Sunday, August 21, 2016

කලාව සදහා රාජ්‍යයේ මැදිහත්වීමක් ?






කලාව සදහා දියුණු කිරීමට හා ප්‍රමිතිගත කිරීමට රාජ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාව පසුගිය කාලය පුරාම අහන්න ලැබුණා.දෙරණ film awards හීදී වේදිකාවට පැමිණි බොහෝ දෙනා කටපාඩමෙන් වගේ කිව්වේ රජය මැදිහත් වෙලා චිත්‍රපටි කර්මාන්තය ගොඩ දාල දෙන්න වගේ කථාවක්.ඔය කථා වල, වඩා උත්සන්නතම අවස්ථාව මෑතක පැවැත්වුනු රාජ් නාට් උළෙලේදී දැකගන්න පුලුවන් උනා. රජ විසින් කලාව කෙරෙහි දක්වන අඩු සැලකිල්ල පිලිබද විවේචනය කරමින් එහි කලා ශිල්පීන් වේදිකාව මත දැක්වූ නිහඩ විරෝදතාව සහ කථා කරමින් දැක්වූ අදහස්. වගේම පසුගිය දවස් වල පුවත් පත් කිහිපයකම මේ මැදිහත්වීමේ අවශ්‍යතාව ගැන , කලාකරුවන් කිහිප දෙනෙක්ම තම අදහස් දක්වා තිබුණ.

සැබවින්ම රාජ්‍යයකට හෝ ආණ්ඩුවකට මොකටද කලාව ? .මේ පවතින ධනවාදී , පරිභෝජනවාදී ක්‍රමයන් යටතේ කිසිම ආණ්ඩුවකට මිනිසුන්ගේ කලා  රසඥතාව දියුණු කිරීමේ උවමනාවක් නෑ. කොටින්ම අධ්‍යාපනයේ ගුණාත්මක භාවය කෙරෙහිත් ලාචෝරු ඇල්මැරුණු ප්‍රතිපත්ති ඇති මෙරට ආණ්ඩු වලට කලාව කන්නද?...කලාව වැගත් වෙන එකම තැන වෙන්නේ ආණ්ඩුවට ගොඩයාහැකි සල්ලි ගරන මට්ටමේ වැඩක් උනොත් පමණයි.නැත්නම් ඡන්දයක් ලන් වෙද්දී සමාජයේ තරු ලෙසින් බැබලෙන කලාකරුවන් ලන් කරගෙන තමන්ගේ අදුරු ප්‍රතිරූප එලිය කරගැනීම සදහා තමයි දේශපාලකයන්ට කලාව අවශ්‍ය වෙන්නේ.නමුත් ඉතින් ලන්කාවේ නම් සල්ලි වලට, දේශපාලකයන්ගේ අදුරු චරිත වලට එළිය දෙන්න ගිය බොහෝ කලාකාරයො කරගත්තෙ තමන්ගේ චරිතෙ අදුරුකරගත්ත එක විතරමයි.හරිවිදියටනම්  ඒ කලාකරුවො කරන්න ඕනි දේශපාලකයන්ගේ එළිය වැඩි කරල දුන්නට පස්සෙ තමන්ගේ ක්ෂේත්‍රයට දේශපාලකයන් හරහා එළියක් ගේන එක.ඒ උනාට දේශපාලකයන්ට ලන්වෙලා තමන් සතුව තිබ්බ එළියවත් බේරගන්න බැරිඋන මිනිස්සු තමගේ ක්ෂේත්‍රයට කොහොම එළියක් අරන් එන්නද?

