Monday, April 16, 2018

සොඳුරිය අවුරුදු කොතරම් නපුරුද ?





"සොඳුරිය කාලය කොතරම් නපුරුද"......මං හිතන්නෙ සිංහල ආදර ගීත ඉතිහාසයේ තියන අති විශේෂතම ගීය මේක. අපි හැමදාම කරන , විඳින, විඳවන සහ අත්දකින ආදරයේ, වෙනම මානයක් ස්පර්ෂ කරපු ගීතය මේක. මට හිතෙන විදියට වෙන කිසිම ගීයකින් ආදරයේ මේ කලාපය කතා වෙලා නෑ. ඒ තමයි ආදරයේ පරණ වීම හෝ පරිණත වීම තුල අහිමි වී යන බොලඳ රසය. මේක මං හිතන්නේ අපි බොහෝ දෙනෙක්ට අපේ ජීවිතයේ එක්තරා කාල පරිච්ඡේදයකදී මුහුණ දෙන්නට වෙන යථාර්තයක්. මම දැකපු බොහෝ ආදර කතා වල ඒ ගිලිහී යෑම පුරවන්නේ ඒ දෙපලට ලැබෙන දරුවන් විසින්. දරුවන් හේතු කරගෙන අදාළ දෙපලගේ ජීවිතේ සිදුවන විචලනයන් තමයි ඒ සම්බන්ධය සතුටුදායක ලෙස ඉදිරියට ගෙන යන හුය බවට පත් වෙන්නේ.  එතනින් එහාට තවදුරටත් එකිනෙකාගේ පරණ ප්‍රේමය update කරගන්න හෝ තවදුරටත් ජීව ගුණය  පවත්වගන්න අමාරුයි අතීතයේ පැවති සුමිහිරියාවේ මට්ටමට. 

මම ආදරයේ ඇතිවන ඒ ආතතිය හෝ හිඩැස මේ වෙද්දී පැහැදිලි කරගන්නේ වෙනත් උදාහරණයකින්. ඒ තමයි මේ ගෙවී යන සිංහල හින්දු  අලුත් අවුරුද්ද. මගේ පුංචි කාලේ ඉඳන්  විශ්ව විද්‍යාල ජීවිතේ වෙනකල්ම සිංහල අවුරුද්ද කියන්නේ අතිශය චමත්කාරජනක හැඟීමක්. විචිත්‍රවත් කාල පරිච්ඡේදයක්. ඒ දවස් වල මාර්තු මාසේ අග වෙනකොට ඇහෙන කොහාගේ නාදය මට ගේන්නේ අමුතුම සතුටක්. ඒක ගොඩ කාලෙකට පස්සෙ  ආපු නෑදෑයෙක්ගේ, සහෝදරයෙක්ගේ කටහඬක් අහනව වගේ හැඟීමක්. ඒ හැඟීමත් එක්කම මගේ අවුරුදු උත්කර්ෂය ඇරඹෙනවා. පාසල් කාලයේ ඉඳන් campus එකෙන් out වෙනකල්ම වල සිත ගත පුරා දිව යන ඒ අප්‍රේල් ආතල් එක තිබුණා. ඒ කාලේ නැකතට සිරිත් විරිත් කිරීම, නෑගම් යන එක, TV එකේ අවුරුදු සින්දු අහන එක හෝ අවුරුදු උත්සවයක් බලන්න යන එක , හිතේ ඇති කරපු උත්කර්ෂය කියල නිම කරන්න පුලුවන් එකක් නෙවී. මාව වඩාත් සතුටු කෙරෙව්වේ හෝ උනන්දු කෙරෙව්වේ අප්‍රේල් මුල ඉඳන් අවුරුදු දවස වෙනකල් තිබ්බ අතර්මැදි කාලය. ඒ දවස් ටිකේ මගේ හිතේ වෙනම උත්සවයක් මැවෙනවා. සරළවම කියනවා නම් ඒ දවස් ටික මන් හිටියෙ ෆුල් චූන් එකේ. ඒක තනිකරම හිතේ ඇති වුනු චූන් එකක්. ඒ චූන් එකට ගැළපෙන කිසිවක් එළියෙ සිද්ධ නොවුනත්, යකෝ අවුරුදු එන්න ලඟයි කියල හිතේ ඇතිවුනු සතුටුදායක කැලඹීම සැබවින්ම සොඳුරුයි.

