Friday, May 4, 2018

සමාජ මාධ්‍යය, ජංජාලයක් ලෙස...




සමාජ මාධ්‍යය කියන්නේ පසු ගිය මාස කිහිපය පුරාම උණුසුම් පුවත් මවපු මාතෘකාවක්.අපි දශක ගණනාවක් තිස්සේ පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්න සාම්ප්‍රදායික ජන මාධ්‍යය අවකාශය හා සසඳද්දි සමාජ මාධ්‍ය කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් අවකාශයක්. ඒ වගේම සමාජ මාධ්‍ය අවකාශය යනු ලෝකයට තවමත්  අලුත් අත්දැකීමක්. එහි පවතින තාක්ෂණික පහසුකම් හා ක්‍රියාවලීන් ඉක්මනින් ඉක්මනින් යාවත්කාලීන වන නිසා සමාජ මාධ්‍ය වල වපසරිය කෙනෙක්ට සහසුද්දෙන්ම තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්.අන්තර්ජාලය පාදක කරගනිමින් බිහි වෙන මේ අලුත් අවකාශය, ලොව පුරා වෙසෙන මිනිසුන්ගේ සන්නිවේදන අවශ්‍යතා වේගයෙන් සපුරාගත හැකි වේදිකාවන් සමූහයකින් යුක්තයි. එහි විශේෂත්වය වන්නේ සමාජ මාධ්‍යන්හී අන්තර්ගතය ජනනය කරනුයේ එහි පරිශීලකයන් විසින්ම වීම. එමෙන්ම සාම්ප්‍රදායික ජනමාධ්‍ය වලට පවතින සීමා මායිම් බොහොමයක් සමාජ මාධ්‍ය වලට නෑ. ජනමාධ්‍යකරුවො කියලා වෘතීයවේදීන් කොට්ඨාෂයක් සිටියට සමාජ මාධ්‍යකරුවො කියල හඳුන්වන්න පුලුවන් වෙනම කොටසක් නෑ. එහි මාධ්‍යකරුවන් වෙන්නේ ලෝකය පුරා වෙසෙන අපි අපිමයි. ඒ නිසාම එය සෑහෙන තරම් නිදහස් මෙන්ම අවිධිමත්ව තොරතුරු ගලායන අවකාශයක්.

භාවිතා කරන්නන්ට වඩා ඉක්මනින් හා උපරිම ගතික භාවයෙන් තම හිතවතුන් හා පණිවිඩ හුවමාරුකරගන්න, ඡායා රූප බෙදාගන්න, දුරකතන ඇමතුම් ලබාගන්න, video දර්ශන පල කරන්න වගේ පහසුකම් රැසක් ලබාදෙමින් මේ මාධ්‍යන් ජනයා අතරට යනවා..ඒ අතරම බොහෝ දෙනා  විවිධ මාතෘකා ඔස්සේ තමන්ගේ අදහස්, විචාර, කලා නිර්මාණ, ප්‍රවෘති මෙන්ම වෙළඳ කටයුතුත් මේ හරහා කරගන්න පෙලඹී අවසන්. තමන්ගේ ග්‍රාහකයන් සමග ඉතා වේගයෙන් සම්බන්ධ වෙන්න වගේම  ග්‍රාහකයන්ගේ  අදහස් ,විවේචන සමග ඉක්මනින් සන්නිවේදනයේ යෙදෙන්න සමාජ මාධ්‍ය වලට ඇති හැකියාව බොහෝ සම්ප්‍රදායික මාද්‍ය තුල දකින්න ලැබෙන්නේ නෑ.

