Wednesday, September 25, 2019

හැම තැනම දුම - Episode 1



කොත්තු සින්ඩියෙන් ගැලවුනාට පස්සේ බ්ලොග් එක ලියන්න කම්මැලිම වෙලා ගියා, මිනිස්සු නැති තැනක ලියවෙන අකුරු තේරුමක් නෑ වගේ දැනුනු හින්දා. දැන් කොහොමටත් බ්ලොග් එක කුරුටු ගාන්න වෙලාව අඩුයි. මේ දවස් වල අම්බ වැස්ස නිසා ගෙදරට වෙලා හිටිය දවස් දෙකේදි මහා වැස්සේ හෝ හෝ සද්ද මැදදෑවෙ හිතට ආපු පුංචි කතන්දර කෑල්ලක් ෆෝන් එකෙන් අකුරු විදිහට අමුණන්න ගත්තා. වෙලාව හම්බෙන තරමින් බස් එකේදී, ටොයිලට් එකේදී, වැස්ස පායනකල් ඉන්න කඩපිල් ගානේදී ලියවෙන ඒ කතන්දරේ බඩී එපිසෝඩ්ස් අද ඉඳන් පල කරන්න හිතුවා. මේ එපිසෝඩ්ස් බොහොම පුංචියි, කෙටියි. ඉතින් පට් පට් ගාලා කියවන ගමන් හිත ඇතුලෙන් දුරකට ගෙනියන්න පුලුවන් විදිහකට තැන්පත් කරගන්න. වැස්ස කාලෙට ප්‍රයෝජනවත් වෙයි. කතාවේ නම 'හැම තැනම දුම'.

------------------------------------------------------------------------------------------------------------------------------------
එයාට දුමක් දාන එක ජීවිතයේ සිහිනයක් වෙලයි තිබ්බේ. තමන් ජීවත් වෙන්නේ පොත් කියවීම සහ සිහින දූම මාළිගා හැදීම වෙනුවෙන්ම විතරයි කියලා එයා නිතරම මිමිණුවා. පොත් වලින් ඇතුලට ගන්න හුස්ම , සිගරට් දුමක් වෙලා කටින් පිට වුනා. ඒ දුම් වලාවන් එක්ක එතිලා දැවටිලා කැරකැවෙමින් අවකාශයට මුසුවුනේ ඒ ඒ කාලෙට කියවමින් ඉන්න පොත ගැන එයාට තිබ්බ කියවීම. ඉතින් ඒ දුම්වල තිබ්බේ නිකොටින් සුවඳ නෙවී. එයා ඇසුරු කරමින්, ආදරේ කරමින්, කැරලි ගහමින් , කෙස්වලු පටලවගනිමින් උන්නු චරිත වල සුවඳ. ඉතින් මට තවදුරටත් ඒ පොත් කියවන්න කාලය සහ මුදල් වැය කරන්න ඕන වුනේ නෑ. මට තිබ්බේ නිවෙන නිවෙන රන්පතට ගිනි අවුලවන්න විතරයි. බටයි, කතායි එයා ගානේ. කාලය හවුලේ.

"මට ජීවිතයේ අරමුණු, ආසාවල් කියලා ලොකූ දේවල් නෑ. ජීවිතේ නාකි වෙනකල් ඇදං යන්න අත්වාරුවක් වෙන්න මිනිහෙක් ඕනත් නෑ. මගේ ඇතුලේ ඉන්නවා අඩ හඳයෙක්.මං ඌට කතා නොකරන්නේ ඔයා එක්ක කතා කරනකොට විතරයි...."

මට ලියනගේ අමරකීර්ති නම අහන්න ලැබෙන්නේ, පොරගේ අටවක පුත්තු කංදෙක ඇතුලෙන් රිංගන්න පටං ගන්නේ අන්න එදා. පිට පිට සම්මාන ලබපු කුරුලු හදවත, අහම්බකාරක කතා අහමින් රතු ඉරි අඳින අත සල්ලි දීලා ගන්න තරම් වෙන වර්තමානයක ඉතිහාසය ආරම්බ වුනේ එදා. ඔක්කෝටම වඩා සිගරට් බොන කෙල්ලෙක්.......සිගරට් බොන-ලස්සන කෙල්ලෙක්.....සිගරට් බොන- ලස්සන- පොත් කියවන කෙල්ලෙක්, ........ සිගරට් බොන- ලස්සන - පොත් කියවන- කියවපු පොත් ගැන කියවන කෙල්ලෙක් මුණ ගැහෙන්නෙ එදා.

" ගන්නව ද? " ......එයා ඩන්හිල් පැක් එක මං දිහාට දික් කරං ඇහුවා. මං හිතන්නේ මං තත්පර ගානකට ගල් වෙන්න ඇති.



1 comment: