Wednesday, January 31, 2018

සහෝදරයා තුන්වන පාඩම - 57' බණ්ඩා,චෙල්වා ගිවිසුම






සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනුවස් පත් කරනලද අනුකාරක සභාව කෙටි කාලයක් තුල තමන් විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී. එය සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන අතර සුළුතරයේ භාෂා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සකස් කරන ලද පනත් කෙටුම්පතක් විය. මෙම කෙටුම්පතට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ අනුමැතිය ලැබුණද සමහරක් මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල විය. එයට ප්‍රධාන හේතූන් වූයේ දෙමළ සහ ඉංග්‍රීසි  පළාත් පාලන ආයතන තුල භාවිත කිරීමට අවසර දෙන විධිවිධාන එම පනත් කෙටුම්පතේ අන්තර්ගත වීමත් 1960 ජනවාරි පළමුවැනිදා තෙක් රටේ සාමාන්‍ය පරිපාලනයේදී දෙමළ හා ඉංග්‍රීසි භාවිතයට අවසර දීමත්ය. කෙටුම්පතට විරුද්ධවූ භික්ෂූන් වහන්සේලාගේත්, සිංහල භාෂා ප්‍රේමීන්ගේත් මතය වූයේ මැතිවරණයට පෙර ඉදිරිපත් කල සිංහල පමණක් පොරොන්දුව ඉහත කී වගන්තීන් මගින් කිසිසේත් පිළිගත නොහැකි අයුරින් ලිහිල් කර ඇති බවයි.

ලංකා විශ්ව විද්‍යයාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්‍යවරයෙකු වූ F.R.ජයසූරිය එම පනත් කෙටුම්පතට විරෝධය පාමින් පාර්ලිමේන්තු පරිශ්‍රය තුලම මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය. තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේද සහය ඊට හිමිවීමත් සමග අසීරුතත්වයකට පත් අගමැතිවරයා මැදිහත්වී උපවාසය නතරකිරීමට ජයසූරිය එකඟකරවාගත්තේ සුළු ජනවර්ග වලට සහන සලසන සියලුම වගන්ති පනත් කෙටුම් පතින් ඉවත් කරගනිමිනි.

ආණ්ඩු පක්ෂය සම්මත කරගත් අලුත් පනත් කෙටුම්පතට අනුව සිංහල නොදන්නා අයද වැඩ කළ යුතුව තිබුණේ සිංහල භාෂාවෙනි. අති බහුතරයක් දෙමළ ජනයා ජීවත්වූ ප්‍රදේශවල පැවති පළාත් පාලන ආයතනවල අය පවා වැඩ කළයුතුවූයේ සිංහල භාෂාවෙනි. නීතියට අදාළ සියලු කටයුතු ඒ වනවිට කෙරුනේ ඉංග්‍රීසි භාෂාවෙනි. සියලු නීති පොත පතද ඉංග්‍රීසියෙන් පමණක් තිබූ එකල උසාවි කටයුතු සිංහල භාෂාවෙන් කරන්නේ කෙසේදැයි සලකා බැලීමක් සිදුවී නොතිබින.

කෙටුම්පත ජුනි 5 වැනිදා විවාදයට ගැනුනේ පෙඩරල් පක්ෂය උතුරු නැගෙනහිර විවිධ ප්‍රදේශ වලද , ගෝල්ෆේස් පිටියේද පවත්වන ලද පනතට විරෝධය පලකරන සත්‍යග්‍රහ ව්‍යාපාර මැද්දේය. ගෝල්ෆේස් පිටියේ පැවති සත්‍යග්‍රහයට සිංහල භාෂා ප්‍රේමීන්ගෙන් ප්‍රහාරයක් එල්ල වූ අතර රට පුරාද තැනින් තැන සිංහල දෙමළ කෝලහල ඇතිවිය. සිංහල රාජ්‍ය භාෂා පනත ජුනි 15 වෙනිදා සම්මත වූ අතර පක්ෂව ඡන්ද 56ක්ද විරුද්ධව ඡන්ද 29ක්ද ඊට හිමි විය. පෙඩරල් පක්ෂය සමග වමේ පක්ෂ දෙකද පනතට එරෙහිව ඡන්දය භාවිතා කළහ.

පෙඩරල් පක්ෂය 1956 අගෝස්තුවල දී පවත්වන ලද තම පක්ෂ සම්මෙලනයේදී යෝජනා 4ක් සම්මත කරගනිමින්, ආණ්ඩුව 1957 අගෝස්තු 20 වැනිදාට පෙර එම ඉල්ලීම් සම්පූර්ණ කිරීමට ක්‍රියා නොකරන්නේ නම් ඒවා දිනාගැනීම සඳහා අවිහිංසාවාදී සටනක් දියත් කරන බව ප්‍රකාශ කළේය. එම ඉල්ලීම් , භාෂාමය පදනමක් මත දෙමල කතා කරන ප්‍රාන්තයක් හෝ ඊට වැඩි ගණනකින් යුත් පෙඩරල් ක්‍රමයේ ආණ්ඩු ක්‍රමයක්, දෙමළ භාෂාවට සිංහල හා සමාන පිළිගැනීමක්, වතුකරයේ ඉන්දියානු දෙමළ ජනතාවට පුරවැසි අයිතිවාසිකම් ලබාදීම සහ දෙමළ භාෂාව කතා කරන ප්‍රදේශ වල සිංහල ජනපදකරණය නැවැතිය යුතු බවටත් ලෙස සිව් වැදෑරුම් විය.

