Tuesday, May 16, 2017

කලු පාට පස් ගොඩේ රතු පාට ලේත් ඇත





මැයි 18 යනු ලොව පැවති දරුණුතම ත්‍රස්ථවාදයක් ලංකා භූමියෙන් තුරන් කල දිනයකි. ඒ වෙනුවෙන් තම රාජකාරිය නොපිරිහෙලා ඉටුකල සැමදෙනාට අපේ ප්‍රණාමය හිමිය. එනමුදු ත්‍රස්ථ මානසිකත්වය  මේ ලෝ තලය පුරා සැමදා පවතින්නේය.එය අපි හැමකෙක් තුලම අඩු වැඩි වශයෙන් පවතින්නාවූ මනෝබාවයකි. ඒ මනෝබාවය ක්‍රියාවෙහි යෙදෙවෙන්නක් බවට පත්කරන්නේ එය පොහොර පස් දමමින් වැඩෙන්නට ඉඩදෙන සමාජීය බලවේගයන්ය. අතීතය පුරා කල අදූරදර්ශීවූත් කුහකවූත් ක්‍රියා කලාපයන් වලට ජාති ආගම් බේදයකින් තොරව සියලු දෙනා නොමසුරුව දායක වී ඇත්තේය. දේශපාලකයන්ගේ බලතණ්හාවත් ආගමේ නාමයෙන් රට වනසන පූජක පක්ෂයේ හීන මානයත් නිසා බිහි වූ පිස්සු පෙති කෑ අපේ උන්දලා නැටූ නාඩගම් නිසා, ඉතිහාසය පුරා ගලාගිය ලේ ගංගාව මැනිය හැකි එකක්ද?...රතුපාටින් ගලාගිය රුධිර දහරාවෝ වෙඩි බෙහෙත් සමග මුසුවී කළු පාටට පොළවට මුසු වුනේය. 18 වෙනිදා යනු පසට  මුසුවූ ඒ කළු පැහැති ඇලෙන සුලු ස්ථරය නැවත අතට ගෙන නිස්සාරණය කල යුතු දිනයයි. නිස්සාරණයෙන් පසු ලැබෙන රුධිර සාම්පලය කොටියෙකුගේද, රණවිරුවෙකුගේද, කඩල කාරයෙකුගේද, දේශපාලකයෙකුගේද කියා වෙන් කර හඳුනාගැනීමට අපිට නොහැකි වනු ඇත.ඒ නිසා 18 යනු ගාලු මුවදොර සන්දර්ශන පවත්වා,කිරිබත් කා පෙලපාලි ගොස් ආඩම්බරයෙන් උඩ පැනිය යුතු දවසක් නොවේය(2009 දී ඒ සමරපු සෑමරීම වෙනම කරුනකි).

18 යනු අපේ වැඩිහිටි පරම්පරාව එදවස ගලා ගිය රුධිර ගන්ගාව පෙන්වමින් තම දරුවන්ට, තමන්ගේ වැරදීම් හා දුෂ්ඨ චේතනාවන් පාපොච්චාරණය කලයුතු දවසක් වන්නේය.18 යනු අපට වැරදුනු තැන් මෙනෙහි කර පාඩම් ඉගෙනගත හැකි පුනරීක්ශන පන්ති පැවැත්වෙන දිනයකි.ඒ පන්තියේ උගන්වන ප්‍රධානතම පාඩම වන්නේ එදවස අපෙන් වසන් කෙරුනු උතුරු කඳුලේ උණුසුමයි. දකුණේ ගලාගිය උණුසුම් කඳුලු දියේ දිගින් දිගටම පිහිනූ අපිට, කිසිදා උතුරේ කඳුලු නොපෙනුනේය. සැබවින්ම එය එපිට නොපෙනුනා නොව වසන් කලාය. එදවස ක්‍රියාත්මක වූ  දෘෂ්ටිවාදී ව්‍යාපෘතිය නිසා අදටත් අපේ ඇස් කන් වැසී ඇති බව රහසක් නොවේ. අදටත් උතුරේ කඳුල සුසුම අපිට මුනගැසෙන්නේ නැත. එය මුන ගස්වන්නට පවතින අධිපති කතිකාව ඉඩතබන්නේ නැත. ඒ නිසා උතුරේ මිනිසුන් තවමත් අපිට අනෙකුන්ය. ඒ නිසා මැයි 18 පුනරීක්ෂණය කල යුතුමය. එවිට යුද්ධය යනු කිසිදාක මානුෂීය විය හැක්කක් නොවන බව අපිට පසක් වනු ඇත. යුද්ධය වෙනුවෙන් පළමු උණ්ඩය නික්මුනු මොහොතේදීම "මානුෂීය" වචනය ඝාතනය වී එතැන් පටන් එළඹි සෑම දිනයකදීම රතු පාට ලේ විලකුත්, පාටක් නැති කඳුලු විලකුත් පිරෙන්නට ගත් බවත්  ඉන්පසු ඒවා වෙඩි බෙහෙත් සමග මිශ්‍ර වී කළු පැහැති ඝන ස්ථරයක්ව, පස් සමග මිශ්‍ර වුනු බවත් අද අපි හුස්ම ගන්නේ ඒ පසෙන් උපන් දුහුවිල්ල බවත් ඔබට දැනෙනු ඇත.ඒ දුහුවිල්ලේ ඇත්තේ වැලි වල හෝ පස් වල ගන්ධය නොව දේශපාලන මුග්ධ බාවය යොදවමින් අකාලයේ අපෙන් වියෝ කෙරවූ මේ රටේ  මිනිසුන්ගේ ලේ වල ගන්ධයයි.


3 comments: