Monday, January 15, 2018

සහෝදරයා දෙවන පාඩම - නුවරින් එන්න කළින්




සහෝදරයා යනු වත්මන් ටෙලි නාට්‍ය අවකාශයේ වේගයෙන්ම තරුණ පරපුරෙහි හදවත් ආකර්ෂණය කරගනිමින් ඇති නිර්මාණයක් බවට විවාදයක් නැත. නමුත් මේ තරුණ පරපුර යනු දේශපාලන සවිඥානිකත්වයෙන් ඉතා වේගයෙන්  ඉවත්වේගෙන යන හෝ මේ වන විටත් ඉවත්ව ගොස් ඇති පිරිසක් බව ඒ පරපුරේම එකෙකු ලස මම ඉතා හොඳින්  දනිමි. අපගේ පරම්පරාවත් ඊට පසු පරම්පරාවනුත් යනු දේශපාලනය වනාහී අපට අයිති රාජකාරියක් නොවන බවටත් එය ඔක්කාරය දනවන විෂයක් ලෙසත් අදහන්නන් බහුතරයකගේ අවකාශයකි. ඒ නිසාම මේ අවකාෂය පිරී ඇත්තේ වාක්‍ය දෙක තුනක් ලෙස ලියවුනු මඩ ,අවලාද සහ අපහාස පුරවාගත් ෆොටෝ කෑලිත්, ලඳ බොලඳ,සිල්ලර, ජාතිවාදී, ආගම්වාදී  අදහසුත් හිතුමතේ share කරමින් ආතල් එකක් ගන්නා තරුණ පරම්පරාවකින් මිස වෙන කවුරුන්ගෙන්ද?.................නයියා මහා දේශපාලන දැනුම ඇත්තෙක් නොවේ. නමුත් හැකි තරම් එහි ගැඹුරට යමින් ඒ පිලිබඳ නිසි හැදෑරීමක් කිරීමට උත්සහ ගන්නෙක්මි මම. සහෝදරයා තුලින් අපටත් හොරා අප කන් කුහර තුලින් ඇතුලට වත්කරන්නාවූ අපේ ප්‍රශ්නකාරී දේශපාලන ඉතිහාසයන් පිලිබඳ හෝඩුවාවන් හා තීව්‍රකාරී ප්‍රකාශ ෆොටෝකෑලි ලෙස පමණක් සංසරනය නොවී දැනුම වඩවනා දේශපාලන කියවීමක් දක්වා වර්ධනය කල යුතු බව මම උදක්ම විශ්වාස කරමි. ඒ වෙනුවෙන් කෙරෙන දෙවන උත්සහයයි මේ. මෙහි සදොස් තැන් වෙතොත් ඒවා නිවැරදි කරන මෙන් දැනුමැති සියලුදෙනාගෙන් ඉල්ලා සිටිමි



බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමය තුල මෙරට ස්ව්භාෂාවන් යටපත් කර ඉංග්‍රීසි භාෂාවට ප්‍රමුඛත්වයක් ලබාදීම සිදුවිය. රාජ්‍ය ආයතන තුල සෑම කටයුත්තක්ම පාහේ සිදුකෙරුනේ ඉංග්‍රීසි භාෂාවෙනි. පාසල් පද්ධතිය තුල සිංහල සහ දෙමළ භාෂාවෙන් ඉගැන්වීම් සිදු කරනු ලබන පාසල් තිබුණු අතර උසස් යැයි සම්මත පාසල් සෑම එකක් තුලම උගැන්වීම් ක්‍රියාවලිය සිදුවූයේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. ඒ නිසා බොහෝ දුරට රැකියා අවස්ථාවන්හීදී සහ රාජකාරීමය අවස්ථා වලදී , රටේ වැඩි බලය හා වරප්‍රසාද ඉංග්‍රීසි බස දත් අයට බොහෝකොට හිමිවීම ස්වභාෂාවන්ට සීමාවූ ජනයාගේ කනස්සල්ලට හා විරෝධයට හේතුවිය. සර්වජන ඡන්ද බලය ලැබීමත් සමග සාමාන්‍ය ජනතාව කෙරෙහි වැඩි වැඩියෙන් තම අවධානය යොමු කිරීමට දේශපාලකයන්ට සිදුවූ අතර ස්වභාෂාවන්ගෙන් රාජ්‍ය පාලනය කිරීමේ වැධගත්කම දේශපාලකයන් අතර පොදු එකඟත්වයක් ඇතිකල කරුනක් විය.

එම කාලපරිච්ඡේදයේ දිගුවක් ලෙස 1944දී ජේ.ආර්.ජයවර්ධන විසින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වියයුතු බවට යෝජනාවක් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන ලදී. c.w.w..කන්නංගර විසින් කරන ලද සංශෝදනයකට අනුව එය සිංහල හා දෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂා වියයුතු බවට පිළිගනිමින් සම්මත විය. මෙසේ නිදහස ලැබෙන විටත් ඉන්පසු 1954 පමණ දක්වාත් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ පිළිගත් භාෂා ප්‍රතිපත්තිය වූයේ එයයි. කෙසේ වෙතත් 1951 මාදම්පේදී පැවති සිංහල භාෂාප්‍රේමී මහා සභාවක සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කළ යුතු බවට යෝජනාවක් සම්මත වී තිබූ අතර, එය දේශපාලන පක්ෂ වලට එපිටින් විකල්ප අදහසක් ලෙස සංවාදයට ගැනෙමින් පැවතුණි.

1954 සැප්තැම්බර් හීදී ජෝන් කොතලාවල අගමැතිවරයා යාපනයෙහි කළ සංචාරයකදී සිංහල , දෙමළ භාෂා දෙකටම සමතැන ලබාදීම සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කරන බවට කරන ලද ප්‍රකාශයත් සමග සිංහල භාෂා ප්‍රේමීන් පෙරටු කරගත් දකුණේ සිංහලයන් අතර බලවත් විරෝධයක් ජනිත වූ අතර එය දේශපාලන තලය තුලත් සිංහල පමණක් ප්‍රතිපත්තියක් වෙනුවෙන් හඬනගන බලවේගයක් බිහි කිරීමට හේතුවිය.

1955දී කොතලාවල ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද භාෂා ප්‍රතිපත්තියට එදිරිව සිටගත් S.W.R.D.බණ්ඩාරනායක, සිංහල පමණක් වූ ප්‍රතිපත්තියක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය දිශානත කළ අතර ඒ හරහා, වර්ධනය වෙමින් පැවති සිංහල පමණයි දේශපාලන බලවේගයේ සහය තමන් දෙසට හරවා ගැනීමේ අවස්ථාව උදාකර ගත්තේය. 

පවතින තත්වය තමන්ට අවාසිසහගත බව දුටු සර් ජෝන්, සිංහලයන්ගේ කෝපය සමනය කිරීම සඳහා එජාප කැළණි සම්මේලනය පැවැත්වූ අතර , ලංකාවේ රාජ්‍ය භාෂාව විය යුත්තේ සිංහල පමණක් බව මතය තම පක්ෂයේ මතය බවට එහිදී පත් කරගන්නා ලදී. ඒ යෝජනා සම්මුතිය හේතුවෙන් එම පක්ෂයේ සිටි දෙමළ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම ඉන් ඉවත් විය.

සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ පමණක් පරණ භාෂා ප්‍රතිපත්තියේම තවදුරටත් රැඳී සිටියහ.

1956 මැතිවරණ සමය උදාවන විට ප්‍රධාන පක්ෂ දෙකම සිංහල පමණක් වූ ප්‍රත්පත්තියකට එලෙස ගොනු වූ අතර , එනිසා ප්‍රශ්නය වූයේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම නොව ඒ සඳහා විශ්වාස කළ හැක්කේ කවුරුන්ද යන්නයි. බණ්ඩාරනායක, තමන් ජයගතහොත් පැය 24ක් ඇතුලත සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බවට ආකර්ෂණීය මැතිවරණ පොරොන්දුවක් ජනතාව ඉදිරියේ තැබුවේය. එයින් නොනැවතී ඔහු තමන්ගේ ශ්‍රීලනිපය, පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී සමසමාජ පක්ෂය හා w.දහනායකගේ සිංහල භාෂා පෙරමුණ ඇතුළත් වන ලෙස මහජන එක්සත් පෙරමුණ නමින් දේශපාලන පෙරමුණක් ඇති කරගත්තේය. ඒ සමග සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ සමග නිතරඟ ගිවිසුමක්ද ඇති කරගත්තේය. තවද භික්ෂූ සංවිධාන ගණනාවක් එකතු කරගනිමින් එක්සත් භික්ෂූ පෙරමුන සෑදූ අතර එය මහජන එක්සත් පෙරමුන වෙනුවෙන් අතිශය ක්‍රියාකාරී සහයෝගයක් කරා කැඳවන ලදී. ශ්‍රී ලංකා ඉතිහාසයේ බෞද්ධ භික්ෂූන් දේශපාලන තරඟ බිමක් උදෙසා වැඩිම කාර්ය භාරයක් ඉටු කළ අවස්ථාවක් ලෙස එය නම් කළ හැක.

1956 මැතිවරණයෙන් බණ්ඩාරනායකගේ මහජන එක්සත් පෙරමුණ ආසන 51ක් ලබාගන්නා විට එජාපය හිමි කරගත්තේ ආසන 8ක් පමණය. 1952 මැතිවරණයේදී ආසන දෙකකට සීමාවී සිටි චෙල්වනායගම්ගේ ෆෙඩරල් පක්ෂය ආසන 10ක් හිමි කරගැනීමට සමත්විය.

බණ්ඩාරනායක තමන් ජයගතහොත් පැය 24ක් ඇතුලත සිංහල රාජ්‍ය භාෂාව කරන බවට දී පොරොන්දුව වචනාර්තයෙන් ගත් ඔහුගේ සම්භාෂකයන් , එය ඉටු කරන ලෙස ඉල්ලා ඔහුට බල කරන්නට විය. අගමැතිවරයා විසින් ඒ සඳහා දෙමළ නියෝජිතයන් කිසිවෙකුගෙන් තොරවූ අනුකාරක සභාවක් පත් කරනලදී. සිංහල පමණක් කාරක සභාවට දෙමළ නියෝජිතයින් කිසිවෙක් ඇතුලත් නොකළේ දෙමළ ජනතාව සිංහල පමණක් ප්‍රතිපත්තියට විරුද්ධ නිසා බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.....


මතු සම්බන්ධයි.


Sources,
දෙමළ අභියෝගය - වික්ටර් අයිවන්
රට බෙදුණු හැටි සහ යුග පෙරළියක සටහන් - මතුගම සෙනවිරුවන්
ලංකා ඉතිහාසය දෙස මාක්ස්වාදී ඇසකින් - N.ශන්මුගදාසන්

No comments:

Post a Comment