මේ සටහන ලියන්න හිතුනේ නිනෝ ලයිව් තිරගතවීම ඇරඹුණු චමත්කාර අවස්ථාවේ ඡායාරූප දැකපුවහම. වසර 8කට ආසන්න කාලයක් පොදු ජන දැක්ම හීනයක් වෙමින් තිබ්බ නිනෝ ලයිව් පසුගිය දවසක තම රූපමය අනසක මෙරට ප්‍රේක්ෂකයා හමුවේ මුදාහරින්න සමත් උනා. වසර ගනනාවක් පුරා හමස් පෙට්ටියට දාල පුස් වෙන්න ඇරපු චිත්‍රපට බොහොමයක් පහුගිය වසර 2 තුල අපේ ඇස් ඉදිරියේ දිග හැරුණා. නමුත් ඇත්තටම ඒවා පුස් කාලා තිබුනේ නෑ. තරුණ ජවයේ නැවුම්බව , අලුත් උත්සහයක සුවඳ ඒ හැම නිර්මාණයකම ගැබ් වෙලා තිබුනා.
වසර 7ක පමණ කාලයක් අපේ ජනප්‍රිය සිනමාව අරක් ගෙන තිබුණේ රජ කතා සහ බණ කතා ගොන්නක්. Film එකක් නම් ඉතින් රජ කතාවක් , බණ කතාවක් විය යුතුය එසේත් නැත්නම් ගැමි කතාවක් විය යුතුයි කියන පටු සීමාවක් දක්වා අපි පල්ලම් බැහැලා හිටියා. ඒ සීමාව තුල අපි මේ ගෙවන ජීවිතයේ කතන්දර වලට ඉඩක් තිබුණේ නෑ. පාට පාට හීන ලෝකවල ජීවත් වන ඩෙනිම ගහන කඩවසම් කොල්ලොන්ටවත් , කොන්ඩෙ පාට කරපු, කෙටි සායක් ඇඳපු පැඟිරි සෙක්සි කෙල්ලොන්ටවත් ඒ කතාවල ඉඩක් තිබුණේ නෑ. අපි ජීවත් වෙන ජනප්‍රිය ජීවිතේ ගැන වෙනුවට අපි සිනමාව ඇතුලෙ දුවල ගිහින් බදාගනිමින් හිටියේ අවුරුදු දහස් ගනන් පැරණි කතා සැට් එකක්. එහෙමත් නැත්නම් හද්දා පිටිසර ගමක්. ඒක අපි ගෙවන ජීවිතත් එක්ක බැලුවහම මාරම විසංවාදී cinema culture එකක්. ඒ කියන්නේ අපි මේ ගෙවන ජීවිත ඇතුලේ සිනමාවට නැගිය හැකි දෙයක් නැත්ද?....නැතිනම් අපි මේ ගෙවන සහ හඹා යන ජීවිතේ මෙලෝ රහක් නැතිද?....ගෙවී යන සමයේ මධ්‍යම හා පහළ පාන්තික ජීවිතවල ලස්සනක් හෝ පරාරෝපණයක් ඇත්තේම නැතිද?............මොකෝ නැත්තේ?, මේ ගෙවන ජීවිතේ ඇතුලේ හදනව නම් කතා එමටයි. නමුත් වසර ගනනාවක් පුරා ක්‍රියාත්මක වුනු රාජ්‍ය දෘශ්ටිවාදී ව්‍යාපෘතිය සිනමාවත් ඩැහැගත්තා.ඇත්තටම සිනමාව මොට්ට කරා කිව්වොත් නිවැරදියි. ගතවූ ඒකාකාරී සමයේ උඩුගං බලා පිහිනන්න තනපු තරුණයන් කිහිප දෙනෙක් සිටියත් ඔවුන්ගේ උත්සහයන් ඒ කාලයේ හැමූ කටෝර සුලඟින් ඈතට ඇදගෙන ගියා. විමුක්තිගේ සුලඟ ගිනි අරන් බලල මරණය විශ්ලේශනය කරන අතරම පාට පාට හීන ලන්තයක සැරි සරවන්න පුලුවන් ප්‍රශස්ත උත්සහයන් ගොන්නකුත් රිදී තිරයේ අනික් අන්තයෙන් මතු විය යුතුයි. එහෙම නොවුනොත් සිනමා සෞක්‍ය පැරලයිස් තත්වෙකට එනවා. කටෝර සුලඟ විසින් ඇති කරමින් තිබ්බේ ඒ අංශබාග තත්වය තමයි.
නමුත් දැන් හමන්නේ අලුත් හුලඟක් , ඒ අලුත් හුලඟ පරණ නිර්මාණ රාශියක් අපේ නෙත් ඉදිරියට අරන් එන්නේ ඒවා අන්තර්ගතයෙන් පරන වී නොමැති බව අපට පසක් කරමින්. ඒ නිර්මාණ බොහොමයක අපි මේ ගත කරන ජීවිතයේ පාට , සුවඳ හා මායාව රැඳිල තිබෙනවා. ප්‍රසන්න ජයකොඩි, ප්‍රසන්න විතාන්ගේ, හඳයා, විමුක්ති හා බූඩි එක්කහු වෙලා කලාවේ ගැඹුර වෙත අපිව ගෙනයමින් අපේ ඥානය වෙහෙසවද්දී, ශමීර, තිසර , වින්දන, චරිත් වගේ අය එකතු වෙලා අපිට ජනප්‍රිය සිනමාවේ සබෑ වර්ණයන් පෙන්වන්න උත්සහ ගන්නවා. මේ තරුණයන්ගේ නිර්මාණ අති සාර්ථක නිර්මාණ නොවුනත් ඒවායේ ගැබ් වෙලා තියෙන නිර්මාණාත්මක වෑයම ජනප්‍රිය සිනමා මාවතට ගහන හොඳ ටෝච් එලියක්. මෝටබයිසිකල්, ප්‍රේමය නම්, ජූලි හතයි, ප්‍රවේගය කියන්නේ ඒ ටෝච් එළිය දිගේ ආපු යම් වටිනා උත්සහයන්. බැරි මරගාතේ කරපු epics ගොඩක් ජනප්‍රිය සිනමාව ලෙස කරගහන් හිටපු සිනමා ප්‍රේක්ෂකාගාරයට ගහන මේ ටෝච් එළිය ලඟදිම හොඳ flash light පාරක් කරගන්න ලැබේවායි කියා පතමින් නිනෝ ලයිව් බලන්න එලියට බහිමු.
No comments:
Post a Comment