පහුගිය කාලය පුරා ඇති වූ ස්වාභාවික ව්‍යසන බොහොමයකදී රටේ හතර කෙලවර සිටි එකිනෙකා නොහඳුනන බොහෝ පිරිස් මේ වේදිකාවන් හරහා සන්නිවේදන්යේ යෙදී ඉතා කාර්යක්ෂම සහන සේවා පවත්වාගෙන ගියා. ඒ වගේම විභාග කටයුතු වලදී, පුණ්‍ය කටයුතු වලදී වගේම බොහොමයක් ක්ෂේත්‍ර වල දැනුම නොමිලේ බෙදා හදා ගන්න ලබෙන සාමූහික අවකාශයක් තමයි මේ සමාජ ජාල. ඒ වගේම එහි පවතින ගතික භාවය, වේගය සහ ප්‍රවේශ වීමට ඇති පහසුව එය වඩාත් ජනප්‍රිය ප්‍රවෘති බෙදාහැරීමේ මාධ්‍යයක් බවට පත් කරනවා. මේ හැකියාවත් සමගම අද වන විට බොහෝ දෙනෙක් තමන්ගේ ප්‍රවෘති මාධ්‍ය බවට පත්කරගෙන තියෙන්නෙත් මේ සමාජ මාධ්‍ය වලින් එකක් හෝ කිහිපයක්. අවිධිමත් සහ නිදහසින් උපරිම මෙවැනි මාධ්‍යයන් ප්‍රවෘති දැන ගැනීමේ හෝ බෙදා හැරීමේ යන්ත්‍රණයක් ලෙස භාවිත කිරීම ඉතා සැලකිල්ලෙන් කල යුතු කරුණක්.

එම සැලකිලිමත් භාවය නිසි පරිදි ක්‍රියාත්මක නොවෙන්නට පටන්ගත් තැන ඉඳන් තමයි සමාජ මාධ්‍ය අවභාවිතාව ඇරඹෙන්නේ.පටන් ගනිද්දිම කිව්වා වගේ සමාජ මාධ්‍ය යනු දොරටු පාලකයෙක්ගේ තරවටුවෙන් තොරව ක්‍රියාත්මක වන නිදහස් අවකාශයක්. ඒ නිසාම පුවතක නිරවද්‍යතාව පිලිබඳ  ජන මාධ්‍ය වල පවතින නීති රීති, රෙගුලාසි මෙහි පල වෙන දේවල් සඳහා අදාල වෙන්නේ නෑ. ඒ නිසාම සමාජ මාද්‍ය තුල සංසරණය වන බොහෝ ප්‍රවෘති සාවද්‍ය ඒවා හෝ අර්ධ සත්‍යයන්. මේවා පල කරන පුද්ගලයන්ගේ අරමුන සමාජය කලබලයට පත්කර විනෝදයක් ලබාගැනීම, තමන්ගේ ජනප්‍රියතාව වැඩි කර ගැනීම හෝ ඊට එහා ගිය දරුණු දේශපාලන කුමන්ත්‍රණ විය හැකියි.

සමාජ මාධ්‍ය වල මෙන්න මේ විපරීත කලාපයට පැමිණෙන විට බොහෝ රජයන් සමාජ මාධ්‍යත් එක්ක ගැටෙන්න ගන්නවා. බොහෝවිට මේ විවේචන එල්ල වෙන්නේ කියන තරම් සද්භාවයෙන් නොවේ. බොහෝ විට එහි අරමුණ වෙන්නේ දේශපාලනිකව තමන්ට එල්ලවෙන විවේචන යටපත් කිරීම. ලංකාව තුල පහුගිය අවුරුදු කිහිපයේදීම සමාජ ජාල වලට වැට බැඳිය යුතුයි කියන කතාව විටින් විටේ ඇහෙමින් තිබුණා.එහි උච්ඡ්තම අවස්තාව පහුගිය මාර්තු 7ත් වෙනිදා උදා උනේ මහනුවර ඇතිවුණු ජාතිවාදී ගැටුම් මුල් කරගෙන රජය මෙරට සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක් තාවකාලිකව අවහිර කිරීමත් සමග.

