Friday, September 29, 2017

ආශාවරී 5 - පියුමි හෙවත් ආරියවතී






දවස පුරාම බුම්මාගත්වනම සිටි අහස  සවස් භාගය එළඹෙත්ම ගුගුරා හැලෙමින් පොළව තෙමන්නට ගත්තේ කිසිදු අනුකම්පාවකින් තොරවය. අනෝරා වැස්සේ වූ චණ්ඩ බවිනුත් තම විසල් නිවස අරක්ගත් මහා පාලුවෙනුත් පෙලනු ලැබූ ඒබරන් තම වයලීනය අතට ගත්තේය. ඔහු වයලීනය අතට ගත්තේ වසර 5කට පමණ පසුය. මදක් නුහුරට මෙන් ඔහු වයලීනයේ තත් එකින් එක හැඬවීය. ඉන් නැගුණු ලයාන්විත නාදය ඔහුට දැනුනේ වසර ගණනක් වෙන්ව සිටි හෘදයාංගම මිතුරෙකුගේ කටහඬක් මෙනි. ඔහු මෙලොව සම්පූර්ණයෙන්ම අනාතව නැති බව ඒ ලබැඳි හඬ ඔහුට සිහි කරවයි. ඔහුගේ සිත ඒ හඬ ඔස්සේ වහ වහා අතීතයට දිවයයි. 

තමන් පළමු වරට කාල දොරටුව හරහා  අනාගතයට පැමිණි අයුරු ඔහුගේ දෑස් ඉදිරියේ මැවේ. තම සොහොයුරු සුන්දර අප්පුත් , ඔවුන්ගේ ඇඹේනිය වූ ආරියවතීත් සමග පැමිණි ඒ අරුම පුදුම ගමන නොසිතූ විරූ ලෙස කෙළවර වූයේ ඒබරන් අප්පු අංගොඩ මානසික රෝහලේ නේවාසික රෝගියෙක් බවට පත්වීමෙනි. එදා රෑ තම සොයුරා දුන් සමහන් පැකට්ටුව කටේ හලාගත් ඒබරන් අම්මා මුත්තා සිහිවී නිරුවතින්ම මහ පාර දිගේ දිවූ දිවිල්ල කෙලවර කරගන්නට වූයේ කොල්ලන් රැලකගෙන් හොඳ හැටි ගුටි කා පළමුව පොලීසියටත් ඉන්පසු මානසික රෝහලටත් බාරදීමෙනි. එදවස, ඔහුට මේ අරුම පුදුම ලෝකයේ කිසි දෙයක් වටහාගන්නට හැකි වූයේ නැති. මානසික රෝහලේ ගෙවුනු වසර ගනනක කාලය තුල ඔහු ටිකෙන් ටික මේ අනාගත ලෝකය තම වර්තමානය හා ගලපාගන්නට පුරුදු වුනේය. මානසික රෝහලේදී ඔහුගේ යහපත් කල්ක්‍රියාව නිසා ඔහුට සංගීතය හැදෑරීමේ වරම් ලැබිනි. එහි අවසානය වූයේ ඒබරන් මුලු රටක් හඳුනන ගායකයෙක් හා වාදකයෙක් බවට පත්වීමයි. මානසික රෝහලෙන් නිදහස් වූ මුල් දිනයේම ඔහු කලේ තම සහෝදරයා වූ සුන්දර අප්පුත් , ඔවුන් එක ගේ කෑ සුරූපී හා සරාගී ගැහැණිය වූ ආරියවතීත් සොයා යෑමයි. ඒ නිමක් නැති සෙවිල්ල අවසන් වූයේ සමන්තභද්‍ර නම් රහතන්වහන්සේ නමකගේ ආශ්‍රමයෙනි. ඒ තම සොහොයුරා උන් වහන්සේ ආශ්‍රයෙහි මහණදම් පුරන බව සොයා ගැනීමත් සමගය. 

කාල දනව්වේ සුමන නමින් පැවිදි දිවියට පිවිස තිබූ තම සොහොයුරා ඒ වන විටත් ඉතා ප්‍රඥාවන්ත හිමි නමක්ව සිටි බව ඒබරන්ට වැටහිනි. ආරියවතී නැවත කාල දොරටුව හරහා අතීතයට ගිය බව පැවසුවේ සුමන හිමියන්ය. කාල දොරටුව හරහා තමන් නැවත අතීතයට යවන ලෙස ඒබරන් උන්වහන්සේ පාමුල හඬා වැටුන මුත් සුමන හිමියන් නැවත ඒ කෙලෙස් වලින් පිරි දොරටුවත් සමග ගනුදෙනු කිරීමට උත්සුක වූයේ නැති.  ඇය සොයා වෙහෙසවී පලක් නොමැති බවත් දැන් මෙලොව ජීවිතයට හැඩ ගැසෙන ලෙසටත් ඒබරන්ට උපදෙස් දුන්නේ උන්වහන්සේය. 

සුමන හිමියන්ගේ අවවාද පිළිගත් ඒබරන් මෙලොව ජීවිතය සාර්ථකව ගත කලේය. තම සංගීත කෞශල්‍යයෙන් රටම මුසපත් කරමින් ඔහු තම නව ජීවිත කතාව ඇරඹුවේය. ඒ දිවි ගමන තුල ඔහුට ආදරණීය බිරිඳක්ද, රත්තරන් වටිනා පුතණුවන් දෙදෙනෙක්ද එකතු විය. කාලය ගත වූයේ ඔවුන්ගේ දිවි කල එළි කරමිනි. වසර ගනනාවක් සතුටින් ඉපිල ගිය ඔහුගේ ජීවන චාරිකාවේ අඳුරුතම දිනය මීට වසර 5කට පෙර උදා වුනේ තම ප්‍රිය බිරිඳගේ නොසිතූ වියෝවත් සමගය. පුතුන් දෙදෙනාත් විවාහ වී ඔහු හැර ගිය පසු මේ විසල් නිවසේ ඔහු තනි වූයේය. ......
මහ හඬින් අකුණක් පුපුරා ගියෙන් ඒබරන් යළි පියවි ලොවට පැමිණියේය. වැස්ස ක්‍රමයෙන් අඩුවෙමින් පැවතුනද මහ හඬින් පුපුරන අකුණු වල නම් අඩුවක් පෙනෙන්නට නැත. ඔහු ඔරලෝසුව දෙස බැලීය. රෑ බෝවීමට ආසන්න වෙමින් ඇත. ඔහු තම රාත්‍රී ආහාරය පිලියෙල කර ගැනීම සඳහා මුලුතැන්ගෙය දෙසට පිය මැන්නේ හෙට දිනයේ කරන්නට ඇති අලුත් රාජකාරිය ගැන සිතමිනි. ඔහු නැවත තම සංගීත දිවිය ඇරඹීමට තීරණයක් ගත්තේ මීට සති කිහිපයකට පෙරය. එහි ප්‍රතිපලයක් ලෙස ඔහු හෙට දිනයේ නවක ශිෂ්‍යාවකට තම සංගීත ඥානය බෙදා දීම අරඹනු ඇත. බිරිඳගේ වියෝවෙන් පසු ගෙවුනු අලස හා නීරස වූ තනිකඩ ජීවිතය ඔහුට සංගීතයද එපා කරවීය. නමුත් හෙට දිනයේ සිට නැවත සංගීතය ඔහු කරා පැමිණෙනු ඇත. තම දැනුම තරුණ පරම්පරාව වෙත බෙදා දීමට ඒබරන් කිසිදාක පැකිලුනේ නැත.......සංගීත ඥානයෙන් බැබලෙන දක්ෂ තරුණ පරම්පරාවක සුබ සිහින දකිමින් ඒබරන් නින්දට වැටුනේ ඉක්මන් රාත්‍රී අහාරයකින් අනතුරුවය.

පසුදින උදාවත් සමග ඒබරන් අවදිවූයේ ජීවිතය අලුතෙන් පටන් ගත යුතුයැයි වූ නව ජවයක් සමගය. ඔහු උදේ 9 වෙද්දී විහාර මහදේවී උද්‍යානයේ බංකුවක් මතට බර දුන්නේ තම නවක ශිෂ්‍යාව හමුවීම සඳහාය. ඇය ඇගේ පියා සමග එතනට පැමිණෙනු ඇත. සති අන්තයක් වූයේන් විහාර මහ දේවිය වෙනදාට වැඩි වේගයකින් ජනාකීර්ණ වෙමින් ඇත. විශාල ගස් මුල් වලට පිට දී හාදු වැස්සක තෙමෙනා පෙම්වතුන්ට අමතරව කුඩා දරුවන් සමග විවේකය ගත කරන්නට එන දෙමව්පියන්ගෙන්ද අද අඩුවක් නැත. උද්‍යානය පුරා එහේ මෙහේ දුවනා පොඩි උන් නිසා පෙම්වතුන්ට නිදහසේ තම තමන්ගේ දෙතොල් සොයා ගැන්මට අපහසුය. සොයා ගත්තත් දෙතොල් වල ගැලී මුසුවෙන උණුහුමෙන් මත්ව තම තමන්ගේ ශරීර පහස විඳීමට අපහසුය. ඒබරන් මේ සියලු දේ දෙස උපේක්ෂාවෙන් බලා සිටින්නේ තම තරුණ වීයේ මතකයන් සමග සිතෙන් සෙල්ලම් කරන ගමන්මය.

ඒ මතකයන් අතර අතරමංව සිටි ඒබරන් ඇගේ පැමිණීම දුටුවේ නැත. කලු පැහැති මෝටර් රථයකින් තම පියා විසින් ඇරලූ ඇය විහාරමහ දේවිය තුලට පැමිණ මදක් වට පිට බැලුවේ ඒබරන් සොයාගැනීමේ අටියෙනි. ඇගේ විමසුම් දෑස් වලට, මද සිනහවකින් යුතුව කල්පනාවේ ගැලී ඉන්නා ඒබරන්ව හසුවිය. සම්පූර්ණයෙන් සුදු පැහැති ඇඳුමකින් සැරසී සිටින තම සරල සංගීත ගුරුවරයා දුටු ඇය ඔහු දෙසට පිය මැන්නාය. 

"සර්....."

එක් වනම ඇසුණු තරුණු කාන්තා කටහඬක් නිසා ඒබරන් තම අතීත මතකයන්ගෙන් නැවත විහාර මහ දේවියට විසි වී වැටුණි.

"කොහොමද සර්?......මම පියුමි"
ඇය ඔහුගේ දෙපා නැමදුවාය. ඔහු ඇයට ආශිර්වාද කලේ ඇයගේ මුහුණවත් හරියට නොදුටු බව සිතමිණි. දෙපා නැමදුමෙන් ආනතුරුව ඇය කෙලින් වූවාය. 

ඔහු ඇයගේ මුහුණ දුටුවේය........

පොඩි උන්ගේ සෙල්ලම එක් වනම නැවතිණි, පෙම්වතුන්ගේ චුම්බනයන් තොල් වල එතුනු ගමන්මය, පෙම්වතියන්ගේ පියවුරු සොයනා පෙම්වත් දෑත් ගල් ගැසුනි, පාරේ යන එන වාහන, මිනිස්සු එකතැන නැවතිනි, විහාර මහ දේවියේ කාක්කන් ගේ කටවල් වලට අගුලු වැටිනි, උද්‍යානයේ වතුර මලෙන් නිකුත්වූ ජල බිඳිති පොලව සිප නොගෙන වා තලයේම රැඳිනි, ඒබරන්ගේ හද ගැස්ම නැවතුනු අතර, ඇස් පිය ගැසුනේ නැති.....
ඔහු තම මුව අයා ඇය දෙස බලා සිටියේය......

දෙවියනේ ආරියවතී.........


ඊලඟ කොටස හෙට අනිද්දාට

2 comments:

  1. Replies
    1. අඩෝ තඩියෝ

      හු..... හු.,,,,,,තඩියා ඇඹ-රෙනවා .......හු .....හු....... වැදගත් බ්ලොග් ලියන එවුන් දැනගැනී කියලද? වචන වෙනුවට රේල් පිලි කොටන්නේ
      අපෝ උනුත් ඔයිට වඩා හපන් නැවෙන කොට දෙනවා දෙනකොට නැවෙනවා

      Delete