ඒත් කාලය යන්න යන්න දැන් ඒ අත්දැකීම , ඒ කියන්නේ අවුරුදු එනවා කියන කාරණය තවදුරටත් මාව හැඟීම් බර කරන්නේ නෑ. මොක්ද, කාලය විසිනි ඒ අත්දැකීම පරණ කරළා. අවුරුදු කියන සංකල්පෙ තවදුරටත් මාව excite කරවන්නේ නෑ.මොකද ඒක අත්දැකීමක් විදියට ඇඟට පත්තියම් වෙලා. මම කොච්චර උත්සහ කරළ  මේ අවුරුදු කාලේ හිනාවෙයන් රාළේ කියලා මගේ හිතට නැවත නැවත තහවුරු කරන්න හැදුවත් මට තෙල් ඉහිරුණු කැවුම් ගෙඩියක් වගේ හිනා යන්නේ නෑ.. කොච්චර රතිඤ්ඤා පත්තු කළත්, අලුත් ඇඳුම් ඇන්දත් , අවුරුදු උත්සව බැලුවත් , රස කැවිලි කටේ ඔබා ගත්තත්, අර පරණ චූන් එක මගේ හිතට එන්නේ නෑ. ඒක සැබවින්ම මගඇරීමක්, අහිමිවීමක්. ඒක ඇත්තටම කණගාටුදායක වැටහීමක්. මම කොයිතරම් ආස වුනත් මට ඉස්සර ඇති වුණු ප්‍රහර්ෂය තවදුරටත්  හිතට නගා ගන්න බෑ. මොකද කාලය විසින් අවුරුද්ද මට පරණ කරළා ඉවර නිසා. ඒකේ අනික් පැත්ත අඩු ගානේ ඒ කාලේ ඇති වුනු දුකවත් දැන් මට ඇති වෙන්නේ නෑ. ඒ කාලේ ගෙදර වැලි තලප හැදුවේ නැත්නම්, මම ආස කරන පාටක ඇඳුමක් ලැබුණේ නැත්නම් හිතට ඇති වෙන මහා කේන්තිය සහ දුක අද ඇතිවෙන්නේ නෑ. එදවස ඇති වුනු සතුට මෙන්ම දුකත් අද වෙද්දී දැනෙන්නේ නැති මට්ටමට ඇවිත්. අවුරුද්ද අත්දැකීමක් ලෙස පරණ වීමේ ආනිසංස තමයි ඒ. එම පරණ වීම ප්‍රේමයට අදාළව වූ කළ දැනෙන හැඟීම තමයි මේ ගීතයේ තියෙන්නේ.

"බෙදා හදාගත් දුකවත් අද නැත , ඒ දුක කෙතරම් මිහිරිද සොඳුරිය" ......කියන්නේ එහි උච්ඡතම අවස්ථාව. අපේ  ප්‍රේමයේ මුල් අවධි වලදී ඉතාම  සුලු වැරද්දකින් පවා අපි සලිත වෙනවා. තරහ වෙමින්, රණ්ඩු කරගනිමින් සම්බන්ධතාවයක් විදියට ගැටුම් නිරාකරණය කරන, රැක ගන්න , අවබෝධ කරගන්න වෙර දරන ප්‍රේමය, කල් යත්ම වැරදි වලින් පුදුමයක් හෝ දුකක් ඇති නොවෙන තරමට අපිව පරිණත කරන මොහොතක් එනවා. ඒක බෙදා හදාගත් දුකවත් අපිට නැති කරන මොහොතක්. ඒ පරණ වීම හෝ පරිණත වීම මත ලබන අවබෝධය ඇත්තටම දුකක්. මොකද ඒ අවබෝධය විසින් අපිව ගොලු කරනවා එහෙමත් නැති නම් අපිට share  කරගන්න පුලුවන් මොහොතවල් අපෙන් උදුරා ගන්නවා. ඒ බෙදා හදා ගැනීම නැතිවූ විට හද රැඳි රුවවල්, ආසාවන්, හීනෙන්වත් නොපෙනී යාමේ කාලකන්ණි අවබෝධයට අපි මුහුන දෙනවා.




6 comments:

  1. ලිපිය මරු..ඒත් පොඩි කාලෙ වගේම දැනුත් මන් අවුරුද්ද එනකම් ඉන්නෙ ෆුල් චූන් එකේ....

    ReplyDelete
    Replies
    1. එහෙනම් එළනෙ සහෝදරයා.

      Delete
  2. මට මේ අවුරුද්දෙන් අවුරුදු එපා උනා...
    ගමේ ගියා, ගමෙත් අවුරුදු නැහැ...

    ආයේ ඉස්සර තිබ්බ ඒ සුන්දර අවුරුදු කාලය අපිට එන්නේ නැහැ වගේම අපිට ඒ කාලේ දැනුන අවුරුදු ත්‍රිල් එක දැන් කාලේ අපේ ළමයින්ට දැනෙන්නෙත් නැහැ...
    ඉස්සර අපිට "අලුත්" දේවල් ලැබෙන්නේ අවුරුද්දට...
    ඇඳුම් පැළඳුම් පමණක් නෙමෙයි, ගෙදරට බඩුවක් මුට්ටුවක් ගේන්නෙත් අවුරුදු කාලෙට...
    ඒ නිසාත් අපේ හිතේ අවුරුදු ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුනා...
    දැන් ළමයින්ට "අලුත්" දේවල් මැජික් නෙමෙයි, උන්ට ඒවා හැමදාම ලැබෙනවා...
    ඉතින් අවුරුද්දට තියෙන එකම වෙනස තමයි වෙනද නොකන කෑම ටිකක් තියෙන එකයි, රතිඤ්ඤා මල්වෙඩි වගේ දේවල් ටිකක් දකින්න තියෙන එකයි විතරයි...
    හැබැයි ළමයි ඔය අමුතු කෑම වලට වඩා පීසා එකකට, බර්ගර් එකකට කැමතියි...
    අනේ මන්ද...

    ReplyDelete
    Replies
    1. //දැන් ළමයින්ට "අලුත්" දේවල් මැජික් නෙමෙයි, උන්ට ඒවා හැමදාම ලැබෙනවා..//එකඟයි. මං හිතන්නේ පරිභෝජනවාදේ උපරිම වේගෙන එන වර්තමාන ලෝකෙ මිනිස්සු ඉකමනටම ආතතියට ගොදුරු වෙනවා, දේවල් ඉකමනින් පරණ වීම නිසා.

      Delete