ඇත්තටම ආණ්ඩුවක් කලාවේ ගුණාත්මක භාවය රැකගන්න හෝ ඒ කලාව රැකගන්න මැදිහත් විය යුතුද? ආණ්ඩුවක් ඉන්නේ රටේ නීති රීති සකස් කරලා,ප්‍රජාතන්ත්‍රවාදය,ආරක්ෂාව ස්ථාපිත කරල මිනිස්සුන්ට අවශ්‍ය යටිතල පහසුකම් හොදින් සපයා දෙන්න.ඔය අතරෙම කලාවට අවශ්‍ය යටිතල පහසුකම් ටිකත් දෙන්න පුලුවන් වෙනවනම් හොද තමයි.මේ දක්වාත් පැවති ආණ්ඩු යම් මට්ටමකට ඒක කරගෙන ඇවිත් තියනවා.රටේ පොදු ජනයාට මහත්සේ බලපාන ප්‍රවාහනය,සෞඛ්‍ය,අධ්‍යාපනය යන අන්ශ වල යටිතල පහසුකම් වල අවුරුදු ගනාවක් තියන ප්‍රශ්න විසදාදෙන්න බැරිවුනු මෙරට ආණ්ඩු වලින් කලාවට අවශ්‍ය කරන පහසුකම් තව වැඩිපුර දෙන්න කියල ඉල්ලන එක විහිලුවක්.ඊටත් වඩා විහිලුවක් රජය මැදිහත් වෙලා කලාවේ ප්‍රමිතිය ආරක්ශා කරදෙන්න ඕනි කියන එක.මේ ප්‍රමිති ආරක්ෂණ කථාව වැඩිපුරම ඇහෙන්නේ ටෙලිනාට්ය ක්ෂේත්‍රයෙන්.ඊට අමතරව චිත්‍රපටි ක්ෂේත්‍රයෙත් ඉදල හිටල මේ කථා ඇහුනා විවිධ කාලයන් වලදී.

කලාවේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම කියන්නේ නරියට කුකුල්ලු භාර දෙනවා වගේ වැඩක්.කලාවේ ප්‍රමිතිය තීරණය කරන්න පුලුවන්ද මැටි මෝලුන්,දූශිතයන් හා ධනවාධීන් පිරුණු ආණ්ඩු වලට.මහින්දගෙ කාලෙ වගේ නම් අපි දැක්ක අපූරුවට කලාව ප්‍රමිතිගත වු හැටි.කලාව පවා මහින්ද චින්තනයට අනුකූලව ගමන් කලයුතු බවට මතයක් ඒ කාලේ අදාල අන්ශ වල නිලධාරීන්ගෙන් කියවුනා.ඔන්න ඕක තමයි ඉතින් කලාවේ ප්‍රමිතිය උදෙසා රජයන්ගේ මැදිහත්වීමේ ප්‍රතිපලය වෙන්නේ.අපි කලාව සදහා මැදිහත්වීමට රාජ්‍යයෙන් ඉල්ලා සිටිනවානම්, රාජ්‍ය තුල පවතින මර්ධනකාරි වාරණයන්ද පිළිගත යුතුයි.එහෙනම් ඉතින් films වල කෑලි කපන්න කීවාය,මගේ film එක තහනම් කලාය, අපි කලාකරුවො- ඕනෑම නිර්මාණයක් කරන්න අපිට නිදහස තියනවාය කියල කියන එව්වා බයිලයක්ම තමාය.රාජ්‍යයට කලාව සදහා මැදිහත් වීමට ආරාධනය කරනවානම් ආණ්ඩු මගින් කලාවේ සීමා මායිම් ලකුණු කරමින්,වාරණයන් ගෙනෙමින් කරන ක්‍රියාවලියටත් එකග විය යුතුය.

