Wednesday, August 22, 2018

හිංසනය ?..එහෙම එකක් තියනවද ?





ඊයේ සවස පැරාගේ (අජිත් පැරකුම් ජයසිංහ ) අලුත් නවකතාව වුනු "K පොයින්ට්" අලලා කතාබහක් පැවැත්වුනා. එහිදී කෙරුණු දේශන වලින් අනතුරුව එළඹුණු මිනිත්තු කිහිපය තරමක් උණුසුම් ප්‍රශ්න කිහිපයකට අවකාශයක් විවර කලා. ඒ සියලු ප්‍රශ්න ගොනුවී තිබුනේ එක් කරුණක් වටා. ඒ තමයි හිංසනය. පැරාගේ නවකතාව වුනත් ලියවෙන්නේ එලියකන්ද වද කඳවුර ආශ්‍රිත සිදුවීම් වලින්. පොත කියවූ අයගෙන් පලවුනු අදහස් අනුව කේ පොයින්ට් පිටු අතරත් දුවන්නෙත් 89,90 කාලයේ දියත්වුනු නොමද හිංසනය.

අවසන් මිනිත්තු කිහිපයේ පළමු ප්‍රශ්නය යොමු වුනේ උපුල් කුමාරප්පෙරුම සහෝදරයාට. එහිදී මූලිකව ප්‍රශ්න කෙරුනේ ජවිපෙ දෙවනි කැරැල්ල සමයේ කැරලිකරුවන් අතින් ඝාතනයට හෝ හිංසනයන්ට ලක්වුනු අහිංසකයන් පිලිබඳව උපුල්ට කියන්න තියෙන්නේ කුමක්ද කියලා. මං හිතන්නේ මේ ප්‍රශ්නය එලෙස යොමු වුනේ උපුල් තමන්ගේ දේශනය තුල ප්‍රධාන වශයෙන් රාජ්‍යය විසින් පසුගිය දශක 3,4 තුල මුදා හරින ලද හිංසනයට එරෙහිව වදන් මෙහෙයවපු නිසා. මේ ප්‍රශ්නයේ තවත් කොටස් කිහිපයක් තිබ්බ නිසා උපුල්ට ඒකට හරි උත්තරයක් දෙන්න උනේ නෑ මං හිතන්නේ. ඒත් අන්තිමට උපුල්ගෙන් කියවුනු දෙයක් වුනේ , මේ "අහිංසක" කියන වචනයට නිත්‍ය අර්ත දැක්වීමක් නැති බව. එනම් අපි මේ මොහොතේ අහිංසකයින් ලෙස දකින අය එදවස කැරලිකරුවන් විසින් අහිංසකයන් ලෙස නොදකින්නට ඇති හැකියාව. ඒ අනුව කැරැලිකරුවන් විසින්   ඔවුන්ගේම මිණුම් දණ්ඩකට අනුව අහිංසකත්වය වර්ග කරන්නටත් ඒ අනුව ජීවත් වන්නන්, එලොව යන්නන් හා වද විඳින්නවුන් කවුද කියා තීරණය කිරීමේ අයිතිය ඔවුන් සතු කරගන්නවා. මේක හරිද වැරදිද කියන එකට වඩා උපුල් මතු කලේ එවැනි සමයක එය එසේ සිදුවන්නේය කියන එක. එය එවැනි වකවානු වල යම් ලාක්ෂණිකයක්. ඒ අනුව අහිංසකත්වයට නිරපේක්ෂ වටිනාකමක් නෑ.

ඊට පස්සෙ යොමු වුනු ප්‍රශ්න හරියටම මතක නැතත් ඒවාට ලැබුණු උත්තර එකිනෙකාට අභියෝග කරගත්තා. එහිදී වික්ටර් අයිවන් මහත්මයාගේ ආස්ථානය උනේ අපි හිංසනය මුලුමනින්ම තුරන් කල යුතු බව. ඔහු විටෙක ගාන්ධිව ආදර්ශයට ගනිමින් ,තවත් විටෙක ස්කැන්ඩිනේවියානු රටවල් ආදර්ශයට ගනිමින් හිංසාවෙන් ඈත්වීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නා. එමෙන්ම ඔහු කිව්ව කරුණක් උනේ තත්වය කෙතරම් නරක අතට හැරුනත් මනුෂ්‍යයෙකුගේ ජීවිතය නැති කිරීමට කිසිඳු විටෙක ක්‍රියා නොකල යුතු බව. කම්මුලට පාරක් ගැහුවොත් අතගාල හරි බෙහෙත් කරලා හරි ගොඩ දාගන්න පුලුවන් ඒත් මරලා දැම්මොත් නැවත ඒමක් නෑ. ඒ ආකාරයට ඔහු හිංසාවේ උපරිම අගය සලකුනු කරලා දුන්නා.

අයිවන්ගේ මේ කතාවට ප්‍රවේශයන් දෙකකින් ගීතිකාත්, විදර්ශනත් එදිරි උනා. විදර්ශන අවධාරණය කල කරුණ උනේ හිංසනය කියලා දෙයක් වෙනම ගලවලා අරන් බෑග් එකක දාල  පෙන්නන්න බැරි බව. එනම් හිංසනය සැම විටම ඒ ඒ මොහොතට අදාළ සන්දර්භයක් එක්ක බැඳිලා පවතින බව. ඒ නිසා සන්දර්බයෙන්, හිංසනයක් වෙනම උගුල්ලලා අරන් පරීක්ෂණ නලයකට දැමිය නොහැකියි. ඒ ඒ අවස්ථාව විසින් ක්‍රියාවට නැගිය යුතු යම් හැඟීම් සමූහයක් සැම විටම මතුවෙනවා. එය පසුකාලීනව හිංසනයක් ලෙස අර්ථදැක්වෙන්න පුලුවන්. ප්‍රංශ විප්ලවය, ඔක්තෝම්බර් විප්ලවය තුල විප්ලවවාදීන්ට ගන්නට බලකෙරුනු ක්‍රියා කලාපයන් හිංසනයක් ලෙස වෙනම අතට අරන් විග්‍රහ කරන්න බැරි බවක් තමයි විදර්ශනගෙන් කියවුනේ. ඒ අනුව අයිවන් මතු කරන උපරිම සීමාව හෙවත් මරණය පවා විදර්ශන ඒ ඒ සන්දර්බයන්ට අනුව ප්‍රතික්ෂේප කරන ගතියක් පෙනෙන්න තිබුණා.

ගීතිකා පිළිතුරු දුන්නේ අයිවන් සඳහන් කල ස්කැන්ඩිනේවියානු, යුරෝපියානු  හෝ ඇමරිකානු මහා ප්‍රජාතන්ත්‍රයන්හී මායාව ගැන. අතීතයේ ඔවුන්ගේ යටත්විජිත ක්‍රියාමාර්ග විසින් ඒ ඒ භූමි භාගයන් තුල සිටි ස්වදේශික ජනතාව සහමුලින් අතුගා දැමීම සිදු කළා. ඒ වගේම ලෝකය පුරා කරක් ගසමින් තමන්ට හැකි සෑම රටක්ම කොල්ලකමින් , ඒවායේ විසූ ජනයා මරණයට හෝ නොමද පීඩාවට ලක් කරමින් තම ආර්ථික සූරාකෑම දියත් කළා. අද ඔවුන් ලඟාවී ඇති මහා ධනවාදී සංවර්ධනයේ මූලයන් වුනේ අතිශය හිංසාකාරී අධිරාජ්‍යවාදය. තමන්ට අවශ්‍ය කරන සංවර්ධනය සහ බලය ලොව පුරා ගොඩනගා ගත්තාට පසු ඔවුන් පතුරවනවා අදහසක් හිංසනයෙන් තොර වීම සහ ප්‍රජාතන්ත්‍රවාදය. මේ අදහස් නැතිනම් දෘෂ්ටිවාදයන් පතුරවන්නේම තම ලේවැකි බල පොදියට එරෙහි විය හැකි පාර්ශවයන් යටපත් කරන්න. නැතිනම් එවැනි ව්‍යාපාර බිහිවීමේ විභවයන් නැති කරන්න.

