Saturday, April 1, 2017

අවුරුදු සොපින් කෙරුවාව





අලුතෙන් අවුරුද්දක් ලබලා එහෙ බලා මෙහේ බලද්දී ඕං හතරවෙනි මාසෙට , ඒ කියන්නේ බක් මාසෙටත් ඇවිල්ලාය. බක් මාසේ කියන්නේ සිංහල ක්‍රමේට අලුත් අවුරුද්දක් උදාවන  මාසෙටය. බක් මහේ තවත් විශේෂතා දෙකක් ඇත්තේය.එකක් බක් මහ අකුනු අනෙක, ඉහින් කනෙන් දාඩිය බේරෙනා පට්ට උනුසුම් කාලගුනය. ඉතින් මේ විශේෂ මාසේ ලඟ ලඟම එන බව අපිට කියන්නේ කොහාය. අපේ ආච්චිලා නම් අපිට කියා දුන්නේ කොහා ඔය මියුරු ස්වරෙන් කියන්නේ අවුරුදු ලඟ එනවා කියලාය. නමුත් අපේ බොක්කේ යාලුවෙක් වන ගැබා නම් කියන්නේ කොහා ඔය කෑ ගහන්නේ උගේ ඇඹේනියට කියාය. "පට්ට රස්නෙයි වේ*යේ ඔය ෆෑන් එක දාපන්., නැත්නම් මට බොන්න කූල් වතුර එකක් වත් ගෙනෙන්" ...ගැබාට අනුව කොහා කෑ ගසන්නේ එහෙම වලියක් නිසාය.උගේ කටහඬ පට්ට මිහිරි නිසා අපි හිතන්නේ ඌ අවුරුද්ද ගැන සින්දු කියනවා කියලාය.


කොහොමින් කොහොම හරි අවුරුද්ද ලඟම එන නිසා මෙදා සැරෙත් නයි හාමිනේ සමග සොපින් වන්දනාව ජයටම කෙරුනේය. වෙනදා මෙන් නොව නයියා මේ සැරේ සොපින් ගියේ හෙන කැමැත්තෙන්ය. නෙලුම් යායේ සම්මානෙකුත් හම්බුණු නිසා සොපින් ආපු කෙල්ලෝ නයියාව වට කරගෙන අත්සන ඉල්ලනු ඇත. ඒ කාලේ නයියා ලයින් දමද්දී ලොකු සීන් දුන් එකියන්ට මෙවර සම්මාන දිනූ නයියා දකින විට අයියෝ I missed him කියා ඇඬෙනු ඇත. ඉතින් ඔය සිහින සාප්පු හිතේ මවමින් නයියා රෙදි කඩ පුරා ඇවිද්දේ අඩි දෙකක් විතර උඩින්ය. ඒත් වැඩේ කියන්නේ තත්වය වෙනදා වාගේමය, එක කෙල්ලෙක්වත් නයියාව පයිසෙකට ගනන් ගත්තේ නැත. "Blog එකක්වත් නොකියවන මෝඩ ගස් ".....උන්ට හිතෙන් සාප කරමින් නයියා නැවත අඩි දෙකක් පහළට බැහැලා පොලවේ පය තිබ්බේය. පොලවේ පය ගැසුවා පමණි අවුරුදු සොපින් යාම නම් මහා දුක්ඛදායී සංග්‍රාමයේ ත්‍රාසය, භීතිය සහ දුක නයියාට දැනෙන්නට විය. මේ භයානක කෙරුවාව ගැන facebook සටහනක් නයියා මීට අවුරුදු දෙකකට කලින් දැම්මේය. ඇත්තටම නයියාට blog එකක් පටන් ගන්නට ප්‍රධානතම තල්ලුව ලැබුනේ ඒ post එක නිසාය.ඉතින් නෙලුම්යායේ ප්‍රීතියත් සමග blog ලොවට එන්නට ගැම්ම දුන් ඒ ලියවිල්ල නැවත පලකරන්නේ , ගිය සතියේ නෙලුම් සම්මාන ලැබූ , නොලැබූ සියලු ආදරණීය blog කරුවන්ට තව තවත් හොඳ දෑ ලියන්නට හැකිවේවායි බොක්කෙන්ම ප්‍රාර්තනා කරමිනි.