කලාව යනු රාජ්‍යයක් විසින් පවත්වාගෙන යන්නාවූ දෘෂ්ඨිවාද සමූහයට නතු නොවෙමින්,සාමාන්‍ය ජනයා ඉස් මුදුනින් පිලිගන්නා විශ්වාස පද්ධතීන්වලට කොටු නොවෙමින්, තුන් කල් දකිනා නිර්මාණාත්මක ක්‍රියාවලියකි.එය සැබවින්ම පවතින ක්‍රමය අතික්‍රමණය කරමින් ඉදිරියට යන මාධ්‍යක් විනා පවතින ක්‍රමය තුල සිරවී කුණු වෙමින් පැවතිය යුතු මාධ්‍යයක් නොවේ.එය සැමවිටම ඉදිරියට යා හැකි මාර්ගයක් සොයාගන්නා ක්‍රියාවලියකි.ඉන්දියානු බාල මෙගා රැලි ආවිට මෙරට නාට්‍ය කලාව අභියෝගයට ලක්වෙද්දී මෙරට නාට්‍ය කරුවෝද මෙගා නාට්‍ය හැදුවෝය.පවතින තත්වය තුල නොනැසී පැවතීමට අවරගනයේ නාට්‍ය නිර්මාණය කිරීමට ඔවුන් මෙහයවූ බව පැහැදිලිය.නමුත් ඒ පවතින පිලුණුවූ නාට්‍ය රැල්ල තුල පවා තම නිර්මාණ කෞශල්‍ය පෙන්වන්නට නාට්‍ය කරුවන් සමත්වූ බවට නිදසුන් සොයාගත හැක (අප්පච්චි,තක්සලාව,A/Lඉවරයි,හැන්දෑව...etc). ඉතින් පවතින තත්වයට නාහෙන් නොහඩා තම කලාව දියුණු කරගැනීමට ආණ්ඩු වලට පින්සෙන්ඩු වෙනවා වෙනුවට දියුණු කරගැනීමේ නිර්මානාත්මක ප්‍රවේශය ගතයුත්තේ කලාකරුවන්මය.චිත්‍රපට කර්මාන්තය සදහාත් මිනිස්සු එන්නේ නැති බව කියමින්ද , ශාලා හිමියන් ගසා කන බව පවසමින්ද ආණ්ඩුවේ මැදිහත්වීමක් ඉල්ලන සිනමාකරුවන්ද නව මාර්ගයන් හා නව රස නහරයන් සොයා ගතයුතුය.ලන්කාවේ films බලන්න මිනිස්සු නොපැමිනෙන්නේ සිනමා ශාලා වල ප්‍රමිතිය නැති නිසා නොව මෙරට බිහි වෙන බොහෝ සිනමා නිර්මාණ කටේ තියන්නට බැරි එව්වා නිසාය.ලෝක සිනමාව හා ගත්කල මෙරට සිනමා නිර්මාණ ඇත්තේ ඉතා පහලින් බව කිවයුතු නොවේ.අපට තාක්ෂණය නැත කියා කීම ඊට නිදහසට කරුණක්ද නොවේ.හෝ ගානා පොකුණ,ඇඩ්‍රස් නෑ වැනි විශිෂ්ඨ නිර්මාණශීලී ව්‍යායාම යනු අපේ නාහෙන් ඇඩීමේ මඩ ගොහොරින් එළිඅයට පැමිණි විශිඨ කලා කෘතීන්ය.ඒවා කලාත්මක ගුණයෙන් මෙන්ම ශාලා තුලට ප්‍රේක්ෂකයන් ඇද ගැනීමේ ගුණයෙන්ද පිරී පැවතුනි.