එහිදී රජයේ මූලික තර්කය උනේ ඇතිවූ ජාතිවාදී ගැටුම් වේගයෙන් පැතිර යාමට හේතුව සමාජ මාධ්‍ය බව. සමහරුන් ඊටත් එහා යමින් පැවසුවේ ලංකාවේ ජාතිවාදය ඇතිවෙලා තියෙන්නෙත් facebook නිසා කියලා. රජය ගෙන ආ මූලික තර්කයේ යම් සත්‍යක් තිබිය හැකි වුනත් එය දඩමීම කරගනිමින් සමාජ මාධ්‍ය වලට වැට බැඳීමට සැරසෙන්නේ නම් එය හෙළා දැකියයුතු තත්වයක්. ලංකාවේ මිලියන හයකට ආසන්න facebook ගිණුම් හිමියන් ඇති අතර රට ගිණි තියන අයහපත් ක්‍රියා සඳහා දායක වෙන පිරිස් ඇත්තේ එයින් ඉතා ස්වල්පයක් පමණයි.කඩාකප්පල්කාරී සුලු පිරිසකගේ ඔලමොට්ටල ක්‍රියාවන්, භූමිය මත පාලනය කරගත නොහැකිවීමේ අසමත්කම වසාගැනීම සඳහා සිදු කරන සමාජ මාධ්‍ය තහනම නිසා එය නිසි ලෙසත් ධනාත්මක ලෙසත් භාවිතා කරන අති බහුතරයක් උදවියත් ඉන් පිටමං කිරීමට ලක්වෙනවා.

සමාජ මාධ්‍ය හරහා සිදුවන සාවද්‍ය හා ගැටුම් ඇතිකරවන තොරතුරු බෙදා හැරීම නවත්වන්නේ කෙසේද?. නැතිනම් ඒවායින් ඇතිවන අහිතකර ප්‍රථිඵල අවම කරන්නේ කෙසේද?.....සමාජයේ හිතසුව පිණිස බහුතරයක් පරිශීලකයින් විසින් ආදර්ශමත් ලෙස භාවිතයට ගන්නා මෙම වේදිකාවන් තහනම් කර දැමීමද ඊට විසඳුම. එසේ නම් ලංකාවේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ රථ වාහන අනතුරුවලින් නිසා වාහන භාවිතයත් නවතා දැමිය යුතුයි. මෙය සමාජය තුල මෙන්ම බලධාරීන් අතරත් උනන්දුවෙන් විමසීමට ලක්වියයුතු කාරණාවක්.

සමාජ මාධ්‍ය තුල පැතිරයන කඩාකප්පල්කාරී තොරතුරු හැංගි හොරා ගලායන්නක් නොවේ. ඒවා ප්‍රචාරය කරන පුද්ගලයන් හඳුනාගැනීම ඉතාම පහසුයි. එම තොරතුරු ප්‍රචාරය කරන්නේ තමන්ගේ නමින්ම වීම මේ සෙවීම පහසු කරන්නක්..ඒ නිසා එවැනි පුද්ගලයන් සොයාගෙන ඔවුන්ට නිසි ඳඬුවම් පැමිණවීම හෝ ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් අවහිර කිරීම කළ හැකියි. එමෙන්ම සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන කඩාකප්පල්කාරී තොරතුරු දීර්ඝ කාලයක් අධ්‍යයනය කරමින් ඉදිරියේදී ඇතිවිය හැකි නොසන්සුන්තා පිළිබඳ යම් පූර්ව අවබෝධයක් ලබා ගත හැකියි.