                                            
                                               *******************************


කොහා ගේ දොරකඩටමවිත් අවුරුදු ගීතය ගයන්නට ගෙන ඇත. ඒ අපූර්ව වූත් විචිත්‍ර වූත් නව වසර ලැබීමට ඇත්තේ තව සතියක පමන කාලයකි.මේ විචිත්‍රවත් යුගයේ , ඉතා අසීරු හා අපේ ඉවසීම පරීක්ශා කරන බයානක දවසක් ඇත. ඒ ඇයත් සමග shopping  යෑමේ දිනයයි. දින තුනක නිවාඩුවත් සමග ඒ දිනය සැමරීමට ( විඳවීමට ) මම පසුගියදා දෙහිවල හා වැල්ලවත්තේ කරක් ගැසීමි. විනාඩි 40ක් පුරා දෙහිවල හන්දියේ ඇය එන තුරු කට්ට කෑ මම, shopping තරඟයේ ආරම්බය දෙහිවල Nolimit එකෙන් ගතිමි. යන්තම් උදේ 9 පසුවී කඩේ විවෘත කලා පමනක් වුවත් Nolimit එක ඇතුලේ හෝගාලා සෙනගය. යාන්තමින් දෙවන මහලට පැමිණි පසු අපේ තරගය හරියටම ආරම්බ විය. කොනක සිට ඇඳුම් තේරීමට පටන්ගත් ඇයගේ පසු පසින්, මාද ගමනේ යෙදුනෙමි. ටික වේලාවක් යද්දී වෑඩේ boring වූ බැවින් වට පිටාව දෙසට ඇස් යොමන්නට වීමි…..පඩිපෙල ගාවම තිබූ පුටුපෙලක් මත වාඩිවීගත් පිරිමින් 4 දෙනෙකි. ඔවුන් හිස් බැල්මෙන් යුතුව කාන්තාවන් රෙදි තෝරන දිහාව දෙස නෙත් යොමා සිටී. තම බිරිද මේ ජනකාය අතරේ කොහේ හෝ සිට ඇඳුම් වල විසිතුරු බව විදිමින් සිටින අයුරු ඔවුන්ගේ නෙත ගෑටේයෑයි සිතීම උගහට වන්නේ ඒ තරම් සෙනගක් ඇඳුම් වල වවුලන් මෙන් එල්ලී සිටිනා නිසාය. (බොහෝ දෙනා තමන් අල්ලාගෙන සිටින ඇඳුම ගන්නේ නැත, ඒනමුදු එය අතාරින්නටද අදහසක් නෑතුවා වාගේය)
පිරිමින් 4 දෙනාගේම ඔඩොක්කුවේ පොඩීවුන්ය. තාත්තලාටත් වඩ උන්ට සසර එපා වී ඈති සෙයකි.උන් ඈනුම් අරිමින් ඇඟ මැලි කඩමින්,ඔලුව කසමින්, වරෙක තම පියවරුන් දෙසද වරෙක ඇඳුම් ගොන්නේ පීනමින් සතුටු වෙන ජනකාය දෙසද නොරිස්සුම් බැලුම් හෙලයි. පිරිමින් 4 දෙනා තම අත් ඔරලෝසු දෙස  බලමින් වරෙක කිසිවක් තමන්ටම මුමුනා ගනී. උන් ඔරලෝසුව දෙස බලන විට අපූරු විද්යාත්ම්ක මෙව්වා එකක් මට සිහි විය. ඔවුන්ගේ බිරින්දෑ වරුන් මේ මොහොතේ සිටිනුයේ කලු කුහරයක්(Black hole) තුලය. කලු කුහරයේ ඈති අධික ගුරුත්වය නිසා ,ඒ තුල කාලය යන්නේ පොලවට සාපේක්ශව ඉතා සෙමිනි. මේ බව මට කීවේ අපේ office එකේ ආතුවාය. ඒ Interstellar movie එක ගැන මතුව ආ සංවාදයකදීය. අබ්යවකාශයට ගිය film එකේ ප්‍රධාන නලුවාට වයස නොගිය අතර මිනිහාගේ දුව පොලවේ සිටිමින් අම්බානක වයසට යයි. ආතුවා  මොකක්දෝ curve එකක් ගසමින් කාලය සාපේක්ෂ බව හා තවත් මොනවාදෝ  කියමින් පරසක්වල ගැසුවද මට එය වැඩිය තේරුනේ නම් නෑත. කොහොම හරි සරලව කියන්නේ නම්,  කලුකුහරය තුල පැයක කාලයක්  පොලොවේ අවුරුද්දක් පමන වේ. ඉතින්, අවුරුදු ඇඳුම් සාගරය නමැති කලු කුහරය තුල සිටින බිරින්දෑවරුන්ට කාලය ගතවන්නේ තත්පර වලින් වුවද පඩිපෙල ලග පුටුවේ වාඩි වී සිටිනා පිරිමි 4දෙනාට කාලය ගතවන්නේ පැය ගනන් වලනි. පිරිමින්ගේ දොම්නසට හේතුව එවැනි විද්‍යාත්මක උබතෝකෝටිකයකි.