පවතින නව තාක්ෂණික හා සමාජ භාවිතාවන් උපයෝගී කරගෙන තම නිර්මාණ රසික ජනයා වෙත ලන්කිරීමට කලාකරුවන් සවිඥානික වියයුතුය.සමාජය කැරකෙන ක්‍රමයට අදාල නිලය අල්ලාගැනීමට නොහැකිව, පවතින තත්වයට ශාප කරන්නේ නම් ඒ කලාකරුවාගෙන් වැඩක් නැත.කොලයක් මත පෑනෙන් කුරුටුගෑ වචන සමූහයක්ම වියයුතුයැයි තවමත් සිතා සිටිනවානම් ,දෘශ්‍ය නිර්මාණයක් නම් එය පුන්චි තිරයේ හෝ රිදී තිරයේම පෙන්විය යුතුය යනුවෙන් සිතා සිටින්නේනම් එය මුලාවකි.තම අදහස ජනයා අතරට පත් කිරීම සදහා facebook,blogs,youtube වැනි නව මාධ්‍ය අද ඒ සදහා විවරව පවතින්නේය.ඒවා නිසි අයුරින් තමන්ට ගැලපෙන ලෙස කරකවා ගැනීම කලාකරුවා සතුය.අනික කලාව යනු අපි මේතාක් කියමින් සිටිනා සම්ප්‍රදායික චිත්‍රය,නාට්‍යය,ගීතය හා චිත්‍රපටය පමණක් නොවේ.ගප්පියා,පොඩ්ඩා වැනි නිර්මාණකරුවන් හරහා එලියට එන්නේ වර්ථමාන අදහස් ප්‍රකාශ කිරීමේ නව මුහුනුවරයන්ය.ඒවා තව අවුරුදු 20ක් 25ක් ගිය තැන ඉහළ කලා නිර්මාණ ලෙස සන්ජානනය නොකරාවියැයි කාට නම් කිව හැකිද?..අතීතයේ මිනිස්සු සීගිරි කැටපත් පවුර මත,  හිතට ආ දෑ ලිව්වේ අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යක් වශයෙනි.අද අපි ඒවා කලා නිර්මාණ ලෙස සලකමු.අතීතයේ බලි තොවිල් නැටුවේ මිනිසුන්ගේ ලෙඩ සුවපත් කිරීම සදහාය. එම බලි තොවිල් හා බැදුනු යාග හෝම,කෝලම් සම්ප්‍රදායන් අද අපිට කලාවන් වී ඇත.ඒ නිසා අද දවසේ තම කලාත්මක අදහස් ජනගත කිරීමට නව මානයන් කලාකරුවන් සොයාගත යුතුය.පවතින සම්ප්‍රදායික ක්‍රමවල තිබෙන්නේ නම් ඒ සදහා මැදිහත්වීමක් කලාව තුලින්ම කලයුතුය.කලාව සල්ලි වලට දියවී යන්නේ නම්, එය ජනයාගෙන් ඈත්වී යන්නේ නම්, වැරැද්ද  කලාකරුවාගේ මිස ආණ්ඩුවේ නොවේ.

කලාව යනු මිනිසුන්ගෙන් වෙන් කල හැකි දෙයක් නොවේ.එය මිනිසා තුල ස්වාභාවිකව පවතින නිර්මාණාත්මකව අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවයි.මිනිස්සු සල්ලි දීලා නාට්‍ය බලන්නට එන්නේ නැත්තේ එක්කෝ මෙරට කලා නිර්මාණ ලෝකයේ පවතින වෙනත් නිර්මාණ සමග ගත් කල පහළ මට්ටමේ පවතින නිසාය.නැතිනම් මිනිසුන්ට කලාව රසවිදිය හැකි සමාජ,මානසික හා ආර්ථික නිදහසක් නැති නිසාය.රජයක් කලයුත්තේ මිනිසුන්ගේ ජීවන තත්වය උසස් කිරීමය.එවිට සමාජ,මානසික හා ආර්ථික නිදහස ලැබී මිනිස්සු කලාව වෙනුවෙන් තම කාලය හා මුදල් කැප කරනු ඇත.රජය කීදාහක් වියදම් කරලා චිත්‍රපටිශාලා , නාට්‍ය ශාලා හැදුවත්, හවසට කලා නිර්මාණයක් බලලා නිවිහැනහිල්ලේ ගෙදර යන්නට තරම් රටේ ප්‍රවාහන සේවාව දියුණු නැත්නම්,බස් එකට දුම් රියට ගොඩවූ විට අත කකුල තිබූ තැනටත් කකුල අත තිබූ තැනට යන්නට තරම් ඒ මගී ප්‍රවාගන සේවා ආශ්චර්යමත් නම්,කලා නිර්මාණයක් රසවිදීමට මුදල් යෙදෙව්වාට පසු තම පවුලේ අනෙක් වියදම් පිරිමසා ගන්නට මුදල් ණයට ගන්නට වන්නේ නම් කලාව රස විදීමෙන් මිනිස්සු මදකට ඈත් වෙනු ඇත.ඒ අඩුව පිරිමසා ගැනීමට අවරගනයේ නිර්මාණ සදහා යොමුවෙනු ඇත.ඒ නිසා රජයක් කල යුත්තේ රටක යටිතල පහසුකම් හා ආර්ථිකය දියුණු කිරීමය.එවිට ජනයා යහපත් හා නිදහස් මනසින් යුතුව කලාව රසවිදීමට යොමු වනු ඇත.රජය ඒවා දියුණු කලත් නොකලත් පවතින තත්වය තුල කුණු නොවී තම කලාත්මක ප්‍රකාශනය ජනගත කිරීමේ නව මුහුණුවර සොයායෑම කලාකරුවා සතුය.


4 comments:

  1. ලන්කාවේ films බලන්න මිනිස්සු නොපැමිනෙන්නේ සිනමා ශාලා වල ප්‍රමිතිය නැති නිසා නොව මෙරට බිහි වෙන බොහෝ සිනමා නිර්මාණ කටේ තියන්නට බැරි එව්වා නිසාය.///// true

    ReplyDelete
  2. එකඟයි.හැබැයි හදන ඒව බලන්න ගැලපෙන රසඥතාවක් තියෙන සෙට් එකක් ඉන්න නිසානෙ බං උබ මෙලෝ රහක් නෑ කියන ඒවත් හැදෙන්නෙ. මිනිස්සුන්වත් වෙනස් කරන්න වෙයිද? කොම්සමෝල්

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගෙ රසඥතාවත් උසස් කරන්න ඕනෙත් කලාවෙන්ම නේද මචන් ?.. නැත්නම් ඉතින් අධ්‍යාපනය හරහා වෙනස් කරන්න ඕනි.ඔය තත්වෙ වඩාත්ම දකින්න තියෙන්නේ teledrama වල and stage drama වල.Teledrama වල තියන බාල රැල්ල මිනිස්සු ඉල්ලල ගත්ත එකක් නෙවිනෙ.ඒක tv channel වලින් බලෙන් පටවපු එකක්.TV channel වලට ඒක ලාභයි.උන් මිනිස්සු ඉන්දියන් ලදරම් වල හිරකරගන්න නාට්යයෙන් ප්‍රශ්න අහලා තෑගි දෙන්වා,සල්ලි දෙනවා වගේ සිල්ලර වැඩ කරන්වා.මිනිස්සු ඒවා ඉල්ලුවෙත් නෑ එපා කියන්නෙත් නෑ ( කොහොමටත් ඉතින් සබුද්ධික සමාජයක් අපිට ඇත්තෙත් නෑනෙ ). ඒක එහෙම උනා කියල මෙහේ කලාකාරයොත් ඒ බාල වැඩේම කරනවානම් සල්ලි ගොඩගහන්න චේතනාවෙන්, ඒක වැඩක් නෑ ( එහෙනම් ඉතින් කලාව රැකගන්න ආණ්ඩුව ඉදිරිපත් වෙන්න කියලා නාහෙන් අඩන්න ඔට්ටු නෑ ). Stage drama වල ගොන් ආතල් දෙන ඒවා බලන්න මිනිස්සු වැඩිපුර එනවා වෙන්න පුලුවන්.ඒත් ඉතින් මිනිස්සු එනවා කියලා සල්ලි වලටම කලාව ගහගෙන යන්න නොදී මිනිස්සුන්ව හරි track එකට දාන එකේ කාර්යයත් කලාකරුවා සතුමයි.ඒක ආන්ඩුවකට කරන්න අවශ්‍ය දෙයක් නෙවී.

      Delete