හිංසනය පිළිකුල් කරමින් එවැනි අදහස් ව්‍යාප්ත කරන රාජ්‍යයන් ආයුධ සන්නද්ධ හමුදා, පොලීසි සහ වෙනත් පෞද්ගලික ආරක්ෂක මාදිලි වලින් අනූනයි. ඒ නිසා විදර්ශන නැවත මතු කල කරුණක් වූයේ රාජ්‍යයට අවි දරන්න අනුමැතිය දුන්නේ කවුරුන්දැයි කියන එක. ජනතාව ඉල්ලා සිටියාද අවිබලයෙන් යුත් මිලිටරී බලයක් නඩත්තු කරන ලෙස? සැබවින්ම හිංසනයට විරුද්ධ රාජ්‍යයකට මෙතරම් මිලිටරි බලයක් අවශ්‍ය වෙන්නේ ඇයි.  එය ජනතාවගේ ආරක්ෂාව සඳහාද ?.....මේ ප්‍රකාශයට සභාවෙන් යම් විරෝධයක් එල්ල උනේ විදර්ශන මේ යෝජනා කරන්න යන්න්නේ අරාජකවාදයක්ද කියලා. සැබවින්ම  පෙර රජ දවස දක්වාම ගියත් එම අධිපතියා  අවි දැරූ සමූහයක් නඩත්තු කල බව පේන්න තියනවා. එය කාගෙන් කවුරු ආරක්ෂාකරන්නද කියලා අහන එක ආකර්ෂණීය ප්‍රශ්නයක්. නමුත් අවුරුදු දහස් ගනනක් තිස්සේ අධිපතීන් විසින් අවි දැරීම යනු පවතින තත්වයක්. ඒ නිසා එයතවදුරටත් ඇසිය යුතු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එය රාජ්‍යයේ නාමයෙන් සුජාත වී , ස්ථාපිත වී අවසන්.

ඒ වගේම විදර්ශන කියා සිටි දෙයක් උනේ එදා මෙදා තුරා වාමාංශික , දක්ශිණාංශික දෙපාර්ශවයෙන්ම සිදු වුනු අයුතු හිංසනයන් එකට ගෙන හෙලා දැකිය යුතු බව. ඔහුගේ ප්‍රධාන අදහස වුනේ ධනවාදී සුසමාදර්ශ තුල හිඳිමින් වාමාංශික විමුක්ති අරගල මනින්නට යාමෙන් වාම කතිකාව හිංසාකාරී ම්ලේච්ඡ කුලකයකට දමමින් බිත්තියට හේත්තු නොකල යුතු බව. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද මේ අපි හෙලා දැකිය යුතු හිංසනය කියන එක ?

වාමාංශික, දක්ෂිණාංශික අන්ත දෙකේම සිටි නායකයින් තම තමන් අත එක් රැස් වෙන බලය වැඩි වන තරමට ඒවා උමතුවෙන් භාවිත කරමින් තම විරුද්ධවාදීන් මෙලොවින් තුරන් කෙරූ ආකාරය ඉතිහාසය පුරාම ලියවී අවසන්. ඒ ඒ අයට අනුව ඒ ඒ ඝාතන විවිදාකාරයෙන් සාධාරණීකරනය උනා. ඒ කියන්නේ ආයෙත් උපුල් කිව්ව තැනටම, එනම් අහිංසකත්වයට නිරපෙක්ෂ වටිනාකමක් නැති වුනා. සැබවින්ම මේ ලෝකය තුල සාර්වත්‍රිකව හරි හෝ වැරදි කියා දෙයක් නොමැති බව ඒ ඒ යුගයන් අපිට සනාත කරනවා. ආගම් වලින් අපිට දේශනා කරන උතුම් කරුණු පවා ඒ ඒ යුගයන් වල ව්‍යාපෘතීන්ට අනුව එහා මෙහා කරන්න පුලුවන් වෙනවා. හිංසා, අහිංසා, වීරයා, දුෂ්ටයා ආදී වූ මේ සියලු වචන පවතින්නාවූ සන්දර්භයට අදාල දිය හැකි වටිනාකම් මිස ඒ වචන වලට අනන්‍ය වූ වටිනාකමක් නැති බව පැහැදිලි වෙන තැනට මේ අසහනකාරී  යුගයන් අපිව ගෙනියනවා.

මේ සටහන අවසන් කරන්න මට යොදා ගන්න හිතුනේ මේ දිනවල තිරගතවන ඝරසරප චිත්‍රපටයේ කියවෙන වචන ටිකක්,

කුමාරයෙක් උනත් මං යකෙක්, 
අනෙක් අතට යකෙක් උනත් මං කුමාරයෙක්. 

මේ දක්වා බිහිවූ පැසිස්ට්වාදී, ධනවාදී, සමාජවාදී, රාජාන්ඩුවාදී මෙකී නොකී සියලුම නායකයින්, එනම් කුමාරවරුන් තුල යකෙක් සිටි බව රහසක් නොවෙයි. ඒ යකා තමයි හිංසනය. මේ සියලුම කුමාරවරු තමන්ගේ පාලනය බලය ස්ථාවර කරගැනීම සඳහා නැතිනම් එය ලබා ගැනීම සඳහා එක් එක් පරිමාන වලින් හිංසනයන් මුදා හැර තිබෙනවා. ඒ කුමාරවරුන්ට එරෙහිව ආ කැරලිකාර ව්‍යාපෘති තුලත් නොමදව හිංසනය ගැබ්වී තිබුනා. ඒ ඒ හිංසනයන් සුජාතකරණයට ලක් කිරීමට නොයෙක් කතිකාවන් ඉතිහාසය පුරා නිර්මාණය වෙනවා. ඒ කතිකාවන් වල සාර්ථකත්වය රඳාපවතින්නේ එම ආයතන වලට ජනතාවගෙන් ලැබෙන සහනුමැතිය මත. ඒ සහනුමැතිය අති සාර්ථකව ලබාගත් කල, දවස ගානේ මහ පාරේ දැවෙන මිනිස් සිරුරු යනු කුණු ගොඩක දැවෙන කොල කෑලි තරමට සාමාන්‍ය වෙනවා.ඝාතනය කරන ලද මිනිසුන් යනු භාගයක් තිරිසනුන් ලෙස අර්ථ දැක්වෙනවා. කොහොම උනත් කැලේ ඉඳන් එලියට ආපු දඩයම් වානරයාගෙන් පරිණාමය වූ අප තුල හිංසනය කියන ලාක්ෂණිකය නිසඟව අන්තර්ගතයි. ඒ ලාක්ෂණිකයත් එක්ක හැප්පෙන එක මිනිස් ශිෂ්ඨාචාරය තියෙන තුරාවටම පවතීවි. අපේ ජීවන අංගයක් වුනු හිංසනය අපි හදාගන්න සංස්කෘතික රාමු ඇතුලට කොටු කරගන්න අපි දරන වෙහෙස සහ එහි සාර්ථකත්වය මිනිසුන්ගේ අනාගත පැවැත්ම තීරණය කරාවි.


4 comments:

  1. //සියලුම නායකයින්, එනම් කුමාරවරුන් තුල යකෙක් සිටි බව රහසක් නොවෙයි// මටත් හිතුන

    හිංසනයේ පුද්ගලිකත්වයකුත් තියනවා. මොන අයිඩියොලොජි එකක් තුල වුනත් බලය දරන්නා ගේ මානසිකත්වය හා පෞරුෂත්වය. ඔය සාකච්චාවට සහභාගීවූ අය හා ඕඩියන්ස් එකේ අති බහුතරය දේශපාලන දර්ශනයක් තියන අය නිසා ඒ අය කතා කරන්නේ ගැඹුරු දේශපාලන හා සාමාජීය දේ ගැන.

    මට හඳුනාගෙන නම් කල හැකි දේශපාලන ideology නොමැති නිසාත්, ලේබල් සහිත දර්ශන වලට අකමැති නිසාත්, විෂයේ නූගත්කම නිසාත්, නොදන්නාකම නිසාත් හිතුනේ ඇයි පුද්ගලයන්ගේ මානසිකත්වය නොසලකන්නේ කියල.

    ස්ටාලින්, හිට්ලර්, ඉඩි අමීන්, පොල්පොට්, බැටිස්ටා, චේ ගුවේරා, පිනෝශේ, මාවෝ, මෙන්ගිට්සු, (ඔක්කොම ලියන්න බෑනෙ ) ඇතුලු විශාල පෞරුෂයක් හා ඒකාධිපති බලයක් තිබුන සමාජවාදී/ධනවාදී/හමුදා අය විරුද්ධවාදීන් සහ (අපිට පේන විදිහට) අහිංසකයින් හිංසනයට තමන්ගේ අයිඩියොලොජි හා දේශපාලන යාන්ත්‍රණය යොදා ගත්තට ඔවුන්ගේ දරුණු මානසිකත්වයත් ලොකු ප්‍රතිශතයකින් බලපාන්න ඇති නේද?

    හිංසනයට අයිඩියොලොජි හා දේශපාලනයේ වගකීම හා පෞද්ගලික මානසිකත්වයේ වගකීම දෙකම බලන්න ඕනෙ නේද?

    ReplyDelete
    Replies
    1. ඔබ කියනව වගේම මේවා පිටුපස සිටින පුද්ගලයාව නොසලකා හරින්න බෑ මටත් හිතෙන විදිහට. සියලුම ideology වලට පස්සෙන් ඉඳගෙන ඒක මෙහෙයවන මනුස්සයාගේ පෞර්ෂය අතිශය වැදගත් විය හැකියි. මට හිතෙන්නේ ප්‍රචණ්ඩත්වය කියන්නේ අප තුල නිසඟයෙන්ම ඇති දෙයක්. අපි ඒක යටපත් කරන් ඉන්නේ සෑහෙන තෙලක් කාලා (ආගමෙන්, නීතියෙන්, ඉස්කෝලෙන් එට්c). බලය ගොඩ ගැහෙන මොහොතවල් වලදී මේ යටපත් කල දේ උඩට එන එක සාමාන්‍යයි. බලය ලැබෙන්නේ කොහොමද කියන එක මත ඒකේ තීව්‍රතාව අඩු වැඩි වෙනවා.

      කොහොම උනත් ඒ ප්‍රචණ්ඩත්වය normalize කරන්නේ ideologies වලින්. නැතිනම් අනේක විදිගත් කතන්දර වලින්. මට හිතෙන්නේ අපි, දේවල් වෙනස් කරන්න ගන්න හදන්නේ කොතනද එතන එතන හිංසනය තියනවා. අපිට කරන්න පුලුවන් වෙන්නේ විකටර් අයිවන් කිව්වා වගේ upper limit එකක් define කරගන්න එක. හරියට අපි නීතියේදී මරණ ඳඬුවම නොදී ඉන්න තීරණය කරන් ඉඳීම වගේ. මොකද මේ සියලු ක්‍රියාකාරකම් සාපේක්ෂයි. කාලයට අනුව වෙනස් විය හැකියි. ඒ නිසා මිනිහෙක්ගේ ජීවිතය අවසන් නොකරන තැනට යන්න අපි පරිස්සම් වෙන්න ඕන කියල එකඟත්වයක්වත් තියෙන්නේ ඕන.

      Delete
  2. ලෝක යුද්ධ වලින් පසුව ඇතිවූ යුද්ධ, කැරලි ඇතිවුණේ බොහෝ විට මාක්ස්වාදය හෝ සමාජවාදය පතුරුවන්න. ඒවායින් මාක්ස්වාදීන් ජයග්‍රහණය කරපු හැම අවස්ථාවකම අදාල රටවල් පරිහාණියට පත්වුණා. ඒවගේම මානව නිදහස සීමා වුණා. ඒවා පරාජය වුන අවස්ථාවල එයින් එම රටවල් වලට වාසියක් වුණා.

    අනික් යුද්ධ සහ කැරලි ඇතුවුණේ මුස්ලිම් වැනි ආගම් පතුරුවන්න සහ රටවල් කඩා වෙන් කිරීමට.

    මේ කුමන අවස්ථාවක වුණත් අවි ආයුධ දරණ රජයක හමුදා වලට විරුද්ධව අවි ඔසවන විට ප්‍රතිප්‍රහාර නොදී සිටින රජයක් හෝ හමුදාවක් තියෙයිද යන්න සැක සහිතයි. එවිට ජීවිත හානි සිදුවනවා. ඒවගේම රජයට හෝ හමුදාවට සම්බන්ධ අයගෙන් පෞද්ගලික කෝන්තර පිරිමැසීමත් සිදුවෙනවා.

    එමනිසා මගේ අදහස නම් තමන්ගේ මතවාදයන් මහජනයාට ඉදිරිපත් කර ඔවුන්ගේ කැමැත්තෙන් කරන වෙනස් කමක් නොකර අවි ගන්න අයගේ යහපතට අවම ප්‍රමිතියක් ගැන කථා කිරීම ප්‍රයෝජනයක් නැති දෙයක්.

    ReplyDelete
    Replies
    1. මාත් ප්‍රා ට කිව්ව කරුණ උනේ බලය ලැබෙන්නේ කොහොමද කියන එක උඩ හිංසාවේ තීව්‍රතාව තීරණය වෙනවා කියලා. නමුත් ඉයන් කියන මහජනයාට ඉදිර්පත් කල කැමැත්ත ලබාගීම කියන එක නූතන ඡන්ද ක්‍රමයත් එක්ක බැඳෙන්නක් නේද?. සමාජවාදී විප්ලව නොවුනත්, නූතන ධනවාදී රාජ්‍ය පවා බිහිවෙලා තියෙනේ අතීතයේ ලේ වැගිරීම් බොහොමයක් පහු කරලා. කොහොම උනත් හිංසාව කියන එක මුදා හරින විදි බොහොමයක් තිබෙනවා. සමහරක් ඒවා අපි එකඟවෙලාම නොසලකා හරිනවා. violence කියන්නේ සංකීර්ණ මාතෘකාවක්.

      Delete