රජයේ පාර්ශවයෙන් නිතර නැගෙන මැසිවිල්ලක් වෙන්නේ සමාජ මාධ්‍ය තුලින් බොරු වපුරවන බවත්, පුද්ගල අපහාස සිදුකරන බවත්. නමුත් ඒ සේවාවන් භාවිත කරමින් නිවැරදි තොරතුරු ජනගත කරන්න, රජයේ ආයතන සහ නිලධාරීන් ගන්නේ  ඉතා ඇල්මැරුණු ක්‍රියා කලාපයන්. මේ වනවිට ලෝකයේ බොහෝ නායකයන් තමන්ගේ තොරතුරු, ප්‍රතිපත්ති, ස්ථාවරයන් ජනගත කරන්න twitter මාධ්‍ය ඉතා බහුලව යොදා ගන්නවා. එවැනි රටවල රාජ්‍ය ආයතන තම රට වැසියෙන් නිවැරදි තොරතු වලින් සන්නද්ධ කරන්න සමාජ මාධ්‍ය ඵලදායී ලෙස භාවිත කරන්වා. නමුත් අපේ රටේ රාජ්‍ය තන්ත්‍රය මේ නවීන සන්නිවේදන තාක්ෂණයන් යොදා ගනිමින් පුරවැසියන් අතරට යාමට දක්වන්නේ ගතානුගතික පසුගාමීත්වයක්.
මේ පසුගාමීත්වය හේතු කරගෙන ඇති වන රික්තය පුරවන්නේ වගකීමක් නැති සමාජ කඩාකප්පල්කාරීන් විසින්. ඔවුන් පතුරවන සාවද්‍ය තොරතුරුවලට එදිරිව යා හැකි නිල පුවත් බෙදා හැරීමේ යාන්ත්‍රණයක් රජය විසින් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී තිබෙනවා. නමුත් මේ අකටයුතුකම් වලට එරෙහිව නැගී සිටින සිවිල් පුරවැසියන් බොහෝ ප්‍රමාණයක් සමාජ මාධ්‍ය තුල සක්‍රීයයි. නිමක් නැතිව ගලායන තොරතුරු ප්‍රවාහයේ සදොස් තැන් නිදොස් කිරීමට ඔවුන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙනවා.

සන්නිවේදන තාක්ෂණය දිනෙන් දින දියුණු වන වත්මන් ලෝකයේ තොරතුරු මාධ්‍යන් තහනම් කිරීම, තොරතුරු සැඟවීම තවදුරටත් කළ හැක්කක් නොවේ. ඒ තුලින් වෙන්නේ සමාජයේ ඇති ආතතීන් තවදුරටත් උත්සන්න වීම පමණයි. මොකද කොච්චර වහන්න හැදුවත් මොන යම් හෝ මාධ්‍යකින් ඒ තොරතුරු උඩට එන නිසා.. රජයන් විසින් කොතරම් උත්සහගත්තත් එම තොරතුරු මොනයම් ක්‍රමයකින් හෝ සමාජය කරා ගමන් කරනවා. ඒ සඳහා අවශ්‍ය හිඩැස් ඒ තාක්ෂණයන් සතුයි. ඒ නිසා රටේ වගකිවයුතු ආයතන තවදුරටත් සාම්ප්‍රදායික මාධ්‍ය මත යැපීම හෝ තොරතුරු සැඟවීමෙන් වැලකී, සමාජ මාධ්‍ය හෝ හෙට දවසේ මාධ්‍ය සමග බද්ධ වෙමින් ජනතාවට වඩා නිවැරදි තොරතුරු ඉක්මනින් ලබාදීම වෙනුවෙන් කැප වියයුතුයි. නැතිනම් සිදුවන්නේ සාවද්‍ය තොරතුරු තටු ලබා රට පුරා ඉගිලෙද්දී සම්ප්‍රදායික මාධ්‍ය කෙම් ක්‍රම වල  එල්ලී නිදා වැටෙන රජයේ ආයතන පද්ධතිය අවදි වනදාට අශ්වයා පැන්ගොස් ස්ථාලය හිස්වී තිබීමයි.

1 comment:

  1. මන් හිතන්නෙ දැනටත් අල්ප මට්ටමක උනත් යම් අනුගත වීමක් වගකිව යුතු මාධ්‍ය විසින් සිදු කරගෙන යනවා

    ReplyDelete