කව්දෝ එකෙක් ඇඟේ හැපී මගේ විදුසර ලෝකය බිඳී වෑටුනෙන්, ඇඟේ හැපුනු එකාට හිතින් සාප කරමින් එදෙසට හැරුනු විට දකින්න ලැබුනු දෙයින්, විදුසර ලෝකයට වඩා වැධගත්  තවත් සමාන්තර ලෝක ඇතිබව මට පසක්විය.ඇඟේ හැපී ඇත්තේ එකෙක් නොව නංගි කෙනෙකි. නංගි සුදුය, ලස්සනය, ඇඟටම කැපෙන ඇඳුමය. සාය, කොට හිර එකකි. එයින් ඇගේ නිතඹේත්, උකුලේත් හැඩය මොනවට කෑපී පෙනේ. ඇඳසිටි blouse එකද ඇඟටම හිර එකක් වූ බෑවින් ඈගේ නාරි දේහය මනාව උස් පහත් වී පෙනේ. දණ හිසටත් අඟල් 3ක් විතර උඩින් ඉවරවුනු කොට සායක් ඇඳල හිටපු නංගියාගේ කකුල් වල වරුනාව කියන්න දෙයක් නෑනෙ......නංගියාගේ නාරි දේහයේ  කාව්යමය සුන්දරත්වය විඳින කල එක වරම "මොනවද අනේ ඔය බලන්නේ,මෙන්න මේ blouse එක ලස්සනද බලන්නකෝ..." කියා කවුදෝ පිටට තට්ටු කර කීවාය. විදුලොවින් කවිලොවට ගොස් සිටි මම නැවත පියවි ලොවට ආවෙමි.



"මාත් එක්ක ඉන්නකොටවත් වෙන කෙල්ලො දිහා නොබල ඉන්න බැරිහැටි."..........පුන්චි නෝක්කඩුවකි.



Campus කාලේදී නම් මේවගේ සිදුවීම් වූකල අම්බානක   කන පිරෙන්න දේශනා අහගන්නට සිදුවුවත් වරද මගේ නොව මගේ කවි සිත බවට ඇයට පසක් වී ඇති නිසාදෝ දැන් කාලේ නම් වෑඩිපුර අහගන්නට වන්නේ නැත.



එනමුදු තවත් චාටර් විය නොහැකි බැවින් ඇය පසුපසින්ම යමින් මාද ඇඳුම් වල සිරි විසිතුරු නරබන්නට වීමි. ඊට පසු ඉතින් සුපුරුදු කෙලිය පටන් ගති. මට ලස්සන ඇඳුම් ඈට ලස්සන නැත, ඈ කැමති ඒවා මට හරි නැත. ඒත් ඉතින් ඇය කැමති වූ එකට මන් කැමති නෑ කියා උදැල්ල දමන්න ගියොත් තවත් මෙතන කට්ට කෑමට වන බැවින් මාද ඈගේ තේරීමට එකග වුනෙමි. දැන් කැමැත්ත ගැන අවුලක් නැත. ඊලගට blouse එකේ මිල බෑලූ ඈ කීව්වේ අනේ මේක ලාබ වැඩියිනේ කියාය.........අනේ අම්මපා අපට ගිය කලක්….ගිය අවුරුද්දේ ඔක්කෝටම කලින් price tag එක බලා අඩු මිල ඇඳුම් තේරූ අපි, දෑන් එය අන්තිමට බලා ,මිල අඩු නිසා ඇඳුම ගන්නට මැලිවන තරමට දියුනු වී ඈත.යහ පාලනය යටතේ රට ඉදිරියට ගොස් ඇති බවට මීට වඩා සාක්ශි කිම?


අවසානයේ සියලු සාධක වලට ගැලපෙන පරිදි ඇඳුම් කීපයක් එකතු කරගත් අපි nolimit එකෙන් පල්ලම් බසින්නට පටන් ගතිමු.ඒ අතරින් පතර අම්මලාගේ හා දූවරුන්ගේ කතාබහ ඈසේ. දුව ගත් ඇඳුම දනහිසින් තව ටිකක උඩට කොට වුනා නම් වඩා හොද බව අම්මා කියයි.මීට අවුරුදු 3කට පමන කලින් නම් වුනේ මේකේ අනික් පෑත්තය.ඒත් අපි වඩා liberal වී ඈති බැවින් දැන් වෙන්නේ  මෙහෙමය.නමුත් දැන් යන විදිය අම්මාටත්, දූටත්, අපිටත් (ඒ කියන්නේ පාරේ යන හුදී ජන පහන් සන්වේගය ඇති කොල්ලන්ට)  හොඳ බැවින් මෙහෙම යන එක හොඳය.


කොහොමින් කොහොම හරි පැය කිහිපයක චාරිකාවකින් පසු බිල ගෙවීම සදහා counter එක ලගට ඒමට අපිට හැකිවිය. අම්ම ගහයි බැට් එකෙන්, මේ මූ නේද?...කවුද?..පහු ගිය ටිකේ හම්බයන්ව fb එකෙන් පතුරු ගෑසූ, මුස්ලිම් කඩ වර්ජනය කරන්නට talks දුන් වීර සිංහල බෞද්ධ මල්ලි කෙනෙක්  Nolimit පෝලිමෙ බිල ගෙවන්නට සිටී. මල්ලියා ඒ කාලේ දෙසූ talks වල්ට මන් හිතුවේ මේ දවස් වල මල්ලි සිංහල රෙදි කඩ නගා සිටුවීමේ project එකක් පටන් ගෙන ඈති කියලාය. හම්බයන්ට විරුද්ධ උගේ  fb සන්ග්‍රාමය වෙත මගේ සිත එවර දුවන්නට ගති. එක්කෝ අවුලක් නැත. අවුරුදු කාලේ කියන්නේ සියලු තරහ මරහ අමතක කරන කාලයක් නිසා මල්ලිගේ තීරනය හරි විය යුතුය....බිල ගෙවන්නට ඊලගට සිටින්නේ මම බව ඈගේ කොනිත්තීමෙන් පියවි ලොවට වැටුණු මට ඒත්තු ගියෙන්, බිල ගෙවා කඩයෙන් එලියට බැස්සෙමු. Nolimit පෝලිමෙන් ගැලවුනු අපි, ඊලග තරගය සදහා වැල්ලවත්ත දෙසට කට්ට අව්වේම පිය නගන්නට වීමු…


1 comment: