයම අන්ත අසරණ බාවයට ලක්වන්නාවූ එසමය අපේ ඇස් ඉදිරියේ මවන්නට චිත්‍රපටය කිසි ලෙසකින්වත් සමත් නොවේ.කුසට අහරක් උගුර තෙමා ගන්නට වතුර පොදක් නොමැති ජනයාගේ වේදනාව, එවැනි දරුණු සමයක සුවාසු දහසක් ධර්මස්කන්ධය මුඛ පරම්පරාගත ගෙනයන්නට වෙහෙස දරනා හිමි වරුන්ගේ කටුක ජීවිතය,වැසි පොදක පහස නොලැබූ භූමියක ඇති මරණීය මුස්පේන්තුකම චිත්‍රපටකරුවාට මගහැරී ගොස් තිබුණි.

ඒ නියං සමයේ වේදනාව දැනවීම්ට තිරපිටපතේ යොදා ගෙන තිබුනේ දෙබස් කිහිපයක් පමනි.මිනිසුන්ට කන්න නෑ නේද? කියා හමුදුරුවන්ලාත් මිනිස්සුත් කතා කරන අවස්තා කිහිපයක් හැරුණු කොට දෘශ්‍යමය වශයෙන් නියං සමයේ වේදනාව , අපහසුව අපේ ගතට සිතට දැනවීමක් නොවුනේමය.නමුත් චිත්‍රපටයේ අවසන් මිනිත්තු දහයේදී පමන ඒ නියගයේ වේදනාවෙන් අපේ මුලු ආත්මයම පසාරු කර යන දර්ශනයක් දිගහැරුනි.වැසි දියක පහස සොයමින්ම දිරාපත්ව ගිය ගස් වලින් බිමට පතිතවූ කොල නිසා මුලු පොලවම වැසිලාය.ඒ කොල ගොඩ මත අපහසුවෙන් හුස්ම ගනිමින් බිම වැතිරගත් හාමුදුරුවන් දෙනමකි.ඔවුන්ගේ සිවුරු හා මුහුණුද දිරාපත් කොල මෙන්ම දුර්වර්න වෙලාය, දිරා කෙඩෑරිව ගිය අතු සිහින් සුලගටත් සෙලවෙන්නාක් මෙන් ඔවුන්ගේ සිරුරුද දුර්වලවී ගැහෙමින් පවතී, තොල් පුපුරා ගොසින්ය.මහලු හිමිනම තම පුපුරා ගිය දෙතොලින් මොනාදෝ මුමුනයි.තරුන භික්ෂුව මහත් ආයසයෙන් ඒ දෙතොලට කන ලං කර තම වැඩිහිටි භික්ෂුව කියන දෑ අසාගන්නට වෑයක් කරයි.සමහරවිට තම මරණ මංචකයේ පවා ඔවුන් උත්සහා ගන්නේ  තම දෙඋර මතට ගත් වගකීම එනම් බුද්ධ භාශිතය රැක ගැනීමේ කර්තව්‍ය ඉටු කිරීමට විය හැක.වැලමිටෙන් වාරුගත් තරුණ හිමි නම ජවයකින් තොරවූ තම ගැහෙන සිරුර හැකිතාක් නැඹුරුකරමින් වැඩිහිටි හිමියන්ගේ පණිවුඩය අසා ගැන්මට වෑයම් කරන අතරතුර ගිලී ගිය දෑසින් අහස දෙස බලයි.......

මේ දර්ශනය  බැමිණිතියා සායේ වේදනාව අපේ ශරීරය පුරා දැනවිය හැකි එකකි.නමුත් එය ඇත්තේ චිත්‍රපටයේ අවසන් මිනිත්තු කිහිපය තුලය.නමුත් ඒවෙද්දී පෙරහැර ගොහින් අවසානය.මෙවැනි දර්ශනයන් මුලදී යොදා ගත්තේ නම් නියං සමයක වේදනාවත්, එදවස තෙරුන්වහන්සේලාගේ අප්‍රතිහත වීර්යත් මොනවට කියාපාන්නට චිත්‍රපටකරුවාට හැකියාව තිබිනි.එය එසේ කලා නම් තිරපිටපත් රචකයා වරින් වර උත්සහ කල සින්හල ජාතිය හා බුද්ධ ශාසනය උත්කර්ශවත් කිරීමේ බොලද උත්සහය මගහැරී ප්‍රේක්ශකයා තුල හාමුදුරුවන් වහන්සේලා කෙරෙහි සැබෑ ගරුත්වයක් ජනිත කරවන්නට තිබුනි.

මේ ලිපිය ලිව්වේ තිරපිටපත නිසා අලෝකෝ උදපාදී තුල ජනිත කරවූ අඳුර නිමිති කොට ගෙන ඇතිවූ බලාපොරොත්තු කඩවීම නිසාය. හොඳින් තාක්ෂණය භාවිතය, වේශ නිරූපනය හා විශිෂ්ට කැමරාකරණයක ලක්ෂණ චිත්‍රපටය පුරා දකින්නට තිබුණි.නමුත් ඒ සියල්ල පරයා මට නම් දැනුනේ කතාවේ තිබූ දුප්පත්කමයි.අන් සියල්ල මැනවින් එක් තැන් වුවත් හොඳ කතාවක් නැත්නම් චිත්‍රපටයක් අසාර්ථක බව කිය යුතුමය.ලාංකීය සිනමාවේ අංශභාගය වන කතන්දර හරියට ලියාගැනීමේ අවුල තවදුරටත් වෙමින් පවතී.අනික Epic නම් අපිට තව බොහෝ දුරය.පසුගිය වසර 20, 30ක අතීතය හැරී බැලුවොත් චිත්‍රපට ලෝකය සෙලවිය හැකි කතන්දර බොහොමයක් අපිට මේ ලංකා භූමියෙන් සොයාගත හැක.එනිසා වසර 1000ක්, 2000ක් පස්සට ගොහින් බැරිමරගාතේ epics කලයුතු නැත්තේය. 

3 comments:

  1. /////පසුගිය වසර 20, 30ක අතීතය හැරී බැලුවොත් චිත්‍රපට ලෝකය සෙලවිය හැකි කතන්දර බොහොමයක් අපිට මේ ලංකා භූමියෙන් සොයාගත හැක.එනිසා වසර 1000ක්, 2000ක් පස්සට ගොහින් බැරිමරගාතේ epics කලයුතු නැත්තේය. ///////////

    ඇත්ත කතාව......මේ බව වර්තමාන සිනමාකරුවා වටහා ගත යුතුය.

    ReplyDelete
    Replies
    1. මම ඊයෙ දැක්ක විජේවීර සම්බන්ධයෙන් චිත්‍රපටියක් කරන්න යන සීන් එකක්.ඒක හොද ප්‍රවේශයක් වෙයි කියල හිතෙනවා

      Delete
    2. දසුන්...මේ චිත්‍රපටය යම් වෙනසක් ඇති කරයි කියා මට හිතුනා. කමල් අද්දරාරච්චි මේ චරිතයට සාධරනයක් කරයි කියා මම හිතනවා. අනුරුද්ධ ජයසිංහගේ ටෙලිනාට්‍ය හැර, චිත්‍රපට මම නරඹා නැහැ. සිංහල සිනමාව අලුත් දිසාවකට යන බව පේනවා යම් යම් තරුන කොටස්ගේ කැපවීම නිසා. ටෙලිනාට්‍යය තුලත් ඉඳ හිට හෝ හොඳ නිර්මාණ බිහිවෙනවා. උදාහරණ සතුවයි මම එහෙම කියන්නේ. මම විචාරකයෙක් නෙමේ. නමුත් මම හොඳ රසිකයෙක් කියා හිතනවා. අපි බලන් ඉමු සහ මේ දේ පිලිබඳ ලියමු.

      Delete