පෙඩරල් පක්ෂය කල්දී තිබූ කාලවකවානුව ආසන්න වන විට බණ්ඩාරනායක අගමැතිවරයා පෙඩරල් පක්ෂ නායකයන් සමග සකච්ඡා කරන තැනකට ගියේය. පවත්වන ලද සාකච්ඡා වට 3ක අවසන් ප්‍රතිඵලය වශයෙන් 1957 ජූලි 26වන දින නායකයන් දෙදෙනා අතර ගිවිසුමක්( බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම  ) ඇති කරගන්නා ලදී.

ඒ අනුව රාජ්ය භාෂා පනතේ තත්වයන්ට හානි නොවන පරිදි දෙමළ භාෂාව ජාතික භාෂාවක් ලෙස පිළිගැනීමටත් , උතුරු නැගෙනහිර පළාත්වල පාලන කටයුතු දෙමළ භාෂාවෙන් කිරීමට විධිවිධාන සැලස්වීමටත් , එම පළාත් දෙකේ දෙමළ භාෂාවෙන් කතා නොකරන අය සඳහා ඔවුන්ගේ භාෂාවෙන් එම කටයුත් කරගැනීමටත් එකඟතාවක් ඇති කරගන්නා ලදී.ඉන්දියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගේ පුරවැසිබාවය පිළිබඳ ගැටලුව හැකි ඉක්මනින් සලකා බලන පොරොන්දුවක් දුන් අගමැතිවරයා රට සභා ක්‍රමයක් උතුරු නැගෙනහිර සඳහා ඇති කිරීමටත් එහි කාර්යයන් පවත්වා ගැනීමේ නිලධාරීන් පත් කිරීමේ ක්‍රම වේදයක් සකස් කරන බවටද පොරොන්දු විය. ඒ අනුව තම යෝජිත සත්‍යග්‍රහ ව්‍යාපාර අත්හිටුවන බව පෙඩරල් පක්ෂය නිවේදනය කළේය.

නමුත් මෙම එකඟතාවයන් මහජන එක්සත් පෙරමුණේ සිංහල සම්භාෂක කණ්ඩායමේ සතුටට හේතු නොවුනු අතර එක්සත් ජාතික පක්ෂයද, බණ්ඩාරනායක රට දෙමළුන්ට පාවා දීමට යන බවට ජන මතයක් රට පුරා ව්යාප්ත කරන ලදී. එමෙන්ම එම මතය තවදුරටත් තීව්‍ර කිරීම සඳහා කොළඹ සිට නුවරට පාගමනක් සංවිධානය කරන ලදී. ඔවුන් ප්‍රචාරය කලේ පාගමන අවසන ගිවිසුමට එදිරිව දළදා වහන්සේගේත් සියලු දෙවියන්ගේත් ආශිර්වාදය ලබාගෙන රට ආරක්ෂා කරන බවය. ආණ්ඩුව විසින් පාගමන තහනම් කලද එක්සත් ජාතික පක්ෂය එයට හිස නැමුවේ නැත.

ගිවිසුමට විරුද්ධව උණුසුමක් ගොඩ නැගෙමින් තිබෙන අවස්තාවේ , පෙඩරල් පක්ෂය සිංහල ශ්‍රී අකුර සහිතව උතුරට යවන ලද බස් රතවල තාර ගාන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළහ. මෙය පැවති කලබලකාරී තත්වය තවදුරටත් වැඩි  කරන්නක් වූ අතර , ඒ සමග දකුණේ තිබූ දෙමළ නාම පුවරුවල තාර ගෑමේ ක්‍රියාවලියක්ද ඇරඹිනි.

අර්බුධය කෙමෙන් කෙමෙන් ජාතිවාදී මුහුණුවරක් ගනිමින් තිබියදී අගමැතිවරයාගේ රොස්මිඩ් නිවස අසලට කඩා වැදුණු භික්ෂූන් වහන්සේලා පිරිසක් නිවස ඉදිරිපිට සත්‍යග්‍රහයක යෙදෙමින් චෙල්වනායගම් සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම අවලංගු කරනතෙක් එතැනින් නොනැගිටින බව ප්‍රකාශ කළහ. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ගිවිසුම අහෝසි කළ බවට අගමැතිවරයා ලිඛිතව උන්වහන්සේලාට දැනුම් දීමය. ඒ සමග දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ජාතිවාදී කෝලහල ඇතිවිය. එය 1915 ඇතිවූ සිංහල මුස්ලිම් කෝලහලයෙන් පසුව ඇතිවූ විශාලතම කෝලහලය ලෙස සැලකේ. 


Sources,
දෙමළ අභියෝගය - වික්ටර් අයිවන්
ලංකා ඉතිහාසය දෙස මාක්ස්වාදී ඇසකින් - N.ශන්මුගදාසන්

No comments:

Post a Comment